සීමා මායිම් නොමැති කවියා හා කවීත්වය
අධිපති මතවාදී ධාරාවෙන් බැහැර කවියක හා කවියකුගේ පැවැත්ම කෙබදුද…මට මෙය විමසන්න සිතුණේ විජය නන්දන පෙරේරා ගේ ‘සහස්පත්’ හා සරත්චන්ද්‍ර වල්පොල ගේ’ ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍යමය ප්රකාශනයන් විදීමෙන් අනතුරුවය.
මේ සහෝදර කවියන් දෙදෙනාම දශක ගණනාවක සිට සිය නිර්මාණාත්මක ප්රකාශනයන් විවිධ අයුරින් සමාජගත කරමින් සිටිති.එහෙත් ඔවුනගේ එම ප්රකාශනයන් අරඹයා සහෘද හා විචාර ප්‍රතිචාර බෙහෙවින් අවමය..ඒ කවිය හරහා ප්‍රකාශයට පත් කෙරෙන ඔවුනගේ මානවහිතවාදී දේශපාලන දෘෂ්ටිය ,අප දශක ගණනාවක් පසු කරමින් සිටින සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය ප්‍රශ්න කරන්නා වූ එයට ඔබ්බෙන් වන මානවීය අපේක්ෂණයක සියුම් මුදා හැරීමක් නිසාද..පවතින දේශපාලන ආර්ථික ධාරාව තුළ විචාරකයන් අතලොස්සක් විසින් ඔවුන්ගේ ඇගයුම් මානයන් හර පද්ධතීන් තුළ නිර්මාණකරුවන් අත්පත් කර ගෙන කවිය හෝ වෙනත් නිර්මාණ නීර්ණය කරන කාලාවකාශයක අප පසු වෙමින් සිටින නිසාද…
කෙසේ වුවත් අපට නොතකා හළ නොහැකි සත්‍යය නම් විජය නන්දන පෙරේරා සහ සරත්චන්ද්‍ර වල්පොල මෙන්ම තවත් නිර්මාණකරුවන් මිනිස් පැවත්ම හා සමාජ සැකැස්ම,සංස්කෘතික භාවිතාව ප්‍රශ්න කරමින් හා සමාජ ප්රචණ්ඩත්වය මුදා හැරීමට එරෙහිව තමන්ගේ ආත්මීය වේදනාව ,විරෝධය නිරූපණය කරමින් නිර්මාණශීලි ප්‍රකාශන කරමින් සිටීමය..එය අපගේ සමාජ දිවියෙහි ගිලිහී ගිය.. අවතැන්වූ..මානව දයාවක් යලි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ගැඹුරු පරිකල්පනීය වෑයමක් ලෙස හදුන්වමි. එහෙයින්ම විචාරකයන් ගේ දෘෂ්ටි පථයෙන් ගිලිහී ගියද ඔවුනගේ බුද්ධියට රුචියට ගෝචර නොවුනද මෙම නිර්මාණකරුවන්ද..ඔවුන්ගේ නිර්මාණද සැබැවින්ම පවතී.
ධනේශ්වර වෙළද ආර්ථිකයක නිර්මාණයක් එළි දැක්වීම බෙහෙවින් අසීරු වුවද තම අදහස් ප්‍රකාශන එළි දක්වමින් අපූර්ව ජීවන විවරණයක් ‘සහස්පත්’ හි කෙටි කාව්‍යාත්මක වැකි මගින් නිර්මාණය කරන විජය නන්දන සහෝදරයා හා සරත්චන්ද්‍ර වල්පොලගේ විකල්ප කාව්‍යමය මුදා හැරීම ‘ඇස් දොළහක් හය විදිහක්’ විඳින්න හා ඒ පිළිබද සංවාදයක් ගොඩ නංවන්න ඔබට ඇරයුම් කරමි.
මෙ කව් ලාංකීය කවියේ උරුමක්කාර ඒකාධිකාරයට එරෙහිව නිර්මාණකරුවෙකුගේ නිර්මාණශීලි චින්තනයක් මුදා හැරීමට හා එය සමාජය සමග බෙදා හදා ගැනීමට තිබෙන අයිතිය පිලිබද සිතා බැලීමට අපට අවකාශ සලසයි..
මා මේ නිර්මාණ කෘති දෙක එකම ලියවිල්ලක විමසා බලන්නේද මෙම නිර්මාණ කරුවන් දෙදෙනා තුළින් විද්‍යාමාන වූ අපූර්ව සහයෝගීතාව හේතුවෙනි. අනෙකාගේ නිර්මාණය ඇගයීමට..සමාජ ගත කිරීමට එක්ව ගත් වෑයම විශේෂයෙන් අගය කළ යුතුය.එය නිර්මාණ ක්ෂේත්රයේ අප අද ඉතාම විරලව අත්විදින්නා වූ නිර්මාණකරුවන් සතු සුවිශේෂී ගුණාංගයකි.
‘ සහස්පත්’ මෙන්ම ‘ඇස් දොළහක් හය විදිහක්’ සහෝදර මංජුල වෙඩිවර්ධන විසින් අපූර්ව විවරණ ප්‍රවේශ කතිකාවක් ගොඩ නංවනු ලැබ ඇත. එය නන්දන හා සරත්චන්ද්‍ර ගේ කවියට මෙන්ම අපගේ සමකාලීන කවියට එබී බලන්නට තැනූ මනා කවුළුවක් බඳුය.
නන්දගේ කෙටි කව් සියුම් බස් වහරකින් නිමවී ජීවිතය විනි විදින්නටද..විටෙක ගැඹුරු දේශපාලන සිතා බැලීමකටද ..
මංපෙත් විවර කරයි.
‘සුළඟට ද
අවනතය
බිඳුණු
පසු
පියාපත්’
‘ගල්පිළිමයට
වැඳ
ගල්කුලට
වෙඩි
බඳිත්’.
සහස්පත් හි මෙ කෙටි කව් සියල්ල කියවා අවසන මුදු බරැති තෙත් බවක් මසිත වෙලා ගති..එය හද පතුලටම දැනෙන බවට වඩා ජීවිත ස්පර්ශයක් පිලිබද තව කුමක් ලියන්නද…
මා සහස්පත් විදීමෙන් අනතුරුව විජය නන්දන සොයුරාට දැක්වූ කෙටි ප්‍රතිචාරයද මෙහි දක්වනුයේ එය සහෘද සිප ගැනීමක් දක්වා වින්දනීය බව කීමටය.
සහස්පත් වින්දෙමි. ඔබේ කාව්‍යාත්මක ප්රකාශනයට අරුත් දෙන්නට නොයමි. එහෙත් මගේ අරුතෙන් මම එය වින්දෙමි.
වැහි බර
සවසක ..
තෙත් ..
හාදුවක් ..
කොපුලත..
ඉදින් එකව් ඔබට රිසිසේම නිදහස්ව විඳින්නට ඉඩ දිය යුතුය..
සරත්චන්ද්‍ර ගේ කව් එකෙනෙකට වෙනස් ආකෘතිද,අනුභූතීන් ද සමගින් විවිධ ඉසව් කරා අප ගෙන යන විටෙක පත්ලටම එබී සියුම්ව විමසිය යුතු,විටෙක අප අපටම සිනා සලන්නාවූ බොහෝ කෙටි නොවූද බොහෝ දික් නොවූද ඇතම් තන්හි බොහෝ ගැඹුරැති කව්ය.
‘ස්වයං නිරෝධායනය’
කවියෙන් බිඳක්..
ලිබරල් වළාකුළු කල්ලි ගැහී රස්තියාදුවේ
හීං දාඩිය රැඩිකල් වැස්සටත්
අපිළිවෙල ජීවිතේ
කමකට නැති පිළිවෙළකි
සියල්ලම වෛරස් ආසාදිතය
ස්වාධීන වතුර,
ස්ට්‍රෝන් ගං වතුර ටී,
සිත නිවන සිගරට්
ගිනි මද්දහනේ වුව
ජීවිතය පාළු මූසල ගල් ගුහාවක්
කල් තියා සකස් කළ න්‍යාය පත්‍ර නැති…
‘බ්රහ්මයෙකුට මහා බිරිඳක්ව..’
ඉන්ද්‍රජාලික මැවුම්කරුවෝ කට්ටිය
මීවිත සාමීචියකට රොද බඳින විත්තිය
එවන් හැමදාකම
නින්දක් නොනින්දත් අතර මට
කූට ප්‍රාප්තියක සුරතාන්තයක ගෙනා
‘සයනයේ සිහිනය’* රංගය
මතක් විය එක පෙළට
කහින, සූරන, පඩින, ගොරවන ඉන්ද්‍රජාලික නින්නාද
සවන්පත් මගෙ මෙතෙක් ඉවසා දරාගෙන
උන්නාද
ගජමන් නෝනා කීවාට
ජීවිතේ කවියක් ද හැබෑට…
‘මාතෘකාවක් නොමැති රචනයක්
වේදිකාවක් නොමැති නළුවෙක් ‘
(අර්ධ වාර්තා කවි නාටකය)
මාතෘකාවම කවියක් වූ
මෙම නිර්මාණයෙහි අවසානය උපුටමි.
අසූවේ ජූලියේ ඇහැළ මල් ඵල නොදී
තාත්තා වැඩපොළට නොයා ගෙදරට වුණී
එකකුස් ඔත් තාත්තාගේ සහෝදර පියාපත් අවස්ථාවාදයම කර මත තබාගත්
රත්තරන් මොළ පාපන්දු වුණ
හැත්තෑව දශකයේ පෑල දොර
සම සමාජ කොමිනිස්ට් වාගේම
තාත්තත් ඌන සංවර්ධිත වින
මෙරට වාමාංශික දේශපාලනයට අත්වූ ඉරණම සරත් දොම්නසත් සියුම් උපහාසයත් මුසු කර කවියට නගන්නේ එලෙසය.
රසිකාවියන්ව ප්‍රේමවන්තියන්ට ගැනීම බිරිදකට ඉරිසියාව දනවන්නක් බව කවියක් තුළ වදනක්ව බහාලුවද බිරිදගෙන් ද සියුම් අවසරයක් ගෙන සරත්
ඔබේ කවියට පෙම් කරන බව මට නොකියාම බැරිය..
මම සිතා මතාම මෙම කවි වලට අරුත් සැපයීමෙන් වලකිමි.කවිය සහෘද මනසේ විවිධාර්ථ දැනවීම සාපේක්ෂ ය..කවියා මෙන්ම කවියද නිදහස්ව පැවතිය යුතුය..කවියාට ඇවසි පරිදි නිශ්චිත මතවාදයන්ට ආකෘතීන්ට සීමා නොවී නිර්මාණ කිරීමට මෙන්ම එය විදීමට හා ඉන් ඔබ්බේ සිතිමට ..අප සැමට ඇති අයිතිය , දැනට පවතින මතවාදී ඒකාධිපත්‍යයෙන් මුදවා ගන්නට ,අපි නිදහස් හා විවෘත පෘථුල මනසකින් මේ නිර්මාණ සමග ඒකාත්මික වීම අවශ්‍ය බව මම සිතමි.
—-තිලිනා වීරසිංහ—-