සිංහල භාෂා ව්‍යවහාරයේ පරිණාමය කාලයත් සමඟ ජීව භාෂා පරිණාමය වීම සාමාන්‍ය දෙයකි. භාෂාව යනු මානවයා විසින් සන්නිවේදන පිණිස යොදා ගන්නා උපකරණයක් වන බැවින් භාෂක සමාජයේ ඇතිවන භෞතික, සමාජීය, මානසික හා පාරිසරික හේතු මත භාෂා ව්‍යවහාරය පරිණාමයට පත්වෙයි. සිංහල භාෂාවේ පරිණාමය ගැන අධ්‍යයනය කිරීමේදී එය ඉතා පහසු වන්නේ දිර්ඝ හා අඛණ්ඩ කාලයක් ඔස්සේ පවතින් ලිඛිත සාක්ෂි ඇති හෙයිනි. මේ අතර අභිලේඛන, කුරුටු ගි, පුස්කොල ලේඛන ආදී මූලාශ්‍ර රැසක් දක්නට ලැබේ. කාලයත් සමඟ යට කී හේතු නිසා භාෂාවේ ඇති වෙනස්වීම් විවිධ යුග යටතේ සාකච්ඡාවට බඳුන් කළ හැකිය. ක්‍රි.පූ 3 වන සියවසේ සිට අද දක්වා සිංහල භාෂාවේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ඇති බැවින් සිංහල භාෂා ව්‍යවහාරයේ ඇති පරිණාමය සම්බන්ධයෙන් මනා ලෙස අධ්‍යයනය කළ හැකිය. මෙම ලිඛිත ඉතිහාසය අධ්‍යයනය කිරීම මගින් ඒ ඒ යුගවලදී ව්‍යාකරණය වෙනස් වී ඇත්තේ කෙසේද යන්න අවබෝධ කරගත හැකිය. සිංහල භාෂාවේ ඓතිහාසික ස්වරූපය පිළිබඳව වාග් විද්‍යාත්මකව පැහැදිලි කළ ⁣විල්හෙල්ම් ගයිගර් , සිංහල භාෂා ඉතිහාසය යුග 5කට බෙදා දක්වා ඇත. 1. සිංහල ප්‍රාකෘත යුගය : ක්‍රි.පූ 3 - ක්‍රි.ව. 4 සියවස 2. පුරාතන සිංහල යුගය : ක්‍රි.ව 4 - ක්‍රි.ව. 8 සියවස 3. මධ්‍ය සිංහල යුගය : ක්‍රි.ව. 8 - ක්‍රි.ව. 13 සියවස 4. සම්භාව්‍ය සාහිත්‍ය යුගය : ක්‍රි.ව. 13 - ක්‍රි.ව 17 සියවස 5. නූතන සිංහල යුගය : ක්‍රි. 17 සිට අද දක්වා මෙම යුගවල ඇති භාෂා ව්‍යවහාරයන් අධ්‍යයනය කිරීමෙන් එකී යුගවලට අදාල ව්‍යාකරණ ලක්ෂණ හඳුනාගත හැක. සිංහල ප්‍රාකෘත යුගය ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවස දක්වා කාලයට අයත් වෙයි. මෙහි භාෂාවෙහි හාත්පසින්ම ප්‍රාකෘත ලක්ෂණ ඇති බැවින් ප්‍රාකෘත යුගය ලෙස හඳුන්වයි. භාෂාව බෙහෙවින් මධ්‍ය ඉන්දීය භාෂා ස්වරූපයට සමානත්වයක් දරයි. මේ යුගයේ පිළිබඳ අධ්‍යයනය කිරීමට ඇති හොඳම ලිඛිත සාධකය වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට ඇති සෙල්ලිපි රාශියකි. ඒ අතරේ මිහින්තලා ලෙන් ලිපි, වෙස්සගිරි ලෙන් ලිපිය, රිටිගල ලිපිය, මෝලාහිටියවෙලේගල ලිපිය, තෝනිගල ලිපිය, පාලුමැකිච්චාව සෙල්ලිපිය, ආදිය විශේෂ තැනක් ගනියි. මේ කාලය තුළ ලියවුණු සෙල්ලිපි අධ්‍යනය කිරීමෙන් එ කල පැවති ව්‍යාකරණය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැක. ඒවා පහත පරිදි සංක්ෂිප්ත කොට දැක්වා ඇත. 1. නාම පද වර නැගීමේදී ලිංග බේදය සැලකීම 2. ශුද්ධ ක්‍රියා වෙනුවට අතිත කෘදන්ත ක්‍රියා යෙදීම. 3. නිෂ්පන්න, තද්භව හා තත්සම භාෂා ලක්ෂණ හමුවීම. 4. අක්ෂර 25කින් යුක්ත වර්ණමාලාවක් භාවිත කිරීම. 5. විසර්ගය, නිග්ගහීතය, දීර්ඝ ස්වර, සංයුක්ත ව්‍යංජන ආදිය භාවිතයෙන් තොර වීම. 6. පාලි හා සංස්කෘත භාෂාවල ඇතැම් ව්‍යාකරණ භාවිතා කිරීම. මුල් යුගයේ සංක්ෂිප්තව ලියවුණු ලිපි ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවස වන විට ඉතා දීර්ඝ විස්තර සහිතව ලියැවුණු වග පෙනෙයි. අනුව ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවස වන විට ලේඛනය දියුණු මට්ටමක පැවැති බව නිගමනය කළ හැකිය. පුරාතන සිංහල යුගය ක්‍රිස්තු වර්ෂ 4වන සියවසේ සිටයේ ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවස දක්වා වූ කාලය පුරාතන සිංහල යුගය ලෙස හැඳින්වේ.මේ කාලය වන විට සිංහල භාෂාවෙන් ප්‍රාකෘත තත්ත්වයෙන් මිදී නව්‍ය භාෂාවක් කරා ගමන් කිරීමේ ලකුණු පෙන්නන්නට විය. මේ යුගයේ ලේඛන අධ්‍යයනය කිරීමේදී මහදැළියාමානගේ කතරගම ලිපිය, නාගිරිකන්ද සෙල්ලිපිය, නිලගම ලිපිය ආදිය වැදගත් වෙයි. පුරාතන සිංහල යුගයට අයත් මෙම ලිපි අධ්‍යයන කිරීමෙන් ප්‍රාකෘත යුගයට වඩා එම කාලවකවානුවේ පැවැති භාෂා ව්‍යවහාරය හා ඒ සඳහා යොදාගත් ව්‍යාකරණ පිළිබඳ වෙනස් වී ඇති ආකාරය ගැන අවබෝධයක් ලබාගත හැකිය. ඒවා සැකවින් පහත පරිදි දැක්වෙයි. 1. ඝෝෂ අක්ෂර අඝෝෂ අක්ෂර බවට පරිවර්තනය වීම 2. බහුවර්ණ වචනවල ස්වර ප්‍රයෝගයන් හී අනියත බවක් තිබීම. 3. ඇකාරයේ පළමු පියවර ලෙස එකාරය භාවිතා වීම. උදා. ⁣වාපී > වව් > වෙව් 4. බහුල වශයෙන් නාම ප්‍රකාතිය යෙදීම. 5. උත්තම පුරුෂ ඒකවචනාර්ථ ක්‍රියාපද භාවිතයට ගැනී. උදා. 'සුමනයමි' . මධ්‍ය සිංහල යුගය ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ මධ්‍ය භාගය දක්වා වූ කාලය මෙනමින් හැඳින්වේ. අනුරාධපුර යුගයේ අවසන් භාගයත් පොළොන්නරු යුගයත් දඹදෙණි යුගයේ මුල් අවධියත් ආවරණය කරයි. මේ අවධියෙහි සිදුවු වැදගත් ම දෙය වන්නේ ආකෘතික වශ⁣යෙන් සිංහල භාෂාවේ ස්වරූපය වෙනස් වී නව ඉන්දු ආර්ය භාෂා⁣වක් ලෙස භාෂාව සකස් වීමයි. මෙකල භාෂාව ව්‍යවහාරයේ අධ්‍යයනය කිරීම සඳහා ගැරඬිගල සෙල්ලිපිය, සීගිරි කුරුටු ගී ආදී ලිපිද යොදාගත හැකි අතරන් ග්‍රන්ථ වශයෙන් ධම්පියා අටුවා ගැටපදය, සිඛ වළඳ විනිස, ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, බුත්සරණ ආදී ග්‍රන්ථද යොදාගත හැක. මධ්‍ය සිංහල අවධියේ පහත ප්‍රවනතා හඳුනාගත හැක. 1. සංස්කෘත භාෂාවේ දැඩි බලපෑම 2. භාෂා ඍණිකරණයට ලක්වීම 3. සාහිත්‍ය භාෂාව විදග්ධ ව්‍යවහාරයකට අනුගත වීම 4. ලේඛන ශෛලිය වෙනස් වීම 5. මාතෘ භාෂානුගත ව්‍යාකරණ ලක්ෂණ සිංහල භාෂාවට වැද්ද ගැනීම 6. පාලියේ ප්‍රභාවට වඩා සංස්කෘතයේ ප්‍රභාව බලවත් වීම. 7. මිශ්‍ර සිංහලය ස්ථාවර වීම ඉහත සඳහන් කළ කරුණුවල බලපෑම මත මෙකල ලේඛන විධි කීපයක් හඳුනාගතගත හැක. 1. ගැඹුරු ධර්ම කොට්ඨාස , සංකීර්ණ අදහස් ව්‍යාකරණ විභාග ආදිය දැක්වෙන තැන්වල සංස්කෘත භාෂාවට නැඹුරු භාෂාවක් භාවිතා කිරීම. 2. සාමාන්‍ය විස්තර ඉදිරිපත් කිරීමේදී තත්සම හා තද්භව රූපයන්ගෙන් යුක්ත මිශ්‍ර රීතියක් අනුගමනය කිරීම 3. පාඨකයන්ගේ සිත් ඇදගන්නා පරිදි කිසිවක් රසවත් ලෙස ඉදිරිපත් කිරීමේදී අමිශ්‍ර සිංහලය භාවිතා කිරීම. මෙවැනි කරුණු නිරීක්ෂණය කිරීමේදී වැටහෙන කරුණ නම් පොළොන්නරු යුගයේ සිට භාෂණය හා ලේඛන ව්‍යවහාරයත්, ලේඛනගත ගද්‍ය හා පද්‍ය ව්‍යවහාරයත්‍ අතර වෙනස්කම් ඇති වන්නට ඇති බවයි. එම නිසා මෙකල භාෂා ද්විරූපතා තත්‍ත්වයක් හඳුනාගත හැක. ඒ අනුව පොළොන්නරුවේදී භාෂා ව්‍යවහාරයේ ස්වරූප තුනක් හඳුනාගත හැක. 1. ගද්‍ය - සංස්‍කෘත මිශ්‍ර සිංහලය 2. පද්‍ය - අමිශ්‍ර / හෙළ වහර (කව් ලැකිය) 3. කථා ව්‍යවහාරය (ලෙව් ලැකිය) ඉහත කරුණු සලකා බැලීමේදී මධ්‍ය සිංහල අවධියේදී ව්‍යවහාරය හා ව්‍යාකරණය අතර ඇති සම්බන්ධතාවය ඉතා සංකීර්ණ බව වටහා ගතහැක. මෙම යුගයේ සිදුවු ව්‍යාකරණමය වෙනස්වීම් පහත පරිදි වෙයි. 1. එතෙක් සිංහලයෙහි නොතිබූ 'ඇ' ස්වරය පහළ වීම 2. අනුස්වාරය භාවිතයට ගැනීම 3. දීර්ඝ ස්වර භාවිත 4. මහප්‍රාණ අක්ෂර භාවිතය 5. සඤ්ඤක අක්ෂරවල ප්‍රභවය 6. වචනාන්තයේ ඇති 'අ' ස්වරය ගිලිහී යෑම හා හලන්ත ස්වභාවයක් ප්‍රකට වීම 7. ගේ, ගෙන්, විසින්, කරා, කෙරෙන්, කෙරේ ආදී නිපාත භාවිතය 8. 'එක්‍' / 'අක්' වැනි අනියමාර්ථ ප්‍රත්‍ය භාවිතයට පැමිණිම 9. අචේතන නාමපදවල බහුවචනය සඳහා 'වල්' ප්‍රත්‍ය එක් වීම 10. සංස්කෘත පාලී සෘණිත වචන සමඟ මහප්‍රාණ ව්‍යංජන, ශ, ෂ, විසර්ගය, ඍ, ඎ ,ඏ, ඓ, ඖ වැනි අක්ෂර භාවිතා කිරීම. සම්භාව්‍ය සාහිත්‍යය යුගය ⁣ක්‍රි.ව. 13 සියවසේ සිට ක්‍රි.ව 17වන සියවස දක්වා කාලය මෙයට අයත් වෙයි. සම්භාව්‍ය සාහිත්‍ය යුගය අයත් වන යුග අතර දඹදෙණි අග භාගයත්, කුරුණැගල, ගම්පොළ හා කෝට්ටේ ආදිය වෙයි. මෙම කාලය වන විට යට කී සංස්කෘත මිශ්‍ර පණ්ඩිත ප්‍රිය භාෂා ශෛලියෙන් මිදී ලේඛනය පොදු ජන බස අනුව සකස් කරගන්නට උත්සහ දැරූ බව පෙනෙයි. එකළ ගුරුකුල දෙකක් පැවති ඇති බවට විද්වත්හු මත පළ කර තිබේ. මේ අනුව පණ්ඩිත ප්‍රිය භාෂාව හා රීතිය ගරු කළ ගුරුකුලය අතින් බෝධිවංශය වැනි කෘති ලියැවුණු අතර පොදු ජන බස ගරු කළ ගුරුකුල මගින් ජාතක පොත වැනි කෘති ලියැවෙන්නට විය. මේ අවධියේ සිදුවූ භාෂා විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යාකරණ රීති ලිහිල් වීමකට ලක් විය. සාම්ප්‍රදායික ව්‍යාකරණය රීති වෙනුවට අලුත් රීති පහළ විය. මෙයට මූලික හේතුව වී ඇත්තේ ජන ව්‍යවහාරය ලේඛන රීතියට ගැනීමට උත්සහ දැරීමයි. එසේ ගත් උත්සහයේ ප්‍රථිඵලයක් වශයෙන් සම්මත ව්‍යාකරණ රීති බිඳුන අවස්ථා සද්ධර්මරත්නාවලිය, ජාතක පොත ආදිය පරිශීලනය කිරීමෙන් දැන ගතහැක. මෙසමයෙහි භාෂා ව්‍යවහාරයේ සිදු වූ වෙනස්වීම් වලට බලපෑ තව එක් හේතුවක් නම් ගද්‍ය සිංහලයේ පිරිහීමයි. ශ්‍රාවක පිරිසගේ අවශ්‍යතාව මත වෘත්තගන්ධි ශෛලිය යෝග්‍ය යැයි සිතු මෙකල ලේඛකයෝ දඹදෙණි අස්න, කුවේණි අස්න, දළදා සිරිත වැනි කෘති රචනා ක⁣ළෝය. ඉන් පසු ඔවුන් ගද්‍ය සාහිත්‍ය කෙරෙහි තිබූ අවධානය පද්‍ය සාහිත්‍යය වෙත දීම නිසා කෝට්ටේ යුගය වන විට පද්‍ය සාහිත්‍ය සඳහා ප්‍රමුඛතාව ලැබිණ. මේ හේතුව නිසා ගද්‍ය සාහිත්‍යය පිරිහීට ලක් විය. විදේශ ආක්‍රමණ නිසා ව්‍යවහාරයට නව වචන එකතු වීම ද මේ කල සිදුවිය. නූතන සිංහල යුගය ක්‍රි.ව. 17වන සියවසේ සිට අද දක්වා කාලය මෙයට අයත් වෙයි. මේ කාලයට ලේඛන ව්‍යවහාරය පරීක්ෂා කිරීමේදි රාජාවලිය, අලකේශ්වර යුද්ධය, විත්ති කඩයිම් පොත්, ප්‍රශස්ති, හටන් කවි වැනි මූලාශ වැදගත් වෙයි. මේ කාලයේ භාෂා ව්‍යවහාරය විදේශ භාෂා සමඟ සම්මිශ්‍ර විය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රිසි වැනි භාෂාවන්ගේ බලපෑම දැඩි ලෙස සිංහල භාෂාව කරෙහි ඇති වන්නට විය. දෙමළ බසේ බලපෑම ද දඹදෙණි, කුරුණැගල යුගවලට වඩා ප්‍රකට ලෙස ගද්‍ය පද්‍ය දෙකෙහිම යොදාගන්නට විය. මුල් කාලයේ සිංහල භාෂා ව්‍යාකරණ පිළිබඳව විදේශිකයන් අතර උන්න්දුවක් තිබී ඇත. ඊට හේතුව නම් 18වන ශතවර්ෂයේ පමණ සිංහල භාෂාව ගැන ශබ්දකෝෂ ව්‍යාකරණය ග්‍රන්ථ විදේශිකයන්ගේ පරිහරණය පිණිස රචනා වීමයි. ක්‍රි.ව. 13 වන සියවසේ සිට වර්තමානය දක්වා කාලය තුල ව්‍යවහාරයත් එමනිසා ව්‍යාකරණයෙහි වූ වෙනස්වීම් පහත පරදි සැකවින් දැක්විය හැක. 1. ලේඛනය කථන ව්‍යවහාරයට අනුකූල වූ සරල මඟක් ගැනීම 2. දෙමළ, පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රිසි ආදී භාෂාවල බලපෑම සිංහල භාෂාවට බලපෑම් එල්ල කිරීම. 3. 'ෆ' ශබ්දය භාවිතය පැමිණිම හා එය වර්ණ මාලාවට ඇතුලත් වීම 4. 'වල්' ප්‍රත්‍යය බහුලව භාවිතා කිරීම 5. අනුප්‍රාසාදී ශබ්දාලංකාර කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම 6. ජන වහරට විශේෂ තැනක් ලැබීම 7. සම්භාව්‍ය ලේඛන ව්‍යාකරණ රීති නොතැකීම ඉහත දැක්වූ යුග බෙදීම් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී නිගමනය කළ හැක්කේ සිංහල භාෂාවේ පරිණාමය සෙමින් සිදු වූවක් බවයි. එයට හේතුව නම් මධ්‍ය සිංහල යුගයෙන් මෙපිට ලියැවුණු ග්‍රන්ථවල භාෂාව හා නූතනයේ භාවිතාවන භාෂාව, වාග් කෝෂය සැසදීමේ දී එය විශාල වෙනස්‍ වීමකට භාජනය වී නොමැති වීමයි. ආශ්‍රිත ග්‍රන්ථ : කෝපරහේවා, සඳගෝමී (2010). විසිවන සියවසේ සිංහල භාෂා ව්‍යවහාරය. කොළඹ: එස් ⁣ගොඩගේ සහ සහෝදරයෝ. පඤ්ඤාසාර, ඔක්කම්පිටියේ සහ ආරච්චි, නිමල් මල්ලව (2012). සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන. කොළඹ: සූරිය ප්‍රකාශන බලගල්ලේ, විමල් ජී. (1998). සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය. (ද්විතීය සංස්. 2016) කොළඹ: එස් ⁣ගොඩගේ සහ සහෝදරයෝ. බලගල්ලේ, විමල් ජී. (1996). සිංහල භාෂාවේ ප්‍රභවය හා වර්ධයනය. (ද්විතිය සංස්. 2016) කොළඹ: එස් ⁣ගොඩගේ සහ සහෝදරයෝ.

සිංහල භාෂා ව්‍යවහාරයේ පරිණාමය

කාලයත් සමඟ ජීව භාෂා පරිණාමය වීම සාමාන්‍ය දෙයකි. භාෂාව යනු මානවයා විසින් සන්නිවේදන පිණිස යොදා ගන්නා උපකරණයක් වන බැවින් භාෂක සමාජයේ ඇතිවන භෞතික, සමාජීය, මානසික හා පාරිසරික හේතු මත භාෂා ව්‍යවහාරය පරිණාමයට පත්වෙයි. සිංහල භාෂාවේ පරිණාමය ගැන අධ්‍යයනය කිරීමේදී එය ඉතා පහසු වන්නේ දිර්ඝ හා අඛණ්ඩ කාලයක් ඔස්සේ පවතින් ලිඛිත සාක්ෂි ඇති හෙයිනි. මේ අතර…

Read More
Back To Top