Skip links

කසුකුසුව – සේවියර් කණිශ්ක සමග

පත්තරකාරයෙක් විම අතිශය දුශ්කර කාර්යයකි. මුල් කාලයේදි ලැබෙන සොච්චම් වැටුපට වඩා වැදගත් වන්නේ කන්තෝරුවට වැදගත් යමක් ගෙන ඒම ය. නමුත් ඒ සියළු දුශ්කර කාර්‍යයන් මැද ජනතාවට යහපතක් කිරිමේ චේතනාව ඔහුගේ සිතේ නිතර ම පැලපදියම් වේ. තම කාර්‍යයට අවංක විම නිසා ඔහුට ජිවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවන්නේ පත්තරකාරයාගේ සමාජ වගකීම මනාව පැහැදිලි කරමිනි. නමුත් මේ චරිතය රංගනය තුලදි ප්‍රේක්ෂකයා වෙත සාර්ථකව ගෙන ඒම අතිශය ඉසියුම් කාර්යයකි. මේ කසුකුසුව වෙන්වන්නේ කාලයක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ සිතේ එලෙස වීරයෙක් වු චුටි පත්තරකාරයෙක් ගැන ය. නමින් ඔහු සේවියර් කණිශ්ක ය. මේ ඔබ වෙතට ගෙන එන්නේ ඔහු සමග හුවමාරු කල වදන් ගොමුව ය.

1. ඔබ සහෝදරත්වය විශ්වාස කරනවා ද ?

ඔව්., මට එහෙම බැඳීම් තියෙන ගොඩක් අය හමුවෙලා තියෙනවා. මගේ එහෙම යාලුවෙක් හිටියා කවි ලියන. හොඳට කාලා බීලා ඇදලා හිටියා. එයා ලියපු කවි මට ඉස්සර පෙන්නනවා. ඒ කාලෙත් මට කවි තේරුණේ නෑ. පස්සේ කාලෙක එයා Navy එකට ගියා. ගිහිල්ලා මට ලියුමක් එව්වා “මේ දවස්වල මම Shoot කරනවා. එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා කණියා” කියලා. මම ඒකෙන් ගොඩක් Shock වුණා. මොකද එහෙම එකෙක් නෙමෙයි ඒ මනුස්සයා. සහෝදරත්වය කියන එක වෙන විදිහේ දෙයක් වෙන්න ඇති. මට කියන්න පුළුවන් හැමදේම,බෙදා ගන්න පුළුවන් හැමදේම, පුංචි දෙයක් හරි කියන්න එකෙක් නැති උනානේ කියන හැගිම මගේ යාලුවා මතක් වෙද්දි මට එනවා. සහෝදරයා එකේ Dialogue එකක් තියෙන්නේ හැමදේම කියන්න පුළුවන් සහෝදරයෙක් ඉන්නවා ද කියලා. ඇත්තට ම මට එහෙම කෙනෙක් නැහැ. එහෙම නැහැ නෙමෙයි එහෙම හිටපු අය දැන් වෙන වෙන තැන්වල ඉන්නේ., නැත්නම් වෙනස් වෙලා. මම දන්නවා එහෙම වෙනස් නොවි තියෙන කිසි දෙයක් නැහැ කියලා. එහෙම අඩුවක් හැමෝටම වගේ ඇති. සමහරක් වෙලාවට මට එහෙම කවුරුත් නෑ කියන එක හිතිලා කම්පා වෙන අවස්ථා එනවා. සහෝදරත්වය කියන එක දේශපාලනික විදිහට ගත්තත් කවුරු කොච්චර කිව්වත් අදාල නෑ එහා පැත්තේ ඉන්නේ කවුද, ඔහු මොන ආගමේද,ජාතියේද කියන එක.
මාව මිථ්‍යාවෙන් ඈත් කළේත් එක්තරා සහෝදරයෙක්. එයා පල්ලියේ Piano එක Play කරන ළමයා. මම එතකොට ගීතිකා කියනවා. විවිධ සංගීතඥයින් ඇවිත් අපව පුරුදුපුහුණු කරලත් තියෙනවා. අවුරුදු පහළොවක් දාහසයක් මම ජීවත්වුණේ පල්ලියේ ම තමයි. කෙල්ලෙකුත් හිටියා එතැන. මගේ යාලුවාට හොඳ නිර්මාණ ශක්තියත් තිබ්බා. එයාත් හොඳට කවි ලියනවා, පොත් කියවනවා. නමුත් ඔහු ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. මේකේ තේරුමක් නෑ කීයන තැනට ආවා., නමුත් ඒ දේ තේරුම් අරගෙන කාලයක් අපි ආතල් එකේ හිටියා. මුලින් ම ඒබ්‍රහම් ටී. කොවුර්ගේ පොත් ගෙනත් දීලා මගේ මනස වෙනස් කළේ ඌ. මගේ යාළුවාට ලස්සන කෙල්ලෙක් හිටියා. ටික කාලයක් යද්දි මනුස්සයා වෙනස් වෙන්න පටන් ගත්තා. දවසක් ඒ මිත්‍රයා මට කිව්වා “මං ඔයාට ආදරෙයි කණියා” කියලා. එතකොට මම ඔහුව තේරුම් අරගෙන තිබ්බ නිසා මට කිසිම හිරිකිතක්.චකිතයක් දැනුනෙ නැහැ. අනික ඒ මගේ හැමදෙයක් ම බෙදාගත්ත සහෝදරයා. ගීතිකාවක් තියෙනවා “කවුරු වුවත් ඔබ මගේ සහෝදරයා” කියලා. මම වෙලාවක කිව්වා මං කෙල්ලෙක් වුණා නම් මම උඹට කැමති වෙනවා කියලා. නමුත් අපි දෙන්නාට ගමන් කරන්න තිබුණේ වෙන වෙන ම පාරවල් දෙකක හින්දා දෙතැනකට වෙන්න සිද්ධ වුණා. නමුත් මං මේ ඉන්න තැනට මනස හදාගන්න මගේ මිත්‍රයා මට ගොඩාක් උදව් වුණා.

2. මිනිස්සු වේදිකාවක හෝ වෙනත් අවකාශයක රගපාන එකෙයි, මිනිස්සු එදිනෙදා ජිවිතේ රගපාන එකෙයි වෙනස් මොකක්ද ? වඩා ලේසි මොකක්ද ?

Artවලට වැඩිය Life එක ලොකුයි. Life එකේ ජීවත් වෙන එක තමයි අමාරු. Arrt අමාරුයි කියන්න පුළුවන්., නමුත් ඒක රැකියාවක්. අනිත් අය ඊට වඩා අමාරු දේවලුත් කරනවා. රඟපාන එක අමාරු වෙන තැනුත් තියෙනවා., ආතල් එකක් වෙන තැනුත් තියෙනවා. වෙනත් රැකියාවක් කරන කෙනෙක්ට බැරි දෙයක් තමයි තවත් පුද්ගලයෙක් බවට පත්වෙන්න. ජීවිතයේ දී අපි අපිව හොයා ගන්න Try කරනවා. චරිතයක් කරනකොට කරනකොට අපි වෙන කෙනෙක්ව හොයා ගන්න Try කරනවා. මං හිතන්නේ ඒක තමා මට දැනට තියෙන උත්තරය.

3.අපි ඔබව දැක්කේ “බොහිමියානුවා”, “සහෝදරයා” ටෙලිනාට්‍යවලින්. දැන් “වීරයා ගෙදර ඇවිත්” ටෙලිනාට්‍යයෙන්. මේක හිතලා ගත්ත තීරණයක් ද ?

බාගයක් හිතලා ගත්තේ. මට එහෙම වැඩ ගොඩාක් එන කෙනෙකුත් නෙමෙයි. ඔය අතරේ පිටපත කියන්නේ නැතුව මෙගා වගේ කතා කරපු වැඩ තුනක් විතර තියෙනවා. එකක් කතා කරා Transgender character එකක් Comedy විදිහට රඟපාන්න. නමුත් මම ඒක ප්‍රතික්ෂේප කරා. මේ ළඟදිත් යාලුවෙක් යාළුවෙක් කතා කරලා කිව්වා “මෙහෙම ජරාවක් තියෙනවා මාස දෙකක් විතර ඇදගන්න පුළුවන්ද ?” කියලා. මම ඒකත් ප්‍රතික්ෂේප කරා. බොහිමියානුවා, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත් වැඩ තුනට ම කතා කරේ නාමල් අයියා. එයාගේ වැඩ ගැන මට විශ්වාසයක් තිබුණ නිසා මම ඒ නිර්මාණ තුනට සහභාගී වුණා. ඔක්කොට ම වඩා ගොඩාක් හොද ප්‍රතිචාර හම්බ වුණේ බොහිමියානුවාට. ඒත් මම රගපෑවේ විනාඩි දෙකක් විතර. එක Dialogue එකක්වත් කියන්නේ නෑ. නමුත් ඒ ලියවිල්ලේ තියෙන ප්‍රබලත්වය නිසා ම ඒ චරිතයට ගොඩක් අය ආදරය කරන්න පටන් ගත්තා. ගොඩක් අය හිතන්න පටන් ගත්තා මම ඒ චරිතය වගේ කියලා. නමුත් මම ඊට හාත්පසින් ම වෙනස් ජිවිතයක් ගත කරන කෙනෙක්. අනික චරිත තෝරා ගන්නවා කියන කතාව මම කියන්නේ නැත්තේ වෙන අයත් තෝරලා අපිව එන්නේ එතැනට. එහෙම තෝරපු එකක් නෙමෙයි., නමුත් නොතේරුවාත් නෙමෙයි.

4.සහෝදරයා නාට්‍ය ඔබට කොච්චරක් දැනුණා ද ?

ඒක මම කොහොමද කියන්නේ… සහෝදරයා එකේ කැමරාව, Direction, Music වගේ හැමදේම කලේ plan එකකට. සමහරක් වෙලාවට Shoot එකේ දි පවා ඒ music දැම්මා. මම රජිව්ගේ කාමරේ ඇතුලට පළවෙනි වතාවට යද්දි එහෙම Music play කළා. ඒ හැඟීම් මට දනවන විදිහට නාමල් අයියා වැඩ කලා. අනික මට ලැබුණේ මට වඩා ගොඩක් දැවැන්ත චරිතයක්. මං කසුන් පුස්සෙවෙල අයියාගෙන් ඇහුවේ “බය නැද්ද?” කියන එක විතරයි. කසුන් අයියා කිව්වේ බය කියන එක දැනෙන්නේ නැති විදිහට එයාව හැදිලා කියලයි. ඒක කොහොමද කියන එක එයාටවත් පැහැදිලි කරගන්න බෑ. සමහරක් අය කියලා තිබුණා මම ඒකට Confident නෑ කියලා. එක තැනකදි මම ඒක පිළිගන්නවා. මොකද ඒ ශක්තිය ගන්න මට රඟපාන්න තේරුනේ නැහැ. හරි Economical විදිහට, වැඩිය දඟලන්නේ නැතුව, Directorගේ අවශ්‍යතාවයට අනුව, Over act කරන්නේ නැතුව වැඩේ කෙරුව නිසා සහෝදරයා එක පැත්තකින් මට දැනුණා. Audience එක්ක වෙනස් කරන්න හැකි නාට්‍යක් විදිහට සහෝදරයා මට තව පැත්තකින් දැනුණා. නමුත් අවුරුදු දෙදහක් තිස්සේ බලය ගන්න ගහ මරාගන්න සමාජයකට, එහෙම උන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ට සහෝදරයා විතරක් මදි ඉතින්. මෙහෙම නිර්මාණ හැදුනේ නැත්තෙත් නෑනේ. මනමේ සිංහබාහු වුණත් හරි ලස්සන දේවල් සංකීර්ණ දේවල් කතා කළත් අපේ සමාජය තාමත් එතනමයිනේ. පොඩි පිරිසක් බලනවා., විදිනවා.,මැරීලා යනවා. තාමත් එක තැනමයි අපි ඉන්නේ. මෙතන මම කියන්නේ සහෝදරයා ගුණාත්මකභාවයෙන් අඩුයි කියන එක නෙමෙයි. මේ දුපතට සහෝදරයෙක් විතරක් මදි කියන එකයි.

5. නාමල් ජයසිංහ කියන්නේ හුදු අධ්‍යක්ෂකවරයෙක් විතර ද?

එයා අධ්‍යක්ෂකවරයෙක්., පිටපත් රචකයෙක් කියනවට වඩා මම කැමති එයා හොද මනුස්සයෙක් කියන අර්ථකථනයට. අපි ඉදහිට මුණගැහෙන මොහොතක Artවලට අමතරව ඒ හා සමානව ජිවිතය ගැනත් කතා කරනවා. ඔය මිනිස්සු නිසයි මට තේරුම් ගියේ කලාවට වැඩිය ජීවිතය ලොකුයි කියලා. කලාවෙන් දේවල් වෙනස් විදියට පෙන්නුවත්, විවිධ අර්ථකථන දුන්නත්, ගතානුගතික සමාජ ක්‍රමයක් එක්ක ජිවිතය යනකොට ඒක Art කරනවාට වැඩිය අමාරුයි. එයාට හැමදෙයක්ම කියන්න පුළුවන් එක්කෙනෙක්. නමුත් අවංකව ම මම නාමල් අයියට මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියලා නෑ. මම හිතනවා වෙලාවකට මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හිටියා නම් කොච්චර හොඳ ද කියලා. ඇත්තට ම ඒක වෙන දෙයක් නෙමෙයි. මට ම තමා මං ගැන කියන්න වෙන්නේ.

6.ඔබ පොත් කියවනවා ද ? එහෙම කියනවා නම් මොන වගේ පොත් ද ?

පොත් කියවනවා ටිකක් අඩුයි මම. කියවන කොට හැමතිස්සේ ම පෙළඹවෙන්නේ වැඩකට ගන්න පුළුවන් නවකතාවක් හෝ කෙටිකතාවක් වගේ දෙයක් තමයි. phone එක ගොඩාක් කිට්ටු නිසා යම්කිසි වැදගත් දෙයක් කියවන්න අවස්ථාවක් නොලැබෙනවාත් නොවෙයි.

7.ලංකාවේ නළුවෙක් වෙන්න අවශ්‍ය සතර අභිනය විතරක් ම ද ?

මේ දුපතේ නළුවෙක් වෙන්න ඕන නම් ඒ දේවල් අවශ්‍ය නැහැ. ඒකට ඕනෙ තරම් සාක්ෂි වටපිටාවේ අපිට තියෙනවා. ටෙලිනාට්‍යයක ඉදලා, Show එකක සින්දු කියලා, program එකක හිටියා නම් නළුවෙක් වෙන්න පුළුවන්. කලාවක් විදිහට රංගනයේදී තව පුද්ගලයෙක් බවට පත්වෙන එක, Direction හරහා ඒ මනුස්සයා ගෙනියන එක වගේ දේවල් වලට ඔය අභිනයන් කියන එක වැදගත්. තව කෙනෙක් බවට පත්වෙන්න අපිට අත්දැකිම් තියෙන්න ඕනේ., ඒ වගේ ම Study එකකුත් තියෙන්න ඕනේ. එහෙම ඇසුරක්, අත්දැකීමක් තිබුනත් අපිට ඒ චරිතය කරන්න බැරිවෙන්න පුළුවන්. එතකොට අපි Acting technics දැන ගෙන තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මමත් දන්නේ එකෙනුත් අංශු මාත්‍රයක කොටසක් විතරයි.

8. නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට බොහෝ දුරට තේමාවෙන්නේ සමාජ අසාධාරණයක්., සමාජ ගැටළුවක්. ඔවුන්ට වෙනත් තේමාවක් නැති තරම්. එකෙන් කියන්නේ මේ රට කොච්චර විනාශ වෙලා කියන එක ද ?

එතකොට ඔය රුසියානු නවකතා, නාට්‍ය ලියවුනේ හොඳයි කියන කාලයක ද? ඒ මිනිස්සු ලියලා තියෙනවා Life එක ඇතුලේ දේවල්. නරක කාලේ, හොඳ කාලේ කියලා එකක් නැහැ. එහෙම දෙයක් තියෙනවා කියලා හිතමුකෝ. නමුත් මගේ පරම්පරාවේ ප්‍රශ්නේ තමා අපි ඇතුලේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙලා ලොකු පැටලැවිල්ලක ඉන්න එක. තාමත් 87-89 වුණ කැරලි ගැන නාට්‍ය කරනවානේ. නමුත් මෙය මොහොතේ තමන්ට තියන ප්‍රශ්නය සම්බන්ධයෙන් ලියාගන්න බැරි දෙයක් අපිට තියෙනවා. මට ඒක ඇයි කියලා තේරුම් කරලා දෙන්න අදහසක් නැහැ. වේලාවකට මම මං ගැන කල්පනා කරන කොට හිතෙන දෙයක් තමයි ප්‍රශ්නවලට plaster දම දම ගිය ගමනක් මට තියෙන්නේ කියලා හිතෙන එක. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම කෙටිකාලීන උත්තර තමයි හොයන්න පෙළඹවෙන්නේ. නමුත් ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳන්න උවමනාවක් නැහැ. පාලකයෝ රට ගෙනියන්නෙත් එහෙමයි. නමුත් මේ ගමන නිවැරදි විදිහට යන අයත් නැතුවමත් නෙමෙයි. එහෙම අය මට හම්බවෙලා තියෙනවා.

10. කලාකරුවාගේ ආගම විය යුත්තේ කුමක් ද ?

මම ඉන්නේ කලාව සම්බන්ධයෙන් පොඩි ස්වයං වින්දනයක. එතකොට ඒක විතරක් හරි කියලා මට කියන්න බෑ. ඊට වඩා මේ සමාජය වෙනස් කරන්න ඕනේ කියන මතේ ඉදලා නිර්මාණය කරපු කලාකරුවෝ ඕන තරම් ඉන්නවා. කලා කරුවා ආගමික වුවත්, නිරාගමික වූවත් තමන්ටම අවංක වීම අත්‍යවශ්‍ය දෙයක්. අපිට අනෙකාට කියන්න පුළුවන් ඇත්ත වගේ බොරුවක්. නමුත් ඒ කිව්වෙ බොරුවක් කියලා අපිට දැනෙන්න ඕනේ.
පොඩි පොදයක සීතලත් සමග ඔහුගේ කූඩා කාමරයේ සිදු වු කසුකුසුව උණුසුමෙන් පිරි කතාබහක් විය.මේ විප්‍රවාසි වාසය ඔහුගේ ජිවිතයට අලුත් හැඩතල ගෙනඑමින් පවති. අයිත්මාතව්ගේ “ජමිලා” කෙටිනවකතාව ඔහුගේ ඇදමත ය. නිහඩතාවය තුළින් බොහෝ දෑ ඇසෙන බව මම විශ්වාස කරමි. මේ වචන ගොමුව එය වෙලාගත් හෘදසාක්ෂියකි. එය මට දැනේ., ඔබටත් හැගේ නම් එය මට කියන්න.

– අයන්ත යුනේෂ් ප්‍රනාන්දු

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search