වchaන Admin

"මට කතා කරන්න ඕනෙ" එයා කියනවා. "කතා කරමු. මොනවද ඔයාට කියන්න තියෙන්නේ?" ඒ මම. ලේසියකට විසඳුමක් නැති, දිගින් දිගටම එයාට වද දෙන, අවුරුදු ගානක් දිග, හදවත් දෙකක් පලල, නිරායාසයෙන්ම මාත් කොටස් කාරයෙක් වෙන රස නීරස කතන්දර එයා මට කියනවා. එයාට එහාපැත්තෙ හාන්සි වෙලා, මන් ඒ ඔක්කොම අහන් ඉන්නවා. ඒ කිසිදේකට මන් ගාව විසඳුමක් නෑ කියලා අපි දෙන්නම දන්නවා. ඒත් එයා ඒවා මට කියනවා. මන් අහන් ඉන්නවා. ඒ බෙදාගන්න, දරාගන්න බැඳීමට මන් එයාට තරම්ම ආදරෙයි. එයා ඒවා මට කියනවා. වචනයක් වත් නොකියා මන් අහන් ඉන්නවා. සැරින් සැරේට කිස් එකක් දෙන්න, තට්ටුවක් දාන්න මන් වගබලාගන්නවා. අවසානයේ ආයෙමත් ලේසියකට විසඳුමක් නැති, රස නීරස කතන්දර ගොඩක් අපිට ඉතුරු වෙනවා. ඒවට ප්‍රශ්න නොකියා කතන්දර කිව්වාම ඒවාගෙ දිග පලල අඩුවෙලා ලඝු වෙලා යනවා කියලා මන් දන්නවා. ඒත් ඒ ප්‍රශ්න එහෙම්මම තියෙනවා. එයා කියන, මන් අහගෙන විතරක් ඉන්න. අවසානෙදි මේ කිසිදේක බලපෑමක් නැති කෙනෙක් වගේ මාව ඇඳේම තියලා එයා නැගිටලා යනවා. නලියන ඇස් දේකයි, රිදෙන හිතයි එක්ක මන් තනි වෙනවා. මන් අලු පාට වෙන්න ගන්නවා. 'ඔයා වෙලාවකට හරි නරකයි. මේ කිසි දෙයක් මට දැනෙන්නෙ වත් නෑ වගේ ගානක්ම නැතුව ඔයා නැගිටලා යනවා. ' චෝදනා කරන්න මට හිතෙනවා. මන් නොකර ඉන්නවා. එයාගෙ හිත තව රිදුනොත් කියලා හිතනවා. එයා කෝල් එකක ඉන්නවා මට ඇහෙනවා. මන් වොශ් එකක් දාගන්නවා. ඇඳගන්නවා. එයා දිගටම කෝල් එකක ඉන්නවා. මන් ඉඳගෙන බලන් ඉන්නවා. එයා ලෑස්ති වෙන්න යනවා. මන් බලන් ඉන්නවා. හිත රිදිලා, බලන් ඉඳලා අමාරුයි කියලා හිතුනට පස්සෙ මන් ගිහින් සිගරට් එකක් පත්තු කරගන්නවා. සිගරට් එක වැඩ කරනවා. එකක් මදි හිතෙනවා. එක්කෝ නොබීම හිටියානම් කියලාත් හිතෙනවා. මූඩ් එක හරි නොයන නිසා මන් එයාලගෙ සින්ක් එකේ තියෙන පිඟන් හෝදන්න ගන්නවා. තේ හදපුවා අස් කරනවා. මූඩ් එක හරි යන්නෙ නැති බව මට පේනවා. අලු පාට වැඩි වෙන්න ගන්නවා. එයා එනවා. නෑවට පස්සේ එයාව මට හිටියටත් වඩා සුදු පාට ට පේනවා. එයා එනවා. එයා හිනාවෙනවා. එයා තරමක් හොඳින් බව පේනවා. මන් හිනාවෙන්න ට්‍රයි කරනවා. මට හිනාවෙන්න අමාරුයි කියලා තේරෙනවා. එයා හිනාවෙනවා, සින්දුවක් මුමුනනවා, අමුතුවට ඇවිදිනවා. "මොකෝ මේ ආතල් එකක් ගිහින්?" මන් බොරු නෝක්කාඩුවක් පෙන්නලා අහනවා. ඇත්ත නෝක්කාඩුවකුත් මගෙ හිත අස්සේ තියෙනවා. එයාට ඒක මිස් වෙනවා. " දත් කැක්කුම අඩු උනානේ " එයා කියනවා. ' අඩු උනේ ඒක විතරද? ' අහන්න මට හිතෙනවා. මන් නොඅසාම ඉන්නවා. එයා ලෑස්ති වෙලා යන්න හදිස්සි කරනවා. මෙච්චර වෙලා බලන් හිටියේ මන් බව එයාට අමතක වෙනවා. එයාට කොහොමත් ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් අමතක වෙනවා. නැත්තම් දේවල් වලට මටත් රිදෙනවා කියලා එයාට අමතක වෙනවා. වෙලාවකට එයා අමතක කරනවාද කියලත් මට හිතෙනවා. හිතුනට ඔය මොකුත් මන් නොකියා ඉන්නවා. එක දිගට ලඟ හිටිය දවස් තුන ඉවර කරලා අපි එන්න පිටත් වෙනවා. දවස් තුනක් ම ඔයා ගාව ඉඳලා එද්දි වෙනදා වගේ කිස් එකක් නොදුන්න එකට නම් තරහ වෙන්නම ඕනෙ කියලා මට හිතෙනවා. (ඔයාට පුලුවන් ඕනෙනම් අහන්න ඇයි එහෙනම් මන් නොදුන්නෙ කියලාත්. ඔයාට නොකිව්වට මට හැමදාම හිතෙනවා මන් ඔයාට බයයි කියලා. ඒ බය එන්නෙ ඔයා හිතන විදිහෙ තැනකින් නෙවෙයි. ප්‍රතික්ෂේප වීමට බය තැනකින්.) කොහොම උනත් ගෙදරින් එලියට බැස්සට පස්සෙ තව දුරටත් නෝක්කාඩු හිතේ තියන් ඉඳලා වැඩක් නෑ කියලා මන් දන්නවා. මන් කියලා කෙනෙක් නැති තැනක මගෙ නමින් හිත් රිදීමක් තියෙන්න බෑනෙ. මට දරන්නම බැරි හැඟීමත් ඒකම බව මන් දන්නවා. ඒත් පුරුදු විදිහටම මන් ඒව අමතක කරනවා. ඇත්තම කියනවා නම් මන් වෙනදාටත් වඩා හොඳින් ඉන්නවා. බස් හෝල්ට් එකක මාව බස්සලා ඉතාම සාමාන්‍ය බායි එකකින් එයා සමුගත්තාම අමතක කරලා හිටිය අලුපාට හැඟීම මගෙ වටේ ආපහු එතෙනවා. ඊටත් පැයකට විතර පස්සේ ගෙදර යන්න කෝච්චිය එනකන් ස්ටේශන් එකට වෙලා ඉද්දි මන් කොහොමටවත් හොඳින් නෙවෙයි කියලා මට තේරෙනවා. එහෙන් මෙහෙන් එකතු වෙන තව තව දේවල් එක්ක අර අලු පාට හොඳටම කලු වෙලා තියෙනවා. කෑගහලා, බෑග් එක විසික් කරලා, ෆෝන් එක කුඩු කරලා, ඊලඟට එන කෝච්චියට පනින්න ඕනෙ කියන චරිතෙ යටකරගෙන මගෙ හයිය හිත මේක ලියන්න ගන්නවා. ළහිරුණි වික්‍රමරත්​න

මේක “එහෙම” කතාවක් නෙවෙයි

“මට කතා කරන්න ඕනෙ” එයා කියනවා. “කතා කරමු. මොනවද ඔයාට කියන්න තියෙන්නේ?” ඒ මම. ලේසියකට විසඳුමක් නැති, දිගින් දිගටම එයාට වද දෙන, අවුරුදු ගානක් දිග, හදවත් දෙකක් පලල, නිරායාසයෙන්ම මාත් කොටස් කාරයෙක් වෙන රස නීරස කතන්දර එයා මට කියනවා. එයාට එහාපැත්තෙ හාන්සි වෙලා, මන් ඒ ඔක්කොම අහන් ඉන්නවා. ඒ කිසිදේකට මන් ගාව විසඳුමක් නෑ කියලා…

Read More
පිටිසර සිරියාව | සාගර පලංසූරිය වහලේ සිදුරු අතරින් වැහිබිඳු බේරේ ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ නිල මැසි රොදින් යටවුණු කැතකුණු කසළ කෝඳුරු කරල් ඇත එල්ලුණ ගෙයි වහල මේ ගෙට තිබෙන කමතක් වැනි පොඩි මිදුල තණ කොළ උඩින් මතුවුණු තුත්තිරි අකුල කකුලක් බිඳුණ බංකුව, වැල් කැඩුණු ඇඳ මේ මුළු ගෙටම ඇති ලී බඩු දෙකය හොඳ මෝවිට ලිහුණු මාගල ලණු පොටක බැඳ එල්ලා තිබේ ගෙයි යට ලීයකට ඇඳ ගේ හරියටම නොකැඩුණු බඳුනක් නැත්තේ කළගෙඩියේ පැලැස්තර හත අට ඇත්තේ කුස්සිය කියන ගව මඩුවේ ලිප මත්තේ කසායක් දෙකක් මොන දවසෙ ද නැත්තේ දැළිකුණු වැකුණු ඇයගේ වැරහැලි රෙද්ද ලිපකට දැමූවිට අයියෝ ඇවිලෙද්ද සැප යනු ඇයට මොන තරමේ බොරුවක්ද ඇගෙ දුක අපායකවත් ඇත්තට ඇද්ද හාමත නිසා ලේ මස් ඇඟපතට නැතී වැහැරී ගිය දුබල ඒ ඇත්තියට හතී දෙනෙතේ නිතර පාහේ දුක් කඳුළු ඇතී දුප්පත් කම පෙනේ ඇගෙ සියොළඟම එතී

පිටිසර සිරියාව | සාගර පලංසූරිය

වහලේ සිදුරු අතරින් වැහිබිඳු බේරේ ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ නිල මැසි රොදින් යටවුණු කැතකුණු කසළ කෝඳුරු කරල් ඇත එල්ලුණ ගෙයි වහල මේ ගෙට තිබෙන කමතක් වැනි පොඩි මිදුල තණ කොළ උඩින් මතුවුණු තුත්තිරි අකුල කකුලක් බිඳුණ බංකුව, වැල් කැඩුණු ඇඳ…

Read More
සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා මල් කැකුළකට නෑකම් ඇති තුඩග තියා ලස්සන කිරිලියක් වන ලැහැබකට ගියා දිටියෙමි ඇති කූඩුව කොතැනකද කියා නොපෙනෙන පරිදි මිනිසෙකුගේ පියවි ඇස ලැහැබෙහි කුඩා පඳුරක අතු රිකිලි හිස ඇය බැඳි කැදැල්ලෙහි සැඟවුණු මිහිරි රස වැටහෙයි මටත් ගත හැකිනම් කුරුලු වෙස අමු කොළවලට පාටින් ඉවතට නොයන දිය පෙඳපාසි බිතු රස නයනකි අඳුන මායා සිහිනයක හැඩහුරුකම කියන පියකරු කැකුළු මල් පොකුරකි දොර පියන හිරිකඩ වැහි සුළං හිරු රැස් වැදලි සැඩ ලංවිය නොදෙන සේ නිල් අතු රිකිලි උඩ කොපමණ පියකරුද මේ ගෙය බැඳුණු හැඩ මෙබඳුම ගෙයක් උදෙසා මම සොයමි ඉඩ ඔවුනට සොබා දහමෙහි තිළිණයට ඇදී ඒ ගැන සියුම් නුවණක් පිරිනැමෙන ලදී වන දෙව්ලොවේ පඳුරක අතු අතර බැදී හුරතල් කැදැල්ලක නිදහස් රසය විඳි උරුමය අනුව ඔවුනට මහ පොළොව මත හැම සැප පහසුවම නොඅඩුව ලැබෙනු ඇත එය තව එකෙකු උදුරන්නට දරන තැත මෙහි කිසි තැනක කිසිවක් හට පුරුදු නැත මිණි කිකිණියක හඬ දැවටෙන අතර කනේ දොර ළඟ කුරුලු පැටවකු මුර තබනු පෙනේ නොපෙනෙන වෙසක් ගෙන එන්නට කැදැලි කොනේ මට ඒක පැයක උණුසුම දිය හැකිද අනේ ගොදුරක් සොයාගෙන පවුලක බර දන්නා පිය මහ කුරුල්ලා ඉඟිලී දිව එන්නා පෙරමග ගමන් ගොස් සිය හිමි පිළිගන්නා හුරතල් කිරිල්ලිය සංගීතය දුන්නා එච්.එම්. කුඩලිගම කුරුළු කූඩුව | එච්.එම්. කුඩලිගම

කුරුළු කූඩුව | එච්.එම්. කුඩලිගම

සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා මල් කැකුළකට නෑකම් ඇති තුඩග තියා ලස්සන කිරිලියක් වන ලැහැබකට ගියා දිටියෙමි ඇති කූඩුව කොතැනකද කියා නොපෙනෙන පරිදි මිනිසෙකුගේ පියවි ඇස ලැහැබෙහි කුඩා පඳුරක අතු රිකිලි හිස ඇය බැඳි කැදැල්ලෙහි සැඟවුණු මිහිරි රස වැටහෙයි මටත් ගත හැකිනම් කුරුලු වෙස අමු කොළවලට පාටින් ඉවතට නොයන දිය පෙඳපාසි බිතු රස නයනකි අඳුන…

Read More
සුභා සාලයේ ඇති බට්ටා පැද්දෙන ඔරලෝසුවේ පාන්දර දෙක වැදුනේ මීට සුළු මොහොතකට පෙරය.බැඳපු අළුත පරණ බඩු කඩ පීරමින් නව නිවසට ගෘහ භාණ්ඩ සොයනා කාලයේ සුභාගේ වුවමනාවට තෝරාගත් ඔරලෝසුව මේ නිවසේ පදිංචියට විත් වසර තිස් පහක් පමණ වේ. දීර්ඝ ග්‍රීශ්ම සමයක් නිමා කරමින් හවස් වරුවේ ඇරඹි වැස්ස දැන් සිහින් පොද වැස්සක් බවට පත්වී ඇත.වැසි ඇදහැලෙන විට දොර කවුළු වසාගෙන සිටින පුරුද්දක් මට නැත.ලියන මේසයට හරි කෙලින් ඇති කවුළුවෙන් වැසි දියෙන් සේදුනු අව පසේ සඳ පලුවක් නැග එන අයුරු පෙනේ. කවියෙකුට නම් කවි ලියවෙන දසුනකි එය. මේසා දිගු වසර ගණනාවක් සුභා තනිව මේ නිවසේ විසුවේ කෙසේදැයි මට නම් සිතාගත නොහැකිය.ඒ සමගම මගේ සිත වෙලී යන්නේ සුභා පිළිබඳ උපන් කණගාටුවකිනි.එමෙන්ම මා පිළිබඳ අප්‍රසාදයකිනි. හිරිගඩු පිපෙන තරම් සීතලක් දැනෙන බැවින් කෝපි කෝප්පයක් ඇත්නම් යැයි සිතේ.ජයන්ති සිටියානම් මේ රාත්‍රියේ වූවාද ඇහැරවා කෝපි කෝප්පයක් සාදවා ගැනීමේ හැකියාව තිබිණි.ජයන්තී පැමිණෙන විට උදේ හත පසුවේ.කෝපි සාදා දී උදේටත් දවල්ටත් උයා ඉන් කොටසක්ද ඇය අරන් යයි.රාත්‍රියට පලතුරු හෝ පාන් පෙත්තක් බටර් ගා කෑම මේ නිවසට පැමිණි පසු ඇතිවූ සිරිතකි. කවුළුව අඩවල් කර පැන්ට්‍රියට ගොස් කෝපි කෝප්පයක් සාදාගත යුතු බව සිත කියයි.පැන්ට්‍රිය ඉතා ක්‍රමවත්ය.පිරිසිදුය.තනි පාවිච්චියට නතුවී ඇති බව බැලු බැල්මටම පෙනේ . විදුලි කේතලය රත්වෙන්නට තබා කෝපි ,පිටි, සීනි කොහේදැයි සොයා බැලූවිට දුටුවේ හැම දෙයක්ම ඉතා පිළිවෙලට බෝතල් වල අසුරා නම්කර රාක්ක වල තබා ඇති බවයි.තනි පුද්ගලයෙකුට නම් අවුරුද්දකට වුවත් සෑහෙන පමණ ද්‍රව්‍ය එම කබඩ් වල ඇත.ශීතකරණයේද මස් , මාළු ,කිරි ,බිත්තර පමණක් නොව චීස් හා පලතුරු වර්ගද ඇත .සුභා පිළිබඳව මට දැනෙන්නේ පුදුමයකි.සුභා වැනි ගැහැණියකගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු විය හැකිද? ඇය මේ සියල්ල කර ඇත්තේ මා වෙනුවෙනි. සරසවි ඇදුරකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ මාගේ සමාජ ජීවිතය තිබුණේ සිතුවම හා සබැඳිවය.මුදල් හෙවීමේ උවමනාවක් මට එතරම් නොවූයේ පාරම්පරිකව උරුම වූ විශාල දේපලක් හා වලව් පෙලපතක් මා සතුව තිබුණු හෙයිනි.පියාගේ ඇවෑමෙන් එම දේපල නඩත්තුව මා විසින් පවත්වාගෙන යායුතු වුවත් මාහට මගහැරුනේ එයමය. නමුත් මාස්පතා සැලකිය යුතු මුදලක් මගේ බැංකු ගිණුමට වැටුණු අතර රට රටවල සංචාරය කරමින් , ප්‍රදර්ශන පවත්වමින් ගෙවූ යුගයකි එය. මා සංදිස්ථානයකට පැමිණියේ සුභා හමුවීමෙන් පසුවය.එවකට ඉංජිනේරු සිසුවියක වූ ඇය මා හමුවීමට පැමිණියේ මිතුරියකගේ වුවමනාවට ප්‍රදර්ශන ශාලාවකටය. කිසිදු විශේෂත්වයක් නොතිබූ එම හමුවට වර්ණයක් එක්වූයේ මිතුරකුගේ විවාහ උත්සවයකදී සුභා පැමිණ මා හා කතාකල මොහොතේය.මා අසලින් වාඩිවී පාළු කැපීමට සුභා එක්වූයේ ඇයගේම කැමැත්තෙන්ය. ඕනෑම මාතෘකාවක් පිලිබඳව කතාකිරීමට කරුණු ඇය සතු විය.උස සිහින් හින්දි නිලියකගේ බඳු සිරුරක් තිබූ ඇය සතු වූයේ විනිවිද දැකිය හැකි දෙනෙතකි .එම ඇස් වල යම් කාන්දම් බලයක් තිබූ බව නම් සත්‍යයකි.එදා අප වෙන් වූයේ නැවත හමුවීමට දිනයක් යොදාගනිමිනි. එතෙක් වෙනත ගැහැණියකගෙන් අත් නොවිඳි ස්ථාවර බවක් සුභා වෙතින් මට දැනිණි.ඇය හා එක්ව දුර ගමනක් යාමට හැකි වෙතැයි මා හට ඒත්තු ගියේ ඇය හමුවී මාස තුනක් ඉක්මීමටද මත්තෙනි. විවාහයෙන් පසුව මම මගේ රැකියාවේ සහ සිතුවම් ඇඳීමේ කටයුතු වලද සුභා ඇගේ අධ්‍යාපන කටයුතු වලද නියැලුණු බැවින් එකිනෙකා ඇසුරේ ගෙවීමට කාලයක් නොතිබූ තරම්ය.බොහෝවිට මා නිවසට පැමිණෙන විට සුභා නින්දට ගොස් හෝරා කිහිපයක්ම ඉක්මගොස්ය.එකල අප විසූවේ දෙමව්පියන් හා මහ ගෙදරමය.සුභා සහ මගේ මව අතර තිබුණේ මවක හා දුවක අතර තිබෙන්නාක් වැනි බැඳීමකි.අප දෙදෙනා අතර ඇතිවන මත ගැටුම් වලදී මගේ මව එයට ඇතුළත් වී සුභාගේ පස ගැනීම නොරිස්සුවේ මාය.එබැවින් අපටම කියා නිවසක් තනාගෙන වෙන්ව යාමට ඉක්මන් වූණේ මටමය. ඣ නව නිවසට පැමිණ වසරක් ඉක්ම යෑමටත් පෙර පුතකු ලැබුණේ සුභාගේ සිහින සැබෑ කරමිනි. අප අතර තිබූ නොගැලපීම් අඬදබර බවට පෙරලුනෙත් ඔය කාලයේදීමය.පියාගේ අභාවයෙන් පසුව දේපල පාලනය මවගේ අතට පත්විය. ඉන් පසු මට ලැබිය යුතු ආදායම ලැබුණේ සුභාගේ අතටය. වියදමට අවශ්‍ය මුදල මම සුභාගෙන් ලබාගත යුතු විය.එය මවගේ තීරණය විය.බොහෝ හිත් රිදවීම් වලට මුල වූයේ එයයි.සුභා පැවසූවේ මම මුදල් පාලනයෙන් තොරව සුරාවට හා කාන්තාවන්ට වියදම් කරන බවයි. රැකියාවෙන් ඉවත් වූ මා පූර්ණ කාලීනව සිතුවම හා එක්විය.ඉංදියාවේ වසරක පමණ කාලයක් ගතකල මම එහිදී විවිධ ආගම් හා ඇදහිලි ක්‍රම සොයමින් ආශ්‍රමයකින් ආශ්‍රමයකට යමින් ගතකළේ යෝගී දිවියකි.ඒ කාල පරාසයේදී එකදු සිතුවමක් හෝ නොඇඳි මම දිගු කාලීන චිත්ත විවේකයක් ලබාගත් අතර නැවත ලංකාවට එන විට සියල්ල වෙනස්වී තිබිණි.සුභා තමාගෙම ගොඩනැගිලි තැනීමේ සමාගමක් ආරම්භ කර තිබුණු අතර රැකියාවේද යෙදෙමින් එය පවත්වාගෙන ගියාය.ඒ අතරම මවක ලෙස ඉටුවිය යුතු සියලු වගකීම්ද නොපිරිහෙලා ඉටුකලාය. නැවත නිවසට පැමිණි පසුව අප අතර වචනයක් හුවමාරු වූයේ අත්‍යාවශ්‍යයම දෙයකට පමණි.අමනාපයක් හෝ හිත් රිදවීමක් නොවූවත් අපි අපටම අමුත්තන් විය.වෙන් නොවූවත් විවාහය කියා යමක් තවදුරටත් අප අතර පැවතියේ නැත.එතෙර සංචාර කීපයකට ආරාධනා ලැබුණේ ඔය අතරය.මා ඒ සඳහා පිටව ගියේ සුභාට යන තැනක් හෝ එන දිනක් පිළිබඳව නොදන්වාය .එම ගමන පිටත්වීමට පෙර මගේ මව හමුවීමට ගිය විට ඇය පැවසුවේ " දේපල සේරම සුභාගෙන් පස්සේ පුතාට අයිති වෙන විදියට ලියනවා උඹට කිසිම දෙයක් දෙන්නේ නෑ " යනුවෙනි. මවගේ අභාවය පිළිබඳව මා දැනගත්තේ පැරීසියේ සිටියදීය.ඒ වන විටද මරණය සිදුවී මාසයක් පමණ ඉක්ම ගොස්ය.ඇය කී ලෙසටම සියල්ල මාහට අහිමි කර තිබූ බව දැනගත්තේ පසු කළක ලංකාවට පැමිණි විටය. මේ වකවානුව තුලදී කතා කිරීමට හෝ කිසිදු බලපෑමක් කිරීමට සුභා තැත් නොකලාය .හදිසියේ මිතුරකු හමුවී දැනගත් තොරතුරු අනුව සුභා රැකියාවෙන් ඉවත්වී සාර්ථකව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය අතර අධ්‍යාපන කටයුතු හමාර කළ පුතුද එයට එක්වී සිටියේය. ඒ දීර්ඝ වසර ගණන පුරා මාද තනිව සිටියා යැයි කිව නොහැකි අතර විවිධ ගැහැණුන් ජීවිතයේ යම් යම් පරිච්ඡේද අත්පත් කරගෙන සිටියහ.නමුත් කිසිවකු වෙත දීර්ඝ කාලීනව බැඳී සිටීමේ නොහැකියාව මා උපතින්ම ගෙනා දෙයකැයි සිතෙන තරමටම ඒ සියල්ලන් වෙතින් හිටි හැටියේ පලා ගියේ මාය.අදටත් හදවතින් මා හා ආලයෙන් බැඳුණු ගැහැණු කොහේ හෝ සිටිනු ඇත. දැඩි ලෙස රෝගාතුර වන විට මා සිටියේ චීනයේය.ස්නායු ආබාධයක් වැළඳුණු මා ඇඳටම සීමාවිය.මිතුරන්ගේ උපකාරයෙන් ඒ තත්වයෙන් මිදුනත් නැවත පින්සලක් ඇල්ලීමට නොහැකි තත්වයට අත් දෙකේ වෙව්ලිල්ල දිගටම පැවතිනි.දරුණු ශීත කාලයකටද හසුවී ගෙවු ඒ අසරණ දවස් අවසානයේදි මා හිත හදාගත්තේ නැවත ලංකාවට ඒමටය. මා නැවත පැමිණෙන විට පුතු විවාහ වී වෙනත් නිවසක පදිංචියට ගොස් සිටි අතර නිවසේ සිටියේ සුභා පමණි. නැවත පැමිණීමෙන් පසුව මට ලැබුණේ තනි කාමරයකි.දහවල කාන්සියෙන් ගතකරන මා සුභා එනතුරු බලාහිටියේ වදනක් හෝ කතාකිරීමටය.නමුත් රෑ බෝවී නිවසට එන සුභා පාඩුවේ තම වැඩපලෙහි යෙදුනාය.නමුත් මට අවශ්‍ය කෑම බීම ,බෙහෙත් මෙන්ම ඇඳුම් පැළඳුම් ද ගෙනත් තැබුවාය.රාත්‍රියට ආහාර නොගන්නා සුභා මා ආ පසුව මා වෙනුවෙන්ම රාත්‍රී ආහාරයද පිසුවාය. ඉඳහිට හමුවූ පුතුට නම් මා අමුත්තකුම විය.නමුත් කිසිවිටක මගේ හිත නොරිදවූ ඔහු මා හා කතාබහ කලේය. දහවල කාන්සියෙන් ගෙවූ මා නගරයට යාමට හුරු වූයේ ඔය අතරය.ආදායමක් නොවූ මා අත එතරම් මුදල් ගැවසුනේද නැත.ඉතිරිකරගත් මුදලක්ද මා සතුව නොවිණි.සුභා මාසිකව යම් මුදලක් මගේ ගිණුමට බැර කළ නමුත් අරපිරිමැස්මක් නොදත් මා අතින් මාසයේ බාගයක් ගෙවීමටත් පෙර ඒ මුදල අවසන් විය.හවසට අවන්හලට යාමත් ඇත් නොහළ හැකි පුරුද්දක් විය.මගේ රෝගයට මත් පැන් අගුණ වූ බැවින් ගිණුමට මුදල් තැම්පත් කිරීමේදී ඒ පිළිබඳවද සුභා සැලකිලිමත් වූවා විය හැක. දහවල හංදිය පැත්තට යන මට උණුවෙන් යමක් කන්නට හිතෙන බැවින් කවුරුත් යන එන බත් කඩයකට යාමට හුරු විය.එය පවත්වාගෙන ගියේ මැදි විය ඉක්මවූ නමුත් හැඩකාර සිරුරක් හා හොඳ ජවයක් තිබූ ජයන්තිය.වසර ගණනක් එතෙර රැකියාව කර පැමිණ සිටි ඇය සැමියාගෙන් වෙන්ව තනිව බත් කඩය පවත්වාගෙන ගිය අතර දූ දරුවන්ද විවාහ වී වෙන්ව සිටියහ. කලක් යන විට මම බත් කඩයේ නිත්‍ය ගණුදෙනු කරුවකු විය.වෙනත් අයට නොදෙන කටගැස්මක් රස කැවිල්ලක් ජයන්තී මා වෙනුවෙන් වෙන්කර තැබුවාය.අඳුරත් සමග ගෙට ගොඩවදින සුභා මා අතවත් නොතැබූ කෑම කණු භාජනයට හලා පසුදා උදෑසනද නැවත කෑම පිලියෙලකර තැබුවාය. කලක් යන විට රාත්‍රියටත් නිවසට යාමේ උවමනාවක් මා හට නොවූයේ විටින් විට රැගෙන ආ ඇඳුම් සහ වෙනත් අවශ්‍ය දේවල් කඩය පිටුපස කුඩා ගේ කොටසේ තබා තිබීම හේතුවෙනි.එබැවින් ඇතැම් දිනවල මා නිවසට නොගොස් ජයන්තී සමග ඇගේ නිවසේම නැවතුන අතර මේ පිළිබඳව කිසිවක් සුභා නොවිමසූ නමුත් ඇය සියල්ල දැන සිටි බව නොරහසකි.අවසන මා ජයන්තීගේ නිවසේම නැවතුනත් මේ කිසිවකින් සුභා සැලුනේ නැත . සුභා සුපුරුදු ලෙසම මාස් පතා මුදල් ගිණුමේ තැම්පත් කළාය. ජයන්තිගේ පුතු මතට ඇබ්බැහි වූවෙකි.ඔහුගේ තාඩන පීඩන ඉවසිය නොහැකි තැන දරු තිදෙනාද අතහැර බිරිඳ වෙනකෙකු හා පලා ගියේ මේ අතරය.පුතු දරුවන් සමගින් ජයන්තිගේ නිවසේ පදිංචියට ආ අතර එහි තිබූ නිස්කාන්සුව මට අහිමි විය.රෑට මත්වී පැමිණෙන පුතු මුදල් ඉල්ලා මව සමග බහින්බස්වීම හා දරුවන්ගේ කෑ කොස්සන් ගැසීම් වලින් නිවස යුධ පිටියක් බවට පත්විය. කොරෝනා සමයේ ඇතිවූ පසුබෑම හමුවේ මා පුතු සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය.යන්නම් කියා යෑමටවත් ඔහු නොපැමිණියේය.මේ සියල්ල හමුවේ නොසැලී හිඳීමේ ශක්තිය සුභා සතු විය.වදනකින් හෝ මා හට දොසක් වෙන අයකු සමගවත් නොපැවසුවාය. ජයන්තීගේ බත් කඩයද ක්‍රමයෙන් වැසී ගියේ ඒ පවුලේ බරද මා පිට පවරමිනි.මේ හේතුව නිසා බෙහෙත් ගැනීම මා අතින් අතපසු විය.නමුත් ජයන්තී පෙර පරිදිම මාහට සැලකුවාය.මේ අතර මා නැවතත් අසනීපවී ඔත්පල විය.ජීවිත ආසාව අතහැරගත් මොහොතක එහි පැමිණි සුභා මා රැගෙන ගියේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලකටය .එහි නවත්වා ළඟ හිඳ ඇප උපස්ථාන කොට සුවවූ පසුව නැවත ජයන්තීගේ නිවසටම ඇරලුවාය . එතැන් සිට මට අවශ්‍ය බේත් හේත් කිසිවකු හෝ අත මාස් පතා එවුවාය.අදාල දිනට මා රැගෙන ගොස් වෛද්‍යවරුන්ට පෙන්නුවාය.නමුත් අදාල දෙය හැර වෙනත් ඇයි හොඳයියක් මා සමග නොපැවැත්තුවාය.එමෙන්ම කිසිදු විටක ජයන්ති කෙනෙකු සිටින බවක් වත් දැන සිටින බවක් පලනොකලාය. දෙමසකට පමණ පෙර උදෑසනක සුභා පැමිණ නිවසේ යතුර මා අත තබා පැවසුවේ මද කලක් පුතු හා විසීමට ඕස්ට්‍රේලියාවට යන බවකි.හැකි නම් තමා එන තුරු නිවසේ රැඳී සිටින ලෙස ඇය මගෙන් ඉල්ලුවාය .සැබවින්ම ඒ වන විට ජයන්තිගේ නිවසේ විසීම මා වෙහෙසට පත්කර තිබිණි. නැවත නිවසට පැමිණි විට මට අදහාගත නොහැකි වුයේ සුභා යනු කුමන ආකාරයක ගැහැණියක්ද යන්නය.ඇය ගිය පසුව ජයන්තී හා දරුවන් මෙහි පැමිණෙන බව දැන දැනම ඇය සියළු දේ මට පහසුවන ආකාරයටම සකසා ගොස් ඇත.ඒ අතරම නියමිත මුදල මගේ ගිණුමට බැර කළාය.සියළු බිල්පත් ගෙවා දැමුවාය.සතිපතා අවශ්‍ය සියළු ද්‍රව්‍යය සුපිරි වෙළෙඳ සැලක් හරහා නිවසටම එවුවාය. කෝපි බී අනතුරුව සෝපාවේ ඇලවුණු මාහට එහිම නින්ද ගොස් තිබිණි.මා පිබිදුනේ සීනුවක් වදිනා හඬිනි.ජයන්තී පැමිණ ඇතැයි සිතුවත් ඒ වන විටද හාත්පස පැතිර තිබුණේ තද අඳුරකි. " තවම එළි වෙලත් නැහැ " ඒ හඬා තිබුනේ නිවසේ දුරකථනයයි.මා මේ නිවසට පැමිණියාට පසුවම එය හඬා නැත. රිසිවරය කනේ තබාගත්තේ " සුභා වෙන්න ඇති" සිතමිනි . " තාත්තේ " ඒ පුතුය.මතක ඇති කාලයකින් " තාත්තේ " යැයි අමතා නැති පුතුය. ඒ හඬේ ඇත්තේ හැඬුම්බර බවෙකි. " තාත්තේ අම්මා ගියා යන්නම ගියා " ඔහු ළදරුවකූ සේ ඉකිබිඳී මා සිටියේ ගල්වූවකු ලෙසය. " හාට් ඇටෑක් එකක් කාලයක් තිස්සෙම තිබිලා තියනවා. බෙහෙතුත් අරගෙන තියනවා. මටවත් කියලා නැහැ. මගේ ඇස් වලින් කඳුළු රූරා ගලනු දැනේ රිසිවරය අතහැරි මා පුටුවක ඉඳගත්තේ තවදුරටත් නැගිට සිටීමට වාරු නොතිබුණු බැවින්ය. තනිකම යනු කුමක්දැයි හරියටම වැටහෙන්නේ දැන්ය ෂර්මිලා බංදුනී දංවත්ත

සුභා | ෂර්මිලා බංදුනී දංවත්ත

සාලයේ ඇති බට්ටා පැද්දෙන ඔරලෝසුවේ පාන්දර දෙක වැදුනේ මීට සුළු මොහොතකට පෙරය.බැඳපු අළුත පරණ බඩු කඩ පීරමින් නව නිවසට ගෘහ භාණ්ඩ සොයනා කාලයේ සුභාගේ වුවමනාවට තෝරාගත් ඔරලෝසුව මේ නිවසේ පදිංචියට විත් වසර තිස් පහක් පමණ වේ. දීර්ඝ ග්‍රීශ්ම සමයක් නිමා කරමින් හවස් වරුවේ ඇරඹි වැස්ස දැන් සිහින් පොද වැස්සක් බවට පත්වී ඇත.වැසි ඇදහැලෙන විට දොර…

Read More
ඊයේ රෑ සිහිනෙන් මියගිය මම භග්නාශා රෙදිකඩින් ඔතාගෙන මළකඳ උසුලා සොහොනට ගෙන ගොස් මගෙම අතින් වළ කැණ වැළලුයෙමි ඉන් පසු වළ මත දෙදණ ඔබාගෙන මමම මගේ මළගමට හැඬූයෙමි මගේ කඳුළුවල පොහොර ලබාගෙන මිනීවළෙන් මල් පැළයක් මතු විය වසර සියයකට පසු මා නැවතත් මගේ මිනිය ඇති සොහොනට ගිය විට ඒ මල් පැළයෙහි සුදු මල් පොකුරක් පිපී සුවඳ විහිදුවමින් පැවතිණ එහෙත් මලින් ආ සුවඳ විඳින්නට පිනක් නොමැත දුක සේ මියගිය මට සදාකාලයේ නින්ද විසින් මා ඉඳුරන් හකුළා නිදි කරවා ඇත. ව්‍යංග්‍යා | මහගම සේකර

ව්‍යංග්‍යා | මහගම සේකර

ඊයේ රෑ සිහිනෙන් මියගිය මම භග්නාශා රෙදිකඩින් ඔතාගෙන මළකඳ උසුලා සොහොනට ගෙන ගොස් මගෙම අතින් වළ කැණ වැළලුයෙමි ඉන් පසු වළ මත දෙදණ ඔබාගෙන මමම මගේ මළගමට හැඬූයෙමි මගේ කඳුළුවල පොහොර ලබාගෙන මිනීවළෙන් මල් පැළයක් මතු විය වසර සියයකට පසු මා නැවතත් මගේ මිනිය ඇති සොහොනට ගිය විට ඒ මල් පැළයෙහි සුදු මල් පොකුරක් පිපී…

Read More
https://youtu.be/Ic1jeudWu-E?si=bkQ47cob3XCYU52W

ඇත්ගාලේ දරුපෙම | චන්ද්‍රරත්න මානවසිංහ

මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමල දෙන්නෙකු වට කරලා ඇඟ පත තැළිලා රිදෙනව ඇතිනේ කොච්චර ගැහුවද බැඳ දමලා දෙපා සතාගේ ළඟ කා බී ගෙන සිටියම ගතිගුණ වෙනස් වෙලා මාමල ඔහොමයි උන්ගේ බහටම හැරනව නෑකම අත් හැරලා අම්මල කන කොට වතුර නාන කොට තිප්පලෙ නිදියන කොට වැටිලා කැලේ මාමලා ඉඩ දී අයිනට වෙලා ඉන්නවා නොවැ රැකලා මිනිහයි…

Read More
පෙන්වා මට ඔබගෙ පිළිරුව නිසල අහසක වලා රැල්ලක ඇසේවා මට ඔබගෙ කටහඬ නිසල වී ලොව හිඳින මොහොතක මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ ගුණ ගැයෙන දවසට මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ වෙත ළඟාවන විට යළිත් ඔබ වෙත සොයා එනවිට දයා පිරි ඔබේ දෑසින් සතුටු කඳුළක් ලැබේවා මට - මහගම සේකර නොපළ ගීත

මහගම සේකර නොපළ ගීත

පෙන්වා මට ඔබගෙ පිළිරුව නිසල අහසක වලා රැල්ලක ඇසේවා මට ඔබගෙ කටහඬ නිසල වී ලොව හිඳින මොහොතක මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ ගුණ ගැයෙන දවසට මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ වෙත ළඟාවන විට යළිත් ඔබ වෙත සොයා එනවිට දයා පිරි ඔබේ දෑසින් සතුටු කඳුළක් ලැබේවා මට – මහගම සේකර නොපළ ගීත

Read More
හිමි ඔබ සයුර මැද රුදු සටනකය රැයේ පොල් අතු පැලේ මම තනියම වෙසෙමි බියේ ඇතමුත් හුරු පුරුදු එඩිතර ගතිය ළයේ තරමක සැකයකිනි ඔබ අද සවස ගියේ අහසේ අදුරු වැහි කළු නගින කොට සුළගේ වෙනස මෙහි ගහකොළ කියන කොට ගෙරවිලි සහිත විදුලිය හඩ ඇසෙන කොට හිමියනි මගේ හිත වාවනු බැරිය මට හබලට ඔබේ සවිබල අත රිදෙනවද ඔරු කද උඩින් දළ රළ පෙල නගිනවද සීතල සුළග රළුවට ඇග වදිනවද හිමියනි වෙහෙස නිදිමත දෙක දැනෙනවද ගොඩ බිම කොහෙද නැති මහ මුහුදෙහි ඇත හිමි ඇත වෙහෙසෙමින් වෙහෙසී ඇත දෑත ඔබ නැති නිසා හිමියනි මේ ළග පාත සුළගේ මැකී යයි මගේ දුක්මුසු ගීත එළියක් පෙනෙන විට හිමියනි වෙරළ බඩ නැතහොත් දැනෙනවිට ඔරුවක ඇදෙන හඩ දෙසවන වැටෙන විට කිසිවෙකු නගන හඩ මා නො දැනුවත්වම මම මගෙ දෙපය උඩ වැහි පොද මගේ හිමිගේ හිස නො වැටේවා මේ රුදු සුළන් රැළි රැළ පිට නොගැටේවා පැද යන ඔරුව වෙත මසු කැල දැවටේවා ලන ඇම ගිලින තරමට උන් රැවටේවා ඔබ එනතුරා නැත මගේ සිත සැනසෙන්නේ මා ගැන නොවෙද හිමි මේ හැම වෙහෙසෙන්නේ සවස යාමටයි ඔබ උදයට එන්නේ මෙහෙමද ජීවිතේ දිගටම ගත වෙන්නේ ඔබ මහ මූද මැද තනියම වෙසෙන කල සිහියට නැගෙනු ඇත මෙහි මා නිදන පැල හිමියනි ඔබට මගෙ හදවත මිහිරි කළ සැනසුම තිබේ මේ පොල් අතු කුටිය තුළ කේයස් (සාගර පලන්සූරිය )

ධීවරී ගීතය | සාගර පලන්සූරිය

හිමි ඔබ සයුර මැද රුදු සටනකය රැයේ පොල් අතු පැලේ මම තනියම වෙසෙමි බියේ ඇතමුත් හුරු පුරුදු එඩිතර ගතිය ළයේ තරමක සැකයකිනි ඔබ අද සවස ගියේ අහසේ අදුරු වැහි කළු නගින කොට සුළගේ වෙනස මෙහි ගහකොළ කියන කොට ගෙරවිලි සහිත විදුලිය හඩ ඇසෙන කොට හිමියනි මගේ හිත වාවනු බැරිය මට හබලට ඔබේ සවිබල අත රිදෙනවද…

Read More
ජිමුත් ඉඳුසර රත්නායක 21 වැනි සියවසේ හොඳම චිත්‍රපටය පිළිබඳ නැවත හැරී බැලීමක් ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් 21 වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට 100 ය නම් නම් කරලා තිබුණා. ඇතැම් චිත්‍රපට සහ ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ විශිෂ්ට සිනමා කෘති මග හැරලා සකස් වුණු මේ ලැයිස්තුව ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් තිබුණෙ නැති වුණත් ඒ ලැයිස්තුවේ තිබුණු සමහර චිත්‍රපට ඇත්ත වශයෙන් ම හොඳ චිත්‍රපට විදිහට කිසිම විවාදයක් නැතිව සලකන්න පුළුවන් විදිහෙ චිත්‍රපට විදිහටයි මම දකින්නෙ. ඒ චිත්‍රපට 100 අතරින් පළමු ස්ථානය හිමිවෙලා තිබුණෙ සුප්‍රසිද්ධ දකුණු කොරියානු අධ්‍යක්ෂ Bong Joon Ho ගේ Parasite චිත්‍රපටයට. Parasite කියන්නෙ මම පෞද්ගලිකව ඉතාම කැමති චිත්‍රපටයක්. නිව්යෝක් ටයිමිස් කියන විදිහට 21 වන සියවසේ හොඳම චිත්‍රපටය Parasite කියනවාට එකඟ නැති වුණත් Parasite ඇතුළෙ දකින්න පුළුවන් සිනමාත්මක හා කතා සන්දර්භ ම ය මායාව මග හැරලා අපට ගමන් කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ. විශේෂයෙන් ලංකාවේ සිනමාකරුවන් අමතක කරන කතා කීමේ කලාව (Storytelling) Bong Joon Ho ගේ සිනමාව ඇතුළෙ ඔහු ස්ථානගත කරන ආකාරයත්, වඩාත් විශාල හා විවිධ මට්ටමේ ගෝලීය ප්‍රේක්ෂකාගාරයක් වෙත චිත්‍රපටය සන්නිවේදනය කිරීමේ දී ඔහුගේ චිත්‍රපට භාෂාව දක්වන චමත්කාරයත් අපි ග්‍රහණය කර ගත යුතු බවයි මගේ අදහස. චිත්‍රපටය මූලික වශයෙන් සකස් වෙන්නෙ අතිශය ධනවත් සහ අතිශය දුගී පවුල් ද්විත්වයක ක්‍රියාකාරකම් සහ ඒ පවුල් එකිනෙකට සම්බන්ධ වන ආකාරයත් එක්ක. මේ චිත්‍රපටයේ නම වන Parasite හි සිංහල තේරුම වන “පරපෝෂිතයා” කවු ද ? සාමාන්‍යයෙන් සමාජවාදීන්ට අනුව ධනවාදී සමාජක්‍රමයක් තුළ නිර්ධන පන්තියේ ශ්‍රමය සූරාකෑමට ලක්කරමින් උසස් ජීවන තත්ත්වයක් ගත කරන පරපෝෂිතයා බවට පත් වන්නේ ධනපති පන්තිය. නමුත් මේ චිත්‍රපටයේ කතා සාරය සහමුලින් ම ඊට ප්‍රතිපක්ෂව දුප්පත් නිර්ධන පවුල විසින් ධනපති පවුල සූරා කන පරපෝෂිතයන් පවට පත්වන ආකාරය අපට දැකගත හැකියි. එහි අර්ථය ධනපති පවුල විසින් දුප්පත් පවුල සූරා කන්නේ නැහැ කියන එක නෙවෙයි. ඔවුනුත් පරපෝෂිතයන් බවට පත් වනවා. මේ නිසා කවුද මේ පරපෝෂිතයන් කියන ගැටලුව චිත්‍රපටය තුළ විසඳගන්න අපට හැකි වන්නේ නැහැ. මෙහි සියල්ලන්ම පරපෝෂිතයන් බවට පත් වනවා. මේ පවුල් දෙකට අමතර තවත් පවුලක් මේ චිත්‍රපටයේ මැද දී එක් වන විදිහ අපට දැකගන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ඉරණමත් අර ඉරණමෙන් වෙනස් වන්නේ නැහැ. ඔවුනුත් පරපෝෂිතයන් ලෙස හා සූරාකෑමට ලක්වන අයවලුන් ලෙස චිත්‍රපටය තුළ ස්ථානගත වෙන විදිහ අපට දැකබලාගන්න පුළුවන්. Parasite චිත්‍රපටය තුළ අපට දකින්න ලැබෙන කතා කීමේ කලාව ඒ තරම් ගැඹුරු හෝ අති සංකීර්ණව ගොඩනැගෙන්නේ නැහැ. Bong Joon Ho සාමාන්‍යයෙන් භාවිතා කරන ළමයින්ට කතා කීමට භාවිතා කරන සංයමයෙන් යුතු සරල කතා රාමුවක තමයි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ. චිත්‍රපටය පටන්ගැනීමේ සිට අවසානය දක්වා ම විහිදෙන මේ සරල Storytelling ආකෘතිය සහ යොදාගනු ලබන වර්ණ සංකලනය ඇසට ප්‍රිය උපදවන ආකාරයෙන් නිර්මාණය වී තිබීම සිනමාපටය වෙත ප්‍රේක්ෂකයා අලවා තබාගන්න සමත් වෙනවා. මම හිතන්නෙ ගෝලීය වශයෙන් නිර්මාණය වෙ. ප්‍රේක්ෂකාගාරය රඳවා තබා ගැනීම සහ සිනමාව මඟින් හෙළි කරන යථාර්ථයේ ගැඹුර කියන ගුණාංග දෙකම නිර්මාණයක රැඳවෙන දුර්ලභ අවස්ථාවක් විදිහට මේ සිනමාපටය අපිට දැකගන්න පුළුවන්‍. ඒකට ප්‍රධානතම හේතුව පෙර දී මම සඳහන් කළ කතා කීමේ කලාවේ සරල හා ගතික බව කියලයි මම විශ්වාස කරන්නෙ. මේ චිත්‍රපටයේ අනෙක් වැදගත් ම ලක්ෂණයක් තමයි, මේ චිත්‍රපටය බොහොම සමාන්තරව හා ස්වාභාවික ලෙස comedy, mystery, thriller, murder කියන ශානර ගණනාවක් ඔස්සේ ගමන් කරන එක. ඒක මේ සිනමා භාෂාව ඇතුළෙ ඉතා ම ස්වභාවිකව ඒ කියන්නෙ ඇඟට පතට නොදැනී සිදුවීම මත ම තමයි මේ සිනමාපටයේ සිනමා චමත්කාරය ගොඩනැංවෙන්නෙත්. Bong Joon Ho අවධානය යොමු කරන්නේ දකුණු කොරියානු සමාජයේ පවතින පන්ති වෙනස හරහා මතුවන සමාජ ඛේදවාචකයට. නමුත් ඔහු ඒ සමාජ ඛේදවාචකය ඉදිරිපත් කරන්නෙ අඳුරු ප්‍රහසනයක් විදිහට. මේ අඳුරු ප්‍රහසනය එහෙමත් නැත්නම් Black comedy එක ඇතුළෙ පවතින්න Bong Joon Ho යෝජනා කරන ගමන්ම සංකේතීමය විදිහට සිනමාපටය පුරා ම මෙම පන්ති බෙදීමේ අවුල ගැන අපට ඉඟි සපයනවා. විශේෂයෙන් ධනවත් පවුල වඩාත් ආලෝකමත් සන්දර්භයක දැක්වීමත් දුප්පත් පවුල අඳුරු සන්දර්භයක දැක්වීමත් මේ විදිහෙ සංකේතාත්මක භාවිතයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ සිනමා පටයේ ඉතාම සංකේතීමය භාවිතය තමයි මේ සඳහා භාවිතා කරන ගෘහ නිර්මාණ. සිනමාපටයේ පඩිපෙල් හා නිවස සකස් කරලා තියෙන්නෙ අතිශය සංකේතාත්මක අදහසක් කුළුගැන්වෙන විදිහට. උදාහරණයක් විදිහට මේ සිනමාපටයේ අපට දැකගන්න පුළුවන් වර්ෂා අවස්ථාවක්. ඒකෙදි සිද්ධවෙනවා. වේගවත් පඩිපෙල බැසීමක්. මේ පඩිපෙල බැසීම හරහා සමාජ පන්ති වෙනස ඉතා ම දක්ෂ හා පැහැදිලි ලෙස වෙන් කරලා පෙන්වන විදිහ අපිට දැකගන්න පුළුවන්. ඒත් එක්කම ඒ වර්ෂාව සමාජ පන්ති දෙක සඳහා කරන බලපෑමත්, ඒ වර්ෂාවේ දී ඔවුන්ගේ හැසිරීමත් බෙදීම සම්බන්ධ කතිකාව ඉතාම පුළුල් විදිහට අපට පෙන්වන්න සමර්ථ වනවා. මෙම චිත්‍රපටයේ සමාජ පන්ති අතර ලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින ස්ථාවරය හා ඔවුන් ලිංගිකත්වය නම් පොදු කරුණ තුළ හැසිරෙන සීමාව පිළිබඳවත් අපට බොහොම සූක්ෂම විදිහට ඉදිරිපත් කරන්න Bong Joon Ho සමත් වනවා. මේ චිත්‍රපටය ඇතුළෙ නිර්මාණය වෙලා තියෙන හැම දෙයක් ම හැම දෙබසක් ම ඉතා ම අරපරිස්සමෙන් අවසානය දක්වා කතාව සමඟ බද්ධ කරන විදිහ විශිෂ්ට සිනමා තිර රචනයක අවශ්‍යතාවය සිනමා නිර්මාණයක සාර්ථකත්වය සඳහා කොතරම් දුරට බලපානවා ද කියන කාරණය අපට කුළුගන්වනවා. සෑම චරිතයක්ම, සෑම සිදුවීමක් ම අවසාන ප්‍රතිඵලය හා ඒකාත්මික වන සරල ගලායෑමකට ලඝු කරන ලද අතිශය සංකීර්ණ කතා පුවතක් රැගත් Parasite චිත්‍රපටය රංගනය, සංගීතය ඇතුළු අනෙකුත් අංක වගේ ම සිනමාකරණය ද තමන්ගේ කතාව හා අති දක්ෂ ලෙස ගොනුගත කරන ආකාරය පුදුමය උපදවන සුළුයි. ඒ පුදුමය ම Parasite මේ තරම් සම්මානිත හා ජන ආකර්ෂණීය මාවතක ගෙන එන්නට ඇති බවයි මගේ විශ්වාසය. ශ්‍රී ලංකාවේ සමාජය තුළ පවතින ප්‍රහසනය මීට වඩා දරුණු හා රළු මාවතකයි ගමන් කරන්නෙ. හැබැයි ඒක සිනමාව වෙත පැමිණෙන්නෙ ඉතා ම අඩුවෙන්. ඊටත් වඩා අපි විශ්වාස කරන්නෙ සාර්ථක නිර්මාණයක පැවතිය යුත්තේ සංකීර්ණ කතාවක් එක්ක මිශ්‍රිත අවර්ණ හා දුර්වර්ණ වර්ණ සංකලනයක් කියන සාම්ප්‍රදායික මතය. නමුත් ලෝක සිනමාව වර්තමානය වන විට ඊට වඩා වෙනත් මාවතකට එළැඹ තියෙන ආකාරය අපිට දැකගන්න පුළුවන්. විශේෂයෙන් ම ඇමෙරිකාව මුල් කරගත් ආධිපත්‍යය බිඳ වට්ටම මෙවැනි නිර්මාණ ලෝකය විසින් වැළඳ ගැනීමත්, සෑම සමාජයක ම පොදුවේ දක්නට ලැබෙන යථාර්ථය තමන්ගේ හැඩයකට ගොනු කිරීමේ නිර්මාණාත්මක දක්ෂතාවත් සහිත ලෝක සිනමාවක් අපට මෑත කාලීන ලෝක සිනමාව අධ්‍යයනයේ දී දැක ගන්න පුළුවන් වනවා.

21 වැනි සියවසේ හොඳම චිත්‍රපටය පිළිබඳ නැවත හැරී බැලීමක්

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් 21 වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට 100 ය නම් නම් කරලා තිබුණා. ඇතැම් චිත්‍රපට සහ ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ විශිෂ්ට සිනමා කෘති මග හැරලා සකස් වුණු මේ ලැයිස්තුව ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් තිබුණෙ නැති වුණත් ඒ ලැයිස්තුවේ තිබුණු සමහර චිත්‍රපට ඇත්ත වශයෙන් ම හොඳ…

Read More
"ප්‍රේමයට, ප්‍රේමය තුළම පරිසමාප්තියට පත් වීම මිස අන් අභිලාෂයක් නොපවතී. එනමුත්, ඔබගේ ප්‍රේමය තුළ ආශාවන් පවත්නේ නම්, මේවා ඔබේ ඒ ආශාවන් වන්නට ඉඩ හරින්න: රාත්‍රියේ ස්වකීය තනුව වයන ගලා බසින දිය දහරාවක සේ තමාව දිය කොට ගැනීමත්, අත්‍යන්ත සංවේදීතාවයේ වේදනාව විඳීමත්, ප්‍රේමය යනු කුමක්ද යන්න පිළිබඳ ඔබේම වටහාගැන්ම තුළ ආත්මය පළුඳු කොට ගනිමින් ස්වකැමැත්තෙන් මෙන්ම ආහලාදය මුසු හැඟීමෙන් ඉන් රුහිරු ගලා යෑමට ඉඩ හැරීමත්, ආදරණීයත්වයේ තවත් නවමු දිනක් උදෙසා තුති පුදමින්, පියාපත් ලද හදවතක් දරා ගත්තෙකු හා සදිසිව අරුණෝදාවෙහි අවදිවීමත්, ගිම් නිවන සන්ධ්‍යා හෝරාවෙහි ප්‍රේමයේ ප්‍රමෝදය තුළ දැහැන්ගත වීමත්, රැය උදාවත්ම කෘතඥතාවයේ හැඟීම පෙරදැරිව නිවහන වෙත එළැඹ, ඔබේ හදවත ගත් ප්‍රේමවන්තිය උදෙසා සිදු කරන සුබ ප්‍රාර්ථනාවක් සහ දෙතොලට නඟාගත් ප්‍රශස්ති ගීයත් හා සමඟින් යහන වෙත යෑමත්, ඔබේ ප්‍රේමයේ සකලවිධ ආශාවන් වන්නට ඉඩ හරින්න." ඛලීල් ජිබ්රාන් . Love has no other desire but to fulfil itself. But if you love and must needs have desires, let these be your desires: To melt and be like a running brook that sings its melody to the night. To know the pain of too much tenderness. To be wounded by your own understanding of love; And to bleed willingly and joyfully. To wake at dawn with a winged heart and give thanks for another day of loving; To rest at the noon hour and meditate love’s ecstasy; To return home at eventide with gratitude; And then to sleep with a prayer for the beloved in your heart and a song of praise upon your lips. The Prophet Kahlil Gibran

The Prophet | ඛලීල් ජිබ්රාන්

“ප්‍රේමයට, ප්‍රේමය තුළම පරිසමාප්තියට පත් වීම මිස අන් අභිලාෂයක් නොපවතී. එනමුත්, ඔබගේ ප්‍රේමය තුළ ආශාවන් පවත්නේ නම්, මේවා ඔබේ ඒ ආශාවන් වන්නට ඉඩ හරින්න: රාත්‍රියේ ස්වකීය තනුව වයන ගලා බසින දිය දහරාවක සේ තමාව දිය කොට ගැනීමත්, අත්‍යන්ත සංවේදීතාවයේ වේදනාව විඳීමත්, ප්‍රේමය යනු කුමක්ද යන්න පිළිබඳ ඔබේම වටහාගැන්ම තුළ ආත්මය පළුඳු කොට ගනිමින් ස්වකැමැත්තෙන් මෙන්ම…

Read More
Back To Top