වchaන Admin

'සැබෑ ආදරය ලැබෙන්නේ පමා වෙලයි.' - Eat, Pray, Love පෙම්වතුන් ප්‍රේම කරන්නේ ඔවුන් ස්ථිර සබඳතාවයකට පැමිණ නැති විටදී පමණයි. සබඳතාවය ස්ථිර වුණාට පස්සේ ආදරය අතුරුදහන් වෙනවා. ආදරය වෙනුවට සබඳතාව ස්ථිර වුණාට පස්සේ වෙනත් දෙයක් සිදුවෙන්න ගන්නවා. ඒ තමයි එකිනෙකාට අයිතිය කීම, අයිතිකාරකම. මේ කතාව කියන්නේ ඔිෂෝ. ඔිෂෝ කියපු විදියටම මෙි කතාව වලංගු වෙන්නේ "Eat, Pray, Love'' චිත්‍රපටයේ එළිසබෙත්ට. එළිසබෙත් ආදරය කරලා ලොකු වෙඩින්ග් එකකුත් අරන් කාලයක් ගිහින් එයාට දික්කසාද වෙන්න සිද්ධ වෙනවා. ආදරය කරලා දික්සසාද වෙන්න වෙනවා කියන්නේ ඊට වැඩිය සංකීර්ණ දෙයක් නම් තවත් නෑ. ඇයි ආදරය කරලා විවාහ වෙලා දෙන්නා අන්තිමට දෙපැත්තට වෙනවා කියන්නෙම සරලව කියවගන්න පුඑවන් දෙයක් නෙමෙයි. එළිසබෙත් දික්කසාදයෙන් පස්සේ ලොකු පීඩාවකට පත් වෙනවා. මේ පීඩාව නැති කරගන්න එයා ඇවිදින්න පටන් ගන්නවා. ආධ්‍යාත්මයක් සොයා ගෙන යනවා. එළිසබෙත් ඉතාලියේ රෝම අගනුවර නටබුන් අස්සේ ඇවිදිමින් අලුත් යහළුවන් එක්ක සතුටින් ගත කරන්න වෙලාව වෙන් කර ගන්නවා. ඒ විතරක් නෙහෙයි එයා ඉන්දියාවට යනවා යෝගා කරන්න. ඉන්දියාවෙන් ඊළඟට යන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට. එළිසබෙත්ට මෙන්න මෙතැනදි තමයි තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ. බාලි දුපත්වල ලස්සන විඳින්න ව⁣ගේම, ඉන්දුනීසියානු දූපත්වලට ආවේණික රඹුටන්, දූරියන් කියන පළතුරුවල රහ විඳින්නත් එයා අමතක කරන්නේ නෑ. එළිසබෙත්ගේ ජීව්තයේ මඟ හැරිලා තිබුනෙම මල්, පළතුරු, ගස්වැල්, ගංගා, ඇළදොළ, මුහුදු වෙරළ එක්ක තිබ්බ සම්බන්ධය. සොබාදහම එක්ක ජීවත් වෙන්න එළිසබෙත් තීරණය කරන්නේ තමන්ගේ මානසික ප්‍රශ්නවලට බෙහෙත් විදියට. එළිසබෙත්ගේ මේ සංචාරක ජීවිතය ඇතුළේ අපිට දකින්න පුඑවන් වෙන දේ තමයි අලුත් මිනිස්සු මුණ ගැහෙන එක. අලුත් මිනිස්සු මුණ ගැහෙනවා කියන්නේ අපේ ආත්මය ටික ටික යාවත්කාලීන කරන දෙයක්. අලුත් අත්දැකීමිවලට වගේම අලුත් රිදවීම්වලට සුදානම් වෙන්න කියලා මේ අලුත් මිනිස්සු හමුවීමත් එක්ක අපිට අණ කරනවා. එළිසබෙත් වගේම අපිටත් අපේ ජීවිත ඇතුළේ විටින් විට මිනිස්සු මුණ ගැහෙනවා. සමහර මිනිස්සු අපි ළග නතර වෙනවා. සමහර මිනිස්සු මඟින් හැරිලා යනවා ආයේ නැවත හමු නොවෙන්නම. සමහර අය කලාතුරකින් හමු වෙනවා මැරෙනතුරාවට අපි එක්ක ඉන්නම. චිත්‍රපටිය පුරා තියෙන්නේ පෙරදිගට ඇවිල්ල සුවපත් වෙන එළිසබෙත් කියන ස්ත්‍රිය ගැන. යුරෝපයේ ආහාර, සොබා සෞන්දර්ය, මිනිස් ඇසුර, භාවනාව එක්ක ජීවිතේ නැවත හොයාගන්න හැටි, පැවැත්මේ තුවාල සුවපත් කරගන්න හැටි ගැනත් තියෙනවා. අත බලලා කියන සාස්තර, දෙවියන්, අධියථාර්තය ඇතුලේ දිගහැරෙන පසුනූතන ජීවිතයක් සමඟ ආදරය නැවත හොයාගන්න හැටි ගැන චිත්‍රපටයේ ඇතුළේ කතා කරනවා. එළිසබෙත්ගේ ජීවිතයත් අපේ වගේම තමයි. ආදරය කරනවා, අලුත් කෑම කනවා, දෙවියන් යදිනවා, ඇවිදිනවා, අලුත් මිතුරන් ඇතිවෙනවා. මෙි දේවල් අපේ ජීවිතය එක්ක බද්ධ වෙච්ච දේවල්. හැබැයි මිනිස් සම්බන්ධතා කොච්චර තිබුණත් සොබාදහම විඳින්න විතරක් අමතක කරන්න එපා කියලා, එළිසබෙත් අපිට දැඩිව අවධාරණය කරලා කියනවා. සොබාදහම විඳිනවා කියන්නේ වත්තේ තියෙන රෝසමලක්, සපත්තු මලක් දිහා ආදරයෙන් බලන් ඉන්නවා වගේම හවසක ගෙදර ඉස්සරහා පොල් ගස් අස්සෙන් එහෙමත් නැත්නම් අඹ ගහ ගාවින් රන්වන් පාටින් ඉර බැහැගෙන යන එක බලන් ඉන්න එකත් එක්තරා විඳිමක්. -මලින්ත විතානගේ-

‘සැබෑ ආදරය ලැබෙන්නේ පමා වෙලයි.’ – Eat, Pray, Love

පෙම්වතුන් ප්‍රේම කරන්නේ ඔවුන් ස්ථිර සබඳතාවයකට පැමිණ නැති විටදී පමණයි. සබඳතාවය ස්ථිර වුණාට පස්සේ ආදරය අතුරුදහන් වෙනවා. ආදරය වෙනුවට සබඳතාව ස්ථිර වුණාට පස්සේ වෙනත් දෙයක් සිදුවෙන්න ගන්නවා. ඒ තමයි එකිනෙකාට අයිතිය කීම, අයිතිකාරකම. මේ කතාව කියන්නේ ඔිෂෝ. ඔිෂෝ කියපු විදියටම මෙි කතාව වලංගු වෙන්නේ “Eat, Pray, Love” චිත්‍රපටයේ එළිසබෙත්ට. එළිසබෙත් ආදරය කරලා ලොකු වෙඩින්ග් එකකුත්…

Read More
සිංහල භාෂා ව්‍යවහාරයේ පරිණාමය කාලයත් සමඟ ජීව භාෂා පරිණාමය වීම සාමාන්‍ය දෙයකි. භාෂාව යනු මානවයා විසින් සන්නිවේදන පිණිස යොදා ගන්නා උපකරණයක් වන බැවින් භාෂක සමාජයේ ඇතිවන භෞතික, සමාජීය, මානසික හා පාරිසරික හේතු මත භාෂා ව්‍යවහාරය පරිණාමයට පත්වෙයි. සිංහල භාෂාවේ පරිණාමය ගැන අධ්‍යයනය කිරීමේදී එය ඉතා පහසු වන්නේ දිර්ඝ හා අඛණ්ඩ කාලයක් ඔස්සේ පවතින් ලිඛිත සාක්ෂි ඇති හෙයිනි. මේ අතර අභිලේඛන, කුරුටු ගි, පුස්කොල ලේඛන ආදී මූලාශ්‍ර රැසක් දක්නට ලැබේ. කාලයත් සමඟ යට කී හේතු නිසා භාෂාවේ ඇති වෙනස්වීම් විවිධ යුග යටතේ සාකච්ඡාවට බඳුන් කළ හැකිය. ක්‍රි.පූ 3 වන සියවසේ සිට අද දක්වා සිංහල භාෂාවේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ඇති බැවින් සිංහල භාෂා ව්‍යවහාරයේ ඇති පරිණාමය සම්බන්ධයෙන් මනා ලෙස අධ්‍යයනය කළ හැකිය. මෙම ලිඛිත ඉතිහාසය අධ්‍යයනය කිරීම මගින් ඒ ඒ යුගවලදී ව්‍යාකරණය වෙනස් වී ඇත්තේ කෙසේද යන්න අවබෝධ කරගත හැකිය. සිංහල භාෂාවේ ඓතිහාසික ස්වරූපය පිළිබඳව වාග් විද්‍යාත්මකව පැහැදිලි කළ ⁣විල්හෙල්ම් ගයිගර් , සිංහල භාෂා ඉතිහාසය යුග 5කට බෙදා දක්වා ඇත. 1. සිංහල ප්‍රාකෘත යුගය : ක්‍රි.පූ 3 - ක්‍රි.ව. 4 සියවස 2. පුරාතන සිංහල යුගය : ක්‍රි.ව 4 - ක්‍රි.ව. 8 සියවස 3. මධ්‍ය සිංහල යුගය : ක්‍රි.ව. 8 - ක්‍රි.ව. 13 සියවස 4. සම්භාව්‍ය සාහිත්‍ය යුගය : ක්‍රි.ව. 13 - ක්‍රි.ව 17 සියවස 5. නූතන සිංහල යුගය : ක්‍රි. 17 සිට අද දක්වා මෙම යුගවල ඇති භාෂා ව්‍යවහාරයන් අධ්‍යයනය කිරීමෙන් එකී යුගවලට අදාල ව්‍යාකරණ ලක්ෂණ හඳුනාගත හැක. සිංහල ප්‍රාකෘත යුගය ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවස දක්වා කාලයට අයත් වෙයි. මෙහි භාෂාවෙහි හාත්පසින්ම ප්‍රාකෘත ලක්ෂණ ඇති බැවින් ප්‍රාකෘත යුගය ලෙස හඳුන්වයි. භාෂාව බෙහෙවින් මධ්‍ය ඉන්දීය භාෂා ස්වරූපයට සමානත්වයක් දරයි. මේ යුගයේ පිළිබඳ අධ්‍යයනය කිරීමට ඇති හොඳම ලිඛිත සාධකය වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට ඇති සෙල්ලිපි රාශියකි. ඒ අතරේ මිහින්තලා ලෙන් ලිපි, වෙස්සගිරි ලෙන් ලිපිය, රිටිගල ලිපිය, මෝලාහිටියවෙලේගල ලිපිය, තෝනිගල ලිපිය, පාලුමැකිච්චාව සෙල්ලිපිය, ආදිය විශේෂ තැනක් ගනියි. මේ කාලය තුළ ලියවුණු සෙල්ලිපි අධ්‍යනය කිරීමෙන් එ කල පැවති ව්‍යාකරණය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැක. ඒවා පහත පරිදි සංක්ෂිප්ත කොට දැක්වා ඇත. 1. නාම පද වර නැගීමේදී ලිංග බේදය සැලකීම 2. ශුද්ධ ක්‍රියා වෙනුවට අතිත කෘදන්ත ක්‍රියා යෙදීම. 3. නිෂ්පන්න, තද්භව හා තත්සම භාෂා ලක්ෂණ හමුවීම. 4. අක්ෂර 25කින් යුක්ත වර්ණමාලාවක් භාවිත කිරීම. 5. විසර්ගය, නිග්ගහීතය, දීර්ඝ ස්වර, සංයුක්ත ව්‍යංජන ආදිය භාවිතයෙන් තොර වීම. 6. පාලි හා සංස්කෘත භාෂාවල ඇතැම් ව්‍යාකරණ භාවිතා කිරීම. මුල් යුගයේ සංක්ෂිප්තව ලියවුණු ලිපි ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවස වන විට ඉතා දීර්ඝ විස්තර සහිතව ලියැවුණු වග පෙනෙයි. අනුව ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවස වන විට ලේඛනය දියුණු මට්ටමක පැවැති බව නිගමනය කළ හැකිය. පුරාතන සිංහල යුගය ක්‍රිස්තු වර්ෂ 4වන සියවසේ සිටයේ ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවස දක්වා වූ කාලය පුරාතන සිංහල යුගය ලෙස හැඳින්වේ.මේ කාලය වන විට සිංහල භාෂාවෙන් ප්‍රාකෘත තත්ත්වයෙන් මිදී නව්‍ය භාෂාවක් කරා ගමන් කිරීමේ ලකුණු පෙන්නන්නට විය. මේ යුගයේ ලේඛන අධ්‍යයනය කිරීමේදී මහදැළියාමානගේ කතරගම ලිපිය, නාගිරිකන්ද සෙල්ලිපිය, නිලගම ලිපිය ආදිය වැදගත් වෙයි. පුරාතන සිංහල යුගයට අයත් මෙම ලිපි අධ්‍යයන කිරීමෙන් ප්‍රාකෘත යුගයට වඩා එම කාලවකවානුවේ පැවැති භාෂා ව්‍යවහාරය හා ඒ සඳහා යොදාගත් ව්‍යාකරණ පිළිබඳ වෙනස් වී ඇති ආකාරය ගැන අවබෝධයක් ලබාගත හැකිය. ඒවා සැකවින් පහත පරිදි දැක්වෙයි. 1. ඝෝෂ අක්ෂර අඝෝෂ අක්ෂර බවට පරිවර්තනය වීම 2. බහුවර්ණ වචනවල ස්වර ප්‍රයෝගයන් හී අනියත බවක් තිබීම. 3. ඇකාරයේ පළමු පියවර ලෙස එකාරය භාවිතා වීම. උදා. ⁣වාපී > වව් > වෙව් 4. බහුල වශයෙන් නාම ප්‍රකාතිය යෙදීම. 5. උත්තම පුරුෂ ඒකවචනාර්ථ ක්‍රියාපද භාවිතයට ගැනී. උදා. 'සුමනයමි' . මධ්‍ය සිංහල යුගය ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ මධ්‍ය භාගය දක්වා වූ කාලය මෙනමින් හැඳින්වේ. අනුරාධපුර යුගයේ අවසන් භාගයත් පොළොන්නරු යුගයත් දඹදෙණි යුගයේ මුල් අවධියත් ආවරණය කරයි. මේ අවධියෙහි සිදුවු වැදගත් ම දෙය වන්නේ ආකෘතික වශ⁣යෙන් සිංහල භාෂාවේ ස්වරූපය වෙනස් වී නව ඉන්දු ආර්ය භාෂා⁣වක් ලෙස භාෂාව සකස් වීමයි. මෙකල භාෂාව ව්‍යවහාරයේ අධ්‍යයනය කිරීම සඳහා ගැරඬිගල සෙල්ලිපිය, සීගිරි කුරුටු ගී ආදී ලිපිද යොදාගත හැකි අතරන් ග්‍රන්ථ වශයෙන් ධම්පියා අටුවා ගැටපදය, සිඛ වළඳ විනිස, ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, බුත්සරණ ආදී ග්‍රන්ථද යොදාගත හැක. මධ්‍ය සිංහල අවධියේ පහත ප්‍රවනතා හඳුනාගත හැක. 1. සංස්කෘත භාෂාවේ දැඩි බලපෑම 2. භාෂා ඍණිකරණයට ලක්වීම 3. සාහිත්‍ය භාෂාව විදග්ධ ව්‍යවහාරයකට අනුගත වීම 4. ලේඛන ශෛලිය වෙනස් වීම 5. මාතෘ භාෂානුගත ව්‍යාකරණ ලක්ෂණ සිංහල භාෂාවට වැද්ද ගැනීම 6. පාලියේ ප්‍රභාවට වඩා සංස්කෘතයේ ප්‍රභාව බලවත් වීම. 7. මිශ්‍ර සිංහලය ස්ථාවර වීම ඉහත සඳහන් කළ කරුණුවල බලපෑම මත මෙකල ලේඛන විධි කීපයක් හඳුනාගතගත හැක. 1. ගැඹුරු ධර්ම කොට්ඨාස , සංකීර්ණ අදහස් ව්‍යාකරණ විභාග ආදිය දැක්වෙන තැන්වල සංස්කෘත භාෂාවට නැඹුරු භාෂාවක් භාවිතා කිරීම. 2. සාමාන්‍ය විස්තර ඉදිරිපත් කිරීමේදී තත්සම හා තද්භව රූපයන්ගෙන් යුක්ත මිශ්‍ර රීතියක් අනුගමනය කිරීම 3. පාඨකයන්ගේ සිත් ඇදගන්නා පරිදි කිසිවක් රසවත් ලෙස ඉදිරිපත් කිරීමේදී අමිශ්‍ර සිංහලය භාවිතා කිරීම. මෙවැනි කරුණු නිරීක්ෂණය කිරීමේදී වැටහෙන කරුණ නම් පොළොන්නරු යුගයේ සිට භාෂණය හා ලේඛන ව්‍යවහාරයත්, ලේඛනගත ගද්‍ය හා පද්‍ය ව්‍යවහාරයත්‍ අතර වෙනස්කම් ඇති වන්නට ඇති බවයි. එම නිසා මෙකල භාෂා ද්විරූපතා තත්‍ත්වයක් හඳුනාගත හැක. ඒ අනුව පොළොන්නරුවේදී භාෂා ව්‍යවහාරයේ ස්වරූප තුනක් හඳුනාගත හැක. 1. ගද්‍ය - සංස්‍කෘත මිශ්‍ර සිංහලය 2. පද්‍ය - අමිශ්‍ර / හෙළ වහර (කව් ලැකිය) 3. කථා ව්‍යවහාරය (ලෙව් ලැකිය) ඉහත කරුණු සලකා බැලීමේදී මධ්‍ය සිංහල අවධියේදී ව්‍යවහාරය හා ව්‍යාකරණය අතර ඇති සම්බන්ධතාවය ඉතා සංකීර්ණ බව වටහා ගතහැක. මෙම යුගයේ සිදුවු ව්‍යාකරණමය වෙනස්වීම් පහත පරිදි වෙයි. 1. එතෙක් සිංහලයෙහි නොතිබූ 'ඇ' ස්වරය පහළ වීම 2. අනුස්වාරය භාවිතයට ගැනීම 3. දීර්ඝ ස්වර භාවිත 4. මහප්‍රාණ අක්ෂර භාවිතය 5. සඤ්ඤක අක්ෂරවල ප්‍රභවය 6. වචනාන්තයේ ඇති 'අ' ස්වරය ගිලිහී යෑම හා හලන්ත ස්වභාවයක් ප්‍රකට වීම 7. ගේ, ගෙන්, විසින්, කරා, කෙරෙන්, කෙරේ ආදී නිපාත භාවිතය 8. 'එක්‍' / 'අක්' වැනි අනියමාර්ථ ප්‍රත්‍ය භාවිතයට පැමිණිම 9. අචේතන නාමපදවල බහුවචනය සඳහා 'වල්' ප්‍රත්‍ය එක් වීම 10. සංස්කෘත පාලී සෘණිත වචන සමඟ මහප්‍රාණ ව්‍යංජන, ශ, ෂ, විසර්ගය, ඍ, ඎ ,ඏ, ඓ, ඖ වැනි අක්ෂර භාවිතා කිරීම. සම්භාව්‍ය සාහිත්‍යය යුගය ⁣ක්‍රි.ව. 13 සියවසේ සිට ක්‍රි.ව 17වන සියවස දක්වා කාලය මෙයට අයත් වෙයි. සම්භාව්‍ය සාහිත්‍ය යුගය අයත් වන යුග අතර දඹදෙණි අග භාගයත්, කුරුණැගල, ගම්පොළ හා කෝට්ටේ ආදිය වෙයි. මෙම කාලය වන විට යට කී සංස්කෘත මිශ්‍ර පණ්ඩිත ප්‍රිය භාෂා ශෛලියෙන් මිදී ලේඛනය පොදු ජන බස අනුව සකස් කරගන්නට උත්සහ දැරූ බව පෙනෙයි. එකළ ගුරුකුල දෙකක් පැවති ඇති බවට විද්වත්හු මත පළ කර තිබේ. මේ අනුව පණ්ඩිත ප්‍රිය භාෂාව හා රීතිය ගරු කළ ගුරුකුලය අතින් බෝධිවංශය වැනි කෘති ලියැවුණු අතර පොදු ජන බස ගරු කළ ගුරුකුල මගින් ජාතක පොත වැනි කෘති ලියැවෙන්නට විය. මේ අවධියේ සිදුවූ භාෂා විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යාකරණ රීති ලිහිල් වීමකට ලක් විය. සාම්ප්‍රදායික ව්‍යාකරණය රීති වෙනුවට අලුත් රීති පහළ විය. මෙයට මූලික හේතුව වී ඇත්තේ ජන ව්‍යවහාරය ලේඛන රීතියට ගැනීමට උත්සහ දැරීමයි. එසේ ගත් උත්සහයේ ප්‍රථිඵලයක් වශයෙන් සම්මත ව්‍යාකරණ රීති බිඳුන අවස්ථා සද්ධර්මරත්නාවලිය, ජාතක පොත ආදිය පරිශීලනය කිරීමෙන් දැන ගතහැක. මෙසමයෙහි භාෂා ව්‍යවහාරයේ සිදු වූ වෙනස්වීම් වලට බලපෑ තව එක් හේතුවක් නම් ගද්‍ය සිංහලයේ පිරිහීමයි. ශ්‍රාවක පිරිසගේ අවශ්‍යතාව මත වෘත්තගන්ධි ශෛලිය යෝග්‍ය යැයි සිතු මෙකල ලේඛකයෝ දඹදෙණි අස්න, කුවේණි අස්න, දළදා සිරිත වැනි කෘති රචනා ක⁣ළෝය. ඉන් පසු ඔවුන් ගද්‍ය සාහිත්‍ය කෙරෙහි තිබූ අවධානය පද්‍ය සාහිත්‍යය වෙත දීම නිසා කෝට්ටේ යුගය වන විට පද්‍ය සාහිත්‍ය සඳහා ප්‍රමුඛතාව ලැබිණ. මේ හේතුව නිසා ගද්‍ය සාහිත්‍යය පිරිහීට ලක් විය. විදේශ ආක්‍රමණ නිසා ව්‍යවහාරයට නව වචන එකතු වීම ද මේ කල සිදුවිය. නූතන සිංහල යුගය ක්‍රි.ව. 17වන සියවසේ සිට අද දක්වා කාලය මෙයට අයත් වෙයි. මේ කාලයට ලේඛන ව්‍යවහාරය පරීක්ෂා කිරීමේදි රාජාවලිය, අලකේශ්වර යුද්ධය, විත්ති කඩයිම් පොත්, ප්‍රශස්ති, හටන් කවි වැනි මූලාශ වැදගත් වෙයි. මේ කාලයේ භාෂා ව්‍යවහාරය විදේශ භාෂා සමඟ සම්මිශ්‍ර විය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රිසි වැනි භාෂාවන්ගේ බලපෑම දැඩි ලෙස සිංහල භාෂාව කරෙහි ඇති වන්නට විය. දෙමළ බසේ බලපෑම ද දඹදෙණි, කුරුණැගල යුගවලට වඩා ප්‍රකට ලෙස ගද්‍ය පද්‍ය දෙකෙහිම යොදාගන්නට විය. මුල් කාලයේ සිංහල භාෂා ව්‍යාකරණ පිළිබඳව විදේශිකයන් අතර උන්න්දුවක් තිබී ඇත. ඊට හේතුව නම් 18වන ශතවර්ෂයේ පමණ සිංහල භාෂාව ගැන ශබ්දකෝෂ ව්‍යාකරණය ග්‍රන්ථ විදේශිකයන්ගේ පරිහරණය පිණිස රචනා වීමයි. ක්‍රි.ව. 13 වන සියවසේ සිට වර්තමානය දක්වා කාලය තුල ව්‍යවහාරයත් එමනිසා ව්‍යාකරණයෙහි වූ වෙනස්වීම් පහත පරදි සැකවින් දැක්විය හැක. 1. ලේඛනය කථන ව්‍යවහාරයට අනුකූල වූ සරල මඟක් ගැනීම 2. දෙමළ, පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රිසි ආදී භාෂාවල බලපෑම සිංහල භාෂාවට බලපෑම් එල්ල කිරීම. 3. 'ෆ' ශබ්දය භාවිතය පැමිණිම හා එය වර්ණ මාලාවට ඇතුලත් වීම 4. 'වල්' ප්‍රත්‍යය බහුලව භාවිතා කිරීම 5. අනුප්‍රාසාදී ශබ්දාලංකාර කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම 6. ජන වහරට විශේෂ තැනක් ලැබීම 7. සම්භාව්‍ය ලේඛන ව්‍යාකරණ රීති නොතැකීම ඉහත දැක්වූ යුග බෙදීම් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී නිගමනය කළ හැක්කේ සිංහල භාෂාවේ පරිණාමය සෙමින් සිදු වූවක් බවයි. එයට හේතුව නම් මධ්‍ය සිංහල යුගයෙන් මෙපිට ලියැවුණු ග්‍රන්ථවල භාෂාව හා නූතනයේ භාවිතාවන භාෂාව, වාග් කෝෂය සැසදීමේ දී එය විශාල වෙනස්‍ වීමකට භාජනය වී නොමැති වීමයි. ආශ්‍රිත ග්‍රන්ථ : කෝපරහේවා, සඳගෝමී (2010). විසිවන සියවසේ සිංහල භාෂා ව්‍යවහාරය. කොළඹ: එස් ⁣ගොඩගේ සහ සහෝදරයෝ. පඤ්ඤාසාර, ඔක්කම්පිටියේ සහ ආරච්චි, නිමල් මල්ලව (2012). සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන. කොළඹ: සූරිය ප්‍රකාශන බලගල්ලේ, විමල් ජී. (1998). සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය. (ද්විතීය සංස්. 2016) කොළඹ: එස් ⁣ගොඩගේ සහ සහෝදරයෝ. බලගල්ලේ, විමල් ජී. (1996). සිංහල භාෂාවේ ප්‍රභවය හා වර්ධයනය. (ද්විතිය සංස්. 2016) කොළඹ: එස් ⁣ගොඩගේ සහ සහෝදරයෝ.

සිංහල භාෂා ව්‍යවහාරයේ පරිණාමය

කාලයත් සමඟ ජීව භාෂා පරිණාමය වීම සාමාන්‍ය දෙයකි. භාෂාව යනු මානවයා විසින් සන්නිවේදන පිණිස යොදා ගන්නා උපකරණයක් වන බැවින් භාෂක සමාජයේ ඇතිවන භෞතික, සමාජීය, මානසික හා පාරිසරික හේතු මත භාෂා ව්‍යවහාරය පරිණාමයට පත්වෙයි. සිංහල භාෂාවේ පරිණාමය ගැන අධ්‍යයනය කිරීමේදී එය ඉතා පහසු වන්නේ දිර්ඝ හා අඛණ්ඩ කාලයක් ඔස්සේ පවතින් ලිඛිත සාක්ෂි ඇති හෙයිනි. මේ අතර…

Read More
දෙවියෙක් නැති මිනිහෙක්! මන් මීට කළින් කවදාවත් ආස නොකළ මැන්ගෝ ෆ්ලේවර්ඩ් ගැටෝ එකක ඇබ්බැහිවන සුළු රසත් තව ඉතාම රස කෙක් කෑලි දෙක තුනකුත් අයිස් කෝපි එක්කුත් රසබලා ඉතාම ප්‍රීතිදායක හයි එකක ඉන්න ගමන් ඉතාම සහුර්ද මගෙ මිත්‍රයෙක් එක්ක කොළඹ රටේදි පොඩි සංවාදයක් දාන්න පොටක් මට පෑදුනා. මේ මිත්‍රයා හදවතට ඉතා ළඟ කෙනෙක් වගේම කාලෙකින් මුණ ගැහෙන කෙනෙක්. කොළඹට කවදාවත් හුරු නොවුනු මට කවදත් දැනුන ඔහුගෙ ‘පේරාමය’ හිතයීශි බව අදත් එහෙමයි. ඒත් එක්තරා තැනකදි අපි දෙන්නගෙ කතාබහ කේක්, කෝපි, සිගරට් වලින් ටිකක් එහාට ගිහින් දෙවියන් වහන්සේ ළඟින් නතරවෙනවා. ඔහු කිතුණුවෙක් බව මෙච්චර කාලෙකට මන් දැනන් උන්නේ නැහැ. 'මේ දවස් වල මගේ හිතේ ඇති කලබගෑනිය වහගන්න බයිබලය කියවන්නැ'යි ඔහු යෝජනා කරනවා. ඒත් ඔහු කිතුණුවෙක් යැයි මා දන්නෙ නෑ. 'ඔහුගේ මිතුරන් බොහො දෙනා ඉතාම අසීරු අවස්ථවලදී බයිබලයේ සහනය පැතූ බව' ඔහු කියනවා. ඔහු කිතුණුවෙකැයි මා දන්නේ නෑ. 'මා ළඟක සිට යුනිවසිටියෙ කිතුණු ප්‍රජාව අශ්‍රය කරන බව' මම කියනවා. 'ඔවුන් ඉතා හර්දයාගම බවත්, මා කිතුණුවෙකු නොවුනැයි ඔවුනගේ වෙනසක් නැති බවත්, නිතර මා ගැන සොයාබලා දුක සැප අහන බවත්, සෑමවිටම ඔවුන්ගෙ හැකි පමණටත් වඩා එහායින් මා ගැන වදවෙන බව'ත් මා කියනවා. ඔහු කිතුණුවෙකැයි මා තවමත් දන්නේ නැ. 'කිතුණු දහම ඔවුන්ට බුද්ධාගමත්, හින්දු ආගමත්, ඉස්ලාම් ආගමත් අතර තවත් එක් ආගමක් නොවන බවත්, කිතුණු දහම ඊට උඩින් පවතින බවත්, යටකී සියල්ල වසා පවතින බවත්' මා කියනවා. 'සියල්ලටම උඩින් දෙවියන්වහන්සේ පවත්නා බවත් කිතුණු දහම ප්‍රේමයේ තවත් ස්වරූපයක් බවත්' මා කියනවා. 'කිතුණුවන් පවා කිතුණු දහමේ ඇත්ත නොදකින බවත්, මා මේ කියනා දෙය බයිබලයේ ඇතුළත් බවත්' ඔහු කියනවා. ඔහු මට එම පාඨ පෙන්වනවා. ඔහු කිතුණුවෙකැයි මට සැක පහළ වෙනවා. 'බුදුදහමැයි කියාගන්නා එකක් නිසා දානයි පිරිකරයි අරවයි මේවයි කියා අපේ ප්‍රජාව නිස්කාරනේ සල්ලි ‘පූජා’ කරන බවත් ඒවා දකින විට අමුතු කම්පාවකින් මා සලිත වන බව'ත් මා කියනවා. ගෙදර ඉඳහිටක පැවතෙන එවැනි 'පින්කම්' මට මතක් වෙනවා. සියලු වැඩ අතැර පේවී ගෙදරට සහනය වෙන්න යන 'මා'ව මට සිහිවෙනවා. 'දානෙකට පිරිතකට පිරිකරට කරන වියදම් දැක්කාම වේලක් දෙකක් කාලා අඩුවෙන් සෙමින් අසීරුවෙන් ගෙනියන බාග ජීවිතය සිහිවෙලා මට කම්පාව කෙසේ වෙතත් අනුකම්පාවම පහල වෙනවැ'යි මා කියනවා. 'ඇත්තටම කොච්චර අපරාදෙද?' ඔහුත් කියනවා. වෙනස් වීමට ඇති බයත්, කම්මැලි කමත්, වෙනසේ වෙනස දරාගත නොහැකි වීමත් ස්මාජයේ බොහෝ පිරිස් අකර්මණ්‍ය කර ඇති හැටි අපි කතා කරනවා. මා වෙනස් යැයි ඔහු කියනවා. 'මා වෙනසට බය නැති බව' මා කියනවා. සැබෑ ආදරය සෑමවිටම වඩාත් වැදගත් දේ ප්‍රමුඛව තබාගන්න බවත් සෑමකල්හිම තම සහුර්දයන් රැක පවත්නා බවත් අපි සිහිකරනවා. කිතුණු දහමේ හැටියට 'අනෙකා ඔබ වෙනුවෙන් කරනවාට කැමති දේ අනිකා වෙනුවෙන් කරන්නැයි' කියන බව ඔහු කියනවා. අප අසා ඇති තමා උපමා කොට අනුන්ට නොකළ යුත්ත ගැන මන් ඔහුට කියනවා. යට කී 'ඉගැන්වීම්' දෙකේ ඇති සියුම් පරස්පරතාව ගැන අපි කතා කරනවා. 'බුදු දහම ආත්මාර්ථය කේන්ද්‍ර්‍ර කරගෙන තියෙනවා නේදැ'යි ඔහු අහනවා. 'නිර්වානය, ගැලවීම, නැවත ඉපදීම, සත්‍යය සොයා යාම මෙහි දිගුවක්දැ'යි මාද අසනවා. යේසුස් ස්වර්ගයෙන් බිමට බැස, මිනිසා අතර ඉපිද, මිනිසා වෙනුවෙන් මරණයට කැපවූ හැටිත්, බෝසත් රජ කුළයේ ඉපිද, ලොවට සේවය කරනවා යැයි ඉන් නික්ම, ජීවිත දර්ශනයක් හඹා ගිය හැටිත් අපි සිහිකරනවා. 'මට අනුව නම් ඔය කියන බුද්ධාගම සමාජ තළයේ බිඳක් උඩින් පවතින්න තැත් කරන බවත්, කිතුණු දහම සාමාන්‍ය පොදු මිනිසාගේ දහමක් බවත් මට හැඟෙන බව' මා කියනවා. 'ඇත්තටම කිතුණු දහම "බිලිඳුන් සහ දිලිඳුන්" ගේ දහමක් යැයි බයිබලය කියන බව ඔහුද කියනවා. ආගමක් වසා පවතින පන්ති භේදය පුදුමයක් නොව යථාර්තයක් ලෙස අප දකිනවා. සිංහල බෞද්ධයා මහා ජාතියයැයි නොකියා මෙය සිංහල බෞද්ධ රටක්ම වූ හැටි ගැන ඉංග්‍රීසි සාහිත්‍යය පාඩමක බැනුමක් දෙසන ගමන් විචාරය කළ ප්‍රොෆෙසර් පරාක්‍රම මට සිහිවෙනවා. අපේ සංවාදය ගොඩක් දුර දිග යනවා. 'බුදුදහමැයි කියාගෙන ඔය කරනා කිසිවක බුද්ධ දර්ශනය නැති බවත් දර්ශනය හඹායන්නාට ආගමක් අනවශ්‍ය බව'ත් මා කියනවා. 'කිතුණු දහමේ පවා හරය උකහාගන්නාට දෙවියෙක් හෝ බයිබලය අනවශ්‍ය යැ'යි මා කියනවා. 'ඕනෑම ආගමක් අවශ්‍යනම් පසුබිමේ පිහිටුවා තමාගේම ජීවිත දර්ශනයක් හදාගතහැකියි' මා කියනවා. 'පොතක් කියවා යමක් උකහා ගන්නේ කෙසේද, යේසුත්, බයිබලයත් එසේම කියවා තැබිය නොහැකිදැ?' යි මා අසනවා. 'ඔහුට බයිබලය ජීවිතයට ඉතා දැඩි අත්තිවාරමකැ'යි ඔහු කියනවා. 'ජීවිතයේ නොයෙක් අසීරු මන්මාවත් අතරින් සීරුවට තෝරාබේරාගෙන හරිමග යන්න සෑමවිටම ඔහු දෙවියන්වහන්සේගේ සහය පතනවැ'යි ඔහු කියනවා. ඔහු කිතුණුවෙක්මැයි මා වටහා ගන්නවා. 'දෙවියන් වහන්සේ තුළ සියල්ල පවතින බවත්, සියල්ල තුළ දෙවියන් වහන්සේ වැඩ පවත්නා බවත් ඔහු කියනවා. එකම දෙවියන් වහන්සේ ජීවිතයේ සියල්ල දන්නා බවත් එකම ජීවිතය නැවත නැවතත් අත්දැක ඇති බැවින් සියල්ල දන්නා බවත්, එනිසා සියලු කල්හි ඔහුට මග පෙන්වන බව'ත් ඔහු කියනවා. ඔහු කිතුණුවෙකැයි මා නොදැන සිටිබව මා ඔහුට කියනවා. ඔහු පුදුම වෙනවා. නමුත් කවදත් නොවෙනස් ඔහුගේ හර්දයාගම බවත් දකින හමුවෙන සෑමවිටකම දක්වන නොවෙනස් මිත්‍රත්වයත්, යේසු කියාදුන් ප්‍රේමයේම මාවත නොවේදැයි මට පසක් වෙනවා. ඉතා අසීරු මොහොතවල් වල ඔහු මා හද සැනසූ බවත් ප්‍රේමය ඔහුගේ භාෂාවම වන බවත් මා පසක් කරගන්නවා. මිනිසාට තවත් මිනිසෙකුට ප්‍රේම කිරීම මෙලොව ඇති පහසුම දේ බවත්, එය මිනිසාට අවශ්‍යයෙන්ම උරුම බවත්, සමහරක් අපි අපේ ජීවිත අනවශ්‍ය අයුරින් පටලාගෙන ඇති බවත් අපි දෙදෙනාම පිලිගන්නවා. ඔහු කිතුණුවෙක්මැයි මට පසක් වෙනවා. 'බයිබලය මගේ පූර්වාදර්ශයයයි. යේසුස් මගේ නොවෙනස් ප්‍රේමයයි.' ඔහු කියනවා. 'මගේ ජීවිතයේ පූර්වාදර්ශය මාම බවත්, මා මා තුලම ජීවත් වන බව'ත් මා කියනවා. 'මට එකම පරම සත්‍යක් අනවශ්‍ය බවත්, මා මා මතම පිහිටා වඩාත් ප්‍රායෝගික තීරණ මත ජීවිතය ගොඩනගනා බව'ත් මා කියනවා. 'අනාගතයේ දවසක මේ දැන් මොහොතේ ගත් තීරණ වැරදියැයි සිතුනොත්?' ඔහු අහනවා. 'මේ දැන් සිටින මා මේ මොහොතේ අවශ්‍ය හරිම තීරණය ගන්නා බවත්, අනාගතයේ මට එය විවේචනයට ලක් කර නොහැකි බවත්, මේ දැන් මම අතීතයේ පැවති මගේ සියලු වේශයන් නිදොස්ව පිළිගන්නා බව'ත් මා කියනවා. 'නොවෙනස් එකම සත්‍යයක් මට අනවශ්‍ය බවත්, නමුත් මා පිළිගන්නා හර පද්ධතින් සහ මති මතාන්තර ඇති බවත්, හැකි සෑමවිටම මා සමීපයේ සිටින මිනිසාට ප්‍රේමයේ දෑත දිගුකරනා බව'ත් මා කියනවා. ඔහු එය පිළිගන්නවා. ඔහුට ඔහුගේ විදිහත් මට මගේ විදිහත් හොඳ බවට අපි එකඟ වෙනවා. නොදැනුවත්වම මේ කතාබහ මගේ ඇතුළාන්තයේ ගැඹුරටම දිවයනවා. ඔහු මට බයිබල් පාඨ කීපයක් කියවන්න දෙනවා. 'එදිනෙදා ජීවිතයේ කරදර ගැන වුවමනාවට වඩා වද නොවිය යුතු බවත්, කන්දක වැවෙන තණකොළ බිඳ පවා දෙවිඳුන් මලින් සරසන්නේ යම්සේද, දෙවියන් වහන්සේට ඊටත් වඩා වටිනා ඔබගේ එදිනෙදා ජීවිතය එතුමන් විසින් සදා රැක පවත්නා බවත්, කන්නේ මොනවාද, අඳින්නෙ මොනවදැයි කියා එදිනෙදා කරදර වීම අනවශ්‍ය බවත්, එදිනෙදා කරදර කවදාහෝ නිම නොවන බව’ත් බයිබලය කියනවා. මගදි කන්නැයි කියා තව තවත් මට කන්න අරන් දෙන ඔහු තුළ මනුස්ස ප්‍රේමයේ ජීවමය ගුණය මා නැවත නැවතත් අත්විඳිනවා. 'එදිනෙදා කරදර කවදාවත් නිම නොවන බව ජීවිතය මට කියාදුන් බව' මා කියනවා. 'නිතර කියනවා වගේ මා මේ වෙනවිටත් මගේ වයස මෙන් දෙගුණයකටත් වඩා ජීවත් වී ඇති බව මට හැඟෙන බවත්, එබැවින් දිගු ජීවිතයක මහන්සියත් බරත් මා තුල ඇති බව' මා කියනවා. 'ඒ බර සැහැල්ලු කරගන්න උත්සාහ නොකරන්නේ ඇයිදැ'යි ඔහු අහනවා. 'ඇසිල්ලක සැනසිල්ලක් සොයා අතරම් ප්‍රේමණීය දෙවියන් වහන්සේ කෙරෙහි බොරු විශ්වාසයක් මට මවා පෑ නොහැකි බව' මා කියනවා. 'සජීවී සහ තාත්වික පැවැත්මට එහා පැවැත්මක් මා නොදකින බවත්, ඉන් මට දෙවියන් වහන්සේ දැකිය නොහැකි බව'ත් මා කියනවා. ඔහු එය පිළිගන්නවා. 'ඔය කොයික වෙතත් සියල්ල බෙදා ගැනීමට, මඟ පෙන්වීමටත්, සෑම විටම තමා සමඟම පවත්නා දෙවියෙක් ඔහුට ඉන්නවාට මා තරමක් ඉරිසියා කරන බව'ද මා කියනවා. 'ඔබ සෑමවිටම පළමු පියවර තැබිය යුතු බවත්, ඉනික්බිති සියල්ල දෙවියන් වහන්සේ බලාගන්නා බවත්, දෙවියන් වහන්සේ ඔබට බොහෝ ආකාරයෙක් පිහිටවන බව'ත් ඔහු කියනවා. මා ඔහුගේ අදහසට එකඟතාව පලකර සිටිනවා. 'නමුත් නැවතත් මගේ සජීවි ලෝකයේ එවැනි පැවතීමකට ඉඩ නැති බවත්, මගේ ජීවිතයේ බර මා දැරිය යුතු බව මා සිතන බවත්' මා කියනවා. කතාවෙන්ම මා බසයට නැගිය යුතු නැවතුමට අපි ළඟා වෙනවා. මා බසයට නගින්නට පෙර විනාඩි කීපය තුළ මා තුළම නැගෙන අමුතු හැඟීමක බර මට දනෙනවා. බර සැහැල්ලු කරගැනීම ඔය කියන තරම් ලේසිනම් මා ජීවිතයේ මෙතෙක් දුර කැටුව ආ බර ගැන මා තැවෙනවා. නොකියාම ඉන්නට සිතුනත් මා ඔහුට ඒ බව කියනවා. 'මෙතරම් කළක් මා ගෙනා බර අපරාදෙ නේදැ'යි මන් අහනවා. 'යමක් පවතින්නට ඉඩක් ඇතැයි යන සැකය හිත තියන් එයට දැන දැනම ඉඩ නොදී සිටීම, තේරුමක් නැතැයි දැන දැනම වෙනස් වීමට ඇති බයට සමාන නැතිදැ' යි ඔහු අහනවා. සියුම් එහෙත් දරාගත නොහැකි කම්පනයක් මා තුළ හටගන්නවා. ඉතාම සහුර්ද බැඳීමක උණුසුමත් යටකී සියුම් කම්පනයේ මහා බරත් උරහිසේ දරාගෙන මන් පේරා එන්න බසයට ගොඩවෙනවා. ළහිරුණි වික්‍රමරත්න

දෙවියෙක් නැති මිනිහෙක්!

දෙවියෙක් නැති මිනිහෙක්! මන් මීට කළින් කවදාවත් ආස නොකළ මැන්ගෝ ෆ්ලේවර්ඩ් ගැටෝ එකක ඇබ්බැහිවන සුළු රසත් තව ඉතාම රස කෙක් කෑලි දෙක තුනකුත් අයිස් කෝපි එක්කුත් රසබලා ඉතාම ප්‍රීතිදායක හයි එකක ඉන්න ගමන් ඉතාම සහුර්ද මගෙ මිත්‍රයෙක් එක්ක කොළඹ රටේදි පොඩි සංවාදයක් දාන්න පොටක් මට පෑදුනා. මේ මිත්‍රයා හදවතට ඉතා ළඟ කෙනෙක් වගේම කාලෙකින් මුණ…

Read More
සේද මාවත පෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ - සේද සළුවක් පොරවන් ඇවිද ආ පටපණුවකු පිළිබඳ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුණු පටපණු මිනී කුණුවෙයි පිළිස්සෙනවිට නැගුණු මර හඬ සේද සළු වී උඩට විසිවෙයි මැරුණු පටපණුවකුගෙ පැටියෙක් සේද පිළිබඳ හීන නොදැකම අඳුරු මල්බෙරි පඳුරු අස්සේ ගැහි ගැහී හීතලට ගුලිවෙයි රුවන් බන්දුජීව - මීළඟ මීවිත කෘතියෙනි නෞකා හා මාලිමාවල නිපදවීමත් සමග සාගරය හරා සේද මාවතෙහි ව්‍යාපෘතිය සිදුවෙද්දී එහි පෙරදිගත් අපරදිගත් අතර සන්ධිස්ථානයක් වූණේ ශ්‍රී ලංකාව. පෙරදිග සිට මධ්‍යධරණී ප්‍රදේශ, සහ යුරෝපය දක්වා අපරදිගට ප්‍රවාහනය වෙන දහසකුත් එකක් භාණ්ඩ අතර සේද රෙදි සුවිශේෂී ස්ථානයක රැඳී තිබුණා. වත්මන් චීනය ආශ්‍රිත ප්‍රදේශවල නිපදවූ මේ සේද රෙදිවලට අවශ්‍යය කෙඳි ලබාගත්තේ මල්බෙරි ගස්වල ජීවත්වුණු පටපණුවන්ගේ කෝෂවලින්. සේද රෙදි නිපදවන්න නම් මේ කෝෂ උණු ජලයේ තම්බා කෙඳි වෙන්කරගත යුතුයි. එහිදී මේ තුළ සිටින පටපණුවන්ට මියයන්න සිදුවෙනවා. මල්බෙරි ගස්වල ඉන්න කෝෂ නොහදපු පටපණු පැටවුන් වුණත් කල් ගිහින් වැඩෙද්දී අත්කරගන්නේ මේ ඉරණමමයි. රුවන් බන්දුජීව කවියා මේ සිදුවීම උපයෝගී කරගෙන වත්මන් ශ්‍රී ලංකාවේ එක් ඛේදාන්තයක් නිරූපණය කරනවා. පෙරදිගට වන්නට පිහිටි චීනය, ජපානය, කොරියාව වැනි රටවල් මෙන්ම අපරදිග යුරෝපය හා මැදපෙරදිග දක්වා බොහෝ රටවල්වල ලාංකිකයින් විවිධාකාර වූ රැකියාවල නිරතවෙනවා. කවියා ඔවුන්ව පටපණුවන්ට අනුරූප කරනවා. දිවා රෑ වෙහෙසක් නොතකා කම්හල් තුළ වගාබිම්වල ඔවුන් තම ශ්‍රමය දියකර හරිනවා. ඒ කම්හල් තුළ ඔවුන් නිපදවන යන්ත්‍රසූත්‍ර, ආහාර ද්‍රව්‍ය, සෙල්ලම්බඩු, ඇඟළුම් ආදී බොහෝ දේ එදාමෙන් සේද මාවත හරහා නෞකාවලින් මෙන් ම, ගුවනින් ද ලෝකය පුරා බෙදාහරිනවා. ඒ සුඛෝපභෝගී භාණ්ඩ බහුතරයක්, ඉහළ පැළැන්තියේ මිනිසුන් අතර සැරිසරනවා. ඉතින්, ඔබ කවදාහරි අහලා තියෙනවද සේද සළු ඇන්ද පටපණුවෙක් ගැන? එහෙමත් නැත්නම්, රෝස මල් යහනාවල නිදපු, මව්රට ඇවිත් මාලිගාවක් තනපු විදෙස් ශ්‍රමිකයෙක් ගැන? පියාපත් ලැබෙන්න නම්, කෝෂ අවධියක් ගෙවන්න ම ඕනෙ. කෝෂ අවධියේදි කෝෂය තුළ ම මැරෙන්න වුණත්, පියාඹන්න මිලියනයකින් එකෙකුට හරි අවස්තාවක් එන බව දැනෙනවනම් කෝෂ අවධියකට නොයා හිත හදාගන්න පටපණුවන්ට බැරිව ඇති. මොකද ඒක ඔවුන්ගේ උරුමය නිසා. ඒ වගේ ම පැහෙන දිය බඳුන්වල තියෙන තරුණ පටපණු මළසිරුරු කවදාවත් පොඩි පටපණු පැටව් නොදන්න නිසා. පිටතින් බලන්නන්ට පෙනෙන්නේ වේදනා විලාපවලින් පණ අරන් උපදින සේද සළු පමණක් ම නිසා. ඉතින් අදටත් හෙටටත් අපේ ලාංකිකයන් මේ රවල්වලට ශ්‍රමිකයන් විදියට යනවා ජීවිතේ පියාඹන්න හීන දරාගෙන. පවුලේ අයගෙන් වෙන්වුණ දුක, වේදනාව, කුසගින්න, මහන්සිය, පහරදීම්, කලකිරීම් ආදී දහසකුත් එකක් වේදනා එක්තැන් වුණ පැහෙන ලෝදිය බඳුනක ඉඳන් ඔවුන්, ඔවුන්ට කවදාවත් මිලට ගන්න බැරි හීන ලෝකෙකට උරුම දේවල් නිපදවනවා. සමහරු ආයෙමත් මව්බිමට එන්නෙ සදහටම නෙත් පියාගත්තට පසුව. තවත් සමහරු ජීවිත කාලය පුරාවටම ආබාධිත වෙලා. ඉතිරි බහුතරය ජීවිතේ සතුටින්ම ගෙවන්න තිබුණු කාලය දියකරලා හුස්ම වැටෙන සිරුරක් විතරක් දරාගෙන ආයෙමත් එනවා. ඔවුන් මැරෙන, මැරෙමින් ජීවත්වෙන අතරේ ඔවුන්ගේ උණුසුම ලබන්න පෙරුම් පුරන දරුවන් කඳුළින් දවස ගෙවනවා. හරියට, කවදාවත් ම ආයෙම නොඑන පටපණුවෙක්ගේ පැටියෙක් මල්බෙරි ගස් යට අඳුරේ හීතලේ ගැහෙමින් තමන්ගෙ දෙමව්පියන්ගෙ උණුහුම ගැන හීන දකිනවා වගේ. ඒ උණුහුම අහිමිවීම වගේම සේද සළු තමන්ට උරුම නොවීමත කටුක යතාර්ථයක්. ඒත් ඇත්තටම පටපණු පැටවු ගැහෙන්නෙ සීතල නිසාම ද? අනාගතයේ තමන්ටත් කෝෂයක් වෙලා පැහෙන වතුරක මැරෙන්න වීමේ බය නිසා වෙන්න බැරි ද? ස්වර්ණමාලි කීරගල.

සේද මාවත

පෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ – සේද සළුවක් පොරවන් ඇවිද ආ පටපණුවකු පිළිබඳ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුණු පටපණු මිනී කුණුවෙයි පිළිස්සෙනවිට නැගුණු මර හඬ සේද සළු වී උඩට විසිවෙයි මැරුණු පටපණුවකුගෙ පැටියෙක් සේද පිළිබඳ හීන නොදැකම අඳුරු මල්බෙරි පඳුරු අස්සේ ගැහි ගැහී හීතලට ගුලිවෙයි රුවන් බන්දුජීව –…

Read More
වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්‍රීසි කොයින්ද ආවෙ ඔයි මූනට උවමක් හිතෙන්නෙම නැති අමුතු සුද කවියන් කොයිතරම් පෙන්නුවත් රෝසපාට විලුඹක් දැක්කෙත් ඔබගෙන් පන්තියේදිත් - මහ සෙනඟ අස්සෙදිත් එකවගෙම හිකි හිකි හිනාව මහ හයියෙන්ම දොඩමලු වෙන්නෙත් මුළු මූනෙන්ම අහන්නට හිතෙයි වෙලාවක හදවතම දිගහැර එලුවෙ කොහොමදැයි මූන උඩ ඔය ගානක් නැතුවම චුයිංගම් හප හප ගල් බැම්මේ මගේ ලඟින් වාඩිගෙන මහ බරක් තියයි ඔබ මගේ ඔලු උඩ ඩෙනිමෙන් මතු උන කලව මත ලැප් ටොප් එකක් තියාගෙන ඇඟිලි තුඩගින් නතු කරගන්න හැටි මුලු ලෝකෙ ම හරි පුදුමෙ වෙලාවකට ඇවිත් අපෙ පන්තියට ඉඳගන්න එක ඔබ මගේ පේලියෙම වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්‍රීසි රෑ පුරා මට ඇහෙයි ඔබ ඉංග්‍රීසියෙන් හිනාවෙන හැටි මහ පුදුමෙ මටම ම ඔබ ගැන පෙමක් ඇතිවෙන්නෙ නැති හැටි මං පුංචි කොල්ලෙක් තාම ලව් කරන හැටිවත් දන්නෙ නැති - දමිත් උදයංග දහනායක | තෙමි තෙමි ම මම -

වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්‍රීසි | දමිත් උදයංග දහනායක

වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්‍රීසි කොයින්ද ආවෙ ඔයි මූනට උවමක් හිතෙන්නෙම නැති අමුතු සුද කවියන් කොයිතරම් පෙන්නුවත් රෝසපාට විලුඹක් දැක්කෙත් ඔබගෙන් පන්තියේදිත් – මහ සෙනඟ අස්සෙදිත් එකවගෙම හිකි හිකි හිනාව මහ හයියෙන්ම දොඩමලු වෙන්නෙත් මුළු මූනෙන්ම අහන්නට හිතෙයි වෙලාවක හදවතම දිගහැර එලුවෙ කොහොමදැයි මූන උඩ ඔය ගානක් නැතුවම චුයිංගම් හප හප ගල් බැම්මේ මගේ…

Read More
අවසර සකිසඳ - චන්ද්‍ර කුමාර වික්‍රමරත්නට චන්දරේ මම ශීතකරණය ඇරියා. චන්දරේ මම හමස් පෙට්ටිය ඇද්දා මම කවි පොතක් ගහන්න යනවා. මට උඹව මතක් වුණා උඹ මළවුන්ගෙ ලෝකෙ ද ? එහෙනම් උඹ පණ පිටින්. චන්දරේ දැන් මේක මිනී කාමරයක්. අධි ශීතකරණෙකටත් වැඩිය හීතලයි උණුහුම පොදක් නෑ හාල්පාරු වෙලා සේරම . මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන් නෑ. මූණ බලන් නෑ. බස්වල ගල් ගිලලා වගේ මූණට මූණ බලන් නෑ. නැග්ග ගමන් නිදාගන්නවා. උඹ එදා පිළිනොගත්තට අද උඹ ආවොත් නං සාංදෘෂ්ටිකවාදෙ පිළිගන්නවා සිකුරුයි ! චන්දරේ මම කවි පොතක් ගහනවා කවි කියන්නෙ මොනවද චන්දරේ ? මතකද අපි ඒ දවස්වල හම්බුණා ම කුරුටු ගාපුවා කියෙව්වා එකිනෙකාට සමහරු උඹව යුගයේ කවියා කළා. උඹ එහෙම හිතුවෙ නැති වග දන්නවා මං හොඳට ම. චන්දරේ අපි ට තරගයක් තිබුන් නෑ. උඹ ලියපුවද හරි මං ලියපුවද හරි..... ! එහෙම බෑ චන්දරේ කවියෝ වෙන්න නං. හිතන්න ඕනෑ මං තමයි ඊළඟ සේකර. කී දෙනෙක් උන්න ද චන්දරේ එහෙම. ආගිය අතක් ආතක් පාතක් නෑ. චන්දරේ උඹ තාමත් සිංදු කියනවා ද බස්වල ? ජෝතිපාලගෙ සිංදු කවදාවත් කිව්වේ නැති චන්දරේ. ඔබ ගැනම මා ලියන ඒ කවිය ඔබ හටම අද දිනේ නොවැටහෙන බව දනිමි. ඒත් ලෝකය මීට වඩා සුන්දර වන අනාගතේ යම් දවසක ඔබ එය ආදරයෙන් කියවන බව දනිමි ' යි සැක හැර නුඹම හැදූ කවුරුවත් කවදාවත් නාහපු සිංදු කීව චන්දරේ. දන්නවාද පශ්චාත් නූතන තත්වය මෝරලා. සහස් වස එනවා. දැන් කතාව ගෝලීයකරණය ගැන. උඹ දන්නවා ද අන්තර්ජාලය ? චන්දරේ මතක ද අපි ඉල්ලුවේ රුපියලයි නැත්තං දෙකයි. ඒත් දැන් හුගාක් වෙනස් චන්දරේ. එක ප්ලේන්ටිය ගහලා බ්‍රිස්ටල් එක බීලා මතකද ? මේ කාලේ චන්දරේලා ගැන මං මුකුත් දන්නෙ නෑ චන්දරේ උනුත් මං ගැන මුකුත් දන්නෙ නැතුව ඇති. චන්දරේ උඹ කොහෙ ද. මළවුන්ගෙ ලෝකෙ ද ? උඹට ලීනක්කවත් හම්බුනාද ? තිසාහාමිත් මැරුණා. මට කවියක් ලියන්න හිතුණා. ඒත් ඒ කවිය රෙන්න බරක් නැති වෙන්නෑ හේ නැති වුණා විකුණන හැටි දැක්ක ම. රාජිනීත් මැරුණා. ඒත් එහෙම්මයි. වන්දරේ උඹ මැරුණයි කියලා දැන ගත්තෙ නැති එක හොඳා. මෙහෙම නෙමේ හෝල් සේල් විකුණාවි. ඒත් චන්දරේ මිනිහෙක් උන්නයි කියලා දන්නෙත් දැන් අපි මැරුණාම. මිනිය ලෝකෙටම වික්කාම. ඉතිං මරණය දැන ගන්න එක වැදගත් නේද ? අපි ඒ තරමට ම කුණුවෙලා චන්දරේ. ඒත් මේ මළ බද්ධෙයි අඩස්සියයි ඊට වඩා හොඳයි චන්දරේ. චන්දරේ ඉන්නවා නං කොහේ හරි ලියුමක්........ ඒත් චන්දරේ උඹට වගේ ම අයිඩෙන්ටියට මිසක ඇඩ්‍රස් නෑ තාම මටත්. කියාපන් උඹ කොහෙද මහ කැලේ හේනක් කොටාන ගෑණියෙක් එක්ක ඉන්නවා ද චන්දරේ ? පුංචි කාලෙ ඉඳන් උඹ ඉල්ලූ ආදරය ලැබුණා ද උඹට ? තුන් වේල වරදින් නැද්ද උඹට දැන්වත් ? චන්දරේ, යුගයේ කවියා කියා කුරුසයක ඇණ ගසා තියෙද්දිත් ආදරය පොදක් ඉල්ලුව නුඹේ අවිහිංසක ඇස් ගොම්මන් මන්දාරම මැදින් දිදුලනවා මට පේනවා. චන්දරේ මට සමාවෙයන්. මම කවි පොතක් ගහනවා මොකටද කියලා මං දන්නෙ නෑ. හුඟ කාලෙකට කලින් ලියන එක අතෑරපු ඔහේ ලියවෙච්ච කවි. හෙට මිල කරලා තියේවි රාක්කවල විකුණන්න. මතක ද උඹ පොත් සීයක් විකුණලා දෙන්න බාර ගත්ත කවදාවත් ගැහුවෙ නැති මගේ කවි පොත ? ඒත් චන්දරේ මේ ඒ කවි පොත නම් නෙමෙයි හැබැයි. නගා මැරූ අල | කේ.කේ. සමන් කුමාර ප්‍රථම මුද්‍රණය - 2000

අවසර සකිසඳ – චන්ද්‍ර කුමාර වික්‍රමරත්නට | කේ.කේ. සමන් කුමාර

අවසර සකිසඳ – චන්ද්‍ර කුමාර වික්‍රමරත්නට චන්දරේ මම ශීතකරණය ඇරියා. චන්දරේ මම හමස් පෙට්ටිය ඇද්දා මම කවි පොතක් ගහන්න යනවා. මට උඹව මතක් වුණා උඹ මළවුන්ගෙ ලෝකෙ ද ? එහෙනම් උඹ පණ පිටින්. චන්දරේ දැන් මේක මිනී කාමරයක්. අධි ශීතකරණෙකටත් වැඩිය හීතලයි උණුහුම පොදක් නෑ හාල්පාරු වෙලා සේරම . මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන් නෑ….

Read More
අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා...! - "මැයි මාර ප්‍රසංගය" - "එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි. එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි." ජීවන වීණාවෙන් වැයෙන බොහෝ ප්‍රේමණීය තාලයන් අතරේ හදවතක හරි පරිස්සමින් සුරකින, කවුරුත් නොදකින, මේක අමුතු විදිහේ ප්‍රේමයක්. කිසිදිනෙක හඬක් නොනැඟුණු අප්‍රකාශිත හැඟීම් දහස් ගණනක් මැද ඒකපාර්ශ්විකව එය දරා හිඳින්නට තරම් පරාර්ථකාමී වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එය ප්‍රේමයේ ගැඹුර කෙතරම් ද යන්න කියාපාන්නකි. එවන් ප්‍රේමයක් දරන හදවතක් උසුලන සියලු ප්‍රේම ආනිසංසයන් විටෙක ශාන්ත සුන්දරත්වයක් ඇති විඳීම් ය. නමුදු ඇතැම් විටෙක නිහඬ විඳවීම් ය. ඒ කරුණු කාරණා කෙසේ වුවත් ප්‍රේමය නම් ප්‍රේමයම වනු ඇත. කවදත් ලියන කලාවෙන් ආත්මයටම දැනෙන්නට ආමන්ත්‍රණය කරන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ දෑතින් ලියැවුණු "මැයි මාර ප්‍රසංගය" නමැති නවකතාව ඇසුරින් නිර්මාණය වුණු "අමුතු විදිහම ආදරේ" නැතහොත් "මැයි මාර ප්‍රසංගය" නම් ගීතය, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේම අරුත්බර පද රචනාවට චතුර ගයාන් ජයනෙත්තිගේ අපූර්ව සංගීතය මුසු වී සුනීර සුමංගගේ ඉසියුම් හඬින් සහෘද හදවත් වෙත සමීප කර ඇති ප්‍රේමණීය ආමන්ත්‍රණයකි. "ඈත කන්දේ ගසක් සිටුවමි මල් පිපේවී කවද හෝ එහි එමල් ඔබහට පෙනී සිතට සතුටක් දැනේවා දැනේවා... දැනේවා..." ජීවන ගිරි දුර්ගය තරණය කරමින් යන අතරේ ජීවිතයට වසන්තය රැගෙන ආ නුඹ කෙරෙහි මගේ හදවත තුළ උපන් ප්‍රේමයේ නාමයෙන්, ඒ හැඟීම් සියල්ලක්ම පිවිතුරු ප්‍රාර්ථනාවක් ලෙසින් මේ වාතලයට මුදා හරිමි. කොහේ හෝ කවුරුත් නොදන්නා ඈතක මල් දරන ගසක් ලෙස එය පවතීවි. ඒ මම වග, මගේ ප්‍රේමය බව නුඹ කිසිදිනෙක දැන නොගනිවී. නමුත් ඒ පිපෙන මල් දැක, ඒ සුවඳින් නුඹේ හදවතට සතුට සැනසීම දැනේවා. කොහේ හෝ සතුටින් රැඳේවා! ඔබේ මුහුණේ සිනා සේයා මං නොදැක්කත් කමක් නෑ ඒක කන්දට පෙනේවා පෙනේවා.... පෙනේවා... ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉඩකඩ ලැබේවා... ලැබේවා.... ලැබේවා...... නුඹේ මුවෙහි ඇඳෙනා සිනා සේයා නුඹේ ළඟින් හිඳ දකින්නට මට නොහැකි වූවත් කමක් නැත. එහෙත් ඒ හැමදෙයක් දුරින් හිඳ හෝ මට විඳින්නට ලැබේවා! නුඹ තුටින් බව දැනෙන හැම විට මට සැනසීමක් දැනෙයි. මෙය ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරු බව මනාව විදහා දක්වයි. වචන ස්වල්පයක් ඇතුළත විසල් අහසක් තරම් සිතුවිලි ගොන්නක් සඟවා තබා මෙම ගී පද හදවතේ සියුම් නිලයන් අල්ලා ගනියි. "මලෙක සුසුමත් සුසුමෙ ස්වරයත් ස්වරයෙ පැහැයත් වගේ අමුතු විදිහට සිතන්නට මම ඉගෙන ගත්තේ ඔබෙන් අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා... තියේවා...තියේවා..." නුඹ නමින් මේ හදවතෙහි පිපෙන ප්‍රාර්ථනා මල්, සුසුම් ස්වරයන්, ඒ ස්වරයන් තුළින් මැවෙනා හදවතේ වර්ණ රටාවන් වල ඇති සුන්දරත්වය සේ අමුතු විදිහට හිතන්නට ඉගෙන ගත්තේ මා නුඹෙන් ය. එයත් හරියට පර නොවෙන පිවිතුරුම මැයි මාර මලක් වැනිය. පිපී සුවඳ දී හිනැහෙන නමුත් කිසිදිනෙක දෝතින් ගෙන අයිතියක් කීමට නොහැකි වූ ආදරණීයම හමුවීමක් ය. ඉතින්, මගේ එකම එක ප්‍රාර්ථනය නම් අයිතියක් කියන්නටත් නොහැකි, කවුරුත් නොදන්නා අමුතු විදිහේ ආදරේ එලෙස එහෙමම තියේවා...! මැයි මාර ප්‍රසංගයෙ හි එන සමිධ-සංචරණි ප්‍රේමය වගේම අමුතු විදිහේ ආදර කතා දහස් ගණනක් මේ අහස යට කෙතරම් නම් ඇති ද? ඒ වගේ හැඟීමකින් හිත පිරුණම කාලයත් එක්ක ඒ අමුතු විදිහේ ආදරේට බොහෝ අය ඇබ්බැහි වන්නේ නිරායාසයෙනි. ඉන් එහාට ඔවුන් ඒ ආදරේ එක්ක ජීවත් වෙන්න පටන් ගන්නා අතර සදාකාලෙටම හිත් ඇතුළේම ඒ ප්‍රේමයන් පරිස්සම් වී සැඟව යනවා. "මැයි මාර ප්‍රසංගය" ගීතය පුරාවට ම ඇත්තේ ඉතාමත් පිවිතුරු ප්‍රාර්ථනාවන් ය. ඒ ගීතය ම බලාපොරොත්තුවේ ආලෝකයක් ය. දැනටත් බොහෝ හදවත් තුළ සෙනෙහසින් දරා හිඳින සියල්ලක් අප්‍රකාශිත ඒකපාර්ශ්වික ප්‍රේමයන්ට සහ සියලු අහම්බකාරක හමුවීම් වලට මේ ගීතය තුළින් අරුතක් එක් කර ඇත. ඉතින්, මෙය ගැයෙන්නේ ඔවුනොවුන් කොහේ හෝ තැනක හොඳින්, සතුටින් ඇතැයි හිත සනසා ගත් සියලු විශ්වීය ප්‍රේමයන් වෙනුවෙනි. -නවෝද්‍යා ධනංජනී-

අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා…! – “මැයි මාර ප්‍රසංගය” –

“එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි. එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි.” ජීවන වීණාවෙන් වැයෙන බොහෝ ප්‍රේමණීය තාලයන් අතරේ හදවතක හරි පරිස්සමින් සුරකින, කවුරුත් නොදකින, මේක අමුතු විදිහේ ප්‍රේමයක්. කිසිදිනෙක හඬක් නොනැඟුණු අප්‍රකාශිත හැඟීම් දහස් ගණනක් මැද ඒකපාර්ශ්විකව එය දරා හිඳින්නට තරම් පරාර්ථකාමී වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ….

Read More
තුඹස මගේ ප්‍රේමය ඉරා විසි කර හීනමානේ කින ලෝකේ මා ගාල් කර ඔබ ගිලී ගිය පසුව ඔහුගේ පසුම්බිය තුළ සරාගී කය අහිමි වූයෙන් කලක් රැවටුණු බවත් දැනුණෙන් නින්ද අරුචිව - අහර අපුලව වෛරයේ කළු නාගයා හට සිතේ සිතුවිලි තුඹස බැන්දෙමි එකල සිප ගත් සොඳුරු නුඹ වත පිළිස්සේවයි - නෙත් ගිලේවයි සරාගය මට ඉගැන් වූ පුන් දෙතන තුළ පිළිකා වැවේවයි ශාපයෙන් බිතු කුහර පුරවා ආදරේ තණ පඳුරු ගළවා ශුද්ධ විරහී අලුත් මැට්ටෙන් තුඹස තැනුවෙමි ඉරි තලා ගිය පැතුම් බිජුවට නාග මුව ඇර ගිල්ල වූවෙමි නමුදු සිත තුළ නුදුරු දිනයෙක වැවී අඳු පැළයක් පලාවන් නව පෙමක් දලු ලයි වැටී නෙත් කිරණක් නැගී අඳු කොළ දොහෙන් දෙදොහෙන් තුඹස වට කොට පඳුරු ලන විට සෙනෙහසම ලොකුවට පිපී එයි ඇය සිතේ ලැසි සෙයින් ඇවිදියි එසඳ ඔබ රුව නිවෙන අඟුරකි ඇගේ රුව ඉර සේ දිලෙයි ඔබට කිසි දින දෂ්ට නොකරමි විෂ ද ආදරයට හැරෙයි තුඹස සුන් කර අද බැලූ සඳ කළු නයා නැත - ඌ ගිහින් කතිර සලකුණු විනා හරි නැති උගේ හැව හමු විය එයින් සැමරුමක් ලෙස හැව ද පල නැත එය ද පොහොරට මුහු කරම් ඇයට මුල් පුබුදන්ට සිත තුළ හරිත වන ගැබ ඉදි කරම්. යටි වියන ලක්ශාන්ත අතුකෝරල

තුඹස | ලක්ශාන්ත අතුකෝරල

තුඹස මගේ ප්‍රේමය ඉරා විසි කර හීනමානේ කින ලෝකේ මා ගාල් කර ඔබ ගිලී ගිය පසුව ඔහුගේ පසුම්බිය තුළ සරාගී කය අහිමි වූයෙන් කලක් රැවටුණු බවත් දැනුණෙන් නින්ද අරුචිව – අහර අපුලව වෛරයේ කළු නාගයා හට සිතේ සිතුවිලි තුඹස බැන්දෙමි එකල සිප ගත් සොඳුරු නුඹ වත පිළිස්සේවයි – නෙත් ගිලේවයි සරාගය මට ඉගැන් වූ පුන්…

Read More
ඔයා සතුටින් ද ? ඔයා සතුටින් ද ? ඔව් මං හුඟක් සතුටින් මඟුලකදි මල ගෙදරකදි මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං ... අල ගෙඩි වගේ මහත තක්කලි වගේ පාට හුරුබුහුටි පොඩි උන් දෙන්නෙක් ම ඉන්නවා මට... ඔසරිය හැඩට අන්දා ඕනෙම මහ සබාවක ඉස්සර කරන් යා හැකි පිත්තල වගේ දිලිසෙන ගෑනියෙක් ඉන්නවා මට දෑවැද්දකුත් එක්ක ම අම්මා හොයා දුන්... හදන්නට ගෙය හත් අට පොළකින් ම ගත් ණය ගෙවන්නට ඇතත් මැරෙනකං මහ ලොකුවට නැතත් තියනවා මට මගෙ ම කැතක් නැති ගේ පොඩිත්තක් ඔහේ වැටිලා ඉන්නට රිදෙන්නේ නැතිව ඉදිකටු තුඩු මතින් ඇවිද යන හැටි දැන් දන්නවා හොඳහැටි මං ඉතින් මං සතුටින් පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං... තවත් වෙන මොනව ද මිනිහෙකුට මං හුඟක් සතුටින් ඉසුරු චාමර සෝමවීර තාණ්ඩව

ඔයා සතුටින් ද ? | ඉසුරු චාමර සෝමවීර

ඔයා සතුටින් ද ? ඔයා සතුටින් ද ? ඔව් මං හුඟක් සතුටින් මඟුලකදි මල ගෙදරකදි මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං … අල ගෙඩි වගේ මහත තක්කලි වගේ පාට හුරුබුහුටි පොඩි උන් දෙන්නෙක් ම ඉන්නවා මට… ඔසරිය හැඩට අන්දා ඕනෙම මහ සබාවක ඉස්සර කරන් යා හැකි පිත්තල වගේ…

Read More
"හීන පේන හැම රෑකම" මේ වන තෙක් බොහෝ අය, ප්‍රේමයට නොයෙක් ආකාරයේ නිර්වචන දී ඇත. ඒ අතරින් ප්‍රේමය කියන්නේම පාරමිතාවක් ය යන්න හදවතට ඉතා සමීප කාරණාවකි. එය එක් හදවතක් තවත් හදවතකට සතුට සහ සැනසීම ළඟා කරවන, ජීවන සසර පුරා පෙරුම් පුරනා පිවිතුරුම සිතුවිල්ලකි. අයිතියක් කියන්නට නොහැකිමුත් කොහේ හෝ තුටින් නම් එපමණය යන තැන ද ඇත්තේ ප්‍රේමය ය. නමුත් එය වැළඳ ගන්නා ආකාරය අනුව එය එකිනෙකාගෙන් වෙනස් වේ. ප්‍රේමයට විවිධ අර්ථකථන ලැබී ඇත්තේ එහෙයිනි. ඉදිරියටත් තවත් බොහෝ අය තව බොහෝ නිර්වචන ප්‍රේමය වෙනුවෙන් වෙන් කරාවි. ප්‍රේමයේ ඉසියුම් තැන් හදවතට කාවද්දන "හීන පේන හැම රෑකම" ගීතය, ප්‍රේමය සහ අයිතිය අතර දෝලනය වන හැඟීම් සමුදායක් ගෙන හැර පාන අතර කිසිදු දිනෙක ප්‍රේමයක් පිළිබඳව අහිතක් නොසිතෙනා අයුරින් මැදිහත් ව ඒ දෙස බැලීමට පොළඹවන්නකි. මෙම ගීතය නිමැවෙන්නේ ගායක හර්ෂණ දිසානායකගේ හඬ, නන්දසිරි කීඹියාහෙට්ටිගේ අපූර්ව පද රචනය සහ දර්ශන වික්‍රමතුංගගේ සංගීත නිර්මාණය එකට මුසු වීමෙනි. "හීන පේන හැම රෑකම වෙන කොටත් නොකී ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකී නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටී ආලවන්තකම ලඳුනේ පාරමිතාවකී..." මේ ගෙවෙන හැම රාත්‍රියකම හීනයක් දුටුවා නම් ඒ නුඹය. රහසේම විඳි නමුත් කාටත් නොකියූ ඒ ලස්සනම හීනය නුඹ ය. "ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකි" යනුවෙන් ඉතාමත් සෙනෙහෙවන්ත ලෙස පද අමුණා ඇත්තේ කල්ප කාලයක පටන් ලේන කුලයේ සිට පෙරුම් පුරනා, පිවිතුරු ප්‍රේමයේ ප්‍රතිමූර්තියක් වන යශෝධරා දේවිය ඇයට උපමා කරමිනි. නුඹ නොමැති මේ තනි යහන මත මගේ දෙනුවන් නොපියා රැයවල් ගෙවෙයි. ඉතින්, සුහදිනිය, ප්‍රේමය කියන්නේම පාරමිතාවකි. "පේරැස් මුදුවක් පලඳන නැකතක් නොයෙදුනේ... මේ වස්දඬු රාවය මැද නුඹ සිහිනෙන් පෙනේ.. පාලොස්වක සඳ ඉල්ලා මාසෙ පොය දිනේ... මේ ඇස් දෙක ලඟ නාඩන් එතකොට දුක දැනේ..." මඳකට හද සසල කරවන හැඟීම් ගොන්නක් වචන තුළ සඟවමින්, නුඹ වෙනුවෙන් මුදුවක අයිතියක් තබන්නට මංගල නැකතක් නොයෙදුනත්, මේ නිසංසල රැය පුරාවට සවන් වැකෙනා මිහිරිතම බටනලා රාවය මැදින් මට මැවෙන්නේ නුඹ ය. "පසලොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ" යන්නෙන් ඔහුට ඇය වෙනුවෙන් දැරිය නොහැකි සහ කළ නොහැකි දේවල් පිළිබඳව කියැවෙන අතර ඒ දෑස් හඬන විට දැනෙන අපරිමිත දුක් දොම්නස් පිළිබඳව ඉතාමත් අපූර්ව ලෙස වචන කර ඇත. "පේලි සැදී දලදා වැඳ ම⁣ට හිනැහුන රැයේ.... මාලිගාව මගේ වගේ දැනුනා සොඳුරියේ... වාවගන්න බැරි තනිකම හිරකරගෙන ලයේ... ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ..." නුඹ එදා මුව පුරා මා හා සිනා වුණු දිනේ, මුළු ලෝකය ම මගේ විය. "පේලි සැදී දලදා වැඳ ම⁣ට හිනැහුන රැයේ...මාලිගාව මගේ වගේ දැනුනා සොඳුරියේ..." යන්නෙන් දළදා මාලිගාව උපමාවට ගනිමින් ඉතාමත් පිවිතුරු හැඟීමක් උද්දීපනය කරයි. ප්‍රේමයක් ඉපදීම කොතරම් නම් සොඳුරු සහ පිවිතුරු හැඟීමක් ද? ඒ කොහොම වෙතත්, අවසන ඔහු ඇයගෙන් විමසන්නේ එකම එක දෙයක් පමණයි. දරන්නට බැරි තරම්, මේ දැනෙන පාළුව, තනිකම හදවතේ හිරකරන්, මගේ ජීවිතයම වූ නුඹ, ඒ ජීවිතයම රැගෙන කොහේ දෝ ගියේ? යන්නයි. ඉතින්, මෙලෙසින් ඔහුගේ හද තුළ කැකෑරෙන විරහ වේදනාවන් සියල්ල ඉතාමත් උපේක්ෂා සහගත අයුරින්, හදවත රිදී නොරිදෙනා සේ ගීතය පුරාවට දිය කර හැර ඇත. මොහොතකට ගීතය තුළ එල්බ වෙනස්ම වූ රසයක සවන් දෙන්නන්ව අතරමං කරවීමට සමත්, නිවීමෙන් සැනසීම රැගෙන එන හර්ෂණ දිසානායකයන්ගේ හඬට, ඒ ගැඹුරු සංගීත රටාවන් සහ පද රචනය එක් වීම අපූර්ව සංකලනයක් බව කිව යුතුමය. ප්‍රේමයේ පාරමිතාවට සෙනෙහසින් ගැයෙන "හීන පේන හැම රෑකම" ප්‍රේමයේ ඉසියුම් බව පසක් කරවන අරුත්බර නිර්මාණයකි. -නවෝද්‍යා ධනංජනී-

“හීන පේන හැම රෑකම”

මේ වන තෙක් බොහෝ අය, ප්‍රේමයට නොයෙක් ආකාරයේ නිර්වචන දී ඇත. ඒ අතරින් ප්‍රේමය කියන්නේම පාරමිතාවක් ය යන්න හදවතට ඉතා සමීප කාරණාවකි. එය එක් හදවතක් තවත් හදවතකට සතුට සහ සැනසීම ළඟා කරවන, ජීවන සසර පුරා පෙරුම් පුරනා පිවිතුරුම සිතුවිල්ලකි. අයිතියක් කියන්නට නොහැකිමුත් කොහේ හෝ තුටින් නම් එපමණය යන තැන ද ඇත්තේ ප්‍රේමය ය. නමුත් එය…

Read More
Back To Top