මගේ අත | එරික් ඉලෙයප්පාරච්චි
මම තවමත් ලියමි. මට නොලියා සිටිය හැකිද? එක වැකියක් හෝ නොලියූ දවසක් නැත.
– වචන, ෂෝන් පෝල් සාත්
………………………………………………………………
ඇඟිලි සයක හස්තය වේ – පෑන සහිත අත් මෙවලම
මේසය මත කඩදාසිය – අසෙකු දුවන තැනිතලාව
කප්තුරකින් සෙවණ ලබන – ජයතුරඟා නවතින තැන
ලියන අසරුවා වැතිරෙයි – ඒ ගස යට ලියනු පිණිස
දෙකට බෙදී ගිය ගිරිකුළු – අසරු ඇසින් නරඹනු පෙර
ලුහුබැඳ එයි කුර හඬක්ව – කැලෑ අසුන් වැනි සිතුවිලි
* * * * *
ලියන සිතට මායිම් නැත – රසමසවුළු පිසින ලෙසට
ලියනුව සිත ඉගිලී යයි – අහස සරණ විහඟ රුවට
අනුප්රාසය දැනේ කනට – අඬන දොඩන කල මිනිසුන්
ශෘංගාරය රසය කළේ – බසින් ඔමරි පෑ ගෑනුන්
ඇඟිලි සයක් ඇති අතකින් – ඒ සියල්ල ලියනවාද?
පසැඟිල්ලා ලෙස වෙරළේ – ගලක් වෙලා ඉන්නවාද?
* * * * *
පුරඟන රැය අමතන්නේ – පිටපත් කළ යුතු බසකින්
බස් ගමනත් සරසවියකි – ගරු උපාධි දෙති මඟියෝ
කැසිකිළියේ බස මිහිරි ය – කුණුහරුපෙන් කියන කියුම්
මුත්රාබර ඇති දුහුනෝ – සතුටු සුසුම් හෙළති බසින්
ඇඟිලි සයක් ඇති අතකින් – ඒ සියල්ල ලියනවාද
පසැඟිල්ලා ලෙස වෙරළේ – ගලක් වෙලා ඉන්නවා ද?
* * * * *
මම තවමත් ලියනවාට – බියක් ලොවට දැනෙනවා ද?
ඇඟිලි සයේ නපුරු හැඩය – කෙලෙසා අත සිඳිනවා ද?
ඇඟිලි සයක යකඩ අතක් – කම්මලකින් තනනවා ද?
අතක් නැතිව ගිරි මුදුනින් – මම පහළට පනිනවා ද?
ඇඟිලි සයක් ඇති මිනිසා – බෝතලයක දමනවා ද?
භූත මිනිස් බෝතලයත් – මහ මුහුදට දමනවා ද?
__
- එරික් ඉලෙයප්පාරච්චි