Skip links

කසුකුසුව – මංජුල වෙඩිවර්ධන සමඟ

සල්ලාපයේ අවසන් භාගය වූ ඒ වේලාවේ අප කතා කරමින් සිටි “කවිය” නමැති මාතෘකාවට අදාළ වෙන වැදගත් ම අය, දෙදෙනාට ම ගිඩිගිඩි ගා මතක් වෙමින් තිබිණි. කොහොමත් තමන් ආදරය කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඇති ලස්සන ම සහ හදවතේ බරට ම තැන්පත් වන දෑ ගැන කියන්න ඔහු කොහොමත් ඔහු සුර ය. මීවිතයි,ගීතයයි අතර පා වුණු අපේ කසුකුසුව අප පහු කර ගෙන ගිය ඉසව්වකට නැවත හැරෙව්වෙමි.
“මට ආසාවක් තියෙනවා කවදා හරි මංජුල වෙඩිවර්ධන එක්ක ඉන්ටවිව් එකක් කරන්න.”
“වෙඩ්ඩා එක්ක… එකට නම් පුතා ඔයාට තව ටිකක් මහන්සි වෙන්න වෙනවා.”
ඒ කසුකුසුව එදා අවසන් වුව ද මගේ සිහිනය පුපුරා නොගියේ ය. වාසනවට ද නැත්නම් අවාසනාවට ද කලකට පසුව ඒ මුහුදු හතකින් එහා ඉන්න ඒ කවියාව මට ජී මේලය මඟින් හරහා හමු වෙන්නට හැකි විය. මාස කිහිපයක් පුරා අප දෙදෙනා හා දිගහැරුණු ඒ කසුකුසුවට බොහෝ දෑ මුල් වුණු අතර එය අද නැවති ඇත්තේ “ඒ අහුඹු අතීත හැන්දෑවේ” ය.
…………………………………………………………………..
1.”ඒ අහුඹු අතීත හැන්දෑව”, ඔබේ බත්තලංගුණ්ඩුව සහ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා යන කෘති තරම් නුතන ලාංකීය සාහිත්ය කතිකාවත තුළ කතාබහට ලක් නොවුණේ ඇයි ?
මේ කියන හැන්දෑව, පොත් කියවන අය අතර ඉන්න, සාතිශය බහුතරයක හිත රිද්දන කතාවක්. “ගුරු ගීතය” විසින් ගොඩනැඟුණු මායාව බිඳෙනවට බොහෝ දෙනෙක් අකමැතියි. දුයිෂෙන් ඉන්න තැනක අල්තීනායිට අනන්ය වෙලා ඔහුට මඟහැරුණු ආදරේ පුද කරන්න පේවෙලා ඉන්න ස්ත්රීන්ගේ පවා හිත රිද්දන කෘතියක් මේක. මෙහෙමයි, දුයිෂෙන් වෙන්න හදන්නේ නැති බරපතළ ගුරුවරු තුළ පවා අවිඥානිකව දුයිෂෙන් වැඩ ඉන්නවා. ඔබට ඔය ප්රශ්නය අහන්න සිද්ධ වෙන සන්දර්භය තමයි මේක. අනිත් අතට කතාබහට ලක් වෙන්නේ නෑ කිව්ව ම ඒක ස්වයංසිද්ධ දෙයක් කියලනේ කියවෙන්නේ. එහෙම නෑ. කතාබහ කරන්න ඕනි. කවුරු හරි පටන් ගන්න ඕනි. කොතනින් හරි පටන් ගන්න ඕනි. ඒකයි මේ තාක් බරපතළ විදිහට නොකෙරුණේ. දැන් මේ ඔබ කරන්නෙත් ඒ ගැන කතාබහ කරන්න උත්සාහ කරන එක නේද ?
මෙහෙමයි. අපේ සිංහල සාහිත්ය සමාජය කරගහ ගෙන යන නිර්ණායකයක් තමයි කිසියම් කෘතියක් ගැන කතාබහ කිරීම, ඒ ගැන විචාර විග්රහ කිරීම, සංවාද සල්ලාප කිරීම ඒ කෘතිය ලියාපදිංචි වුණු මොහොතේ සිට එළැඹෙන වසරේ සම්මාන වරදාන ක්රියාවලිය දක්වා සහ ඒ ක්රියාවලියෙන් පස්සේ ඇති වන ඝෝෂාව ඇතුළත සිද්ධ විය යුතුයි කියලා. එහෙම නෑ. මම කෘතියක් ලියා හමාර කරන්නේ හැමදාකට ම. අදාල අවුරුද්දකට නෙමෙයි. සමීක්ෂණ ක්රියාවලිවලින් ඒ දේවල් මඟහැරෙන එක හරි ම දැනුවත් ප්රවේශයක්. නමුත් ඒ දේවල් ගැන කතා කිරීම හිමින් හිමින් උනත් දිගින් දිගට ම සිද්ධ වෙනවා. “බත්තලංගුණ්ඩුව” ගැන තාම කතා වෙනවා. “මගේ ආදරණීය යක්ෂණී” ගැන විටින් විට නැවත නැවත කතා වෙනවා. “යක්ෂණී” කියවන එක අතෑරපු අය ආයේ ධෛර්ය සම්පන්නව ඒක කියවලා ඒ කියවීම සන්තානගත වෙලා ඒ ගැන කතා කරනවා. අලුත් ම පරම්පරාවන් මේ කෘති සීරුවෙන් කියවලා අපේ සාහිත්ය ක්රියාවලිය ආදරය කරන්න පටන් ගනිමින් ඉන්නවා. මේ දේවල් එහෙම සීරුවෙන් උණාවේ. ඇයි හදිස්සිය ?
ඔබ දන්නව ද මගේ පද්ය හා ගද්ය කෘති ගැන විශ්ව විද්යාල නිබන්ධන කීයක් මේ වෙද්දි ලියවෙලා තියෙනව ද කියලා ? මගේ ප්රබන්ධ සාහිත්ය නොතේරෙන අය සහ සවිඥානිකව මඟහරින අය කියන දේ නෙමෙයි, ඒවා තේරුම් ගත්ත අය කියන ලියන දේ දිහා බලන්න. ඒ විචාර විග්රහ ඇතුළේ තියෙන ආදරය තේරුම් ගන්න.
2. ඔබ මේ නවකතාවේ “පළමු ඇඳුරු තුමා” ලෙස හඳුන්වන, අප දුයිෂෙන් නමෙන් දන්න ප්රබන්ධනාත්මක චරිතය සිංහල සාහිත්යය තුළ ජීවත් වන අරවින්ද, සුගත්, පියල් තරම් ම ජනප්රියයි. පාසල් හෝ වේවා ටියුෂන් හෝ වේවා ගුරු වෘත්තියේ යෙදෙන බොහෝ දෙනෙක්ට අප මේ දුයිෂෙන් ලේබලය ගහනවා. ඒත් ඒ දුයිෂෙන්ලා දුයිෂෙන්ලා ම ද ?
දුයිෂෙන් ඇඳුරුතුමා පියල්, අරවින්ද, සුගත් “තරම් ම ජනප්රියයි” කියන එක නෙමෙයි ඇත්ත. කිර්ගීසියානු දුයිෂෙන් තමයි සිංහල කියවන්නන් අතර ජනප්රිය ම. අංක එක දුයිෂෙන්. මම මේ කෘතිය ලිවීම අවසන් කරන වකවානුවේ ඊට සමාන්තරව මං වෙනුවෙන්, මගේ මිත්රවරයෙක් “බුකියේ” සමීක්ෂණයක් කළා. “පොත් කියවන අය” ගෲප් එකේ වැඩිපුර ම පෝස්ට් තියෙන්නේ “ගුරු ගීතය” ගැන. තමන් කැමති ම පොත තෝරන සංවාදවල දී සාතිශය බහුතරය කැමති ම පොත “ගුරු ගීතය”. ගුරු ගීතය සහ ඊළඟට තියෙන කෘතිය අතර තියෙන ගැප් එක හිතා ගන්න බැරි තරම්.
දුයිෂෙන් කියන්නේ ම අයිත්මාතොෆ් හදපු ප්රවනතාත්මක චරිතයක්. ඒ වේලාවේ කිර්ගීසියානු අධ්යාත්මය සමස්ත සෝවියට් දළදඬු ක්රියාවලිය එක්ක ගැට ගහන්නයි ඕනි වුණේ. ආයිත්මාතොෆ්ට දුයිෂෙන්ව හදා ගන්න බලපාපු චරිත ගැන මම මේ කෘතිය ඇතුළේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ චරිතවල ඉරණම දුයිෂෙන්ගේ “ආදරබර ඉරණමට” වඩා දුක්ඛදායකයි.
දුයිෂෙන් අල්තීනායිව කෝච්චියට දාලා කෝච්චිය නික්මෙද්දි ඒ ආදරය ගැන පාඨකයට දැනෙණ දේ වගේ හැඟීමක් නෙමෙයි අයිත්මාතෆ්ගේ ඇත්ත ජීවිතේ තාත්තා දකින අන්තිම මොහොත. ඒ සිද්ධි දෙක සමාන්තරව කියෝගත්ත ම “විතරක්” වුණත් ඔබට පුළුවන් “ගුරු ගීතය” පසුබිමේ තියෙන ඇත්ත වේදනාව තේරුම් ගන්න. නමුත් අයිත්මාතෆ් ඒ සියලු පුද්ගලික හැඟීම් පයින් පාග ගෙන සෝවියට් ක්රමය කිර්ගීසියාව තුළ තහවුරු කර ගන්න ප්රවනතාත්මක සාහිත්ය භාවිතයකයි නිරත වුණේ.
මෙම සෝවියට් ප්රවනතාත්මක ප්රබන්ධ කෘති එක්තරා කාලෙක ලෝකය පුරා වෙනත් භාෂාවලට පෙරළමින් සංසරණය කෙරුණේ ම ඒ භාවිතයේ ම දිගුවක් විදිහට. ඒ මොන කාරණාවක් පසුබිමේ තිබුණත්,
මම නම් පුද්ගලිකව තාම ඒ කෘතිවලට කැමතියි. නමුත් අපි ඒවා කියව ගන්න ඕනි අදාල සන්දර්භයේ තියලා. එහෙම නොවුණ ම තමයි අපේ අයියලා දුයිෂෙන්ලාට, පාවෙල් කොර්චාගින්ලාට, අලෙක්සේයි මරේසියෙෆ්ලට ඇඳ ගෙන පාරවල් දිගේ කරක් ගහන්නේ.
නමුත් ඇත්ත වශයෙන් ම නම් අපි අතර බහුලව ඉන්නේ ගෝර්කිගේ “මගේ ගමන් සඟයා” ඇතුළේ පෙන්නපු ෂක්රො නොහොත් “කුමාරයා” වගේ මිනිස්සු. ඒක තමයි මගේ ජීවන අද්දැකීම.
3. ජ.වි.පෙ. දේශපාලනය අන් දේශපාලන පක්ෂවල ක්රියාත්මක වන දේශපාලනයට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා සේම ඒ වෙනස් මුහුණුවර නිසා ම ඊට යම්කිසි ජනතා ආකර්ෂණයක් ලැබි තිබෙනවා. එසේ ම එහි සමාජිකයනුත් ඒ දේශපාලන ප්රතිපත්ති දිවිහිමියෙන් රකින බවට අපට පෙනෙනවා. නමුත් “මේඝ” නමැති ජ.වි.පෙ. සමාජිකයෙකු වන තරුණ පාසල් ගුරුවරයා අර මුලින් සඳහන් කළ දේශපාලන ප්රතිපත්ති එලෙස ම දිවිහිමියෙන් රකිනවා ද කියලා ” ඒ අහුඹු අතීත හැන්දෑව” කියන ඔබේ නවකතාව තුළින් ඔබ ප්රශ්න කරනවා. ඇයි ඔබ මේ කවුරුත් අත ගහන්නට මැලිකමක් දක්වන ප්රශ්නයක් ගැන පිටු 411ක් ම ලියන්නේ ?
ජ.වි.පෙ. සමාජිකයන් දේශපාලන ප්රතිපත්ති දිවිහිමියෙන් රකින බවට අපට පෙනෙනවා කියලා ඔබ කියනවා. ඔබ කියන “අප” අතර මේ ‘”මම” නම් නෑ. මට අනුව ජ.වි.පෙ. කාඩරය සහ සාමාජිකත්වය මුළුමනින් ම ප්රතිපත්තිගරුකයි කියන්නේ පට්ටපල් මිත්යාවක්. බලන්නකො ජ.වි.පෙ. හිටපු කන්ටේනර් වගේ චරිත කීයක් නම් තියෙනව ද කියලා මජර දේශපාලනය ඇතුළෙ විවිධ මුහුණුවරින් ස්ථානගත වෙලා. මේක ද ප්රතිපත්ති දේශපාලනයේ ප්රතිඵලය ? මේ හැමෝම මේ මජරකම් දාන්න පටන් ගත්තේ පක්ෂෙ ඇතුළේ ඉන්න කොට ම නෙමෙයි ද? ඒගොල්ලෝ ස්වෙච්ඡාවෙන් පක්ෂෙන් අයින් වෙලා හෝ පක්ෂෙන් ඒ අයව නෙරපලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අහෝසි වෙන්නේ නෑ ඒගොල්ලෝ ඔය තියෙනවයි කියන ප්රතිපත්තිවලට වංගු දාන්න පටන් ගත්තේ පක්ෂෙ ඇතුළේ ඉන්න කොටමයි කියන එක.
මම මෑතක එක්තරා දේශපාලන වැඩසටහනක දැක්කා, ඒකට ඇවිත් හිටපු හතර දෙනාගෙන් තුන් දෙනෙක් ම ජනතා විමුක්ති පෙරමුණේ. පවතින ජ.වි.පෙ. නියෝජනය කරපු හඳුන්නෙත්ති ඇරණ ම එතන හිටපු තවත් දෙන්නෙක් ම හිටපු ජ.වි.පෙ. වීරකුමාරයි, ජයන්ත සමරවීරයි… ඉතින් බලන්නකෝ මොන ප්රතිපත්තියක් ද මේ ඉස්සරහට ඇවිත් තියෙන්නේ ?
ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්ත ම, මොනාද ඔය කියන ජ.වි.පෙ. ප්රතිපත්ති ? සමකාලීන යුගයේ ලංකාවේ දේශපාලනය ඇතුළේ තිබුණු ගැඹුරු ම ලිට්මස් පරීක්ෂාව තමයි යුද්ධයේ අවසාන අදියර. මේ රටේ ම මිනිස්සු තොගයක්, කන්නවත් නොදී, බෙහෙත් පෙත්තක්වක් නොදී, පටු කලපු තීරෙකට කොටු කර ගෙන, අහසින්, මුහුදින් සහ ගොඩබිමින් තුන් පැත්තකින් ම ගහලා, මරලා, කඳු ගහද්දි ඒකට හුරේ දාපු මිනිස්සුන්ට තියෙන්නේ මොන ප්රතිපත්තියක් ද? ජ.වි.පෙ. තාම මහත් ගර්වයෙන් යුද්ධය අවසන් කිරීමට දායක වීමේ තමන්ගේ පංගුව ගැන උදම් අනනවා. “ජන බලවේගය” රැලිවල පවා ජ.වි.පෙ. නායකයෝ මහත් උද්වේගයෙන් මේ අයිතිය ගැන කතා කරනවා. ප්රතිපත්ති කියන්නේ මේවට ද ? ලක්ෂයකට ආසන්න ජනතාවක් මරා දාන්න ආණ්ඩුවත් එක්ක, හමුදාවත් එක්ක එකට ලැග්ග පක්ෂෙකට ඒ ජීවිත ලක්ෂයට හිලව් වෙන්න ලෙළවන්න පුළුවන් මොන ප්රතිපත්ති ද? මේ කියන දේ පෙරටුගාමී සමාජවාදීන්ටත් අදාළයි. ජීවිතේ බේර ගන්න, බෙහෙතක්හේතක් ගන්න කොළඹ ආව මිනිස්සු ඉන්න ලොජ්වලටත් ඔත්තුකාරයෝ දාපු පක්ෂයකට තියෙන ප්රතිපත්තිය මොකද්ද කියලා කරුණාකරලා මට පහදන්න පුළුවන් ද?
4. ඔබ මේ නවකතාව තුළ “මනස්” නමැති කිරිගිස්තානු මහා කාව්ය ගැන, චිංගිස් අයිත්මාතව් ගැන, සෙම්යොන් චුයිකොෆ් ගැන, ගුරු ගීතය කෙටි නවකතාව සහ ඒ ඇසුරින් නිර්මාණය වුණු චිත්රපටය ගැන සවිස්තරාත්මක විග්රහයක නියැළෙනවා. මේ කෘතිය විමර්ශනශීලී ලෙස කියවන පාඨකයෙක්ට තේරෙනවා මෙහි අන්තර්ගත තොරතුරු සහ අදහස් කතුවරයාගේ හිසට ඉබේ වැටි නැති බව. මගේ ප්රශ්නය මේකයි. යම්කිසි නවකතාවක් නිර්මාණය කීරිම කෙරෙහි කතුවරයෙකු ඉතා පුළුල් පර්යේෂණයක නියැළිය යුතු බව ඔබ හිතන්නේ ඇයි ?
නවකතාව කියන සාහිත්ය ප්රවර්ගයේ උපන් ගෙයි ම තියෙන්නේ කැරැලිකාරීත්වයක්. නවකතාව විකාශය වෙන්නේ ම ඒ තුළ ම ගහන කැරැල්ලක් ඇතුළේ. නවකතාවක් කියන්නේ පොදුවේ සියලු නවකතාවලින් වගේ ම ඒ නවකතාව ලියන නවකතාකරුවගේ සෙසු නවකතාවලින් වෙනස් වුණු ව්යුහමය, සංරචනමය ක්රියාවලියකට. ඒ නිශ්චිත නවකතාව නවකතාවක් දැයි නිර්වචන සහ නිර්ණායක සපයන්නේ ඒ නවකතාවමයි.
මේ සියල්ල අස්සේ ඓතිහාසිකව, දේශපාලනිකව හා සමාජීයව ස්ථානගත කිරීම ලිහා බැලිය හැකි කරුණු, අනුකරුණු ඒ තුළ ඓන්ද්රීයයි. ඒ කියන්නේ මේකයි. ආදර කතාවක වුණත් ඒ පසුබිමේ දිවෙන ඩීටේල්මය කරුණුවල ඒ ආදරය පසුබිමේ ඇති ඓතිහාසික, සමාජ-දේශපාලනය නිරූපණය වෙනවා. ලෙනින්, ටොල්ස්ටෝයිගේ සාහිත්ය ගැන කරන විග්රහය ඇතුළේ පෙන්වන “කැඩපත”’ මේකයි. මේ ප්රවාදය සකල බරපතළ නවකතාවන්ට අදාළයි. ගම්පෙරළියේ සිට නිම්නාගේ ඉතිහාසය දක්වා වන නවකතා ගත්ත ම මේක තමයි තියෙන දේ. මගේ නවකතා කෘති හතර ම ගත්තත් ඒකේ පෙරබිමේ තියෙන්නේ ආදරය. නමුත් පසුබිමේ තියෙනවා ඒ ආදරයන් ගලා යන “නිශ්චිත” මොහොතේ ඓතිහාසික, සමාජ – දේශපාලනික ස්වභාවය.
මෙන්න මේ සමස්තයේ ඒකාබද්ධතාව වෙනුවෙන් තමයි සීරියස් ලෙස ලියන හැම කෙනා ම පුළුල් පර්යේෂණයක් කරන්නේ. ඔබ මේ සංවාදයට ප්රස්තුත කර ගන්න නවකතාවේ ඓතිහාසික සමාජ චලනයන් දෙකක් තියෙනවා. එකක් “දුයිෂෙන්” චරිතය ස්ථානගත වුණු රුසියානු – කිර්ගීසියානු සමාජ චලනය. අනික් “මේඝ” ස්ථානගත වුණු මේ සහස්රයේ මූලාරාම්භක අවධියේ ලංකාවේ සමාජ-දේශපාලන චලනය.
මේ දේවල් ආකස්මික නෑ. ඒවා හදාරන්න ඕනි. විශ්ලේෂණය කර ගන්න ඕනි. මෙකී සමස්තය ඇතුළේ ජීවත් වෙන්න ඕනි. එහෙම වෙන්න පුළුවන් පුළුල් පර්යේෂණ ක්රියාවලියක් ඇතුළේ විතරයි.
5. ඔබ මේ “ඒ අහුඹු අතීත හැන්දෑව” නමැති නවකතාව කෘති ද්විත්වයක් විශයෙන් මුද්රණය කරනවා. එක් කෘතියක පරිච්ඡේද 10ක් වගේ ම අනෙක් කෘතියේ පර්ච්ඡේද 127ක් තිබෙනවා. නමුත් මේ පරිච්ඡේද 10ක් තිබෙන කෘතිය තුළ වෙනත් සිංහල නවකතාවක දක්නට නොලැබෙන විශේෂ ලේඛණ ශෛලියක් දක්නට ලැබෙනවා. ඇයි ඔබ මෙවන් පර්යේෂණාත්මක ලේඛණ ශෛලියක් යොදා ගත්තේ ?
ඇයි එහෙම කළේ කියන එකට උත්තරයක් නැහැ. මම එහෙම තමයි කෙරුවේ. සාහිත්ය කියන්නේ භාෂාවට නෙමෙයි. මේ මගේ ලිවීමේ තාක්ෂණවේදය. නවකතාවක් කොටස්වලට බෙදීම, පරිච්ඡේදවලට බෙදීම සිද්ධ වෙන්නේ කතුවරයාගේ අභිමතය අනුවයි කියන එක තහවුරු කරන්න මට ඕනි වුණා. මං ඒක කළා. “ඒ අහඹු අතීත හැන්දෑව” කෘතියේ පරිච්ඡේද කීයක් තියෙනව ද කියලා ඇහුවොත් එක පොතක් කියවපු කෙනෙක් කියයි 10යි කියලා. අනිත් පොත කියවපු කෙනා කියයි 10යි නෙමෙයි, 127යි කියලා. මට ඕනි නම් තිබුණා පරිච්ඡේද 10ක් තියෙන පොත විතරක් පළ කරන්න. නමුත් ඒක ඇතුළේ සංසිද්ධි කැලැත්තෙන විදිහ තරමක් සංකීර්ණයි. ඒ සංකීර්ණකමින් “මගේ අම්මා බඳු” කියවන්නන් මුදවන්න තමයි අනිත් පොත එන්නේ. මේ දෙක බෙදා වෙන් කර පෙන්වීම හරියට සිද්ධ නොවෙන්න ඇති. ඒක සිද්ධ නොවුණේ කොහොමද කියන එක වෙන ම සාකච්ඡාවක්.
6. ගද්යමය භාෂා ශෛලියකින් ඔබ මේ නවකතාව රචනා කළ ද එයට පද්යමය භාෂා ශෛලියත් මුසු කරනවා. සරලව කිව්වොත් කාව්යාත්මක ස්වභාවයක් මේ නවකතාව කියවන පාඨකයාට ජනිත වෙනවා. මෙය ඔබ හිතාමතා ම භාෂාව සමඟ කෙරු හරඹ කිරිල්ලක් ද ? නැත්නම් එය නිරායාසයෙන් සිදු වුණ දෙයක් ද ?
ලිවීමේ දී නිරායාසයෙන් දේවල් සිද්ධ වෙනවා කියන දේ මම විශ්වාස කරන්නේ නෑ. කවි ලියන්න බෑ ලිය වෙන්න ඕනි කියන දේ මම විශ්වාස කරන්නේ නෑ.
මේ මම ලියන ශෛලිය. “බත්තලංගුණ්ඩුවේ” සිට “පැරිස් වලාකුළු” දක්වා මෙන් ම “මේරි නම් වූ මරියා” සිට “දුස්ටකමේ සවුන්දර්ය” දක්වා වන මගේ ගද්ය ක්රියාවලිය ඇතුළේ හරි ම සවිඥානිකයි. මට, මම ලියන හැම වාක්යයක් ම “හරි ම” වැදගත්. ඒ හැම වාක්යකට ම මම මට හැකි උපරිම ශ්රමය දානවා. ලිය වෙන්න දෙන්නෑ, මම ලියනවා. කවිය තමයි හැම දා ම මගේ මුඛ්ය ආත්ම ප්රකාශන මාධ්යය. ගද්ය ලේඛණයේ වුණත් මේ ලක්ෂණ පැවතීම මගේ දැනුවත් ප්රවේශයක්. සරල විදිහට ගද්ය කියවන්න හුරු වුණු කියවන්නන්ට මේ භාෂා ස්වරූපය තරමක් පීඩාකාරී වෙලා තියෙන බව ඇතැම් සාහිත්ය කෑකෝ ගැසීම්වලින් පෙනවා. නමුත් කියවීමේ පරිචයක් ඇති, එමෙන් ම පද්ය විඳ ගැනීමේ හික්මීමක් ඇති අයට “මගේ ආදරණීය යක්ෂණී” තුළ පවා අතිශය ගැඹුරු වින්දනයට අවකාශ තියෙන බව මේ කෑකෝ ගැසීම් වලට එදිරිව “යක්ෂණී” වෙනුවෙන් නිර්භයව හිට ගන්නා ආදරණීය ගැහැනු සහ මිනිස්සු තුළින් මට පෙනවා. මං ලියන්න මේ තරම් ශ්රමයක් දාන්නේ, කියවන්න ශ්රමයක් දාන්න සුදානම් සහෘදයන්ට.
7. මේ නවකතාවේ නම “ඒ අහුඹු අතීත හැන්දෑව”. නමුත් මේ ඇසුරෙන් නිමැවුණු ටෙලි පිටපත ” ඇහිපිල්ලමක් යට”. මේ ආකාරයෙන් වෙනස් නම් ද්විත්වයක් ඔබ භාවිතා කළේ ඇයි ?
පළවැනි දේ තමයි මට ඕනි වුණා මේක ඒ ටෙලි කාව්ය නෙමෙයි කියලා කියන්න. මේක නවකතාව. මම පුද්ගලිකව කැමති නම “ඇහැපිල්ලමක් යට”.
මුලදී මේ නමින් මගේ සටහන් අතර තිබුණේ නවකතාවක් විතරයි. මං කියන්නේ මේ අවුරුදු පහළොවක් විතර ඈතක් ගැන. ඔය අතරෙ තමයි ප්රදීප් මගෙන් ටෙලි තිර නාටකයක් ඉල්ලුවේ. මම නවකතාවක් සඳහා පෙළ ගස්වමින් හිටපු සියල්ල, තිර නාටකයක් විදිහට ගොනු කරලා ඔහුට භාර දුන්නා. ඔහු ඒ තිර නාටකයට හැකි උපරිම නිර්මාණාත්මක ශ්රමය යොදවලා, එය ප්රේක්ෂක ප්රජාව සදාතනිකව ආදරය කරන නිර්මාණයක් බවට පත් කෙරුවා. ඔහු හදපු රූපරාමු මට නම් අතිශය රමණීයයි. ඒ නිර්මාණයට ශ්රමය යෙදෙව්ව හැමෝම හරි ම ආදරයකින් ඒ වැඩේ කෙරුවේ. මට කියන්න ඕනි මේකයි. ඒ රමණීය නිර්මාණය සහ නවකතාව කියන්නේ එකක් නෙමෙයි දෙකක් කියන්න මට ඕනි කළා. ඒ උවමනාව නිසා මං ප්රේම කරපු ඒ “ඇහැපිල්ලමක් යට” කියන නාමකරණය මම ටෙලියට ම පරිත්යාග කළා. ටෙලියේ නම කියවෙද්දී ඒ ගෞරවය යන්න ඕනි මට නෙමෙයි, ප්රදීප් ධර්මදාසට. ඔහු තමයි ඒ ක්රියාවලියේ ප්රයුංජකයා. “ඇහිපිල්ලමක් යට” ඔහුගේ. “ඒ අහඹු අතීත හැන්දෑව’” මගේ.
8. අයිසින් දේශපාලන චරිතවලට රැවටෙන, රැවටී අසරණ වෙන බචි,නීලා,අමලිලා ගැන කෙතරම් කතා කෙරුවත් ඵලක් නොවෙන්නේ ඇයි ?
ඒ චරිත අයිසින් චරිත කියලා සැහැල්ලුවට ලක් කරන්න අපිට බැහැ. ඒවා සංකීර්ණ චරිත. ඒගොල්ලෝ දුයිෂෙන්ගේ චරිතයට අනන්ය වෙන්න හදන්නේ ඇත්ත වශයෙන්මයි. ඒ ප්රවේශයන්ගේ වංකභාවයක් මං දකින්නේ නැහැ. නමුත් එබඳු පරමාදර්ශ උසුලා දරා ගන්න පුළුවන් සන්දර්භෙක නෙමෙයි ඒ අය දේශපාලනික වශයෙන් වැඩිවියට පත් වෙලා තියෙන්නේ. සමාජීය වශයෙන් වැඩිවියට පත් වෙලා තියෙන්නේ. කැතකම්, කුහකම්, මජරකම් තමන් තුළ වරනඟනවා. එ්වා බටර් කේක් එකක් අයිසින් කරනවා වගේ සරලව කරන්න බෑ.
9. ඔබ විශ්වාස කරනවා ද අයිත්මාතව් ප්රබන්ධනාත්මකව මැවු දුන්ෂෙයින් කෙනෙක් සැබෑ ලෙස ම මේ මහ පොළොවේ බිහි වෙයි කියලා ? එහෙම බිහි වෙනවා නම් මේ පොළොව කෙලෙසක ද දේශපාලනිකව සැකසිය යුත්තේ ?
මම එහෙම විශ්වාස කරන්නේ ඇයි? මොකටද? මම පරමාදර්ශ නියෝජනය කරන්නෙක් නෙමෙයි. මම සදාචාරය නියෝජනය කරන්නෙක් නෙමෙයි. මම සදාචාර විනිශ්චය කරන්නෙක් නෙමෙයි. මම සාහිත්යකාරයෙක්. දුයිෂෙන්ලා හදා ගන්නේ කොහොමද කියලා අහන්න ඕනි මිනිස්සු සහෝදර පීඩිත ප්රජාව ලක්ෂයක් මරා දාන්න ඍජුවම දායක වුණු බවට උදම් අනන අතරේ ම අපි සදාචාර ව්යාපාරයක් කියලා අතිශය ගර්වයකින් ප්රකාශ කරන මිනිස්සුන්ගෙන්.
…………………………………………………………………..
විවිධ කලා ක්ෂේත්රයන් නියෝජනය කරමින් නිර්මාණකරණයේ නියැළෙන කලාකරුවන් පහළොස් දෙනෙකු සමඟ වසරක් පුරා මා සිදු කළ “කසුකුසුව” කතාබහ මාලාව අදින් අවසන් වේ. රාජ්ය විශ්වවිද්යාලයක ජනමාධ්ය විශේෂවේදී උපාධියක් හදාරන අතරතුර ඒ හා සම්බන්ධ කෙරු බාහිර කටයුත්තක් ලෙස මෙය කර ගෙන යාමේ දී බොහෝ දෙනෙක් මට සහය විය. විශේෂයෙන් එහි දී මගේ අධ්යන කටයුතුවලට නිබඳ සහය දෙන ශ්රී පාලි මණ්ඩපයේ සිව්වසරක සහෝදර විද්යාර්ථින්, ජනමාධ්ය අංශයේ ආචාර්ය මණ්ඩලය සහ මගේ පවුලේ ආදරණීයන් මෙහි දී මතක් කළ යුතු ම ය. මේ පිරිසත් සමඟ විශේෂයෙන් ම ස්තූතිපුර්වකව මතක් කළ යුතු පිරිසක් ද සිටි. ඒ මා සමඟ කසුකුසුවට සහභාගී වූ නිර්මාණකරුවන් පහළොස් දෙනා ය. මේ කාර්යය තුළ දී සැලකිය යුතු මට්ටමේ ගැටලුවක් ඇති නොවීමට ඔවුන් ලබා දුන් සහයෝගය අතිමහත් ය. එසේ ම හිතමිතුර මාර්ක්, කසුකුසුව පළ කරන්න මට අවකාශයක් තනා දුන්නාට ඔබට ද බෙහෙවින් ම ස්තූති.
අවසන මා ස්තුතිවන්ත විය යුත්තේ වසරක් පුරා කසුකුසුව කියැවු, අදහස් දැක්වු හා ඒ හා බැඳුණු ඔබට ය. ඔබ නැතුව මේ කසුකුසුව කෙසේ නම් සම්පුර්ණ වන්න ද ?
– අයන්ත යුනේෂ් රනාන්දු

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search