නූතන කෙටිකතාවට පැරණි සිංහල කතා කලාව බලපෑ ආකාරය.
සිංහල කෙටිකතාව ප්‍රධාන වශයෙන් මත දෙකක් ඔස්සේ විකාශනය වූ බව විද්වතුන් අදහස් පළ කර තිබේ. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ කෙටිකතාව විකාශනයට සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ බලපෑවේ කෙසේද යන්නයි. මෙහි එන බොහෝ කරුණු උපුටා ගන්නා ලද්දේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියන ලද වහල්ලු කෙටිකතා සංග්‍රහයේ එන දීර්ඝ ලිපියත්, මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ සිංහල කෙටිකතාවේ ප්‍රභවය හා විකාසනය යන කෘතියත් පාදක කොටගෙන ය.
කෙටිකතාව යනු ජීවිතයෙන් පෙත්තක් පිළිබිඹු කරන්නක් බව අප හොඳින් දන්නා කරුණකි. නිර්වචනය එතරම් කුඩා වුවද එයින් ඉස්මතු වන දේ ගැඹුරුය. එනම් මේ ජීවිතයේ පෙත්ත විග්‍රහ කරන්නේ කෙසේද යන්නයි. එහි සරල අදහස නම් කෙටිකතාවක් කියවීමෙන් ජීවිත දර්ශනය, මානුෂීය හැඟීම් ආදිය අන් අයට අවබෝධ කරගත හැකිවිය යුතුය යන්නයි. බොහෝ කෙටිකතා කියවා බැලූ පසු පසක් වන කරුණ නම් සියලුම කෙටි කතාවල ඇත්තේ ජීවිතයේ පුද්ගලයන් විසින් මුහුණ දෙන ලද අත්දැකීම් හා අත්විඳීම් බවයි. ප්‍රථම සිංහල කෙටිකතා සංග්‍රහය වන 1924 දී මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පළ කෙරුණු ගැහැනියක් කෙටිකතාවෙන් ඇරඹි සිංහල කෙටිකතා වංශය මේ වන විට සාධනීය තත්වය පවතින බව විද්වත්හු ප්‍රකාශ කරති. ගතවූ අවුරුදු සියයකට නොඅඩු කාලය තුල මේසා වර්ධිත තත්තවයක් කරා කෙටිකතාව ගමන් කිරීමට හේතු මොනවාදැයි සොයා බැලීම වටී.
සිංහල කෙටිකතාවට පදනම් වූ සාධක ගැන ප්‍රධාන මත දෙකක් ඔස්සේ සාකච්ඡාවට බඳුන් කර ඇත. ඇතැම් විද්වත්හු මෙය පැරණි සිංහල කතා කලාව අභාසය කොට විකාශය වූ බව පවසති. මේ අතර මාර්ටින් වික්‍රමසිංහ, ආචාර්ය ගුණදාස අමරසේකර, ආචාර්ය කේ.ඩී.පී වික්‍රමසිංහ ආදීහූ වෙති. මේ අතර මහාචාර්ය එදිරිවීර සරච්‍චන්ද්‍ර , මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය, මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය ආරිය රාජකරුණා ආදීහූ මෙය බටහිර කෙටිකතා සාහිත්‍යයෙන් ලද ආභාසය මත හටගත් කලාවක් ලෙස විග්‍රහ කරති.
කෙසේ වෙතත් සිංහල කෙටිකතාව සඳහා ජාතක කතාපොත, සද්ධර්මරත්නාවලිය ආදී පැරණි සිංහල කතා පොත්වලින් ලද බලපෑම ඉමහත් බව සෑම විද්වතෙක් ම පාහේ පිළිගන්නා කරුණකි. මේ පැරණි සිංහල කතා කලාව කෙටිකතාවට බලපෑ ආකාරය පහත අංශ ඔස්සේ සාකච්ඡාවට බඳුන් කළ හැක.
1. විෂය ක්ෂේත්‍රය
2. අනුභූතිය
3. භාෂා පරිහරණය
4. වස්තු වර්ණනය
5. චරිතාංග නිරූපණය
6. විශ්වසනීයත්වය
7. රීතිය
8. කතා සංදර්භය
9. සංකේත භාවිතය
10. දෘෂ්ටිය
විෂය කේෂ්ත්‍රය
බොහෝ විට කෙටිකතාවකට විෂය වන කතා වස්තුව එහි මූලික ලක්ෂණයක් ලෙස සැලකිය හැක. පැරණි ගද්‍ය සාහිත්‍යයේ වස්තු විෂය කොටගෙන ඇති සංකීර්ණ ජීවන ගැටලුත් නූතන කෙටිකතාවේ වස්තු විෂයන් ලෙස තෝරාගෙන ඇති ගැටලුත් අතර යම් සාම්‍යයක් දක්නට තිබේ. මිනිස් සිතේ පවතින ගූඪ සිතුවිලි බොහෝ විට පැරණි කතා සඳහා යොදාගෙන තිබේ. මිනිසාගේ ඇතිවන ඊර්ෂ්‍යාව, ද්වේශය, සැකය, හදිසි තීරණ ගැනීම, ප්‍රේමය වැනි පැහැදිලි කළ නොහැකි ස්වභාවය විෂය කොට ගත් බොහෝ කතා සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයෙන් හඳුනාගත හැක. උදාහරණ වශයෙන් සද්ධර්මරත්නාවලියේ එන කාලි යකින්නගේ කතාවට අයත් අතීත කතාව, කුණ්ඩල කේෂි කතා වස්තුව ආදිය දැක්විය හැක. පැරණි සාහිත්‍ය අධ්‍යයනය කිරීමේදී එසමයේ කතුවරුන් විවිධ විෂය ක්ෂේත්‍ර භාවිතා කර ඇත. ස්ත්‍රි පුරුෂ ගූඪවාදි හැඟීම්, රාගයේ විෂම ස්වභාවය, මානව හිතවාදී හැඟීම් ආදී නොයෙක් වපසරියක් පුරා එවා විහිදී තිබේ. එබැවින් කෙටිකතා නිර්මාණයේදී අතිශය සංකීර්ණ මිනිස් හැඟිම් වස්තු විෂය කොට ගැනීම කෙටිකතා රචකයන් පැරණි සාහිත්‍යයේ ආභාසය මත සිදු කරන්නට ඇති බව නිගමනය කළ හැක.
අනුභූතිය
කෙටිකතා නිර්මාණයේදී ඒ සඳහා ලබා ගන්නා අත්දැකීම් ඉතා තදින් ම කෙටිකතාවේ සාර්ථක අසාර්ථකභාවයට බලපායි. විවිධ අත්දැකීම් ක්ෂේත්‍ර ඔස්සේ ලියැවෙන කෙටිකතා සඳහා පැරණි සිංහල කතා අභාසය බලපෑමක් ඇති කර ඇත. සද්ධර්මරත්නාවලියේ එන පටාචාරා කතා වස්තුව රචනා කිරීමේදී ධර්මසේන හිමියන් තමා ලද විවිධ අත්දැකීම්වලින් ලබා ගත් බුද්ධිය ඉවහල් කොට ජීවිතය වනාහී මෙබන්දක් යැයි පවසා ඇති බව මාර්ටින් වික්‍රමසිංහයෝ ජාතක කතා විමසුමේ පවසති. ඔහු තව දුරටත් පවසන්නේ තෝමස් හාර්ඩි නැමති ඉංග්‍රීසී ලේඛකයා විසින් ලියන ලද Tess of the d’Urbervilles නැමති නවකතාවද පටචාරා කතා වස්තුවට මදක් සමාන වුවත් එහි ඇත්තේ ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් දැක කම්පාවට පත්වූ ගැහැනියක් නගන විලාපය ස්වරූපයක් බවයි. එහිදී ඔහු අවධාරණය කරන්නේ එකම වස්තු විෂය මූලික කොට කතා දෙක ලියැවී තිබුනද තමාගේ අත්දැකීම් අනුව ඒ කතා ප්‍රකාශ කරන ආකාරයේ වෙනසක් ඇති බවයි. පැරණි සිංහල සාහිත්‍යය පරිහරණය කළ කතුවරුන්ට එවැනි පරිචයක් ලබා ගැනීමට සද්ධර්මරත්නාවලිය, ජාතක පොත වැනි ග්‍රන්ථ පිටුවහලක් වූ බව නොරහසකි.
භාෂාව පරිහරණය
කෙටිකතා නිර්මාණයේ දී වැදගත් අංගයකි බස්වහර. පැරණි සාහිත්‍යයේ දී වුව බස් වහර අවස්ථානුකූලව යොදා ගැනීමට පැරණි රචකයන් උත්සුක වී ඇත. එක් උපක්‍රමයක් ලෙස ව්‍යවහාර භාෂාව යොදා ගැනීම දැක්විය හැක. උදාහරණයක් වශයෙන් ග්‍රාම්‍ය පරිසරයක් වස්තු කොට ඇති කෙටි කතාවක හා නාගරික පරිසරයක් තුල ගොඩ නැගෙන කතා දෙකෙහි වෙනසක් තිබිය යුතුය. නැතහොත් එය පාඨකයා ග්‍රහණය නොකරයි. මේ සඳහා ජාතක පොතෙන් බොහෝ උදාහරණ දැක්විය හැක. ජාතක පොතෙහි එන වරණ ජාතකය පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අදහස පහත පරිදි වේ.
“බැවහැර බසින් තෝරා ගන්නා ලද වචන උචිත ස්ථානයෙහිලා වැසීමක් නැතුව ගැළපීම නිසා ගුරු ගෙදර, එහි මානවකයාගේ ජීවිතය, කුසීත මානවයාගේ චරිතය, කැළල ආදිය අරබයා පාඨකයාගේ සිතට නගින්නේ කළු ඉරි සිත්තමක් වැනි සිත්තමකි”
වහල්ලු – මාර්ටින් වික්‍රමසිංහ (පිටුව 124)
තවද කෙටිකතාවක ඇත්තේ සීමිත වචන ප්‍රමාණයකි. එය සඵලදායි ලෙස භාවිතා කළ යුතුය. එබැවින් හැඟීම්, අදහස් සියල්ල එකට කැටි කොට ඒ හරහා කතාවක් කීමේ හැකියාව කෙටිකතාවකට තිබිය යුතුය. මෙයද භාෂා පරිහරණයේ එක් අංගයකි. ඉතා කෙටි වැකියක් වුවද අවැසි පරිදි යෙදීමෙන් ධ්වනිතාර්ථ ගොඩනැගීමට හැකිවේ. උදාහරණයක් ලෙස ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කිරීමේදී ගැමි වහර නිර්මාණාත්මකව යොදාගෙන ඇති ආකාරයෙන් මෙය පැහැදිලි වෙයි. එහිදී සොරුන්ගේ පයේ වැදි ලෝහ වළඳකින් ශබ්දයක් මතු වෙයි. මෙය ධර්මසේන හිමියක් ප්‍රකාශ කර ඇත්තේ ‘ලෝවළංහඬා නැගි හඬින්’ ලෙසය. මෙහිදී කතුවරයා උත්සහ දරා ඇත්තේ ඉතා සියුම් ලෙස අජීවී වස්තුවක් කෙරෙහි සජීවබවක් ආරෝපණය කිරීමට අවශ්‍ය පරිදි බස් වහර සැකසීමයි. එබැවින් එය කතාවට ආලෝකයක් ගෙනවිත් ඇත. කෙටිකතා කලාවේද මෙවැනි භාෂා ව්‍යවහාරයන් භාවිතා කර ඇත්තේ මෙවැනි පැරණි කතා කලාවේ උපක්‍රම අනුගමනය කිරීම නිසා ය.
වස්තු වර්ණනය
වස්තු වර්ණනයේ දී ජාතක කතා නූතන කෙටිකතාවට සමීප වන බව මාර්ටින් වික්‍රමසිංහයෝ පවසති. මේ සඳහා සුධාභෝජන හා සෝමනස්ස වැනි ජාතක කතා නිදසුන් ලෙස ගෙනහැර පානු ලබයි. කෙටිකතාවකට ඇත්තේ සීමිත වචන ප්‍රමාණයක් බැවින් අනවශ්‍ය වර්ණනාවලින් තොරව කතා සාරයට ගැලපෙන පරිදි ඒවා තොරාගැනිම වැදගත් වේ. ඒ සඳහා යම් අවබෝධයක් ලබා ගැනීමට ජාතක කතා ඉවහල් වී තිබේ.
චරිතාංග නිරූපණය
මිනිසකු කරන කියන දෙය ඔහුගේ චරිතය යි. සහේතුකව ගැළපුණු සිදුවීම් වැල ලෙස හැදින්වෙන්නේත් ම්නිසෙකු හෝ මිනිසුන් කරන කියන දේමයි.
වහල්ලු – මාර්ට්න් වික්‍රමසිංහ (පිටුව 129)
කෙටිකතාවක සාර්ථකත්වය සඳහා එහි වස්තු විෂයට ගැලපෙන පරිදි එහි චරිත නිරූපණය කර තිබිය යුතුය. කෙටිකතාව විකාශනය වන්නේ එකී චරිත හැසිරෙන විදිහ අනුව බැවින් ඔවුගේ ක්‍රියාකලාප එහි කතා වස්තුවට ඉතා ප්‍රබල ලෙස බලපායි. ඉතා හොඳ වස්තු විෂයක් වුවද චරිත මනාකොට යොදා නොමැති නම් කෙටිකතාව අසාර්ථක වීමේ ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත් කතාවට ගැළපෙන අන්දමේ චරිත යොදා ගැනීම පැරණි ග්‍රන්ථ රචකයන් ඉතා දක්ෂ අන්දමින් කර ඇත. සද්ධර්මරත්නාවලියේ මට්ටකුණ්ඩලී කතා වස්තුවේ අදින්න පුබ්බක බමුණාගේ චරිතයත්, ජාතක පොතේ එන ඉල්ලීස ජාතකයක් වැනි කතාවල එන චරිත දෙස බැලූ කළ මෙය වටහා ගැනීම පහසුය. මේ කතා වස්තු දෙකම පාදක වන්නේ ලෝබකම විෂය කොටගෙනය. එහිදී කතුවරු ලෝබකම යනු කුමක්දැයි පාඨකයාට ඉගැන්වීම පිණිස එහි චරිත යොදාගෙන තිබේ. මේ නිසාම මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් විසින් “ජාතක කතා සංග්‍රහයෙහි එන ඇතැම් ජාතක කතා ද චරිතාංග නිරූපණය අතින් නූතන කෙටිකතාවට සමීප වන බව” ප්‍රකාශ කර ඇත.
තව දුරටත් චරිත නිරූපණය ගැන අදහස් දක්වන වික්‍රමසිංහ ශූරිහූ පැරණි කතාවල ඇති චරිත පිළිබඳ විදග්ධ චිත්‍රයක් යොදාගත හැකි වන අයුරින් නිරූපණය කර ඇති බවත් එයින් ජීවිතාවබෝධය ලබා ගත හැකි බවත් පවසන අතර අරාබි නිසොල්ලාසයේ ඇත්තේ රූකඩ වැනි චරිත පමණක් බව පවසති. එයට හේතුව ලෙස එතුමා දක්වන්නේ අරාබි නිසොල්ලාසයේ චරිත කියවා එය මෙවැනි චරිතයක් යැයි තේරුම් ගැනීමට නොහැකි නිසා ය. නූතන කෙටිකතාවේ චරිත නිරූපණය ගැන සැළකීමේ දී පැරණි කතා යොදාගත් මේ උපක්‍රමය යොදා ගෙන ඇති බවට නිගමනය කළ හැක.
විශ්වසනීයත්වය
විශ්වාසයනීයත්වය නම් ලේඛකයාගේ අත්දැකීම් සම්බන්ධ එකිනෙක සිදුවීම් හේතුඵල සම්බන්ධයකින් යුතුව නිරූපණය කිරීම යි. කෙටිකතා මෙන්ම ඕනෑම ප්‍රබන්ධ කතාවක විශ්වසනීයත්වය තිබිය යුතුවේ. කෙටිකතාවේ වස්තුව (plot) නමින් හැදින්වෙන්නේ හේතුඵල සම්බන්ධයෙන් බැඳුනු සිදුවීම් වැල මිස රහස් හෙළි කරන සේ ගැළපුණ එකක් නොවන බව වික්‍රමසිංහයෝ පවසති. එනයින් අරාබි නිසොල්ලාසයේ කතා විශ්වසනීයත්වයෙන් තොර කතා පමණක් බව හුවා දක්වන ඔහු ජාතක පොතේ එන අන්ධභූත ජාතකයෙන් මෙය විග්‍රහ කරයි. බොහෝ විට ජාතක කතාවක අතීත කතාව වර්තමාන කතාව හා බැඳේ. ඉන් සසර පුරුදු භවයෙන් භවයට සංක්‍රමණය වන බව කියා පෑම මූලික කාරණය වුවත් එමගින් පාඨකයා කෙරෙහි හේතු ඵල සම්බන්ධයක් ඇති වන අයුරින් කතාවට එල්බ ගැනීමේ අවකාශය සලසා දෙයි. මෙය ප්‍රබන්ධයක් සාර්ථක කර ගැනීමට ඉවහල් වෙයි. ජාතක කතා තුල එවැනි විශ්වසනීයත්වය සහිත කතා රාශියක් ඇත. ජාතක කතාකරුවා මේ හේතුඵල සබඳතාව ගැන කොතරම් දැනීමක් සහිතව මේවා රචනා කර ඇද්දැයි පහත ප්‍රකාශනයෙක් පසක් කරගත හැක.
“හේතුඵලවාදය නැමති සැතින් දේව කතාවල අත්භූත ප්‍රවෘත්ති සිඳ දැමූ බෞද්ධයන් රාමායණය යථාර්ථයවාදය අනුව සකස් කිරීමෙන් ජාතක වස්තුවකට හැරවූ හැටි දශරථ ජාතකය කියවීමෙන් දත හැක”
වහල්ලු – මාර්ටින් වික්‍රමසිංහ (පිටුව 126)
රීතිය
ජාතක කතා රීතිය වර්තමාන ප්‍රබන්ධ කතාවට ළං වන මුත් අමාවතුර බුත්සරණ රීති එයට ළං නොවන බව වික්‍රමසිංහයෝ ප්‍රකාශ කරති. එයින් ඔහු අදහස් කරන්නේ ජීවන ප්‍රවෘත්ති වස්තු විෂය කොට අලංකාර රීතියෙන් බැහැර වී යථාර්ථයවාදී රීතියෙක් ජාතක පොත රචනා කර ඇති බවයි. වික්‍රමසිංහයන් පවසන ආකාරයට ජාතක පොතේ රීතිය හුදු කතා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම පමණක් නොවෙයි. ජාතක කතා තුලින් නාගරියන්ගේ ව්‍යාජ ජීවිතය පිළිබඳ නොයෙකුත් වර්ණනාවලින් යුක්ත, එහි ඇති සැපවත්බව පමණක් හුවා දක්වන අලංකාර රීතියට අනුව රචනා වූ කතා දක්නට නොලැබේ. ඒ වෙනුවට ඇත්තේ ග්‍රාමීය ජීවිතයේ ඇවතුම් පැවතුම් පෙන්වා දෙන කතා හා ඒවාට උචිත භාෂාවකින් ලියැවුණු නූතන නවකතා රීතියට සමාන කතාය. මේ රීතිය අනුමනය කරන වික්‍රමසිංහයෝ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ගැහැනියක් සඳහා ජාතක පොතේ කතා රීතිය අනුගමනය කරමින් ග්‍රාමිය කතා රචනා කිරිමට පෙළඹී ඇත
කතා සංදර්භය
කතා සංදර්භය අතින් ද ජාතක කතා නූතන කෙටිකතාවට සාම්‍යයක් දක්වන බව මහාචාර්ය කුලතිලක කුමාරසිංහයෝ පවසති. බොහෝ විට ප්‍රබන්ධ කතාවක් කියවන්නා බලාපොරොත්තු නොවූ අවසානයක් අපේක්ෂා කරයි. එවැනි විශ්මය ජනක කතා ද ජාතක පොතේහි දැකගත හැක. අසනඝ ජාතකය එබද්දක් සිහිපත් කරයි. උපන්දා සිට ස්ත්‍රීන් පිළිකුල් කළ අසනඝ කුමරු එක් ස්ත්‍රියක්ගේ ගී හඬ අසා ඇය කෙරෙහි ලොල් වී, අවසන මිනිසුන් මරා දමන පුවතක් ගැන එහි ඇත. පාඨකයා හට එවැනි අවසානයක් අනුමාන කළ නොහැක. කතා සංදර්භය අතින් එවැනි ජාතක කතා පාඨක සිත් ඇදබැඳ තබා ගනියි. සිංහල කෙටිකතාවේ ඇතැම් කතා කියවූ පසු මෙවැනි කතා හමුවේ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ආදරය කෙටිකතාව මීට නිදර්ශන ලෙස ගත හැක.
සංකේත භාවිතය
සංකේත භාවිතා කිරීමෙන් කතාවේ ඇති වැදගත් අදහසක් මතු කර දැක්වීම අපේක්ෂා කෙරෙයි. බොහෝ විට සංකේත මගින් මතුපිට පෙනෙන අර්ථයට එහා ගිය අර්ථයක් දීමට හැකියාව ලැබෙයි. කෙටිකතාවේ ඇත්තේ සීමිත වචන ප්‍රමාණයක් ය. එබැවින් සංකේත භාවිතයෙන් ඉතා වැඩි වචන ප්‍රමාණයකින් ප්‍රකාශ කළ හැකි දේ අවම වචන ප්‍රමාණයක් භාවිතයෙන් සිදුකළ හැක. මෙවැනි සංකේත භාවිතය පැරණි කතා කලාවේ ද දක්නට ලැබෙයි. පිලෝතික තෙරුන්ගේ කතා වස්තුවේ ඇත්තේ එක් තරුණයෙක් තම දිරාපත් වූ රෙදිකඩ ගසක රඳවා මහණ වී නැවත එම රෙදිකඩ මතක් වී සිවුරු හරින පුවතක් ය. ඒ දරාපත් වූ රෙදිකඩ මගින් ගිහි ජීවිතයේ ඇති නිස්සාර බව සංකේතවත් කරයි. තවද ජාතක කතා පොතේ එන ඇතැම් කතා මෙවැනි සංකේත භාවිතා කොට රචනා කර ඇත. කුද්දාල ජාතකයෙහි උදැල්ල විසිකිරීමෙන් ජීවිතය පිළිබඳ ආශාවන් අතහැරීම සංකේතවත් කෙරෙයි. ඡද්දන්ත ජාතකයේ ඇත්දළ බෝධිසත්වයාගෙ ආත්මය පමණක් නොව කාමෝද්දීපන කරන කය පිළිබඳ සංකේතයක් බව වික්‍රමසිංහයෝ ප්‍රකාශ කරති. එනිසා සංකේත භාවිතය මගින් කතාවේ වාග් වපසරියට එහා ගිය දැනුමක් හෝ අර්ථයක් ජනනය කරගත හැක. කෙටිකතාව පිළිබඳ ශාස්ත්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කරන වැලරි ෂෝ ප්‍රකාශ කරන අන්දමට කෙටිකතාවේ සාර්ථකත්වය බොහෝ විට රඳා පවතින්නේ නොලියන දේවල් හෝ ලිවිය නොහැකි දේවල් පිළිබඳ හැඟීමක් වහනය කිරීම මතය. ඒ නොලියන දේ සංකේත මගින් ඉදිරිපත් කළ හැක. එසේ සංකේත යොදාගැනීම පැරණි සාහිත්‍යයේ සිට පැවතුන බැවින් සිංහල කෙටිකතාවට එය අලුත් දෙයක් නොවන්නට ඇත.
ජීවන දෘෂ්ටිය
ජීවන දෘෂ්ටිය යනු ලේඛකයා විෂය කරගත් ජීවන අත්දැකීම පරිකල්පනයෙන් ජීවිතය, මනුෂ්‍යත්වය හෝ සමාජ ක්‍රියාවලිය විෂයෙහි හෙළන ආකල්පය යි. ප්‍රබන්ධයක් රචනා කරන්නා ඒ තුලින් සිය ආකල්පය පාඨකයන්ට ලබා දීමට උත්සහ කරයි. ඔහුගේ ජීවිත අත්දැකීම්වලින් ලබා ගන්නා ඥානය මත ඒ ආකල්ප ගැඹුරු හෝ නොගැඹුරු විය හැක. කෙසේ වෙතත් කෙටිකතාව ජීවිතයෙන් පෙත්තක් ලෙස නිර්වචනය කරන අවස්ථාවේදී ඒ ජීවිතය පිළිබඳ යථාර්ථයවාදී ඇසකින් බැලිය හැකි අයුරින් කෙටිකතාව සකස් විය යුතුය. පැරණි ජාතක කතාවල ද මානව හිතවාදී දෘෂ්ටියෙන් යුත් කතා දක්නට ලැබේ.
මීට අමතරව මාර්ටින් වික්‍රමසිංහයන් මතු කරන තවත් කාරණයක් නම් කලාකරුවා සතු උපේක්ෂාශීලි දෘෂ්ටිය යි. මෙය කෙටිකතා මෙන්ම නවකතා ලිවීමේදී සැලකිය යුතු වැදගත් අංගයක් වේ. මෙහිදී ඔහු අවධාරණය කරන්නේ ලේඛකයා තමාගේ ද්වේෂය කතාවේ චරිත හෝ වර්ණනාවලින් ප්‍රකාශ නොකර මැදහත් ලෙස කතාව ඉදිරිපත් කිරීම වැදගත් බවයි. ජාතක කතා ලියුවන් චිංචා මාණවිකා වස්තුව දැක්වීමේදී සිය අභ්‍යන්තර ද්වේෂය ඒ චරිතය තුලින් නොයවා ඉතා උපේක්ෂා සහගත අයුරින් කතාව දක්වා ඇත. එය කවර ප්‍රබන්ධයන් වුව රචනා කිරීමේදී අනුගමනය කළ යුතු වැදගත් අංගයක් ලෙස පිළිගත හැක.
ඉහත කරුණු දහයක් ඔස්සේ දක්වා ඇත්තේ නූතන කෙටිකතාව සඳහා පැරණි සිංහල කතා කලාවේ ආභාසය කවර ආකායෙන් ලැබුනේද යන්න විද්වතුන්, විශේෂයෙන් ම මාර්ටින් වික්‍රමසිංහයන් දක්වන අදහස්වල සමෝධානයක් පමණි. මේ හරහා පැරණි සිංහල කතා කලාව නූතන කෙටිකතා කලාවට බලපෑ අයුරු පිළිබඳ ව දළ අදහසක් ලබා ගත හැක. යට කී පරිදි නූතන කෙටිකතා කලාව කතාව පැරණි සාහිත්‍යයේ බලපෑම මත සිදුවූ බව පවතින් එක් මතයක් පමණි. නමුත් ඉහත කරුණු තව දුරටත් අධ්‍යයනය කිරිමේදී සම්භාව්‍ය සාහිත්‍යයේ බලපෑමක් කෙටිකතාවට නොතිබුනා යන්න නිගමනය කිරිම වැරදි සහගත වේ.
මහ වෙදගේ තරිඳු