“ලොතරැයිය ” කෙටි කතා සංග්‍රහය ගැන කෙටි විමසුමක්
ෂර්ලි ජැක්සන් – ලොතරැයිය
අත්තනෝමතික දේශපාලන අගතීන් නිසා ජීවිත අඳුර ම උරුම කර ගත් පීඩිතයන් පීඩකයන්ට එරෙහි වීම වළක්වාලිය හැකිද?එය ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් යථාර්ථයකි.ලොතරැයියක් දිනුම් ඇදීම වැනි අවස්ථාවක් කේන්ද්‍රීය අත්දැකීම ලෙස ගෙන මානව සබඳතාවන්හි වේදනාත්මක ස්වරූපය සමග ඒකාත්මික කොට නිර්මාණාවේශයක් වූ කල්හි එය කෙතරම් වටින්නේ ද
ට්සිකා කෝටා -පොළව ලේ උරා බීහ
2022 වැනි මෑතක පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයෙන් ජයග්‍රහණය කළ කෙටිකතාව වුව ද කතුවරයා මෙතෙක් එකදු කෘතියක් පළ කර නැති, එහෙත් තමා ප්‍රතිභාපූර්ණ ලේඛකයකු බව ප්‍රකට කළ කෙටිකතාව මෙයයි.මේ කෙටිකතාව ඉසියුම් ලෙස හදේ සියුම් ම තැනක් අතිශය මුවහත් තුඩකින් දැනෙන නොදැනෙන සේ සිදුරු කිරීමක්.දක්ෂ දඩයක්කාරයෙකුට හැරෙන්නට මේ අත්දැකීම මෙතරම් හොඳින් සූචනය කළ නොහැකි ය. එහි කතා නායකයාගේ හැසිරීම,ඔහුගේ ම සිත සමග සිදු කරන අරගලය, අවසන තම වීරත්වයේ පැවැත්ම සඳහා සාහසික වන අන්දම රූපණය කරන,යුරු විස්මිත ය.ලෝකය එසේ යැ.තම පැවැත්ම තහවුරු කරනු වස් විනාශ නොකරන්නේ කුමක්ද. ගෝත්‍රික සමාජය පසුබිම් කර ගත්ත ද මේ කතාව ද දේශපාලනික යථාර්ථයකි.
ඇනී අර්නෝ-යළි පැමිණීම.
කතුවරිය නොබෙල් සම්මානලාභිනියකි. ඇගේ නිර්මාණයක් සිංහලෙන් කියවන්නන් අතරට පත් වන්නේ ප්‍රථම වතාවටයි.තනිවම ජීවත්වන තම මව දකින්නට අවසන් වරට යන දියණියකගේ දවස ගත වන අයුරු කතාවේ අත්දැකීමයි.වයස්ගතවීම, තනිවීම තුළ මිනිසාගේ ශෝචනීය ඉරණම අතිශය කලාත්මක අයුරින් කළ සිතුවමකි. මව්පියදූදරු සබඳතාවන්හි මානුෂීය පාර්ශවය අකාලික ය.සර්ව භෞමික ය.
හරුකි මුරකමි- ජන්මදිනලාභිනිය
කතා නායිකාවගේ විසිවන උපන්දිනය දා කේන්ද්‍රීය තේමාවයි.මෙය සත්තකින්ම කතාවක් නොවේ.කතා අංශුමාත්‍රයක් පමණි.තිතක් දෙස අන්වීක්ෂයයක් අල්ලා ගෙන සිටීමකි. තම සුවිශේෂ උපන්දිනය දා මේ හිරිමල් යෞවනිය සම රැලි ගැසි,ගත මස් දිය වූ මහලු තම රැකියාවේ ස්වාමියාගෙන් ඉල්ලන උපන්දින තෑග්ග කුමක්දැයි කතුවරයා වචනවල දවටන්නේ නැත.එය පැහැදිලිවම කතුවරයාගේ ආඛ්‍යාන ශෛලියේ විශ්මයාවහ ස්වභාවයයි.
බෙන් ඔක්රි -අභිරහස් මූලාශ්‍රය
මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනක මිනිසා ම අනිවාර්යයෙන්ම මූණ දිය යුතු භයානකම තත්ත්වය වන්නේ පානය සඳහා සුදුසු ජල හිඟයක් ඇතිවීමයි.මෙවැනි වස්තු බීජයක් සහිත මේ කතාව ද අදේශපාලනික නොවේ.වතුර කෘත්‍රිම ව නිපදවීම, ඒවා කළුකඩ මිලට විකිණීම, එහිදී සාම්ප්‍රදායික පරපීඩක ආණ්ඩු කටයුතු කරන ආකාරය, උගතුන් පවා තම ආත්ම ලාභය තකා වංචාව බෞතීස්ම කරන අයුරු,අවසන පිරිසිදු ජලය සොයා යාම පවා දඬුවම් ලැබිය යුතු වරදක් වීම,එහෙත් කෙසේ හෝ අප්‍රකටව පැවති පිරිසිදු ජලය සොයා ගැනීම …මේවා ජලය ගැන කතාවක් පමණක්ම නොවේ. අවංක දේශපාලනය සොයා යන කාගේත් කතාවයි.
කෙන් ලියු -කඩදාසි කල්ලිය
චීනයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ කතුවරයා තම ජීවන අත්දැකීම් පරිකල්පනය කරන්නේ අතිශය හෘදයංගම අකුරු ඇමුණුමකිනි. විප්ලවයෙන් පසු චීනයේ අතරින් පතර පැමිණි ආර්ථික අවපාත හමුවේ පීඩාකාරී ජීවිතයක් ගත කළ කාන්තාවකට ඇමරිකානුවෙකු හා විවාහ වීමට ලැබෙන්නේ අහම්බයකිනි. මවගේ බාහිර රූපය ලබන දරුවා නිසා තමාට අහිමි වූ සියලු සංස්කෘතික උරුමයන් නැවත ලද බව සිතා මව සැනසෙන්නට සූදානම් වූවා පමණි.එකම පුතා තම මව ප්‍රතික්ෂේප කරන්නට වූයේ ඇමෙරිකානුවකු ලෙස ජීවත්වීමට තමාට වූ බලවත් කැමැත්ත නිසාම ය. කුඩා කාලයේ හඬන දරුවා නළවා ගැනීමට කඩදාසිවලින් තැනූ සතුන් ප්‍රබල සංකේතීය යුතුකමක් ඉටු කරයි. මියගිය මවගේ චීන බසින් ලියූ ලිපිය වෙනත් අයකු ලවා කියවා ගන්නා පුතා පත්වන තත්ත්වය පාඨකයාගේ හෘද ස්පන්දනය වේගවත් කරවයි.කතාව තුළ තැවරුණ සෙනෙහසේ සුවඳ සදාකාලික ව තැන්පත් වේ.
මේරි රොනලඩ්‍රාවු – රාත්‍රි මුරය
ලේඛිකාවකට පුරුෂ ලිංගිකත්වය මෙතරම් විවෘතව ප්‍රකාශ කිරීමට තරම් නිර්භීතකමක් වීම ප්‍රශස්ත ගුණයකි.ඊට අමතරව අතිශය පෞද්ගලික මිනිස් පැවතුම්, නිර්මාණාත්මක ලේඛනයක බහාලන්නට, ඒ තුළින් අදාළ සමාජ තලයේ වගතුග විවරණයට ගත් සාර්ථක තැතක් විද්‍යමාන ය. චූල ජනාවාස ලෝකයේ කවර ස්ථානයක තිබුණත් සමාන ජීවන අත්දැකීම් සහිත ය. මේ ද දේශපාලනික තේමාවෙන් නොතොර ය.
මෑතකාලීන නිර්මාණයන් ලාංකික සිංහල පාඨකයන් කරා ළඟා කරවීම ගැන රශ්මික මණ්ඩාවලයන්ට ස්තුතිය පිදිය යුතු ය..පරිවර්තනය වෙහෙසකින් තොර ය. අවසාන කතාවේ කිසියම් හදිසියක්,භාෂාවේ දුඹුල් වීමක් වීදෝ’යි සංශයක් ඇතත් එය වින්දනයට බාධාවක් නොවේ.
වචන කීපයකට මෙහි රසය ලඝු කළ නොහැකි ය.ඔබ කියවා රස විඳ සුසියුම් ආලෝක ධාරා හඳුනාගත යුතු ම ය.
-ධම්මිකා විජේසිරි-