Skip links
කුසල් ධනංජය කුරුවිට, කිරුළු කෝල​ය kusal kuruwita , kirulukoolaya,

කුසල්ගේ ʺකිරුළුකෝලයʺ අපට අපව කියවා ගැනීමේ විය සිදුරු ගොන්නක්.

කුසල් ධනංජය කුරුවිට kusal kuruwita
කුසල් ධනංජය කුරුවිට

රොබට් ෆ්‍රොස්ට් පවසන්නේ කවිය ඇති වන්නේ චිත්තවේගීය සිතුවිල්ලක් සොයාගත් විට හා ඒ සිතුවිල්ල වචන සොයා ගන්නා විට බව. කවියා සියුම් නිරීක්ෂයකු වන්නේ ඉහත කාරණයේ දි. මානව ජීවිතයේ චිත්තවේගීය හැඟීම දැනීම් ඉතාම සූක්ෂම ආකාරයෙන් සොයාගත් විට ඔහු හෝ ඇය අතින් ඒවා කවි බවට පෙරළෙනවා. එවැනි ප්‍රකාශන සන්දර්භයන් තුල ක්ෂුද්‍ර කවිය ඉතාම ප්‍රබල කාව්‍යමය සන්නිවේදන ස්වරූපයක්. අත්දැකීම සාර්ව ස්වරූපයෙන් ග්‍රහණය කරගන්නවාට වඩා ඒ තුල ඇත්තේ සූක්ෂම බවක්. ඉතා ප්‍රතිභාපූර්ණ තරුණ කවියෙකු වන කුසල් ධනංජය කුරුවිට ගේ තුන්වන කාව්‍ය සංග්‍රහය වන ʺකිරුළුකෝලයʺ ඒ සූක්ෂම බවේ හා ක්ෂුද්‍ර බවේ ඉතා ප්‍රබල ප්‍රකාශන ස්වරූපයක් මතු කර දෙනවා. කුසල් සැම විටම මානව හැඟීම් ධාරාවන් අල්ලා ගන්නේ බිංදු මාත්‍රයන් ලෙසින්. කවි 166කින් සමන්විත ඔහුගේ මේ කෘතියේ සාතිශය බහුතරයක් මෙවන් ආකාරයේ ක්ෂුද්‍ර නිර්මාණයන්. ඒවා විටෙක දේශපාලන සමාජ කියවීම්. තවත් විටෙක මිනිස් සිතුවිලි ඉතා සියුම්ව කියවා ගැනිම්. ඔහු මේ විවිධාකාර අනුභූතින් අප වෙත ඉදිරිපත් කරමින් අපවම ප්‍රශ්න කරනු ලබනවා. ඒවා අපේ ජීවන අත්දැකීම් සමග සමපාත වන්නේ අප තුල සියුම් තිගැස්මක් ඇති කරමින්. විටෙක අපි අපේම නිරුවත කණ්නාඩියක් ඉදිරියේ ප්‍රතිබිම්බ ගත කර ගැනීමක්. ඒ නිසයි ඒ්වා පෙරළා අප තුල සියුම් කම්පනයක් ඇති කරන්නේ.
ඔහු ඒ සඳහා භාවිතා කරන්නේ සරල භාෂාවක්. එය නාගරික සමාජ භාෂාවට බොහෝ ලඟයි. ඔහුගේ කවිය තේරුම් ගැනීමට කෝෂාර්ථ සොයා යා යුතු නෑ. නමුත් ඒ සරල භාෂා ප්‍රකාශනය යටින් දුවනා සුවිශේෂ ජීවන අත්දැකීමක් අඩංගු වෙනවා. එය සොයා ගත් සැනින් ඔහුගේ කවිය වෙනත් වර්ණයක් ගනු ලබනවා. අනෙක් අතට ඔහු ආකෘතිවාදියෙක් නොවේ. ඔහු නිදහස්කාමී කවියෙක්. මේ නිසා ඇතමෙකුට ඔහුගේ කවි කිසියම් ආකාරයක ගද්‍යමය ස්වරූපයෙන් පෙනෙන්නට පුලුවන්. නමුත් අපගේ කියවීමට අනුව ඔහුගේ කවියේ ප්‍රකාශන ප්‍රබලත්වය ගොඩ නැගෙන්නේම මේ නිදහස්කාමී ආකෘතිය ඇතුලේ.

ඇඟිලි තුඩගින්
පියයුරු තුඩු බ්‍රේල් කියවන්න
තැත් කරමි
කියා දෙයි ඒ වචන ඈ
කනට කර.
(පිටුව 23)

බීමත්ව ගෙදර එමි
එපා කියද්දිත් මම
ඇරලවන්නට
පසුපසින් එයි සඳ.
(පිටුව 88)

ඔහු කාව්‍යමය පින්සලකින් චිත්‍ර අඳින ශිල්පියෙක් බවට පත්වන්නේ ඉතාම සීමිත වචන කිහිපයක් භාවිතා කරමින්. පළමු කවියේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවක අවස්ථා සිද්ධියක් වෙනස් වර්ණයකින් සිතුවම් කරනවා. දෙවන කවියේ මිනිස් හුදකලාබවේ තීව්‍රවත්වය සුදු කළු වර්ණයෙන් වර්ණ ගන්නනවා. එහිදී ඔහු භාවිතා කරන සංකේත ප්‍රකාශන ප්‍රබලත්වයක් ඇති කරනවා.
ඔහු ගේ ඇතැම් කෙටි කවි විශාල දේශපාලන අරුතක් දනවන නැවුම් නිර්මාණ. ඒවා ඍජු දේශපාලන සටන් පාට නොවෙන්නටද ඔහු වග බලාගන්නේ කවියේ ඕජෝ ගුණය මතු කරමින්.

මෙහෙකරු අතින්
වීදුරු බඳුන බිම වැටේ
හාම්පුතුගේ කැඩිච්ච සිංහල
කැබලි විසිරේ.
(පිටුව 16)

මේ කවිය තුල ඇති සමාජ පන්තීන් පිළිබඳ ගැටුම කියවාගැනීම අප සියුම්ව මතුකරගත යුතු දෙයක්.
නිදහසේ දුවන සිංහයගෙ
කකුලක් කපනු වෙනුවට
කඩුවක් අතට දෙන එක
මොන තරම් පහසුයි ද?
(පිටුව 17)

නව ලිබරල් දේශපාලනය, තමන්ට එරෙහි ප්‍රතිවිරෝධයන් නිහඬ කරන ආකාරය ශ්‍රී ලාංකික ʺසිංහʺ සංකේතය හරහා කුසල් කියවන ආකාරය අපූරුයි. ලංකා දේශපාලනය පුරා සිටි බොහෝ සිංහ වෙස් ගත්තෝ නිහඬ කළේ මේ ආකාරයෙන් නොවේද?.

දිරපු තැන් හදන්නට
අවසර ලැබේ නගින්නට
ඉඳහිට අයෙකුට
ඉණිමග උඩට.
(පිටුව 19)

පන්ති දේශපාලනයේ දී නිර්ධන පන්තිකයෙකුට තාවකාලිකව ඉහළට නගින්නට අවසර ලැබෙන්නේ ඉහළ පන්තික දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය කඩතොළු පිළිසකර කිරීම සඳහා පමණි.

උගුලේ
තවදුරටත්
චීස් නොතැබීම ගැන
දොස් කියයි
මීයෙක්.
(පිටුව 28)

දේශපාලනයේ දි අපට මී කතුරක වුව චීස් කැබැල්ලක් තැබෙන්නේ නම් ඉදිරි අනතුර වුව අමතකය.
කුසල් ගේ තියුණු ක්ෂුද්‍ර කවි අතර අපූරු දිගු කවි කිහිපයක් ද තිබෙනවා. ඒ අතරින් අපගේ ජීවන අවකාශමය නිදහස කුඩා කොටස් වලට අප නොදැනීම ඛණ්ඩනීකරණය (Fragmentation) වී ඇති සැටි පවසන ʺඅවකාශʺ නිර්මාණය සුවිශේෂයි. ඒ යටින් පවතින දේශපාලනික හේතූන් ද කියවා ගත් විට නිර්මාණයට ලැබෙන ත්‍රිමාණික බව අපූරුය.

මිලාධික ඇඳුම් ඇඟලාගත හැකි
අවම අවකාශය පිටෝං රූම්මෙකකි
බස් එකේ රකුසු ඇස් මැද
පුංචි ලව් කෙළවරකි
සිනමා හලක බොක්ස් එකත්
පුංචි නිදහස් තැනකි
කුලී ගෙදරක බිත්ති අතරෙත්
බුදු කුටියකට, සුරතලෙකුට ඉඩ ඇති තැනකි
උද්‍යානයේ රැකවලුන් නොඑන
සැඟවුණු තැනක් තිබිය හැක
උද්ඝෝෂණයටත් ඒ මදිවට
පොඩි ඉඩකි
ආණ්ඩුව අප වෙනුවෙන්ම අත්හළ.
(පිටුව 40)

ජීවන හුදකලාව, නොසලකා හැරීම, අත්හැරයාම යන අසම්මුතිත කාරණා මානව ජීවිතය මොන තරම් ගැඹුරට ඛාදනය කරන්නේද යන අනුභූතිය රැගත් කුසල් ගේ මේ කව ජීවන රිදුමක් ඇති කරන්නක්.

ලිවීමට කිසිවක් නැතියෙන්
තීන්ත වියළී යයි
පෑනක
කියවීමට කිසිවෙකුත් නැතියෙන්
කාවුන් අකුරින් අකුර සොරකම් කරයි
පොතක
පැමිණීමට කිසිවෙකු නැතියෙන්
ගස්වැල් හැඩි කරයි බිම
උද්‍යානයක
හිඳීමට කිසිවෙකු නැතියෙන්
හුදෙකලාව රජයයි
කලාගාරයක
හැඳිනගැනීමට කිසිවෙකු නැතියෙන්
මතකයෙන් මැකීයයි මිනිසුන්
ඡායාරූපයක
පිපිරවිමට කිසිවක් නැතියෙන්
ලවණ මුසු සුළඟ උරා බි දිරයි යකඩ
කාලතුවක්කුවක
ඇසීමට කිසිවෙකු නැති වුවත්
කුරුල්ලෙක් ගී ගයයි
හිස් මිටියාවතට.
(පිටුව 82, 83)

කුසල් ගේ කවි වල යටින් දිවෙන සියුම් ජීවන ශෝකාලාපයක් ද තිබෙනවා. ඒ මත තැවරී ඇත්තේ නොස්ටැල්ජියානු මතක, ඊයම්බරිත තනිකම, ගණවූ හුදෙකලාව, ළය පෙලන හිස්කම වැනි කාරණා.

ඔබ ගැන සිතීම යනු
දිගු චාරිකාවක්
යළි එන දිනක් කිව නොහැකි
රීවයින් කර කර
චිත්‍රපටියක
ප්‍රේමාලිංගනයක් නරඹන්නා සේ
ගීතයක අන්තරා කොටසක්
යළි යළි අසන්නා සේ

ආදරයේ වියෝව ගැන යළි මෙනෙහි කිරීම යනු සංවේදී මනුස්සයෙකුට විඳින්නට ලැබෙන දරුණුම දඬුවමක්. නමුත් එය මගහැර යා නොහැක්කක්. ඒ ක්‍රියාවලිය කියන්න​ට කුසල් භාවිතා කරන උපමා අලංකාරයන් හරිම නුතනයි. ඒ වගේම නැවුම්.

මම විඳිමි
එබැවින් පවතිමි
ආදරේ අන්තරායකර කොටස
මෙය වෙන්නැති
ආදරය මොන තරම් ආශ්වාදනීය අත්දැකීමක් වුවද, අහිමි වීම යනු අනතුරක්. ඇතැම් විට යළි ප්‍රතිසාධනය (Recover) කළ නොහැක්කක්.
තමන්ට තමන් කියවිය නොහැකි
පොතක් සේ හිඳිමි
තමන්ට තමන් දැකගත නොහැකි
ඇසක් සේ වෙසෙමි
සිසිරයේ ගඟක් සේ මිදෙමි
(පිටුව 146, 147)

කුසල් ගේ කවිකම ඉතා සියුම් එකක්. ඔහු එහි ඇබ්බැහියෙක්. ඒ සියුම් කවිකම ඔහු මුවහත් කරගන්නා ආකාරය ඔහුගේ කාව්‍ය ග්‍රන්ථ තුනම එක පෙළට තබා කියවීමෙන් වටහා ගන්න පුළුවන්. නමුත් ʺකිරුළුකෝලයʺ එහි පරිපාකය යැයි කියන්නට බැහැ. ඒ අන් කිසිවක් නිසා නොවෙයි, කුසල් ට තව යා හැකි දුර ඉමහත් බව පෙනෙන, දැනෙන නිසා.

– කපිල එම්. ගමගේ –

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search