වchaන Admin

"ප්‍රේමයට කවි ලියා කුමටද" සෙනෙහසේ දොර වැසේ නම්...! ප්‍රේමයේ වසන්තයත් විරහවේ ගිම්හානයත් ස්වසන්තානයේ රඳවා ගෙන, මහා සාගරය සේ ගැඹුරක් දරන ජීවිත කතා කොතෙක් නම් මේ මහ පොළොව මත ඇත්ද? ඉන් ඇතැම් ඒවා ප්‍රේමයේ සුවයත් ඇතැම් ඒවා විරහවේ සුසුමත් එක ලෙස විඳින්නට සලස්වයි. එහි ඇති සෞන්දර්යය සොයා ගත්තවුන් පමණක් ඒ තුළ ඇති ගැඹුරු බව වටහා ගනියි. ගීතය සහ ප්‍රේමය අතර ඇති සංකලනයන් වර්තමානය සේම මතුවටත් අපූර්ව නිර්මාණ බිහි කිරීමට හේතු සාධක වනු ඇත. ඉතින්, එවන් වූ සෙනෙහසක් රැඳි ස්වර දැහැනකින් නිම වුණු, "ප්‍රේමයට කවි ලියා කුමටද?" ගීතය ජීවිතයට ප්‍රේමය නමින් එකතු වන අත්දැකීම් වලට ගැඹුරු සිරියාවක් එක් කරයි. මෙම ගීතය ප්‍රභාෂා නෙත්මිගේ සුමියුරු හඬින්, සමිද්ධ ආර්යසිංහගේ අර්ථාන්විත සහ සුගැඹුරු පද රචනයෙන් සහ දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීතයෙන් නිර්මාණය වූවකි. ප්‍රේමයට කවි ලියා කුමටද සෙනෙහසේ දොර වැසේ නම් රෑට අහසේ තාරුකා ඇයි අපේ ඇස් මඟහැරේ නම් ප්‍රේමය උදෙසා සෙනෙහසින් ගෙත්තම් කළ කවි බොහෝමය. ජීවිතේ චාරිකාව අතරතුර හදවත විවර කළ ස්නේහයේ දොරටු වැසේ නම් තවත් ප්‍රේමය උදෙසා කවි ලිවීමේ ඵලය කුමක්ද? ප්‍රේමයේ ආලෝකයෙන් දිලිසුණු අපේ දෑස් එකිනෙකාට මඟ හැරී ඇත්නම් මේ මැදියම් රැය පුරා නිවෙන දැල්වෙන තාරුකා එළි කුමට ද? මේ වචන සියල්ලගේම ගැබ් ව ඇත්තේ වේදනාත්මක සෞන්දර්යයකි. හිත රිදී නොරිදී යන ආකාරයෙන් වචන ගළපා තිබීම අපූර්වය. දෙතොලෙ නාදළු පැහැය කුමටද වතට සිනහව නොදේ නම් ළමැද ගෝමර පිපෙන්නේ ඇයි ගතින් දෙතැනක සිටී නම් මුවට සිනහව නොදේ නම් ඒ දොතොල් රත් පැහැ දිස්නෙ තිබී කුමටද? හදවතට ළං වී හිඳිනු බැරි නම් ඇයි ද මෙතරම් සුන්දර දේවල් මැවූයේ. විඳින්නට නොහැකි නම් ඇයි ද මේ හැඟීම් මෙතරම් සුන්දර? ගතින් දෙතැනක සිටින්නට නම් නුඹේ ළමැදේ ගෝමර පිපෙන්නේ ඇයි ද? කිසිදිනෙක ඔවුනොවුනට විඳින්නට නොහැකි ඒ සුන්දරම මොහොතවල් එකිනෙකින් ගළපා හදවතින් ප්‍රශ්න කරන්නේ විරහව තුළ ඇති ශාන්ත සුන්දරත්වයත් ගැඹුරු වේදනාවත් එකට මුසු කරමිනි. වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුව එදා ඉන්නකම් සෙනෙහස සෙවූ අපි කවියන්ට හමු නොවේවා නුඹ එක්ක ගෙවුණු හෝරාවන් පුරා වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුවෙන් මෙන් එදා සෙනෙහස සෙවූ අපි, අමතකව ගිය සිහිනයක් වැනිය. අපේ ප්‍රේමයත්, අපිවත් කිසිදාක කවියන්ට නම් හමු නොවිය යුතුය. එසේ කියන්නේ, අප සියොලඟම ප්‍රේමය නමින් සඟවා ගත් සියලු සිතුවිලි සහ මොහොතවල් ගැඹුරු කවියක් වන බව නිසැකයෙන් දන්නා නිසාවෙනි. අයිතියක් නැති සෙනෙහසක සෞන්දර්යය සොයා යන්නට සහ ප්‍රේමය නමින් හදවතේ ගෙත්තම් වන සිතුවිලි අතරේ හද පාරනා කාරණාවන් ද ඇති නමුත් ජීවිතයට මුසුවන ඒ දුක් දොම්නස් දෙස උපේක්ෂාවෙන් බලන්නට මෙම ගීතය සහෘද සැමට ඉඩ හසර සදා දී ඇත. ගීතයේ හඬ, වචන සහ සංගීත රටාවන් සියල්ල හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් ආස්වාදයක් ලබා දෙන අතරම මෙවන් නිවුණු සෞම්‍ය ගණයේ ගීතයන් ඉදිරියටත් ප්‍රේමය නමින් ලියැවීම සහ නිමැවීම සිදු විය යුත්තක් බව කිව යුතුය. ඉතින්, මෙය අයිතියක් කියනු නොහැකි වූ නමුත් අසීමිත ප්‍රේමයක් සිතෙහි දරා ගෙන කවියක් වී ගිය ප්‍රේමයන්ට ගී මල් කළඹක් වේවා! -නවෝද්‍යා ධනංජනී-

“ප්‍රේමයට කවි ලියා කුමටද” සෙනෙහසේ දොර වැසේ නම්…! 

ප්‍රේමයේ වසන්තයත් විරහවේ ගිම්හානයත් ස්වසන්තානයේ රඳවා ගෙන, මහා සාගරය සේ ගැඹුරක් දරන ජීවිත කතා කොතෙක් නම් මේ මහ පොළොව මත ඇත්ද? ඉන් ඇතැම් ඒවා ප්‍රේමයේ සුවයත් ඇතැම් ඒවා විරහවේ සුසුමත් එක ලෙස විඳින්නට සලස්වයි. එහි ඇති සෞන්දර්යය සොයා ගත්තවුන් පමණක් ඒ තුළ ඇති ගැඹුරු බව වටහා ගනියි.   ගීතය සහ ප්‍රේමය අතර ඇති සංකලනයන් වර්තමානය…

Read More
විකල්ප කොළඹ - මහ දූපතෙන් ඔබ්බට කෘතිය : කෘතීම දූපත් කර්තෘ : සුනේත්‍රා රාජකරුණානායක 'සිස්ටම් චේන්ජ් එකක්" යන්න පසුගිය වර්ශවලදී වඩ වඩාත් කියවූ වචන අතර තවත් එකකි. එය හුදු සාංකල්පීය අවශ්‍යතාවක් නොව එරට පුරවැසියා විසින් අත්පත් කරගත යුත්තක් යැයි බොහෝ මිනිසුන් විසින් සිතනු ලබයි. සෑම දෙනෙක් ම පාහේ මෙවැනි වෙනසක් අවශ්‍ය බව කියති. නමුත් ඒ අවශ්‍යතාව සපුරාලීම සඳහා අප කුමන මාවතක ගමන් කළ යුතුද, එය දන්නේ කවුරුන්ද යන්න ගැටළුවක් පැන නගිමින් ඇති අවධියක ඒ සඳහා සුලු අඩි පාරක් පෙන්නුම් කරන්නාවූ කෘතියක් ලෙස කෘතීම දූපත් හැදින්විය හැක. අප කවුරුත් හඳුනන සම්මානලාභී සුනේත්‍රා රාජකරුණානායක කතුවරිය විසින් රචිත මේ කෘතියේදී කතා සාරය වන්නේ 2045 දී පමන වන විට මහ දූපත එනම් ශ්‍රී ලංකාවෙන් එපිට මුහුදු තීරයේ කොළඹ 17 නමින් ඉදිවන කෘතිම දූපත් සමූහයක් ගැන වෙයි. කතුවරියගේ අනික් කෘති මෙන්ම මෙහිද ඇයගේ පර්යේෂණ ක්‍රියාවලියක අතුරු ඵලයක් ලෙස බිහිවී ඇති ⁣මේ ග්‍රන්ථය කියවීමේන් රසිකයන් හට තොරතුරු උකහා ගන්නා අතර රස විඳීමට ඉඩ හසර සලස්වා තිබේ. සාමාන්‍ය පාඨක මනසට ගෝචර නොවන සුලු පාරිසරික විද්‍යාව, භූගර්භ විද්‍යාව වැනි සංකීර්ණ වූ පසුබිමක ගොඩනැගෙන මේ කතාව ඇතැම් විට නීරස වූ මාතෘකාවක් ගොඩනගා ඇති යැයි සිතූවද මේ ග්‍රන්ථය ඉතා සෙමින් හා සක්‍රීයව ⁣කියවන විට මේ අති සංකීර්ණය යැයි සිතිය හැකි කරුණු සරල, මානූශීය හැඟීම් දනවන කුඩා ⁣⁣ක්ෂේම භූමියකට පාලමක් විවෘත කරයි. ⁣මෙහි කතා සාරය වනාහී අපාරාජිත් නම් අනූපස් හැවිරිදි පුද්ගලයෙකු වටා ගෙතී තිබේ. අපරාජිත් ඉංජිනේරුවකු, භූගර්භ විද්‍යාඥයෙකු, සාගර විද්‍යාඥයෙකු හා මහ දූපතේ ජරා ජීර්ණ දේශපාලනයෙන් හෙම්බත් වූවකු වශයෙන් හඳුනා⁣ගත හැක. වසර ගණනක් මුළුල්ලේ ඔහුගේ (මිතුරියක්) සමඟ කරන්නා වූ පර්යේක්ෂණාවලියක අවසන් ප්‍රතිඵල වශයෙන් මහ දූපටත ඔබ්බෙන් නිවාස හා කෞතුකාගාර පද්ධතියක් ලෙස ගොඩනැගෙන්නේ ඒ ඔහු දකින සිහිනයයි. යට කියූ පරිදි මෙහි ගැබ්ව ඇති කතාව මූලික වශයෙන් ප්‍රධාන ධාරා දෙකක් ඔස්සේ ගලා යයි. ඉන් පළමු වැන්න නම් මහ දූපතේ ඇති ජරාජීර්ණ දේශපාලනික, සංස්කෘතික පෙකණි වැලෙන් මිදී නව ලෝකයක්, වෙනස් විදිහට හිතන  පිරිසක් ඇති භූමියක් බවට පත් කිරීමේ අභිලාෂය යි. "මහ දූපතේ තිබුණේ ළමයෙක් ඉස්කෝලෙකට දා ගැනීමේ ඉඳලා විදේශ ශිෂ්‍යත්වයක් ලබා ගැනීම දක්වා දෙමාපියො වංචනික ලේඛන සැලසීමේ ක්‍රමයක්. ඉතාම කුඩා ගෙයක් හදන්න පවා ප්‍රාදේශීය සභාවකින් අනුමත කරගන්න පගාවක් දිය යුතු වුණා. රජයට භාණ්ඩ සපයන හැම ටෙන්ඩර් එකක්ම පගාවලින් තර වුණා. දූෂණ වංචා නතර කරන්න කියලා කවුරු හරි බලයට ආවම කලින් හිටිය මීයෝ ටික ඒ නැවෙන් මේ නැවට පැනීම සුලභ දර්ශනයක් වුණා. මෙහෙම කෙටියෙන් කියන්න බැරි තරම් හිරිකිත වැඩ සිද්ධ වෙන කොට ඒවා නිරාවරණය කරන්න බැරි තරමෙ අවුල් ඇතිවෙලා තිබුණා. එතකොට අපි මේ කවදාවත් හදන්න බැරි විදිහේ කෘතිම දූපතක යෝජනාවක් ගෙනාවේ නව පාලන ක්‍රමයක් එක්කයි." (පිටුව 81) තව දුරටත් මහ දූපතේ පවතින පාලනතන්ත්‍රයේ නෛතික, දේශපාලනික, ආකල්පමය වශයෙන් මුල්බැසගෙන ඇති අක්‍රමිකතාවලින් වියුක්ත නව අවකාශයක් ගොඩනැගිමේ සිහිනය අපරාජිත් තුල තිබේ. සමහර විට ඔහු මහ දූපතේ වෙසෙන කාලය අතරතුර ඔහු මුහුණ දුන් අත්දැකීම් නිසාවෙන් මෙවැනි තීරණයක එල්බගෙන සිටියා විය හැක. ඒ පිළිබඳ ව සඳහනක් නැතත් පහත ප්‍රකාශය හා සසඳන කළ ඔහුගේ එක් අභිප්‍රායක් වනුයේ දේශපාලන පක්ශ වශයෙන් හෝ පන්ති වශයෙන්, ස්ත්‍රි පුරුශ වශයෙන්, ජාති වශයෙන්, ආගම් වශ⁣යෙන් හෝ මොනයම් හෝ ආකාරයකින් වෙන් කොට මිනිසා වෙනස් ප්‍රාණියෙකැයි බලා වෙනස් වශයෙන් සලකන සමාජයක් වෙනුවට මිනිසා යනු අනෙකාගේ රුචි අරුචිකම්වලට ගරු කරන, අනේකාගේ නිදහසට බාධා නෙකරන, ⁣අනෙක් අතට එකිනෙකාට වෙනස් නොවු පොදු නීතී සංග්‍රහයක් යටතේ වැඩ කරන මනුශ්‍ය වර්ගයන් සිටින ස්ථානයක් බවට කෘතිම දූපත පත් කිරීමයි. "පාලන අකෘතියෙ ලිබරල් ගතිය නිසාම වරින්වර පුද්ගල ගැටුම්, පෞරුෂ අභිමාන ප්‍රශ්න එහෙම මතු වෙනවා. නමුත් කවුරුත් උත්සාහ කරන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රීය ආදර්ශයක් තනා ගන්නයි. ඒක තමයි අපේ භාවනාව. ඒ කියන්නේ අනෙකාගේ නිදහසට, පැවැත්මට, රුචි අරුචිකම්වලට, සංස්කෘතික වෙනස් කම්වලට ගරු කරන පොදු නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වෙන ආකාරයට කෘතිම දූපත් පවත්වා ගෙන යාමේ ප්‍රයත්නය." (පිටුව 92) "බලවතුන්ට, ධනවතුන්ට දේශපාලනඥයන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් තියනවනම් ඒක තමයි කෘතිම. අපේ මහ දූපතේ නං තාම එහෙම වෙනවා කියලා ආරංචියි" පිටුව 93 මෙහි දෙවැනි කතාව ඇදී යන්නේ අපරාජිත්ගේ සිතෙහි තිබූ අප්‍රකාශිත ප්‍රේමයක් වටාය. සාතිශය ගැඹුරුවූත් විද්‍යාත්මක වූ රළු පර්වතයක් වැනි සංකල්පයක් මත පිපිණු ඉතා රමණිය කුඩා පුෂ්පයක සේ ඒ ආදර කතාව කිසිවෙකුට නොදැනෙන ලෙස ඇදී යයි. බොහෝ වෙහෙස වී පර්වතය මුදුනට නගින්නෙකුට ඒ මලේ මිහිරියාව විඳගත හැකි වුවද දුර බලන්නෙකුට පෙනෙන්නේ ඒ රළු පරළු පෘෂ්ඨය පමණි. අපරාජිත් සිය දිවියම සාගරයත් දූපතටක් යටකළ, කිසිදු කලක හැඟිම්බර නොවූ චරිතයක් ලෙස සිය ඥාතී දරු මුණුබුරන් සිතන නමුත් ඒ දෘඩ ගල් පතුරු සෙමින් බිඳි යන සළකුණු කෘතිය පුරා වරින් වර දක්නට ලැබේ. අපරාජිත් වරින් වර මුමුණන ආදරය ගැන ලියවූ ලතින් කවි මේ බව පැහැදිලි කරවයි. අපරාජිත් පිළිබඳව අන් අය සිතන ලද්දේ කිසිම දිනෙක ආදරය නොකළ ආදර නොලද මිනිසෙකු ලෙසිනි. ඒ පිළිබඳ කතා කිරීමෙන්ද වැලකී සිටිමෙන් ඔහු සිය ජීවිතය තුල ආදරය ගැන ඇති අංශු මාත්‍රික සිතුවිල්ලකුදු නැතැයි අන් අයට ඒත්තු ගැන්වීමට සමත් වන්නේ මේ නිසාව. ඔහු පෙම් කරන එකම දෙය ඔහුගේ බස්තම පමණි. නමුත් සියල්ල ⁣වෙනස් වන්නේ ඔහුගේ මරණයත් සමගය. අපරාජිත්ගෙ මරණයත් සමඟ පැමිණෙන ඔහුගේ ප්‍රාණසම මිතුරිය පවසන්නේ වෙනත් කතාවකි. අපරාජිත්ගේ හදවතෙහි ආදරය පිළිබඳව වෙනම පරිච්ඡේදයක් ඇති බව දැන ගන්නේ ඔහුගේ මරණින් පසුවය. කෘතිම දූපතක් ඇති කළ කෘතීම හදවතක් සහිත කාන්තාරමය මිනිසෙකුගේ ශේෂ වූ ආදරණිය පාරාදීසයක් තිබූ පුවත රැගෙන පැමිණෙන අපරාජිත්ගේ මිතුරිය ජයත්‍රී රාමනායකයි. ඇය ඔහුගේ පෙම්වතිය වීද යන්න ප්‍රශ්නයට අපරාජිත් කිසිදා ඍජු පිළිතුරක් දුන්නේ නැත. නමුත් නිමක් නැති ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පිළිතුරුක් ලබා දෙයි. "මං අසීමිත විදියට ආදරය කරපු මටත් අසීමිත ආදරයක් තිබුණු ගෑණියක් හිටියා" පිටුව 119 අපරාජිත් හා ජයත්‍රී අතරප තිබූ සම්බන්ධතාව වෘත්තීමයභාවයට එහා ගියත් ලිංගිකත්වය ⁣හා එක්ම ජීවත් වීම යන වෛවාහික සීමාවටත් අතර මැද කළාපයක ස්ථානගත කිරීමට අපරාජිත් පෙළඹෙයි. ගැහැණියකගේත් , පිරිම්යෙකුගේත් ඇති සාමාන්‍ය සබඳතවය එහා ගිය වෙනස් ම ආකාරයේ බැඳියාවක් අපරාජිත් හා ජයත්‍රී අතර දක්නට ලැබීම මෙම කෘතියේ තවත් එක් සුවිශේෂතවයක් ලෙස පෙන්වා දිය හැක. "සෙල්ලමක් වගේ පෙනුනට ඒක ද්වන්ධව සටනක්.එකිනෙකාට යටත් වෙන්න අකමැති වුනත් ආදරයක් ගෞරවයක් නැතුව නෙමෙයිනෙ. එයා මට අභියෝග කරන්න ආසයි. මගේ මත බිඳිම එයාට ලිංගික තෘප්තියක් වගේ වෙන්න ඇති. ඒ හින්දා මං එයාට තර්ක කරන්න ඉඩ හැරියා" ආදරයක් රැකගැනීමට නං එයින් ඈත්වී සිටිය යුතු බව අපරාජිත්ගේ විස්වාශයකි. එක් අතකින් ගත් කළ එහි සැබෑවක් නැත්තේම නැත. ලූෂන් බුලත්සිංහල වරක් මෙසේ ප්‍රකාශ කරයි. සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙයි.. එක්වූ පෙම්වතුන් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙයි.. වෙන්වී ගියවුන් සදාකාලික පෙම්වතුන් ලෙසම ජීවත් වෙයි.. මේ අදහසම අපරාජිත් ප්‍රකාශ කරන්නේ පහත පරිදි ය. භාෂාව ගැලපුණා. අදහස් අතින් අන්‍යෝන්‍ය ගෞරවයක් තිබුණා. අසීමිත ආදරයක් දැනුණා. ඒ නිසාම ඒක නැති කර ගන්න තියෙන කෙටිම ක්‍රමය එකට ජීවත් වීමයි කියලා දැනගෙන හිටියා. පිටුව 125 අපරාජිත්ගේ කෘතීම දූපත තැනීමේ සිහිනය යටින් මකුළු දැලක සියුම් බවින් යුක්ත ⁣ප්‍රේමයක් ගෙනයාම ම මේ කෘතියේ රසය ඉස්මතු කරන බව හැගෙන අතර එය අන් කතා ආකෘතියට පරිබාහිර තලයක හිඳ ඒ හැඟීම් ගෝචර කර ගැනීමට අපව පොළඹවයි. කෙසේ නමුදු දෙදෙනා කෙරේ ඇති මේ ආදර කතාව කිසිදු විටක උත්කර්ශයට නොනැගෙන අතර තවත් චිරාත් කාලයක් යනතෙක් කෘතීම දූපතත් ඒ ආදරයත් තව දුරටත් එලෙසම පවතින බව කෘතිය කියවා අවසන් වූ විට සිතීමට පෙළඹවෙයි. "ස්ත්‍රීන්ට ඕනේ පිරිමියෙක්ගෙ හර්දය වස්තුව නූලකින් හරි ගැට ගහලා තියා ගන්නලු. හුඟාක් ඉස්සර එහෙම ගැට ගහපු හදවතක් කොහොම හරි පැනලා යන්න හිතාගෙන ග්ලැෂියර් එකක් හරහා යන වෙලාවක පහළට පෙරලෙන්න ඇතිලු. ඒක පහු කාලෙක ග්ලැෂියර් එක දියවෙනකොට දිය පාරකට වැටිලා අපරිමා ගඟට එන්න ඇතිලු....." පිටුව 139 මහ වෙදගේ තරිඳු

විකල්ප කොළඹ – මහ දූපතෙන් ඔබ්බට

කෘතිය : කෘතීම දූපත් කර්තෘ : සුනේත්‍රා රාජකරුණානායක ‘සිස්ටම් චේන්ජ් එකක්” යන්න පසුගිය වර්ශවලදී වඩ වඩාත් කියවූ වචන අතර තවත් එකකි. එය හුදු සාංකල්පීය අවශ්‍යතාවක් නොව එරට පුරවැසියා විසින් අත්පත් කරගත යුත්තක් යැයි බොහෝ මිනිසුන් විසින් සිතනු ලබයි. සෑම දෙනෙක් ම පාහේ මෙවැනි වෙනසක් අවශ්‍ය බව කියති. නමුත් ඒ අවශ්‍යතාව සපුරාලීම සඳහා අප කුමන මාවතක…

Read More
තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි! -දූවරුම තුන් දෙනෙක්- "දූගෙ අප්පච්චි!" තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නෙ මහමෙරක් තරම් වටින බැඳීමක්. පිය පුතු සෙනෙහසත් ඒ තරම්ම ශක්තිමත් බව ඇත්තක් නමුත් දූවරු සහ අප්පච්චිලා අතරේ ඇති බැඳීම ඊට නොදෙවෙනිය. රෝස මලක් සේ ඇති දැඩි කර කිරිල්ලියක සේ නිදහසේ ඉගිල යන්නට පියාපත් දී නිඬවම දෑස් දල්වා බලා හිඳින නිහඬ ප්‍රේමවන්තයා ඔහුය. වගකීම් සහ වගවීම් වලින් නිදහස්ව ඇගේ ජීවිතේ හොඳම කාලය ඇයට විඳින්නට ඉඩහසර සදා දී, හදවතේ ගැඹුරක සඟවා ගත් අපිරිමිත සෙනෙහසත් සමඟ මැණිකක් සේ දූවරුන් රකින අප්පච්චිලාගේ කතාවයි මේ. මේ වචන පුතෙක්ටත් දුවෙක්ටත් කියා දූවරුම සිටින සියලු පියවරුන්ට සෙනෙහසේ තිලිණයකි. ජීවිතේ කෙදිනකවත් අත්නොහරින, අත්නොහැරෙන නොබිඳෙන බැඳීම් ඇති එකම තැන පවුලයි. දාහක් හේතු මැද වුව නොසෙල්වී ඉන්නට තරම් සවිය දෙන සෙනෙහසේ උල්පත එයයි. දුක් සුසුම් වියැකෙන්නට, හිනැහෙන්නට හේතු දුන් ආදරේ පවුර එයයි. එවන් පවුලකට දූවරුන් කියන්නේ තවත් ආලෝකයක් එක් කරන සඳ මඬලක් වැනිය. "දූවරුම තුන් දෙනෙක්" ගීතය එලෙස දූවරුන් පමණක් සිටින පවුලක පියෙකුගේ සුන්දර අත්දැකීම් සහ හැඟීම් පිළිබඳව ගැයෙන සොඳුරු නිර්මාණයකි. මෙම ගීතය දිනූෂා විජේරත්නගේ ගී පද රචනයෙන් සහ ලසන්ත අබේපාලගේ තනු නිර්මාණය සහ සංගීතය මුසු වී ඔහුගේම හඬින් ගැයෙන ගීයකි. "දූවරුම තුන් දෙනෙක්", පවුලක වාසනා මහියමයට ගී තිලිණයකි. "සඳ මෝරා නැගෙන්නට ගියා දස මාසයක් කුළුඳුලේ මගේ මැණික ගෙනාවේ සුදු දුවෙක් පරපුරේ උරුමයට හිටියේ නැහැ මට පුතෙක් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙක්" දසමාසයක් ගොස් අවසන මගේ චන්ද්‍ර මණ්ඩලයේ සඳ නැඟී මගේ මුළු ලොවම එළිය කළේය. මෙලෙස "දුවෙකුගේ ඉපදීම" රූපකාර්ථයෙන් දක්වා තිබීම ඉතාමත් අපූර්වය. "කුළුඳුලේ මගෙ මැණික ගෙනාවේ සුදු දුවෙක්" යනුවෙන් "මගෙ මැණික" තුළින් තම බිරිඳට දක්වන අපිරිමිත සෙනෙහස ද ඉස්මතු වේ. සුමුදු සුසිනිඳු රෙදිකඩක ඔතාගෙන සුදුම සුදු දූ සිඟිත්තක් කුළුඳුලේ අපේ පවුලට පැමිණියේ මගේ මුළු ජීවිතයම එළිය කරමිනි. කවුරුත් කියන ලෙසට පරපුරේ උරුමය ඉදිරියට ගෙන යන්නට කියා මට පුතෙක් නොසිටියත් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙකි. මගේ පවුලේ වාසනාව ඔවුන්ය. තුන් සඳක් පෑයු චන්ද්‍ර මණ්ඩලයක් මට දැන් හිමිය. "ගෙදර සිරියාවනම් ලොකු දුවේ නුඹ තමයි මද්දුමි හරි දඟයි කටකාරකම් ගොඩයි පොඩි දුවේ නුඹ මගේ වාසනා මහිමයයි පුතෙක් නැති අඩුව මට නොදැනුනා සත්තමයි" ලොකු දුවෙක් කියන්නෙම පවුලේ සිරියාව රැගෙන ආ මගේ කුළුදුල් තාරකාවියයි. "මද්දුමි" එසේ නැතහොත් පවුලේ දෙවෙනි දියණියගේ නම් හුරතලය උතුරා යන දඟකාරකම් එමටය. පොඩි දුව, නුඹ අප්පචිගේ වාසනා මහිමයයි. ඇත්තමයි නුඹලාගේ දඟකාරකම්, හැඩකාරකම්, කෙළිකවටකම් දකිමින් වින්දා මිස මට පුතෙක් නොමැති අඩුවක් කෙදිනකවත් දැනුනේ නැත. පුතෙක් මෙන් මගේ ශක්තිය ද දුවෙක් මෙන් මගේ සිරියාව ද නුඹලාය. "මල් පිපෙන මුත් ගසට මල් අයිති නෑ තමයි කැදලි හැර සියොතුන් ඉගිලයනවා හැබැයි රළ නැඟෙන තෙක් වෙරළ නිසසලව මඟ බලයි තුන් මංසලේ ඉන්න අප්පච්චි මං තමයි" ගස් සෙවණේ හැදී මල් පිපෙන බව නම් ඇත්තයි. නමුත් ගසට හැමදාටමත් ඒ මල් ළඟ තියා ගත නොහැකිය. එසේම කිරිල්ලියක් නම් ඇය කෙදිනක හෝ කැදැල්ලෙන් ඉගිල යා යුතුව ඇත. කිරිල්ලියන් ඇති දැඩි කර තටු හයිය කර ඔවුනට මේ ජීවිතය නමැති විසල් අහසේ නිදහසේ ඉගිල යන්නට ඉඩ සදා දිය යුතුය. දුවෙක් නම් කවදා හෝ විවාහයෙන් පසු තම පවුලෙන් වෙන් වී ස්වාමියාගේ පවුලට සම්බන්ධ වී යා යුතුව ඇත. එම වෙන්වීම මෙලෙස අපූර්ව උපමා සහ රූපලාර්ථයෙන් දක්වා තිබීම පද රචනයේ සොඳුරු ඉසව්ය. තමන්ගේ පවුලෙන් දුවෙකු වෙන්ව යාම පියෙකුගේ හදවතට කෙතරම් නම් වේදනාබර හැඟීමක්ද යන වග දූවරුන් සිටිනා පියවරුන්ගෙන් ඇසුවහොත් ඔවුන්ගේ වචන වලටත් කලින් කඳුළු ඉස්සර වනවා නිසැකය. එය එතරම්ම හදවතට බර කාරණාවකි. කෙසේ නමුත් රළ නැඟෙන තෙක් මේ වෙරළ නිහඬවම මඟ බලාගෙන හිඳියි යනුවෙන් නුඹලා ජීවිතේ ඉහළටම නැඟෙන තුරු වෙරළක් සේ අප්පච්චි නිහඬවම මඟ බලා හිඳින බව අපූර්ව ලෙස අර්ථවත් කර ඇත. ඉතින්, මගේ දූවරුනි, නුඹ මගේ ලෝකයයි. නිහඬ නිසසල සෙනෙහසත් තුරුලු කර නුඹ තිදෙනා යනෙන මේ තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි! මෙහි දූවරුන් තිදෙනා යන මඟ " තුන් මංසල" යනුවෙන් අර්ථ ගන්වා තිබෙන අයුරු ඉතාමත් අගනේය. කිසිදිනෙක පියවරුන්ගේ වචන නොකළ සෙනෙහස සහ ඔහු තුළ දුවෙකුට ඇති බැඳීමේ මහිමය "දූවරුම තුන් දෙනෙක්" ගීතයෙන් ඉතාමත් සියුම්ව ගැයෙයි. ලසන්ත අබේපාලයන්ගේ හඬින් ඒ දාරක ස්නේහයේ හැඟීම් වඩාත් සුන්දර අයුරින් ඉස්මතු කරමින් පියෙකුගේ හඬ සහ ඔහුගේ සිතුවිලි ඒ තුළින් සහෘද හදවතට දැනෙන්නට සලස්වා ඇත. ඉතින්, තාත්තාට දුවෙක් කියන්නේ ඔහුගේ හදවතේ චන්ද්‍රාලෝකය ය. දුවෙකුගේ වීරයා ඇගේ තාත්තාය! දූවරුන් සිටින සියලු පියවරුන්ට සහ පියෙකුගේ ඒ ගැඹුරු සෙනෙහස විඳින දූවරුන්ට ද මෙම ගීය වටිනා තිලිණයක් වනු ඇත! -නවෝද්‍යා ධනංජනී-

තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි!

-දූවරුම තුන් දෙනෙක්- “දූගෙ අප්පච්චි!” තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නෙ මහමෙරක් තරම් වටින බැඳීමක්. පිය පුතු සෙනෙහසත් ඒ තරම්ම ශක්තිමත් බව ඇත්තක් නමුත් දූවරු සහ අප්පච්චිලා අතරේ ඇති බැඳීම ඊට නොදෙවෙනිය. රෝස මලක් සේ ඇති දැඩි කර කිරිල්ලියක සේ නිදහසේ ඉගිල යන්නට පියාපත් දී නිඬවම දෑස් දල්වා බලා හිඳින නිහඬ ප්‍රේමවන්තයා ඔහුය. වගකීම් සහ වගවීම් වලින්…

Read More
සකුරා . . නුඹ සකුරා මලක්, අනුරාගයේත් ආදරයේත් සුවඳ අරගෙන මගේ ජීවිතයට පිපුණු. නුඹ වගේ ම සකුරා මල් යායක් මගේ අවට තිබුණා. සුරූපිණියන්, ආදරය දෙන්න සැදී පැහැදී උන්නු යුවතියන් ගණන් කළ නොහැකි තරමක් මගෙ ජීවිතයට ගොඩවදින්න තිබුණා. ඒත් ....... පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ ඒත් නුඹ තමයි මගේ සකුරා මල. මගේ එක ම සකුරා මල. අනුන් සතු සකුරා මලක සුවඳක්වත් මම වින්දේ නැහැ. මම නුඹ හැරෙන්නට වෙනත් මලක් නෙලුවෙත් නැහැ. සකුරා යායකින් මගේ අතින් පෙති ගිලිහුණේ නුඹේ ම පමණයි. නුඹ මට මහා ගහක් වෙලා සෙවණ දුන්නා. මම නුඹේ ඒ සෙවණට, නුඹ ට පෙම් කළා. විශ්වාස කරන්න, නුඹ ට ආදරය නොකරන්න මට හේතුවක් නැහැ.... කඳුළු පිළියමක් උඹට වියැකෙන්න හනමිටින් සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින් සිනමා තිරේ අපේ යථාර්ථයක් කනපිටින් මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින් යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක් උඹයි කාර්යභාරය හුදෙක් භාර්යාව ගැරහුවත් මගේ රහසක නිම්හිම් නිම්නයක කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක කඳුළු කියන්නෙ හිත හදන්න පුළුවන් පිළියමක්. නුඹ ම දන්නවා මගේ සකුරා මල, විවාහයක් කියන බැඳීමෙන් පිටදි වුණත් විවාහය ඇතුළෙ වුණත් දරුවෙක් කියන්නෙ දරුවෙක්. නුඹේ කුසේ නුඹේත් මගේත් සිහිනයක් පණගැහෙනවා. අපි නීතියෙන් බැඳිලා උන්නා නම් මිනිස්සු අපේ ආදරේ සිනමා පටයක් වගේ දකීවි. ඒත්, නොහිතුව විදියට අපේ කතාවෙ සිදුවීම් පෙළගැස්ම වෙනස් වුණා. ඒත් දීගයක් ඇතුළෙ විතරද දොළදුකක් දොළදුකක් විදියට පේන්නෙ? මගෙ සකුරා මල, හිත හැදෙනකල් අඬන්න. හිත හදාගෙන, සමාජය ඔයාගෙ හිතට පුරවන හනමිටි අදහස් අතහරින්න. සකුරා මල් යායක් මැද්දෙ මම නෙලපු එකම සකුරා මල නුඹ. මට වෙන මල් නෙලන්න ඕනෙ නැහැ. සදහට ම ඔයයි මගෙ බිරිඳ, ඒක නුඹත් හොඳට ම දන්නවා. ගිනි තියන් ඕම negative පටි ඔය හැසිරීම මට ගබ්සාවේ දොරටු අරී මිරැන්ඩා දැන් උඹ ආත්මාර්ථකාමී වග නොකියන්න ජාතකේට මා ප්‍රාර්ථනා වී කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න මිනිස්සු ඔයාගෙ හිතේ පුරවන හැම negative දෙයක් ම අතාරින්න. අපට පුළුවන් අපේ පණ ගැහෙන හීනෙ ගැන තව හීන දකින්න. සම්ප්‍රදායෙන් වැහිලා බයවෙවී ජීවත්වෙන්න ඕනෙ නැහැ, මම කියන දේත් අහන්න. ආත්මාර්ථකාමී වෙන්න එපා, පරාර්ථකාමී වෙලා මගේ හීනයට මාත් එක්ක ඇවිදයෙන එන්න. වෛර කරන්න එපා, එයාට ඔයාගෙ කුසේ වැඩෙන්න ඉඩ දෙන්න. සකුරා මල් යායක් මැද්දෙ මම නෙලපු එකම සකුරා මල නුඹ. මට වෙන මල් නෙලන්න ඕනෙ නැහැ. සදහට ම ඔයයි මගෙ බිරිඳ, ඒක නුඹත් හොඳට ම දන්නවා. සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ හිමි නොවෙනා ප්‍රේමේ ලුහුබඳිනා ප්‍රේමේ සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ අද නුඹ මං ළඟ හඬාවැටෙනවා. නුඹ බයවෙලා, මම දන්නවා. ඇත්ත, මම නුඹ ළඟ වෙනදා තරම් අද අනුරාගී නොවෙනවා වෙන්න ඇති. ඒත් ඒකෙන් කියන්නෙ මගේ ප්‍රේමය නුඹට හිමි නොවෙනවා කියලා නොවෙයි. නුඹ මගේ පසුපසින් ලුහුබඳිමින්, මගේ ළඟ හඬාවැටෙන්න ඕනෙ නැහැ. නුඹේ කුසේ මගේ දරුවෙක් වැඩෙනවා කියන්නෙ මට නුඹව අතහරින්න කරුණක් නොවෙයි. දන්නවද, නුඹ තමයි බිරිඳ..... විවාහ වුණත් නොවුණත්. නුඹ ම විතරයි. නිබඳ දෙව්දු වත සියුම් වලා බැමි මුහුලස උර බෙත්මේ කඩා වැටී මා දළු රෝස ඵලයට හඬා වැටී පුර සකුරා සිසිරය පතනවා ඇතී දෙව් රුවක් වගේ නුඹේ වතේ සියුම් මෘදු පහස තුළ මම ගිලෙනවා හෙටටත්. වලාකුළුවල සියුම් බව රැඳි ළය තුරේ, උරහිසේ දැවටෙමින් මම නිවෙනවා. මගේ සකුරා මල, වසන්තයන්, ගිම්හානයන්, සිසිරයන් ගණනාවක් ගෙවී යද්දෙන් ........ මම නුඹේ පහස ම පතනවා, නුඹේ ළඟ ම රැඳෙනවා ..... මම පෙම් කළේ නුඹ ට විතරයි. නුඹට ම විතරයි. මං නිසා පෙති ගිලිහුණේ නුඹේ විතරයි. ඉතින් හඬාවැටෙන්න එපා. මගේ සකුරා මල, මම නුඹේ ම විතරයි. සදහට ම. . . ස්වර්ණමාලි කීරගල

සකුරා

නුඹ සකුරා මලක්, අනුරාගයේත් ආදරයේත් සුවඳ අරගෙන මගේ ජීවිතයට පිපුණු. නුඹ වගේ ම සකුරා මල් යායක් මගේ අවට තිබුණා. සුරූපිණියන්, ආදරය දෙන්න සැදී පැහැදී උන්නු යුවතියන් ගණන් කළ නොහැකි තරමක් මගෙ ජීවිතයට ගොඩවදින්න තිබුණා. ඒත් ……. පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ සකුරා පෙති ගිලිහෙන මහා ගහට…

Read More
"ස්ත්‍රීවාදයේ රාමු බිඳින ඉරගිනි මද්දහන'' ජාතියේ කතන්දරකරුවා බවට පත්ව සිටින ටෙලිනාට්‍ය ආලින්දයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දනය සපයන ප්‍රධානතම ප්‍රබන්ධ කලාව බවට පත්ව සිටී. ටෙලිනාට්‍ය කලාවක් වශයෙන් යථාර්ථය තේරුමි ගැනීමට ප්‍රධාන උපකාරී මෙවලමක් බව රූපවාහිනිය සම්බන්ධයෙන් සිටින විචාරකයන්ගේ මතයයි. නමුත් ලාංකේය නූතන ටෙලිනාට්‍ය තවදුරටත් කලාවක් වශයෙන් හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද? සහ ගැළපෙනවාද? යන්න පිළිබඳ ඉතාමත් අරපරෙස්සමෙන් යුතුව විමසා බැලිය යුතු ය. වර්තමානයේ රූපවාහිනියේ විකාශනය වන බහුතර ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාගේ ඇඟේ හැප්පෙන තරමට විකෘති වී ඇත. අති සරල දෛනික ජීවිතයේ අප අසන, කියවන පුවත්පත් වාර්තා හෝ ටෙලිවිෂනයේ ප්‍රවෘත්තිවල සිදුවීමි මෙන් ටෙලිනාට්‍යවල අන්තර්ගත හරසුන් ටෙලිනාට්‍යය දක්නට ලැබෙි. ලාංකේය නූතන ටෙලිවිෂනයේ අටෝරාසියක හරසුන් ටෙලිනාට්‍යය මධ්‍යයේ ටෙලිනාට්‍යයක් යැයි කිවහැකි අපුරු නිර්මාණයක් මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ඒ තරංගා දිසානායක රචනා කළ 'කඳුළු කුණාටුව' නමැති නවකතාව ඇසුරින් නිර්මාණය වූ 'ඉරගිනි මද්දහන' ටෙලි වෘතාන්තයයි. නවකතාවකින් ටෙලිනාට්‍යක් සාර්ථකව ටෙලි රූපයට නැඟීම දැඩ් අභියෝගයකි. නවකතාව තුළ අකුරු, වචන, වාක්‍ය සහ ජේදවලින් විස්තර කරන චරිත සහ සිදුවීමි ඇතුළත් සමස්ත ආඛ්‍යානය රූපයට නැඟීම වඩාත් විශ්වාසදායිව, නිර්මාණශීලිව කළ යුතු ක්‍රියාදාමයකි. 'ඉරගිනි මද්දහන' ටෙලි නාට්‍යයේ කතාව යථාර්ථවාදී වූ එකකි. කේන්ද්‍රිය චරිතය වන්නේ සමන්තා නම් ස්ත්‍රියකි. කුඩා කාලයේදීම සමන්තාගේ මව මරණයට පත් වෙයි. සමන්තාගේ ළමා කාලය එතරම් සුන්දර වූ එකක් බවට පත් නොවන්නේ මවගේ වියෝව නිසාමත් දැඩි අසරණබවත් නිසාමයි. සමන්තා පවුලේ වැඩිමලා වෙි. ඇයට සහෝදරයකු සහ සහෝදරියක් ද සිටියි. මළගිය මවගේ සොහොන අසලින් වැලපෙන සමන්තා තම මල්ලි ද ඉණෙහි ගසාගෙන, නැගණියගේ අතින් අල්ලාගෙන ගමන් ගන්නා සමන්තාට මෙතැන් සිට ජීවිතය ගෙවිය යුතුවන්නේ ස්ත්‍රීයකට සමාජයෙන් නිරායාසයෙන්ම ලැබෙන අපමණ අභියෝග මධ්‍යයේය. පුරුෂාධිපත්‍යය දරණ සමාජයක සමන්තාගේ ජීවිතය තුළ ද ඇයට කියන්නට කතාවක් තිබේ. පුරුෂයකුගේ සරණක් නොමැතිව සමන්තා අනෙකුත් ගැහැණුන් මෙන් ගමනක් ද නැත. පුරුෂයකුගේ පිහිට සමන්තා බලාපොරොත්තු වෙයි. බණ්ඩාර නම් කඩසම් තරුණයා කෙරෙහි සමන්තාට ප්‍රේමයක් හටගනී. නමුත් බණ්ඩාර වඩාත් ආසක්ත වූයේ සමන්තාගේ ශරීරයටයි. බණ්ඩාර වැනි අවස්ථාවාදී මිනිසෙකු ඉදිරියේ සමන්තාට ජීවිතයක් නොමැති බව අවබෝධ වන්නේ බොහෝ කල් ගොසිනි. බණ්ඩාර අත්හැර මහතුන් සමඟ තම ජීවිතය ගෙනයන්නට තීරණය කරන්නේ ආර්ථිකමය වශයෙන් දියුණු විමේ විශාල බලාපොරොත්තුක් සිතෙහි දරාගෙනයි. මහතුන්, බණ්ඩාර වැනි සාම්ප්‍රදායික අදහස් දරණ පිරිමින් ඉදිරියේ දිරිය ගැහැණියක ලෙස සමන්තාගේ ජීවිතය දෛවය විසින් සැලසුම් කර දෙන්නේ කෙසේද? සමන්තා ලෙස තියුණු රංග ප්‍රතිභාවක් ප්‍රකට කරන නිළි තරින්දි ප්‍රනාන්දු ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානයක් දිනා ගනී. ටෙලිනාට්‍යයේ ජීවගුණය රඳා පවතින්නේ තරින්දිගේ රංග පරාක්‍රමය තුළ ය. මහතුන්ගේ චරිතය නිරූපණය කරන නළු චමීර ලියනගේ සහ බණ්ඩාරගේ චරිතය සඳහා පණ පොවන නළු ධනංජය සිරිවර්ධනගේ අපුරු රංගනය විසින් ලාංකේය සාම්ප්‍රදායික පිරිමියාගේ නිරූපණයක තොරතුරු ගෙනහැර දක්වයි. විශේෂයෙන් මහතුන් වැනි කම්මැලිකම වැනි ඔිලාරික ගතිපැවතුම් ඇති පිරිමියෙකු සහ බණ්ඩාර වැනි සල්ලාල පිරිමියෙකු ගති ලක්ෂණ පිළිබඳ ප්‍රේක්ෂකාගාරය යළිත් වරක් සිතන්නට පොළඹවයි. නිදර්ශනයක් ලෙස බණ්ඩාර විසින් සමන්තාගේ ධෛර්යසම්පන්නබව හෑල්ලුවට ලක් කරමින් ඔහුගේ අසමත්බව ප්‍රකට කරන එක සංවාදයකි. "ඔය මේ ඉඳිආප්ප තම්බලා..මාලිගාවල් ගහන්න පුලුවනැයැ....ගිහින් මහතුවගේ ලාච්චුව කඩලා සල්ලි ටිකක් අරන් එනවා...නැත්නම් අර වාහනේ උස්සන් යයි....මමත් මාළිගා ගහන්න තමයි හිටියේ. මට ඒ හැමදේම නැති වුණා. ඒ ඔක්කොම වුණේ තමුසේ හින්දා..." නිදි ඇදේ සිටින බණ්ඩාර විසින් තම අසමත්බව වසාගන්නට බැණ වදින්නේ ඉඳි ආප්ප තම්බමින් ජීවිතය සරි කරගන්නට වෙර දරණ සමන්තා වෙතට ය. ටෙලිනාට්‍යයේ එක් සාධනීය ලක්ෂණයක් වන්නේ සෑම චරිත නිරූපණයක් ම සමබර තලයක පැවතීමයි. ටෙලිනාට්‍යයේ එන චරිත මෙරට සමාජය තුළ ජීවත් විය හැකි විශ්වසනීය ගුණයෙන් යුක්ත ඒවායි. මෙහි සුදන හෝ දුදන හෝ චරිත නොමැත. ඒ සියල්ලම මනුෂ්‍යත්වයේ දුර්වලතා ලෙස ගොඩ නැඟේ. 'ඉරගිනි මද්දහන' ටෙලි නාට්‍යය ලලිත් රෝහිත එදිරිසිංහයන් විසින් අධ්‍යක්ෂණය කරයි. ඔහු ටෙලි නාට්‍ය වෙනුවෙන් යොදා ඇති අපමණ වෙහෙස සහ ව්ශ්වසනීයත්වයෙන් යුතුව ගොඩ නඟන රූප රිද්මය වැදගත් වේ. රූප නිර්මාණය සහ සංස්කරණය ද එකම ශෛලියක පිහිටයි. දෙබස් සහ සංවාද විසින් කතාව වඩාත් තීව්‍ර කරන ප්‍රධාන සාධකයකි. චරිත විකාශනය, හේතුඵල සම්බන්ධතාවෙන් ද චරිතවල විශ්වසනීය බවත්, මනුෂ්‍ය ගතිලක්ෂණත් ඉස්මතු වෙි. සමන්තා, බණ්ඩාර සහ මහතුන් අතර සම්බන්ධතාව ගැඹුරු සංකීර්ණ මානුෂික අත්දැකීමක් බවට තිර රචනයේ සුසාධිත බව ප්‍රකට කරයි. ලාංකේය සමාජය තුළ නූතනයේ දෘෂ්ටිවාදයක් ලෙස ක්‍රියාත්මක වන ගැහැණිය විසින් පිරිමියාගෙන් යැපීම සම්බන්ධ දෘෂ්ටිවාදය වෙතට 'ඉරගිනි මද්දහන' අභියෝග කරයි. එහිදි එම සාම්ප්‍රදායික රාමුව 'සමන්තා' කඩා බිඳ දමයි. සමන්තා ස්ත්‍රීවාදය නියෝජනය කරන චරිතයක්ද නොවේ. නමුත් සමන්තාගේ දෘෂ්ටිය පවතින්නේ පිරිමි සමාජයටම වෛර කරන පුරුෂෝත්තමවාදයට එරෙහිව කැරලි ගසන තැනක නොවේ. සමන්තාගේ අවිය වන්නේ ධෛර්යසම්පන්නබවයි. ස්වාධීනව තම ජීවිතය ගෙනයන්නට ඇය වෙර දරයි. ඇය පිරිමින්ගේ තාඩන පීඩනවලට, නොයෙකුත් ගැරහුම්වලට ලක් වෙයි. පුරුෂයාගේ ලෝකය තුළ ඈ අතරමං වෙයි. නමුත් ඇය අසමත් වන්නේ නැත. අසමත් වූ තැනින් ඇය නැඟී සිටියි. ලාංකේය නූතන ටෙලිනාට්‍ය කලාව තුළ ස්ත්‍රීන්ගේ භූමිකාව සැබෑ මනුෂ්‍ය ප්‍රාණියෙකු ලෙස ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට ඇය දුර්වල, දෙවන පෙළ පුරවැසියෙකු ලෙසත්, මවක ලෙස, ගෘහණියක ලෙස, දියණියක, නැගණියක ලෙස පවුලේ යුතුකම් හා වගකීම් කරපින්නා ගත් කෙනෙකු ලෙස පමණක් නිරූපනය කිරීමත්, ඒ පිළිබඳ දෘෂ්ටිය ඉදිරියට ගෙන යාමත් දැකිය හැකි ය. මෙම සම්ප්‍රදායිකත්වයට අභියෝග කරන 'ඉරගිනි මද්දහන' වැනි යම් යම් කලා නිර්මාණ, රූපවාහිනි වැඩසටහන් කිහිපයක් පමණක් ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ය. විධායක ශ්‍රේණිවල කටයුතු කරන, නව නිපැයුම් බිහිකරන, ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්ත්‍රීන් අතර නම රඳවන පිරිස් හඳුන්වාදීම, ස්ත්‍රී දේශපාලන චරිත හඳුන්වා දීම, ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ දැනුවත් කිරීම හා ඊට එරෙහිවීම ආදිය ඊට නිදසුන් ලෙස සැලකිය හැකිය. එසේ වුවද ඒ ඉතාමත් කලාතුරකින් බැව් නැවත නැවතත් අවධාරණය කළ හැකි ය. 'ඉරගිනි මද්දහන' ලාංකේය නූතන ජීවිතය සහ සමාජය පිළිබඳ පරිණත දැක්මක් සහිත ටෙලි ප්‍රකාශනයකි. ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය වැනි තේමා අරභයා සිදු කළ කදිම නිර්මාණයකි. 'ඉරගිනි මද්දහන' ගුණාත්මක ටෙලි වෘතාන්තයක් වශයෙන් ප්‍රේක්ෂකාගාරය ප්‍රඥා සම්පන්න කරන අග්‍රකෘතියක් (masterpiece) වන්නේ එහෙයිනි. -මලින්ත විතානගේ- imalkamalintha@gmail.com

“ස්ත්‍රීවාදයේ රාමු බිඳින ඉරගිනි මද්දහන”

  ජාතියේ කතන්දරකරුවා බවට පත්ව සිටින ටෙලිනාට්‍ය ආලින්දයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දනය සපයන ප්‍රධානතම ප්‍රබන්ධ කලාව බවට පත්ව සිටී. ටෙලිනාට්‍ය කලාවක් වශයෙන් යථාර්ථය තේරුමි ගැනීමට ප්‍රධාන උපකාරී මෙවලමක් බව රූපවාහිනිය සම්බන්ධයෙන් සිටින විචාරකයන්ගේ මතයයි. නමුත් ලාංකේය නූතන ටෙලිනාට්‍ය තවදුරටත් කලාවක් වශයෙන් හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද? සහ ගැළපෙනවාද? යන්න පිළිබඳ ඉතාමත් අරපරෙස්සමෙන් යුතුව විමසා බැලිය යුතු…

Read More
හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම...! - නුඹේ උණුසුම් හාදුවෙන් - උන්මාදනීය ජීවානන්දයක ආස්වාදයත් බලාපොරොත්තුවේ ආලෝකයත් සදාකාලෙටම ඉතිරි කර ගිය මතකයත් යන සියල්ලම නුඹ නිසාය. මේ සියලු හැඟීම් වචන කරන්නේ හදවතේ ගැඹුරුතම ඉසව්වේ අගුළු හැර නවාතැන් ගත් නුඹ වෙනුවෙන්මය. කාලයත් සමඟ ජීවිතයට යන එන අය අතරේ සමහර හදවත් අපේ මුළු ජීවිත කාලෙටම සෑහෙන මතක ගොන්නක් හදවතේ ගැඹුරුම තැන් වල සනිටුහන් කර යයි. ජීවිතය තුළ අන් කිසිවකුත් ඔවුන්ට ආදේශ කළ නොහැකිය. ජීවිතේ කල් ඉකුත් වන්නට ප්‍රථම ඒ රැස් කර ගන්නා මතක බොහෝ වෙලාවට අයිති වන්නේ ආදරේ වැඩියෙන්ම දැනුණු තැන් වලටය. ඉතින්, දැනුණු තැන නතර වීම කෙසේ වෙතත් ඒ දැනුණු හිත් දරාගෙන බොහෝ දුර පැමිණ අතරමඟකින් හැරෙන්නට වුවහොත් එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් වනු ඇත. නමුත් මේ ජීවිතය සදාකාලෙටම නොවන බැවින් සංසාර ගනුදෙනු වල අවසානය දක්වා මේ චක්‍රයෙහි අප ගමන් ගත යුතුව ඇත. කෙසේ හෝ ඒ හමුවීම් ජීවිතයට ආශිර්වාදයක් සහ වාසනාවක් සේ දැනෙනු ඇත. ජීවිත වලින් නික්ම යාම සහ විරහව වැළඳ ගත් මොහොතක වුව ඒ දෙස උපේක්ෂාවෙන් බලන්නට ඒ හමුවීම් සහ ඒ හදවත් හේතු කාරණා වනු ඇත. "නුඹේ උණුසුම් හාදුවෙන්" ගීතය ද මෙවන් වූ උපේක්ෂා සහගත ඉසව්වෙන් ප්‍රේමයේ ගැඹුරුතම ස්වරයන් තුළින් හදවත් වලට කතා කරන නිර්මාණයකි. මෙය ඉතාමත් සුමියුරුව සියුමිණී ඔපයංගිගේ හඬින් ගැයෙන අතර හර්ෂනී දිනුෂා අධිකාරීගේ ඉතාමත් අලංකාර සහ අර්ථවත් පද රචනාව සහ කපිල අපරැක්කගේ සංගීත දායකත්වයෙන් නිර්මාණය වූවකි. "නුඹේ උණුසුම් හාදුවෙන් මගේ හිත පිරීමදින්න ආදරේ තව සියුම් තැන් ඇති ලංවෙලා මට කියන්න..." ප්‍රේමයේ ගැඹුර කොයි තරම් ද යන වග හදවත් වලට දැනෙනුයේ අන් කවරදාටත් වඩා අනෙකාව දැනෙන ඔවුන් සමඟ ගෙවෙන එක් කුඩා මොහොතක් වුව මඟ හැර ගන්නට ලොබ බඳින, වචනයෙන් කියා ගත නොහැකි හැඟීම් පමණක් ම වන තැන් වලදීය. නුඹේ උණුසුම් හාදුවෙන් පිරිමැදෙන්නේ මා ගත නොවේ හිතය. ඒ මට නුඹව උපරිමව දැනෙන තැනය. ආදරේ තව අප නොවිඳි සියුම් මොහොතවල් පවා නුඹ සමඟ විඳින්නට හැකි නම් මා හට ඇති එකම සැනසුම එයයි. "යන්තමට හරි නුඹට හිතුනොත් මගේ හිත මගහරින්න මතක පැන් ටිකක් අරගෙන නුඹේ හිතටම ඉහින්න..." අපි දෙදෙනා ඇවිද ආ මාවතෙහි කොතැනක හෝ අතරමඟින් හැරෙන්නට කෙදිනක හෝ නුඹට සිතුණොත් අපේ මතක වලින් මතක පැන් ටිකක් ගෙන නුඹේ හිතට ඉසින්න. ඒ පද පෙළ ඉතාමත් රූපකාර්ථයෙන් අර්ථවත් ලෙස හැඩ ගන්වා තිබීම අපූර්වය. එහි සරල අර්ථය නම් නුඹට මාව මඟ හරින්නට සිතුණොත් අප දෙදෙනා එක්ව ගත කළ ඒ සොඳුරු දවස්, ඒ සුන්දර මතක කෙතරම් නම් ඉමිහිරිද යන්න වග යළි යළිත් ආවර්ජනය කර බලනු මැන යන්නයි. "හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹටම..." නුඹව හමු වී ගත වූ කාලය කෙතරම් කෙටි ද දිගු ද යන්න කෙසේ වෙතත් හිතින් අපි අපිව දරාගෙන අපි අපිව බෙදා ගනිමින් සනසවමින් පැමිණි දුර බොහෝමය. එය සංසාරයක් තරම් දිගු බවක් උසුලන බව දැනෙයි. ඉතින්, කිසිවෙකුටත් ඇතුළු වීමේ ප්‍රවේශ නොදුන් මගේ හදවතේ ගැඹුරුතම තැනක හරි පරිස්සමට මම නුඹේ නමට මගේ ප්‍රේමය සදාකාලෙටම ලියා තැබුවෙමි. "කඩන් වැටෙනා පුංචි තරුවක් දෙස බලන් මම හිතන්නම් සසර ගනුදෙනු ඉවර වෙනකන් නුඹව විතරක් පතන්නම්..." නුඹත් මමත් හිඳින මේ විසල් අහස දෙස බලන හැම මොහොතකම කඩන් වැටෙනා පුංචි තරුවක මම මගේ ප්‍රාර්ථනාවන් නුඹ නමින් තබන්නෙමි. ඒ හැම මොහොතකම නුඹේ සතුටම ප්‍රාර්ථනා කරන්නෙමි. සංසාර චක්‍රයෙහි ගනුදෙනු සියල්ලම අවසාන වන තෙක් නුඹව පමණක් පතන්නෙමි. මේ පිවිතුරුම හැඟීම් නුඹ නමින් පමණක් ම වනු ඇති. "හිතේ කකියන හුඟක් දේවල් ඇස් පියන් මට කියන්න නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා දැනෙන්න..." මගේ හදවතේ පැන නඟින සියලු සිතුවිලි නොසඟවා නොරවටා කිව හැකි කෙනෙක් සිටියා නම් ඒ නුඹය. හිතේ සිර කරගෙන සිටි බොහෝ දෑ සහ අදටත් කිසිවෙකු සමඟ නොකී ඇතැම් දේ ගැන නිදහසේ නිවී සැනසිල්ලේ ඇස් පියන් වුව තොරක් නොමැතිව කියන්නට මට සිටියේ නුඹ පමණමය. සිතට එන හැමදේම බෙදා හදා ගන්නට හැම හුදෙකලා මොහොතකම මගේ යැයි මං හදවතින් බදා ගත් කෙනෙක් වේ නම් මගේ තනියට සිටි ඒ නුඹමය. නමුත් මා නොදන්නා කාරණාව නම් නුඹට එය කෙසේ දැයි යන්න වග පමණි. "නුඹයි ආවේ මා සොයාගෙන ආදරේ කවි ලියන්න මගේ හිත ළඟ නතර උනෙ ඇයි කවදහරි මට කියන්න..." දයාලූ හස්තයෙන් මගේ හිත පිරිමැද ආදරේ කවි මල් ද රැගෙන මා සොයා මගේ ජීවිතයට කොහේදෝ සිට පැමිණියේ නුඹය. නොසිතූ මොහොතක නොසිතූ අයුරින් ආදරේට අරුත් රැගෙන මගේ ජීවිතය සැරසුවේ නුඹය. එදා පටන් ආදරේ කවි ලියූවේ නුඹ නමින් ය. නමුදු මට නුඹෙන් අසන්නට ඇත්තේ මෙය පමණමයි. ජීවිතේ කෙදිනක හෝ නුඹට සිතුණොත් මට මෙය කියන්න. "මගේ හිත ළඟ නතර උනෙ ඇයි කවදහරි මට කියන්න" එහෙම දවසක් එනතුරුම මම මඟබලාගෙන හිඳින්නෙමි. ආදරය යනු අයිති කර ගැනීමට වඩා ගැඹුරක් දරන පිවිතුරුම හැඟීමක් බවට මේ ගීතය සාක්ෂි දරයි. මෙයට සවන් දෙන සෑම මොහොතකම භාවනාවක් සේ සමවැදෙන අයුරින් සහෘද හදවත් ඇද බැඳ තබා ගන්නා අතර මෙම නිර්මාණය ආදරේ ගැඹුර මනා ලෙස හදවත තුළ රඳවයි. සමාජය තුළ ගී රසාස්වාදය වැඩි දියුණු වීම සඳහා මෙවන් වූ සෞම්‍ය ගණයේ ගීත නිර්මාණය වීම බෙහෙවින් ඇවැසිමය. ඉතින්, මේ සක්වළල්ල තුළ ප්‍රේමය නමින් පණ ගැහෙන ජීවිත මතක වලට සහ පිවිතුරු ආදරයන්ට මෙම ගීතය තුළින් ගැඹුරු සෞන්දර්යයක් එක් කරනු ඇත. -නවෝද්‍යා ධනංජනී-

හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම…! – නුඹේ උණුසුම් හාදුවෙන් –

උන්මාදනීය ජීවානන්දයක ආස්වාදයත් බලාපොරොත්තුවේ ආලෝකයත් සදාකාලෙටම ඉතිරි කර ගිය මතකයත් යන සියල්ලම නුඹ නිසාය. මේ සියලු හැඟීම් වචන කරන්නේ හදවතේ ගැඹුරුතම ඉසව්වේ අගුළු හැර නවාතැන් ගත් නුඹ වෙනුවෙන්මය. කාලයත් සමඟ ජීවිතයට යන එන අය අතරේ සමහර හදවත් අපේ මුළු ජීවිත කාලෙටම සෑහෙන මතක ගොන්නක් හදවතේ ගැඹුරුම තැන් වල සනිටුහන් කර යයි. ජීවිතය තුළ අන් කිසිවකුත්…

Read More
"මට කතා කරන්න ඕනෙ" එයා කියනවා. "කතා කරමු. මොනවද ඔයාට කියන්න තියෙන්නේ?" ඒ මම. ලේසියකට විසඳුමක් නැති, දිගින් දිගටම එයාට වද දෙන, අවුරුදු ගානක් දිග, හදවත් දෙකක් පලල, නිරායාසයෙන්ම මාත් කොටස් කාරයෙක් වෙන රස නීරස කතන්දර එයා මට කියනවා. එයාට එහාපැත්තෙ හාන්සි වෙලා, මන් ඒ ඔක්කොම අහන් ඉන්නවා. ඒ කිසිදේකට මන් ගාව විසඳුමක් නෑ කියලා අපි දෙන්නම දන්නවා. ඒත් එයා ඒවා මට කියනවා. මන් අහන් ඉන්නවා. ඒ බෙදාගන්න, දරාගන්න බැඳීමට මන් එයාට තරම්ම ආදරෙයි. එයා ඒවා මට කියනවා. වචනයක් වත් නොකියා මන් අහන් ඉන්නවා. සැරින් සැරේට කිස් එකක් දෙන්න, තට්ටුවක් දාන්න මන් වගබලාගන්නවා. අවසානයේ ආයෙමත් ලේසියකට විසඳුමක් නැති, රස නීරස කතන්දර ගොඩක් අපිට ඉතුරු වෙනවා. ඒවට ප්‍රශ්න නොකියා කතන්දර කිව්වාම ඒවාගෙ දිග පලල අඩුවෙලා ලඝු වෙලා යනවා කියලා මන් දන්නවා. ඒත් ඒ ප්‍රශ්න එහෙම්මම තියෙනවා. එයා කියන, මන් අහගෙන විතරක් ඉන්න. අවසානෙදි මේ කිසිදේක බලපෑමක් නැති කෙනෙක් වගේ මාව ඇඳේම තියලා එයා නැගිටලා යනවා. නලියන ඇස් දේකයි, රිදෙන හිතයි එක්ක මන් තනි වෙනවා. මන් අලු පාට වෙන්න ගන්නවා. 'ඔයා වෙලාවකට හරි නරකයි. මේ කිසි දෙයක් මට දැනෙන්නෙ වත් නෑ වගේ ගානක්ම නැතුව ඔයා නැගිටලා යනවා. ' චෝදනා කරන්න මට හිතෙනවා. මන් නොකර ඉන්නවා. එයාගෙ හිත තව රිදුනොත් කියලා හිතනවා. එයා කෝල් එකක ඉන්නවා මට ඇහෙනවා. මන් වොශ් එකක් දාගන්නවා. ඇඳගන්නවා. එයා දිගටම කෝල් එකක ඉන්නවා. මන් ඉඳගෙන බලන් ඉන්නවා. එයා ලෑස්ති වෙන්න යනවා. මන් බලන් ඉන්නවා. හිත රිදිලා, බලන් ඉඳලා අමාරුයි කියලා හිතුනට පස්සෙ මන් ගිහින් සිගරට් එකක් පත්තු කරගන්නවා. සිගරට් එක වැඩ කරනවා. එකක් මදි හිතෙනවා. එක්කෝ නොබීම හිටියානම් කියලාත් හිතෙනවා. මූඩ් එක හරි නොයන නිසා මන් එයාලගෙ සින්ක් එකේ තියෙන පිඟන් හෝදන්න ගන්නවා. තේ හදපුවා අස් කරනවා. මූඩ් එක හරි යන්නෙ නැති බව මට පේනවා. අලු පාට වැඩි වෙන්න ගන්නවා. එයා එනවා. නෑවට පස්සේ එයාව මට හිටියටත් වඩා සුදු පාට ට පේනවා. එයා එනවා. එයා හිනාවෙනවා. එයා තරමක් හොඳින් බව පේනවා. මන් හිනාවෙන්න ට්‍රයි කරනවා. මට හිනාවෙන්න අමාරුයි කියලා තේරෙනවා. එයා හිනාවෙනවා, සින්දුවක් මුමුනනවා, අමුතුවට ඇවිදිනවා. "මොකෝ මේ ආතල් එකක් ගිහින්?" මන් බොරු නෝක්කාඩුවක් පෙන්නලා අහනවා. ඇත්ත නෝක්කාඩුවකුත් මගෙ හිත අස්සේ තියෙනවා. එයාට ඒක මිස් වෙනවා. " දත් කැක්කුම අඩු උනානේ " එයා කියනවා. ' අඩු උනේ ඒක විතරද? ' අහන්න මට හිතෙනවා. මන් නොඅසාම ඉන්නවා. එයා ලෑස්ති වෙලා යන්න හදිස්සි කරනවා. මෙච්චර වෙලා බලන් හිටියේ මන් බව එයාට අමතක වෙනවා. එයාට කොහොමත් ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් අමතක වෙනවා. නැත්තම් දේවල් වලට මටත් රිදෙනවා කියලා එයාට අමතක වෙනවා. වෙලාවකට එයා අමතක කරනවාද කියලත් මට හිතෙනවා. හිතුනට ඔය මොකුත් මන් නොකියා ඉන්නවා. එක දිගට ලඟ හිටිය දවස් තුන ඉවර කරලා අපි එන්න පිටත් වෙනවා. දවස් තුනක් ම ඔයා ගාව ඉඳලා එද්දි වෙනදා වගේ කිස් එකක් නොදුන්න එකට නම් තරහ වෙන්නම ඕනෙ කියලා මට හිතෙනවා. (ඔයාට පුලුවන් ඕනෙනම් අහන්න ඇයි එහෙනම් මන් නොදුන්නෙ කියලාත්. ඔයාට නොකිව්වට මට හැමදාම හිතෙනවා මන් ඔයාට බයයි කියලා. ඒ බය එන්නෙ ඔයා හිතන විදිහෙ තැනකින් නෙවෙයි. ප්‍රතික්ෂේප වීමට බය තැනකින්.) කොහොම උනත් ගෙදරින් එලියට බැස්සට පස්සෙ තව දුරටත් නෝක්කාඩු හිතේ තියන් ඉඳලා වැඩක් නෑ කියලා මන් දන්නවා. මන් කියලා කෙනෙක් නැති තැනක මගෙ නමින් හිත් රිදීමක් තියෙන්න බෑනෙ. මට දරන්නම බැරි හැඟීමත් ඒකම බව මන් දන්නවා. ඒත් පුරුදු විදිහටම මන් ඒව අමතක කරනවා. ඇත්තම කියනවා නම් මන් වෙනදාටත් වඩා හොඳින් ඉන්නවා. බස් හෝල්ට් එකක මාව බස්සලා ඉතාම සාමාන්‍ය බායි එකකින් එයා සමුගත්තාම අමතක කරලා හිටිය අලුපාට හැඟීම මගෙ වටේ ආපහු එතෙනවා. ඊටත් පැයකට විතර පස්සේ ගෙදර යන්න කෝච්චිය එනකන් ස්ටේශන් එකට වෙලා ඉද්දි මන් කොහොමටවත් හොඳින් නෙවෙයි කියලා මට තේරෙනවා. එහෙන් මෙහෙන් එකතු වෙන තව තව දේවල් එක්ක අර අලු පාට හොඳටම කලු වෙලා තියෙනවා. කෑගහලා, බෑග් එක විසික් කරලා, ෆෝන් එක කුඩු කරලා, ඊලඟට එන කෝච්චියට පනින්න ඕනෙ කියන චරිතෙ යටකරගෙන මගෙ හයිය හිත මේක ලියන්න ගන්නවා. ළහිරුණි වික්‍රමරත්​න

මේක “එහෙම” කතාවක් නෙවෙයි

“මට කතා කරන්න ඕනෙ” එයා කියනවා. “කතා කරමු. මොනවද ඔයාට කියන්න තියෙන්නේ?” ඒ මම. ලේසියකට විසඳුමක් නැති, දිගින් දිගටම එයාට වද දෙන, අවුරුදු ගානක් දිග, හදවත් දෙකක් පලල, නිරායාසයෙන්ම මාත් කොටස් කාරයෙක් වෙන රස නීරස කතන්දර එයා මට කියනවා. එයාට එහාපැත්තෙ හාන්සි වෙලා, මන් ඒ ඔක්කොම අහන් ඉන්නවා. ඒ කිසිදේකට මන් ගාව විසඳුමක් නෑ කියලා…

Read More
පිටිසර සිරියාව | සාගර පලංසූරිය වහලේ සිදුරු අතරින් වැහිබිඳු බේරේ ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ නිල මැසි රොදින් යටවුණු කැතකුණු කසළ කෝඳුරු කරල් ඇත එල්ලුණ ගෙයි වහල මේ ගෙට තිබෙන කමතක් වැනි පොඩි මිදුල තණ කොළ උඩින් මතුවුණු තුත්තිරි අකුල කකුලක් බිඳුණ බංකුව, වැල් කැඩුණු ඇඳ මේ මුළු ගෙටම ඇති ලී බඩු දෙකය හොඳ මෝවිට ලිහුණු මාගල ලණු පොටක බැඳ එල්ලා තිබේ ගෙයි යට ලීයකට ඇඳ ගේ හරියටම නොකැඩුණු බඳුනක් නැත්තේ කළගෙඩියේ පැලැස්තර හත අට ඇත්තේ කුස්සිය කියන ගව මඩුවේ ලිප මත්තේ කසායක් දෙකක් මොන දවසෙ ද නැත්තේ දැළිකුණු වැකුණු ඇයගේ වැරහැලි රෙද්ද ලිපකට දැමූවිට අයියෝ ඇවිලෙද්ද සැප යනු ඇයට මොන තරමේ බොරුවක්ද ඇගෙ දුක අපායකවත් ඇත්තට ඇද්ද හාමත නිසා ලේ මස් ඇඟපතට නැතී වැහැරී ගිය දුබල ඒ ඇත්තියට හතී දෙනෙතේ නිතර පාහේ දුක් කඳුළු ඇතී දුප්පත් කම පෙනේ ඇගෙ සියොළඟම එතී

පිටිසර සිරියාව | සාගර පලංසූරිය

වහලේ සිදුරු අතරින් වැහිබිඳු බේරේ ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ නිල මැසි රොදින් යටවුණු කැතකුණු කසළ කෝඳුරු කරල් ඇත එල්ලුණ ගෙයි වහල මේ ගෙට තිබෙන කමතක් වැනි පොඩි මිදුල තණ කොළ උඩින් මතුවුණු තුත්තිරි අකුල කකුලක් බිඳුණ බංකුව, වැල් කැඩුණු ඇඳ…

Read More
සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා මල් කැකුළකට නෑකම් ඇති තුඩග තියා ලස්සන කිරිලියක් වන ලැහැබකට ගියා දිටියෙමි ඇති කූඩුව කොතැනකද කියා නොපෙනෙන පරිදි මිනිසෙකුගේ පියවි ඇස ලැහැබෙහි කුඩා පඳුරක අතු රිකිලි හිස ඇය බැඳි කැදැල්ලෙහි සැඟවුණු මිහිරි රස වැටහෙයි මටත් ගත හැකිනම් කුරුලු වෙස අමු කොළවලට පාටින් ඉවතට නොයන දිය පෙඳපාසි බිතු රස නයනකි අඳුන මායා සිහිනයක හැඩහුරුකම කියන පියකරු කැකුළු මල් පොකුරකි දොර පියන හිරිකඩ වැහි සුළං හිරු රැස් වැදලි සැඩ ලංවිය නොදෙන සේ නිල් අතු රිකිලි උඩ කොපමණ පියකරුද මේ ගෙය බැඳුණු හැඩ මෙබඳුම ගෙයක් උදෙසා මම සොයමි ඉඩ ඔවුනට සොබා දහමෙහි තිළිණයට ඇදී ඒ ගැන සියුම් නුවණක් පිරිනැමෙන ලදී වන දෙව්ලොවේ පඳුරක අතු අතර බැදී හුරතල් කැදැල්ලක නිදහස් රසය විඳි උරුමය අනුව ඔවුනට මහ පොළොව මත හැම සැප පහසුවම නොඅඩුව ලැබෙනු ඇත එය තව එකෙකු උදුරන්නට දරන තැත මෙහි කිසි තැනක කිසිවක් හට පුරුදු නැත මිණි කිකිණියක හඬ දැවටෙන අතර කනේ දොර ළඟ කුරුලු පැටවකු මුර තබනු පෙනේ නොපෙනෙන වෙසක් ගෙන එන්නට කැදැලි කොනේ මට ඒක පැයක උණුසුම දිය හැකිද අනේ ගොදුරක් සොයාගෙන පවුලක බර දන්නා පිය මහ කුරුල්ලා ඉඟිලී දිව එන්නා පෙරමග ගමන් ගොස් සිය හිමි පිළිගන්නා හුරතල් කිරිල්ලිය සංගීතය දුන්නා එච්.එම්. කුඩලිගම කුරුළු කූඩුව | එච්.එම්. කුඩලිගම

කුරුළු කූඩුව | එච්.එම්. කුඩලිගම

සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා මල් කැකුළකට නෑකම් ඇති තුඩග තියා ලස්සන කිරිලියක් වන ලැහැබකට ගියා දිටියෙමි ඇති කූඩුව කොතැනකද කියා නොපෙනෙන පරිදි මිනිසෙකුගේ පියවි ඇස ලැහැබෙහි කුඩා පඳුරක අතු රිකිලි හිස ඇය බැඳි කැදැල්ලෙහි සැඟවුණු මිහිරි රස වැටහෙයි මටත් ගත හැකිනම් කුරුලු වෙස අමු කොළවලට පාටින් ඉවතට නොයන දිය පෙඳපාසි බිතු රස නයනකි අඳුන…

Read More
සුභා සාලයේ ඇති බට්ටා පැද්දෙන ඔරලෝසුවේ පාන්දර දෙක වැදුනේ මීට සුළු මොහොතකට පෙරය.බැඳපු අළුත පරණ බඩු කඩ පීරමින් නව නිවසට ගෘහ භාණ්ඩ සොයනා කාලයේ සුභාගේ වුවමනාවට තෝරාගත් ඔරලෝසුව මේ නිවසේ පදිංචියට විත් වසර තිස් පහක් පමණ වේ. දීර්ඝ ග්‍රීශ්ම සමයක් නිමා කරමින් හවස් වරුවේ ඇරඹි වැස්ස දැන් සිහින් පොද වැස්සක් බවට පත්වී ඇත.වැසි ඇදහැලෙන විට දොර කවුළු වසාගෙන සිටින පුරුද්දක් මට නැත.ලියන මේසයට හරි කෙලින් ඇති කවුළුවෙන් වැසි දියෙන් සේදුනු අව පසේ සඳ පලුවක් නැග එන අයුරු පෙනේ. කවියෙකුට නම් කවි ලියවෙන දසුනකි එය. මේසා දිගු වසර ගණනාවක් සුභා තනිව මේ නිවසේ විසුවේ කෙසේදැයි මට නම් සිතාගත නොහැකිය.ඒ සමගම මගේ සිත වෙලී යන්නේ සුභා පිළිබඳ උපන් කණගාටුවකිනි.එමෙන්ම මා පිළිබඳ අප්‍රසාදයකිනි. හිරිගඩු පිපෙන තරම් සීතලක් දැනෙන බැවින් කෝපි කෝප්පයක් ඇත්නම් යැයි සිතේ.ජයන්ති සිටියානම් මේ රාත්‍රියේ වූවාද ඇහැරවා කෝපි කෝප්පයක් සාදවා ගැනීමේ හැකියාව තිබිණි.ජයන්තී පැමිණෙන විට උදේ හත පසුවේ.කෝපි සාදා දී උදේටත් දවල්ටත් උයා ඉන් කොටසක්ද ඇය අරන් යයි.රාත්‍රියට පලතුරු හෝ පාන් පෙත්තක් බටර් ගා කෑම මේ නිවසට පැමිණි පසු ඇතිවූ සිරිතකි. කවුළුව අඩවල් කර පැන්ට්‍රියට ගොස් කෝපි කෝප්පයක් සාදාගත යුතු බව සිත කියයි.පැන්ට්‍රිය ඉතා ක්‍රමවත්ය.පිරිසිදුය.තනි පාවිච්චියට නතුවී ඇති බව බැලු බැල්මටම පෙනේ . විදුලි කේතලය රත්වෙන්නට තබා කෝපි ,පිටි, සීනි කොහේදැයි සොයා බැලූවිට දුටුවේ හැම දෙයක්ම ඉතා පිළිවෙලට බෝතල් වල අසුරා නම්කර රාක්ක වල තබා ඇති බවයි.තනි පුද්ගලයෙකුට නම් අවුරුද්දකට වුවත් සෑහෙන පමණ ද්‍රව්‍ය එම කබඩ් වල ඇත.ශීතකරණයේද මස් , මාළු ,කිරි ,බිත්තර පමණක් නොව චීස් හා පලතුරු වර්ගද ඇත .සුභා පිළිබඳව මට දැනෙන්නේ පුදුමයකි.සුභා වැනි ගැහැණියකගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු විය හැකිද? ඇය මේ සියල්ල කර ඇත්තේ මා වෙනුවෙනි. සරසවි ඇදුරකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ මාගේ සමාජ ජීවිතය තිබුණේ සිතුවම හා සබැඳිවය.මුදල් හෙවීමේ උවමනාවක් මට එතරම් නොවූයේ පාරම්පරිකව උරුම වූ විශාල දේපලක් හා වලව් පෙලපතක් මා සතුව තිබුණු හෙයිනි.පියාගේ ඇවෑමෙන් එම දේපල නඩත්තුව මා විසින් පවත්වාගෙන යායුතු වුවත් මාහට මගහැරුනේ එයමය. නමුත් මාස්පතා සැලකිය යුතු මුදලක් මගේ බැංකු ගිණුමට වැටුණු අතර රට රටවල සංචාරය කරමින් , ප්‍රදර්ශන පවත්වමින් ගෙවූ යුගයකි එය. මා සංදිස්ථානයකට පැමිණියේ සුභා හමුවීමෙන් පසුවය.එවකට ඉංජිනේරු සිසුවියක වූ ඇය මා හමුවීමට පැමිණියේ මිතුරියකගේ වුවමනාවට ප්‍රදර්ශන ශාලාවකටය. කිසිදු විශේෂත්වයක් නොතිබූ එම හමුවට වර්ණයක් එක්වූයේ මිතුරකුගේ විවාහ උත්සවයකදී සුභා පැමිණ මා හා කතාකල මොහොතේය.මා අසලින් වාඩිවී පාළු කැපීමට සුභා එක්වූයේ ඇයගේම කැමැත්තෙන්ය. ඕනෑම මාතෘකාවක් පිලිබඳව කතාකිරීමට කරුණු ඇය සතු විය.උස සිහින් හින්දි නිලියකගේ බඳු සිරුරක් තිබූ ඇය සතු වූයේ විනිවිද දැකිය හැකි දෙනෙතකි .එම ඇස් වල යම් කාන්දම් බලයක් තිබූ බව නම් සත්‍යයකි.එදා අප වෙන් වූයේ නැවත හමුවීමට දිනයක් යොදාගනිමිනි. එතෙක් වෙනත ගැහැණියකගෙන් අත් නොවිඳි ස්ථාවර බවක් සුභා වෙතින් මට දැනිණි.ඇය හා එක්ව දුර ගමනක් යාමට හැකි වෙතැයි මා හට ඒත්තු ගියේ ඇය හමුවී මාස තුනක් ඉක්මීමටද මත්තෙනි. විවාහයෙන් පසුව මම මගේ රැකියාවේ සහ සිතුවම් ඇඳීමේ කටයුතු වලද සුභා ඇගේ අධ්‍යාපන කටයුතු වලද නියැලුණු බැවින් එකිනෙකා ඇසුරේ ගෙවීමට කාලයක් නොතිබූ තරම්ය.බොහෝවිට මා නිවසට පැමිණෙන විට සුභා නින්දට ගොස් හෝරා කිහිපයක්ම ඉක්මගොස්ය.එකල අප විසූවේ දෙමව්පියන් හා මහ ගෙදරමය.සුභා සහ මගේ මව අතර තිබුණේ මවක හා දුවක අතර තිබෙන්නාක් වැනි බැඳීමකි.අප දෙදෙනා අතර ඇතිවන මත ගැටුම් වලදී මගේ මව එයට ඇතුළත් වී සුභාගේ පස ගැනීම නොරිස්සුවේ මාය.එබැවින් අපටම කියා නිවසක් තනාගෙන වෙන්ව යාමට ඉක්මන් වූණේ මටමය. ඣ නව නිවසට පැමිණ වසරක් ඉක්ම යෑමටත් පෙර පුතකු ලැබුණේ සුභාගේ සිහින සැබෑ කරමිනි. අප අතර තිබූ නොගැලපීම් අඬදබර බවට පෙරලුනෙත් ඔය කාලයේදීමය.පියාගේ අභාවයෙන් පසුව දේපල පාලනය මවගේ අතට පත්විය. ඉන් පසු මට ලැබිය යුතු ආදායම ලැබුණේ සුභාගේ අතටය. වියදමට අවශ්‍ය මුදල මම සුභාගෙන් ලබාගත යුතු විය.එය මවගේ තීරණය විය.බොහෝ හිත් රිදවීම් වලට මුල වූයේ එයයි.සුභා පැවසූවේ මම මුදල් පාලනයෙන් තොරව සුරාවට හා කාන්තාවන්ට වියදම් කරන බවයි. රැකියාවෙන් ඉවත් වූ මා පූර්ණ කාලීනව සිතුවම හා එක්විය.ඉංදියාවේ වසරක පමණ කාලයක් ගතකල මම එහිදී විවිධ ආගම් හා ඇදහිලි ක්‍රම සොයමින් ආශ්‍රමයකින් ආශ්‍රමයකට යමින් ගතකළේ යෝගී දිවියකි.ඒ කාල පරාසයේදී එකදු සිතුවමක් හෝ නොඇඳි මම දිගු කාලීන චිත්ත විවේකයක් ලබාගත් අතර නැවත ලංකාවට එන විට සියල්ල වෙනස්වී තිබිණි.සුභා තමාගෙම ගොඩනැගිලි තැනීමේ සමාගමක් ආරම්භ කර තිබුණු අතර රැකියාවේද යෙදෙමින් එය පවත්වාගෙන ගියාය.ඒ අතරම මවක ලෙස ඉටුවිය යුතු සියලු වගකීම්ද නොපිරිහෙලා ඉටුකලාය. නැවත නිවසට පැමිණි පසුව අප අතර වචනයක් හුවමාරු වූයේ අත්‍යාවශ්‍යයම දෙයකට පමණි.අමනාපයක් හෝ හිත් රිදවීමක් නොවූවත් අපි අපටම අමුත්තන් විය.වෙන් නොවූවත් විවාහය කියා යමක් තවදුරටත් අප අතර පැවතියේ නැත.එතෙර සංචාර කීපයකට ආරාධනා ලැබුණේ ඔය අතරය.මා ඒ සඳහා පිටව ගියේ සුභාට යන තැනක් හෝ එන දිනක් පිළිබඳව නොදන්වාය .එම ගමන පිටත්වීමට පෙර මගේ මව හමුවීමට ගිය විට ඇය පැවසුවේ " දේපල සේරම සුභාගෙන් පස්සේ පුතාට අයිති වෙන විදියට ලියනවා උඹට කිසිම දෙයක් දෙන්නේ නෑ " යනුවෙනි. මවගේ අභාවය පිළිබඳව මා දැනගත්තේ පැරීසියේ සිටියදීය.ඒ වන විටද මරණය සිදුවී මාසයක් පමණ ඉක්ම ගොස්ය.ඇය කී ලෙසටම සියල්ල මාහට අහිමි කර තිබූ බව දැනගත්තේ පසු කළක ලංකාවට පැමිණි විටය. මේ වකවානුව තුලදී කතා කිරීමට හෝ කිසිදු බලපෑමක් කිරීමට සුභා තැත් නොකලාය .හදිසියේ මිතුරකු හමුවී දැනගත් තොරතුරු අනුව සුභා රැකියාවෙන් ඉවත්වී සාර්ථකව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය අතර අධ්‍යාපන කටයුතු හමාර කළ පුතුද එයට එක්වී සිටියේය. ඒ දීර්ඝ වසර ගණන පුරා මාද තනිව සිටියා යැයි කිව නොහැකි අතර විවිධ ගැහැණුන් ජීවිතයේ යම් යම් පරිච්ඡේද අත්පත් කරගෙන සිටියහ.නමුත් කිසිවකු වෙත දීර්ඝ කාලීනව බැඳී සිටීමේ නොහැකියාව මා උපතින්ම ගෙනා දෙයකැයි සිතෙන තරමටම ඒ සියල්ලන් වෙතින් හිටි හැටියේ පලා ගියේ මාය.අදටත් හදවතින් මා හා ආලයෙන් බැඳුණු ගැහැණු කොහේ හෝ සිටිනු ඇත. දැඩි ලෙස රෝගාතුර වන විට මා සිටියේ චීනයේය.ස්නායු ආබාධයක් වැළඳුණු මා ඇඳටම සීමාවිය.මිතුරන්ගේ උපකාරයෙන් ඒ තත්වයෙන් මිදුනත් නැවත පින්සලක් ඇල්ලීමට නොහැකි තත්වයට අත් දෙකේ වෙව්ලිල්ල දිගටම පැවතිනි.දරුණු ශීත කාලයකටද හසුවී ගෙවු ඒ අසරණ දවස් අවසානයේදි මා හිත හදාගත්තේ නැවත ලංකාවට ඒමටය. මා නැවත පැමිණෙන විට පුතු විවාහ වී වෙනත් නිවසක පදිංචියට ගොස් සිටි අතර නිවසේ සිටියේ සුභා පමණි. නැවත පැමිණීමෙන් පසුව මට ලැබුණේ තනි කාමරයකි.දහවල කාන්සියෙන් ගතකරන මා සුභා එනතුරු බලාහිටියේ වදනක් හෝ කතාකිරීමටය.නමුත් රෑ බෝවී නිවසට එන සුභා පාඩුවේ තම වැඩපලෙහි යෙදුනාය.නමුත් මට අවශ්‍ය කෑම බීම ,බෙහෙත් මෙන්ම ඇඳුම් පැළඳුම් ද ගෙනත් තැබුවාය.රාත්‍රියට ආහාර නොගන්නා සුභා මා ආ පසුව මා වෙනුවෙන්ම රාත්‍රී ආහාරයද පිසුවාය. ඉඳහිට හමුවූ පුතුට නම් මා අමුත්තකුම විය.නමුත් කිසිවිටක මගේ හිත නොරිදවූ ඔහු මා හා කතාබහ කලේය. දහවල කාන්සියෙන් ගෙවූ මා නගරයට යාමට හුරු වූයේ ඔය අතරය.ආදායමක් නොවූ මා අත එතරම් මුදල් ගැවසුනේද නැත.ඉතිරිකරගත් මුදලක්ද මා සතුව නොවිණි.සුභා මාසිකව යම් මුදලක් මගේ ගිණුමට බැර කළ නමුත් අරපිරිමැස්මක් නොදත් මා අතින් මාසයේ බාගයක් ගෙවීමටත් පෙර ඒ මුදල අවසන් විය.හවසට අවන්හලට යාමත් ඇත් නොහළ හැකි පුරුද්දක් විය.මගේ රෝගයට මත් පැන් අගුණ වූ බැවින් ගිණුමට මුදල් තැම්පත් කිරීමේදී ඒ පිළිබඳවද සුභා සැලකිලිමත් වූවා විය හැක. දහවල හංදිය පැත්තට යන මට උණුවෙන් යමක් කන්නට හිතෙන බැවින් කවුරුත් යන එන බත් කඩයකට යාමට හුරු විය.එය පවත්වාගෙන ගියේ මැදි විය ඉක්මවූ නමුත් හැඩකාර සිරුරක් හා හොඳ ජවයක් තිබූ ජයන්තිය.වසර ගණනක් එතෙර රැකියාව කර පැමිණ සිටි ඇය සැමියාගෙන් වෙන්ව තනිව බත් කඩය පවත්වාගෙන ගිය අතර දූ දරුවන්ද විවාහ වී වෙන්ව සිටියහ. කලක් යන විට මම බත් කඩයේ නිත්‍ය ගණුදෙනු කරුවකු විය.වෙනත් අයට නොදෙන කටගැස්මක් රස කැවිල්ලක් ජයන්තී මා වෙනුවෙන් වෙන්කර තැබුවාය.අඳුරත් සමග ගෙට ගොඩවදින සුභා මා අතවත් නොතැබූ කෑම කණු භාජනයට හලා පසුදා උදෑසනද නැවත කෑම පිලියෙලකර තැබුවාය. කලක් යන විට රාත්‍රියටත් නිවසට යාමේ උවමනාවක් මා හට නොවූයේ විටින් විට රැගෙන ආ ඇඳුම් සහ වෙනත් අවශ්‍ය දේවල් කඩය පිටුපස කුඩා ගේ කොටසේ තබා තිබීම හේතුවෙනි.එබැවින් ඇතැම් දිනවල මා නිවසට නොගොස් ජයන්තී සමග ඇගේ නිවසේම නැවතුන අතර මේ පිළිබඳව කිසිවක් සුභා නොවිමසූ නමුත් ඇය සියල්ල දැන සිටි බව නොරහසකි.අවසන මා ජයන්තීගේ නිවසේම නැවතුනත් මේ කිසිවකින් සුභා සැලුනේ නැත . සුභා සුපුරුදු ලෙසම මාස් පතා මුදල් ගිණුමේ තැම්පත් කළාය. ජයන්තිගේ පුතු මතට ඇබ්බැහි වූවෙකි.ඔහුගේ තාඩන පීඩන ඉවසිය නොහැකි තැන දරු තිදෙනාද අතහැර බිරිඳ වෙනකෙකු හා පලා ගියේ මේ අතරය.පුතු දරුවන් සමගින් ජයන්තිගේ නිවසේ පදිංචියට ආ අතර එහි තිබූ නිස්කාන්සුව මට අහිමි විය.රෑට මත්වී පැමිණෙන පුතු මුදල් ඉල්ලා මව සමග බහින්බස්වීම හා දරුවන්ගේ කෑ කොස්සන් ගැසීම් වලින් නිවස යුධ පිටියක් බවට පත්විය. කොරෝනා සමයේ ඇතිවූ පසුබෑම හමුවේ මා පුතු සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය.යන්නම් කියා යෑමටවත් ඔහු නොපැමිණියේය.මේ සියල්ල හමුවේ නොසැලී හිඳීමේ ශක්තිය සුභා සතු විය.වදනකින් හෝ මා හට දොසක් වෙන අයකු සමගවත් නොපැවසුවාය. ජයන්තීගේ බත් කඩයද ක්‍රමයෙන් වැසී ගියේ ඒ පවුලේ බරද මා පිට පවරමිනි.මේ හේතුව නිසා බෙහෙත් ගැනීම මා අතින් අතපසු විය.නමුත් ජයන්තී පෙර පරිදිම මාහට සැලකුවාය.මේ අතර මා නැවතත් අසනීපවී ඔත්පල විය.ජීවිත ආසාව අතහැරගත් මොහොතක එහි පැමිණි සුභා මා රැගෙන ගියේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලකටය .එහි නවත්වා ළඟ හිඳ ඇප උපස්ථාන කොට සුවවූ පසුව නැවත ජයන්තීගේ නිවසටම ඇරලුවාය . එතැන් සිට මට අවශ්‍ය බේත් හේත් කිසිවකු හෝ අත මාස් පතා එවුවාය.අදාල දිනට මා රැගෙන ගොස් වෛද්‍යවරුන්ට පෙන්නුවාය.නමුත් අදාල දෙය හැර වෙනත් ඇයි හොඳයියක් මා සමග නොපැවැත්තුවාය.එමෙන්ම කිසිදු විටක ජයන්ති කෙනෙකු සිටින බවක් වත් දැන සිටින බවක් පලනොකලාය. දෙමසකට පමණ පෙර උදෑසනක සුභා පැමිණ නිවසේ යතුර මා අත තබා පැවසුවේ මද කලක් පුතු හා විසීමට ඕස්ට්‍රේලියාවට යන බවකි.හැකි නම් තමා එන තුරු නිවසේ රැඳී සිටින ලෙස ඇය මගෙන් ඉල්ලුවාය .සැබවින්ම ඒ වන විට ජයන්තිගේ නිවසේ විසීම මා වෙහෙසට පත්කර තිබිණි. නැවත නිවසට පැමිණි විට මට අදහාගත නොහැකි වුයේ සුභා යනු කුමන ආකාරයක ගැහැණියක්ද යන්නය.ඇය ගිය පසුව ජයන්තී හා දරුවන් මෙහි පැමිණෙන බව දැන දැනම ඇය සියළු දේ මට පහසුවන ආකාරයටම සකසා ගොස් ඇත.ඒ අතරම නියමිත මුදල මගේ ගිණුමට බැර කළාය.සියළු බිල්පත් ගෙවා දැමුවාය.සතිපතා අවශ්‍ය සියළු ද්‍රව්‍යය සුපිරි වෙළෙඳ සැලක් හරහා නිවසටම එවුවාය. කෝපි බී අනතුරුව සෝපාවේ ඇලවුණු මාහට එහිම නින්ද ගොස් තිබිණි.මා පිබිදුනේ සීනුවක් වදිනා හඬිනි.ජයන්තී පැමිණ ඇතැයි සිතුවත් ඒ වන විටද හාත්පස පැතිර තිබුණේ තද අඳුරකි. " තවම එළි වෙලත් නැහැ " ඒ හඬා තිබුනේ නිවසේ දුරකථනයයි.මා මේ නිවසට පැමිණියාට පසුවම එය හඬා නැත. රිසිවරය කනේ තබාගත්තේ " සුභා වෙන්න ඇති" සිතමිනි . " තාත්තේ " ඒ පුතුය.මතක ඇති කාලයකින් " තාත්තේ " යැයි අමතා නැති පුතුය. ඒ හඬේ ඇත්තේ හැඬුම්බර බවෙකි. " තාත්තේ අම්මා ගියා යන්නම ගියා " ඔහු ළදරුවකූ සේ ඉකිබිඳී මා සිටියේ ගල්වූවකු ලෙසය. " හාට් ඇටෑක් එකක් කාලයක් තිස්සෙම තිබිලා තියනවා. බෙහෙතුත් අරගෙන තියනවා. මටවත් කියලා නැහැ. මගේ ඇස් වලින් කඳුළු රූරා ගලනු දැනේ රිසිවරය අතහැරි මා පුටුවක ඉඳගත්තේ තවදුරටත් නැගිට සිටීමට වාරු නොතිබුණු බැවින්ය. තනිකම යනු කුමක්දැයි හරියටම වැටහෙන්නේ දැන්ය ෂර්මිලා බංදුනී දංවත්ත

සුභා | ෂර්මිලා බංදුනී දංවත්ත

සාලයේ ඇති බට්ටා පැද්දෙන ඔරලෝසුවේ පාන්දර දෙක වැදුනේ මීට සුළු මොහොතකට පෙරය.බැඳපු අළුත පරණ බඩු කඩ පීරමින් නව නිවසට ගෘහ භාණ්ඩ සොයනා කාලයේ සුභාගේ වුවමනාවට තෝරාගත් ඔරලෝසුව මේ නිවසේ පදිංචියට විත් වසර තිස් පහක් පමණ වේ. දීර්ඝ ග්‍රීශ්ම සමයක් නිමා කරමින් හවස් වරුවේ ඇරඹි වැස්ස දැන් සිහින් පොද වැස්සක් බවට පත්වී ඇත.වැසි ඇදහැලෙන විට දොර…

Read More
Back To Top