"තනිකමට තනිරකින ජීවිතය සරසන්න මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න" -මල් සුවඳ- දුටුවාද මේ විසල් අහස් තලය? මොහොතක් පාසා අහසට එක්වන වලාවන්, ඉපිද කොහේදෝ ඈතකට පාව යයි. තවත් තවත් නැවුම් වලාවන් අහස් කුසට එක්වෙයි. ජීවිතය ද මෙවැනිම වූවක් බව පසක් වන්නේ එවිටය. මේ ජීවිතයට එක් එක් පරිච්ඡේදයන්හි නොයෙකුත් බැඳීම් ඔස්සේ එකතු වන නෑදෑකම් සහ හිතවත්කම් බොහෝමය. ඒ තුළින් ජීවිතයේ පසුවදනට පෙරගමන් සලසමින් ඒ බැඳීම් සියල්ලේම මතක කවි හදවතේ ගැබ්ව ඇත. ඒවායේ ඇති ආත්ම ප්‍රකාශනයන් එමටය. මේ සියල්ලට එහායින්, දකින ස්වප්නයක මෙන් වචනයෙන් කිව නොහැකි, දැනීම් පමණක්ම වන, නොපැහැදිලි හදවත් බන්ධනයන්ට නමක් දීමට හැකිද? හැකි නම් මේ අලුත් නෑකමට නමක් දී යන්න... හැඟීම් කියන්නෙම සියුම් වින්දනීය අංශු වල එකතුවක් වැනිය. ඇතැම් හැඟීම් අප්‍රකාශිතව කොහේ හෝ සැඟවී තියෙන තාක් එය අපූර්වය. ඇතැම් හැඟීම් නම් හැඟීම් පමණය. එතැනින් එහාට ඒවායේ වචන වල ගනුදෙනුවක් නැත. ඉතින්, මේ "අලුත් නෑකම" එහෙමත් නැත්නම් "මල් සුවඳ" ගීතය ද එවැන්නකි. වචන වලට සීමා කළ නොහැකි අමුතුම තාලයේ අමුර්තමය සුන්දරත්වයක් එහි ආලේප කර ඇත. එහි ජීවය මැවූ නිමැවුම්කරු හර්ෂණ දිසානයකයන් ය. හදවත් නිවීමේ අපූර්ව හැකියාවක් ඇති හඬක් ඔහුට හිමිය. එසේම ඔහුගේම සංගීත රටාවන්ට, දිස්නා සමරසිංහගේ අපූර්ව පද රචනය මුසු වී මෙම ගීතය තුළින් ආස්වාදාත්මක වින්දනයක් ලබා දීමට සමත් වී ඇත. "මල් සුවඳ තටු සලන මග දිගේ ඇවිදින්න පින්න පිරිමැද මැවෙන ඉරි රටා විඳගන්න මැකී වෙනතක ඇදුනු පා ලකුණු අහුලන්න හිරුට පෙම්බැඳ සරණ කාලයට සමුදෙන්න" මල් වියන් බැඳි මඟක ඉහිරුණු මල් සුවඳ මැද නුඹ සමඟ ඇවිදන් යන්නට, පින්න වැටී මැවෙනා සොඳුරුතම රටාවන් රිසි සේ විඳගන්නට තිබූ ඒ කාලයට දැන් හමාරය. ඒ මඟෙහිම වෙනතක ඇදුණු පා සලකුණු ඇහිදිමින්, හිරුට බැඳි පෙමත් සමඟින්, ගෙවුණු ඒ පරිච්ඡේදයට හදවතින් සමුදීමට සිදුව ඇත. මෙම ගීතය තුළ ස්වභාවික පරිසරයේ සංසිද්ධි එකට කැටි කර ගනිමින් පද රචනය සරසා තිබීම ඉතාමත් අගනේය. මෙහි එන "මල් සුවඳ තටු සලන" ගේය කොටස ගීයට නිර්මාණාත්මක සුන්දරත්වයක් එක් කරයි. "දුර පෙනෙන දුර ගමන ලඟින් ඇවිදන් යන්න පුරුදු අතැඟිලි තුඩක නුහුරු ලෙස දැවටෙන්න ඉකිබිඳින කඳුළු සිත සෙමෙන් ගෙන සිපගන්න පුංචි කවි පේළියක මදක් නැවතී ඉන්න" ඈත දුරකට යනෙන මේ දුර ගමන නුඹේ අසලින් ඇවිදන් යන්නට, පුරුදු නුඹේ අතැඟිලි අතර නුහුරු ලෙස දැවටෙන්නට, නුඹේ ඔය ඉකිබිඳින සිත පරිස්සමින් සිප වැළඳ ගන්නට, හැකි නම් පුංචි කවි පේළියක මදක් නැවතී යනවා ද? කවදත් හුරුපුරුදු නුඹ වෙනුවෙන් නුපුරුදු හැඟීම් ගොන්නක් හදවත තුළ රැඳී තිබේ. මෙය මිත්‍රත්වයත් ආදරයත් අතර දෝලනය වන හිතවත්කමක සොඳුරුතම සුන්දරත්වය මූර්තිමත් කරයි. "අතීතය අතවනන සිහිනයේ නැලැවෙන්න හැඩට රවුමට යසට සිනහවක් ගළපන්නට් තනිකමට තනිරකින ජීවිතය සරසන්න මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න" හරි හැටි වචන කර ගත නොහැකිව ඇතත් හදවතේ නුඹ නමින් ඇති ඒ හැඟීමට මම තවමත් වචන අහුලමින් සිටිමි. ගෙවුණු අතීතේ සේයා රූ මැවෙන සිනා කැල්මන් රැඳි හීනයක සැනසෙමින් නැළවෙන්නට, නුඹ එක්ක ගෙවු මතක විඳගන්නට, හැඩට හරි ලස්සනට සිනාවන් ගළපන්නට, මගේ මේ තනිකමට තනි රකින ජීවිතය සෙනෙහසේ දෑතින් සරසන්න, නුඹ ගෙනා මේ අලුත් නෑකමට හැකි නම් නමක් අරගෙන එනවාද? මා දන්නේ මෙපමණකි. අදටත් නමක් සොයාගත නොහැකි වූ මගේ ජීවිතේ පිවිතුරුම හිතවත්කම නුඹ ය. බැඳීම් අතර අතරමං නොවී එහි පිවිතුරු බව වටහා ගන්නට උත්සාහ කරන හදවත් වලට මේ "අලුත් නෑකම" ගීතය හුරුපුරුදු ස්වර ආමන්ත්‍රණයක් වන බව නිසැකය. හදවත් සහ හැඟීම් යනු කෙතරම් නම් පරිස්සමින් ගනුදෙනු කළ යුතු ඉතා සියුම් දේවල් ද යන වග මේ තුළින් පසක් වේ. පද රචනයත්, සංගීතයත් සහ නිවුණු හඬ රටාවන් ද එක්කාසු වී නිමැවුණු මෙම ගීතයේ ඇති ආස්වාදාත්මක වින්දනය සහ නිවීම තුළ හදවතේ කැකෑරෙන ඒ සියුම් සිතුවිලි අංශු මාත්‍රයන් ඉතාමත් දයාබරිතව සෙනෙහසින් පිරිමදියි. -නවෝද්‍යා ධනංජනී-

“තනිකමට තනිරකින ජීවිතය සරසන්න මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න” -මල් සුවඳ-

“තනිකමට තනිරකින ජීවිතය සරසන්න මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න” -මල් සුවඳ- දුටුවාද මේ විසල් අහස් තලය? මොහොතක් පාසා අහසට එක්වන වලාවන්, ඉපිද කොහේදෝ ඈතකට පාව යයි. තවත් තවත් නැවුම් වලාවන් අහස් කුසට එක්වෙයි. ජීවිතය ද මෙවැනිම වූවක් බව පසක් වන්නේ එවිටය. මේ ජීවිතයට එක් එක් පරිච්ඡේදයන්හි නොයෙකුත් බැඳීම් ඔස්සේ එකතු වන නෑදෑකම් සහ හිතවත්කම්…

Read More
Back To Top