Cart 0
අප නොසන්සුන් කරන සංසුන් සාංසාරික නික්ම යාමක්.
සුමින්ද කිත්සිරි ගුණරත්න කවියාගේ වියෝව ගැන ඊයේ හවස මම වට්සැප් ස්ටේටසයක් පළ කරාට පසුව මගේ ලැයිස්තුවේ ඉන්න යොවුන්, තරුණ සහ ඇතැම් මැදි වියේ කවි ලියන, කියවන සහ සාහිත්ය ඇසුරු කරන අය හුඟ දෙනෙක් ඒ ස්ටේටසයට එවා තිබුණ ප්රතිචාර වුණේ “කවුද සුමින්ද කිත්සිරි ගුණරත්න? “අහලම නෑනෙ එයා ගැන මීට කළින්”, “එයාගෙ පොත් කොහෙන්ද ගන්න පුළුවන්”, “අදමයි මෙහෙම කෙනෙක් ගැන ඇහුවේ” වගේ දේවල්.
අජිත් තිලකසේන (තිලකසේන පිළිබඳ යම්තාක් දුරට සංවාදයක් වර්තමානය වෙද්දි ඇති වෙලා තිබීම ඉතා සාධනීය තත්ත්වයක්), ධර්මසිරි රාජපක්ෂ වගේ ලංකාවෙ කාව්ය විචාරකයන්ට, පාඨකයන්ට, සාහිත්ය සංවාද මණ්ඩපවලට සුමින්ද කිත්සිරි ගුණරත්නවත් මගහැරුණා කියලයි මට හිතෙන්නේ. ඒකට හේතුව සුමින්දලා, ධර්මසිරිලා ජනප්රිය සාහිත්ය සංස්කෘතියෙන් විතැන් වෙලා බුද්ධි කේන්ද්රීය, ගැඹුරු කවියක් වෙනුවෙන් ඔවුන්ගේ ශ්රමය වැය කිරීම. එක ම රටාවක සිරකරුවන් නොවී අලුත් සාහිත්ය ප්රවණතාවන් සමග උරෙන් උර ගැටීම. ඒ ජනප්රියත්වය ඔවුන්ට නැති නිසයි ඔවුන් ලියන පොතක් මුද්රණ වාර එක දෙකකින් එහාට නො යන්නෙ. ජාත්යන්තර පොත් ප්රදර්ශනයේ බාගෙන් කුටිවලත් නොවිකිණී නිසොල්මනේ ඉන්නෙ. මරදාන ගොඩගේ පොත් සාප්පුවෙ උඩු මහළෙ රුද්පියල් දහයටවත් විකුණගන්න බැරුව තියෙන්නෙ.
සුමින්ද කිත්සිරි ගුණරත්න කියන්නේ නිහතමානී බහුශ්රැත සාහිත්යකරුවෙක්. ලංකාවේ බහුතරයක් අරුමෝසම්, සිල්ලර සාහිත්ය විචාර සංවාද මණ්ඩපවලට සුමින්දලාගේ සාහිත්යයික ඥානය වැදගත් වුණේ නෑ. හැමදාම හැම වැඩසටහනකදි ම එකම ප්රශ්නෙට උත්ත දෙන, එකම අත්දැකීම් ටික විස්තර කරන, මොන තරම් අවුල් වුණත් ඒක කෙළින් කියාගන්න බැරුව ‘හොඳයි’ කියමින් සුදු හුණු ගාමින් පෙරවදන් පසුවදන් සපයන මහා කවියන්ට විතරයි ඒ සංවාද මණ්ඩපවල ආසන නිරන්තරයෙන් වෙන් වුණේ. ඉදිරියේදී කාලයේ වැලි තලාවෙන් වැසී යන අවධානමක සුමින්දගේ කවියත් තියෙනවා කියල මට හිතෙනවා. ඒ ගැන හිතේ මහා දුකක් තියෙනවා. ඒත් මොනවා කරන්නද?
වැලි කැට සමග හිනැහෙන පිනි කඳුළු සොබා
මම විඳ ගතිමි මේ කඳුබිම පැමිණ නොබා
හමුවුණ නමුදු තුඟු ගිරි වන දෙවිඳු සබා
සමුගත යුතු ය අද කඳුබිම මෙහි ම තබා
(සුමින්ද කිත්සිරි ගුණරත්න | 2014-07-28)
සංසුන් සාංසාරික ගමනක් කිවියර!
| පෘථිවි අයේශ්මන්ත බාලසූරිය
2024 නොවැම්බර් 12