"ප්‍රේමයට කවි ලියා කුමටද" සෙනෙහසේ දොර වැසේ නම්...! ප්‍රේමයේ වසන්තයත් විරහවේ ගිම්හානයත් ස්වසන්තානයේ රඳවා ගෙන, මහා සාගරය සේ ගැඹුරක් දරන ජීවිත කතා කොතෙක් නම් මේ මහ පොළොව මත ඇත්ද? ඉන් ඇතැම් ඒවා ප්‍රේමයේ සුවයත් ඇතැම් ඒවා විරහවේ සුසුමත් එක ලෙස විඳින්නට සලස්වයි. එහි ඇති සෞන්දර්යය සොයා ගත්තවුන් පමණක් ඒ තුළ ඇති ගැඹුරු බව වටහා ගනියි. ගීතය සහ ප්‍රේමය අතර ඇති සංකලනයන් වර්තමානය සේම මතුවටත් අපූර්ව නිර්මාණ බිහි කිරීමට හේතු සාධක වනු ඇත. ඉතින්, එවන් වූ සෙනෙහසක් රැඳි ස්වර දැහැනකින් නිම වුණු, "ප්‍රේමයට කවි ලියා කුමටද?" ගීතය ජීවිතයට ප්‍රේමය නමින් එකතු වන අත්දැකීම් වලට ගැඹුරු සිරියාවක් එක් කරයි. මෙම ගීතය ප්‍රභාෂා නෙත්මිගේ සුමියුරු හඬින්, සමිද්ධ ආර්යසිංහගේ අර්ථාන්විත සහ සුගැඹුරු පද රචනයෙන් සහ දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීතයෙන් නිර්මාණය වූවකි. ප්‍රේමයට කවි ලියා කුමටද සෙනෙහසේ දොර වැසේ නම් රෑට අහසේ තාරුකා ඇයි අපේ ඇස් මඟහැරේ නම් ප්‍රේමය උදෙසා සෙනෙහසින් ගෙත්තම් කළ කවි බොහෝමය. ජීවිතේ චාරිකාව අතරතුර හදවත විවර කළ ස්නේහයේ දොරටු වැසේ නම් තවත් ප්‍රේමය උදෙසා කවි ලිවීමේ ඵලය කුමක්ද? ප්‍රේමයේ ආලෝකයෙන් දිලිසුණු අපේ දෑස් එකිනෙකාට මඟ හැරී ඇත්නම් මේ මැදියම් රැය පුරා නිවෙන දැල්වෙන තාරුකා එළි කුමට ද? මේ වචන සියල්ලගේම ගැබ් ව ඇත්තේ වේදනාත්මක සෞන්දර්යයකි. හිත රිදී නොරිදී යන ආකාරයෙන් වචන ගළපා තිබීම අපූර්වය. දෙතොලෙ නාදළු පැහැය කුමටද වතට සිනහව නොදේ නම් ළමැද ගෝමර පිපෙන්නේ ඇයි ගතින් දෙතැනක සිටී නම් මුවට සිනහව නොදේ නම් ඒ දොතොල් රත් පැහැ දිස්නෙ තිබී කුමටද? හදවතට ළං වී හිඳිනු බැරි නම් ඇයි ද මෙතරම් සුන්දර දේවල් මැවූයේ. විඳින්නට නොහැකි නම් ඇයි ද මේ හැඟීම් මෙතරම් සුන්දර? ගතින් දෙතැනක සිටින්නට නම් නුඹේ ළමැදේ ගෝමර පිපෙන්නේ ඇයි ද? කිසිදිනෙක ඔවුනොවුනට විඳින්නට නොහැකි ඒ සුන්දරම මොහොතවල් එකිනෙකින් ගළපා හදවතින් ප්‍රශ්න කරන්නේ විරහව තුළ ඇති ශාන්ත සුන්දරත්වයත් ගැඹුරු වේදනාවත් එකට මුසු කරමිනි. වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුව එදා ඉන්නකම් සෙනෙහස සෙවූ අපි කවියන්ට හමු නොවේවා නුඹ එක්ක ගෙවුණු හෝරාවන් පුරා වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුවෙන් මෙන් එදා සෙනෙහස සෙවූ අපි, අමතකව ගිය සිහිනයක් වැනිය. අපේ ප්‍රේමයත්, අපිවත් කිසිදාක කවියන්ට නම් හමු නොවිය යුතුය. එසේ කියන්නේ, අප සියොලඟම ප්‍රේමය නමින් සඟවා ගත් සියලු සිතුවිලි සහ මොහොතවල් ගැඹුරු කවියක් වන බව නිසැකයෙන් දන්නා නිසාවෙනි. අයිතියක් නැති සෙනෙහසක සෞන්දර්යය සොයා යන්නට සහ ප්‍රේමය නමින් හදවතේ ගෙත්තම් වන සිතුවිලි අතරේ හද පාරනා කාරණාවන් ද ඇති නමුත් ජීවිතයට මුසුවන ඒ දුක් දොම්නස් දෙස උපේක්ෂාවෙන් බලන්නට මෙම ගීතය සහෘද සැමට ඉඩ හසර සදා දී ඇත. ගීතයේ හඬ, වචන සහ සංගීත රටාවන් සියල්ල හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් ආස්වාදයක් ලබා දෙන අතරම මෙවන් නිවුණු සෞම්‍ය ගණයේ ගීතයන් ඉදිරියටත් ප්‍රේමය නමින් ලියැවීම සහ නිමැවීම සිදු විය යුත්තක් බව කිව යුතුය. ඉතින්, මෙය අයිතියක් කියනු නොහැකි වූ නමුත් අසීමිත ප්‍රේමයක් සිතෙහි දරා ගෙන කවියක් වී ගිය ප්‍රේමයන්ට ගී මල් කළඹක් වේවා! -නවෝද්‍යා ධනංජනී-

“ප්‍රේමයට කවි ලියා කුමටද” සෙනෙහසේ දොර වැසේ නම්…! 

ප්‍රේමයේ වසන්තයත් විරහවේ ගිම්හානයත් ස්වසන්තානයේ රඳවා ගෙන, මහා සාගරය සේ ගැඹුරක් දරන ජීවිත කතා කොතෙක් නම් මේ මහ පොළොව මත ඇත්ද? ඉන් ඇතැම් ඒවා ප්‍රේමයේ සුවයත් ඇතැම් ඒවා විරහවේ සුසුමත් එක ලෙස විඳින්නට සලස්වයි. එහි ඇති සෞන්දර්යය සොයා ගත්තවුන් පමණක් ඒ තුළ ඇති ගැඹුරු බව වටහා ගනියි.   ගීතය සහ ප්‍රේමය අතර ඇති සංකලනයන් වර්තමානය…

Read More
තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි! -දූවරුම තුන් දෙනෙක්- "දූගෙ අප්පච්චි!" තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නෙ මහමෙරක් තරම් වටින බැඳීමක්. පිය පුතු සෙනෙහසත් ඒ තරම්ම ශක්තිමත් බව ඇත්තක් නමුත් දූවරු සහ අප්පච්චිලා අතරේ ඇති බැඳීම ඊට නොදෙවෙනිය. රෝස මලක් සේ ඇති දැඩි කර කිරිල්ලියක සේ නිදහසේ ඉගිල යන්නට පියාපත් දී නිඬවම දෑස් දල්වා බලා හිඳින නිහඬ ප්‍රේමවන්තයා ඔහුය. වගකීම් සහ වගවීම් වලින් නිදහස්ව ඇගේ ජීවිතේ හොඳම කාලය ඇයට විඳින්නට ඉඩහසර සදා දී, හදවතේ ගැඹුරක සඟවා ගත් අපිරිමිත සෙනෙහසත් සමඟ මැණිකක් සේ දූවරුන් රකින අප්පච්චිලාගේ කතාවයි මේ. මේ වචන පුතෙක්ටත් දුවෙක්ටත් කියා දූවරුම සිටින සියලු පියවරුන්ට සෙනෙහසේ තිලිණයකි. ජීවිතේ කෙදිනකවත් අත්නොහරින, අත්නොහැරෙන නොබිඳෙන බැඳීම් ඇති එකම තැන පවුලයි. දාහක් හේතු මැද වුව නොසෙල්වී ඉන්නට තරම් සවිය දෙන සෙනෙහසේ උල්පත එයයි. දුක් සුසුම් වියැකෙන්නට, හිනැහෙන්නට හේතු දුන් ආදරේ පවුර එයයි. එවන් පවුලකට දූවරුන් කියන්නේ තවත් ආලෝකයක් එක් කරන සඳ මඬලක් වැනිය. "දූවරුම තුන් දෙනෙක්" ගීතය එලෙස දූවරුන් පමණක් සිටින පවුලක පියෙකුගේ සුන්දර අත්දැකීම් සහ හැඟීම් පිළිබඳව ගැයෙන සොඳුරු නිර්මාණයකි. මෙම ගීතය දිනූෂා විජේරත්නගේ ගී පද රචනයෙන් සහ ලසන්ත අබේපාලගේ තනු නිර්මාණය සහ සංගීතය මුසු වී ඔහුගේම හඬින් ගැයෙන ගීයකි. "දූවරුම තුන් දෙනෙක්", පවුලක වාසනා මහියමයට ගී තිලිණයකි. "සඳ මෝරා නැගෙන්නට ගියා දස මාසයක් කුළුඳුලේ මගේ මැණික ගෙනාවේ සුදු දුවෙක් පරපුරේ උරුමයට හිටියේ නැහැ මට පුතෙක් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙක්" දසමාසයක් ගොස් අවසන මගේ චන්ද්‍ර මණ්ඩලයේ සඳ නැඟී මගේ මුළු ලොවම එළිය කළේය. මෙලෙස "දුවෙකුගේ ඉපදීම" රූපකාර්ථයෙන් දක්වා තිබීම ඉතාමත් අපූර්වය. "කුළුඳුලේ මගෙ මැණික ගෙනාවේ සුදු දුවෙක්" යනුවෙන් "මගෙ මැණික" තුළින් තම බිරිඳට දක්වන අපිරිමිත සෙනෙහස ද ඉස්මතු වේ. සුමුදු සුසිනිඳු රෙදිකඩක ඔතාගෙන සුදුම සුදු දූ සිඟිත්තක් කුළුඳුලේ අපේ පවුලට පැමිණියේ මගේ මුළු ජීවිතයම එළිය කරමිනි. කවුරුත් කියන ලෙසට පරපුරේ උරුමය ඉදිරියට ගෙන යන්නට කියා මට පුතෙක් නොසිටියත් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙකි. මගේ පවුලේ වාසනාව ඔවුන්ය. තුන් සඳක් පෑයු චන්ද්‍ර මණ්ඩලයක් මට දැන් හිමිය. "ගෙදර සිරියාවනම් ලොකු දුවේ නුඹ තමයි මද්දුමි හරි දඟයි කටකාරකම් ගොඩයි පොඩි දුවේ නුඹ මගේ වාසනා මහිමයයි පුතෙක් නැති අඩුව මට නොදැනුනා සත්තමයි" ලොකු දුවෙක් කියන්නෙම පවුලේ සිරියාව රැගෙන ආ මගේ කුළුදුල් තාරකාවියයි. "මද්දුමි" එසේ නැතහොත් පවුලේ දෙවෙනි දියණියගේ නම් හුරතලය උතුරා යන දඟකාරකම් එමටය. පොඩි දුව, නුඹ අප්පචිගේ වාසනා මහිමයයි. ඇත්තමයි නුඹලාගේ දඟකාරකම්, හැඩකාරකම්, කෙළිකවටකම් දකිමින් වින්දා මිස මට පුතෙක් නොමැති අඩුවක් කෙදිනකවත් දැනුනේ නැත. පුතෙක් මෙන් මගේ ශක්තිය ද දුවෙක් මෙන් මගේ සිරියාව ද නුඹලාය. "මල් පිපෙන මුත් ගසට මල් අයිති නෑ තමයි කැදලි හැර සියොතුන් ඉගිලයනවා හැබැයි රළ නැඟෙන තෙක් වෙරළ නිසසලව මඟ බලයි තුන් මංසලේ ඉන්න අප්පච්චි මං තමයි" ගස් සෙවණේ හැදී මල් පිපෙන බව නම් ඇත්තයි. නමුත් ගසට හැමදාටමත් ඒ මල් ළඟ තියා ගත නොහැකිය. එසේම කිරිල්ලියක් නම් ඇය කෙදිනක හෝ කැදැල්ලෙන් ඉගිල යා යුතුව ඇත. කිරිල්ලියන් ඇති දැඩි කර තටු හයිය කර ඔවුනට මේ ජීවිතය නමැති විසල් අහසේ නිදහසේ ඉගිල යන්නට ඉඩ සදා දිය යුතුය. දුවෙක් නම් කවදා හෝ විවාහයෙන් පසු තම පවුලෙන් වෙන් වී ස්වාමියාගේ පවුලට සම්බන්ධ වී යා යුතුව ඇත. එම වෙන්වීම මෙලෙස අපූර්ව උපමා සහ රූපලාර්ථයෙන් දක්වා තිබීම පද රචනයේ සොඳුරු ඉසව්ය. තමන්ගේ පවුලෙන් දුවෙකු වෙන්ව යාම පියෙකුගේ හදවතට කෙතරම් නම් වේදනාබර හැඟීමක්ද යන වග දූවරුන් සිටිනා පියවරුන්ගෙන් ඇසුවහොත් ඔවුන්ගේ වචන වලටත් කලින් කඳුළු ඉස්සර වනවා නිසැකය. එය එතරම්ම හදවතට බර කාරණාවකි. කෙසේ නමුත් රළ නැඟෙන තෙක් මේ වෙරළ නිහඬවම මඟ බලාගෙන හිඳියි යනුවෙන් නුඹලා ජීවිතේ ඉහළටම නැඟෙන තුරු වෙරළක් සේ අප්පච්චි නිහඬවම මඟ බලා හිඳින බව අපූර්ව ලෙස අර්ථවත් කර ඇත. ඉතින්, මගේ දූවරුනි, නුඹ මගේ ලෝකයයි. නිහඬ නිසසල සෙනෙහසත් තුරුලු කර නුඹ තිදෙනා යනෙන මේ තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි! මෙහි දූවරුන් තිදෙනා යන මඟ " තුන් මංසල" යනුවෙන් අර්ථ ගන්වා තිබෙන අයුරු ඉතාමත් අගනේය. කිසිදිනෙක පියවරුන්ගේ වචන නොකළ සෙනෙහස සහ ඔහු තුළ දුවෙකුට ඇති බැඳීමේ මහිමය "දූවරුම තුන් දෙනෙක්" ගීතයෙන් ඉතාමත් සියුම්ව ගැයෙයි. ලසන්ත අබේපාලයන්ගේ හඬින් ඒ දාරක ස්නේහයේ හැඟීම් වඩාත් සුන්දර අයුරින් ඉස්මතු කරමින් පියෙකුගේ හඬ සහ ඔහුගේ සිතුවිලි ඒ තුළින් සහෘද හදවතට දැනෙන්නට සලස්වා ඇත. ඉතින්, තාත්තාට දුවෙක් කියන්නේ ඔහුගේ හදවතේ චන්ද්‍රාලෝකය ය. දුවෙකුගේ වීරයා ඇගේ තාත්තාය! දූවරුන් සිටින සියලු පියවරුන්ට සහ පියෙකුගේ ඒ ගැඹුරු සෙනෙහස විඳින දූවරුන්ට ද මෙම ගීය වටිනා තිලිණයක් වනු ඇත! -නවෝද්‍යා ධනංජනී-

තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි!

-දූවරුම තුන් දෙනෙක්- “දූගෙ අප්පච්චි!” තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නෙ මහමෙරක් තරම් වටින බැඳීමක්. පිය පුතු සෙනෙහසත් ඒ තරම්ම ශක්තිමත් බව ඇත්තක් නමුත් දූවරු සහ අප්පච්චිලා අතරේ ඇති බැඳීම ඊට නොදෙවෙනිය. රෝස මලක් සේ ඇති දැඩි කර කිරිල්ලියක සේ නිදහසේ ඉගිල යන්නට පියාපත් දී නිඬවම දෑස් දල්වා බලා හිඳින නිහඬ ප්‍රේමවන්තයා ඔහුය. වගකීම් සහ වගවීම් වලින්…

Read More
සකුරා . . නුඹ සකුරා මලක්, අනුරාගයේත් ආදරයේත් සුවඳ අරගෙන මගේ ජීවිතයට පිපුණු. නුඹ වගේ ම සකුරා මල් යායක් මගේ අවට තිබුණා. සුරූපිණියන්, ආදරය දෙන්න සැදී පැහැදී උන්නු යුවතියන් ගණන් කළ නොහැකි තරමක් මගෙ ජීවිතයට ගොඩවදින්න තිබුණා. ඒත් ....... පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ ඒත් නුඹ තමයි මගේ සකුරා මල. මගේ එක ම සකුරා මල. අනුන් සතු සකුරා මලක සුවඳක්වත් මම වින්දේ නැහැ. මම නුඹ හැරෙන්නට වෙනත් මලක් නෙලුවෙත් නැහැ. සකුරා යායකින් මගේ අතින් පෙති ගිලිහුණේ නුඹේ ම පමණයි. නුඹ මට මහා ගහක් වෙලා සෙවණ දුන්නා. මම නුඹේ ඒ සෙවණට, නුඹ ට පෙම් කළා. විශ්වාස කරන්න, නුඹ ට ආදරය නොකරන්න මට හේතුවක් නැහැ.... කඳුළු පිළියමක් උඹට වියැකෙන්න හනමිටින් සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින් සිනමා තිරේ අපේ යථාර්ථයක් කනපිටින් මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින් යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක් උඹයි කාර්යභාරය හුදෙක් භාර්යාව ගැරහුවත් මගේ රහසක නිම්හිම් නිම්නයක කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක කඳුළු කියන්නෙ හිත හදන්න පුළුවන් පිළියමක්. නුඹ ම දන්නවා මගේ සකුරා මල, විවාහයක් කියන බැඳීමෙන් පිටදි වුණත් විවාහය ඇතුළෙ වුණත් දරුවෙක් කියන්නෙ දරුවෙක්. නුඹේ කුසේ නුඹේත් මගේත් සිහිනයක් පණගැහෙනවා. අපි නීතියෙන් බැඳිලා උන්නා නම් මිනිස්සු අපේ ආදරේ සිනමා පටයක් වගේ දකීවි. ඒත්, නොහිතුව විදියට අපේ කතාවෙ සිදුවීම් පෙළගැස්ම වෙනස් වුණා. ඒත් දීගයක් ඇතුළෙ විතරද දොළදුකක් දොළදුකක් විදියට පේන්නෙ? මගෙ සකුරා මල, හිත හැදෙනකල් අඬන්න. හිත හදාගෙන, සමාජය ඔයාගෙ හිතට පුරවන හනමිටි අදහස් අතහරින්න. සකුරා මල් යායක් මැද්දෙ මම නෙලපු එකම සකුරා මල නුඹ. මට වෙන මල් නෙලන්න ඕනෙ නැහැ. සදහට ම ඔයයි මගෙ බිරිඳ, ඒක නුඹත් හොඳට ම දන්නවා. ගිනි තියන් ඕම negative පටි ඔය හැසිරීම මට ගබ්සාවේ දොරටු අරී මිරැන්ඩා දැන් උඹ ආත්මාර්ථකාමී වග නොකියන්න ජාතකේට මා ප්‍රාර්ථනා වී කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න මිනිස්සු ඔයාගෙ හිතේ පුරවන හැම negative දෙයක් ම අතාරින්න. අපට පුළුවන් අපේ පණ ගැහෙන හීනෙ ගැන තව හීන දකින්න. සම්ප්‍රදායෙන් වැහිලා බයවෙවී ජීවත්වෙන්න ඕනෙ නැහැ, මම කියන දේත් අහන්න. ආත්මාර්ථකාමී වෙන්න එපා, පරාර්ථකාමී වෙලා මගේ හීනයට මාත් එක්ක ඇවිදයෙන එන්න. වෛර කරන්න එපා, එයාට ඔයාගෙ කුසේ වැඩෙන්න ඉඩ දෙන්න. සකුරා මල් යායක් මැද්දෙ මම නෙලපු එකම සකුරා මල නුඹ. මට වෙන මල් නෙලන්න ඕනෙ නැහැ. සදහට ම ඔයයි මගෙ බිරිඳ, ඒක නුඹත් හොඳට ම දන්නවා. සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ හිමි නොවෙනා ප්‍රේමේ ලුහුබඳිනා ප්‍රේමේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ අද නුඹ මං ළඟ හඬාවැටෙනවා. නුඹ බයවෙලා, මම දන්නවා. ඇත්ත, මම නුඹ ළඟ වෙනදා තරම් අද අනුරාගී නොවෙනවා වෙන්න ඇති. ඒත් ඒකෙන් කියන්නෙ මගේ ප්‍රේමය නුඹට හිමි නොවෙනවා කියලා නොවෙයි. නුඹ මගේ පසුපසින් ලුහුබඳිමින්, මගේ ළඟ හඬාවැටෙන්න ඕනෙ නැහැ. නුඹේ කුසේ මගේ දරුවෙක් වැඩෙනවා කියන්නෙ මට නුඹව අතහරින්න කරුණක් නොවෙයි. දන්නවද, නුඹ තමයි බිරිඳ..... විවාහ වුණත් නොවුණත්. නුඹ ම විතරයි. නිබඳ දෙව්දු වත සියුම් වලා බැමි මුහුලස උර බෙත්මේ කඩා වැටී මා දළු රෝස ඵලයට හඬා වැටී පුර සකුරා සිසිරය පතනවා ඇතී දෙව් රුවක් වගේ නුඹේ වතේ සියුම් මෘදු පහස තුළ මම ගිලෙනවා හෙටටත්. වලාකුළුවල සියුම් බව රැඳි ළය තුරේ, උරහිසේ දැවටෙමින් මම නිවෙනවා. මගේ සකුරා මල, වසන්තයන්, ගිම්හානයන්, සිසිරයන් ගණනාවක් ගෙවී යද්දෙන් ........ මම නුඹේ පහස ම පතනවා, නුඹේ ළඟ ම රැඳෙනවා ..... මම පෙම් කළේ නුඹ ට විතරයි. නුඹට ම විතරයි. මං නිසා පෙති ගිලිහුණේ නුඹේ විතරයි. ඉතින් හඬාවැටෙන්න එපා. මගේ සකුරා මල, මම නුඹේ ම විතරයි. සදහට ම. . . ස්වර්ණමාලි කීරගල

සකුරා

නුඹ සකුරා මලක්, අනුරාගයේත් ආදරයේත් සුවඳ අරගෙන මගේ ජීවිතයට පිපුණු. නුඹ වගේ ම සකුරා මල් යායක් මගේ අවට තිබුණා. සුරූපිණියන්, ආදරය දෙන්න සැදී පැහැදී උන්නු යුවතියන් ගණන් කළ නොහැකි තරමක් මගෙ ජීවිතයට ගොඩවදින්න තිබුණා. ඒත් ……. පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට…

Read More
හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම...! - නුඹේ උණුසුම් හාදුවෙන් - උන්මාදනීය ජීවානන්දයක ආස්වාදයත් බලාපොරොත්තුවේ ආලෝකයත් සදාකාලෙටම ඉතිරි කර ගිය මතකයත් යන සියල්ලම නුඹ නිසාය. මේ සියලු හැඟීම් වචන කරන්නේ හදවතේ ගැඹුරුතම ඉසව්වේ අගුළු හැර නවාතැන් ගත් නුඹ වෙනුවෙන්මය. කාලයත් සමඟ ජීවිතයට යන එන අය අතරේ සමහර හදවත් අපේ මුළු ජීවිත කාලෙටම සෑහෙන මතක ගොන්නක් හදවතේ ගැඹුරුම තැන් වල සනිටුහන් කර යයි. ජීවිතය තුළ අන් කිසිවකුත් ඔවුන්ට ආදේශ කළ නොහැකිය. ජීවිතේ කල් ඉකුත් වන්නට ප්‍රථම ඒ රැස් කර ගන්නා මතක බොහෝ වෙලාවට අයිති වන්නේ ආදරේ වැඩියෙන්ම දැනුණු තැන් වලටය. ඉතින්, දැනුණු තැන නතර වීම කෙසේ වෙතත් ඒ දැනුණු හිත් දරාගෙන බොහෝ දුර පැමිණ අතරමඟකින් හැරෙන්නට වුවහොත් එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් වනු ඇත. නමුත් මේ ජීවිතය සදාකාලෙටම නොවන බැවින් සංසාර ගනුදෙනු වල අවසානය දක්වා මේ චක්‍රයෙහි අප ගමන් ගත යුතුව ඇත. කෙසේ හෝ ඒ හමුවීම් ජීවිතයට ආශිර්වාදයක් සහ වාසනාවක් සේ දැනෙනු ඇත. ජීවිත වලින් නික්ම යාම සහ විරහව වැළඳ ගත් මොහොතක වුව ඒ දෙස උපේක්ෂාවෙන් බලන්නට ඒ හමුවීම් සහ ඒ හදවත් හේතු කාරණා වනු ඇත. "නුඹේ උණුසුම් හාදුවෙන්" ගීතය ද මෙවන් වූ උපේක්ෂා සහගත ඉසව්වෙන් ප්‍රේමයේ ගැඹුරුතම ස්වරයන් තුළින් හදවත් වලට කතා කරන නිර්මාණයකි. මෙය ඉතාමත් සුමියුරුව සියුමිණී ඔපයංගිගේ හඬින් ගැයෙන අතර හර්ෂනී දිනුෂා අධිකාරීගේ ඉතාමත් අලංකාර සහ අර්ථවත් පද රචනාව සහ කපිල අපරැක්කගේ සංගීත දායකත්වයෙන් නිර්මාණය වූවකි. "නුඹේ උණුසුම් හාදුවෙන් මගේ හිත පිරීමදින්න ආදරේ තව සියුම් තැන් ඇති ලංවෙලා මට කියන්න..." ප්‍රේමයේ ගැඹුර කොයි තරම් ද යන වග හදවත් වලට දැනෙනුයේ අන් කවරදාටත් වඩා අනෙකාව දැනෙන ඔවුන් සමඟ ගෙවෙන එක් කුඩා මොහොතක් වුව මඟ හැර ගන්නට ලොබ බඳින, වචනයෙන් කියා ගත නොහැකි හැඟීම් පමණක් ම වන තැන් වලදීය. නුඹේ උණුසුම් හාදුවෙන් පිරිමැදෙන්නේ මා ගත නොවේ හිතය. ඒ මට නුඹව උපරිමව දැනෙන තැනය. ආදරේ තව අප නොවිඳි සියුම් මොහොතවල් පවා නුඹ සමඟ විඳින්නට හැකි නම් මා හට ඇති එකම සැනසුම එයයි. "යන්තමට හරි නුඹට හිතුනොත් මගේ හිත මගහරින්න මතක පැන් ටිකක් අරගෙන නුඹේ හිතටම ඉහින්න..." අපි දෙදෙනා ඇවිද ආ මාවතෙහි කොතැනක හෝ අතරමඟින් හැරෙන්නට කෙදිනක හෝ නුඹට සිතුණොත් අපේ මතක වලින් මතක පැන් ටිකක් ගෙන නුඹේ හිතට ඉසින්න. ඒ පද පෙළ ඉතාමත් රූපකාර්ථයෙන් අර්ථවත් ලෙස හැඩ ගන්වා තිබීම අපූර්වය. එහි සරල අර්ථය නම් නුඹට මාව මඟ හරින්නට සිතුණොත් අප දෙදෙනා එක්ව ගත කළ ඒ සොඳුරු දවස්, ඒ සුන්දර මතක කෙතරම් නම් ඉමිහිරිද යන්න වග යළි යළිත් ආවර්ජනය කර බලනු මැන යන්නයි. "හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹටම..." නුඹව හමු වී ගත වූ කාලය කෙතරම් කෙටි ද දිගු ද යන්න කෙසේ වෙතත් හිතින් අපි අපිව දරාගෙන අපි අපිව බෙදා ගනිමින් සනසවමින් පැමිණි දුර බොහෝමය. එය සංසාරයක් තරම් දිගු බවක් උසුලන බව දැනෙයි. ඉතින්, කිසිවෙකුටත් ඇතුළු වීමේ ප්‍රවේශ නොදුන් මගේ හදවතේ ගැඹුරුතම තැනක හරි පරිස්සමට මම නුඹේ නමට මගේ ප්‍රේමය සදාකාලෙටම ලියා තැබුවෙමි. "කඩන් වැටෙනා පුංචි තරුවක් දෙස බලන් මම හිතන්නම් සසර ගනුදෙනු ඉවර වෙනකන් නුඹව විතරක් පතන්නම්..." නුඹත් මමත් හිඳින මේ විසල් අහස දෙස බලන හැම මොහොතකම කඩන් වැටෙනා පුංචි තරුවක මම මගේ ප්‍රාර්ථනාවන් නුඹ නමින් තබන්නෙමි. ඒ හැම මොහොතකම නුඹේ සතුටම ප්‍රාර්ථනා කරන්නෙමි. සංසාර චක්‍රයෙහි ගනුදෙනු සියල්ලම අවසාන වන තෙක් නුඹව පමණක් පතන්නෙමි. මේ පිවිතුරුම හැඟීම් නුඹ නමින් පමණක් ම වනු ඇති. "හිතේ කකියන හුඟක් දේවල් ඇස් පියන් මට කියන්න නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා දැනෙන්න..." මගේ හදවතේ පැන නඟින සියලු සිතුවිලි නොසඟවා නොරවටා කිව හැකි කෙනෙක් සිටියා නම් ඒ නුඹය. හිතේ සිර කරගෙන සිටි බොහෝ දෑ සහ අදටත් කිසිවෙකු සමඟ නොකී ඇතැම් දේ ගැන නිදහසේ නිවී සැනසිල්ලේ ඇස් පියන් වුව තොරක් නොමැතිව කියන්නට මට සිටියේ නුඹ පමණමය. සිතට එන හැමදේම බෙදා හදා ගන්නට හැම හුදෙකලා මොහොතකම මගේ යැයි මං හදවතින් බදා ගත් කෙනෙක් වේ නම් මගේ තනියට සිටි ඒ නුඹමය. නමුත් මා නොදන්නා කාරණාව නම් නුඹට එය කෙසේ දැයි යන්න වග පමණි. "නුඹයි ආවේ මා සොයාගෙන ආදරේ කවි ලියන්න මගේ හිත ළඟ නතර උනෙ ඇයි කවදහරි මට කියන්න..." දයාලූ හස්තයෙන් මගේ හිත පිරිමැද ආදරේ කවි මල් ද රැගෙන මා සොයා මගේ ජීවිතයට කොහේදෝ සිට පැමිණියේ නුඹය. නොසිතූ මොහොතක නොසිතූ අයුරින් ආදරේට අරුත් රැගෙන මගේ ජීවිතය සැරසුවේ නුඹය. එදා පටන් ආදරේ කවි ලියූවේ නුඹ නමින් ය. නමුදු මට නුඹෙන් අසන්නට ඇත්තේ මෙය පමණමයි. ජීවිතේ කෙදිනක හෝ නුඹට සිතුණොත් මට මෙය කියන්න. "මගේ හිත ළඟ නතර උනෙ ඇයි කවදහරි මට කියන්න" එහෙම දවසක් එනතුරුම මම මඟබලාගෙන හිඳින්නෙමි. ආදරය යනු අයිති කර ගැනීමට වඩා ගැඹුරක් දරන පිවිතුරුම හැඟීමක් බවට මේ ගීතය සාක්ෂි දරයි. මෙයට සවන් දෙන සෑම මොහොතකම භාවනාවක් සේ සමවැදෙන අයුරින් සහෘද හදවත් ඇද බැඳ තබා ගන්නා අතර මෙම නිර්මාණය ආදරේ ගැඹුර මනා ලෙස හදවත තුළ රඳවයි. සමාජය තුළ ගී රසාස්වාදය වැඩි දියුණු වීම සඳහා මෙවන් වූ සෞම්‍ය ගණයේ ගීත නිර්මාණය වීම බෙහෙවින් ඇවැසිමය. ඉතින්, මේ සක්වළල්ල තුළ ප්‍රේමය නමින් පණ ගැහෙන ජීවිත මතක වලට සහ පිවිතුරු ආදරයන්ට මෙම ගීතය තුළින් ගැඹුරු සෞන්දර්යයක් එක් කරනු ඇත. -නවෝද්‍යා ධනංජනී-

හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම…! – නුඹේ උණුසුම් හාදුවෙන් –

උන්මාදනීය ජීවානන්දයක ආස්වාදයත් බලාපොරොත්තුවේ ආලෝකයත් සදාකාලෙටම ඉතිරි කර ගිය මතකයත් යන සියල්ලම නුඹ නිසාය. මේ සියලු හැඟීම් වචන කරන්නේ හදවතේ ගැඹුරුතම ඉසව්වේ අගුළු හැර නවාතැන් ගත් නුඹ වෙනුවෙන්මය. කාලයත් සමඟ ජීවිතයට යන එන අය අතරේ සමහර හදවත් අපේ මුළු ජීවිත කාලෙටම සෑහෙන මතක ගොන්නක් හදවතේ ගැඹුරුම තැන් වල සනිටුහන් කර යයි. ජීවිතය තුළ අන් කිසිවකුත්…

Read More
Nubata Innata Thibuna (නුඹට ඉන්නට තිබුනා)Chamara Fernando ft Dulee Gunawardane

මෙය ම​ට නුඹව මතක් වන බව කීමට ය…! – “නුඹට ඉන්නට තිබුණා මා ළඟ”

හමුවීම්, හිමිවීම් අතරේ වෙන්වීම්, සහ අහිමිවීම් එක්ක ගෙවෙන මොහොතවල් එක්කාසු වුණු මේ ජීවිතේ, නොයෙක් ආකාරයේ මං මාවත් වල ඇවිද යන්නට ඔබටත් මටත් සිදු වේ. මේ සියලු කාරණාවන් ඔස්සේ ප්‍රේමය කියන්නේ බලාපොරොත්තු ගොන්නක මැවුම්කාර හැඟීමකි. ඒ මැවුම්කාර සිතුවිලි වලට ජීවය දෙන්නේ කවුරුන් හෝ හදවතේ කොනක ඉතිරි කළ ගිය මතකයක් වන්නට පුළුවන. විඳින්නට නම් කොතෙක් දෑ තිබුණත්,…

Read More
අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා...! - "මැයි මාර ප්‍රසංගය" - "එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි. එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි." ජීවන වීණාවෙන් වැයෙන බොහෝ ප්‍රේමණීය තාලයන් අතරේ හදවතක හරි පරිස්සමින් සුරකින, කවුරුත් නොදකින, මේක අමුතු විදිහේ ප්‍රේමයක්. කිසිදිනෙක හඬක් නොනැඟුණු අප්‍රකාශිත හැඟීම් දහස් ගණනක් මැද ඒකපාර්ශ්විකව එය දරා හිඳින්නට තරම් පරාර්ථකාමී වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එය ප්‍රේමයේ ගැඹුර කෙතරම් ද යන්න කියාපාන්නකි. එවන් ප්‍රේමයක් දරන හදවතක් උසුලන සියලු ප්‍රේම ආනිසංසයන් විටෙක ශාන්ත සුන්දරත්වයක් ඇති විඳීම් ය. නමුදු ඇතැම් විටෙක නිහඬ විඳවීම් ය. ඒ කරුණු කාරණා කෙසේ වුවත් ප්‍රේමය නම් ප්‍රේමයම වනු ඇත. කවදත් ලියන කලාවෙන් ආත්මයටම දැනෙන්නට ආමන්ත්‍රණය කරන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ දෑතින් ලියැවුණු "මැයි මාර ප්‍රසංගය" නමැති නවකතාව ඇසුරින් නිර්මාණය වුණු "අමුතු විදිහම ආදරේ" නැතහොත් "මැයි මාර ප්‍රසංගය" නම් ගීතය, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේම අරුත්බර පද රචනාවට චතුර ගයාන් ජයනෙත්තිගේ අපූර්ව සංගීතය මුසු වී සුනීර සුමංගගේ ඉසියුම් හඬින් සහෘද හදවත් වෙත සමීප කර ඇති ප්‍රේමණීය ආමන්ත්‍රණයකි. "ඈත කන්දේ ගසක් සිටුවමි මල් පිපේවී කවද හෝ එහි එමල් ඔබහට පෙනී සිතට සතුටක් දැනේවා දැනේවා... දැනේවා..." ජීවන ගිරි දුර්ගය තරණය කරමින් යන අතරේ ජීවිතයට වසන්තය රැගෙන ආ නුඹ කෙරෙහි මගේ හදවත තුළ උපන් ප්‍රේමයේ නාමයෙන්, ඒ හැඟීම් සියල්ලක්ම පිවිතුරු ප්‍රාර්ථනාවක් ලෙසින් මේ වාතලයට මුදා හරිමි. කොහේ හෝ කවුරුත් නොදන්නා ඈතක මල් දරන ගසක් ලෙස එය පවතීවි. ඒ මම වග, මගේ ප්‍රේමය බව නුඹ කිසිදිනෙක දැන නොගනිවී. නමුත් ඒ පිපෙන මල් දැක, ඒ සුවඳින් නුඹේ හදවතට සතුට සැනසීම දැනේවා. කොහේ හෝ සතුටින් රැඳේවා! ඔබේ මුහුණේ සිනා සේයා මං නොදැක්කත් කමක් නෑ ඒක කන්දට පෙනේවා පෙනේවා.... පෙනේවා... ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉඩකඩ ලැබේවා... ලැබේවා.... ලැබේවා...... නුඹේ මුවෙහි ඇඳෙනා සිනා සේයා නුඹේ ළඟින් හිඳ දකින්නට මට නොහැකි වූවත් කමක් නැත. එහෙත් ඒ හැමදෙයක් දුරින් හිඳ හෝ මට විඳින්නට ලැබේවා! නුඹ තුටින් බව දැනෙන හැම විට මට සැනසීමක් දැනෙයි. මෙය ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරු බව මනාව විදහා දක්වයි. වචන ස්වල්පයක් ඇතුළත විසල් අහසක් තරම් සිතුවිලි ගොන්නක් සඟවා තබා මෙම ගී පද හදවතේ සියුම් නිලයන් අල්ලා ගනියි. "මලෙක සුසුමත් සුසුමෙ ස්වරයත් ස්වරයෙ පැහැයත් වගේ අමුතු විදිහට සිතන්නට මම ඉගෙන ගත්තේ ඔබෙන් අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා... තියේවා...තියේවා..." නුඹ නමින් මේ හදවතෙහි පිපෙන ප්‍රාර්ථනා මල්, සුසුම් ස්වරයන්, ඒ ස්වරයන් තුළින් මැවෙනා හදවතේ වර්ණ රටාවන් වල ඇති සුන්දරත්වය සේ අමුතු විදිහට හිතන්නට ඉගෙන ගත්තේ මා නුඹෙන් ය. එයත් හරියට පර නොවෙන පිවිතුරුම මැයි මාර මලක් වැනිය. පිපී සුවඳ දී හිනැහෙන නමුත් කිසිදිනෙක දෝතින් ගෙන අයිතියක් කීමට නොහැකි වූ ආදරණීයම හමුවීමක් ය. ඉතින්, මගේ එකම එක ප්‍රාර්ථනය නම් අයිතියක් කියන්නටත් නොහැකි, කවුරුත් නොදන්නා අමුතු විදිහේ ආදරේ එලෙස එහෙමම තියේවා...! මැයි මාර ප්‍රසංගයෙ හි එන සමිධ-සංචරණි ප්‍රේමය වගේම අමුතු විදිහේ ආදර කතා දහස් ගණනක් මේ අහස යට කෙතරම් නම් ඇති ද? ඒ වගේ හැඟීමකින් හිත පිරුණම කාලයත් එක්ක ඒ අමුතු විදිහේ ආදරේට බොහෝ අය ඇබ්බැහි වන්නේ නිරායාසයෙනි. ඉන් එහාට ඔවුන් ඒ ආදරේ එක්ක ජීවත් වෙන්න පටන් ගන්නා අතර සදාකාලෙටම හිත් ඇතුළේම ඒ ප්‍රේමයන් පරිස්සම් වී සැඟව යනවා. "මැයි මාර ප්‍රසංගය" ගීතය පුරාවට ම ඇත්තේ ඉතාමත් පිවිතුරු ප්‍රාර්ථනාවන් ය. ඒ ගීතය ම බලාපොරොත්තුවේ ආලෝකයක් ය. දැනටත් බොහෝ හදවත් තුළ සෙනෙහසින් දරා හිඳින සියල්ලක් අප්‍රකාශිත ඒකපාර්ශ්වික ප්‍රේමයන්ට සහ සියලු අහම්බකාරක හමුවීම් වලට මේ ගීතය තුළින් අරුතක් එක් කර ඇත. ඉතින්, මෙය ගැයෙන්නේ ඔවුනොවුන් කොහේ හෝ තැනක හොඳින්, සතුටින් ඇතැයි හිත සනසා ගත් සියලු විශ්වීය ප්‍රේමයන් වෙනුවෙනි. -නවෝද්‍යා ධනංජනී-

අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා…! – “මැයි මාර ප්‍රසංගය” –

“එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි. එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි.” ජීවන වීණාවෙන් වැයෙන බොහෝ ප්‍රේමණීය තාලයන් අතරේ හදවතක හරි පරිස්සමින් සුරකින, කවුරුත් නොදකින, මේක අමුතු විදිහේ ප්‍රේමයක්. කිසිදිනෙක හඬක් නොනැඟුණු අප්‍රකාශිත හැඟීම් දහස් ගණනක් මැද ඒකපාර්ශ්විකව එය දරා හිඳින්නට තරම් පරාර්ථකාමී වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ….

Read More
"හීන පේන හැම රෑකම" මේ වන තෙක් බොහෝ අය, ප්‍රේමයට නොයෙක් ආකාරයේ නිර්වචන දී ඇත. ඒ අතරින් ප්‍රේමය කියන්නේම පාරමිතාවක් ය යන්න හදවතට ඉතා සමීප කාරණාවකි. එය එක් හදවතක් තවත් හදවතකට සතුට සහ සැනසීම ළඟා කරවන, ජීවන සසර පුරා පෙරුම් පුරනා පිවිතුරුම සිතුවිල්ලකි. අයිතියක් කියන්නට නොහැකිමුත් කොහේ හෝ තුටින් නම් එපමණය යන තැන ද ඇත්තේ ප්‍රේමය ය. නමුත් එය වැළඳ ගන්නා ආකාරය අනුව එය එකිනෙකාගෙන් වෙනස් වේ. ප්‍රේමයට විවිධ අර්ථකථන ලැබී ඇත්තේ එහෙයිනි. ඉදිරියටත් තවත් බොහෝ අය තව බොහෝ නිර්වචන ප්‍රේමය වෙනුවෙන් වෙන් කරාවි. ප්‍රේමයේ ඉසියුම් තැන් හදවතට කාවද්දන "හීන පේන හැම රෑකම" ගීතය, ප්‍රේමය සහ අයිතිය අතර දෝලනය වන හැඟීම් සමුදායක් ගෙන හැර පාන අතර කිසිදු දිනෙක ප්‍රේමයක් පිළිබඳව අහිතක් නොසිතෙනා අයුරින් මැදිහත් ව ඒ දෙස බැලීමට පොළඹවන්නකි. මෙම ගීතය නිමැවෙන්නේ ගායක හර්ෂණ දිසානායකගේ හඬ, නන්දසිරි කීඹියාහෙට්ටිගේ අපූර්ව පද රචනය සහ දර්ශන වික්‍රමතුංගගේ සංගීත නිර්මාණය එකට මුසු වීමෙනි. "හීන පේන හැම රෑකම වෙන කොටත් නොකී ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකී නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටී ආලවන්තකම ලඳුනේ පාරමිතාවකී..." මේ ගෙවෙන හැම රාත්‍රියකම හීනයක් දුටුවා නම් ඒ නුඹය. රහසේම විඳි නමුත් කාටත් නොකියූ ඒ ලස්සනම හීනය නුඹ ය. "ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකි" යනුවෙන් ඉතාමත් සෙනෙහෙවන්ත ලෙස පද අමුණා ඇත්තේ කල්ප කාලයක පටන් ලේන කුලයේ සිට පෙරුම් පුරනා, පිවිතුරු ප්‍රේමයේ ප්‍රතිමූර්තියක් වන යශෝධරා දේවිය ඇයට උපමා කරමිනි. නුඹ නොමැති මේ තනි යහන මත මගේ දෙනුවන් නොපියා රැයවල් ගෙවෙයි. ඉතින්, සුහදිනිය, ප්‍රේමය කියන්නේම පාරමිතාවකි. "පේරැස් මුදුවක් පලඳන නැකතක් නොයෙදුනේ... මේ වස්දඬු රාවය මැද නුඹ සිහිනෙන් පෙනේ.. පාලොස්වක සඳ ඉල්ලා මාසෙ පොය දිනේ... මේ ඇස් දෙක ලඟ නාඩන් එතකොට දුක දැනේ..." මඳකට හද සසල කරවන හැඟීම් ගොන්නක් වචන තුළ සඟවමින්, නුඹ වෙනුවෙන් මුදුවක අයිතියක් තබන්නට මංගල නැකතක් නොයෙදුනත්, මේ නිසංසල රැය පුරාවට සවන් වැකෙනා මිහිරිතම බටනලා රාවය මැදින් මට මැවෙන්නේ නුඹ ය. "පසලොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ" යන්නෙන් ඔහුට ඇය වෙනුවෙන් දැරිය නොහැකි සහ කළ නොහැකි දේවල් පිළිබඳව කියැවෙන අතර ඒ දෑස් හඬන විට දැනෙන අපරිමිත දුක් දොම්නස් පිළිබඳව ඉතාමත් අපූර්ව ලෙස වචන කර ඇත. "පේලි සැදී දලදා වැඳ ම⁣ට හිනැහුන රැයේ.... මාලිගාව මගේ වගේ දැනුනා සොඳුරියේ... වාවගන්න බැරි තනිකම හිරකරගෙන ලයේ... ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ..." නුඹ එදා මුව පුරා මා හා සිනා වුණු දිනේ, මුළු ලෝකය ම මගේ විය. "පේලි සැදී දලදා වැඳ ම⁣ට හිනැහුන රැයේ...මාලිගාව මගේ වගේ දැනුනා සොඳුරියේ..." යන්නෙන් දළදා මාලිගාව උපමාවට ගනිමින් ඉතාමත් පිවිතුරු හැඟීමක් උද්දීපනය කරයි. ප්‍රේමයක් ඉපදීම කොතරම් නම් සොඳුරු සහ පිවිතුරු හැඟීමක් ද? ඒ කොහොම වෙතත්, අවසන ඔහු ඇයගෙන් විමසන්නේ එකම එක දෙයක් පමණයි. දරන්නට බැරි තරම්, මේ දැනෙන පාළුව, තනිකම හදවතේ හිරකරන්, මගේ ජීවිතයම වූ නුඹ, ඒ ජීවිතයම රැගෙන කොහේ දෝ ගියේ? යන්නයි. ඉතින්, මෙලෙසින් ඔහුගේ හද තුළ කැකෑරෙන විරහ වේදනාවන් සියල්ල ඉතාමත් උපේක්ෂා සහගත අයුරින්, හදවත රිදී නොරිදෙනා සේ ගීතය පුරාවට දිය කර හැර ඇත. මොහොතකට ගීතය තුළ එල්බ වෙනස්ම වූ රසයක සවන් දෙන්නන්ව අතරමං කරවීමට සමත්, නිවීමෙන් සැනසීම රැගෙන එන හර්ෂණ දිසානායකයන්ගේ හඬට, ඒ ගැඹුරු සංගීත රටාවන් සහ පද රචනය එක් වීම අපූර්ව සංකලනයක් බව කිව යුතුමය. ප්‍රේමයේ පාරමිතාවට සෙනෙහසින් ගැයෙන "හීන පේන හැම රෑකම" ප්‍රේමයේ ඉසියුම් බව පසක් කරවන අරුත්බර නිර්මාණයකි. -නවෝද්‍යා ධනංජනී-

“හීන පේන හැම රෑකම”

මේ වන තෙක් බොහෝ අය, ප්‍රේමයට නොයෙක් ආකාරයේ නිර්වචන දී ඇත. ඒ අතරින් ප්‍රේමය කියන්නේම පාරමිතාවක් ය යන්න හදවතට ඉතා සමීප කාරණාවකි. එය එක් හදවතක් තවත් හදවතකට සතුට සහ සැනසීම ළඟා කරවන, ජීවන සසර පුරා පෙරුම් පුරනා පිවිතුරුම සිතුවිල්ලකි. අයිතියක් කියන්නට නොහැකිමුත් කොහේ හෝ තුටින් නම් එපමණය යන තැන ද ඇත්තේ ප්‍රේමය ය. නමුත් එය…

Read More

“නුඹ කවිකාරී”

ජීවිතයම කවියක් කර ගත් ඇයට මුළු හදවතින්ම සවිය දෙන ඔහු, සෙනෙහසින් ගයන ආදරණීයම ගීතය. හදවතක හැඟීම් ගොන්නකට පණ දෙන්නට ගීයකට, එහි පද රචනයට සහ තනුවට කෙතරම් නම් හැකියාවක් තිබේ ද යන්න මැනවින් පසක් කරවන අපූර්ව ගීත නිර්මාණයක් ලෙස “නුඹ කවිකාරී” ගීතය හඳුන්වන්නට හැකිය. මෙම ගීතය නිර්මාණය වන්නේ ගායක සමන්ත පෙරේරාගේ හඬ මුසු වී, පබාශිනී හේරත්ගේ…

Read More

ජෑස් නාදය සහ ගීතය ගැන සිතන්නට යමක්

“යම් ඕනෑම නිශ්චිත කලාකෘතියක්,සංජානනය කර ගැනීමෙහිලා පුද්ගලයකු හට ඒ වටා ඇති පසුබිම නිසැකවම බලපානවා” මෙය යම්තාක් ග්‍රාහකශීලී දෘෂ්ටිකෝණයකින් පමණක් නොව ඒ තුළ වඩා රසබර ප්‍රවේශයකින් විග්‍රහ කළ යුත්තක්.ගීත වනාහි මෙවැනි ජනප්‍රිය සංස්කෘතිය වේගවත් සහ සක්‍රීය සමාජ තලයක ඉතාම සුලභයි.එක් පැයකදී ලොව තරු මාදිලියේ ගීත ප්‍රචාරක වැඩසටහන් තුළින් නව්‍ය ගීත කීයක් ලොවට විවර වෙනවාද? එය ප්‍රමාණාත්මක…

Read More

ඉන්දියානු සංගීත සම්ප්‍රදායන්

ඉන්දියානු සංගීත කලාව ගත් කල, විවිධ සංගීත ශෛලින්ගෙන් පොහොසත් වූද විවිධ වූද සම්ප්‍රදායන් විහිදුවන සංගීත උරුමයක් අපට දැකගත හැකිය.ඉන්දියාවේ අතිවිශාලත්වය සහ විවිධත්වය හේතුවෙන්, ඉන්දියානු සංගීතය සම්භාව්‍ය සංගීතය, ජන, රොක් සහ පොප් ඇතුළු බහුවිධ ප්‍රභේද සහ ආකාරවලින් විවිධ ප්‍රභේද ඇතුළත් වේ. සම්භාව්‍ය සංගීතය: හින්දුස්ථානි සම්භාව්‍ය සංගීතය: උතුරු ඉන්දියාවෙන් ආරම්භ වූ හින්දුස්ථානි සම්භාව්‍ය සංගීතය රාග (තාල රටා)…

Read More
Back To Top