කොන්ස්ටැන්ටයින් පවුස්තවුස්කි ‘රන්රෝස’ කෘතියේ කියන්නේ, රන්කරුවා ඉවත් කළ කුණු රොඩු අතර ඇති රන්සුනු එකතුකර රමණීය රන්රෝස මලක් තැනූ කතන්දරය යි. නිර්මාණකරුවාද සිය ජීවන අත්දැකීම් අතරින් රන්සුනු සොයාගෙන නිර්මාණය නම් රන්රෝස මල තැනිය යුතු බව ඔහු කියයි. එය කවියක්, සිතුවමක්, කෙටිකතාවක්, නවකතාවක්, සිනමාපටයක් යනාදී ඕනෑම ආකාරයක නිර්මාණයක් වන්නට පුළුවන්. අප මේ වෑයම් කරන්නේ එවන් විවිධාකාර වූ රන්​රෝස මල් වල ‘රොන්සුනු සුවඳ’ ඔස්සේ ඒවාට හේතු පාදක වූ අත්දැකීම් රන්සුනුත්, ඒ නිර්මාණකරණයන් පිටුපස ඇති වෙහෙසත්, මිහිරත් සොයායාමටයි. නැතිනම් නිර්මාණකරුවන්ගේ නිර්මාණ පසුබිම් විමසා බලමින්, නිර්මාණකරුවන්ගේ ජීවිතයට, නිර්මාණාත්මක චින්තනය දෙසට එබිකම් කිරීමටයි. කවිය, කෙටිකතාව,නවකතාව, සිනමාව ආදී වූ විවි​ධ නිර්මාණ වැඩබිම්වල ස්වකීය සලකුණ සනිටුහන් කළ නිර්මාණකරුවන් කිහිපදෙනෙකු සමඟ සංවාද ආශ්‍රයෙන් දිගහැරෙන මෙම ලිපිපෙළ, නිර්මාණකරණය පිළිබඳ සොයායන්නෙක්, හදාරන්නෙක් වශයෙන් මට ඇති වූ යම් යම් දේ විමසා බැලීමේ ලාලසාව මතින් උපන් ප්‍රශ්නාවලියක් ඔස්සේ අදහස් අල්ලා ගැනීමට උත්සහ කිරීමකි. මෙහිදී සාකච්ඡා සඳහා තෝරාගන්නට බලාපොරොත්තු වන්නේ, පෞද්ගලිකව මා ඉතා ප්‍රියකරන නිර්මාණකරුවන් කිහිපදෙනනෙකු පමණි. ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව තුළ ‘සාහිත්‍ය නිර්මාණකරණය’ නමින් ම’විසින් කරගෙන යනු ලබන වීඩියෝ මාලාවට සමගාමීව මෙම සංවාද පෙළ සම්පාදනය කෙරෙන අතර ඔබත් නිර්මාණකරණය හැදෑරීමට උන්නදු අයෙකුනම් අපගේ මේ සොයායාමට එකතුවීමට ආරාධනා කරමු! __________________________________________________ අද අපගේ පළමු සාකච්ඡාව මා වඩාත් ප්‍රියකරන,මට වඩාත් සමීප නිර්මාණකරුවෙකු වන මංජුල වෙඩිවර්ධන සමඟයි. කවියෙකු, කෙටිකතාකරුවෙකු හා නවකතාකරුවෙකු වශයෙන් වඩාත් ජනප්‍රිය නිර්මාණකරුවෙකු වන මංජුල වෙඩිවර්ධන, ගීත රචකයෙකු, වේදිකා නාට්‍ය-රූපවාහිනී නාට්‍ය පිටපත් රචකයෙකු ලෙසත් සාහිත්‍යකරණයේ යෙදෙන, වර්තමානයේ සිංහල භාෂාවෙන් නිර්මාණකරණයෙහි යෙදෙන ලේඛකයන් අතර මඟහැර යා නොහැකි වඩාත් සුවිශේෂී නිර්මාණකරුවෙකි. 01- ඇයි ඔබ සාහිත්‍ය නිර්මාණකරුවකු වෙන්නේ? බොහෝ නිර්මාණකරුවන්ට නිර්මාණකරණයට පිවිසෙන්න වගේම එහි රැදිල ඉන්නත් හේතු තියෙනවා. ඔබටත් නිර්මාණකරණයට එන්න කිසියම් හේතුවක් හෝ අරමුණක් තිබුණද? තියෙනවද? අපිව මේ ලෝකෙට ඇදල දාලා තියෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙටවත් නිශ්චිත උත්තරයක් අපිට තියෙනවද? නෑ. නිර්මාණකරුවෙකු හෝ සාහිත්‍යකරුවෙකු වීම කියන එකත් එයාකාර අහම්බයක්. කලාව කියන්නෙ කොහොමත් අනිවාර්යතාවක් නෙවෙයි ...අහම්බයක්. එයාර්ථයෙන් කලාකරුවත් අනිවාර්යතාවක් නෙවෙයි. අහම්බයක්. මං පුංචි කාලේ ඉඳන් ම හොඳ කියවන්නනෙක්. ඒ කියන්නෙ අවුරුදු හතරෙ වගේ ඉඳන්. අම්ම තමයි මට කියවන්න පුරුදු කරේ. අම්මා තමයි මගේ මොන්ටිසෝරි ගුරුතුමී.ඒ හින්ද මං කවදාවත් මොන්ටිසෝරි ගිහිල්ලා නෑ. දොන් පීටර් පියතුමාගේ 'වනගත ළමෝ' කියවද්දි මං ඉස්කෝලේ යන්න පටන් අරගෙනත් නෑ. සම්පූර්ණ පොතක් විදියට මට මතක හිටියේ ඒක. ඒ හින්දා වෙන්නඇති මං තාමත් කැමතිම ළමා හෝ යොවුන් පොත ඒක. අවුරුදු දහය විතර වෙද්දී මටම පුංචි පුස්තකාලයක් තිබුණා. රත්මලානේ මැලිබන් හන්දියේ තිබුණු 'ගුණපාල: පොත්හලෙත්, 'විජිත' පොත් හලෙත් උඩතිබ්බ පොත් රාක්කවල තිබ්බ පොත් මං පුටුවක් උඩට නැගලා තමයි තේරුවෙ. වරු ගණන්. පොතක් අතට ගත්තම ඒ පසු කවරේ, පෙරවදනෙ-හැඳින්වීමෙ කොටසක්, ඇතුළෙ පිටුවක් දෙකක් මං ඒ විදියට හිටන්ම කියවනවා. පොත හිතට වැදුනොත් ගන්නවා. අම්මා තමයි බිල් ගෙව්වෙ. විජිත පොත් හළේ හිමිකාරිය, දෛනිකව ලස්සනට ඔසරියක් එහෙම ඇඳලා හිටපු ඒ පැසුණු ස්ත්‍රිය, මගේ චර්‍යාව දිහා බලාගෙන ආශ්වාදයකින් වගේ හිනා වෙච්ච හැටි මට තාම මතකයි. පහ ශ්‍රේණියෙදි, ඉස්කෝලෙ ප්‍රයිස් ගිවිං එකේදි වෙනත් ත්‍යාග සහ සහතික වලට අමතරව 'රචනාව' සඳහා ත්‍යාගයත් ලැබුණෙ මට. මං හිතන්නෙ ඒ තෑග්ග බැඳිල තිබුණෙ ලිවීමත් එක්ක නෙමෙයි කියවීමත් එක්ක. නමුත් මගේ ලිවීම් පරික්ෂාවට ලක්කරගන්න අහම්බය සිද්ධවෙන්නෙ, ඒ කියන්නෙ ඒ අහඹු අනතුර සිද්ධවෙන්නෙ උසස්පෙළ කරද්දි. මං උසස් පෙළ කරේ ගණිතය. ඒ ගණිත පංතියට ආවා ටෙරන්ස් ඇන්තනි වින්සන්ට් මැකෙල්වි කියලා ශිෂ්‍යයෙක්. ඔහු වෙනස්ම විදිහෙ හිතන්නෙක්. ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අතර මෙන්ම ශිෂ්‍යයො සහ ගුරුවරු අතරෙ වෙච්ච සංවාදවලදී මමත් මැකෙල්විත් බොහෝ විට ගත්තේ සමාන්තර ස්ථාවරයන්. ඒක පොදුවෙ හැමෝම ගත්ත ස්ථාවරයට වඩා වෙනස් ස්ථාවරයක්. අපි දෙන්න ක්‍රමයෙන් හොඳම යාලුවෝ බවට පත්වුණා. ඔහුට ඩයරියක් තිබුණා. ඔහු තමන්ගෙ ඩයරියේ ලියන තමන්ගෙම අදහස්, තමන්ගෙම කවි සමීපව ඇසුරු කරන්න පටන් ගත්ත එක තමයි මගේ ඇක්සිඩන්ට් එක. ඔහු තමයි ෂේන් මැකෙල්වි කවියා. මගේ ජීවිතය වෙනස් කරපු මිත්‍රයා.කියවීම විසින් පෝෂණය කරලා තිබුණු මගේ මනස ලිවීමට ඇතුළත් වෙද්දි එලියට එන දේ විචාරන්න ගැඹුරු විචාරකයෙක් මගේ ළඟ හිටියා. ඒ තමයි මැකෙල්වි. ඉතින් මාත් ලියන්න ගත්තා. මාත් ඩයරියක් නඩත්තු කරා. ඒ ලියවෙන ඇතැම් දේ නැවත කොළවල ලියලා පත්තර වලට තැපැල් කළා. ඒවා පළවෙන්න පටන් ගත්තම තේරෙන්න ගත්තා ඒවා පළවෙන මට්ටමක තියෙන බව. ඔන්න ඔහොම තමයි ලිවීමට ඇතුළත් වෙන්නෙ. විශාල විධිමත් අරමුණක් ඇතුව නෙමෙයි. එන්නෙ ලියන්න. මොකද, ඒ කැඳවීම දැන් ලැබිල ඉවරයි. නමුත් නිර්මාණකරණය තුළ නවතින්න හෝ පවතින්න අරමුණක් ඕනි. මම මේක ඇතුළෙ නවතින හා පවතින මූලිකම අරමුණ නිර්මාණයකරණයම තමයි. මාව කියවන අපේක්ෂාව තියෙන, ස්තිරසාර තටමක කුඩා පර්ෂදයක් මා වටේ ඉන්නවා. ඒ හැමෝම නිනිර්මාණාත්මක කියවන්නො. සැහැල්ලු ලිවීම් වලට ඇතුළත් වෙලා ඒ පිරිස හහෑල්ලුවට ලක් කරන්න මට අයිතියක් නෑ. ඒ හින්දම විටින් විට මං ලියන දේට විශාල ශ්‍රමයක් විය පැහැදම් කරන්න මං බැඳිල ඉන්නවා. ඔව් එහෙම තමයි ඒ දේවල් සිද්ධවෙන්නෙ. ආරම්මණය කියන්නෙත් ඒකටම තමයි 02- ඔබේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්න ඔබ මේ සාහිත්‍ය කියන කලා මාධ්‍යම තෝරගන්න විශේෂත්වය මොකක්ද? ඇයි සිනමාව, චිත්‍රකලාව හෝ එවැනි වෙනත් කලා මාධ්‍යයකට නොගිහින් සාහිත්‍යය​ම තොරාගත්තෙ? මෙහෙමයි. මට කව්ය අහුවුණා. මගේම විදිහකට වෙන්න ඇති. ඒත් මං හිතන්නෙ කවිය මට අහුවුණා. මං නාට්‍ය පිටපතක් ලිව්වත්, කෙටිකතාවක් ලිව්වත්, පිටු පන්සීයක හයසීයක නවකතාවක් ලිව්වත් අර අහුවෙච්ච කවිය ඒ තුළ තියන එක මම ලියන විදිහ වුණා. මං හිතන්නෙ 'කාව්‍යමයත්වය' කියන්නෙ ඒකට. ලිවීම කියන ක්‍රියාවලියට සීරියස් වුණාම ඒක ස්වයංසිද්ධව ජීවිතේ කොටසක් බවට පත්වෙනවා. සමස්ත ජීවිතය නෙවෙයි කොටසක්. හැබැයි ජීවිතය කියන දේ සම්පූර්ණ වෙන්න ඒ කොටස පවතින්නම ඕනි. බැඳීම කියන්නෙ ඔන්න ඔය වගේ දෙයක්....බැඳීම මොනවගේද කියල ඇහුවම ඒ ප්‍රශ්නෙන් ඇඟවෙන්නෙ, ලිවීම එහෙම නැත්තං සාහිත්‍යකරණය කියන්නෙ ජීවිතයෙන් පරිබාහිරව පවතින දෙයක් ඒ කියන්නෙ ඔබ්ජෙක්ටිව් දෙයක් කියන අදහස. නමුත් මට අදාලව ඒක එහෙම නෑ. මගේ ලිවීම මුළුමනින්ම සබ්ජෙක්ටිව් කාරණයක්. පළකිරීම කෙසේ වෙතත් ලිවීම තියෙන්නෙ ජීවත්වීම ඇතුළෙම තමයි. ලීවීමට ම අනන්‍යවෙන්න බලපෑවයි කියල හිතෙන තව හේතුවක් තියෙනවා. සාමුහික දේවල් කරන්න තියෙන අමාරුව. 1997 තමයි මගේ සාහිත්‍ය-කලා ජීවිතයේ 'දුරු පරීක්ෂාවේ' අවුරුද්ද. ෂේන් මැකෙල්වියි මමයි කරපු 'නිරුත්තර සමාධිය: පළවෙන්නෙත්, මගේ :සඳ එළිය ගිනි අරන්" කෙටි නාට්‍ය වේදිකාගත කෙරෙන්නෙත් ඒ අවුරුද්දෙ. ඒ කෙටි නාට්‍ය බලපු අයට මතක හිටපු වර්ගයෙ වෙනම වැඩක්. වේදිකාවට එදා වගේ ම තවමත් විශාල ලව් එකක් තියෙනවා. මං හැම අවුරුද්දකම මෙහෙ පෙන්නන පර්‍යේෂණකාමි වෙනස්ම නාට්‍ය සහ රංගනමය ප්‍රකාශන දහයක් පහළොවක් බලනවා. අලුත් නාට්‍යක් කිරීමේ සැලැස්මක් පවා මා තුළ තියෙනවා. මගේ ලිවීමේ සහ අධ්‍යක්ෂනය කිරීමේ ධාරිතාව ගැන පවා මට අවබෝධයක් තියෙනවා. නමුත් ප්‍රශ්නය මේකයි. නාට්‍ය කලාව කියන්නේ සාමූහික කලාපයකට ඇතුළත් වෙන්න ඕන විෂයක්. ඒකට විශාල විනයක් ඕන කරනවා. මට නඩත්තු කරන්න බැරි මෙන්න මේ විනය. මට විශාල විරුද්ධාභාෂයක් දැනෙනවා. විනයෙන් තොරවීමම තමයි කලාවේ ඔරිජිනලිටි වෙන්නෙ. විනයකට යටත් වෙච්ච හැටියෙම මට මාව අහිමිවෙනවා. ලිවීම කියන තනියෙන් කරන ක්‍රියාවලිය මොනතරම් වේදනාබර වුණත් මාව විශාල සහනයක සැහැල්ලුවක රදවනවා. ඒ හින්ද මං හිතන්නේ මං ලිවීම තෝරගත්ත නෙවෙයි. ලිවීම මාව තෝර ගත්තා. 03. ⁠නිර්මාණකරණයට අත්දැකීම් බලපාන විදිහ ගැන ඔබට තියෙන අදහස මොකක්ද ස​හ නිර්මාණකරනයේදී අත්දැකීම් ප්‍රතිනිර්මාණය කියන කාරණය කොයි විදියටද බලපාන්නෙ? ඔබේ නිර්මාණ ඇතුලෙ එවැනි අවස්ථා තියෙනවද? මේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට මට මම ලියපු සෑම සියලු කවියක් වගේම මං ලියපු සෑම සියලු කෙටිකතාවක්ම නවකතාවක්ම නිදසුනට ගන්න පුළුවන්. අත්දැකීමක් කියන්නේ කිසියම් නිශ්චිත මොහොතක සිද්ධ වෙන දෙයක්. එහෙම දෙයක් නිර්මාණකරණයට ගේන්න පුළුවන් හයිකු වගේ ඒ නිශ්චිත මොහොත ඒ නිශ්චිත මොහොතෙදිම කලාත්මකව වාර්තාකරණය කරන සාහිත්‍ය ප්‍රවර්ගයකට විතරයි. එහෙම බරපතල සාහිත්‍යයක මැදිහත්වීමක් කරන්න පුළුවන් දාර්ශනික හික්මීමක් තියෙන ලියන්නෙකුට විතරයි. නමුත් දෛනිකව අපිට අභිමුඛ වෙන සාහිත්‍ය නිර්මාණ හයිකු කවි නෙවෙයි. එතකොට සිද්ධවෙන්නේ කිසියම් අත්දැකීමක් හෝ අවම වශයෙන් ඊට අදාල හැඟීම් මාත්‍රයක් ලිවීමේ මොහොතට අභිමුඛ කරගැනීම. එසේ කැඳවා ගැනීමේදීම එක ප්‍රතිනිර්මාණයක් බවට පත්වෙනවා. මොකද, ඒකේ අත්දැකීම නෙවෙයි අත්දැකීම ගැන මතකය. සීරියස් ලියන්නෙක් නම් හැමවිටම කරන්නේ ඔබ මේ කියන ප්‍රතිනිර්මාණය නෙවෙයි. අවශේෂ කරුණු හැඟීම් සියල්ල කැටිකර ගත් ප්‍රබන්ධකරණයක්. ලිවීම සිද්ධවෙන නිශ්චිත මෝධි වෙන්නේ ප්‍රබන්ධකරණය. දස දහස් ගණන් අති සරල නවකතා සහ කීර්තිමත් එක නවකතාවක් අතර තියෙන වෙනස ඔන්න ඕක. වාර්තාකරණයෙන් එහා ගිය ප්‍රබන්ධකරණය. ඔබ ප්‍රශ්නයක් විදියට අහන හින්දම මම එකම එක උදාහරණයක් විතරක් ගන්නම්. මගේ නිර්මාණ වලටඅදාළව. 2011 දි පළකළ මගේ 'ඇහැළ ඇමතුමකට ඇහැරෙමි' කෘතිය එනවා කවියක් 'ඩොනා' කියලා. හරියටම මාතෘකාව කියනවා නම් මෙහෙමයි. "මධුවිත තනිකර නික්ම ගිය නාගරික ජන කවියකු වූ ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය" මෙහෙමයි කවිය එන්නෙ. "අන්තර්ගතයට පනින් ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමා "මධුවිත තනිකර නික්ම ගිය නාගරික ජන කවියකු වූ ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය" මනාපය මගෙයි කඳුළැලි සිනාසෙනු වගෙයි ඩොනා මට අගෙයි රස කල්පනා රැලි නැගෙයි සවී ගෙනෙන පද -සිඹියි නිවී තියෙන හද අවී වුණත් වැඳ -වැටෙයි කවී පොකුරු මැද බැස්ටියන් ඩොනා හිටියම - කස්ටියක් මෙනා ගුරු මුස්ටියත් උනා දී - සන්තුස්ටියක් වුණා ඉල්ලු ගමන් පද ලැබෙන - කල්ප වෘක්ෂෙ වැඳ කවිමල්ල ලිහමි අද බලනුඑල්ල හැලෙන නද මා කවි කියන අතරතුර ඔහු අවදි වී බලයි. ඒ දෑසේ මඳහස කි. මම ඔහු අවුලුවාලනු පිණිස පද තීව‍්‍ර කරමි. දැන් ඉතින් ඔහු මා හා පැටළෙනු ඇත. මට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ඔහුගේ නික්ම යාම පමා කරලීමට ය. මම :- කවුඩානට යන පාර ගව් ගාණට මැන්නෙ දැන් පව් කාරයො බණ කියති දෙව් ලෝ පිළිකන්නෙ ඔහු :- පව් පිරුණත් මගේ මෙ කවි රැව් පිළිරැව් නැ‍ඟේ මුන් කව් සිළුමිණ අගේ කරන - සව් කරදහි වගේ මම එවර ඔහු ඉලක්කයට ගනිමි. වාදය අවුලුවාලමි. ඔහුගේ හදවත නගන හඬ අසනු රිසියෙනි. මම :- මස් මාළුම කැව්වෙ හැබැයි - රස්සාවට බිව්වෙ මම - දුස්රාවකි එව්වෙ කොහෙද- ඇස්වහගෙන දිව්වෙ ඔහු :- ඩොනා එවන පද දැකලඅනාගෙනද අද අපෙ - සනා පිටිය මැද වැටුණෙ කනා මුට්ටි බිඳ මම :- අර - කවුඩගෙ පිළිරාවෙ අරන් - කවුඩානට ආවෙ කවි - සව්බර බර ගෑවෙ ගුරු - ගවුරවයද කෑවෙ ඔහු :- අර බොරූ කකුල් හුරූ පට්ට හොරූ නෙළති තරූ මේ ගුරූ හිතේ දරූ පෙමට ගරූ කරනු මරූ මම :- දාඩිය ගඳ යසයි තිත්ත - කාඩිය වුව රසයි කවි - ජාඩිය හරි උසයි නමුත් - මූඩිය හෙණ වසයි ඔහු :- දාස් ගණන් පද ගලන - සාස්තරය ලද අපෙ - රාස් කියනවද පොඩි - රෝස් පාන් මැද මම :- ගිරා මොටකු කට අරියි - සිරා කවියෙකුට සුරා සොඬකු හට බැරිය - ගුරා කියනු මට ඔහු :- දාලා දෙක ඉතා රසට - මෝලා ඇඹරෙතා අර -:නාලාගිරි ඇතා වගෙයි - බීලා නැති පුතා ඔහුගේ මඳහසෙහි ඇත්තේ සදය උපහාසයකි. උත්ප‍්‍රාසයෙන් මා දෙස බලා ඔහු යළි ඇස් පියයි. මම වේදනාවෙන් සසැළෙමි. ඔහු වෙනුවෙන් ලිවිය යුතු දෑ බොහෝ ය. මෙම නිහඬ නාගරික ජන කවියා වණන්නට පියවි ලෝකය බාධාවකි. එහෙයින් මේ නිමේෂයේ මම, මධුවිතක් පිණිස හිත හදා ගනිමි. සුවර්ගෙ යන දින මොටද:-;සුවර් ඔබගෙ තැන ඔය - ලිවර් එකට පණ පොවල - කවර් කරමි දෙණ අර - මැරෑටියකු වෙන්න හදපු මට මඟ පෙන්නා කවි - කරාටි පද පුහුණු කරල කලු පටි දුන්නා ඔබෙ -:කට ගෙන බුදුවෙන්ට හදපු - රට සට කපටින්ට අර - අට කොණ ගෙන එන්ට කියමු - බටකොළ වළඳන්ට තනි අතින් කවපු පිට්ටු වලට ලතින් පවා මට්ටු මධු විතින් අපට කිට්ටු කරපු ඇතුන් සදා කෙට්ටු පොඩි කුරුල්ලකුව සොයා කවි කරල් කවපු පියා මධු බැරල් අපිට තියා අපෙ ඩොනල් මාම ගියා ඔය සදාතනික මූණෙ රැස් නිදා වැටෙනු නෑනෙ අත් මුදාහැරෙන මානෙ අපි බෙදා ගනිමු හීනෙ මේක ලිව්වෙ 2011 නොවැම්බර් 5 වැනිදා. ඩොනා ජීවිතයට සමු දුන්න කියන ආරංචියෙ කම්පනයෙන් වේදනාවෙන් නිදහස් වීම තමයි මේ කවිය. කවියක් කිව්වට මේකෙ අභ්‍යන්තරයේ තියෙන්නෙ වාද බයිලා සම්ප්‍රදාය. සක්ක පද පවා සහිත බයිල පද සහ රිද්මය. මහමහාචාර්ය ලියනගේ අමරකීර්තිගෙ රසවත් ශාස්ත්‍රීය රචනාවක් තියෙනවා සාහිත්‍ය-කලා ජොන්රීය සම්මිශ්‍රණය ගැන. ඔහු ඒකෙදි ඉතා පැහැදිලිව විග්‍රහ කරනවා මේ සවිඥානික පීලි පැන්නිල්ල ගැන. දැන් ඍජුවම ඔබේ ප්‍රශ්නය වෙත එළඹුනොත්, මං දීල තියෙන උත්තරය අනුව තරමක් පැහැදිලියි මේ කවිය ඩොනා කියන චරිතය පිළිබඳ නිර්මාණයක් කියලා. කවුද මේ ඩොනා? ඔහුගෙ නම ඩොනල්ඩ් බැස්ටියන්. මගෙ පොඩි ආච්චිගෙ තුන්වැනි පුතා. පොඩි ආච්චි කියන්නෙ මගෙ අම්මගෙ තාත්තගෙ නංගි. මං හැදී වැඩුණු සංස්කෘතික පරිසරය ඇතුළෙ ඥාතීන් කියන්නේ එකම පද්ධතියක අතිශයින්ම සමීප සාමාජිකයන්. ඩොනල් මාමා කියන්නෙ එහෙම ළඟ කෙනෙක්. ජීවිතයට බලපෑ ඔහුගෙ විශේෂය වෙලා තිබුණෙ ඔහු අපි ඉතා කුඩා කාලෙ මටත් මගෙ අයියටත් වාද බයිලා කටපාඩම් කෙරෙව්වා සහ අලුතින් බයිලා හදන්න ඉගැන්නුවා. ඒක ඒ සංසංස්කෘතියෙ කොටසක්. මට මතකයි අපෙ ආච්චිගෙ එක්තරා උපන්දින සාජ්ජෙකට ගෙදර තිබුණෙ වාද බයිල එකක්. කවුඩානේ වසන්ත මදුරාවල තමයි එතන හිටපු කැටයම්කාරයා. ඔහු එදා කියපු බයිලා එක දෙකක් මට අද තව වෙනකල් මතකයි. මේ කවියට හේතුභූත වෙලා තියෙන්නෙ ඩොනාගෙ මරණය වුණත්, ඔහු සමඟ තිබුණු මතකයන් කවිය පුරා විසිරිලා තිබුණත් කවිය මා තුළ පත්‍තු වෙන තැන තමයි ඔහු මට භෞතිකව මුණගැහුණු අන්තිම මතකය. ඔහුගේ මරණය පිළිබඳ දුක්ඛදායී පණිවිඩය දැනගත්ත මොහොතෙම මට ආවෙ මෙන්න මේ වචන කිහිපය විතරයි. "තනි අතින් කවපු පිට්ටු වලට ලතින් පවා මට්ටු" මොකක්ද මේ වචන වල ඉතිහාසය. මේකයි.ඩොනා හෙවත් ඩොනල් මාමගේ එක අතක් අප්‍රාණිකයි. ව්‍යවහාරික බසින් කියනවා නම් ඒ අත සොත්තියි. 2009 අවුරුද්දේ මුල, නිශ්චිතවම ජනවාරි මාසෙ, .මං ගාලු පාර හරහා ගෙදර යමින් හිටියා. ඒ කාලෙ අපි මාධ්‍යකරුවන් ආරක්ෂාව පිළිබඳ විශාල අවධානෙකින් හිටපු කාලයක්. අපි සාමුහිකව එක තැනක හිටියෙ. අත්‍යවශ්‍ය පුද්ගලික ගමනක් ගියත් ඒ අතිශයින්ම විශ්වාසවන්ත පුද්ගලික යාලුවෙක් එක්ක විතරයි. සුසන්ත කරුණානායක හෙවත් සුසා කියන්නෙ මට හිටපු විශ්වාසවන්ත ම ගමන් සගයෙක්. මේ කියන දවසෙ සුසාගෙ බයික් එකේ පිටිපස්සෙ වාඩිවෙලා යද්දි ගල්කිස්ස කනත්ත පහු කරද්දිම මට හිතුණ පොඩි ආච්චි බලලා යන්න. මං සුසාට කිව්වා පොඩ්ඩක් බයික් එක නවත්තපන් කියලා. එතන ළඟම තිබ්බ කඩෙන් නෙස්ටමෝල්ට් එකක් අරන් මං ගියා පොඩි ආච්චි බලන්න. එතකොට ඇයට හුඟක් වයසයි. ඇස් පෙනීමත් අහිමිවෙලා තිබුණේ. ඒත් මං 'පොඩි ආච්ච්' කියද්ද්ම මගේ කටහඬින් මාව අඳුර ගත්තා. ඩොනල් මාමා හිටියේ කුස්සෙයෙ. බත්තලාඳක දාගත්ත පිට්ටුයි, ඌරුමසුයි වලඳමින්. පොර අඩියකුත් ගසලා හිටියෙ. 'මංජුවෝ, වරෙං පිට්ටු කන්න...වරෙං බෙදාගනිං' කිව්වට මං කිව්වා, 'මං කාල ඉන්නෙ ඩොනල් මාමෙ' කියලා. "වරෙං එහෙනං බොට කටක් කවන්න' කියලා ඒ පාර කිව්වා. ඒ කවපු පිට්ටු කටයි, පතරංග ඌරුමස් කෑල්ලයි මං රස විඳපු හැටි සහ ඒ මොහොතෙ ඔහුගෙ මුවින් වහනය වුණෙ ඇල්කොහොල් සුවඳ තමයි ඩොනල්ඩ් මාමගෙ මරණය සැලවුණු මොහොතෙම මගෙ පපුව රිදුම් දීගෙන දැනෙන්න ගත්තෙ. ඔන්න ඔහොමයි මේ කවිය ලියැවුණේ. අද්දැකීමක් ප්‍රතිනිර්මාණය වෙන්නෙ ඒ අද්දැකීමට මෙන්ම ඒක ලියන මොහොතෙ මනෝභාවයට සමාන්තරව. මං ඒ මියගිය චරිතෙට ප්‍රබන්ධකරණය හරහා පණ දුන්නා. දැන් ඩොනල් මාමා විදිහට මගේ විතරක් නෙමෙයි සහෘදයින් වන ඔබෙත් මතකයෙ ශේෂ වෙලා ඉන්නෙ මිය ගිය චරිතයක් නෙමෙයි, සදාකාලිකව ජීවත්වන චරිතයක්. ප්‍රබන්ධකරණය කියන්නෙ එවන් සංසිද්ධියක්. 04- තනිකම දු​ක විප්‍රයෝගය වගේ හැඟීම් නිර්මාණශීලී බව වැඩි කරනවා කියලා ඔබ හිතනව ද? පුද්ගලිකව ගත්තම මට ඕනෙම ආතතියක් ඇතුළෙ අඛණ්ඩව ලියන්න පුළුවන්. ඔබ ඔය කියන වියුක්ත හැඟුම් නිර්මාණශීලීබව වැඩිකරනවද නැද්ද කියල සංයුක්තව උදාහරණ සහිතව කියන්න අමාරුයි. නමුත් මගේ සෑම ලිවීමක් අතුළෙම, ඒ කියන්නෙ ලිවීම කියන ක්‍රියාවලියෙ භෞතිකවම යෙදෙන සෑම වෙලාවකම අඩුවැඩි වශයෙන් ඔය කියන හැඟීම් මා තුළ තිබිලා තියෙනවා. ඔබ කියන 'තනිකම' කියන අදහස අරගමු. ඒක බාහිර හෝ අවශේෂ හේතු මත අත්පත් වීම පොඩ්ඩක් පැත්තකින් තියන්න. ලියන්න නම් තනිකම අත්පත් කර ගන්නම වෙනවා. ඒ අර්ථයෙන් තනිකම බාහිරින් ආනයනය වුණු දෙයක් නෙමෙයි අභ්‍යන්තර කැඳවීමක්. මහා සෙනඟක් මැද වුණත් තනිවෙන්න පුළුවන් කෙනෙක්ට තමයි බරපතළ ලියන්නෙක් වෙන්න පුළුහන් වෙන්නෙ. හැබැයි නිර්මාණශීලීකම වැඩිවීමයි තනිකමයි අතර සම්බන්දය පහසුවෙන් සාධනය කරල පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිර්මාණශීලිබව වැඩිවීම තනිකම තුළ ස්වයංසිද්ධ නෑ. නිර්මාණශීලිත්වයට අදාල ගෙදර වැඩ තියෙනවා. අන්න ඒවා කරන්න ඕනි. ඔබ අහන 'දුක' කියන කාරණය ගත්තොත්, ලියනවා කියන්නෙ පරම දුකක් තමයි. ලිවීම කියන ක්‍රියාවලිය සීරියස්කරණයවුණු මිනිස්සුන්ගෙ ජිවිත දුකින් වියුක්තව ගන්න බෑ. හැබැයි දුක විතරක් තිබ්බට නිර්මාණශීලිත්වය වරනැඟෙන්නෑ. ඒකට අදාල ගෙදර වැඩ කරන්නම වෙනවා. ගෙදර වැඩ කරන කෙනාට කේන්තියෙන් වුණත් රහට ප්‍රබන්ධ ගොතන්න පුළුවන්. 05- ඔබ ලිවීමක් ආරම්භ කරද්දි, අත්දැකීමක් නැවත නිර්මාණය කරද්දි ඒකට මූලිකත්වය එන්නේ අර වගේ දුක තනිකම හෝ මොනයම්ම ​හෝ හැඟීමකින්ද? නැත්නම්, අර අත්දැකීම ගැන නැවත ලියන්න තියෙන වුවමනාව, එහෙම නැත්නම් ‘මතකය’ මූලික වෙලාද? මෙහෙමයි, මතකයක් එක්ක ලිවීමක් මතුවෙනවා කියන්නෙ ඒ මතකය එක්ක බැඳුණු හැඟීමක් හෝ හැඟීම් කන්දරාවක් ඒ මත වැතිරී තියෙනවා කියන එක. හැඟීමක් විසින් ලිවීමක් අවුළුවනවා කියන්නෙ ඒ එක්ක පැටළුණු මතකයක් හෝ මතක කන්දරාවක් ඒ හැඟුම මත ඇවිලෙන්න ගන්නවා. මේ දෙක වෙන්කරල ගන්න බෑ. කාටහරි ඕනිනම් පුළුවන් ඔය දෙකෙන් එකක් තමයි ලිවීමක ආරම්භය කියල ප්‍රකාශ කරන්න. නමුත් මට පුළුවන් ඒ ඕනිම කෙනෙක් එක්ක සංවාද කරලා තමන් අතාරින ඒ හා බැඳුණු අනිත් අර්ධය තාර්කිකව පෙන්නල දෙන්න. 06- තමන්ගේ පුද්ගලික අත්දැකීමක් නිර්මාණයකට අරගෙන එද්දී ලිවීම තමන්ට සමීප වීම හරහා තමන්ව නිර්මාණයෙන් එළියට එන එක හො​ද ​හෝ නරක දෙයක් ද? එහෙම නැත්නම් තමන්ව එළියට නොයන විදිහට, ​ඒ කියන්නේ නිර්මාණ​ය පුද්ගලික හැඟීම් ප්‍රකාශනයක් විතරක් වගේ තත්ත්වයකට නොවැටෙන විදිහට ගොඩනගන්න ඔ​බ උත්සහ දරල තියෙනවද? ලිවීම කියන්නේ ලිවීම. ඒක අතිශය සවිඥානිකයි කියලා හිතුනට ලියන්නට අහුවෙන්නැති මාත්‍රාවකින් අවිඥානයේ මුද්‍රාවක් විදිහට පටිතය ඇතුලේ ඉතිරිවෙනවා. ආක්‍යනය ඇතුලේ ඉතිරි වෙනවා. සාහිත්‍ය තර්කනය ඇතුලේ ඉතිරි වෙනවා.කාව්‍යමයත්වය ඇතුලේ ඉතිරි වෙනවා. කෙනෙක්ට පුළුවන් තමන් එලියට නොයනවා කියලත් හිතාගෙන කිසියම් ආඛ්‍යානයක් ගොඩනගන්න. නමුත් නිර්මාණාත්මක කියවන්නට පුළුවන් ඒ නොකියන කොටස අල්ලගන්න. ගැඹුරු විචාරකයෙකුට පුළුවන් ඒක විශ්ලේෂණය කරන්න. ඒ හින්දා ලිවීම කියන්නේ තමන්ව අහුවෙයිද නැද්ද කියල හිතමින් කරන වැඩක් නෙවෙයි. ලිවීම කියන්නේ එළිවීමට ඉඩදීමමයි. නිර්මාණය අවේශය කියලා දෙයක් තියෙනවා. පුද්ගලිකව මට අදාලව ගත්තොත් ලිවීමේ එක්තරා මොහොතකදී මං පවතින්නේ ඒ ලිවීම ඇතුළෙන්ම විතරයි. සිතුවිලි ගලන වේගය ඉතාම වේගවත්. ඒ වේගයට සාපේක්ෂව ලියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසාම අත්හැරෙන කොටස විශාලයි. මං හිතන්නෑ ඒකට විසඳුමක් ඇති කියලා. සමහර ඇවිත් යන දේවල් නැවත එන්නෙම නෑ. මතකයේ තියෙනවා, කිසියම් පරපතල ගැඹුරු සුන්දර දෙයක් තමන් ඒ මොහොතේ ගත කරන ක්‍රියාවලියට අදාළව මතුවුණා කියලා. නමුත් ඒක ඇවිල්ල ගිහිල්ලා ඉවරයි. මිනිස් මනස ක්‍රියා කරන විදිහ කියන්නේ සංකීර්ණ සංසිද්ධියක්. ලියන්නෙකුට අදාලව ඒක ඉතාම සංකීර්ණයි. තමන් මතු වෙනවද නැද්ද කියලා හිතමින් ලියන එක මගේ විශ්ලේෂණය අනුව තරමක හුරතල් වැඩක්. ලාමක ලපටි වැඩක්. කොටින්ම තමන්ව නිරුවත් කරලා පෙන්නන්න බැරි කිසිම කෙනෙක්ට බරපතල ලියන්නෙක් වෙන්න බෑ. සාමාන්‍ය ලියන්නෙක් වෙන්න පුළුවන් වෙයි. කතා ලියන්නෙක් වෙන්න පුළුවන් වෙයි. කොටින්ම බෙස්ට් සෙලර් කෙනෙක් පවා වෙන්න පුළුවන් වෙයි. සම්මාන ගන්න පවා පුළුවන් වෙයි. නමුත් බරපතල ලියන්නෙක් වෙන්න බෑ. ඒ හින්දා ලියනවා කියන්නේ ලිවීමට ඉඩදෙන එක. තමන් තුළින් වේගයෙන් ප්‍රවාහයක්ව ගලාගෙන එන්නේ තමන් එතෙක් ගත කළ ජීවිතය අත්දැකීම් අත්විඳීම්. හැදෑරීම් කියවීම් කියන එකත් අත්විඳීම් සහ අත්දැකීම් ඇතුලටමයි මම ගන්නේ. මේ සියල්ල සන්තානයේ ගැඹුරු තැනක තැන්පත් වෙලා තිබිලා මේ මොහොතේ ලිවීමට අදාළ කොටස තෝරා බේරා දෙමින් මතු වෙන්න ගන්නවා. ඒ මතු වෙන්නේ අත්විඳපු දෙයක්ද ජීවිතෙන්ම කොටසක්ද කියවීමෙන් හැදෑරීමෙන් පෝෂණය කරගත්ත දෙයක්ද.... ඒක ලිවීමට අදාල නෑ. ලිවීමට අදාල ලිවීමම තමයි. නමුත් ප්‍රශ්නේ මේකයි, තමන් ගැන ලිවීමේ අර්බුදය එන්නෙ එහෙම ලියන්න තරම් ජීවිතයක් ගතකරලා නැතිි මිනිස්සුන්ට. ඔවුන් මුහුණ දෙන අර්බුදය තමයි තමන් තමන් ගැන ලියන්නේ මොනවද කියන එක. එහෙම ලියන්න දෙයක් නැති වුනාම එහෙම මෙහෙන් ඇහිඳ ගන්න දේවල් වලින් තමයි කතා ලියන්න තියෙන්නෙ. කවි ලියන්න තියෙන්නේ. ඇත්තම කියනවනම් ඒ ලියන දේ සහ ලියන්නා අතර කිසිම අභ්‍යන්තර සම්බන්ධයක් නෑ. ආත්මීය සම්බන්ධයක් නෑ. ලිවීම පිළිබඳ කතිකාව අල්ලගන්න ඕන කෙනෙක්ට ලියන්න පුළුවන්. නමුත් තමන්ව ඇතුළත් කරගෙන ලියනවා කියන එක විශාල වැඩක්. කලින් කිව්ව වගේම ලෝකෙ බරපතලම ලියන්නො ඉන්නේ තමන්ගේ ජීවිතය ඇතුලත් කරගෙන ලියපු අය. සෙල්ෆ් පෝට්‍රේට්ස් ගැන ප්‍රශ්න කෙරුණු එක තැනක ෆ්‍රීඩා කාර්ලොස් කියනවා මං වැඩියෙන්ම දන්න වැඩියෙන්ම හඳුනන විෂය එහෙම නැත්නම් ආත්මය මමමයි කියලා. මං හිතන්නේ ලිවීමට අදාල උත්තරයක් විදියටත් ඒක හොඳටම ප්‍රමාණවත්. 07- ඔබේ නිර්මාණ වලට තමන්ගෙ උපන් භූමිය, ළමා විය, තමන්​ගෙ සංස්කෘතිය, භාෂාව මො​න විදිහටද බලපාලා තියෙන්නෙ? ලිවීමේ සමස්තය කියන්නෙ ඔය ටිකට තමයි. ඔය එකක්වත් කිකලකවත් අතාරින්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙම අතෑරලා දාලා ලියනවා ලියන ඕනිම ලියන්නෙක්ව ඔහුගේ ලිවීම් හරහා මනෝ විවිශ්ලේෂණය කරොත් මේ කියන පදනම් කාරණා ඉතාම ලේසියෙන් මතුකරගන්න පුළුවන්. ලියන්නෙක් බිහිවෙන්නෙම ඔබ ඔය මතුකරන කාරණා උඩ. මට අදාලව නම් ඕක තමයි යථාර්ථය. මම බොහෝ අලුත් ධාරාවන්, අලුත් ඉසව්, අලුත් අඛ්‍යන, ව්‍යුහ සංරචන, දාර්ශනික ප්‍රවේශ අත්පත් කරගන්න විශාල ශ්‍රමයක් දැම්මත් ඔය කියන පදනම් කරුණු තමයි පදනමේම තියෙන්නෙ. මං මගේ භාෂාවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක්. ඒ භාෂාව මොන තරම් හැඩට, රහට වහරන්න පුළුවන්ද කියලා ඔප්පුකොට පෙන්නන්න ජීවිතෙන් විශාල කොටසක් වැයකළ කෙනෙක්. භාෂාව විශාල යෙදුම් ප්‍රමාණයක්, වචන ප්‍රමාණයක් නිර්මාණය කරල දුන්න ලියන්නෙක්. මං මේ සියල්ල කළේ භාෂා ජාතිකවාදයට එරෙහිව හිටගනිමින්. අනෙකාගේ භාෂාවට ගරුකළ යුතු බව සාධනය කරමින්. ස්වයං පිටුවහල තෝරගෙන මොන තරම් වියෝ වේදනාවක හිටියත් අඛන්ඩව මාතෘභූමියේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනූවෙන් සාමුහික වගකීමක බැඳීසිටින කෙනෙක්. අඛන්ඩව හඬ නගපු කෙනෙක්. හැබැයි මං මාතෘභූමිය විදිහට සලකන්නෙ සිංහල බෞද්ධ සභ්‍යත්වය අධිනිශ්චයවුණු භූමිකලාපයකට නෙමෙයි. මගේ ඒ ස්තාවරය මගේ ලිවීම් ඇසුරුකරන ඕනෙම වර්ගයක කියවන්නෙක් දන්නවා. තමන්ගෙ සංස්කෘතිය කියන්නෙ ලියන්නෙක්ගෙ ආත්මීයත්වය. ඒ කියන්නනෙ අවිඥානයේ මුද්‍රාව. නිදසුනක් විදිහට 'දාර්ශනික ක්‍රිස්තියානිය' සහ 'විමුක්ති ක්‍රිස්තියානිය' පිළිබඳ මගේ මැදිහත්විම සහ මුද්‍රාව මගේ සංස්කෘතික කලාපය තමයි. කෑම-බීම, ගායන-වාදන-නර්ථන ඈ වූ කලා-සංගීත කලාප පවා මෙකී සංස්කෘතික කාරණා. මේ සියල්ලෙන් මිදෙනවා කියන්නෙ ස්වයංසිද්ධව ගන්ධබ්බ වෙන එක. ඔබේ ප්‍රශ්නයට අදාලව 'ළමාවිය' කියන කාරණය ගත්තොත් අනෙකුත් සියල්ල ගැන මගේ සිතුවිලි පරම්පරාවන්ගෙ පදනම තියෙන්නෙ එතන. මං මේ විදිහට හිතන කෙනෙක් බවට පත්කළේ ඒ පොඩි එකා. ඌ තාම මා තුළ ඉන්නවා. දෘෂ්ටිවාදී අධිනිෂ්චයවීම් වලට යට කරන්න බැරිවුණු ඒ මුරන්ඩු, හිතුවක්කාරී පොඩි එකා නොවෙන්න මං අද මෙතන නෑ. 08- අවසාන වශයෙන්, ඔබට ජීවිතය තේරුම් ගන්න ​හෝ මානසික​ව සුවපත්භාවයට පත්වෙන්න වගේ දේවල් වලට ඔබේ නිර්මාණ උදව් වෙලා තියෙනවද? මං අහන්නේ ​අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීම නිසා ඒකෙන් යම් සුවයක් නැත්නම් ජීවිතේ ගැන නැවත හැරී බලන්න පුළුවන්කමක් ලැබිල තියෙනවද? මගේ නිර්මාණ කියන්නෙ මගේ ජීවිතය ප්‍රකාශවීමක්. ඒ කියන්නෙ මගේ අද්දැකීම් සහ අත්විඳීම් ප්‍රබන්දානුසාරයෙන් ප්‍රකාශවීමක්. මගේ හිතීමේ පැටන් එකට හේතුව ලිවීමම නෙමෙයි .. ඒ සඳහා කරන අධ්‍යනය. ජීවිතය කියන්නෙ තේරුම්ගන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක් ද කියලා නිශ්චිතව ම කියන්න බෑ. නමුත් මං මේ හිතන විදිහ හැදුණෙ ඒ අධ්‍යනයන්ට සමාන්තරව. ' මුන්නක්කරේ සංසාරෙ' වගේ කෘතියක් ගත්තොත් ඒ තාක් අඛණ්ඩව ගතකරපු ජීවිතේම තමයි, ඒ තාක් අඛණ්ඩව සිදුකරපු හැදෑරීම් ම තමයි ප්‍රබන්ද මානයකින් සහෘදයන්ට අභිමුඛ කෙරුවෙ. නමුත් ජේසුස්ගෙ ක්‍රිස්තියානිය වෙනුවට කාදිනල් ක්‍රිස්තියානිය ආදේශ වුණු සමාජයකට මේ කියන සංසාරය අහුවෙන්නෙ නෑ. මං කලිනුත් කිව්වා, ලිවීම කියන්නෙ පරම දුකක් කියලා. මානසික සුවපත්භාවය අත්පත්වෙන්නෙ ලිවිමෙදි නෙමෙයි ලිවීම නතර කෙරෙන මොහොතෙ. සමහර විට සුවපත්වීම කියන්නෙ, ලිවීමේ ක්‍රියාවලීය තුළ දරාගෙන සිටි සංකීර්ණ මනෝභාවයන්ගෙන් නිදහස්වීම නිසා අත්පත්වන සතුටට කියන වෙනත් වචනයක් වෙන්නත් පුළුවන්. සංවාද සටහන : පවන් අංජන

‘තමන්ව නිරුවත් කරලා පෙන්නන්න බැරි කිසිම කෙනෙක්ට බරපතල ලියන්නෙක් වෙන්න බෑ’ – මංජුල වෙඩිවර්ධන (රොන්සුනු සුවඳ 01)

කොන්ස්ටැන්ටයින් පවුස්තවුස්කි ‘රන්රෝස’ කෘතියේ කියන්නේ, රන්කරුවන් ඉවත් කළ කුණු රොඩු අතර ඇති රන්සුනු එකතුකර රමණීය රන්රෝස මලක් තැනූ ෂාමීට්ගේ ​කතන්දරය යි. නිර්මාණකරුවාද සිය ජීවන අත්දැකීම් අතරින් රන්සුනු සොයාගෙන නිර්මාණය නම් රන්රෝස මල තැනිය යුතු බව පවුස්තවුස්කි කියයි. එය කවියක්, සිතුවමක්, කෙටිකතාවක්, නවකතාවක්, සිනමාපටයක් යනාදී ඕනෑම ආකාරයක නිර්මාණයක් වන්නට පුළුවන්. අප මේ වෑයම් කරන්නේ එවන් විවිධාකාර…

Read More
Back To Top