කිසිම ගැලපීමක්, අදාලත්වයක් නැති නමුත් කිසිම හෝ මොහොතක දැක තිබේයැයි හැඟෙන හීන ගොන්නක් මම දකිමින් සිටිමි. ජීවිතයේ කොයියම්ම හෝ දිනයක ජීවත් වුණු මොහොතවල් යයි හැඟෙන තරමට ඒ දසුන් හිතට ළඟ බවක් දැනුනද එය කිසිසේත්ම තාත්වික නොවන බවද දනිමි. මන්දයත්, ඒ සිහිනවල සිටින ඒ මා, මා නොවන බැවිනි. නොයෙක් පැහැයෙන් අනේක පසුබිම්වල හුරුපුරුදු ඒත් කිසිදා නොදුටු වෙස්ගත් ඒ, මා නොවේමය. නමුත් ඒ මම ය. කෙසේවත් ඒ මම නොවේමය. මේ සිහිනතුළ මා සැබවින්ම ජීවත් වෙමි. ප්‍රේමය, රාගය, වේදනාව, විරහව, බිය සැබෑවට අත් දකිමි. කෙදිනකවත් ගැලවීමක් නැති මා නමින්ම නම් කළ ව්‍යාකූල අතීතයක මා සිහිනෙන් ජීවත් වෙමි. මේ දැන් ඔබ වෙතට එන මාම සිහිනෙන් තවත් විශ්වයක, මාම වෙන ඒත් වෙනත් ස්වරූපයකින් පවතිමි. එකී විශ්වය මගේ ජීවිතේ ගැඹුරු රහස් තුළ පෝෂණය වෙන බව මට නොරහසකි.
ජීවිතයකට රහස්තැන් බොහෝවිය හැකිය. ඉඳහිටක නන්නාදුනන හිතවතෙකුට විවර කළ දුන් රහස් කවුළුවකින් ඉන් බිඳක් එළිවිය හැකිය. නමුත් නුඹ තියා මමවත් මා නොදකින බව කිව යුතුමය. මේ ලියවිල්ලේ මමත් මාත් පටලගත යුතු නැති බව මම කියමි. මා ද මමය. මම නම් මාය. නුඹ නම් නුඹමය. මා තියා නුඹවත් නුඹ නොදකින බවද කිව යුතුමය. වෙනත් විශ්වයක සිහිනමය රහසක වත් නුඹ සොයාගන්නට නොහැකිය.
ආයෙත් මතු දිනෙක නුඹ ඒවිද? නුඹ ආ විට අපි කුමක් කරමුද? සත්සරට පෑ අනුරාගී තනුවක් වයන්නට ඔබට ඉඩදී කෙසතරක බාහුවක මිහිරි සුව සොයන්නට මට හැකිය. ඔබ කෝපි කෝප්පයකට පදමට මුහුකළ දුම් සුවඳ ඉවකරන්නට හැකිය. ඉතා සුරුවමට නෙලාගත් මලක සුවඳ හද දරා සුදු වලාකුළු අතර රිදී ඉරි සොයා පියඹන්න හැකිය. ඔය මොකක්වත් නොකළත් නෙත් පියා දුක උනා සිත අයා සැතපෙන්න හඳ මඬල විවරකර දෙන්න මට හැකිය.
මා රහස් කවුළුව ඇරතබා ඇති මුත් නුඹ නේන බව සැබෑය. නුඹ නොආ යුතු බවද සැබෑය. මා නුඹ එනතෙක් බලාසිටි බවද, හෙට උදෙත්, හෙට රැයෙත්, බලාඉන්නා බවද මටම ගිවිසිය නොහැකිය. නමුත් නුඹ එන්න. නාවත් උරණ නොවිය යුතු බව මම දනිමි. මා එය දනීදැයි නොදන්නා මුත් දැනසිටිය යුතු බව දනිමි. කවුළුව සදා ඇර තබමි.
ඉඳහිටක මා යලිත් ඔබ දුටුව ඒ අවසන් මොහොත කරා පියනගමි. සඳුදාවක හවස් වරුවේ ඒ නීරස හෝරාව වෙත එබෙමි. ඉනුත් තරමක් ආපස්සට ගොස් දිව්‍යමය පේරාවේ ගලහ මන්සංදියට යමි. තත්පරේකට ඔබ දුටුව මොහොත සිහිකරමි. ඔබ යන්නේ කොහේදැයි මා දැන සිටියෙමි. නොදැනුවත්වම මා පය එසවිණි. අහම්බකාරී ජීවිතයද මා උනන්දු කරවීය. මා ඔබ ඇමතීමි. ඔබේ සුපුරුදු ගීතමය හඬ ඉන් ගලා එයි. මා දෙපා ඔබ කරා ඇදෙයි. දැන් සෙනඟ අඩු බංකු පේලියේ බංකුවක කෙළවරේ ඔබ හිඳී. ඉතා ළඟින් දන්නා ආගන්තුකයන් වන අපිට ඇත්ත ලෝකයේ පැවත්මක් කොයින්ද? දුක්බරම රහසක දෙපැත්තේ අපි සිටිමු. සෙමින් පියනගන මා ඔබට තරමක් දුරින් ඉඳ ගනිමි. ඉඳහිටක හමුවන නම අමතක හිතවතුන් මෙන් සීතල වචන කීපයක් හුවමාරු කරගන්නා අපි ඉන්පසු නිහඬ වෙමු. ඔබ ඔබේ දුරකතනයට එබෙයි. මා අනන්තයෙන් එපිට හිස්බවට ඉඩ දීමි. ජීවිතය එක්වරම අප ආගන්තුකයින් කර ඇති හැටි!
එකම බංකුවක එකිනෙකාට ඉතා ආසන්නව ව අසුන්ගෙන සිටියද හිතින් ඔබ බොහෝදුර ගොස් ඇති සේය. අප මැදින් තබා ඇති හෙල්මටයවත් ඉවත් කර නොගත්තාට මසිත නෝක්කාඩු වෙයි. ඔබ දුරැස් යැයි කී විට එය ඔබ නොපිළිගන්නා බවත් ඒ පසුපස බොහෝ හේතු තියෙන්නට ඉඩ ඇති බවත් මා දනිමි. ඉනුත් සමහරක් මා දැනටමත් දන්නවාය. නොකීවාට මට ඔබව කියවිය හැකිය. කියනා හේතු නිදහසට කාරණා නොවේමය. එහෙත් එය නිර්ණය කරන්නට මට ඇති අධිකාරියක් නැතිය. ඔබ මා අතේ දුරින් ය. එහෙත් ඔබ බොහෝදුර ආපස්සට පියමැන ඇතිබව මට හැඟිණ. මා ඉදිරියට යා යුතුමය. ඉතින් මේ බිඳෙන් බිඳ වැඩිවන දුර අපේ අත්වැල් දරා නොසිටිනු ඇතිය.
රහස් කවුළුව තවදුරටත් ඔබට විවර කරන්නට මටද වුවමනා නැති සෙයකි. කවදාහෝ එතැයි කවුළුව සදා ඇර තබන්නටත් දැන් මසිත ඉඩ නොවෙයි. මා මනසට වඩා දැන් මසිත දැඩිය. පිරිපුන් ය. ස්වායත්තය.
නොඑසේ නම් සමුගන්නට පෙර එක් වරක් මා වැලඳගන්නැයි මා නොවරදවාම කියනු ඇති. ඒ එක් වැලඳගැනිම බොහෝවිට මසිතට මාස ගණනක බරත් සැහැල්ලුවත් එකවර ගෙනෙනු ඇත.
බරත් සැහැල්ලුවත් එකවර නැගුණු විට අවසානය ශුන්‍යයක්ම වේවිද? එය මා කිසිදා සොයා නොගනු ඇත.
– ළහිරුණි වික්‍රමරත්න