2024.10.27 | තරින්ද්‍ර ගලහේන
ඉරිදා
තේ බෑගයක් වගේ හැන්දෑව
අහසෙ දිය වුනා
අහගෙන හිටපු සින්දුව ඉවර වෙලා
කියල මට තේරුනේ සෑහෙන වෙලාවකින්!
මම දිග හුස්මක් අරගෙන
රාත්‍රිය පිළිගන්න සූදානම් වුනා
තාමත් ලපටි රාත්‍රිය තුවාල කරගෙන
තනින් තැන විදුලි එලි දැල්වෙන්න පටන් ගත්තා
“ඇත්තටම, ආලොකය ගැන
මොකද්ද මේ මිනිස්සුන්ට තියන සලබ උමතුව?”
මම නිහඬතාවයේ ඉඳල කල්පනා කළා
මේ නිහඬතාවය කණනාඩි වලින්
හදල තියන හිර කුටියක්
මම ඒකෙ හිරකාරයෙක්.
ජේලර් කෙනෙක් හිටියෙ නෑ
එ නිසා ඒගොල්ලො මාව මගේ ජේලර් විදිහට පත් කලා
(ඒගොල්ලො කියන කුළකය මොකද්ද කියල හරියටම අර්ථදක්වල නොතිබුණත්, මට ඉපදුනු දවසෙ ඉඳන් හමුවුණු හැමෝම අඩු වැඩි වසයෙන් ඒකට අයිති වුනා)
හිරකරු/ජේලර් දෙවිදිහටම මම
මගේ වගකීම් හරියටම ඉටු කලා
මම හිරකාරයා විදිහට පලා යන්න හදද්දි
මම ජේලර් විදිහට මාව නැවත්තුවා
දැන් ඉතින් විදුලි එලි දැල්විල්ල එක
නැවතුනොත් හොඳයි!
එතකොට හිරකාරයට පුලුවන්
ජේලර්ට නොපෙනී පලා යන්න
(උත්සහ කරන්න)
- තරින්ද්‍ර ගලහේන