මගෙ කවියෙන් ඔබ දකින්න | මහගම සේකර
මගෙ කවියෙන් මා නො සොයන්.
අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට
ඒ ගමනේ මට හමු වන
ගල් පර්වත හෙල් ප්රපාත
මට වාගෙම ඔබ හැමටත්
යම් දවසක හමු වනු ඇත.
දෙපය බැඳෙන මළ පුඬුවෙන්
ඔබ යන මඟ ඇහිරී
බොරුව ඉසින අයස මඩින්
ගත කිලි කුණු තැවරී
කැට මුගුරින් පහර ලබා
දුබල අතින් පොළොව බදා
මා මෙන් ඔබ ඒ දවසේ
අසරණ වී වැලපෙන විට
මා ලිව් කවි මට වාගෙම
ඔබ හැමටත් පොදු වනු ඇත.
සබඳ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න.
මා යන මඟ කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟ දැන
ඔබේ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැකගත හොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත.
ඒ මල් තුළ මා දකින්න.
- මහගම සේකර
❤️❤️❤️❤️