"මට කතා කරන්න ඕනෙ" එයා කියනවා. "කතා කරමු. මොනවද ඔයාට කියන්න තියෙන්නේ?" ඒ මම. ලේසියකට විසඳුමක් නැති, දිගින් දිගටම එයාට වද දෙන, අවුරුදු ගානක් දිග, හදවත් දෙකක් පලල, නිරායාසයෙන්ම මාත් කොටස් කාරයෙක් වෙන රස නීරස කතන්දර එයා මට කියනවා. එයාට එහාපැත්තෙ හාන්සි වෙලා, මන් ඒ ඔක්කොම අහන් ඉන්නවා. ඒ කිසිදේකට මන් ගාව විසඳුමක් නෑ කියලා අපි දෙන්නම දන්නවා. ඒත් එයා ඒවා මට කියනවා. මන් අහන් ඉන්නවා. ඒ බෙදාගන්න, දරාගන්න බැඳීමට මන් එයාට තරම්ම ආදරෙයි. එයා ඒවා මට කියනවා. වචනයක් වත් නොකියා මන් අහන් ඉන්නවා. සැරින් සැරේට කිස් එකක් දෙන්න, තට්ටුවක් දාන්න මන් වගබලාගන්නවා. අවසානයේ ආයෙමත් ලේසියකට විසඳුමක් නැති, රස නීරස කතන්දර ගොඩක් අපිට ඉතුරු වෙනවා. ඒවට ප්‍රශ්න නොකියා කතන්දර කිව්වාම ඒවාගෙ දිග පලල අඩුවෙලා ලඝු වෙලා යනවා කියලා මන් දන්නවා. ඒත් ඒ ප්‍රශ්න එහෙම්මම තියෙනවා. එයා කියන, මන් අහගෙන විතරක් ඉන්න. අවසානෙදි මේ කිසිදේක බලපෑමක් නැති කෙනෙක් වගේ මාව ඇඳේම තියලා එයා නැගිටලා යනවා. නලියන ඇස් දේකයි, රිදෙන හිතයි එක්ක මන් තනි වෙනවා. මන් අලු පාට වෙන්න ගන්නවා. 'ඔයා වෙලාවකට හරි නරකයි. මේ කිසි දෙයක් මට දැනෙන්නෙ වත් නෑ වගේ ගානක්ම නැතුව ඔයා නැගිටලා යනවා. ' චෝදනා කරන්න මට හිතෙනවා. මන් නොකර ඉන්නවා. එයාගෙ හිත තව රිදුනොත් කියලා හිතනවා. එයා කෝල් එකක ඉන්නවා මට ඇහෙනවා. මන් වොශ් එකක් දාගන්නවා. ඇඳගන්නවා. එයා දිගටම කෝල් එකක ඉන්නවා. මන් ඉඳගෙන බලන් ඉන්නවා. එයා ලෑස්ති වෙන්න යනවා. මන් බලන් ඉන්නවා. හිත රිදිලා, බලන් ඉඳලා අමාරුයි කියලා හිතුනට පස්සෙ මන් ගිහින් සිගරට් එකක් පත්තු කරගන්නවා. සිගරට් එක වැඩ කරනවා. එකක් මදි හිතෙනවා. එක්කෝ නොබීම හිටියානම් කියලාත් හිතෙනවා. මූඩ් එක හරි නොයන නිසා මන් එයාලගෙ සින්ක් එකේ තියෙන පිඟන් හෝදන්න ගන්නවා. තේ හදපුවා අස් කරනවා. මූඩ් එක හරි යන්නෙ නැති බව මට පේනවා. අලු පාට වැඩි වෙන්න ගන්නවා. එයා එනවා. නෑවට පස්සේ එයාව මට හිටියටත් වඩා සුදු පාට ට පේනවා. එයා එනවා. එයා හිනාවෙනවා. එයා තරමක් හොඳින් බව පේනවා. මන් හිනාවෙන්න ට්‍රයි කරනවා. මට හිනාවෙන්න අමාරුයි කියලා තේරෙනවා. එයා හිනාවෙනවා, සින්දුවක් මුමුනනවා, අමුතුවට ඇවිදිනවා. "මොකෝ මේ ආතල් එකක් ගිහින්?" මන් බොරු නෝක්කාඩුවක් පෙන්නලා අහනවා. ඇත්ත නෝක්කාඩුවකුත් මගෙ හිත අස්සේ තියෙනවා. එයාට ඒක මිස් වෙනවා. " දත් කැක්කුම අඩු උනානේ " එයා කියනවා. ' අඩු උනේ ඒක විතරද? ' අහන්න මට හිතෙනවා. මන් නොඅසාම ඉන්නවා. එයා ලෑස්ති වෙලා යන්න හදිස්සි කරනවා. මෙච්චර වෙලා බලන් හිටියේ මන් බව එයාට අමතක වෙනවා. එයාට කොහොමත් ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් අමතක වෙනවා. නැත්තම් දේවල් වලට මටත් රිදෙනවා කියලා එයාට අමතක වෙනවා. වෙලාවකට එයා අමතක කරනවාද කියලත් මට හිතෙනවා. හිතුනට ඔය මොකුත් මන් නොකියා ඉන්නවා. එක දිගට ලඟ හිටිය දවස් තුන ඉවර කරලා අපි එන්න පිටත් වෙනවා. දවස් තුනක් ම ඔයා ගාව ඉඳලා එද්දි වෙනදා වගේ කිස් එකක් නොදුන්න එකට නම් තරහ වෙන්නම ඕනෙ කියලා මට හිතෙනවා. (ඔයාට පුලුවන් ඕනෙනම් අහන්න ඇයි එහෙනම් මන් නොදුන්නෙ කියලාත්. ඔයාට නොකිව්වට මට හැමදාම හිතෙනවා මන් ඔයාට බයයි කියලා. ඒ බය එන්නෙ ඔයා හිතන විදිහෙ තැනකින් නෙවෙයි. ප්‍රතික්ෂේප වීමට බය තැනකින්.) කොහොම උනත් ගෙදරින් එලියට බැස්සට පස්සෙ තව දුරටත් නෝක්කාඩු හිතේ තියන් ඉඳලා වැඩක් නෑ කියලා මන් දන්නවා. මන් කියලා කෙනෙක් නැති තැනක මගෙ නමින් හිත් රිදීමක් තියෙන්න බෑනෙ. මට දරන්නම බැරි හැඟීමත් ඒකම බව මන් දන්නවා. ඒත් පුරුදු විදිහටම මන් ඒව අමතක කරනවා. ඇත්තම කියනවා නම් මන් වෙනදාටත් වඩා හොඳින් ඉන්නවා. බස් හෝල්ට් එකක මාව බස්සලා ඉතාම සාමාන්‍ය බායි එකකින් එයා සමුගත්තාම අමතක කරලා හිටිය අලුපාට හැඟීම මගෙ වටේ ආපහු එතෙනවා. ඊටත් පැයකට විතර පස්සේ ගෙදර යන්න කෝච්චිය එනකන් ස්ටේශන් එකට වෙලා ඉද්දි මන් කොහොමටවත් හොඳින් නෙවෙයි කියලා මට තේරෙනවා. එහෙන් මෙහෙන් එකතු වෙන තව තව දේවල් එක්ක අර අලු පාට හොඳටම කලු වෙලා තියෙනවා. කෑගහලා, බෑග් එක විසික් කරලා, ෆෝන් එක කුඩු කරලා, ඊලඟට එන කෝච්චියට පනින්න ඕනෙ කියන චරිතෙ යටකරගෙන මගෙ හයිය හිත මේක ලියන්න ගන්නවා. ළහිරුණි වික්‍රමරත්​න

මේක “එහෙම” කතාවක් නෙවෙයි

“මට කතා කරන්න ඕනෙ” එයා කියනවා. “කතා කරමු. මොනවද ඔයාට කියන්න තියෙන්නේ?” ඒ මම. ලේසියකට විසඳුමක් නැති, දිගින් දිගටම එයාට වද දෙන, අවුරුදු ගානක් දිග, හදවත් දෙකක් පලල, නිරායාසයෙන්ම මාත් කොටස් කාරයෙක් වෙන රස නීරස කතන්දර එයා මට කියනවා. එයාට එහාපැත්තෙ හාන්සි වෙලා, මන් ඒ ඔක්කොම අහන් ඉන්නවා. ඒ කිසිදේකට මන් ගාව විසඳුමක් නෑ කියලා…

Read More
දෙවියෙක් නැති මිනිහෙක්! මන් මීට කළින් කවදාවත් ආස නොකළ මැන්ගෝ ෆ්ලේවර්ඩ් ගැටෝ එකක ඇබ්බැහිවන සුළු රසත් තව ඉතාම රස කෙක් කෑලි දෙක තුනකුත් අයිස් කෝපි එක්කුත් රසබලා ඉතාම ප්‍රීතිදායක හයි එකක ඉන්න ගමන් ඉතාම සහුර්ද මගෙ මිත්‍රයෙක් එක්ක කොළඹ රටේදි පොඩි සංවාදයක් දාන්න පොටක් මට පෑදුනා. මේ මිත්‍රයා හදවතට ඉතා ළඟ කෙනෙක් වගේම කාලෙකින් මුණ ගැහෙන කෙනෙක්. කොළඹට කවදාවත් හුරු නොවුනු මට කවදත් දැනුන ඔහුගෙ ‘පේරාමය’ හිතයීශි බව අදත් එහෙමයි. ඒත් එක්තරා තැනකදි අපි දෙන්නගෙ කතාබහ කේක්, කෝපි, සිගරට් වලින් ටිකක් එහාට ගිහින් දෙවියන් වහන්සේ ළඟින් නතරවෙනවා. ඔහු කිතුණුවෙක් බව මෙච්චර කාලෙකට මන් දැනන් උන්නේ නැහැ. 'මේ දවස් වල මගේ හිතේ ඇති කලබගෑනිය වහගන්න බයිබලය කියවන්නැ'යි ඔහු යෝජනා කරනවා. ඒත් ඔහු කිතුණුවෙක් යැයි මා දන්නෙ නෑ. 'ඔහුගේ මිතුරන් බොහො දෙනා ඉතාම අසීරු අවස්ථවලදී බයිබලයේ සහනය පැතූ බව' ඔහු කියනවා. ඔහු කිතුණුවෙකැයි මා දන්නේ නෑ. 'මා ළඟක සිට යුනිවසිටියෙ කිතුණු ප්‍රජාව අශ්‍රය කරන බව' මම කියනවා. 'ඔවුන් ඉතා හර්දයාගම බවත්, මා කිතුණුවෙකු නොවුනැයි ඔවුනගේ වෙනසක් නැති බවත්, නිතර මා ගැන සොයාබලා දුක සැප අහන බවත්, සෑමවිටම ඔවුන්ගෙ හැකි පමණටත් වඩා එහායින් මා ගැන වදවෙන බව'ත් මා කියනවා. ඔහු කිතුණුවෙකැයි මා තවමත් දන්නේ නැ. 'කිතුණු දහම ඔවුන්ට බුද්ධාගමත්, හින්දු ආගමත්, ඉස්ලාම් ආගමත් අතර තවත් එක් ආගමක් නොවන බවත්, කිතුණු දහම ඊට උඩින් පවතින බවත්, යටකී සියල්ල වසා පවතින බවත්' මා කියනවා. 'සියල්ලටම උඩින් දෙවියන්වහන්සේ පවත්නා බවත් කිතුණු දහම ප්‍රේමයේ තවත් ස්වරූපයක් බවත්' මා කියනවා. 'කිතුණුවන් පවා කිතුණු දහමේ ඇත්ත නොදකින බවත්, මා මේ කියනා දෙය බයිබලයේ ඇතුළත් බවත්' ඔහු කියනවා. ඔහු මට එම පාඨ පෙන්වනවා. ඔහු කිතුණුවෙකැයි මට සැක පහළ වෙනවා. 'බුදුදහමැයි කියාගන්නා එකක් නිසා දානයි පිරිකරයි අරවයි මේවයි කියා අපේ ප්‍රජාව නිස්කාරනේ සල්ලි ‘පූජා’ කරන බවත් ඒවා දකින විට අමුතු කම්පාවකින් මා සලිත වන බව'ත් මා කියනවා. ගෙදර ඉඳහිටක පැවතෙන එවැනි 'පින්කම්' මට මතක් වෙනවා. සියලු වැඩ අතැර පේවී ගෙදරට සහනය වෙන්න යන 'මා'ව මට සිහිවෙනවා. 'දානෙකට පිරිතකට පිරිකරට කරන වියදම් දැක්කාම වේලක් දෙකක් කාලා අඩුවෙන් සෙමින් අසීරුවෙන් ගෙනියන බාග ජීවිතය සිහිවෙලා මට කම්පාව කෙසේ වෙතත් අනුකම්පාවම පහල වෙනවැ'යි මා කියනවා. 'ඇත්තටම කොච්චර අපරාදෙද?' ඔහුත් කියනවා. වෙනස් වීමට ඇති බයත්, කම්මැලි කමත්, වෙනසේ වෙනස දරාගත නොහැකි වීමත් ස්මාජයේ බොහෝ පිරිස් අකර්මණ්‍ය කර ඇති හැටි අපි කතා කරනවා. මා වෙනස් යැයි ඔහු කියනවා. 'මා වෙනසට බය නැති බව' මා කියනවා. සැබෑ ආදරය සෑමවිටම වඩාත් වැදගත් දේ ප්‍රමුඛව තබාගන්න බවත් සෑමකල්හිම තම සහුර්දයන් රැක පවත්නා බවත් අපි සිහිකරනවා. කිතුණු දහමේ හැටියට 'අනෙකා ඔබ වෙනුවෙන් කරනවාට කැමති දේ අනිකා වෙනුවෙන් කරන්නැයි' කියන බව ඔහු කියනවා. අප අසා ඇති තමා උපමා කොට අනුන්ට නොකළ යුත්ත ගැන මන් ඔහුට කියනවා. යට කී 'ඉගැන්වීම්' දෙකේ ඇති සියුම් පරස්පරතාව ගැන අපි කතා කරනවා. 'බුදු දහම ආත්මාර්ථය කේන්ද්‍ර්‍ර කරගෙන තියෙනවා නේදැ'යි ඔහු අහනවා. 'නිර්වානය, ගැලවීම, නැවත ඉපදීම, සත්‍යය සොයා යාම මෙහි දිගුවක්දැ'යි මාද අසනවා. යේසුස් ස්වර්ගයෙන් බිමට බැස, මිනිසා අතර ඉපිද, මිනිසා වෙනුවෙන් මරණයට කැපවූ හැටිත්, බෝසත් රජ කුළයේ ඉපිද, ලොවට සේවය කරනවා යැයි ඉන් නික්ම, ජීවිත දර්ශනයක් හඹා ගිය හැටිත් අපි සිහිකරනවා. 'මට අනුව නම් ඔය කියන බුද්ධාගම සමාජ තළයේ බිඳක් උඩින් පවතින්න තැත් කරන බවත්, කිතුණු දහම සාමාන්‍ය පොදු මිනිසාගේ දහමක් බවත් මට හැඟෙන බව' මා කියනවා. 'ඇත්තටම කිතුණු දහම "බිලිඳුන් සහ දිලිඳුන්" ගේ දහමක් යැයි බයිබලය කියන බව ඔහුද කියනවා. ආගමක් වසා පවතින පන්ති භේදය පුදුමයක් නොව යථාර්තයක් ලෙස අප දකිනවා. සිංහල බෞද්ධයා මහා ජාතියයැයි නොකියා මෙය සිංහල බෞද්ධ රටක්ම වූ හැටි ගැන ඉංග්‍රීසි සාහිත්‍යය පාඩමක බැනුමක් දෙසන ගමන් විචාරය කළ ප්‍රොෆෙසර් පරාක්‍රම මට සිහිවෙනවා. අපේ සංවාදය ගොඩක් දුර දිග යනවා. 'බුදුදහමැයි කියාගෙන ඔය කරනා කිසිවක බුද්ධ දර්ශනය නැති බවත් දර්ශනය හඹායන්නාට ආගමක් අනවශ්‍ය බව'ත් මා කියනවා. 'කිතුණු දහමේ පවා හරය උකහාගන්නාට දෙවියෙක් හෝ බයිබලය අනවශ්‍ය යැ'යි මා කියනවා. 'ඕනෑම ආගමක් අවශ්‍යනම් පසුබිමේ පිහිටුවා තමාගේම ජීවිත දර්ශනයක් හදාගතහැකියි' මා කියනවා. 'පොතක් කියවා යමක් උකහා ගන්නේ කෙසේද, යේසුත්, බයිබලයත් එසේම කියවා තැබිය නොහැකිදැ?' යි මා අසනවා. 'ඔහුට බයිබලය ජීවිතයට ඉතා දැඩි අත්තිවාරමකැ'යි ඔහු කියනවා. 'ජීවිතයේ නොයෙක් අසීරු මන්මාවත් අතරින් සීරුවට තෝරාබේරාගෙන හරිමග යන්න සෑමවිටම ඔහු දෙවියන්වහන්සේගේ සහය පතනවැ'යි ඔහු කියනවා. ඔහු කිතුණුවෙක්මැයි මා වටහා ගන්නවා. 'දෙවියන් වහන්සේ තුළ සියල්ල පවතින බවත්, සියල්ල තුළ දෙවියන් වහන්සේ වැඩ පවත්නා බවත් ඔහු කියනවා. එකම දෙවියන් වහන්සේ ජීවිතයේ සියල්ල දන්නා බවත් එකම ජීවිතය නැවත නැවතත් අත්දැක ඇති බැවින් සියල්ල දන්නා බවත්, එනිසා සියලු කල්හි ඔහුට මග පෙන්වන බව'ත් ඔහු කියනවා. ඔහු කිතුණුවෙකැයි මා නොදැන සිටිබව මා ඔහුට කියනවා. ඔහු පුදුම වෙනවා. නමුත් කවදත් නොවෙනස් ඔහුගේ හර්දයාගම බවත් දකින හමුවෙන සෑමවිටකම දක්වන නොවෙනස් මිත්‍රත්වයත්, යේසු කියාදුන් ප්‍රේමයේම මාවත නොවේදැයි මට පසක් වෙනවා. ඉතා අසීරු මොහොතවල් වල ඔහු මා හද සැනසූ බවත් ප්‍රේමය ඔහුගේ භාෂාවම වන බවත් මා පසක් කරගන්නවා. මිනිසාට තවත් මිනිසෙකුට ප්‍රේම කිරීම මෙලොව ඇති පහසුම දේ බවත්, එය මිනිසාට අවශ්‍යයෙන්ම උරුම බවත්, සමහරක් අපි අපේ ජීවිත අනවශ්‍ය අයුරින් පටලාගෙන ඇති බවත් අපි දෙදෙනාම පිලිගන්නවා. ඔහු කිතුණුවෙක්මැයි මට පසක් වෙනවා. 'බයිබලය මගේ පූර්වාදර්ශයයයි. යේසුස් මගේ නොවෙනස් ප්‍රේමයයි.' ඔහු කියනවා. 'මගේ ජීවිතයේ පූර්වාදර්ශය මාම බවත්, මා මා තුලම ජීවත් වන බව'ත් මා කියනවා. 'මට එකම පරම සත්‍යක් අනවශ්‍ය බවත්, මා මා මතම පිහිටා වඩාත් ප්‍රායෝගික තීරණ මත ජීවිතය ගොඩනගනා බව'ත් මා කියනවා. 'අනාගතයේ දවසක මේ දැන් මොහොතේ ගත් තීරණ වැරදියැයි සිතුනොත්?' ඔහු අහනවා. 'මේ දැන් සිටින මා මේ මොහොතේ අවශ්‍ය හරිම තීරණය ගන්නා බවත්, අනාගතයේ මට එය විවේචනයට ලක් කර නොහැකි බවත්, මේ දැන් මම අතීතයේ පැවති මගේ සියලු වේශයන් නිදොස්ව පිළිගන්නා බව'ත් මා කියනවා. 'නොවෙනස් එකම සත්‍යයක් මට අනවශ්‍ය බවත්, නමුත් මා පිළිගන්නා හර පද්ධතින් සහ මති මතාන්තර ඇති බවත්, හැකි සෑමවිටම මා සමීපයේ සිටින මිනිසාට ප්‍රේමයේ දෑත දිගුකරනා බව'ත් මා කියනවා. ඔහු එය පිළිගන්නවා. ඔහුට ඔහුගේ විදිහත් මට මගේ විදිහත් හොඳ බවට අපි එකඟ වෙනවා. නොදැනුවත්වම මේ කතාබහ මගේ ඇතුළාන්තයේ ගැඹුරටම දිවයනවා. ඔහු මට බයිබල් පාඨ කීපයක් කියවන්න දෙනවා. 'එදිනෙදා ජීවිතයේ කරදර ගැන වුවමනාවට වඩා වද නොවිය යුතු බවත්, කන්දක වැවෙන තණකොළ බිඳ පවා දෙවිඳුන් මලින් සරසන්නේ යම්සේද, දෙවියන් වහන්සේට ඊටත් වඩා වටිනා ඔබගේ එදිනෙදා ජීවිතය එතුමන් විසින් සදා රැක පවත්නා බවත්, කන්නේ මොනවාද, අඳින්නෙ මොනවදැයි කියා එදිනෙදා කරදර වීම අනවශ්‍ය බවත්, එදිනෙදා කරදර කවදාහෝ නිම නොවන බව’ත් බයිබලය කියනවා. මගදි කන්නැයි කියා තව තවත් මට කන්න අරන් දෙන ඔහු තුළ මනුස්ස ප්‍රේමයේ ජීවමය ගුණය මා නැවත නැවතත් අත්විඳිනවා. 'එදිනෙදා කරදර කවදාවත් නිම නොවන බව ජීවිතය මට කියාදුන් බව' මා කියනවා. 'නිතර කියනවා වගේ මා මේ වෙනවිටත් මගේ වයස මෙන් දෙගුණයකටත් වඩා ජීවත් වී ඇති බව මට හැඟෙන බවත්, එබැවින් දිගු ජීවිතයක මහන්සියත් බරත් මා තුල ඇති බව' මා කියනවා. 'ඒ බර සැහැල්ලු කරගන්න උත්සාහ නොකරන්නේ ඇයිදැ'යි ඔහු අහනවා. 'ඇසිල්ලක සැනසිල්ලක් සොයා අතරම් ප්‍රේමණීය දෙවියන් වහන්සේ කෙරෙහි බොරු විශ්වාසයක් මට මවා පෑ නොහැකි බව' මා කියනවා. 'සජීවී සහ තාත්වික පැවැත්මට එහා පැවැත්මක් මා නොදකින බවත්, ඉන් මට දෙවියන් වහන්සේ දැකිය නොහැකි බව'ත් මා කියනවා. ඔහු එය පිළිගන්නවා. 'ඔය කොයික වෙතත් සියල්ල බෙදා ගැනීමට, මඟ පෙන්වීමටත්, සෑම විටම තමා සමඟම පවත්නා දෙවියෙක් ඔහුට ඉන්නවාට මා තරමක් ඉරිසියා කරන බව'ද මා කියනවා. 'ඔබ සෑමවිටම පළමු පියවර තැබිය යුතු බවත්, ඉනික්බිති සියල්ල දෙවියන් වහන්සේ බලාගන්නා බවත්, දෙවියන් වහන්සේ ඔබට බොහෝ ආකාරයෙක් පිහිටවන බව'ත් ඔහු කියනවා. මා ඔහුගේ අදහසට එකඟතාව පලකර සිටිනවා. 'නමුත් නැවතත් මගේ සජීවි ලෝකයේ එවැනි පැවතීමකට ඉඩ නැති බවත්, මගේ ජීවිතයේ බර මා දැරිය යුතු බව මා සිතන බවත්' මා කියනවා. කතාවෙන්ම මා බසයට නැගිය යුතු නැවතුමට අපි ළඟා වෙනවා. මා බසයට නගින්නට පෙර විනාඩි කීපය තුළ මා තුළම නැගෙන අමුතු හැඟීමක බර මට දනෙනවා. බර සැහැල්ලු කරගැනීම ඔය කියන තරම් ලේසිනම් මා ජීවිතයේ මෙතෙක් දුර කැටුව ආ බර ගැන මා තැවෙනවා. නොකියාම ඉන්නට සිතුනත් මා ඔහුට ඒ බව කියනවා. 'මෙතරම් කළක් මා ගෙනා බර අපරාදෙ නේදැ'යි මන් අහනවා. 'යමක් පවතින්නට ඉඩක් ඇතැයි යන සැකය හිත තියන් එයට දැන දැනම ඉඩ නොදී සිටීම, තේරුමක් නැතැයි දැන දැනම වෙනස් වීමට ඇති බයට සමාන නැතිදැ' යි ඔහු අහනවා. සියුම් එහෙත් දරාගත නොහැකි කම්පනයක් මා තුළ හටගන්නවා. ඉතාම සහුර්ද බැඳීමක උණුසුමත් යටකී සියුම් කම්පනයේ මහා බරත් උරහිසේ දරාගෙන මන් පේරා එන්න බසයට ගොඩවෙනවා. ළහිරුණි වික්‍රමරත්න

දෙවියෙක් නැති මිනිහෙක්!

දෙවියෙක් නැති මිනිහෙක්! මන් මීට කළින් කවදාවත් ආස නොකළ මැන්ගෝ ෆ්ලේවර්ඩ් ගැටෝ එකක ඇබ්බැහිවන සුළු රසත් තව ඉතාම රස කෙක් කෑලි දෙක තුනකුත් අයිස් කෝපි එක්කුත් රසබලා ඉතාම ප්‍රීතිදායක හයි එකක ඉන්න ගමන් ඉතාම සහුර්ද මගෙ මිත්‍රයෙක් එක්ක කොළඹ රටේදි පොඩි සංවාදයක් දාන්න පොටක් මට පෑදුනා. මේ මිත්‍රයා හදවතට ඉතා ළඟ කෙනෙක් වගේම කාලෙකින් මුණ…

Read More
ඇත්තටම මන් කැමති කෙල්ලොන්ටද?

හොඳ ළමයි සහ ඕ ලෙවල් අතර ලව් ලෙටර් ‍ | අලුපාට සිතුවිලි

ඕ ලෙවල් රිසාල්ට් උණුසුම එක්ක මගෙ ජීවිතේ එක්තරා පරිච්ඡේදයක් දිගාරින්න මට හිතුනා. නාවලපිටියේ කනිස්ටෙත්, මායාවෙ අවුරුදු ගානත්, ඒ අතරමැද මගෙ ජීවිතේ සිද්දවුනු බහුතරයක් පෙරළියත් මන් මෙහෙම දිගාරින්නම්. නාවලපිටිය කනිස්ටෙදි කරපු එකම එක ‘අසමජ්ජාති’ වැඩේ ඇරුණම මායාවෙ අට වසරෙ දෙවෙනි වාරෙ වෙනකම්ම මන් ඉතා කීකරු, ‘හොඳ ලමේක්’. කරපු ‘අසමජ්ජාති’ වැඩේ නම් අල්ලපු පන්තියක කලු ලෑල්ලෙ ඒ පන්තිය…

Read More
Back To Top