
ලංකාවේ මහා ප්‍රේක්ෂකාගාරයේ නිල අල්ලන ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්
‘වාලම්පුරි’ නමින් ලාංකේය සිනමා ඉතිහාසය තුළ චිත්‍රපටයක් නිර්මාණය වන, මෙි දෙවැනි අවස්ථාව වේ. මීට පෙර ‘වාලම්පුරි’ නමින් 1981 දී මාර්තු 14 වැනිදා තවත් චිත්‍රපටයක් මෙරට තිරගත වී ඇත. ඒ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ ලංකාවෙි ප්‍රේක්ෂකාගාරයේ බහුතරය දෙනා නොදනී. එය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන බර්ම්න් ලයිලි ප්‍රනාන්දු විසිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග විසිනි. එහි කතා පුවත වූයේ කෝවිලකින් සොරා ගත් වාලම්පුරියක් සහ වාලම්පුරිවලට දැඩිව ආශා ඇති හීං බණ්ඩා නම් තරුණයකු වාලම්පුරි සොයා දිය යට කිමිදෙන වික්‍රමාන්විත කතා පුවතකි. කෙසේ නමුත් 1981 දී නිර්මාණය වූ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ කතාව පසුවට තබා ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්’ කතා කළ යුතුම ය. වාලම්පුරි සිඩිනිලාගේ කතාවයි. හුදෙක්ම වාලම්පුරියක් ගැන නොවෙි. නූගත්කමේත් දිළිඳුබවේත් සමාජ අසාධාරණයේ ප්‍රවාහයට හසු වූ සිඩිනිලාගේ කතාවයි. සිනමාපටයේ දෘශ්‍යමානය ඉක්මවන යටි අරුත් මඟින් ප්‍රකාශ වන්නේ තියුණු සමාජ දේශපාලිනික – ආර්ථික ප්‍රපංචයකි. කැකැරෙන සමාජ විරෝධයකි. සිනමාකරුවාගේ දේශපාලනික-සාමාජීය දෘෂ්ටිවාදය චිත්‍රපටය තුළ දැක්වෙන කතාවේ සියුම්ව ගෙනහැර දක්වති.
වාලම්පුරි චිත්‍රපටයේ කතාව කෙසේවෙතත් එහි නළු නිළි කැලගේ රංගනය සහ දෙබස් පෞද්ගලිකයම වඩාත් සිත්ගත් කාරණා දෙකකි. මෙි දිනවල තිරගත වන නෙළුමි කුලුණ චිත්‍රපටයේ ද මෙම ලක්ෂණය දුටිමි. කුඹියෝ වැනි ගුණාත්මකවූත් නිෂ්පාදන වටිනාකමක් සහිත ටෙලිනාට්‍යයක් නිර්මාණය කළ ලක්මාල් ධර්මරත්න සිනමාකරුවකු ලෙස ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ඨ වීම අතිශය සතුටුදායක දෙයකි. ලක්මාල් ලියු තිර පිටපත තුළ අලංකාරයක් ඇත. සීගිරිය වැනි ඓතිහාසික භුමියක ජීවත්වන තුන්වේල සරිකරගන්නට වෙර දරන ජහුටා නාට්‍ය කණ්ඩායමකගේ ජීවිත අනපේක්ෂිත ලෙස උඩුයටිකුරු වන කතා පුවත නම් ක්ලැසික් ය. චමත්කාරජනක කතාවකි.
කුඹියෝ තුළ දුටු ලක්මාල්ගේ කැරළිකාරී ස්වරූපය වාලම්පුරි තුළ ද දක්නට ලැබෙි. නිදර්ශනයක් ලෙස චිත්‍රපටය ආරම්භවන දේශපාලනික ඇමතුම් සමිබන්ධ සමෝධානිත (montage) රූප පෙළ ලක්මාල් ධර්මරත්න නමි සිනමාකරුගේ ලාංකේය කුණු දේශපාලනය පිළිබඳ ඇති දැඩි විරෝධය පිළිබිඹු කරන්නකි. සිනමාකරුගේ අරමුණ වනුයේ අවසන් තීරණාත්මක ගැටුම දක්වා ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම මෙන්ම ඔවුන්ට ලාංකේය දේශපාලනික-සාමාජීය සංස්ථාව පිළිබඳ යමක් සිතන්නට ඉඩ ලබා දීමයි.
මුළු චිත්‍රපටය පුරා වඩාත් අවධානය නතු කරගන්නා චරිතය වන ‘සිඩිනි’ නමි චරිතය සඳහා පණ පොවන ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනය විසින් චිත්‍රපටයට ලබා දෙන වටිනාකම ඉතා ඉහළය. ප්‍රියන්ත ප්‍රකට කරන ප්‍රතිභාව අගය කළ යුතුම එකකි. අශාන් ඩයස්, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ, දිල්හානි ඒකනායක, අංජන ප්‍රේමරත්න, උදයන්ති කුලතුංග, කින්ග් රත්නමි, නිරෝෂන් විජේසිංහ, දර්ශන් ධර්මරාජ් වැනි මෙරට සිනමාවේ අත්දැකීම් බහුල නලු නිළියන් පිරිස මඟින් අපුරු රංග වින්‍යාසයන් පෙළක් එක දිගට දැකබලා ගන්නට ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණ හාමුදුරුනමකගේ චරිතය නිරූපණය කරන සේවියර් කණිෂ්කගේ රංගනය තරමක් කෘත්‍රීම වෙි.
වාලම්පුරි චිත්‍රපටයේ කතා තේමාව සාමාන්‍ය වූ එකකි. එය අපිට එදිනෙදා ජීවිතයේ නිතර දෙවෙිලේ පුවත්පත්වලින්, ටෙලිවිෂන්වලින් හමුවන තේමාවකි. එම කතා තේමාව යළිත් සිනමාවට ප්‍රබන්ධයක් ලෙස ගෙන ඒම කෙතරම් දුරට ප්‍රේක්ෂකයාට නවමුබවක් ඇති කරනවාද? යන්න ඉතාමත් පරෙස්සමෙන් යුතුව කල්පනා කළ යුතුය. සිනමාපටයේ කැමරාකරණය සහ සංස්කරණය යන ප්‍රධාන අංශ දෙක විසින් ගොඩ නඟන කතාවෙි රිද්මයානුකූලබව වැදගත් ය. කලා අධ්‍යක්ෂණය විසින් කතාවට ලැබිය යුතු අවකාශය මැනවින් ඉටු කර දී තිබෙි. ච්න්තක ජයගොඩිගේ පසුබිමි සංගීතය චරිත හා සිදුවීමිවල පසුබිම තීව්‍ර කරන්නකි. චිත්‍රපටයේ සිනාමාත්මකබව ඉහළ නංවන කැමරාකරණය සිදු කර ඇති කාලිංග දේශප්‍රියගේ මනරම් රූප නිමැවුම කදිමයි. රූප ජේදනය කිරීමට වඩා කතාවෙි මුල, මැද, අග කුතුහලය රැකෙන පරිදි ආඛ්‍යානය ගොඩනැඟීමත් එය කුතුහලය දනවන අයුරින් ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ අතරංම කරවීමේ කාර්යය තුළ දී එය මැනවින් ඉටු කිරීමට සංස්කරණය සමත්ව තිබෙි.
සිනමාපටය ජයගන්නේ එතැනදිය. පැය දෙකයි විනාඩි තිහක දිගු ධාවන කාලයකින් සමන්විත වුව ද ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ අවසාන විනාඩිය තෙක් රඳවා ගැනීමට ලක්මාල් ධර්මරත්නගේ තිර පිටපත සහ නළු නිළියන් තේරීමත්, මෙහෙයවීමත් ඔහු චිත්‍රපටය වෙනුවෙන් දක්වා ඇති අවංකභාවයත් අගය කළ යුතු ය. වාලම්පුරි ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හරවත් සමාජ ප්‍රකාශනයකි. ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්’ යනු විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නොවෙි. ලංකාවේ නුතන ප්‍රේක්ෂකාගාරය සිනමාත්මකව සහ දෘෂ්ටිවාදාත්මකව කුල්මත් කළ හැකි සමාජ දේශපාලනික පඨිතයක් ලෙස Thriller – Black – Comedy – Drama ශානරයේ හොඳ චිත්‍රපටයකි.
-මලින්ත විතානගේ-