ගඟක්’සල කුඩා ඔරු බඳ!! | නදුන් යසිත දසනායක
අකුරු ගලන වදන් ගඟ
හැමදාම කවි ටිකක් දී යන
මහ ගැඹුරු ගඟ
සිතේ විල් සියපත් තියාගෙන
දිය රැළි කරකවා මතකයේ සුළි’තර
ගඟබඩට මා කැඳවා
මිටක් වන් දියක් දී
යන්න යන මේ ගඟ…
පපුතුරේ සඟවාන මීන
කුඩාම පාසි කැටිත්තක හීන
මගෙම සෙවනැලි අවුලේ
රූ මතක පා කර වතුරතරේ
වදන් නිමවන කල්පිතාන්දරයාණෙනී,
සියුම් ගෝෂාවක
සවන් සනහාලන මිහිරේ
යුග ගණන් පරිණාමය වී
බසින් බස සැකසී
තවත් යයි මේ යෞවනේ ගමනේ…
බසකින්ම කැටයම් කළා වැනි
විසල් නගරයකි ඔබ
ගඟක් නොව මේ දැනුත්
නිමවයි කිසිවෙකුත්
ආලෝක නගරයක් ඔබ තුළ
අසබඩ නටන තුරු රටා මෙනෙවියන් අහුලා
ඉරේ මිණිකැට අතරට තබා හැඩ බලන්නට ඉඩ හැර
ගලන එකමය කාරිය!!
මා කුඩා එකෙකු මෙන්
ඉවුරේ අකුරු ඔරුවක් තනා
කුඩා ඇලපිල්ලක් දිගහැර
තනා හබලක්
කෙළිසෙල්මක්ද මේ
ඔබසල?
ඔච්චම්ද පාන්නේ ගඟ මට
යුග ගණන් කවියන් දැක
මගෙ කුඩා අබලි කවි ඔරුව වෙත පාන්නේ…
මම අලුත් බසක් තනන්නයි යන්නේ…
ඔබ ගිල්ලවයිද මා ඔරුව
සීතලේ වදනින් වදනමුණා තැනූ…?
ඔබ බසින් එහා හඬ සොයන්නයි තනන්නේ
සරදම් සිනාවක්ද ඔබ තුළ???
වසර සැත්තෑදහසකට එහා සිට
ලියා අකුරින් අකුර සංකේත
නොයෙක බසැති ලෝ තුළ
ඔබද එක ගංගාවකි
විසල් සමුදුර ඈතකි
කෙසේද පරිණාමය වූයේ
සියලු පරිකල්පන
වදන් සමඟම…
නැත නැත සියලු දේ වෙත යන බසක්
මේ ලොව තව නැත
ගඟද කවදාක් හෝ සිඳී
අකුරු නැති බසකට යා ද අප?
ඉමක් නැති මේ පැණ අතැර
මම මගේ කුඩා ඔරුකද
ඔබේ තුරුලේ තබා
ඔබෙන් එතෙරට යන්නට පාව හරිනෙමි
ඔබෙම ඒ අකුරු නිමැවුම
ඔබම දියකරගන්න ඔබ තුළ
මගෙම හඬකින් ඒ කව
ඇසෙන තෙක් ඔබෙ ගඟ ළඟ
කුඩා කවියෙකි තවම මම!!
– නදුන් යසිත දසනායක