රාත‍්‍රියේ නීතිය

රාත්‍රියේ නීතිය ‍| චන්ද්‍රකුමාර වික්‍රමරත්න

බොහෝ කලකට පසුව
සිහිනයෙන් මා දුටුව
කළුපාට ගාලු කොටු පවුර මත
අම්මා සිටියාය
වසංගතයෙන් පෙළෙන
මුළු ගාලු නගරයම
දෑසේ කඳුළකට කොටු කොට රැගෙන

කලු පාට බොර කඳුළු රළ නඟන
සඳුන් සුවඳැති කසළ මෝඩ ඇළ
සෙමින් නිහඬව පෙර පරිද්දෙන්
පාසි පෙණ බුබුළු උතුරමින්
පුරවරේ සංකේතය වෙමින්
ගලයි හැව්ලොක් ටවුම අයිනෙන්

නගරය විසින් බෝ කළ
හොරි දද කුෂ්ඨ සාපය
මා මුවට රන් පාට කිරි පෙවූ
ඇගේ සියොළඟ ගිලගෙන තිබුණි
පාපතර දෙනගම සනුහරේ
කාසි නෑයකු ඉවත විසිකළ
ඇය පැළඳි දුඹුරු මල් දූවිලි සාරිය
කොටු පවුර මත නැගූ
රතු පාට ධජයක්ව
සුළඟ හා දොඩයි අභිමානයෙන

ඈ මිත්‍ර කුලී රථ රියැදුරෝ
තුෂ්නිම්භූත වී ගල් ගැහී
පවුර මත ආශ්චර්යය දකිත්
ඇගෙන් පසු නගරයේ
බලය ඇල්ලූ ලියෝ
වැල් වැවුණු පවුර පාමුල
රැඳී ඈ කියන කථා අසමින් සිටී

සුළං කෝඩය කපා ඉරාගෙන
ඇගේ හඬ ගලයි නගරය පුරා රැව් දිදී

ඇය මෙසේ කීවාය….

පෙර දවස
නගරයේ රෝම ලන්දේසි නීතිය
මා රැගෙන ගොස් කූඩු කොට
දඩ ගසා දඬුවම් පමුණුවා
අනාචාරේ ගියයි කළ මහත් චෝදනා
සැබෑවකි සත්‍යයකි

දරු පැටව්
බඩ සයින් කෑ ගසන හඬ මිසෙක
නො ඇසුණේය
රෝම ලන්දේසි නීතියෙහි
ගොර බිරම් හඬ…
එකල මට…

  • චන්ද්‍රකුමාර වික්‍රමරත්න | භූගත කවි සිත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top