සුදු කැන්වසයකට යටින් රතු පාට අතක
ග්‍රන්ථය : රතු ඉරි අඳින අත
කර්තෘ : ලියනගේ අමරකීර්ති
අප දකින අපට පෙනෙන අප හොද යැයි අගය කරන දෙයට යටින් අමුතු කතාවක් තිබිය හැක. ඒ කතාව අප දන්නා කතාවට වඩා අසුන්දර විය හැක. රතු ඉරි අඳින අත එවැනි සුන්දර කතා යට සැඟවුණ අසුන්දරතාව පෙන්නුම් කරන නවකතාවකි.
නවකතාවේ ප්‍රධාන චරිතය වන මහාචාර්ය චන්දන මිහිඳුකුලසූරිය එක්තරා ගීත විචාර වැඩසටහනකට පැමිණෙන අතර ඒ වැඩසටහන ඉතා ජනප්‍රියත්වයට පත් වේ. නමුත් ගැටලුව වන්නේ එම වැඩසටහනේ නම් කියවෙන පිරිස් අභිරහස් ලෙස ඝාතනයට පත් වීමයි. මුලදි මෙය සාමාන්‍ය සිදුවීමක් වුවද පසුව සිදුවන ඝාතන ප්‍රමාණය වැඩි වීමත් සමඟ මෙය අසාමාන්‍ය තත්ත්වයට පත්වේ. මෙයට මහාචාර්යවරයාගේ සම්බන්ධයක් තිබේද? නොඑසේනම් මෙය අහඹු සිදුවීමක් පමණද? මේ ඝාතන පිටුපස සත්‍ය වශයෙන්ම සිටින්නේ කවුද
සියල්ල දේශපාලනීකරණය වූ සමාජයක කලාව, සාහිත්යාදියට ගැලවී සිටිය නොහැක. ජරාජීර්ණ වූ දේශපාලනය නැමැති කුණුකසළ වලින් නැගෙන දුර්ගන්ධය දැන් දැන් කලාව ආක්‍රමණය කරන්නට පටන්ගෙන අවසානය. ශිෂ්ඨාචාරගත වූ මිනිසාගේ සංස්කෘතිකමය පැවැත්ම දේශපාලනයේ සංස්කෘතියෙන්ම යටපත් කළ ආකාරය ගතවූ දශක හතකට අධික කාලය තුල සිදුවූ සිදුවීම් දෙස බලන කල අපට ගෙන දෙන්නේ එතරම් සුපසන් හැඟිමක් නොවේ. උසස් මනසක් ඇත්තවුන් ලෙස මේ ගැන අප කණගාටු විය යුතුය.
රතු ඉරි අඳින අත ලංකා දේශපාලනයේ රමණීය ඵලවලට යටින් ඇති මරණිය විෂ සහිත මුල් පද්ධතියක ස්වභාවය පෙන්වා දෙයි. කලාව සාහිත්‍ය යනු මිනිසාගේ ප්‍රඥා ඇස විවර කොට ලෝකයක් තුල ඇති විෂමතාවලින් පිරුණු රළු පරළු භූමිය සමතල කොට එකම සමබිම් පෙතක් කරා රැගෙන ඒමට මග කියන උපකරණයයි. නමුත් අවාසනාව නම් ඒ ක්ෂේම භූමියට රැගෙන යන උපකරණයෙන් ම මිනිසා අඳුරු බිමක් කරා ඇදගෙන යන ප්‍රයත්නවලට හසුවීමයි. කලාව මුල් කොට ගෙන මෙවැනි නොමඟ යවනසුලු දේ කිරීම මෙය වර්තමාන සමාජයේ ජනමාධ්‍යවලින් කරන නිර්දය ක්‍රියාවලින් එකක් පමණි. මැතිවරණ කාලය තුලදී පවා විවිධ වන්දිභට්ටයන් විසින් ඒ ඒ දේශපාලනික චරිත මතු කිරීම පිණිස කරන ලද යම් යම් ක්‍රියාකාරකම් ද ජන මාධ්‍ය තුලින් මහජනතාව වෙත නෙයෙක් අයුරින් සම්ප්‍රේක්ෂණය කරන අයුරුත් ඒ හරහා ඊනියා ප්‍රතිරූපයක් ගොඩනැගීමට නගන සියුම් උත්සහයන් අපි දුටුවෙමු. ඒ අඳුරු බව මේ නවකතාව පුරා උත්ප්රාසාත්මකව දක්වා ඇත. පහත දක්වා ඇත්තේ තුවක්කුවක් සුඛනම්‍ය, ලාවණ්‍ය බසින් විස්තර කොට ඇති ආකාරයයි. මෙය හුදෙක් වර්ණනාවක් පමණක් නොව වර්තමාන සාහිත්‍ය ලෝකය පටිසෝතගාමී දිශානතියට ගමන් කිරීමට පටන් ගෙන ඇති බව සංකේතාත්මකව නිරූපණය කිරීමකි.
චින්තා කලින් සූදානම් කර තිබූ බ්‍රීෆ්කේසය ඇරියේය. ඔහු ඉතා කුඩා පිස්තෝලයක් අතට ගත්තේය. “මේ තියෙන්නෙ අලංකාර ගීත මාණික්‍යයක්. අපූර්ව නිර්මාණයක්. මෙහි මනා අංග (ඔහු බටය, කොකා, මිට ආදිය සියුම් ලෙස පිරිමැද පෙන්වයි) සාම්‍යයක් තියෙනවා. සියලු අංග තුළ ඖචිත්‍යයක් තියෙනවා. මෙහි ඇති ක්ෂුද්‍රභාවය නිසා මෙය පණ ගැන්වී කර්ණ රසායන නාද ධ්වනි නගනවා. රහසේ වැලපෙන සෝ බර ලියක නගන කෙඳිරීම වැනි නාදයක් නගන මෙය සැබැවින්ම හයිකු කාව්‍යයක්. ඇතැම් විට මින් නැගෙන්නේ සම්භෝගයෙන් තෘප්තිමත් ස්ත්‍රියකගේ සුරතාන්ත කෙඳිරිලි වැනි කුල්මත් ශබ්දාලංකාර. මෙවැනි ගී මිණිවලට කැමති රසිකයන් තුළ මියුරු පෙම් හැඟුම් ඇති කරන්නට මීට හැකියාව තිබෙනවා.
රතු ඉරි අඳින අත (පිටුව 96)
තුවක්කුවක් වුවද මනරම් වචන යොදා මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීම අප සාහිත්යික සන්දර්භයෙන් තේරුම් ගැනීමට වඩා ඊට ඔබ්බෙන් ඇති අරුත වටහා ගත යුතුය. අලංකාර වචනවලින් විස්තර කෙරෙන තුවක්කුවෙන් මිනිසුන් ඝාතනය කෙරෙයි. මෙය සංකේතාත්මකව නිරූපණය කරන්නේ සාහිත්‍ය, කලාව, විචාර ආදියෙන් මිනිස් මනසට කෙරෙන හානිය වෙයි. එය භෞතික මරණයට වඩා භයානක වෙයි.
මෙහි ඇති අනික් විශේෂත්වය වන්නේ චරිත නිරූපනය යි. එයට හේතුව වන්නේ සිද්ධිවලට වඩා චරිත තුලින් කතාව ඉදිරියට ගෙන යෑමයි. ඒ ඒ චරිතවලට අදාල සිදුවීම් තුලින් කතාව සාර්ථක නැවතුම්පොළක් කරා ධාවනය වීමට ජවය ලබා දී තිබේ. එය කොතරම් ද යත් අපට කතාවේ සිදුවීමටත් වඩා චරිතය කෙරෙහි අවධානය යොමු වීම නිතැතින්ම සිදුවන නිසාය. ඇතැම් චරිත අප සිතන ආකාරයේ චරිත නොවන බව අපට වැටහෙන්නේ කෘතියේ අවසානයේදීය. මේ විශ්ම කර්මය අත් විඳීමට නම් ග්‍රන්ථය කියවිය යුතුය. අනික් වැදගත් කරුණ නම් ඒ ඒ චරිත සඳහා යොදා ගන්නා භාෂාවයි. භාෂාවෙන් ඒ ඒ චරිතයේ ඇති බාහිර හා අභ්‍යන්තර චරිත ලක්ෂණ මොනවාදැයි හඳුනා ගැනීමට මහත් පිටුවහලක් සපයයි.
කෙසේ වෙතත් අවසානයේදී කිව යුත්තේ දේශපාලනික අධිකාරිත්වයට යටවූ මාධ්‍ය මගින් රටක සාහිත්‍යය, කලාව වැනි සංවේදී විෂයන් පාලනය කරන විට, එයට සිදුවන බලපෑම වෛරසකින් සිදුවිය හැකි බලපෑමට වඩා වැඩි බව අප වටහා ගත යුතු බවයි. මක් නිසාද යත් මරණිය වෛරයක වුවද අවසන් ප්‍රතිඵලය යන්නේ මරණය යි. මරණයට පෙර යම් ඖෂධීය ප්‍රතිකර්ම ලබා දී සුවපත් කළ හැක. එසේ වුවත් සාහිත්‍යය විෂ වීමෙන් මුළු මහත් සමාජය ම පිළුණු වී යාහැකි ය. එයින් පරම්පරා ගණනකට අතුරු ආබාධ ඇතිවිය හැක. රතු ඉරි අඳින අත ඒ පිළිබඳව සියුම් රතු එළියක් පාඨක හදවත් තුල ජනනය කිරීමට සමත් වී ඇත.
“මේක අමුතු රටක් අන්කල්. කැම්පස් වුණත් එහෙමයි. අහිංසකව ආදර සින්දු රස විඳින අය තමයි කුණු හරුප කිය කිය වධ දෙන්නෙ අලුත් ළමයින්ට. එළියෙත් එහෙම තමයි. බණ පද අස්සෙම තමයි මරණ නියෝග යන්නෙ. මං අන්කල්ගෙ ප්‍රෝග්‍රෑම් එක ගැන ලිව්වෙ ඒකෙන් මරණ නියෝග යනවමයි කියල දන්න හින්ද නෙමෙයි. එහෙම දෙයක් වුණත් වෙන්න පුළුවන් හින්දා.”
(පිටුව 127)
මහ වෙදගේ තරිඳු