සකුරා . . නුඹ සකුරා මලක්, අනුරාගයේත් ආදරයේත් සුවඳ අරගෙන මගේ ජීවිතයට පිපුණු. නුඹ වගේ ම සකුරා මල් යායක් මගේ අවට තිබුණා. සුරූපිණියන්, ආදරය දෙන්න සැදී පැහැදී උන්නු යුවතියන් ගණන් කළ නොහැකි තරමක් මගෙ ජීවිතයට ගොඩවදින්න තිබුණා. ඒත් ....... පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ ඒත් නුඹ තමයි මගේ සකුරා මල. මගේ එක ම සකුරා මල. අනුන් සතු සකුරා මලක සුවඳක්වත් මම වින්දේ නැහැ. මම නුඹ හැරෙන්නට වෙනත් මලක් නෙලුවෙත් නැහැ. සකුරා යායකින් මගේ අතින් පෙති ගිලිහුණේ නුඹේ ම පමණයි. නුඹ මට මහා ගහක් වෙලා සෙවණ දුන්නා. මම නුඹේ ඒ සෙවණට, නුඹ ට පෙම් කළා. විශ්වාස කරන්න, නුඹ ට ආදරය නොකරන්න මට හේතුවක් නැහැ.... කඳුළු පිළියමක් උඹට වියැකෙන්න හනමිටින් සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින් සිනමා තිරේ අපේ යථාර්ථයක් කනපිටින් මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින් යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක් උඹයි කාර්යභාරය හුදෙක් භාර්යාව ගැරහුවත් මගේ රහසක නිම්හිම් නිම්නයක කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක කඳුළු කියන්නෙ හිත හදන්න පුළුවන් පිළියමක්. නුඹ ම දන්නවා මගේ සකුරා මල, විවාහයක් කියන බැඳීමෙන් පිටදි වුණත් විවාහය ඇතුළෙ වුණත් දරුවෙක් කියන්නෙ දරුවෙක්. නුඹේ කුසේ නුඹේත් මගේත් සිහිනයක් පණගැහෙනවා. අපි නීතියෙන් බැඳිලා උන්නා නම් මිනිස්සු අපේ ආදරේ සිනමා පටයක් වගේ දකීවි. ඒත්, නොහිතුව විදියට අපේ කතාවෙ සිදුවීම් පෙළගැස්ම වෙනස් වුණා. ඒත් දීගයක් ඇතුළෙ විතරද දොළදුකක් දොළදුකක් විදියට පේන්නෙ? මගෙ සකුරා මල, හිත හැදෙනකල් අඬන්න. හිත හදාගෙන, සමාජය ඔයාගෙ හිතට පුරවන හනමිටි අදහස් අතහරින්න. සකුරා මල් යායක් මැද්දෙ මම නෙලපු එකම සකුරා මල නුඹ. මට වෙන මල් නෙලන්න ඕනෙ නැහැ. සදහට ම ඔයයි මගෙ බිරිඳ, ඒක නුඹත් හොඳට ම දන්නවා. ගිනි තියන් ඕම negative පටි ඔය හැසිරීම මට ගබ්සාවේ දොරටු අරී මිරැන්ඩා දැන් උඹ ආත්මාර්ථකාමී වග නොකියන්න ජාතකේට මා ප්‍රාර්ථනා වී කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න මිනිස්සු ඔයාගෙ හිතේ පුරවන හැම negative දෙයක් ම අතාරින්න. අපට පුළුවන් අපේ පණ ගැහෙන හීනෙ ගැන තව හීන දකින්න. සම්ප්‍රදායෙන් වැහිලා බයවෙවී ජීවත්වෙන්න ඕනෙ නැහැ, මම කියන දේත් අහන්න. ආත්මාර්ථකාමී වෙන්න එපා, පරාර්ථකාමී වෙලා මගේ හීනයට මාත් එක්ක ඇවිදයෙන එන්න. වෛර කරන්න එපා, එයාට ඔයාගෙ කුසේ වැඩෙන්න ඉඩ දෙන්න. සකුරා මල් යායක් මැද්දෙ මම නෙලපු එකම සකුරා මල නුඹ. මට වෙන මල් නෙලන්න ඕනෙ නැහැ. සදහට ම ඔයයි මගෙ බිරිඳ, ඒක නුඹත් හොඳට ම දන්නවා. සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ හිමි නොවෙනා ප්‍රේමේ ලුහුබඳිනා ප්‍රේමේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ අද නුඹ මං ළඟ හඬාවැටෙනවා. නුඹ බයවෙලා, මම දන්නවා. ඇත්ත, මම නුඹ ළඟ වෙනදා තරම් අද අනුරාගී නොවෙනවා වෙන්න ඇති. ඒත් ඒකෙන් කියන්නෙ මගේ ප්‍රේමය නුඹට හිමි නොවෙනවා කියලා නොවෙයි. නුඹ මගේ පසුපසින් ලුහුබඳිමින්, මගේ ළඟ හඬාවැටෙන්න ඕනෙ නැහැ. නුඹේ කුසේ මගේ දරුවෙක් වැඩෙනවා කියන්නෙ මට නුඹව අතහරින්න කරුණක් නොවෙයි. දන්නවද, නුඹ තමයි බිරිඳ..... විවාහ වුණත් නොවුණත්. නුඹ ම විතරයි. නිබඳ දෙව්දු වත සියුම් වලා බැමි මුහුලස උර බෙත්මේ කඩා වැටී මා දළු රෝස ඵලයට හඬා වැටී පුර සකුරා සිසිරය පතනවා ඇතී දෙව් රුවක් වගේ නුඹේ වතේ සියුම් මෘදු පහස තුළ මම ගිලෙනවා හෙටටත්. වලාකුළුවල සියුම් බව රැඳි ළය තුරේ, උරහිසේ දැවටෙමින් මම නිවෙනවා. මගේ සකුරා මල, වසන්තයන්, ගිම්හානයන්, සිසිරයන් ගණනාවක් ගෙවී යද්දෙන් ........ මම නුඹේ පහස ම පතනවා, නුඹේ ළඟ ම රැඳෙනවා ..... මම පෙම් කළේ නුඹ ට විතරයි. නුඹට ම විතරයි. මං නිසා පෙති ගිලිහුණේ නුඹේ විතරයි. ඉතින් හඬාවැටෙන්න එපා. මගේ සකුරා මල, මම නුඹේ ම විතරයි. සදහට ම. . . ස්වර්ණමාලි කීරගල

සකුරා

නුඹ සකුරා මලක්, අනුරාගයේත් ආදරයේත් සුවඳ අරගෙන මගේ ජීවිතයට පිපුණු. නුඹ වගේ ම සකුරා මල් යායක් මගේ අවට තිබුණා. සුරූපිණියන්, ආදරය දෙන්න සැදී පැහැදී උන්නු යුවතියන් ගණන් කළ නොහැකි තරමක් මගෙ ජීවිතයට ගොඩවදින්න තිබුණා. ඒත් ……. පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට…

Read More
සේද මාවත පෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ - සේද සළුවක් පොරවන් ඇවිද ආ පටපණුවකු පිළිබඳ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුණු පටපණු මිනී කුණුවෙයි පිළිස්සෙනවිට නැගුණු මර හඬ සේද සළු වී උඩට විසිවෙයි මැරුණු පටපණුවකුගෙ පැටියෙක් සේද පිළිබඳ හීන නොදැකම අඳුරු මල්බෙරි පඳුරු අස්සේ ගැහි ගැහී හීතලට ගුලිවෙයි රුවන් බන්දුජීව - මීළඟ මීවිත කෘතියෙනි නෞකා හා මාලිමාවල නිපදවීමත් සමග සාගරය හරා සේද මාවතෙහි ව්‍යාපෘතිය සිදුවෙද්දී එහි පෙරදිගත් අපරදිගත් අතර සන්ධිස්ථානයක් වූණේ ශ්‍රී ලංකාව. පෙරදිග සිට මධ්‍යධරණී ප්‍රදේශ, සහ යුරෝපය දක්වා අපරදිගට ප්‍රවාහනය වෙන දහසකුත් එකක් භාණ්ඩ අතර සේද රෙදි සුවිශේෂී ස්ථානයක රැඳී තිබුණා. වත්මන් චීනය ආශ්‍රිත ප්‍රදේශවල නිපදවූ මේ සේද රෙදිවලට අවශ්‍යය කෙඳි ලබාගත්තේ මල්බෙරි ගස්වල ජීවත්වුණු පටපණුවන්ගේ කෝෂවලින්. සේද රෙදි නිපදවන්න නම් මේ කෝෂ උණු ජලයේ තම්බා කෙඳි වෙන්කරගත යුතුයි. එහිදී මේ තුළ සිටින පටපණුවන්ට මියයන්න සිදුවෙනවා. මල්බෙරි ගස්වල ඉන්න කෝෂ නොහදපු පටපණු පැටවුන් වුණත් කල් ගිහින් වැඩෙද්දී අත්කරගන්නේ මේ ඉරණමමයි. රුවන් බන්දුජීව කවියා මේ සිදුවීම උපයෝගී කරගෙන වත්මන් ශ්‍රී ලංකාවේ එක් ඛේදාන්තයක් නිරූපණය කරනවා. පෙරදිගට වන්නට පිහිටි චීනය, ජපානය, කොරියාව වැනි රටවල් මෙන්ම අපරදිග යුරෝපය හා මැදපෙරදිග දක්වා බොහෝ රටවල්වල ලාංකිකයින් විවිධාකාර වූ රැකියාවල නිරතවෙනවා. කවියා ඔවුන්ව පටපණුවන්ට අනුරූප කරනවා. දිවා රෑ වෙහෙසක් නොතකා කම්හල් තුළ වගාබිම්වල ඔවුන් තම ශ්‍රමය දියකර හරිනවා. ඒ කම්හල් තුළ ඔවුන් නිපදවන යන්ත්‍රසූත්‍ර, ආහාර ද්‍රව්‍ය, සෙල්ලම්බඩු, ඇඟළුම් ආදී බොහෝ දේ එදාමෙන් සේද මාවත හරහා නෞකාවලින් මෙන් ම, ගුවනින් ද ලෝකය පුරා බෙදාහරිනවා. ඒ සුඛෝපභෝගී භාණ්ඩ බහුතරයක්, ඉහළ පැළැන්තියේ මිනිසුන් අතර සැරිසරනවා. ඉතින්, ඔබ කවදාහරි අහලා තියෙනවද සේද සළු ඇන්ද පටපණුවෙක් ගැන? එහෙමත් නැත්නම්, රෝස මල් යහනාවල නිදපු, මව්රට ඇවිත් මාලිගාවක් තනපු විදෙස් ශ්‍රමිකයෙක් ගැන? පියාපත් ලැබෙන්න නම්, කෝෂ අවධියක් ගෙවන්න ම ඕනෙ. කෝෂ අවධියේදි කෝෂය තුළ ම මැරෙන්න වුණත්, පියාඹන්න මිලියනයකින් එකෙකුට හරි අවස්තාවක් එන බව දැනෙනවනම් කෝෂ අවධියකට නොයා හිත හදාගන්න පටපණුවන්ට බැරිව ඇති. මොකද ඒක ඔවුන්ගේ උරුමය නිසා. ඒ වගේ ම පැහෙන දිය බඳුන්වල තියෙන තරුණ පටපණු මළසිරුරු කවදාවත් පොඩි පටපණු පැටව් නොදන්න නිසා. පිටතින් බලන්නන්ට පෙනෙන්නේ වේදනා විලාපවලින් පණ අරන් උපදින සේද සළු පමණක් ම නිසා. ඉතින් අදටත් හෙටටත් අපේ ලාංකිකයන් මේ රවල්වලට ශ්‍රමිකයන් විදියට යනවා ජීවිතේ පියාඹන්න හීන දරාගෙන. පවුලේ අයගෙන් වෙන්වුණ දුක, වේදනාව, කුසගින්න, මහන්සිය, පහරදීම්, කලකිරීම් ආදී දහසකුත් එකක් වේදනා එක්තැන් වුණ පැහෙන ලෝදිය බඳුනක ඉඳන් ඔවුන්, ඔවුන්ට කවදාවත් මිලට ගන්න බැරි හීන ලෝකෙකට උරුම දේවල් නිපදවනවා. සමහරු ආයෙමත් මව්බිමට එන්නෙ සදහටම නෙත් පියාගත්තට පසුව. තවත් සමහරු ජීවිත කාලය පුරාවටම ආබාධිත වෙලා. ඉතිරි බහුතරය ජීවිතේ සතුටින්ම ගෙවන්න තිබුණු කාලය දියකරලා හුස්ම වැටෙන සිරුරක් විතරක් දරාගෙන ආයෙමත් එනවා. ඔවුන් මැරෙන, මැරෙමින් ජීවත්වෙන අතරේ ඔවුන්ගේ උණුසුම ලබන්න පෙරුම් පුරන දරුවන් කඳුළින් දවස ගෙවනවා. හරියට, කවදාවත් ම ආයෙම නොඑන පටපණුවෙක්ගේ පැටියෙක් මල්බෙරි ගස් යට අඳුරේ හීතලේ ගැහෙමින් තමන්ගෙ දෙමව්පියන්ගෙ උණුහුම ගැන හීන දකිනවා වගේ. ඒ උණුහුම අහිමිවීම වගේම සේද සළු තමන්ට උරුම නොවීමත කටුක යතාර්ථයක්. ඒත් ඇත්තටම පටපණු පැටවු ගැහෙන්නෙ සීතල නිසාම ද? අනාගතයේ තමන්ටත් කෝෂයක් වෙලා පැහෙන වතුරක මැරෙන්න වීමේ බය නිසා වෙන්න බැරි ද? ස්වර්ණමාලි කීරගල.

සේද මාවත

පෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ – සේද සළුවක් පොරවන් ඇවිද ආ පටපණුවකු පිළිබඳ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුණු පටපණු මිනී කුණුවෙයි පිළිස්සෙනවිට නැගුණු මර හඬ සේද සළු වී උඩට විසිවෙයි මැරුණු පටපණුවකුගෙ පැටියෙක් සේද පිළිබඳ හීන නොදැකම අඳුරු මල්බෙරි පඳුරු අස්සේ ගැහි ගැහී හීතලට ගුලිවෙයි රුවන් බන්දුජීව –…

Read More
Back To Top