සේද මාවත පෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ - සේද සළුවක් පොරවන් ඇවිද ආ පටපණුවකු පිළිබඳ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුණු පටපණු මිනී කුණුවෙයි පිළිස්සෙනවිට නැගුණු මර හඬ සේද සළු වී උඩට විසිවෙයි මැරුණු පටපණුවකුගෙ පැටියෙක් සේද පිළිබඳ හීන නොදැකම අඳුරු මල්බෙරි පඳුරු අස්සේ ගැහි ගැහී හීතලට ගුලිවෙයි රුවන් බන්දුජීව - මීළඟ මීවිත කෘතියෙනි නෞකා හා මාලිමාවල නිපදවීමත් සමග සාගරය හරා සේද මාවතෙහි ව්‍යාපෘතිය සිදුවෙද්දී එහි පෙරදිගත් අපරදිගත් අතර සන්ධිස්ථානයක් වූණේ ශ්‍රී ලංකාව. පෙරදිග සිට මධ්‍යධරණී ප්‍රදේශ, සහ යුරෝපය දක්වා අපරදිගට ප්‍රවාහනය වෙන දහසකුත් එකක් භාණ්ඩ අතර සේද රෙදි සුවිශේෂී ස්ථානයක රැඳී තිබුණා. වත්මන් චීනය ආශ්‍රිත ප්‍රදේශවල නිපදවූ මේ සේද රෙදිවලට අවශ්‍යය කෙඳි ලබාගත්තේ මල්බෙරි ගස්වල ජීවත්වුණු පටපණුවන්ගේ කෝෂවලින්. සේද රෙදි නිපදවන්න නම් මේ කෝෂ උණු ජලයේ තම්බා කෙඳි වෙන්කරගත යුතුයි. එහිදී මේ තුළ සිටින පටපණුවන්ට මියයන්න සිදුවෙනවා. මල්බෙරි ගස්වල ඉන්න කෝෂ නොහදපු පටපණු පැටවුන් වුණත් කල් ගිහින් වැඩෙද්දී අත්කරගන්නේ මේ ඉරණමමයි. රුවන් බන්දුජීව කවියා මේ සිදුවීම උපයෝගී කරගෙන වත්මන් ශ්‍රී ලංකාවේ එක් ඛේදාන්තයක් නිරූපණය කරනවා. පෙරදිගට වන්නට පිහිටි චීනය, ජපානය, කොරියාව වැනි රටවල් මෙන්ම අපරදිග යුරෝපය හා මැදපෙරදිග දක්වා බොහෝ රටවල්වල ලාංකිකයින් විවිධාකාර වූ රැකියාවල නිරතවෙනවා. කවියා ඔවුන්ව පටපණුවන්ට අනුරූප කරනවා. දිවා රෑ වෙහෙසක් නොතකා කම්හල් තුළ වගාබිම්වල ඔවුන් තම ශ්‍රමය දියකර හරිනවා. ඒ කම්හල් තුළ ඔවුන් නිපදවන යන්ත්‍රසූත්‍ර, ආහාර ද්‍රව්‍ය, සෙල්ලම්බඩු, ඇඟළුම් ආදී බොහෝ දේ එදාමෙන් සේද මාවත හරහා නෞකාවලින් මෙන් ම, ගුවනින් ද ලෝකය පුරා බෙදාහරිනවා. ඒ සුඛෝපභෝගී භාණ්ඩ බහුතරයක්, ඉහළ පැළැන්තියේ මිනිසුන් අතර සැරිසරනවා. ඉතින්, ඔබ කවදාහරි අහලා තියෙනවද සේද සළු ඇන්ද පටපණුවෙක් ගැන? එහෙමත් නැත්නම්, රෝස මල් යහනාවල නිදපු, මව්රට ඇවිත් මාලිගාවක් තනපු විදෙස් ශ්‍රමිකයෙක් ගැන? පියාපත් ලැබෙන්න නම්, කෝෂ අවධියක් ගෙවන්න ම ඕනෙ. කෝෂ අවධියේදි කෝෂය තුළ ම මැරෙන්න වුණත්, පියාඹන්න මිලියනයකින් එකෙකුට හරි අවස්තාවක් එන බව දැනෙනවනම් කෝෂ අවධියකට නොයා හිත හදාගන්න පටපණුවන්ට බැරිව ඇති. මොකද ඒක ඔවුන්ගේ උරුමය නිසා. ඒ වගේ ම පැහෙන දිය බඳුන්වල තියෙන තරුණ පටපණු මළසිරුරු කවදාවත් පොඩි පටපණු පැටව් නොදන්න නිසා. පිටතින් බලන්නන්ට පෙනෙන්නේ වේදනා විලාපවලින් පණ අරන් උපදින සේද සළු පමණක් ම නිසා. ඉතින් අදටත් හෙටටත් අපේ ලාංකිකයන් මේ රවල්වලට ශ්‍රමිකයන් විදියට යනවා ජීවිතේ පියාඹන්න හීන දරාගෙන. පවුලේ අයගෙන් වෙන්වුණ දුක, වේදනාව, කුසගින්න, මහන්සිය, පහරදීම්, කලකිරීම් ආදී දහසකුත් එකක් වේදනා එක්තැන් වුණ පැහෙන ලෝදිය බඳුනක ඉඳන් ඔවුන්, ඔවුන්ට කවදාවත් මිලට ගන්න බැරි හීන ලෝකෙකට උරුම දේවල් නිපදවනවා. සමහරු ආයෙමත් මව්බිමට එන්නෙ සදහටම නෙත් පියාගත්තට පසුව. තවත් සමහරු ජීවිත කාලය පුරාවටම ආබාධිත වෙලා. ඉතිරි බහුතරය ජීවිතේ සතුටින්ම ගෙවන්න තිබුණු කාලය දියකරලා හුස්ම වැටෙන සිරුරක් විතරක් දරාගෙන ආයෙමත් එනවා. ඔවුන් මැරෙන, මැරෙමින් ජීවත්වෙන අතරේ ඔවුන්ගේ උණුසුම ලබන්න පෙරුම් පුරන දරුවන් කඳුළින් දවස ගෙවනවා. හරියට, කවදාවත් ම ආයෙම නොඑන පටපණුවෙක්ගේ පැටියෙක් මල්බෙරි ගස් යට අඳුරේ හීතලේ ගැහෙමින් තමන්ගෙ දෙමව්පියන්ගෙ උණුහුම ගැන හීන දකිනවා වගේ. ඒ උණුහුම අහිමිවීම වගේම සේද සළු තමන්ට උරුම නොවීමත කටුක යතාර්ථයක්. ඒත් ඇත්තටම පටපණු පැටවු ගැහෙන්නෙ සීතල නිසාම ද? අනාගතයේ තමන්ටත් කෝෂයක් වෙලා පැහෙන වතුරක මැරෙන්න වීමේ බය නිසා වෙන්න බැරි ද? ස්වර්ණමාලි කීරගල.

සේද මාවත

පෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ – සේද සළුවක් පොරවන් ඇවිද ආ පටපණුවකු පිළිබඳ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුණු පටපණු මිනී කුණුවෙයි පිළිස්සෙනවිට නැගුණු මර හඬ සේද සළු වී උඩට විසිවෙයි මැරුණු පටපණුවකුගෙ පැටියෙක් සේද පිළිබඳ හීන නොදැකම අඳුරු මල්බෙරි පඳුරු අස්සේ ගැහි ගැහී හීතලට ගුලිවෙයි රුවන් බන්දුජීව –…

Read More
Back To Top