Cart 0
එතරම්ම මරණ මැද මෙතරම් විශිෂ්ඨ කවීත්වයක අඩහැරයක්———
“නාදුනන ගැහැනියට..” “යාළ් නගරයේදී ..
” බංකරයක ඉපදුණු දරුවෙක් ” හමුවිය…
දීපචෙල්වන්ගේ කාව්‍යමය මනුෂ්‍යත්වය ආදරණීයව වැළද ගැනීම සදහා ඔහු මා තුළ හෝ මා ඔහු තුළ තබා “රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” කියවීමි. 2008.10.24 දීපචෙල්වන් යාපනයේ බංකරයක් තුළ සිට ඔහුගේ පළමු කාව්‍ය ප්‍රකාශන එකතුව එළි දැක්වීම ආරම්භයෙහි මෙවන් සටහනක් තබයි.
” මෙම කෘතිය එළි දකින විට මා සිටින්නේ එක නගරයක තිබෙන විශාල බංකරයක් ඇතුළතය.ඊළාම් දේශය තුළ අවුරුදු තිහකට අධික කාලයක් පසුපස පන්නාගෙන එන යුද්ධයක් උග්‍ර වූ කාල වකවානුවකදී මෙවන් කෘතියක් එළිදැක්වීම එතරම් පහසු කාර්යයක් වූයේ නැත. ජීවත්වීම පිළිබඳ හඬ නගන්න ඇරඹූ විට මුහුණු ගලවා විසි කරන්නට සිදු වූ හෙයින් මේ කාව්‍ය කෘති “අහිමි කවි” ලෙස මම ලිව්වෙමි.
ලිපිනයක් හෝ හැදුනුම්කමක් සටහන් කිරීම යනු මිනී පෙට්ටියක් මිලට ගෙන ළඟ තබා ගත්තා වැනිය.”
“මා නිසදස් ලියන්න පටන් ගත්තේ 2005 දීය. එහෙත් කෘතියක් ලෙස එය පළ කිරීමට කිසිත් උනන්දුවක් නොතිබුණි. ඒත් ජීවිතයත් අපේ දේශයත් මරණයේ භීතියෙන් සිටිනා විට, යුද්ධය සිය තඩි අත්වලින් සියලු දෙනාට පහර දෙමින් සිටිනා විට මේ හැඟීම තරමක් හෝ එළියට කිව යුතු අවශ්‍යතාවය තිබුණි. මේ කවි හරහා මගේ අත්දැකීම් සහ හඬ ජනයා කියවා ගනු ඇත. “
“යුද්ධයක් මැද ඉපදී අද දක්වා මගේ ජීවිතය යුද්ධයටම තැලී යාමේ අත්දැකීම මම මෙලෙස සටහන් කළෙමි. අවුරුදු තිහකට වඩා කාලයක් සිට එලවා ගෙන එන යුද්ධය එම තත්ත්වයටත් කාලයටත් ඇවැසි ලෙසින් උග්‍ර වෙමින් සිටී..”
දීපචෙල්වන්ගේ”අහිමි කවි” කොතරම් ගැඹුරු දේශපාලන සංවාදයක් ද යන්න ඔහුගේ ප්‍රවේශයෙහි සිට නිමා නොවන ඇරඹුමක් විවර කිරීම අපට පසක් කරලයි.
මෙවන් මානුෂීය දේශපාලන සංවාදයක් අපට අභිමුඛ කිරීම පිළිබද දීපචෙල්වන් සහෝදරයාටත් ඔහුගේ ප්රකාශනය ප්රශස්තව ඉස්මතු කරමින් දකුණු කරයට රැගෙන ආ පරිවර්තිකාව අනූෂා සිවලිංගම් සහෝදරියටත් මගේ ආදරය හා ප්‍රණාමය පුද කරමින් “යාළ් නගරය” වෙත පිවිසෙමි.
යාළ් නගරය…
“කොත්තු රොටි කඩයක්
නාඳුනන මළකුණක්
වට කරගත් නගරයක්
යාපනය නිහඩියාවක්
මගේ පාපැදිය
ලේ වගුර වගුර
බිඳී ගොස් ඇත
හන්දියක
දින සටහන්
සුළඟට හසුව
ඉරී ගොස් ඇත
මගේ පෑන
ලෝහිතව
උතුරු උතුරා
ගලනු ඇත”
යාළ් නගරය සංකේතවත් වනුයේ අතිශයින් පීඩිත දිළිදුකමින් කුසගින්නෙන් වැසීගිය නාඳුනන මළ සිරුරු වට කර ගත් නිහඬියාවකිනි.දහවල කුසගින්න නිවාගැනීමට ගත් පාන් භාගයද අහිමිව ඝාතනයට ලක්වූ මිනිසෙකු ගේ මළ සිරුර පතිතව ඇත ලෙයින් නැහැවී..
“මගේ මළකුණ
කිසිවක් නොලැබම
ලෙයින් වැසී ඇත.”
“කොත්තු රොටි කඩය විවෘතය
“මා කවුදැයි
ඔබ නොදන්නවා ඇති
එය සෙවීමට
උනන්දුවක් නැතිවත් ඇති”
මම දැන් දීපචෙල්වන් සමග නාදුනන මළ සිරුරු සමග එක්වෙමි..
“නාදුනන ගැහැනිය” මා අතින් මුදා හරිනුයේ 1996 ජනවාරියේ අවසන් දින කොළඹ මහ බැංකුවේ පුපුරා ගිය බෝම්බය හරහා ඇති වූ කම්පනය තුළිනි.අප යුද්ධයේ පාර්ශ්වකරුවන් වූවාසේම යුද්ධයේ වින්දිතයන් වීමු.
ම්ලේච්ඡ සංහාරයක පාර්ශ්වකරුවන් හෝ වින්දිතයන් වීමට අප බහුතරයකට කිසිසේත් උවමනාවක් නොවූ නමුත් අප බහුතරයක් එය උසුලාගෙන සිටියේ පාලකයන්ගේ අවශ්‍යතාව නිසා ගොඩ නැංවූ මතවාදී මනෝභාවයන් තුළ සිර වෙමිනි. ඒ තුළ මරා දමා නිහඩව වළලන මිනිස්කම පිළිබද අපට සංවේදනයක් නොවීම පිළිබද සංවාදයක් ගොඩ නංවන්නට මා දැරූ වෑයම “නාදුනන ගැහැනියයි.”
තමාගේ මරණය ගැන ඕනෑම සාක්ෂියක් දීමට සූදානම් වූ ඒ මිනිසා ද, මෙවැනි මළසිරුරක් වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වීමට කල්ගත කිරීම, නොවැදගත් සේ සලකන පොලිස් හා හමුදා භටයන් දෙදෙනා ද සමග ඇගේ මළ සිරුරට හමුදා කඳවුරක් වෙත යාමට සිදුවිය.
පරීක්ෂණය ඕනෑම ආකාරයේ එකක් විය හැකිය. එහිදී ඇයට ඕනෑම නමක් හා ගමක අයිතිය හිමිවීමට පුළුවන.
ඇතැම් විට ලෙච්චමි.. තංගම්මා… රාණි.. සරස්වතී… නැතිනම් වෙනත් ඕනෑම ද්‍රවිඩ තරුණියකට හිමි නමකට උරුමකම් කියනවා ඇත .
ඇය කාගේ කවුදැයි දන්නේ ඇයි පමණි. නැති නම් ඇය ගැන තීරණයක් ගැනීමට දෙවියන් හෝ ඇගේ මරණය රාත්රියේදී දුටු නිහඬ නදියට හෝ ඇගේ නිරුවත් සිරුර වැසෙන්නට කහ පැහැ ගැනුණු කොළ විසුරු හල අඳුරු ගස් කොළන් වලට හෝ පමණක් භාර කළ යුතුය.
ඇයට කිසි දිනක ආපසු හමුදා කදවුරකට යාමට අවශ්‍ය නොතිබෙන්නට ඇත.ඇගේ ගම ද යුද්ධයේ කොටසක්ව තිබුණා නම් ගමට ඉතාම ආසන්නව ඇති හමුදා කඳවුරට ඇය මින් පෙර ගොස් තිබෙන්නට පුළුවන.
නැතිනම් ඇයව කැඳවාගෙන හෝ අකැමැත්තෙන් කැඳවාගෙන ගොස් තිබුණාද විය හැකිය.
මේ,ඇය පෙම්වතාගේ ගම්බිම් සොයා ගිය ගමනක්…
රැයෙන් රැයට පමණක් හමුවන පෙම්වතුන්ගෙන් සමු ගැනීමට යන ගමනක්…
නැත්නම් යුද්ධයට බියෙන්
ජීවිතයට පලායාමට
තැත් කිරීමක් …
ඇතැම් විට මේ සියල්ලම විය හැකියි.
ඇය පාසල් ගියාද…
අකුරු ලියන්නට කියන්නට ඉගෙන ගත්තාද…
මිනිසුන් සමග බියෙන් නොපැකිලී කතා කරන්න ඉගෙන ගෙන තිබෙනවාද…
අද දහවලට හෝ රාත්‍රියට ඇයට කෑම සඳහා කිසිවක් ලැබුණාද…
කිසිවෙකුත් මේ කිසිවක් දන්නේ නැත.
අසල සෑම ගමකම වැසියෝ බියෙන් හා සැකෙන් පමණක් ජීවත් වෙති.ඔවුන් මිනිසුන් හෝ ගැහැණුන් ගැන වැඩිපුර සිතන්නේ නැත. සොයන්නේද නැත. තමන්ගේ ජීවිත ගැන සිතීමට පවා ඉඩකඩක් නැති ගම්මානයක මිනිස්සුන්ට උදේ පාන්දර ගැහැණියකගේ නිරුවත් මළ සිරුරක් හමු විය.
ඇගේ නාසයේ කුඩා කරාබුවක් ඉතිරිව තිබුණි.
ඔවුන් දන්නේ එපමණකි. මළ සිරුර ඉතා ඉක්මනින් ගමෙන් ඉවත් වෙනවා නම් එය පවා ඔවුනට සැනසීමකි.
“ඒකි විහින් පණ නහගෙන.!”
ඒ මළ සිරුර ඉක්මනින් මිහිදන් වෙනු ඇත .
ඇය කවුද.. ජීවිතය…
යුද්ධය…
මරණය….
දැන් මගේ නාදුනන ගැහැනිය වෙතින් දීපචෙල්වන්ගේ ” යාළ් නගරය “නාදුනන මළ සිරුර වෙත යමි.
“මා කුමක් කලාද ..
මා කැමති වූයේ මොනවටද..
මා ආදරය කළේ කාටද …
මං විරුද්ධ වූ කාටද ….
මගේ ගේ ඇත්තේ මොන ගමේද…
මගේ පසුම්බියේ ඇති පින්තූරය කාගේද..
මගේ ඇඳුමේ තැවරී ඇත්තේ කිනම් පුසුඹක්ද… මගේ හිස පීරා ඇත්තේ මොන රටාවකටද…
කවුරු මං ගැන විපරම් කළාද..
කඳවුරක් පිහිටි කොයි වීදියකද මං නොගියේ…
මොන නිල ඇඳුමටද මං බය වුණේ …
සිවිල් ඇඳුම් ඇඳගත්තවුන්ගෙන්
ඇයි මං වෙඩි කෑවේ….
ප්‍රශ්න පත්තරයකි.
මගේ මළකුණ
කවද ඒ කුණ
හඳුනාගන්නේ…
පණ නැති මා නිහඩය
පණ ඇති ඔබත් නිහඩය තව සැණෙකින් ඇඳිරි නීතිය
පොදු සිරිත බිඳ දැමූ
යාල් නගරය
දැන් කුමක් සිදු වේද…
දීපචෙල්වන් හා මා දශකයක් තුළ එකම රටක අන්ත දෙකක සිට හා දෙයාකාරයක අත්දැකීම් තුළ හිද යුද්ධයක් තුළ සිදු කරනු ලබන ඝාතනය ප්‍රශ්න කර ඇත..මගේ ප්‍රශ්න කිරීමේදී මළ සිරුර නාදුනන දමිළ සොයුරියකගේ වන අතර දීපචෙල්වන් ප්‍රශ්න කරනුයේ කිසිවෙකුත් හදනා නොගන්නා හෝ හදුනා ගැනීමට තැත් නොදරන තම ආත්මීය ඝාතනයයි.
මියයන්නන් හා ජීවත්වන්නන් අතර වෙනසක් නැති පොදු නීතියට පටහැනි අනීතික පාලනයක් පවතින නගරයක කෲරත්වය…දීපචෙල්වන් සංවේදී කවියක්ව ඉස්මතු කරයි.
2008 ඔක්තෝබරයේදී දීපචෙල්වන් මේ යුධ සංහාරයට එරෙහි කාව්‍ය සංවාදය උතුරේ ප්‍රකාශයට පත් කිරීමට ආසන්න කාලයේදී එනම් 2008 වසරේ ජූලි මස අග මම දකුණේ සිට යුධ සංහාරයට එරෙහි මගේ ගද්‍ය ප්රකාශනය “සමනල මරණය”ලෙසින් එළි දැක්වීමි.සමකාලීනව සිදු කෙරුණු මෙම අත්දැකීම් ප්රකාශනය හරහා මා වෑයම් කළේද (කිසි දින දැන හදුනා නොසිටි ) දීපචෙල්වන් සොයුරා මෙන්ම සාමාන්‍ය මිනිසුන් සමූල ඝාතනය කෙරෙනා යුධමය ප්රචණ්ඩත්වය ට එරෙහිව සමාජ කතිකාවක් ගොඩ නැංවීමටය
“රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන..”
දුර දුරය
රාත්‍රිය මත
රතු කුරුල්ලෙක් ලැගගෙන
බත් කෑ පිඟාන
වේලී ගොසිනි
අම්මාගේ පොල් කටු හැන්ද වේලි දුම් මැස්සේ, ඔහේ තිබුණි
පුස්තකාලයකින් අවසන් වන වීදියේ
සන්ලයිට් කොළ පිරී තිබුණි
ටැලිෆෝන් කම්බි අතර හැදුනුම්පත් හිමි
ඔබාගත් මුහුණු ඇමතුමකට විමසිල්ලෙනි.
අම්මාගේ ඇමතුම
මගහැරී යයි යයි.
රන්මිලට
ගත් පෑන
නිතර නිතර
බිම පතිත වෙයි.
අකුරු කුඩා වී
උතුරයි වෙව්ලනා ඇගිලි තුඩු
අව පැහැ ගනියි.
මේසය මත
ගොඩ ගසා ඇති
පොත් අතර
පමා වී ලැබුණු නැගණියගේ ලියුම
නැවත කියවමි.
අදින් අවසන් වන කුඩා ඉටිපන්දමේ
අන්තිම දැල්ල මත
සුදු වෑන් රථයක්
සැඟව තිබෙයි
බත් කෑ පිඟාන වේලී ගොසිනි.පොල්කටු හැන්ද වේලී දුම්මැස්සේ ඔහේ ඇත. අම්මා දුරස්ව ඇත.නංගී දුරස්වය.විසිරුණු ජීවිත තුළ ජීවිතය බෙහෙවින් අසිරු බව රතු කුරුල්ලෙක් කවියක් ගයන්නේද..
පොත් පත ඇසුරු කරමින් නිස්කලන්කව ගෙවී ගිය ජීවිතය හිස්ව විසිරී ගොස් ඇත සීසී කඩව.
රන් හා සමාන මිලක් ගෙවා මිලදී ගත් පෑන වෙව්ලන ඇගිලි තුඩින් අවනත නොවී උතුරන වේදනාව දීපචෙල්වන් , අකුරු වැල් කරමින් දැල්වී අවසන් ඉටිපහන් සිලුවක මරණය සිත්තම් කරයි.
දීපචෙල්වන් ගේ කාව්‍යාත්මක හඩ නැංවීම එකිනෙකට යාවී ඇත්තේ නිදහස පිළිබද අපේක්ෂාවන්..
මනුෂ්‍යත්වය තුළ සංවේදනාවන්..
යුධකාමයෙන් තලා පෙලා දැමූ පීඩිත ජීවිත අතර
ආදරය සොයා යාම..මානව දයාව හා මිනිස් සිතීමේ රේඛා පුලුල් තලයකට නිරායාශයෙන් ඔසවා තැබීමේ අභිලාෂය සමගිනි.
එබැවින් මෙහි දැක්වෙන එක් ප්රකාශනයක් අනෙක සමග බද්ධ වී ඇතැයි මට සිතෙයි.කාව්‍ය 32 ක් සමගින් දීපචෙල්වන් අප කැටුව යන මේ ගමන් මග ඔහු විදහාලන සලකුණු කිසිවක් මග හැර යා නොහැක.එහෙත් මේ සටහන මතු දිනක දීර්ඝ විමසුමක් බවට පත් කෙරෙන තෙක් මට “බංකරයක ඉපදුණු දරුවකු..”වෙතින් අවසන් කරන්නට සිදුවන බව කියමි.
“බංකරයක ඉපදුණු දරුවකු”
ඉපදුනේ නම් මගේ දරුවා
ඇමරිකාවේ
මන්දිරයක
එසේ නම්
කුමක් සිතනු ඇද්ද…
දරුවන් වෙනුවෙන් කුඩා මිනී පෙට්ටි පිරී තිබෙන මුකුත්ම නැති
අපේ නගරයේ
ඉපදුන මගේ දරුවා
දරුවන්ගේ සිඟිති සිනා වල දමා පොළොව ගැඹුරේ අපි තැලී ගිය අනාගතයකට වාඩිලාගෙන සිටිමු.
බංකර ඇතුලේ
ඉස්කෝලේ අහිමිව
මධුර නාදය
මියගිය
දරුවන්ගේ ගීතය
අළුව විසිරුණි
වැහැරුණු පියයුරු අතර කැහැටු දරුවන් වඩා සිනහවක් නැති
රටක් තැනුවෙමු
මේ බංකරයටම සින්න සින්නවුනු මගේ දරුවාගේ නැලවිල්ලට මා කුමක් කියන්නද මොවුන්ගේ සිදුනු තන් පුඩුවල කැඩුණු පා ඇති දරුවන් තදින් එල්ලී සිටි සිටී සෙරෙප්පු දිරාපත් වී ගොසිනි ගොසිණි.
ඔවුන්ගේ තොල්පෙති වියළී තිබිණ
දිවද වියළිය
අපිත් ගොළු දිවෙන්
දරු ගැබෙහි සිටින විට
මේ දරුවන් ගැන
කුමක් නම් කතා කළෙමුද…
දරුවන්ගේ ඇස් තුළ මරණය ස්ථිරවම ලැගුම්ගෙන ගෙන
උන් එක්කම ඇලී ගැලී ඉපදී ඇත
කරුණාවේ හඬත් විමුක්තියේ පා සටහනුත් ඔවුන්ටත් නොදැනීම
උදුරා ගෙන ඇත
මම උපන්නේ ද යුද්ධයක් මැද බවු අම්මා කියා තිබුණි.
දැන් මගේ දරුවාද
මේ බංකරේම
ප්‍රසූත කළෙමි.
හෙට දිනක ඔහු
ජනපති- හමුදා නායකයන් කවුරුන්දැයි අසනු ඇත
මම බොහෝ දේ එකතු කරගත යුතුව ඇත
කැඩපත් කුඩු කර
වතුර කලතා
අපවම අප නොදැක
තිත්ත කළුවරක සිටි බව, ප්‍රසූතියේදීම
තොටිල්ල පිළිස්සුණු නාදයෙන් නැළවිලි ගීය අඟුරු වූ බව
මම කියාදිය යුතුමය
බංකර නිවසේ මගේ දරුවන්ගේ කඳුළු
ගල් ගැසුණි
දීපචෙල්වන්ගේ කවියට අමුතු අරුත් සැපයිය යුතු නැත.මන්ද ඔහු ලෙයින් නැහැවුණු කුරිරු යුගයක මරණයේ දේශයක සිටිමින් සරල බසක් ඉතාමත් තියුණු ලෙස හසුරුවමින් සෑම වැකියකටම දරා ගත නොහෙන තරම අරුත් එක් කර ඇති බැවිණි..අවශ්‍ය වන්නේ දීපචෙල්වන් විසින් කාව්‍යමය බසකින් අරුත් ගැන්වූ …අපට මග හැරී ගිය සිතීමකට අප එක් වීමයි..
එය අපේ දේශය තුළ බිදුණු සහෝදරත්වයක් යළි ගොඩ නැංවීමේ ද මානව විමුක්තියේ ගැඹුර ස්පර්ශ කිරීමටද අනගි පිටුවහල් ක් වනු ඇත.
දීපචෙල්වන් මිනිස් රුහිරු තුළින් නිමවන මේ මානවීය ප්රකාශනය අපේ මව්බිම තුළ පමණක් නොව සමස්ත ජාත්‍යන්තරය තුළ යුධ සංහාරයට එරෙහි වේදනාවක සනිටුහනක් ය..
දරුණු මර්දනයක් පීඩනයක් නිසලව දරා සිටින තම සහෝදර ජනයා.. ඔහු උතුරේ සිට ප්‍රශ්න කරද්දී එමගින් දකුණේ හදවත් බරපතල ලෙස කම්පනයට හා තියුණු අභියෝගයකට ලක් කිරීමට ද සමත්වෙයි.
උතුරේ අහිමි කළ ජීවනය පිළිබද කතාවත ඔහු ගොඩ නංවන්නේ දකුණ සමගද සංවාදයක යෙදීමේ අපේක්ෂා පෙරදැරිවය.
අපගේ දකුණේ සහෝදරත්වය “රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” කියවා ගත යුතු හා වටහා ගත යුතුවා මෙන්ම එයට නිසි මානුෂීය වටිනාකමක් එක් කළ යුතු අපූර්ව නිර්මාණශීලී ගැඹුරු දේශපාලනික කාව්‍යමය සංවාදයකි.
– තිලිනා වීරසිංහ
විචාරය නියමයි.✍️👍