Skip links

බ්‍රිතාන්‍ය තේ කෝප්පයක ලංකික කහට පැල්ලම  කැමෙලියා විරාජිනී තෙන්නකෝන්

ජීවිතයේ සෑම විටම සුදු කළු දෙපාර්ශවය තරඟ වදියි. අලාභය ලාභය සමඟත්, රෝගීබව නිරෝගීබව සමඟත්, නරක හොඳ සමඟත් සදාකාලික අනවරත මාවතක ඉදිරියට ගමන් කරමින් ඇත. කැමෙලියා ඒ මාවතේ පිහිටි හරිතමය තේ වතු පිරුණු ජීවන දළ බෑවුමක සිට උණුසුම් තේ කෝප්පයක සරලබව පානය කරන අතරතුර යටත් විජීතවාදී  හා සංස්කෘතික සංකීර්ණබව  විඳීමට ඉඩ සලස්වන නවකතාවයි. තම පියා කවුරුන්ද යන්න පිළිබඳ දරාගත නොහැකි බරක් හිස මත තබාගෙන,  ඒ වේදනාවත් සමඟ සාම්ප්‍රදායික හිත්පිත් නැති තේ වතු හිමියෙකුගේ භූමිකාව නිරූපණය කරන ජෙෆ්රි ද සේරම්ගේ අතරත් හෘද රෝග විශේෂඥයකු වූ සිය පියාගේ සෙවනැල්ල යට සිටගෙන සිටින මානවවාදී ස්ත්‍රියක වන ඇනීටා හින්ගර්ට්ගේත් කඹ ඇදිම පාදක කොටගෙන මේ කතාව විකාශන වේ.
ජෙෆ්රි රඟ දක්වන්නේ අතීත වතු කම්කරුවන්ගේ අයිතිය ඉතා පහත් ලෙස පයට පාගා දැමූ, දරිද්‍රතාව යනු පහළ පන්තියේ උරුමය ලෙස සැළකූ, ඔවුන් ශ්‍රමය සපයන යාන්ත්‍රික මිනිස් රූප ලෙස දකින කළු වර්ණයයි. එයින් අපට අතීතයේ සිට පැවතෙන ලංකාවේ  වතු පාලනාධිකාරයේ  තිබූ ඉතා මිලේච්ඡ තැන් හඳුනාගත හැක.
ඉතා දරුණු වසංගත තත්වයකට මුහුණ දෙමින් සිටින වතු කම්කරුවන් ඉන් මුදවා ගැනීමේ අභිලාෂයෙන් යුතු ඇනීටා තම පියාගේ පොත්පත් හා අපරිච්ඡින්න පරික්ෂණ ගණනාවක් කරමින් සබන් සෑදීමට පටන් ගන්නේ ඇය තුල තිබෙන මානව දයාවේ ශ්වේත වර්ණ පෙන්නුම් කිරීමටයි. නමුත් ජෙෆ්රිගේ ප්‍රතිචාරය මීට හාත්පසින් ම වෙනස් වෙයි.
“සබන්? උඹට පිස්සුද? උඹ මට කියන්නේ හරියට පස්ස හෝදගන්නවත් දන්නැති මේ කාලකණ්ණින්ට සබන් ගෙනත් දෙන්න කියලද?”
(පිටුව 99)
උණු උණුවේ නැවෙන් බාන ලද දෙමළ වතු සේවකයන් සිය පැල්පත්වලට ගාල් කිරීම පසෙකින් තබා තමාගේ අනාගතය තීරණය කරන සාකච්ඡාවක ගිලී සිටින ජෙෆ්රි ඔවුන් ගැන කිසි විටකවත් තැකීමක් සිදුකරන්නේ නැත. ඇනීටා  බලා සිටිය නොහැකි තැන ඔවුන් වැස්සේ තෙමෙ⁣මින් විඳින පීඩාවෙන් මුදවනු පිණිස ඔවුන්ගේ පැල්පත්වලට ගෙනගොස් දමන ලෙස කරනු ලැබූ  ඉල්ලීමට ලැබෙන්නේ මේ ප්‍රතිචාරය යි.
“අපි මේ කතා කරන්නේ වැදගත් වැඩක් ගැන. ඔය හිටගෙන ඉන්න එවුන්  ඔතනම ඉඳලා නැහිලා ගියත් මන් මේ වැඩේ දාලා උන්ව ගාල් කරන්න යන්නේ නෑ එළියට”
(පිටුව 66)
සිය අපේක්ෂාවන් දියවී යන තේ ⁣කොළ වෙනුවෙන් කැප කළ වතු කම්කරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්  ඇනීටා සිය පියාණන්ගේ මානවවාදී දෘෂ්ටිය  ඉදිරියට ම ගෙන යයි. සිය සැමියාගේ  ක්‍රියා පිළිවෙතට සම්පූර්ණයෙන් ම පටිසෝතගාමී මාර්ගයක ගමන් කිරීමට ඇනීටා තීරණය කරයි. පළමුකොට ඔවුන්ට අවශ්‍ය දායානුකම්පාව ඔවුන් කරේ දක්වන ඇනීටා ඉන්පසුව ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සොයා බලයි. එහි ප්‍රතිඵලයක් ලෙස වතු කම්කරුවන් සඳහා සනීපාරක්ෂක ක්‍රමයක් සදා දෙයි. ඉන්පසු ඇයගේ ඉලක්කය වන්නේ ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමයි. වතු කම්කරුවන් වැනි පීඩිත පන්තියේ ජනයා ගත කරන ජීවිත අපායෙන් මිදෙන ඉනිමගේ පියවර එකින් එක රන් පැහැයෙන් පාට කිරීමට ඇනීටා උත්සහ කරයි.
ඇනීටාගේත් ජෙෆ්රිගේත් දියණිය වන කැමෙලියා නවකතාවෙහි අළු පැහැය නියෝජනය කරයි. තම ජීවිතය ධනවාදී මුඩුම හැගීම්වලට ඔබ්බෙන් වූ  දේශපාලන බල කඳවුරක ස්ථාවරත්වය ගොඩනැගීමේ පෞද්ගලික න්‍යාය  පත්‍රයකට වෙහෙස වන ජෙෆ්රි ද ⁣සේරම් කැමෙලි⁣යා සිය මව වන ඇනීටාගෙන්  ඈත් කිරීමේ සියුම් ප්‍රයත්නයක් දරයි. මුලදී එය සාර්ථක වන නමුත් කැමෙලියා ඇයගේ මවගේ මාර්ගයට වැටෙන්නේ කැමෙලියාගේ විවාහය ඉතා අවාසනාවන්ත ලෙස දෙදෙරා යෑමත් සමඟයි. ඉන්පසු ඇය ද තම මාන්නක්කාර හා බලයෙන් අන්ධභාවයට පත් වූ සිය පියාගේ සෙවණින් ඈත් වී තම මවගේ ප්‍රයත්නය සඵල කිරීම වෙනුවෙන් කැප වේ.
නුවර එළියේ ගුප්ත රස දනවන තේ වතු මැදින්  බලා සිටින විට සිතට දැනෙන ආකාස්මික සිතුවිලි හා සීතල තේ දලු තුලින් නැගෙන උණුසුම් සහගත හැගීම්වලින් පිරි කැමෙලියා ඔබ විසින් කියවිය යුතු කෘතියක් බව හැඟේ.
“මෙවන් අසීරු මොහොතක වුව මා ගමන් කරමින් සිටින්නේ පිටතට නොව මගේම ඇතුළු හදවතටය. එහි තිබෙන මගේ හදවතට එබී බැලූ විට එහි සිටින්නේ මා නොව ඔබම ය. ඒ පුරුදු ලෙස ම හදවතක් දෝතින් දරාගෙනය. මගේ රාජකාරිය අවසන්ව නොමැති බව ඔබ මට කියයි. මම නැවත ආපසු හැරෙමි.”
මහ වෙදගේ තරිඳු

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search