
ජීවිතයම කවියක් කර ගත් ඇයට මුළු හදවතින්ම සවිය දෙන ඔහු, සෙනෙහසින් ගයන ආදරණීයම ගීතය. හදවතක හැඟීම් ගොන්නකට පණ දෙන්නට ගීයකට, එහි පද රචනයට සහ තනුවට කෙතරම් නම් හැකියාවක් තිබේ ද යන්න මැනවින් පසක් කරවන අපූර්ව ගීත නිර්මාණයක් ලෙස “නුඹ කවිකාරී” ගීතය හඳුන්වන්නට හැකිය. මෙම ගීතය නිර්මාණය වන්නේ ගායක සමන්ත පෙරේරාගේ හඬ මුසු වී, පබාශිනී හේරත්ගේ අර්ථවත් පද ගැළපීමෙන් සහ අමිත් ලියනගේ ගේ තනු නිර්මාණයෙනි. “නුඹ කවිකාරී” යනු ගීතයකින් එහා ගිය ජීවිතය සහ ආදරය වෙනස්ම වූ නිවීමකින් අර්ථවත් කරන්නකි.
පූදිනා හදේ සිතුම් සීරුවට නෙලා අමුණන
සොඳුරු කවි මලින් සැරසෙන – නුඹ කවිකාරී
කිවිඳිය හිමි- කවිය අහිමි මම නුඹෙ ස්වාමී
නුඹව දැනෙන – පෙම්බර ස්වාමී
හදවතේ උපදින්නා වූ සියුම් සිතුවිලි සියල්ලක් ඉතාමත් සීරුවෙන් සුසුමින් සුසුම අමුණා කවි කරන නුඹ කවිකාරියකි. මෙහි ඔහුගේ දෘශ්ටි කෝණයෙන් කියැවෙන පරිදි කිවිඳිය දැනටමත් ඔහුගේ වී හමාරය. එනම්, ඔවුන් දැනටමත් ස්වාමි-භාර්යා බැඳීම තුළින් එකිනෙකාට හිමි වී අවසන්ය. මෙහිදී “කිවිඳිය හිමි කවිය අහිමි” යනුවෙන් දැක්වෙන්නේ ඇයට ඇති කවි කුසලතාවය ඔහුට නොමැති නමුත් ඔහු මුළු හදවතින් ඔහුට හිමි කිවිඳියගේ සවියට සිටිනා බවත්ය. ඇයව දැනෙන ඇගේ ප්‍රේමණීය ස්වාමියා ලෙස ඔහු සැමදාමත් පරිස්සමින් ඇයව රැක බලා ගන්නා බව ඉතාමත් සියුම් ලෙස අර්ථ ගන්වා ඇත.

සසර අතරමග හමුවුණ – ඉනූ කඳුළු පිස හිනැහුණ
රිදුම් අකුරු කොට සැනහුණ පියම්බිකාවී…
එළිවැටකට මම නැතිවට – කම් නෑ දේවි..
සංසාර චාරිකාව අතරමඟ දී හමු වී සියලු දුක් කම්කටොළු දරා හිඳ ඒ රිදුමන් ද අකුරු වලින් දිය කර හැර සැනසුණු ඇයව ඉතාමත් සෙනෙහසින් අමතන්නේ, “පියම්බිකාවී” යනුවෙනි. ” එළිවැටකට මම නැතිවට කම් නෑ දේවි”, සියලු දේ පිළිබඳව කවි ලියන ඇයගේ කවි තුළ ඔහු නැතත් ඔහු ඉතාමත් සෙනෙහසින් ඒ සියලු දෙව් අගය කරන බව ඉස්මතු කර ඇති ආකාරය ඉතාමත් අපූර්වය.
සීමා මායිම් නොපෙනෙන – නිදහස් හැඟුමින් හැඩවුණ..
අහස නුඹෙයි පියා විදා ඉගිළෙන් නොසැලී රිදෙනා තටු පිරිමදින්න ඉන්නම් පේවී.. නුඹව දැනෙන පෙම්බර ස්වාමී..
ඉමක් කොනක් නොපෙනෙන කවිකාර ලෝකයක් පුරා නිදහසේ ඇවිද යන ඇය වෙනුවෙන් ඔහු පවසන්නේ, මේ අහසම නුඹගේ ය. ඉතින්, නිදහසේ පියාසලා ඉගිල යන්න. “රිදෙනා තටු පිරිමදින්න ඉන්නම් පේවී”, විඩාවක් දැනෙන හැම මොහොතකම ඇගේ සමීපයෙන් රැඳී ආදරෙන් සනසාලන්නට, සවිය වන්නට පේවී ඉන්නා ඔහු ඇගේ ප්‍රේමණීය ස්වාමියා බව නැවත නැවතත් අර්ථාන්විත ලෙස ඒ හැඟීම් සියල්ලක්ම වචනයට නංවා ඇත. මෙවන් ආදරයක් සහ තේරුම් ගැනීමක් ඇති තැන ජීවිතය ඉතාමත් පහසු වනු ඇත. එකිනෙකා අතර අවබෝධය ඇති තැන පවුල් ජීවිතයක සාර්ථකත්වය සහ සතුට පවතින බව මෙම ගීතයෙන් මැනවින් පැහැදිලි වේ.
ගීතය පුරාවට රූප රචනා මැවෙනා තරම් ජීවයකින් මෙය නිමවී තිබීම ඉතාමත් අගනේය. සමන්ත පෙරේරාගේ හඬ මෙම ගීතයේ ඇති ගැඹුර සහ ස්නේහවත් බව තව තවත් වැඩි කර ඇත. හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන තනුවක් හා විශිෂ්ට පද රචනාවක සංයෝගයෙන් නිමැවුණු “නුඹ කවිකාරී”, සවන් දෙන්නන්ගේ හදවතට නීවීමක් එක් කරන ඉතාමත් ප්‍රේමණීය රසවින්දනයක් සහිත නිර්මාණයකි.

-නවෝද්‍යා ධනංජනී –