අප’ඳුරු නවාතැන් පසුකළ යුතුය.. | නදුන් යසිත දසනායක
ආදරේ නිම්නයක සෝ හඬින් ගැයෙන
මාත්රා මත වැතිර සුසුම්ලන සුළඟ
හී සරක් සේ වැදී නගන වැලපුම
වැදි රජෙකු සේ නැගී බිඳියි හද ගෙල…
නිම්නාවාට පිරි උල්කාශ්මික
ගනාන්දකාරයට හැරුණු පෙම් ස්වර
ආනන්දනීය නොව ශෝකාන්තික
ගිලිහීම ගැන කියන විසලාවාට
අප ගැනම නොවේ මේ පවසන්නෙ අරුත
විසල් ලෝකයක මහ ගිළිහුමක පවස
මීවනින් වැසී ගිය විසල් සෙල් යට
දියසෙවල ලිස්සන ගැඹුරු මහ හෙල
ගුහාගත ආත්මෙක වවුල් තටු දුගඳ
සදාකාලික අඳුරු ඇස බැඳෙන දැළ
ඔබ නොමැති ලොව වටා සැරිසරන නමුදු
අප අවට මල් පිපී මැරී යනු නොවෙද?
දහසකින් සොයාගත නොහැකි බව දැනෙන
නමුදු ඒ ආත්මයෙ හැව ඉරනු මිස
ඉරීගිය තැනින් යළි ඇදී යනු මිස?
ගිලිහීම ගැන කියන වදන’ඹර බිඳෙන
ලෝකාන්තික දූපතේ කුඩා තැනෙක
ශෝකාන්තික බවින් තැනුණු පිලිමයක
හිස බිඳී පාව යන රුවන් මළකුණ
දෙස බලා හිඳින යම් කුරුල්ලෙකු ඇත
ඒ මගේ ආත්මයෙ යම් තැනක හිඳ
කූඩුවක් තනාගත් කුරුල්ලෙක් වෙද?
නොම දනිමි නොම දනිමි ඒ කුඩා රුව
අතහරිමි අතහරිමි ලෝකාන්තෙට…
වෙන්ව යෑමක අරුත සෙවිය යුතු අහස
තාරුකාවකට සමු දීම මිස නැවත
වැටුණු තැන් බල බලා සුසුම්ලනු නොමැත
දිලිසීම ආත්මය විදාරණු මිස…
සිවුවණක් දුක් ලකුණු සෙමෙන් මගහැර
පස්වණක් තාරුකා සුපායනු නොවෙද
රන්වණින් ඉර සොයන ඉර්තු නැති වුව
අප’ඳුරු නවාතැන් පසු කළ යුතුද…?
– නදුන් යසිත දසනායක