කුණ්ඩලකේසී | රුවන් බන්දුජීව
කෙස්ස උස්කරන් බැඳගෙන – රෙද්ද තදකරන් ඇඳගෙන
රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී
සත්තුක නිදි ඇඳ වටේට – තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී
මාල කඩනවා සත්තුක – කංසා බෙදනවා සත්තුක
රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී
බතක් මාළුවක් බැඳගෙන – පියාඹා ගිහින් වැලිකඩ
කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී
සූදු කෙළිනවා සත්තුක – මඩමෙ ලගිනවා සත්තුක
මොනව කළත් මේ වෙනකම් ඉවසපු දේවී
“එපා තාත්තේ” කිය කිය – දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී
සත්තුක නිදි ඇඳ වටේට – තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී …..
-රුවන් බන්දුජීව-