කොෆීමය සිතුවිලි මන් ඇත්තටම ලියන්නේ ඇයි? ඒක මන් මගෙන්ම අහන ප්‍රශ්නයක්. එක එක වෙලාවට මට එක එක හේතු තිබුනා ලියන්න. මුලින් මට තිබුනේ හිතේ තිබුන අනන්තවත් හැඟීම් එළියට ගන්න උවමනාවක්. ඒකත් කාටවත් නොපෙනෙන්න. පස්සේ මම ලිව්වා ආසාවට. මන් ලියන ඒවා කියවන අය ඉද්දී, ඒවා අගය කරන, තව තව ලියනවට කැමති අය ඉද්දි, ලියවිල්ල මට එක්තරා ආස්වාදයක් උනා. මන් ලිව්වා සල්ලි හොයන්නත්. අමතරව අතට ගානක් ගන්න, ඒකෙන් කොෆී එකක්, සිගරට් එකක් බියර් එකක් ගන්න, එක එක අරුමෝසම් බඩු ගන්න සල්ලි හොයන්න මන් ලිව්වා. ඒ වගේම මන් ලිව්වා මාව හොයන්න. ලිවීම මාව නිරුවත් කරන බව ඇත්ත. නිරුවත් වෙන්නත් මන් ලිව්වා. දැන් මන් ගොඩක්ම ලියන්නේ මගෙ ඇතුළාන්තය එළියට ගන්න. ඒකෙන් සහනයක් ගන්න. මගෙ අතීතෙ හාරා අවුස්සන්න. පරණ තුවාල අලුත් කරගන්න. වැහුණු යටගිය තුවාල පාරලා ලේ ගලන්න දෙන්න. ඒත් ඒක අවශ්‍යයෙන්ම සුවපත් වෙන ලියවිල්ලක් නෙවෙයි. ඒක මන් දැන් හොඳටම දන්නවා. මන් ඔයා ගැන ලියන්න ලියන්න, මන් ඔයාව වැඩිපුර හොයන්න ගත්තා. මට ඔයාව හැමතැනම පෙනෙන්න ගත්තා. හිතනවා තරම් ආස්වාදයක් ඒකෙ නැතිබව මට පේන්න ගත්තා. නිරුවත් වීම ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් නොනවත්වා ලේ ගලන තුවාල මාව නිරන්තර වේදනාවෙන් පිරෙව්වා. හිතුවා වගේ ඒ වේදනාවට මන් තවමත් ලෑස්ති නැති වග මට තේරුනා. මන් තාමත් ලියනවා. ඒත් මන් ලියන්නේ ඇයි?? ආයෙ ආයෙම ඒ ප්‍රශ්නෙ මා ගාව ඉතිරි උනා. සමහරවිට ඒ ප්‍රශ්නෙට උත්තරේ මට කවදාවත් හම්බෙන එකක් නෑ. ඒත් මේ ලියවිල්ල පුරාවට සමහරක් ප්‍රශ්න වලට උත්තර මට හම්බෙනවා. පාරලා කොණහන අතීත තුවාල වලට දාගන්න බෙහෙත් නැත්තම්, තුවාල පෑරිල්ල එච්චර හොඳ නැති බව දැන් මන් දන්නවා. ගලන ලේ පාරවල් පිහාගන්න නෙවෙයි නවත්තගන්නම විදිහක් නැතුව ලේ ගලන තුවාල එක්ක මේ එදිනෙදා ජීවිතය අමාරු බව මන් දැන් දන්නවා. සල්ලි කොච්චර ඕනෙ උනත් සල්ලි වෙනුවෙන් ලියන්න අමාරු බවත් මන් දැන් දන්නවා. හැමදාම වගේ, ලියන්න නම් මට එක්තරා අමුතු අවුළුවාලීමක් ඕනෙ වෙනවා. හදිසියේ ඔලුවට උඩින් පත්තුවෙන ලයිට් එකක් වගේ හිතුවිල්ලක් ඕනෙ වෙනවා. ඒ ඇවිලීම, උත්කර්ෂය, ඒ ආලෝකය අරන් එන පරිසරයක්, ජීවියෙක්, පැවැත්මක් මට ඕනෙ. ඔය මොකක්වත් නැතුව ලිවීම ලොකුවට අමාරු නොවුනත්, ඒ ලියවිලි වල හදවතේ කෑල්ලක් අලවගන්න මට බැරිවෙන්න පුළුවන්. එහෙම ලිව්වාම ඒ ලියවිල්ලට පවතින්න ආත්මයක් නැතිවේවි. ඒ පැවැත්මේ වැදගැම්මක් නැතිවේවි. ඒත් මට ලියන්න පුළුවන්. ඒත් මම ලියන්නේ ඇයි? කිව්වා වගේ හැමදාම ඒ ප්‍රශ්නේ මට ඉතිරි වේවි. ගොඩක් වෙලාවට ලියන්න මන් කොෆී හෙව්වා, සිගරට් බිව්වා. කොෆී එකක් බොන්න, දුමක් දාන්න, ලිවීම මන් හේතුවක් කරගත්තා කියන්නත් පුළුවන්. පාරලා ලියන ලියවිලිවලට උණුහුම් සනීප රසයක් ගේන්න කොෆී වලටත් අලු පාට දුම ටිකකටත් පුළුවන්. හුදකලාවේ ඉඳන් ලියනකොට තනි රකින්න උණු කොෆී එකකට පුළුවන්. දවසින් දවස අලුත් කොෆී වර්ග ට්‍රයි කරද්දී මගේ ලාවට වික්‍රමාන්විත ජීවිතයට පොඩි බුක්මාක් එකක් වැටෙන එකට මන් කැමතියි. ඔහේ ගලායනවා කියලා හිතෙන ජීවිතයට කොෆී එකකින් එකතු වෙන පොඩි උණුහුම් ගැස්මත්, දුම් වළල්ලක අලු පාටටත් මාව යාන්තමින් ජීවත් කරවන්න පුළුවන්. අවසානයේ ලියවිල්ලට තිත තියන්න කලින් රසවිඳින ඇල්මැරුණු කොෆී අඩියේ තියෙන අවසානකාරක රසයටත් මන් කැමතියි. මන් හිතන්නේ ජීවිතය ගැන මට කොෆීමය හැඟීමක් දැනෙමින් තියෙනවා. කොෆී තිත්තයි. ඒත් ජීවිතය තිත්ත නම් කොෆී හරි මිහිරියි. ඩාක් චොක්ලට්, සිගරට්, වයින්, බියර්, ... මේ ඔක්කොම එක අතකට තිත්තයි. ඒත් මගෙ ජීවිතයට වඩා නම් මිහිරියි. ජීවිතයකට රසක් එක්කරගන්න චුට්ටක් අමාරුයි. ඒත් කොෆී එක්කට කැරමල්, චොකලට් සිරප් නැත්තන් ස්වීට්නර් එකක්, පෙණ-කිරි ටිකක්, බියර් එක්ක හනී රෝස්ට‍ර්ඩ් පීනට් ටිකක්, දුමක් එක්ක චොක්ලට් පෙත්තක් එකතු කරගන්න ඊට වඩා ලේසියි. කොෆී උගුරකට, චොක්ලට් පෙත්තකට ජීවිතේ ගැස්මක් ඇතිකරන්න පුළුවන් වීම හරි විස්මිතයි. මිනිස්සුන්ට වඩා මේ සමහර දේවල් මගෙ ජීවිතේට ලඟත් ඒකයි. අත්‍යාවශ්‍ය වෙන්නෙත් ඒකයි. එළියෙන් ඉන්න ඔයාට ඒක නොතේරුනාට මට කමක් නැත්තෙත් ඒකයි. නමුත් මගෙ ඇල්මැරුණු ජීවිතේට ඉඳහිටක එකතු කරගන්න මේ චූටි මොහොතවල් මගෙන් ඈත්කරන්න උත්සාහ නොගන්නවා නම් හොඳයි. රෑ තිස්සේ හදන් බොන ඉවරයක් නැති කොෆී, තේ ගානක, උණුසුම් වැළඳගැනීමක ගැස්ම මට දැනෙනවා. දුම් උගුරක් දෙකක් හදවත වසා පවතින රස්නෙ හාදුවක බරත් ගැස්මත් එකවර ගේනවා. කවියක් දෙකක් තනියෙන්ම කියෙව්ව දාක මීවිතක මිහිර මන් විඳිනවා. හැමදාම බීලා සැර බාලවුනු නිදිපෙත්ත අන්න එතකොට පණගහනවා! සුපුරුදු විදිහට මේ ලියවිල්ලත් කොෆී එකත් ඉවර වෙනකොට එදිනෙදා ජීවිතයේ රශ් එක මට ලාවට දැනෙන්න ගන්නවා. අද සිලෙක්ශන් එක ස්පැනිශ් ලතේ. පෙයාර්ඩ් විත් ටූ මැන්චා රෙඩ්ස්. එහෙනම් අදට එච්චරයි. ඊළඟ සතියේ ට්‍රයි කරන්නත් ඔප්ශන්ස් නම් කීපයක් තියෙනවා. ඔය කෝයික කරන්නත් ගානක් හොයාගන්න ඕනෙ බව පසුම්බිය මතක් කරනවා. ඒත් දැන් අර්බුදය ඒක නෙවෙයි. රිම් එකට සෙනඟ පිරුණු හැටන් බස් එකක් අල්ලගන්න දැන් ඉතින් මට දුවන්න වෙනවා. අමතක නොකර මගෙ අලුපාට හිත මන් කොහොමත් කරේ තියාගන්නවා. අලුත් කොෆී සිලෙක්ශන් එකකින් ඊළඟ සතියේ අලුපාට සිතුවිල්ල රසකරගන්න බලාපොරොත්තුවක් එක්ක මෙච්චර වෙලා දුරින් විතරක් දැක්ක උඩපාරේ කලබලකාරී සෙනඟ ගොඩට තව ටිකකින් මන් අඩිය තියනවා. මගේ නොවෙන ඒත් මගේ වගේම අලුපාට පාටවල් ගොඩක් ඒ සෙනඟ අතරෙත් ඉන්න බව මන් දන්නවා.

කොෆීමය සිතුවිලි

මන් ඇත්තටම ලියන්නේ ඇයි? ඒක මන් මගෙන්ම අහන ප්‍රශ්නයක්. එක එක වෙලාවට මට එක එක හේතු තිබුනා ලියන්න. මුලින් මට තිබුනේ හිතේ තිබුන අනන්තවත් හැඟීම් එළියට ගන්න උවමනාවක්. ඒකත් කාටවත් නොපෙනෙන්න. පස්සේ මම ලිව්වා ආසාවට. මන් ලියන ඒවා කියවන අය ඉද්දී, ඒවා අගය කරන, තව තව ලියනවට කැමති අය ඉද්දි, ලියවිල්ල මට එක්තරා ආස්වාදයක් උනා….

Read More
Back To Top