ජෑස් නාදය සහ ගීතය ගැන සිතන්නට යමක්
“යම් ඕනෑම නිශ්චිත කලාකෘතියක්,සංජානනය කර ගැනීමෙහිලා පුද්ගලයකු හට ඒ වටා ඇති පසුබිම නිසැකවම බලපානවා”
මෙය යම්තාක් ග්‍රාහකශීලී දෘෂ්ටිකෝණයකින් පමණක් නොව ඒ තුළ වඩා රසබර ප්රවේශයකින් විග්රහ කළ යුත්තක්.ගීත වනාහි මෙවැනි ජනප්‍රිය සංස්කෘතිය වේගවත් සහ සක්‍රීය සමාජ තලයක ඉතාම සුලභයි.එක් පැයකදී ලොව තරු මාදිලියේ ගීත ප්රචාරක වැඩසටහන් තුළින් නව්‍ය ගීත කීයක් ලොවට විවර වෙනවාද? එය ප්‍රමාණාත්මක මිලියන ගණනකි.පෙර සම්භාව්‍ය මාදිලියකදී නම් එයට යම් හෝ පැවැත්මක් තිබුණේ එහි සාරවත් ලක්ෂණ නිසාමයි.මෙවැනි මාධ්‍ය තුළින් මිල තීරණය කරන යුගයක ගීත වනාහී සිල්ලර කාසි වැනිය.සෑම දිනයකම පාහේ ගීත වල නම් කිසිදු අඩුවක් නොමැත.ඒවා සම්භාව්‍ය මට්ටමේ පමණක් නොව ඇතැම් විට ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන ඒවා විය හැකිය.කුමන තලයක් නියෝජනය කරත් ඕනෑම පුද්ගලයකුට ගීයෙන් ගීයක් වාදනය වූ පමණින් හෝ දුටු පමණින් එය ඔවුන්ට අභ්‍යන්තරීකරණය (Internalised) නොවේ.එය එසේනම් යම් ගීතයක් ප්‍රේක්ෂක සමාජයට ප්‍රවේශ වන මොහොතේම සියල්ලන්ගේම හදවත්වල ස්පර්ශ විය යුතුය.ප්‍රායෝගිකව එසේ වන්නේ නැත.එසේ නම් මීට හේතුව කුමක්ද?
එක් පසකින් ගීත සාහිත්‍ය කෘතියක සමාරම්භය හැමෝටම විවිධ ලෙස දැනීමටත් එක් එක් අයට විවිධ අවස්ථාවදී දැනීමටත් මෙන්ම ඇතැම් අයකුට ඇතැම් නිර්මාණ නොදැනීම තුළ ද ඇත්තේ ඉතා සියුම් පැතිකඩකි.එනම් යම් ගීතයක් වනාහී ප්‍රවේශ වන අවස්ථාවේ එය නිර්මාණකරුගේ දෘෂ්ටිය සහිත ආත්මීය විග්රහයකි.එය ග්රාහක ක්ෂේත්රයට පිවිසීම තම තමන්ට අනන්‍ය සාපේක්ෂක මොහොතවල්වල සිදුවන්නකි.එනම් ගීත නිර්මාණයේ අන්තර්ගත සුවිශේෂ මානසික තලයයි.එය විවිධ ග්රාහකයන් හෝ රස විඳින්නන් හට නිසි ආකාරයෙන් ප්රත්යක්ෂ වීමටද ග්රාහකයා ඒ මොහොතේ නියැලී සිටින ග්රාහක මානසික සංඨවනිය (Mental Symphony) බලපානු ලබයි. එකම නිර්මාණය ප්රත්යක්ෂ වන මොහොතවල් විවිධ වන්නේද ඇතැම් ඒවා තමන්ට කිසිදා නොවැටහෙන්නේ ද ඒ නිසාය.නිර්මාණකරු කුමන අතකින් එය දෘශ්‍ය රූප,ශ්‍රව්‍ය හඩ,සංගීතය ආදි කුමක් මුසුකර ව්‍යාප්ත කර ද එකී අනන්‍යතාව තමාට තක්කෙටම දැනෙන්නා වූ මොහොතක් අප හැමෝටම ළඟාවේ.එය ඇතමෙකුට සෞම්‍ය තැනක රසවිඳින මොහොතක් විය හැකිය. ඇතැම්විට අප සතේකටවත් නොසිතන අසම්මත කාර්යබහුල නිමේෂයක විය හැකිය.මෙය සරල නිදසුනකින් මෙලෙස වටහාගමු.ලාංකීය සම්භාව්‍ය ගීත නාමාවලියේ මුදුන් මල්කඩක් වූ නන්දා මාලනියන්ගේ සුළං කපොල්ල වැනි ගීතයක් පිළිබඳ උපකල්පනය කරමු.
80 දශකයේ නිර්මාණය වූ එම ගීත කෘතිය කෙනෙක්ට ස්වේත රාත්‍රිය වැනි විධිමත් ප්‍රේක්ෂාගාරයක් තුළ සිටින විට හොඳින්ම සංජානනය විය හැකිය.එය ඒ පුද්ගලයාගේ මානසික පසුතලය අනුව එය තක්කෙටම ශ්‍රවණය කළ සහ හඳුනාගත් මොහොත විය හැක.එකී ප්‍රසංගය වටා තිබුණු අන්ධකාරය,ප්‍රේක්ෂක සම්බන්ධය,කලාකරුගේ ඉදිරිපත් කිරීම ආදී සියල්ලම ඒ සඳහා බලපෑ හැක.එකී පුද්ගලයාට සුළං කපොල්ල ගීතය සංජානනය වූ එකී මොහොත හොඳම මොහොත වූවාට තව කෙනෙකුට එය සාමාන්යම ගීතයක් විය හැකියි. ඉහත පුද්ගලයාගේ ස්වේත රාත්‍රියට පෙර එය ඕන තරම් අසා තිබුණද එහි කූඨප්රාප්තිය (Peak) එයම වන්නට පුළුවන.ඒ තරම් සවිස්තරාත්මක ලෙස එය ඔහුට පෙර හෝ ඉදිරියේදී හෝ ඔහුට නොදැනෙනු ඇත.යමෙක් යමක් ස්පර්ශ කිරීමේ කලාවේ ස්වභාවය එයයි.එය එසේ වුවත් තව කෙනෙකුට එය හාත්පසින්ම වෙනස් විය හැක.එනම් එකී සුළං කපොල්ලම තවකෙකුට දැනෙන්නේ කඩමණ්ඩියක පත්තරයක් කියවමින් ප්ලේන්ටියක් රස විඳිමින් සිටින විටකදී වන්නට පුළුවන.ඒ සඳහා වූ ඒ මොහොතේ ඔහු නිරත වී සිටින ස්වාභාවික පරිසරය,හුදකලාව ආදී මානසික පසුතලය බලපෑ හැකිය.එය කොතරම් අසම්මත සේ පෙනුනත් ඔහුගේ දෘෂ්ටියෙන් එය රසවිඳි ප්‍රශස්තම මොහොත එයයි.
මීට පෙරත් එය කොයිතරම් වාරයක් අසා තිබුණත් ඒ තරම් එකී ගැමියාට එය සංජානනය නොවන්නට ඇත.එකම ගීත නිර්මාණය දෙපැතිකඩකට සන්ධානය වීමේ අර්ථය එසේය. මතුපිටින් බලන කල කෙනෙකුට ගීතයක් ස්පර්ශ වීමට වඩා වැඩි උත්කර්ෂයක් ලබා දෙනුයේ සම්භාවය ප්‍රේක්ෂාගාරයක සන්දර්භයක් තුළ යැයි කෙනෙකු තර්ක කල හැකිය.ඒ එකෙකුගේ හෘද සාක්ෂිය පමණි.තව කෙනෙකුට එය බෝරිංම මොහොතක් විය හැකි.ගැමි සුළඟ මතින් තවකෙකුට නිර්මාණය දැනෙන මොහොත එය විය හැකිය.මේ සියල්ලක සාරය (Spirit)වනාහි පුද්ගල ආත්මීය මානසික පසුතලය අනුව එකම නිර්මාණය වුවද නිශ්චිතව රසභාවය උරාගන්නා මොහොත වෙනස් විය හැකි බවයි.මේකී සංකතනය වෙනුවෙන් අදාළ ඡායාරූපය යොදා ගැනීම පිළිබඳව ද කෙනෙකු තුළ සැක කළ හැකිය. එහි අමුත්තක්ම නොවන්නේ උක්ත සමාජ ප්රස්තුතය මා හට සංවේදනයම වූ මොහොතක් නිරීක්ෂණය වූ ගීතය මෙයයි.මෙය 90 දශකයේ මිශ්‍ර සංගීතය සහ වේදිකාවේ වීරයෙකු ලෙස මතුවී ආ නාමල් උඩුගමගේ කුළුඳුල්ම නිර්මාණයක් විය.සරල විනෝදකාමී විරහවක් ගම්‍ය කරන මෙකී ගීතය පසුගිය දශක දෙකක කාලය තුළ රේඩියෝව තුළ ගුවන්විදුලියේ නිතරම මා හට ඇසී ඇත.නමුත් ඒ සියල්ලක් සාමාන්‍ය ශ්‍රවණයන් පමණි.එනමුත් එය නියමාකාරයෙන්ම එහි රස භාවයන් උරා ගනිමින් එකී නිර්මාණය හදවතටම ප්රත්යක්ෂ වූ මොහොතක් පැමිණියේය.
ඒ හරියටම ගත්තොත් මෑතකදී ගිය වසරේ අවසාන භාගයේදී එනම් කිසිදු ලෙසකින් සිතියවත් නොහැකි සම්පූර්ණ වශයෙන් අහඹු මොහොතකි.බණ්ඩාරවල පන්තිය කොට නැවත බදුල්ලට ඒමට කොළඹ 99 බසයක් බලාපොරොත්තුවෙන් සිටින ඒ වන විට වෙලාව රාත්‍රී 6 පමණ පසු විය.සාමාන්‍ය අඳුරටත් වඩා මහා අඳුරු කාමය පරිසරයක් නිර්මාණය වී තිබුණේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසාය.එකවර පැමිණියේ පරණ වෙසක් ගත් ලංගම බස් රථයකි. බොහෝ සෙනඟක් මැද අසුනක් ද ලැබුණේ බසයේ ඉදිරිපසිනි.වාදනය වෙමින් තිබුණේ නාමල් උඩුගමගේ කැසට් පටයකි.සියලු ගීත ද අභිබවා මා හට ඇසුණේ එකම ජෑස් නාදයකි.බස් රථයේ රේඩියෝ පීකරයද මහත් නවීකරණය (Modernised) නොවූ බේස් විරහිත නාදයකි.සාමාන්‍යයෙන් කොහොමත් අනූව දශකයේ ජෑස් සංගීතය හුරු නාදයට ටකරන් වැනිය.ඉතින් අධික වැස්සක සෙනඟක්ද මැද මේක මෙච්චර ලස්සනට යන රටාව හදවත වෙලා ගත්තේ එය මා හට දැනුනු හොදම මොහොතම සලකුණු කරමිනි.ජීවිතේ ඕනෑ තරම් රේඩියෝවෙන් ඇසුණු නිර්මාණය තක්කෙටම හදවත වෙලා ගත්තේ එලෙසිනි.එතරම් රමණීය ලෙස එය කිසිදා හදවත වෙලාගෙන නොමැත. ඡායාවට සාක්ෂි ලෙස යෙදුවේ ඒ නිසාවෙනි.
කෙසේ හෝ රසභාව සම්බන්ධ ගීත සම්බන්ධයෙන් ඔබ අප හැමෝම ඇතුළු ලෝක ශ්‍රාවකයාටම එය පොදු සිද්ධාන්තයකි.යමක් විකේතනය කර ගැනීම අතිශයින්ම සාපේක්ෂව සිදුවන්නකි.යමෙක්ට කළ හැක්කේ දැනෙන එකී මොහොත පිළිබඳ කල්පනාවෙන් සවිඥානික වීමය.එවිට එය විචාරශීලි ග්‍රාහකත්වයක් සේ අර්ථ ගැන්විය හැකිය.
සහන් ඇලෙක්සැන්ඩර්