අද්භූත වූ මරණයේ දේශය -ඔකිගහරා
නවීන විද්‍යාව කෙතෙක් දියුණු වුවද , නවීන විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් හෙළි නොවන රහස් ලෝකයේ අනන්තවත් පවතී.ජපානයේ ඔකිගහරා වනාන්තරයද තවත් එවැනි ස්ථානයකි.
මෙහි ප්‍රධාන චරිත වන්නේ සෙලිනා, තිසල් රිශාරයි. මොවුන් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ජපානයට යන අතර සෙලිනා තරමක ගුප්ත ස්වභාවයකින් යුතු තරුණියකි.නිතරම කල්පනාබරව සිටින ඇය ඔකිගහරා වනය පිලිබඳ දක්වන්නේ අසීමිත කුතුහලයකි. එය අනික් මිතුරන්ට ගැටළුවක් වුනත් ඔවුන් මිතුරන්ව එකිනෙකාට සවියක් වේ.
විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ක්‍රියාකාරකම සඳහා ඔකිගහරා වනය පිළිබඳව චිත්‍රපටයක් සෑදීමට මොවුන් තීරණය කරන අතර මොවුන් ඒ සඳහා පිටත් වන්නේ දහසක් බලාපොරොත්තු හිතේ දල්වාගෙනය.
මෙම ගමනේදී සිදුවන විශේෂම සිදුවීම වන්නේ වනාන්තරයේදී ඔවුන්ට හම්බුවන නිසලිගේ දින පොතයි. එය සෙලිනා රැගෙන එන අතර එය කියවීමට ඇරඹි දින පටන් ඇය මුහුණ දෙන මානසික ඝට්ටනයන් අපුරු ලෙස ලේඛිකාව විසින් පාඨක මනසට යොමු කොට ඇත.
ඇය මනෝ විකාර ලෙස දකින දේ සත්‍ය ජිවිතයට ග්‍රහණය කර කතා රසය මැවීමට ලේඛිකාව ගත් උත්සාහය සාර්ථකය. වනය පිලිබඳ මනා ගවේෂණයකින් යුතුව මෙම කෘතිය රචනා කර ඇති අතර පාඨක සිතේ චිත්ත රුප මවමින් එහි භයංකරත්වය ,ත්‍රාසය ග්‍රහණය කරමින් කෘතිය රචනා කර ඇත.
නිසලිගේ සිතේ ඇති දුර්වල භාවය නිසාවෙන්ම මිත්‍යා විශ්වාස කෙරෙහි වූ නැඹුරුව වැඩිවීම සිදුවන්නට ඇති ප්‍රතිශතය වැඩිය. ඒ සමගම පෙම්වතාගෙන් වෙන්වීම , නොදන්නා දේශයක හුදකලා වීමට සිදුවීම වැනි කරුණු ඇයව තව තවත් දුර්වලවීමට හේතු පාදක විය හැකිය.
ප්‍රේමය සහ විරහව එක්තැන්වූ තැන මිනිස් චෛතසිකයන්ගේ ඇති වන ඝට්ටනයන් පිළිබඳව අගනා විග්‍රහයක් මේ ඔස්සේ විඳිය හැකිය.
තිසල් ගේ සිතේ නිසලි පිලිබඳ ඇතිවන මතකාවර්ජනයන් කතාව අතරතුර දි අපිට දැකිය හැකිය.
සමහර දුෂ්කර අවස්තාවන් වලදී අකමැත්තෙන් වුවත්, බැඳීම් වලට අපි සිනහවෙන් සමුදුන්නත් ඒ මතකයන් කරපින්නාගෙන එක් අප සදාකාලික රෝගියකු වීමේ සම්භාවිතාවක්ද ඇත. එය දෙදෙනාගෙන් එක් අයකුට සිදුවන විසල් අසාධාරණයකි. මන්ද විඳවන්නෙ එක් අයකු පමණක් වෙන හෙයිනි.
ඔකිගහරාව ගස් මුහුද ලෙසද හඳුන්වන අතර ජපානයේ ෆූජී කන්ද පාමුල පිහිටා ඇති විවිධ මිත්‍යාවන් සහ ජනප්‍රවාද සමග සම්බන්ධ වූ වනාන්තරයකි. මරණයේ වනාන්තරය ලෙස නම් වුන ඔකිගහරාව ආත්මයට සාමයක් නොලද මළවුන්ගේ ආත්මයන්ට අධිපති දේවතාවිය වූ යුරීගේ නිවහන ලෙසද හැඳින්වේ.
මෙම වනයට පැමිණෙන අමුත්තන් දුක්ඛිත සහ මානසික අවපීඩනයන්ට යුරී දෙවඟන විසින් ඇද දමා සියදිවි නසා ගැනීමට පොළඹවන බව එක් විශ්වාසයකි. මන්ද ඇය ඔකිගහරාවට අධිපති ආරක්ෂකයා වන බැවිනි.
වනයට ඇතුල් වූ පසු ජංගම දුරකතන, ඔරලෝසු වල ක්‍රියාකාරීත්වය නැතිවන බව කියයි.එයට හේතුව වන්නෙ වනාන්තරය සැදී ඇති ලාවා පාෂාණයට ප්‍රබල චුම්භක බලයක් ඇති අතර යකඩ ප්‍රමාණයෙන් සහ එක් එක් ස්ථාන අබුව ශක්තිය වෙනස් වේ.
පොසිකා විසින් සමුරායිවරුන්ගේ චාරිත්‍ර විධි පිලිබඳ සඳහන් කර ඇති කොටස් විස්තරාත්මකය.පොත කියවීමට මනා පෙළඹීමක් ඇති කරයි.
මිනිස් චෛතිසකයේ ඇතිවන ඝට්ටනයන් මෙන්ම අඳුරු සිතුවිලි මැනවින් මේ ඔස්සේ පිළිඹිබු වේ.වනාන්තරයේ ඉතිහාසය අනුව,මෙම නවකතාව ජීවිතය, මරණය සහ මිනිස් හැඟීම් කෙරෙහි ස්වභාවධර්මය බලපාන අකාරය පිළිබඳ දාර්ශනික, ආඛ්‍යානයක් ඉදිරිපත් කරන බව අනුමාන කළ හැකිය.
ජීවිතය, මරණය සහ මනසෙහි අඳුරුතම අවපාතවල පැටලී ඇති මොවුන්ගේ ජිවිත ගැන රුපකයක් ලෙස ඔකිගහරා වනය පෙන්වා දී ඇත.
එලෙසම ජපානයේ පාරම්පරිකව පැවත එන අභිචාර ක්‍රම මිත්‍යාවන් සේම ජනප්‍රවාද ද පාඨක සිතේ කුතුහලය වැඩිවන ලෙස තව තවත් සෙවීමේ පිපාසාව ඇතිවන ලෙස පන්හිදට නංවා ඇති ආකාරය අගනේය.
මෙම නවකතාව ස්වභාවධර්මයේ සන්සුන් සුන්දරත්වය මිනිස් ආත්මය තුළ ඇති වියවුල් සමඟ සමපාත කරමින් එහි චරිතවල අභ්‍යන්තරයේ ඇතිවන ගැටුම් වල පාඨකයන් ගිල්වනු ඇත.
අත්භූත බියකරු දේ පසුපස අනවශ්‍ය ලෙස හඹා යාම නිසා ඇතිවන ගැටළු මිනිස් ජිවිත වලට අන්තරායකාරී ලෙස බලපාන අකාරය මෙහි මැනවින් විග්රහයට බඳුන් කර ඇත.
ඔකිගහරා වානාන්තරය නිශ්ශබ්දව නිරීක්ෂකයෙකු ලෙස ක්‍රියා කරයි. හුදකලාව සහ බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් වැඩි කරයි, විටෙක අඳුරු සෙවණැලි අතරින් බලාපොරොත්තුවේ රිදී එලි දල්වයි.
නිලක්ෂි බණ්ඩාර