වෙරළ කොනක දී ඇහිඳ ගත් දිනපොතක පිටුවක්
හිරු සඳුත් හමුවෙන්නැතේ
එක ම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිම ද අප
දිනක් එයි අප හමුවනා
බැලූ බැල්මට කිසිදු මතභේදයක් නැත. එක ම අහසේ පායන හිරු සඳු පවා හමු නො වන සොබාදහම් නීති රාමුව තුළ අප හමු නො වීම අරුමයක් නොවේ. නමුදු ගේය පදකරු අප සාතිශය මුලාවක හෙළා ඇත්තේ අවසන් පදය තුළ ය. ‘දිනක් එයි අප හමු වනා!’… හිරු සඳු කිසි දාක හමු වේ ද? කිසිවිටක නැත. හමු වන දිනක් වන්නේ ද ඒ සෞරග්‍රහ මණ්ඩලය ම විනාශයට පත් වන දිනය ය. සූර්යයා සඳු හමු වන දින ඛේදයකි. දුක්ඛාන්තයකි. එවිට ‘අප හමු වන දිනය!’… එය කුමක් ද? ගේය පදකරු හීන් සීරුවේ අවිහිංසක බොළඳ ප්‍රේම කට්ටල වෙත මහ දවල් හිම කිරම බැගින් බෙදා දෙයි. ඒ අතර ම මන්දස්මිතකින් ‘ඉතින් දුක් වෙන්නෙ කිම ද ඔබ – දිනක් එයි ඇය/ ඔහු හමු වෙනා’ කියා මුමුණයි. ඔය අන්තර්වාරයේ මඳක් බුද්ධිවෘද්ධ සත්‍ය ප්‍රේම භෘංග රාජයෙකු නැඟී සිට ගේය පදකරුගෙන් ඍජු ව විමසන්නේ ඊට හේතුවයි. ඒ වනවිටත් සත්‍ය වටහාගෙන සිටින ගේය පදකරු ශාන්ත දාන්ත ව මෙසේ කියයි. “හිරු ද සඳු ද එක ම අහසක පෑයුව ද හමු නො වන්නා සේ… ඔබ දෙදෙනා ද හමු වනු ඇත”… එකෙණෙහි ම ගේය පදකරුගේ ව්‍යංගාර්ථය අවබෝධ කර ගත් බුද්ධිවෘද්ධ සත්‍ය ප්‍රේම භෘංග රාජයා අඳුරු මුහුණින් යුතු ව නිහඬ වෙයි.
“බලන්න, කෙතරම් අපූරු වදන් පෙළක් ද? කෙතරම් අරුත් පෑහේ ද?” ඔහුට පසෙකින් යුවතියක් මුමුණනු ඇසිණ. ඔහු ඇයට ඇසෙන නොයැසෙන හඬින් මෙසේ කීවේ ය.
“මෝඩ ගැහෙන්නිය!”
එය ඔහු අසලට ම වී සිටි ගේය පදකරුට ඇසුණු බැවි ඔහු දැන සිටියේ නැත. “මිත්‍රයා, මේ මොහොත විඳින්න. සියල්ල ම සම්මුතියක්, මවා පෑමක් වන විශ්ව ධර්මතාවක් තුළ ආදරයේ නිරපේක්ෂ්යත්වය සෙවීම නිශ්ඵල ය. සියල්ල ශුන්‍ය ය. බුද්ධිවෘද්ධ ඔබ ඉතා ඉක්මනින් එය වටහා ගනු ඇතැයි මම සිතමි.” යනුවෙන් පවසා ගේය පදකරු රූප රාමුවෙන් බොඳ ව ගියේ ය.
“මගේ කවියක පද ගයා – දෑස් දෙකොනේ තෙත තියා” ඈ තව ම නිදි වරාගෙන ඇති… මාත් ඈ ළඟ නැති නිසා… බුද්ධිවෘද්ධ සත්‍ය ප්‍රේම භෘංග රාජයා අවසන් දෙපදය මධ්‍යම පුරුෂයේ සිට ප්‍රථම පුරුෂයට විකරණය කළේ ය. පසුපස සාක්කුවේ තිබූ අතිශය පැරණි පසුම්බිය පිටතට ඇද්දේ ය. සුපුරුදු පිරිමි පසුම්බියකි. කොළ කැබලිවලින් ගහණ ය. මුදල් රහිත ය. ඔහු සිටියේ තනිකඩ ව ය. එ නිසා ගේය පදකරුගේ හිම කිරම තිළිණ ඔහුට ලැබුණේ නැත. “හ්ම්… අදත් පයින් බම්බලපිටියට…” ඔහු මිමිණුවේ ය. “මේ මොහොත විඳින්න. සියල්ල ම සම්මුතියක්, මවා පෑමක් වන විශ්ව ධර්මතාවක් තුළ ආදරයේ නිරපේක්ෂ්යත්වය සෙවීම නිශ්ඵල ය.” ගේය පදකරුගේ වදන් ඔහුගේ හිස් කුහරයේ දෝංකාර දුන්නේ ය. “ඔව්… මේ මොහොත විඳිය යුතු ය. බම්බලපිටිය තෙක් විහිදී ඇති මාර්ගය පඬු පැහැ වීදි ලාම්පු එළියෙන් කේතුමතියක් මවන්නේ ය. බාල ගණයේ ඉන්දියන් චැසි දරන කටෝර ශබ්ද නඟන වාහන පොකුරු වෙනුවට ඔක්ටේන් අනූ පහ ඉන්ධන සුසුවඳ විහිදුවන, කාපට් ඇතිරූ සුමට මහා මාර්ගයට ද නොරිද්දා, හඬකුත් නො නඟා ඉඳහිට ඇඳෙන කඩවසම් අයෝමය රාජකීයයන් නිසා පදික වේදිකාව මතින් ඉඳහිට හමා යන සුළඟ ඔහුට මිහිපිට සුරපුරයකි.
වරෙක විශ්වවිද්‍යාලයේ ප්‍රතිනිර්මාණය කළ සිංහරාජ ආදර්ශයේ දී මුවාවරණය පහත හෙළූ මොහොතක මුළු ගත ම කුල්මත් කළ වායුසමන යන්ත්‍ර අපදානයේත් අලුත කැපූ මහා වෘක්ෂ කඳන්වල සුවඳෙත් අනගි සුවඳ මුසුව ඔහුට සිහි විය. බොහෝ හුදෙකලා තැන්හි ඔහු මුමුණන්නේ අමරණීය කපුගේ සූරීන්ගේ ගීත ය. නමුදු අද එසේ කළ නො හැකි ය. අඩ හෝරාවකට පෙරාතුව ඔහු ව පරසක්වළ ගොස් අතරමං කළ, ජීවිතයේ එතෙක් මෙතෙක් ඇසූ බරපතළ ම දාර්ශනික චින්තාවට මූල බීජය වූ ගේය පද එහි නිමැවුම්කරුගේ හඬ සමඟින් හිස තුළ බමන්නේ ය. ඉදින් ඔහු ඒ ගීය නො ගයා වෙන කුමක් ගයන්න ද?
බම්බලපිටිය මුහුදු තීරය ඔහුගේ ආධ්‍යාත්මික නවාතැන්පොළ විය. ජීවිතයේ එතෙක් මෙතෙක් සිදු වූ හැලහැප්පීම් නිසාවෙන් ඔහුගේ හෘදය වස්තුව පිපිරීමකට ලක් නො වී නම් එහි කාරුණික ස්තුතිය සයුරු තෙරට හිමි ය. “මුහුද කෙදිනකවත් ස්තුතීන් බලාපොරොත්තු වන්නේ නැත.” ඔහු දිනක් එලෙස ලියා තැබී ය.
සුපුරුදු පරිද්දෙන් දුම්රිය අඩ හෝරාවක් ප්‍රමාද ය. ඔහුට අපූර්ව අදහසක් සිහියට නැඟුණි. දකුණු කළුතර බලා යන දුම්රිය පළමු වේදිකාවේ ය. ඉදින් හැමදාම බම්බලපිටිය වෙරළ තීරයේ දෘෂ්ඨි කෝණයෙන් ම මුහුද දැකිය යුතු ද?
ඒ වනවිටත් පැයට සැතපුම් කිහිපයක වේගයෙන් දකුණු රට දෙසට ගමන් අරඹා තිබූ එස් දහහතර නම් ආත්මගත දුම්රියේ පා පුවරුව හෘදයාංගම මිත්‍රත්වයේ පහස විඳ ගත්තේ ය. ඔහු දුම්රියට ගොඩ වූයේ ගැඩවිල්ලෙකු මෙනි.
- කලිඳු පන්සිළු හබරකඩආරච්චි