"හීන පේන හැම රෑකම" මේ වන තෙක් බොහෝ අය, ප්‍රේමයට නොයෙක් ආකාරයේ නිර්වචන දී ඇත. ඒ අතරින් ප්‍රේමය කියන්නේම පාරමිතාවක් ය යන්න හදවතට ඉතා සමීප කාරණාවකි. එය එක් හදවතක් තවත් හදවතකට සතුට සහ සැනසීම ළඟා කරවන, ජීවන සසර පුරා පෙරුම් පුරනා පිවිතුරුම සිතුවිල්ලකි. අයිතියක් කියන්නට නොහැකිමුත් කොහේ හෝ තුටින් නම් එපමණය යන තැන ද ඇත්තේ ප්‍රේමය ය. නමුත් එය වැළඳ ගන්නා ආකාරය අනුව එය එකිනෙකාගෙන් වෙනස් වේ. ප්‍රේමයට විවිධ අර්ථකථන ලැබී ඇත්තේ එහෙයිනි. ඉදිරියටත් තවත් බොහෝ අය තව බොහෝ නිර්වචන ප්‍රේමය වෙනුවෙන් වෙන් කරාවි. ප්‍රේමයේ ඉසියුම් තැන් හදවතට කාවද්දන "හීන පේන හැම රෑකම" ගීතය, ප්‍රේමය සහ අයිතිය අතර දෝලනය වන හැඟීම් සමුදායක් ගෙන හැර පාන අතර කිසිදු දිනෙක ප්‍රේමයක් පිළිබඳව අහිතක් නොසිතෙනා අයුරින් මැදිහත් ව ඒ දෙස බැලීමට පොළඹවන්නකි. මෙම ගීතය නිමැවෙන්නේ ගායක හර්ෂණ දිසානායකගේ හඬ, නන්දසිරි කීඹියාහෙට්ටිගේ අපූර්ව පද රචනය සහ දර්ශන වික්‍රමතුංගගේ සංගීත නිර්මාණය එකට මුසු වීමෙනි. "හීන පේන හැම රෑකම වෙන කොටත් නොකී ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකී නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටී ආලවන්තකම ලඳුනේ පාරමිතාවකී..." මේ ගෙවෙන හැම රාත්‍රියකම හීනයක් දුටුවා නම් ඒ නුඹය. රහසේම විඳි නමුත් කාටත් නොකියූ ඒ ලස්සනම හීනය නුඹ ය. "ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකි" යනුවෙන් ඉතාමත් සෙනෙහෙවන්ත ලෙස පද අමුණා ඇත්තේ කල්ප කාලයක පටන් ලේන කුලයේ සිට පෙරුම් පුරනා, පිවිතුරු ප්‍රේමයේ ප්‍රතිමූර්තියක් වන යශෝධරා දේවිය ඇයට උපමා කරමිනි. නුඹ නොමැති මේ තනි යහන මත මගේ දෙනුවන් නොපියා රැයවල් ගෙවෙයි. ඉතින්, සුහදිනිය, ප්‍රේමය කියන්නේම පාරමිතාවකි. "පේරැස් මුදුවක් පලඳන නැකතක් නොයෙදුනේ... මේ වස්දඬු රාවය මැද නුඹ සිහිනෙන් පෙනේ.. පාලොස්වක සඳ ඉල්ලා මාසෙ පොය දිනේ... මේ ඇස් දෙක ලඟ නාඩන් එතකොට දුක දැනේ..." මඳකට හද සසල කරවන හැඟීම් ගොන්නක් වචන තුළ සඟවමින්, නුඹ වෙනුවෙන් මුදුවක අයිතියක් තබන්නට මංගල නැකතක් නොයෙදුනත්, මේ නිසංසල රැය පුරාවට සවන් වැකෙනා මිහිරිතම බටනලා රාවය මැදින් මට මැවෙන්නේ නුඹ ය. "පසලොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ" යන්නෙන් ඔහුට ඇය වෙනුවෙන් දැරිය නොහැකි සහ කළ නොහැකි දේවල් පිළිබඳව කියැවෙන අතර ඒ දෑස් හඬන විට දැනෙන අපරිමිත දුක් දොම්නස් පිළිබඳව ඉතාමත් අපූර්ව ලෙස වචන කර ඇත. "පේලි සැදී දලදා වැඳ ම⁣ට හිනැහුන රැයේ.... මාලිගාව මගේ වගේ දැනුනා සොඳුරියේ... වාවගන්න බැරි තනිකම හිරකරගෙන ලයේ... ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ..." නුඹ එදා මුව පුරා මා හා සිනා වුණු දිනේ, මුළු ලෝකය ම මගේ විය. "පේලි සැදී දලදා වැඳ ම⁣ට හිනැහුන රැයේ...මාලිගාව මගේ වගේ දැනුනා සොඳුරියේ..." යන්නෙන් දළදා මාලිගාව උපමාවට ගනිමින් ඉතාමත් පිවිතුරු හැඟීමක් උද්දීපනය කරයි. ප්‍රේමයක් ඉපදීම කොතරම් නම් සොඳුරු සහ පිවිතුරු හැඟීමක් ද? ඒ කොහොම වෙතත්, අවසන ඔහු ඇයගෙන් විමසන්නේ එකම එක දෙයක් පමණයි. දරන්නට බැරි තරම්, මේ දැනෙන පාළුව, තනිකම හදවතේ හිරකරන්, මගේ ජීවිතයම වූ නුඹ, ඒ ජීවිතයම රැගෙන කොහේ දෝ ගියේ? යන්නයි. ඉතින්, මෙලෙසින් ඔහුගේ හද තුළ කැකෑරෙන විරහ වේදනාවන් සියල්ල ඉතාමත් උපේක්ෂා සහගත අයුරින්, හදවත රිදී නොරිදෙනා සේ ගීතය පුරාවට දිය කර හැර ඇත. මොහොතකට ගීතය තුළ එල්බ වෙනස්ම වූ රසයක සවන් දෙන්නන්ව අතරමං කරවීමට සමත්, නිවීමෙන් සැනසීම රැගෙන එන හර්ෂණ දිසානායකයන්ගේ හඬට, ඒ ගැඹුරු සංගීත රටාවන් සහ පද රචනය එක් වීම අපූර්ව සංකලනයක් බව කිව යුතුමය. ප්‍රේමයේ පාරමිතාවට සෙනෙහසින් ගැයෙන "හීන පේන හැම රෑකම" ප්‍රේමයේ ඉසියුම් බව පසක් කරවන අරුත්බර නිර්මාණයකි. -නවෝද්‍යා ධනංජනී-

“හීන පේන හැම රෑකම”

මේ වන තෙක් බොහෝ අය, ප්‍රේමයට නොයෙක් ආකාරයේ නිර්වචන දී ඇත. ඒ අතරින් ප්‍රේමය කියන්නේම පාරමිතාවක් ය යන්න හදවතට ඉතා සමීප කාරණාවකි. එය එක් හදවතක් තවත් හදවතකට සතුට සහ සැනසීම ළඟා කරවන, ජීවන සසර පුරා පෙරුම් පුරනා පිවිතුරුම සිතුවිල්ලකි. අයිතියක් කියන්නට නොහැකිමුත් කොහේ හෝ තුටින් නම් එපමණය යන තැන ද ඇත්තේ ප්‍රේමය ය. නමුත් එය…

Read More

“නුඹ කවිකාරී”

ජීවිතයම කවියක් කර ගත් ඇයට මුළු හදවතින්ම සවිය දෙන ඔහු, සෙනෙහසින් ගයන ආදරණීයම ගීතය. හදවතක හැඟීම් ගොන්නකට පණ දෙන්නට ගීයකට, එහි පද රචනයට සහ තනුවට කෙතරම් නම් හැකියාවක් තිබේ ද යන්න මැනවින් පසක් කරවන අපූර්ව ගීත නිර්මාණයක් ලෙස “නුඹ කවිකාරී” ගීතය හඳුන්වන්නට හැකිය. මෙම ගීතය නිර්මාණය වන්නේ ගායක සමන්ත පෙරේරාගේ හඬ මුසු වී, පබාශිනී හේරත්ගේ…

Read More
Back To Top