Cart 0
කසුකුසුව 11 – තරිදු දම්සර සමග
පොලිස් නිලධාරියා අපට බැන වදිද්දි ඔහුට පෙනෙන්නට තරමක් එහාට වුණු අපි, ඔහු නික්ම යාමෙන් අනතුරුව නැවත බංකුවේ තරමක් ළගින් හිද ගත්තෙමු. මම ගෙදරින් කෝච්චියේ යන ගමන් කියවන්නට මහින්ද අයියාගේ “ඇහි පියන් ඇහැරිලා” කවි පොතත් තවත් කවි පොත් කිහිපයකුත් අපේ බංකූවේ පැත්තක ය. සාක්කුවේ මගින් ගත් ගින්නෙන් උපන් සීතලකි. මා ඇගේ උකුල මත හිස තබාගැනිමේ වරද පොලිස් නිලධාරීයාට නීතිපොත මතක් වෙන්නට කරපු බරපතල වරද ය. අපට ඈතින් අදාගලය.,එහා පැත්තේ මතක විදිහට ඉබ්බාගලය.,පසුව ඇතුගල ය., කොනේ ම එළුවාගල ය. එදා මට ඒ ගල් පාඩම කියාදුන්නේ ඈය. පසුව මේ ගීතය මුලින් ම අහන්නට දී, අවසානයේ මට වඩා ඔහුට ආදරය කරන බව සාහසික ලෙස දෙඩු ඈය.
“දවස් තිබුණා අපටත්
දුරින් හිද මිමිණුව
හදින් වැහෙන ආලයෙන්
අතින්වත් අත නොඇලුණ”
මේ කසුකුසුව ඒ රිදුම් වැඩි කල ෆ්ලෝරින්තිනෝ සමග ය.
1. සංගීතය කරන්න පුළුවන් රහක් ඇති මිනිහෙක්ට ද ?
හැඟීම් තියෙන අයට කිව්වොත් හරි. හැඟීම් තව කෙනෙක් එක්ක බෙදාගන්න පුලුවන් එක විදිහක් මේක.
2. සමාජ මාධ්‍ය සංගීතය වෙනුවෙන් පෙනි හිටින්නේ කොහොමද ?
ඒකෙන් පුළුවන් අපිට ඕන දේ විතරක් අහන්න හෝ බලන්න. ඉස්සර තිබුණේ දෙන දෙයක් අහන එකනේ. ඒකට වඩා ඇත්තෙන්ම මේක හොදයි. ඒ නිසා ම එකිනෙකට වෙනස් දේවල් අහන්න දකින්න පුලුවන් තත්වයක් තියනවා. ඒක හොඳ දෙයක්.
3. ඔබ සංගීතයේදි සාහිත්‍යයට දෙන වටිනාකම මොන වගේ ද ?
මං විස්වාස කරනෙ දේ තමයි, සිංදු අහන අයට ඕන මං කොච්චර දන්නවද කියලාවත් මගෙ වපසරිය කොච්චරක්ද කියලාවත් දැනගන්න නෙවෙයි. ඒ නිසා මං බොහෝ විට සරලම දේවල් කරන්නේ. ඒකට මං ගන්න හොදම දේ තමයි වචන.
කෙටියෙන්ම රිද්දන්න පුළුවන් හොදම තැන් තියෙන වචන. ඒ වගේ ම බොහෝවිට Concept එක. මං ඒකට උත්සහ කරනවා. ඒක එහෙමම වෙනවද කියලා මමත් තවම හොයනවා.
4. නිර්මාණයකින් කලාකරුවෙකුට සැහිමකට පත් වෙන්න පුළුවන් එය ජනප්‍රිය වන තරමට ද ? නැත්නම් නිර්මාණයේ ගුණාත්මකභාවය ඉහල මට්ටමක රැදෙව්වාම ද ?
නිර්මාණය සාර්ථක වෙන්න මුලින්ම එයට සම්බන්ධ වෙන අය තමන්ගේ ජීවිතවලින් විනාඩි ගානක් දෙන්න ඕන ඒ සිංදුවේ තියන කාරණාවට. මේ වැඩ වලට ඇත්තෙන්ම ලියන කෙනාගෙ ඉදන්, ගයන කෙනා, වාදනය කරන අය, පටිගත කරන අය ඒ හැමෝම ඒ අවශ්‍ය හැඟීම් ටික එලියට ගන්න උපරිම කොටස කරනවා. ඒ හැමෝටම මේ ගීතවල වටිනාකම හිමිවෙන්න ඕන.
5. ඔබේ නිර්මාණවලට යොදා ගන්නා ගී පද , සමකාලින ගී පදවලට වඩා හාත්පසින් වෙනස්. ඔබ ඒ ගැන සවිඥානිකයි ද ?
මේ ගීතවලින් දෙකක් තුනක් ඇරුණු කොට අනික් සේරම කවි. අහම්බෙන් මුණ ගැහුනු. ලියන හැම දෙනාමත් එහෙම අය. සමහර අය දැකලවත් නෑ. ඉතිං මට ඒ අය විශේෂයි ලියන දේවල් වගේම.
6. ඔබ ප්‍රේමය ගැන කතා කරන්නේ වෙනස් රසයකින්….
මේක වෙනස් රසයක් කියලා මට කියන්න බෑ. මොනවා වුණත් මං කෑමති එහෙම අහගන්න. ඒක එහෙම නම් සතුටුයි. මං ආදරය ගැන බොහෝ ගීත කරේ හිතන්න පුළුවන් අයට සමීප වෙන්න. නමුත් ආදරයට වඩා ලෝකේ හිතන්න දකින්න ගොඩක් ලස්සන දේවල් තියෙනවා. එහෙම එක දෙයක් තමයි “සාස්තර” එකෙන් පෙන්නුවේ.
7. මිනිස්සුන්ට හුරුපුරුදු රස වෙනුවට වෙනත් රසයක් දෙන එක කොහොම වැඩක් ද ?
මට සාපේක්ෂව මං උත්සහ කරනවා නිතරම ඒ කරන දේ ඇතුලෙ මාව සතුටු කරවන්න හෝ රිද්දගන්න. ඒක මට වෙනවා නම් මං ඒක අනික් අයට අහන්න පුළුවන් තැනට පත්කරනවා. අහන එක ඒ අයගේ වැඩක්. ඇත්තෙන් ම මං කෑමති ඒ රහ හොයන මිනිස්සු අහනවාට. ඒ දැනීම දැනෙන පොඩි හරි පිරිසක් ඉන්නවා කියලා හිතං ඉන්නවා මං., දැනට.
“පටුනක් තරම් පටු ආදරේ සැකිල්ලක
පිළිවලින් අතරමං වෙමි
නිම නොවන කතාවක
මං ඉන්න කොතනකද
නුඹ ලියූ අකුරකින් නොඅසමි
ජීවිතය ප්‍රේමයේ එක් කුඩා කොටසකි
නොදැන උන්නාට නුඹ
ආලයක් කොළරාවකි
ප්‍රේමය ම කවියකි”
අයන්ත යුනේෂ් ප්‍රනාන්දු