කොන්ස්ටැන්ටයින් පවුස්තවුස්කි ‘රන්රෝස’ කෘතියේ කියන්නේ, රන්කරුවන් ඉවත් කළ කුණු රොඩු අතර ඇති රන්සුනු එකතුකර රමණීය රන්රෝස මලක් තැනූ ෂාමීට්ගේ කතන්දරය යි. නිර්මාණකරුවාද සිය ජීවන අත්දැකීම් අතරින් රන්සුනු සොයාගෙන නිර්මාණය නම් රන්රෝස මල තැනිය යුතු බව පවුස්තවුස්කි කියයි. එය කවියක්, සිතුවමක්, කෙටිකතාවක්, නවකතාවක්, සිනමාපටයක් යනාදී ඕනෑම ආකාරයක නිර්මාණයක් වන්නට පුළුවන්. අප මේ වෑයම් කරන්නේ එවන් විවිධාකාර වූ රන්රෝස මල් වල ‘රොන්සුනු සුවඳ’ ඔස්සේ ඒවාට හේතු පාදක වූ අත්දැකීම් රන්සුනුත්, ඒ නිර්මාණකරණයන් පිටුපස ඇති වෙහෙසත්, මිහිරත් සොයායාමටයි. නැතිනම්, නිර්මාණකරුවන්ගේ නිර්මාණ පසුබිම් විමසා බලමින්, නිර්මාණකරුවන්ගේ ජීවිතයට, නිර්මාණාත්මක චින්තනය දෙසට එබිකම් කිරීමටයි.
කවිය, කෙටිකතාව,නවකතාව, සිනමාව ආදී වූ විවිධ නිර්මාණ වැඩබිම්වල ස්වකීය සලකුණ සනිටුහන් කළ නිර්මාණකරුවන් කිහිපදෙනෙකු සමඟ සංවාද ආශ්‍රයෙන් මාසිකව දිගහැරෙන මෙම ලිපිපෙළ, නිර්මාණකරණය පිළිබඳ සොයායන්නෙක්, හදාරන්නෙක් වශයෙන් මට ඇති වූ යම් යම් දේ විමසා බැලීමේ ලාලසාව මතින් උපන් ප්‍රශ්නාවලියක් ඔස්සේ අදහස් අල්ලා ගැනීමට උත්සහ කිරීමකි. මෙහිදී සාකච්ඡා සඳහා තෝරාගන්නට බලාපොරොත්තු වන්නේ, පෞද්ගලිකව මා ඉතා ප්‍රියකරන නිර්මාණකරුවන් කිහිපදෙනනෙකු පමණි. ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව තුළ ‘සාහිත්‍ය නිර්මාණකරණය’ නමින් මවිසින් කරගෙන යනු ලබන වීඩියෝ මාලාවට සමගාමීව මෙම සංවාද පෙළ සම්පාදනය කෙරෙන අතර, ඔබත් නිර්මාණකරණය හැදෑරීමට උන්නදු වන්නෙකු නම් අපගේ මේ සොයායාමට එකතුවීමට ආරාධනා කරමු!
__________________________________________________
අද අපගේ දෙවන සාකච්ඡාව සාහිත්‍යවේදී ඉසුරු චාමර සෝමවීර සමඟයි. අප ඔහු හඳුනාගන්නේ කවියෙකු සහ කෙටිකතාකරුවෙකු ලෙසිනි. ඔහු සමකාලීන සිංහල සාහිත්‍ය අවකාශය තුළ සුවිශේෂී පාඨක, විචාරක අවධානයක් දිනාගත් සම්මානනීය සාහිත්‍ය නිර්මාණකරුවෙකු වන අතර මෙම සංවාදය තුළ ඔහුගේ කෙටිකතා නිර්මාණ සහ ජීවන අත්දැකීම් පිළිබඳ අවධානය යොමු කෙරේ.
– අද අපේ සාකච්ඡාව යොමු වෙන්නෙ සාහිත්‍ය නිර්මාණකරණය සහ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කියන කාරණාව මුල් කරගෙන, මුලින්ම මම දැනගන්න කැමතියි ඔබ සාහිත්‍ය නිර්මාණකරුවෙකු වීමේ පසුබිම සහ ඇයි ඔබ සාහිත්‍ය නිර්මාණකරුවකු වෙන්නේ කියන ප්‍රශ්නය? බොහෝ නිර්මාණකරුවන්ට නිර්මාණකරණයට පිවිසෙන්න වගේම එහි රැදිල ඉන්නත් හේතු තියෙනවා. ඔබටත් නිර්මාණකරණයට එන්න කිසියම් හේතුවක් හෝ අරමුණක් තිබුණද? නැත්තන් ඒක අහම්බයක්ද?
නැ. අහම්බයක් නෙමෙයි. මෙහෙමයි, මගෙ පුංචි කාලෙ මගෙ තාත්තා ජේවීපී ෆුල් ටයිමර් කෙනෙක්. එයා ජේවීපී කරපු නිසා මන් පොඩිකාලෙම එයාව සිරගතකරනවා අවුරුදු බොහෝ ගනණක් තිස්සෙ. ඊටපස්සෙ මට ජීවත්වෙන්න සිද්ධවෙනවා අම්මගෙ මහ ගෙදර. ඒ ඉන්නකොට ඇත්තටම මට තේරෙනවා මගෙ වටේ ලොකු අවුලක් තියනව කියල. ඒ කියන්නෙ මිනිස්සු මැරිලා පාරවල් වල මිනී පිච්චෙනවා. තාත්තා කොහෙද දන්නෑ. අම්මා බය වෙලා. අපි ආර්ථිකව ස්ථායි නෑ. එතකොට වෙන අය මත යැපෙන්න සිද්ධ වෙනවා. එහෙම එහෙම ගොඩක් ප්‍රශ්න තිබුනා. සහ එතකොට මට මේ ප්‍රශ්න ගැන, මේ හිතෙන දේවල් සම්බන්දයෙන් පොඩි ළමයෙක් විදියට මට කතා කරන්න ඕනෙ උනා. හැබැයි මට කතා කරන්න කවුරුවත් හිටියෙ නෑ. ඒ කියන්නෙ මට එහෙම යාලුවො කියල හිටියෙත් නෑ.මගෙ වැඩිමහල් අය සමහර ප්‍රශ්න මගෙත් එක්ක කතා කරන්නෙ නෑ. සහ සමහර දේවල්මගෙන් හංගනවා කියල මට තේරෙනවා. ඇත්තම ළමයින් දැනනොගතයුතු දේවල් මගෙ වටේ වෙමින් තිබුණා. එතකොට මට ඒකත් එක්ක ලොකු බයක් සහ මොකක්ද මේ වෙන්නෙ? මන් කවුද? කොහෙද මන් මේ ඉන්නෙ? කියන එක සම්බන්දයෙන් ලොකු අර්බුදයක් තිබුණා. මොකක්ද මේ වෙන්නෙ කියන එකවිශේෂයෙන්.
ඒ කාලෙ මම අකුරු ලියන්න ඉගෙනගෙන, පොඩ්ඩක් කල් යනකොට මට පොඩ්ඩක් මේ අර මගෙත් එක්ක තිබ්බ සෙල්ෆ් ඩයලොග් එක මම මේ පොඩි ලමයෙක් හැටියට ලියන්න පටන් ගත්තා. ඒ කියන්නෙ මම කතන්දර අනන් මනන් ලියන්න පටන්ගත්තෙ නැ. නිකන් එදිනෙදා වෙන දේවල් ඔහෙ ලියනවා පොතක. මොකද මට ඉස්කෝලෙ චූටි කාලෙ කියල දීල තිබ්බා ඩයරීස් ලියන්න වගේ එකක්. ඉතින් ඒනිසා ලියනවා. ඔය වෙද්දි මම හතරෙ පන්තියේ පහේ පන්තියේ වගේ ඉන්න ඇති. මගෙ අම්මගෙ සහෝදරයෙක් හිටියා රට. මගෙ ලොකු මාමා. එයා මට ඒ කාලෙ ලියුම් එවන්න පුරුදු වෙලා හිටියා. දැන් ඔය වැඩිහිටියො පොඩි ළමයින්ට එහෙම ලියුම් එවනවනෙ. ඉතින් එයාගෙන් ලියුමක් එනවා සතියකට සැරයක් අනිවාරෙන්. එතකොට මම ඒ සතියෙ සමරි එකක් හදලා, මොකක්ද උනේ, මන් කොහෙද ගියේ, මොනාද කෑවෙ, ඉස්කෝලෙ මොනාද උනේ, මොනාහරි මගෙ ජීවිතේ විශේෂ වෙන දේවල් මම ලියන්න පටන් ගත්තා. ඉතින් මට ඇත්තටම ඒ ලියන එක ගොඩක් ප්‍රීතිදායක වැඩක් උනා. මේ වෙද්දි මන් හිටියේ ඇත්තටම මුල්ලේරියාවෙ. ඒ කිට්ටුව තිබුණා අංගොඩ මහජන පුස්තකාලේ. මන් ටික ටික කියවන්න හුරුවුනා. මන් පොඩ්ඩක් හුදෙකලා වෙච්ච ළමයෙක් නෙ. ඒ කියන්නෙ ඉස්කෝලෙත් පොඩ්ඩක් හුදෙකලා වෙච්ච එකක් තිබුණා. මම ළඟ ළඟ ඉස්කෝලවල් මාරු උනා. ඉතින් මට දීර්ඝකාලීනව එහෙම යාලුවො හිටියෙත් නෑ. ඊටපස්සෙ මම කියවීමට මාර විදිහට ඇබ්බැහි උනා. ඒ කියන්නෙ මම දවසක් ඇර දවසක් මේ ලයිබ්‍රි එකට යනවා. හයේ හතේ පන්ති වලදි වගේ. එතකොට පුස්තකාලෙ මිස් අහනවා පොත් ගෙනිහිල්ලා ආයෙ ගේනවද කියවන්නෙ නැද්ද කියලත්. ඒත් ඇත්තටම මන් කියවනවා.
මගෙ සීයා, ඒ කියන්නෙ අම්මගෙ තාත්තා, කස්ටම් ඔෆිසර් කෙනෙක්. සීයගෙ පොතුත් තිබුණා. මගෙ සීයා ඇත්තටම ඔය ප්‍රේමදාසත් එක්ක එකට ඉංග්‍රීසි ඉගෙනගත්ත එක්කෙනෙක්. එයාලා රෑ ඉංග්‍රීසි පන්තියකට ගිහින් තමයි ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන්නෙ. සීයා භාෂා තුනම භාවිතා කරපු එක්කෙනෙක්. සිංහල දෙමල ඉංග්‍රීසි. ඉතින් සීයගෙ පොත් තිබුණා. සීයගෙ පවුල ලොකු පවුලක්. මගේ අම්මා සහ අම්මගෙ සහෝදරියො එක්ක ළමයි හත්දෙනෙක්. ඒගොල්ලන්ගෙ කාලෙ ඒගොල්ලෝ කියවපු පොත් තිබුණා, ඒගොල්ලන්ට ඒ පවුලට හොද කියවීමේ පුරුද්දක් තිබුනා. කියවපු පොත් සූට්කේස් එහෙම තිබුනා. ඔය අස්සෙ, ඒ කාලෙ තිබිච්ච ඔය කොමඩි පත්තර, ඒ වගේම තරුණයා පත්තර ඒවගේ පත්තරත් ලොකු කලෙක්ශන් එකක් තිබුනා. හැබැයි ඔය පත්තර කතා පොත් ළමයින්ට කියවීමට නුසුදුසු ගොඩේ තමා තිබුනේ. ඒව පොඩි ළමයි කියවන්න හොද නැ කියන අදහස තිබුණා. ඊටපස්සෙ ඉතින් මන් කොහොමහරි ඔය යකඩ සූට්කේස් එක කඩාගත්තා. කඩල ඉවරවෙලා මන් කාටවත් දැනෙන්නැතිවෙන්න හොරෙන් එක වරකට එක පොත ගානෙ වගේ අරගෙන කියවනවා. ඊටපස්සෙ, මට ලොකු මාමා ගෙනල්ලා දීලා තිබුනා අර චූටි පෙන් ටෝච් එකක්. රට ඉදල එවලා තිබුණෙ. අර චූටි බැට්‍රි දාන පෙන් ටෝච් එකක්. මට මතකයි මන් නිදාගන්නකොට එහෙම, මම ලොකු බ්ලැන්කට් එකක් පොරවගෙන පොත ඒකෙ යටට අරගෙන අර පෙන් ටෝච් එක ගහගෙන කියවනවා. ලයිට් ඕෆ් කරල බ්ලැන්කට් එකලොකු නිසා එහෙම ලොකුවට එළිය එලියට යන්නෙත් නැ චූටි ටෝච් එකක් නිසා. මන් ඕකෙන් කියවන්න පුරුදු වෙලා හිටියා. ඒ වෙනකොට කියවන එක සහ ලියන එක සම්බන්දයෙන් මට ලොකු ගෞරවයක් සහ විශ්වාසයක් ඇති වෙලා තිබුණා. ඒත් මන් කියවනවා සහ ලියනව කියල කවුරුත් දන්නෑ. ලොකු මාමා දන්නව, අනිත් කවුරුවත් දන්නෑ. ඊටපස්සෙ ඔහොම ඉන්දැද්දි දහම් පාසලේදි මට මතකයි එක අවස්තාවක, කළු හාමුදුරුවෝ කියල ටිකක් සැර හාමුදුරුවෝ කෙනෙක් හිටියා එයා අපිට කිව්ව රචනා තරගෙකට රචනා ලියන්න කියල. ඊටපස්සෙ එයා මලක් කතා කරයි කියල ටොපික් එකක් දුන්නා අපිට ලියන්න. මට ඒකාලෙ ලොකු ඉශූ එකක් තිබ්බා මගෙ ඇපියරන්ස් එක සම්බන්දයෙන්. මොකද මගෙ කසින් බ්‍රදර් ඒ කියන්නෙ මගෙ අම්මගෙ මල්ලිගෙ පුතා එයා පැහැපත්, හොද පෙනුමක් තියෙන එහෙම ළමයෙක්. මම ගොඩක් කෙට්ටු නිකන් කලු අර කොරපොතු සහිත සමක් තියන ඉත්තෑකූරු කොන්ඩයක් තියන, එහෙම අර ලස්සනයි කියල මනින දේවල් නැති එක්කෙනෙක්. එතකොට හැමතිස්සෙම මාව එයා එක්ක කම්පෙයා උනා. මොකද චූටි කාලෙ එහෙම ගෙදරට එන අය මොනා හරි තෑග්ගක් ගෙනාපුවාම ඉස්සරලම දෙන්නෙ එයාට. එයාව තමා පේන්නෙ. මන් ඉන්විසිබල් වගේ හිටියා. මට ඒක හෙන ඉශූ එකක්. ඊටපස්සෙ මන් අර මලක් කතා කරයි කියන ටොපික් එක දුන්නට පස්සෙ මම පොඩ්ඩක් අනිත් මල් වලින් වෙනස් ලස්සනයි කියල හිතෙන්නෙ නැති මලක් හිතෙන ජාති වගේ ඔන්න ඔහොම මට හරියට මතක නැ එහෙම ඉන්ඩීටේල් ඒක සම්බන්දයෙන් දීර්ඝ රචනාවක් ලිව්වා. ගොඩාක් ලිව්වා මොකද මට ඒක නිකන් මාර සහනයක් උනා, නිකන් එකපාරට මගේ හිතේ තියන ඔක්කොම ටික කියල දාන්න වගේ. ලියන එක ඇත්තටම මන් හිතෙනව ඒක හොද තෙරපි එකක්. අනිත් එක ලිවීම මාව බේරගත්තා කියල හිතෙනවා පොඩි කාලෙ. ඒ කියන්නෙ මන් මගෙ අවුල ඒ කියන්නෙ ඒක අර මොනා හරි මානසික ගැටලුවක් නොවෙන තැනට මන් හැන්ඩ්ල් කරගත්තේ ලිවීම හරහා ඒක එලියට දාලා.
ඊටපස්සෙ ඒ රචනාව ආවට පස්සෙ, කළු හාමුදුරුවෝ කවදාවත් මන් නොහිතපු විදිහට ඒක මාර විදිහට ඇප්‍රිශියේට් කරා සහ එක දවසක් එයා ඒක දහම් පාසලේ එසෙම්බ්ලි එකේදි ඔක්කොටම ඇහෙන්න කියෙව්වා. එහෙම මාර විදිහටම ඒක ඇප්‍රිශියෙට් කරා. ඊටපස්සෙ මම හිතාගත්තා ‘අහ් මම ලියන ඒවා තව කෙනෙකුට කිව්වට කමක් නෑ..’ වගේ එකක් මගෙ ඔලුවට ආවා. ඊටපස්සෙ ලියන එක ඇත්තටම නිකන් මගේ පුරුද්දක් වගේ උනා. ඇත්තටම මම සාහිත්‍ය කියන එක විෂයක් හැටියට ඉගෙනගෙන එහෙම ආපු එක්කෙනෙක් නෙමෙයි. ඒකියන්නෙ ඒක මගෙ ඇතුළතින් නිකන් ඓන්ද්‍රියව ආපු එකක්. හැබැයි දැන් මගේ අතින් ඒක එච්චරම ඓන්ද්‍රිය නැති වෙලා ඒක දැන් මඟ ඇරෙමින් යනවා. මොකද මන් වෙන වෙන දේවල් ගොඩක් කරමින් ඉන්න නිසා. ඇත්තටම ඒකත් එක්කලා තමයි, මට ලියන එක මාව සුවපත් කරපු දෙයක් වගේ මට කියන්න පුලුවන්.
– ඒ කියන්නෙ පොඩි කාලෙ වගේ, දැන් ඔබ ලේඛකයෙක් විදියට දෛනිකව ලියන්නෙ නැද්ද?
නැ. මම කොහොමත් කවදාවත් දෛනිකව ලියන්නෙ නෑ. ඉස්සර පොඩි කාලෙ ලිව්වා. ඇත්තටම මට දෛනිකව ලියන්න පුලුවන් නන් හොදයි. එහෙම ලියන අය මන් අගය කරනවා. මම ෆුල් ටයිම් ලියන්නෑ. මන් මට මොකක් හරි දෙයක් ලියන්නම කියල හිතුනොත් ලියනවා. එහෙම ලියනවා ඇර මන් දෛනිකව ලියන්නෑ. එහෙම ලියපු කාලෙකුත් තිබුණා. හැබැයි අර ජීවිතේට එන සමහර දේවල් වෙනස් වෙලා අනන් මනන් එක්කලා ඒක එහෙම වෙනවා. ඒ කියන්නෙ, මට වෙලාව නැ කියල මන් බොරු කියන්න ඕන්නෑ, මට වෙලාව තියනව ඇත්තටම ඕනෙ නම්. හැබැයි අර ඒකට තිබිච්ච අර ලිවීම අත්‍යවශ්‍ය දෙයක් වීම දැන් මට නෑ. ඒත් මට අවශ්‍යයි කියල හිතුනොත් මම ලියනවා. ඒ ඇර මන් ලියන්නෑ. හැබැයි මට දැන් හිතෙනව මම නිකන් මහ කම්මැලි වෙලා, ඒක නිකන් මම comfortable zone එකක් ඇතුලට ගිහිල්ලා ඒක ඇතුලෙ ඉන්නවා වගේ. ඒක ඇත්තටම ‘something wrong’ වගේ එකක් මට දැනෙනවා සමහර වෙලාවට. ඒ කියන්නෙ ලියන එක ඇත්තටම මොළයට හොද ව්‍යායාමයක්. ඒක ස්වයං ගවේෂණයක්. ඒ කියන්නෙ තමන් ඇතුලෙම තමන් කරන journey එකකට හොඳම pathway එකක් තමයි ලියන එක. සමහර අයට ලියන එක. සමහට අයට නටන එක වගේ එකිනෙකාට විවිධාකාර වෙන්න පුළුවන්. මට ඒක ලියන එක. ඉතින් මට ඒක දැන් සමහර වෙලාවට මඟහැරෙමින් යනවා කියලත් හිතෙනව. හැබැයි මන් ඒක අතඇරලා නැහැ. ඒත් ඉස්සර වගේ වේගෙන් ලියන්නෙ නැ දැන්.
– ඔබේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්න ඔබ මේ සාහිත්‍ය කියන කලා මාධ්‍යම තෝරගන්න විශේෂත්වය මොකක්ද? ඇයි සංගීතය, චිත්‍රකලාව හෝ එවැනි වෙනත් කලා මාධ්‍යයකට නොගිහින් සාහිත්‍යයම තොරාගත්තෙ?
ඇත්තටම මට චිත්‍ර වලට ලොකු අනුරාගයක් තියනවා. මං චිත්‍ර අදිනවා. ඒක කවුරුත් දන්නෑ. චිත්‍ර අදිනවා, පින්තූර ගන්නවා. මට නටන්න සින්දු කියන්න බෑ. ඒ කියන්නෙ පාට සහ හැඩතලත් එක්කලා මට ලොකු බැඳීමක් තියනවා. ඒක මම පොඩි කාලෙ ඉදල තියෙන දෙයක්. මම විෂයක් හැටියට සාහිත්‍යයවත් චිත්‍ර ශිල්පයවත් හදාරලා නෑ. හැබැයි මට ඒකත් එක්කලා ලොකු අනුරාගයක් තියනවා සහ ඒකත් එක්කලා බද්ධ වෙලා ඉන්නවා. මම සාමාන්‍යයෙන් සල්ලි ටිකක් එකතු කරලා කැන්වස් අරගෙන එහෙම චිත්‍ර අඳිනවා. මා පිණිස සහ මන් ඇදලා ඔය මගෙ ලග යාලුවන්ට තැගි දෙනවා. ඒත් එහෙම චිත්‍ර ශිල්පියෙක් හැටියට කවදාවත් එලියට එන්න තරම් මට එහෙම ධෛර්යයක් නැහැ. හැබැයි මන් චිත්‍ර අදිනවා. අපේ ගෙදර ආවොත් මගෙ චිත්‍ර බලන්න පුලුවන්. මම ඒක මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නෑ ‘අහ් මම චිත්‍ර ශිල්පියෙක්’ කීමට තරම් මන් එහෙම හැකියාවක් තියන මනුස්සයෙක් නෙමෙයි. ඇත්තටම ලේඛකයෙක් හැටියටවත් මට එහෙම හිතෙන්නෙ නැ. හැබයි මන් අදිනවා. මට සින්දු කියන්න නටන්න බෑ. පින්තූර ගන්නවා.
– ඒ කියන්නෙ පුංචි කාලෙ ඔබට කියන්න තිබ්බ ප්‍රකාශනය සාහිත්‍යයෙන් එලියට දැම්ම වගේ චිත්‍ර වලිනුත් ඔබේ ප්‍රකාශනයක් ගේන්න උත්සහ කරනවද?
ඔව් චිත්‍ර වලිනුත් මන් ඒක එලියට දානව. දැන් මගෙ චිත්‍ර බැලුවොත් මන් හිතනවා ඒක තේරෙයි කියල. මන් ඉස්සර පොඩි කාලෙ ඉදලම මගේම ශෛලියකට චිත්‍ර අඳිනවා. චූටි කාලෙ ඒක ලිවීමත් එක්ක් සමාන්තරව ගියා. හැබැයි ලිවීම මට ඊටවැඩිය පහසුයි. චිත්‍ර අදින එක ටිකක් වියදම් අධික වැඩක්නෙ. කැන්වස් ගනන් පාට ගනන් ඒක ටිකක් ක්ලාසි ආර්ට් ෆෝම් එකක්. ඒනිසා ඒක මන් කරමින් ඉන්නෙ යම් තාක් දුරකට. මන් ඒක හදාරල නෑ. ඉතින් දැන් මේ තියන ප්‍රශ්න ටිකක් හීල් වෙලා රිටයර් උනාට පස්සෙ සමහරවිට මන් ෆුල් ටයිම් චිත්‍ර අදින්න ලියන්න ඉඩ තියනවා, ජීවත් උනොත් මැරුන්නැත්තන්.
– නිර්මාණකරණයට අත්දැකීම් බලපාන විදිහ ගැන ඔබට තියෙන අදහස මොකක්ද සහ නිර්මාණකරනයේදී අත්දැකීම් ප්‍රතිනිර්මාණය කියන කාරණය කොයි විදියටද බලපාන්නෙ? ‘මලක් කතා කරයි’ කියන රචනාව ගැන සහ ඔබේ පුංචි කාලෙ කතා ටික කියද්දි, දැන් මට හිතුනා ඔබේ සමහර කෙටි කතාත් එක්ක ඒවගෙ සම්බන්දයක් තියනවත් වගේ?
ඔව්, ඇත්තටම මලක් කතා කරයි කෙටිකතාවයි මගෙ සිද්දියයි අතරෙ ලොකු ඍජු සම්බන්දයක් නැ. හැබැයි සම්බන්දයක් නැත්තෙම නෑ. ඇත්තටම ලේඛකයොන්ට තමන් අත්දකින දේවල් හරිම වැදගත් මන් හිතන්නෙ. ලියන විදි දෙකක් තියනවා. එකක් තමයි අවංක වෙලා තමන් සතු දේවල් ලියන එක. එහෙම නැත්තන් අපිට පුලුවන් professional writer කෙනෙක් විදියට ලියන්න. වෘතීමය ලියන්නෙක් ස්පොන්ච් එකක් වගේ. එයා අවට දේවල් උරාගෙන ඒ දේවල් ලිවීමට එකතුකරගන්නවා. එයා සමහර වෙලාවට පත්තරේකින් දැක්ක දෙයක්, එහෙම නැතනම් මොනාහරි පරිකල්පනය කරපු දේයක් ලිවීමට යොදාගන්නවා. ලිවීම නිකන් ඔරලෝසු බට්ටෙක් පැද්දෙනවා වගේ කියනවනේ. ඒ කියන්නේ ‘පරිකල්පනය සහ යථාර්ථය’ ඒ දෙක අතරේ දෝලනය වෙනවා. ඉතින් එහෙම ලියන්නත් පුලුවන්. හැබැයි ඒ professional writer කෙනෙකුට. ඒ කියන්නෙ ඒක කුසලතාවක් හැටියට වර්ධනය කරගත්ත කෙනෙකුට. මන් එහෙම කුසලතාවක් හැටියට ලිවීම දියුණු කරලද නැද්ද කියන්න මම දන්නෑ. හරුකි මුරකමි වගේ අය එහෙම ලියන්නො. ඒගොල්ලන්ට පුලුවන් වෙන අයගෙ අත්දැකීමක් තමන්ගෙ කරගෙන ලියන්න. එහෙම නැත්තන් සම්පූර්ණයෙන්ම පරිකල්පනය කරල ලියන ලේඛකයොත් ඉන්නවා. එක එක අයගෙ forms තියනවා.
මට ඒක එනකොට මන් ලියන්නෙ ගොඩක් වෙලාවට යම් තාක් දුරකට හෝ මගේ හෝ මාව සසල කරපු මගේ ළඟ කෙනෙකුගේ අත්දැකීම්. ඇත්තම කතාව, මම වෘතියක් හැටියට ලියන්නෙක් හෝ එහෙම දැනුම නිෂ්පාදනය කිරීමට ලිවීමක් හෝ මගෙ අතින් නොවන නිසා, මම මා සඳහා ලියන නිසා, ගොඩක් වෙලාවට මගෙ ගැටලුවක් ලිහා ගැනීම හෝ මගෙ අවුලක් හෝ මට නිකන් තව කෙනෙකුට මේ දේ කිව්ව නන් හොදයි හෝ මේ දේවල් ඉතිහාසය තුළ වාර්තාගත වියයුතුයි යම් ආකාරයකින් කියල හිතෙන දේවල් තමා මගෙ අතින් ලියවෙන්නෙ. හැබැයි අර විදිහට ලියන විශිෂ්ට මිනිස්සුත් ඉන්නවා. මන් ඒගොල්ලන්ටත් ගරු කරනව. ඒක වැරැද්දක් හෝ අඩුවක් හෝ කියල මන් දකින්නෑ. ඒක හැකියාවක් සහ කුසලතාවයක්.
– ඔබේ නිර්මාණ ඇතුලෙ, ඔබේ ජීවිතේ හෝ සමීප කෙනෙක්ගේ අත්දැකීමක් හෝ කෙටිකතාවකට ගෙනාපු අවස්තාවක්, අපි එක්ක බෙදාගන්න කැමතිනම්?
දැන් උදාහරණයක් හැටියට මට කියන්න පුලුවන් මගෙ ඔය මලක් කතා කරයි කියන කතා පොතේ පලවෙනි කතාව කිරාංචි. ඇත්තටම මගෙ රස්සාවෙදි මම ගොඩක් වෙලාවට කිරාංචි කියන ස්ථානයට ගියා. සහ ඒකේ එන අත්දැකීම් මම වින්දා. එක පාරක් නෙමෙයි වසර ගනනාවක් මන් ඒ අත්දැකීම් ටික වින්දා. ඊටපස්සෙ එහෙ හම්බෙච්ච මිනිස්සු; ඊටපස්සෙ මගෙ ජීවිතේ වෙච්ච සමහර දේවල්; ඊටපස්සෙ යුද්ධය සම්බන්දයෙන් මට තිබිච්ච අවුල; ඊටපස්සෙ විශේෂයෙන් මඩොල්දූව කතාව සම්බන්දයෙන් මට තිබිච්ච පොඩි අවුල; ඔය දෙක තුනම කිරාංචි ලියද්දි එකතුවුණා. මන් ඒකෙ අන්තර් පඨිතමය සම්බන්දයක් ගේනව දිගින් දිගටම මඩොල්දූව කියන කතාවත් එක්කල. මට මඩොල්දූව ගැන අවුල හෝ කැමැත්ත නැත්නම් ආදරය සහ වෛරය එකට තිබුණා. ඇත්තටම මඩොල්දූව ගැන මට කැමැත්තකුත් තිබුණා. හැබැයි ඒකෙ සමහර දේවල් ගැන ලොකු අවුලක් තිබුණා චූටි කාලෙම. මොකද මන් පොඩිකාලෙ, මගෙ කසින් බ්‍රදර් හිටියයි කියල කිව්වෙ, එයාව මම ජින්නට ආරෝපනය කරා. හැබැයි එතකොට මට හිතුනා ජින්නව යූස් කරනව මුන් කියල. එතකොට මට ඒකත් එක්ක පොඩි අවුලක් තිබුණ. ඒක එකක්. ඊට අමතරව කිරාංචි කතාවෙ homosexuality ගැන කතාවෙනවා. යුද්ධේ ගැන කතා වෙනවා. ඒවගේ ගොඩක් දේවල් ගැන කතා වෙනවා. එතකොට ඒ කෑලි ටික සමහර වෙලාවට මගෙ අත්දැකීම්; මගෙ දන්න අයගෙ අත්දැකීම් සහ යුද්ධෙත් එක්කලා මගෙ ලොකු කනෙක්ශන් එකක් තිබුන නිසා එතනින් ආපු අත්දැකීම්.
මගෙ රස්සාව නිසා යුද්ධෙ ඉවර වුණ වහාම මට එතෙන්ට යන්න උනා. ඒ අත්දැකීමුත් එක්කලා මට ඒ කතාව නිකන් automatically නිර්මාණය උනා. නිර්මාණය උනා කියන්නෙ මන් ඒක හිතලා ලිව්වෙ නෑ ඕක ටග් ගාල ලිව්ව දෙයක්. ඊටපස්සෙ මට මතක් වෙනව ඔය මගේ මාලුවා කියන කතාව. මගෙ මාලුවා කියන කතාව ඇත්තටම මගෙ පොඩිකාලෙ මට ඇත්තටම වෙච්ච දෙයක්. ඒකෙ තියන හැම සිද්දියක්ම මට වෙලා තියනවා. දවසක් මගෙ යාලුවෙක්ට මන් ඔය කතාව කිව්වා. මොකක් හරි පොඩි කාලෙ කතාවකට මන් කිව්ව මෙහෙම දෙයක් මටත් උනා මචන්. මන් චූටි කාලෙ මට මාලුවෙක් හිටියා. මට ඌව ප්‍රිසර්ව් කරල තියාගන්න ඕනෙ උනා. මට ක්‍රමයක් තිබුනෙ නැ. මන් ට්‍රයි කරා. ඔය වගේ. එතකොට යාලුවා කිව්වා ‘අඩේ බන් උබ ඕක ලියන්නැත්තෙ ඇයි’ කියල, එයා කිව්ව විතරයි, එතන කොල ටිකක් තිබුනා ඒවා අරගෙන විනාඩි 15 ක් හෝ 20 ක් ඇතුළත මන් ඔය කතාව ලිව්වා. කිසිම එඩිට් එකක් නෑ එක දිගට ලියාගෙන ගියා. ආන් ඒවගෙ තමා. ඒවගේ කතා තියනව ඇත්තටම.
– එතකොට ‘කිරාංචි’ කෙටිකතාව වගේ ගත්තම ඍජුවම යම් අත්දැකීමක් නැත්නම් යම් කතාවක් මෙහෙම ලිව්වා නෙවෙයි, ඒක කතා කීපයක අත්දැකීම් කීපයක එකතුවක්, එහෙමද?
ඔව්. ඒක මගේ ජීවිතේ අත්දැකීම් කීපයක් එකට හම්බවීමක්. ඒ කියන්නෙ ඒක නිකම්ම වාර්තාවක් නෙමෙයිනෙ. අපේ ඇතුලෙ තියන රහවල් ,පාටවල් ඒකට එකතු වෙනවා. අපේ අර්ථ දැක්වීම් ඒකට එනවා. එතකොට ඒක තනි පැතලි දෙයක් නෙමෙයි. තල ගණනාවක එකතුවක්. ඇත්තටම ඒක අත්දැකීම් එකට මිශ්‍ර වීමක්.
– ඔබ ලිවීමක් ආරම්භ කරද්දි, නැතිනම් අත්දැකීම් නිර්මාණයකට එකතු වෙද්දි, ඒවට මූලිකත්වය එන්නේ දුක, තනිකම, වෛරය හෝ මොනයම්ම හෝ හැඟීමකින්ද? නැත්නම්, අර අත්දැකීම ගැන නැවත ලියන්න තියෙන වුවමනාව, එහෙම නැත්නම් ‘මතකය’ මූලික වෙලාද?
හැඟීම. මතකය පමණක් ප්‍රමාණවත් නැ. මතක ප්‍රබල හෝ දුබල වෙන්නෙ ඒකෙදි අපේ තියන ප්‍රතිචාරයත් එක්කලා. එතකොට ඒ හැඟීම තමා මට හිතෙන්නෙ මූලික වෙන්නෙ. ඒ හැඟීම සහ අපි ඒ ගැන දක්වන ආකල්පය. ඒකත් එක්කලා තමයි ඒක කොච්චර අපිට ප්‍රබලද කියන එක තීරණය වෙන්නෙ. ඒ කියන්නෙ සතුට හෝ දුක හෝ තරහ හෝ ආශාව හෝ මොකක් හරි ඒ හැඟීම කොච්චර දුරට අපිට ඓන්ද්‍රියව ඕනෙද නැද්ද කියන එක එන්නෙ. ඒ ඒකත් එක්ක තමා මන් හිතන්නෙ ලිවීම කියන එක එන්නෙ. ඒක හැමෝටම එහෙම නෙමෙයි වෙන්නැති. මන් කියන්නෙ පෞද්ගලිකව මට.
ඒම ලියන්න හැඟීමක් ඉස්මතු වෙන්න ඕනෙ කියන එක වැදගත් නොවන ලේඛකයො මම දන්න්වා. මගෙ යාලුවොත් ඉන්නවා. ඒගොල්ලන්ට සුවිශේෂී හැකියාවක් තියනවා. මට ඒ හැකියාව තියනවද නැද්ද මන් දන්නෑ. හැබැයි ඒක මගේ විදිහ නෙවෙයි.
– ඒ කියන්නෙ ඔබ සාමාන්‍යයෙන් ඔබට දැනෙන හැඟීමත් එක්ක බද්ධ වෙලා තමා ලිවීම පටන් ගන්නෙ?
ඔව්. එහෙම නොවන අය එක්ක සන්සන්දනය කරලා ඒගොල්ලො උසස් හෝ පහත් කියල කියනවා නෙමෙයි මම. ඒක විශේෂයෙන් කියන්න ඕනෙ. මොකද මන් ඒගොල්ලන්ට ගෞරව කරනවා මොකද එහෙම ලියන ලේඛකයො ඉන්නවා මගෙ ප්‍රියතම ලේඛකයෝ ගොඩේ. ඒගොල්ලන්ට ඒක විශේෂ කුසලතාවයක් හෝ ඒගොල්ලො ඒකට පුහුණුවෙලා. උදාහරණයක් හැටියට මට හොදටම කියන්න පුලුවන් මන් ආසයි මුරකමි ට. දැන් මුරකමිගෙ පොත් ටික අරන් බලන්න. එකේක ශෛලීන් වල කතා එයා ලියනවා මාර ඉක්මනට. නෝවීජයන් වුඩ් හරි ක්‍රොනික් බර්ඩ් සින්ඩ්‍රෝම් හරි කෆ්කා මුහුදු වෙරලේ හරි වගේපොත්. එයා මාර වේගෙන් ලියනවා. ඒවා පොඩි පොතුත් නෙමෙයි. විශාල පොත්. හැබැයි ඒව අතරෙ පොඩි නිකන් මට දැන් දැනෙනවා මට එයාගෙ මැජික් එක අහුවෙලා ඒක තවදුරටත් මට valid නැ වගේ එකක්. ඒක වෙනම කතාවක්. ඒ කියන්නෙ අර අපි repetition කියන්නෙ. නැවත නැවතත් වෙනවා. ආන් ඒක සමහරවිට ලේඛකයන්ගෙ අහුවෙනවා. ලේඛකයන්ගෙ වැරැද්දක් නෙමෙයි. පාඨකයන්ගෙ තියන වැරැද්දකුත් නෙමෙයි. මොකක් හරි දෙයක් ඒකෙ තියනවා. හැබැයි ඒ මනුස්සයගේ professional skill එක ඒ කියන්නෙ එයා එයාගෙ වටේ සමාජය සහ ජපානයේ ඉතිහාසය සහ ජපානයේ මේ මොහොත එකට ගැටගහලා, ඊටපස්සෙ මේ මොහොතේ තියන අවුල සමාජයක් හැටියට බලලා, එයා මහා පුළුල් කෝණයකින් එයාගෙ දැල එලනවා. ඒක කුසලතාවයක් සහ ඒක පුහුණු කරපු මොකක් හරි එයාගෙ විශේෂ ප්‍රාගුණ්‍යගත හැකියාවක්. මන් දන්නෑ මොනාද ඒවට කියන වචන කියල. මට මුරකමි මතක් වෙනවා ඒ වගේ තව ඔය ලතින් ඇමරිකන් ලේඛකයො ඉන්නෙ එක දිගට ලියන, පවුලෝ කොයියෝ එහෙම. ඉසබෙල් අයියන්දේත් එහෙම එක්කෙනෙක් තමා. ඒ වගේ මිනිස්සුන්ට එහෙම විශේෂ හැකියාවක් තියනවා. එයාල අර මහා සමාජයක් ක්ශුද්‍ර කරන, මහා සමාජයක් නිරූපණය කරන ලිවීම් සිද්ද කරනවා. ඒවා එක එක්කෙනාගෙ ශෛලීන්නේ.
– එතකොට ඔබේ ලිවීම ඇතුලෙ බොහෝ වෙලාවට එන්නෙ තමන්ගේම අත්දැකීම් සහ හැඟීම් ගැන කතාකරන තනි පුද්ගලයෙක් කේන්ද්‍ර වුණ කතා නේද?
මගෙ ලිවීම ඇතුලෙ එන්නෙ individual person සහ එයාගෙ අවුල. ඒක ඇතුලෙ මහා සමාජය එක්තරා විදිහකින් ප්‍රතිනිර්මාණය වෙනව හරි පිළිබිඹු වෙනවා තමයි. ඒ උනාට අරගොල්ලො ඒක ඊටවැඩිය වැඩක් හැටියට කරනවා. මට ඒක නිකන් මගේ කතාවෙ කොටසක් විතරයි. හැබැයි ඒක ඇතුලෙත් මන් හිතන්නෙ පොඩි අවංකභාවයක් තියනවා කියල. අරගොල්ලො අවංක නැ කියනව නෙමෙයි ඒගොල්ලො ඒක වැඩක් හැටියට කරන්නෙ. ඇත්තටම, මන් ඒකෙන් කොයි වෙලාවකවත් මාව හෝ එයාලව උස් පහත් කරන්නෑ. විදියවල් දෙකක් කියන එකයි මට කියන්න ඕනෙ.
– තමාගේම අත්දැකීමකින් හරි හැඟීමකින් හරි ලියන්න පටන්ගද්දි ඒ නිර්මාණය ඇතුලෙන් තමන් එලියට එනවා නම් හෝ, තමන්ගෙ දෘෂ්ටියක් එලියට එනවානම් හෝ තමන්ව පේනවා වගේ දෙයක් වෙන එක හොදක් හෝ නරකක් විදිහටද ඔබ දකින්නෙ? ඔබේ ලිවීම් ඇතුලෙ එහෙම දේවල් වෙලා තියනවද?
මෙහෙමයි. එහෙම වෙන එක මගෙ නිර්මාණකරණය ඇතුලෙ මගේ පාලනයෙන් තොර දෙයක්. ඒක හොඳද නරකද කියන්න මම දන්නෑ. මම ඇත්තටම මගෙ ලීවිම ඇතුලෙ මම නැවත නැවතත් මේ තියන ක්‍රමය හරි මේ පවත්නා දේ සම්බන්දයෙන් මගෙ නිර්දේශ සහ මගේ යෝජනාවන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නෙ මම මේ මොහොත එක්තරා අන්දමකින් වාර්තා කරනවා මගේ ලිවීම ඇතුලෙ. කවි හෝ කතා හෝ මොනාහරි. හැබැයි ඒ වර්තා කරන ගමන්ම ඒකට මගෙ තියන ආදරය හරි විරෝධය හරි, ඒකියන්නෙ මගේ තියන සාරය මන් ඒකට ඇතුළත් කරනවා. ඒක නිකන්ම වෙනවා. මන් හිතන්නෙ ඕනෙ ලේඛකයක් තමන්ගේ ලිවීම ඇතුලෙ ඒක කරනවා. ඒකියන්නෙ දැන් කාටහරි කියන්න පුලුවන් මේවා සමබර හෝ සමබර නැති ලිවීම් කියල. ඒක කරන්න දෙයක් නෑ. ඒක එහෙම තමයි. ඒකියන්නෙ අපිට කාටවත් හොඳ වෙන්නවත් අවංක වෙන්නවත් අවශ්‍ය නෑ. මන් විශ්වාස කරනවා ලේඛකයා වගවිය යුත්තේ තමාට සහ තමාගෙ හෘද සාක්ෂියට. මම මේ ලියන්නෙ යහපත් සමාජයක් වෙනුවෙන්නම් යහපත් සමාජය කියන එකත් හරිම සාපේක්ෂ දෙයක්නෙ. දැන් මට යහපත් සමාජය තව එක්කෙනෙකුට යහපත් සමාජය නෙමෙයි. ඉතින් මම සමාජය හදන්නවත් එහෙම දේකට ලියන්නැ. හැබැයි මම ඒ කරන යෝජනා මට සාපේක්ෂයි. ඒක මන් ලෝකෙ දකින විදිහ. තව කෙනෙකුට එහෙම නොවෙන්න පුලුවන්. එහෙම නිශ්චිත එකක් කියලත් එහෙම හඳුනගන්නත් මන් හිතන්නෙ හරි අමාරුයි.
මේක දැන් මන් කියන පුද්ගලයගෙන් ඈත්වෙලා වෙනම බැලුවොත් එහෙම එක එක අය එක එක විදිහෙ දේවල් ලියනවනෙ, ප්‍රේමදාස මහත්තයත් පොත් ලිව්වනෙ. එයාගෙ පොත් වල එයා යෝජනා කරන සමාජයක් තියනවා. ගම් උදාවක් ගැන පොත් එහෙම තියෙන්නෙ. ඒක එයාගෙ විදිහ. දැන් මගෙ විදිහ තව විදිහක්. ඊටපස්සෙ තව කවුරු හරි ලේඛකයෙක්, ඓතිහාසික කතා ලියන ලේඛකයෙක්, එහෙම නැත්තන් ලිංගිකත්වය ගැන ලියන ලේඛකයෙක්, එහෙම නැත්තන් රහස් පරීක්ෂක කතා ලියන ලේඛකයෙක් එක එක අයගෙ දෘෂ්ටිය වෙනස්. මන් මේ කියන්නෙ ලේඛන ආකාර නෙමෙයි, එක එක විදිහවල interpretations තියෙන්නෙ. ඔව් ඒ විවිධත්වය තමා මන් හිතන්නෙ වැදගත්.
ඇත්තටම ලිවීමක් ඇතුලෙ, තමන් එලියට ඒම අවුලක්ද නැද්ද කියන එකට මන් ආස නැ. ඒ වචනයට. ඒක තමා ඒකෙ හැටි. හිතන්න, අපි කැමරාවක් අරගෙන පිටකොටුවේ වීදියක ඇවිදන් යනවා. ඇවිදන් යනකොට කැමරාවෙ record වෙනවා ටිකක්. අපි මොකක්වත් sense කරන්නෙ නැ. කිසිම දර්ශනයක් කපන්නැ. මෙතනින් කපන්නෑ මේ කෝණේ. අපි කොන් හතර හදන්නැ. අපි color change කරන්නෑ. ඒක ඒ විදිහටම පෙන්නන්නවා. තව කෙනෙක් ගිහිල්ලා එයා record කරලා ඒකෙ එයාට හරි කියල හොදයි කියල හිතෙන දේවල් ටිකක් edit කරනවා. edit කරල එයා හිඟන්නොන්ගෙ closeup ගන්නවා. හිඟන්නොන්ගෙ ඇස් වල කඳුළු තියනවා. postitute ලා ඉන්නවා. මිනිස්සු ගිහිල්ලා පොප්කෝන් කනවා. සාරි කඩවල් වල ගෑනු සාරි ගන්නවා. දාඩිය පිහිනවා. ඒ විදිහට එයා closeup එක එක විදිහේ edit වලට යනවා. ඒක එයාගෙ version එක. එතකොට record එකයි ඒකයි දෙකම එකක් උනාට ඒ දෙක දෙකක්. ඒ වගේ එකක් මන් අදහස් කරන්නෙ. ලිවීම කියන්නෙ අර එඩිට් වර්ශන් එක වගේ එකක්.
– තමන්ගෙ අත්දැකීමක් නිර්මාණයකින් එලියට දැම්මට පස්සෙ ඒ තුළින් තමන්ට සුවපත් වීමක් වගේ දෙයක් ලබා ගන්න පුලුවන් කියල ඔබ විශ්වාසරනවාද? ඒක ඔබ අත්විදල තියෙනවද?
පුලුවන්, මන් දැන් නන් ඒක වැඩිය අත් විඳින්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ මන් මාර විදිහට ඒක අත්වින්දා. ඒ කියන්නෙ මම ඉස්සර මගෙ ලොකු මාමට ලියපු ලියුම් වලින්, එහෙම නැත්තන් මම ලියල පුච්ච්පු මගෙ කතාවලින් ඒ වගේ දේවල් අත්වින්දා. දැන් උදාහරණයක් හැටියට, මගේ මාලුවා කියන කතාව මන් අර යාලුවට කිව්වට පස්සෙ මට මාර විදිහට දැනුනා අම්මො දෙයියනේ මෙච්චර කල් ඒ මාලුවා ගලක් වගේ මගෙ ඇගේ හිරවෙලා ඉදලා දැන් මන් මේක එලියට දැම්මට පස්සෙ යකෝ මාර නිදහසක් නෙ කියල. ඊටපස්සෙ ඒ නිදහස ඊටත් වැඩිය වැඩිපුර දැනුනා මන් ඒක ලිව්වට පස්සෙ. ඊටපස්සෙ, ඒක කියවපු සමහර අය ඊටසමාන කතා ගොඩාක් ගැන මගෙත් එක්ක කතා කරාම ඒක ඊටත් වැඩිය වැඩිපුර දැනුනා. ඉතින් මන් හිතුවා අනේ දෙයියනේ මන් හොද උනා විතරක් නෙමෙයි මන් මේ තව අයට හොද වෙන්න හරි සුවපත් වෙන්න හරි මොකක් හරි එහෙම දෙයක් කරා නේද කියල මට හිතුනා. එහෙම එකක් තියනවා. සමහර වෙලාවට සුවපත් වීමක්මත් නෙමෙයි, ලිවීම කියන එක අර තුවාල පාරා ගැනීමකුත් වෙනවා. ඒකියන්නෙ අපි සමහර වෙලාවට සමහර හොද වෙච්චච තුවාල පාරලා ලේ ගලන්න සලස්සන වෙලාවලුත් තියනවා. ඒක මට හරියටම අර වචනෙකින් කියන්න බැ. ඒකත් වචනයට ගත නොහැකි සංකීර්ණ දෙයක්. ලිවීම කියන එක ඉතාම සංකීර්ණයි. එහෙම සරළ කරන්නත් මන් ආස නැ. මොකද ඒකෙ මගෙ මාලුවට එහෙම උනාට තව කතා වල තව තව එක එක සංකීර්ණ සංවේදනා තියනවා.
– නිර්මාණ වලට තමන්ගෙ උපන් භූමිය, ළමා විය, තමන්ගෙ සංස්කෘතිය, භාෂාව මොන විදිහටද බලපාන්නෙ?
ඒක සාපේක්ෂ දෙයක්. මට නම් ඒක ඉතාම දැඩිව බලපෑවා. විශේෂයෙන් මගෙ ළමාවිය. තාම ඒ ළමාවිය මාව ලුහුබඳිනවා. දැන් මට අවුරුදු 40 පැනලා, මන් හිතන්නෙ මන් මැරුනත් ඒක ලුහුබඳී. මොකද මම කියන පුද්ගලයා ගොඩනැගෙන්න ඒ අත්දැකීම් හේතු උනා. මන් හිතන්නේ ඕනෙ මනුස්සයෙකුට එහෙමයි. ළමාවිය හෝ විවිධ, අත්දැකීම් ජිවිතේ සමහර වෙලාවලට බූට් කාපු එකක්, සමහරවිට ප්‍රතික්ෂේප වෙච්ච එකක්, සමහරවිට දිනපු එකක් මොනාහරි. ඒව හරියට බලපානවා, තමා කියන පුද්ගලයා ගොඩනැගෙන්න. ඉතින් ඒ වගේ ඒ හරහා ඒ කාලයට අදාල මහා සමාජයත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ වගේ මන් හිතන්නෙ ඒ හැමදේම බලපානවා මට. මම විදිහට ලියන අයට අනෙක් අයටත් බලපානව ඇති. එසේ නොවන අයත් ඉන්නව ඇති කියල මේ වෙලාවෙ ආයෙත් මතක් කරනවා. ඒක මහා විශාල දෙයක්. මට නන් මගෙ අත්දැකීම් තමා ලිවීම කියන්නේ ගොඩක් වෙලාවට. හැබැයි තව දෙයක් කියන්න තියනවා. මම උත්තේජනයට පත් වෙනවා සමහර අයගෙ ලිවීම් හරහාත්.
– ඒකියන්නෙ දෙයක් කියවලා ආපහු දෙයක් ලියන්න පෙලඹෙනව වගේ දෙයක් ද?
අන්න හරි. එහෙම මට වෙච්ච දේවල් තියනවා. මට මතකයි මම මුලින්ම ‘Age of Iron’ පොත කියෙව්වා. ‘යකඩ යුගය’ කියන පොත. එයා දකුණු අප්‍රිකානු ලේඛකයෙක්. ඒ පොත කියවලා ඇත්තටම මාව මාර විදිහට පිච්චුනා වගේ එකක් උනා. මාව දවස් ගානක් ගල් ගැහිලා හිටියා පොත කියෙව්වට පස්සෙ. ඊටපස්සෙ ආයෙ මට මතකයි ඒ වගේ මට දැඩිව බලපෑම් කරපු පොතක් තමයි මයිකල් කේගේ කලදවස කියන පොත. ඒකත් කියවලා මනුෂ්‍යයා යනු කුමක් ද සහ මනුෂ්‍යත්වය යනු කුමක් ද සම්බන්දයෙන් එදිනෙදා ජිවීතයේ අත්දැකීම් වගේම මන් දන්නෙත් නැති කොහේවත් ඈත සංස්කෘතියක ඒ දේවලුත් මාව මාර විදිහට සසල කලා. මයිකල් කේගේ කලදවස කියවලා මට හිතුනා කවුරු හරි මාව ෆ්‍රිජ් එකක දාල දොරවහලා තියනවා වගේ හැඟීමක්. මොකද ආන් ඒවගෙ අපිව නැවත සිතා බැලීමකට සහ බුද්ධිමය කලම්බනයකට පත් කරනවා සාහිත්‍ය කලාව සහ ඕනෑම කලා මාධ්‍යයක්. සමහරවිට ෆිල්ම් එකක් චිත්‍රයක් නැටුමක් වෙන්න පුලුවන්. එහෙම දේවල් තියනවා.
– එහෙම වෙනත් දෙයක් කියවල ඒකෙන් ආපු උත්තේජනයත් එක්ක ඔබට ලියවුණු දේවල් තියනවද?
ඔව් Age of Iron කියවලා මන් ලියපු ටිකක් තියනවා. ඒව එලියට දාල නැ සමහර ඒව. ඒව මගෙ ලිවීම් වලට යම් යම් දුරකට අඩු වැඩි වශයෙන් ඒ කියන්නෙ මම ඊට සමාන මගේ කතාවක් මන් ලියන්න උත්සහ කරල නැ. හැබැයි එතන ඒ වයසක ගෑනු කෙනා තනි වෙලා සහ එයාව අපිට සමහර වෙලාවට නපුරු මනුස්සයෙක් වගේ පේනව. සමහර වෙලාවට, දැන් අර සත්‍ය කියන එකට එක ස්වරූපයක් ද තියෙන්නෙ කියන එක ගැන ප්‍රශ්නයක් තියනවනෙ. ආන් ඒ ප්‍රශ්නය මම මගෙන් ආයෙ ආයෙ අහගත්තා. ඒ කියන්නෙ දුක් කියන එක එකක්ද නැත්තන් ගොඩක් ද ඒ කියන්නෙ අපි සරළව හිතමු. මට ඔය වගේම ප්‍රශ්නයක් ආවා මාර්ටින් වික්‍රමසිංහ පරිවර්තනය කරපු ‘ථේර සහ ථේරී ගී’ කියන පොත් කියෙව්වට පස්සේ. ඒක වෙන වෙන වශයෙන් මගේ කවි වලින් එළියට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ඒක මාව නැවත නැවතත් ප්‍රශ්න කරා. මන් බෞද්ධ. මගේ පොඩි කතෝලික කෑල්ලකුත් තියනවා. මං කතෝලික ඉස්කෝලෙක ඉගෙන ගත්තෙ.කතෝලික ආගම විෂයක් හැටියට ඉගෙනගෙන තියෙනවා. හැබැයි මං ගෙදර දහම් පාසල් ගිහිල්ලා බෞද්ධ පරිසරයත් දන්නවා. ඔය දෙක සමාන්තරව ගියා. කතෝලික ආගමත් ඉගෙන ගත්තා බෞද්ධ ආගමක් ඉගෙන ගත්තා. එහෙම ඉගෙනගෙන එහෙම ඉන්නකොට ඒක සම්බන්ධයෙනුත් මට අර පොඩි ‘dualism’ නැත්නම් ‘ද්විත්වභාවයක්’ වගේ ඒ කියන්නෙ දෙපැත්තම තියනවා වගේ දෝලනය වෙන එකක් තිබුණා. ඊටපස්සෙ ථේර සහ ථේරී ගී කියෙව්වට පස්සෙ දැන් නිවන සම්බන්ධයෙන් මම අහගෙන හිටපු අදහස බිඳිලා ගියා වගේ උනා. මං කල්පනා කරා නිවන කියන්නේ එකක් ද නැත්තන් ඒක අතිෂය පුද්ගලික දෙයක්ද කියන එක. දැන් අඩ්ඩකාසි නිවන ගැන එකක් කියනවා. ඉසිදාසි තව එකක් කියනවා. කුමාරකාශ්‍යප මාතා තව එකක් කියනවා. අම්බපාලී ඇවිල්ල වෙනමම එකක් කියනවා. ඇත්තට මට හිතුනා නිවන කියන එක අතිෂය පුද්ගලික දෙයක් ද, පුද්ගලානුබද්ධ දෙයක් වෙන්න ඕන, එහෙම නැත්නම් බැහැ. ඇත්තටම නිවන කියලා දෙයක් තියෙනවනම් ඒක එහෙම වෙන්න ඕන.
කුළු වියපු ගෑනු කෙනෙක් කියනවා ‘මගෙ නිවීම අර බටපොතු අත්කැපුමෙන් මෝලින් පහර දෙන සැමියාගෙන් ද දරුවන්ගෙන්ද පිලි ගඳගහන දිය සැලියෙන්ද මිඳුනෙමි. මිදුනා මිඳුනා මනාව මිඳුනා කියනවා.’ එතකොට අම්බපාලී කියනව වෙන එකක්. එතකොට මට හිතෙනවා නිවන කියන එක ඒක තමයි. මහායාන වල තියන නිවන කියන සංකල්පය මට මතක් උනා නැවතත්. ඒක ඔයාගෙ ඇතුලෙ තියන දෙයක්. ඒක ඔයා ඇහැරවගන්න ඕනෙ කියන එකක්.
අන්න ඒවගේ පොත් වල ඇත්තටම කාර්‍යභාරයත් ඒකයි ඇත්තටම අපිව බුද්ධිමය වශයෙන් යම්කිසි ආකාරයකට කලඹලා, අපිව ඉන්න තැනින් චලනය කරන මොනා හරි ගාමක බලවේගයක් තියනවා කලාව ඇතුලේ. ඒක අපි ඉන්න තැනින් සමහරවිට ඉස්සරහට වෙන්නත් පුලුවන් පස්සට වෙන්නත් පුලුවන්. ඒක සාපේක්ෂයි. එහෙම එකකුත් තියනවා. ඉතින් පොතුත් එක්තරා ආකාරයක අත්දැකීම් තමයි. ඒවත් මට බලපෑම් කරල තියනවා දැඩිව.
ඇත්තටම ඒක වෙන්නෙ, ඒ සියල්ල නිර්මාණ චින්තනයට එකතු වීමක්. ඒ කියන්නෙ මන් ඒක දැකල ඒකෙන් අනුප්‍රානය ලබලා මේක ලිව්වා වගේ එකකට සරළ කරන්න මන් ආස නෑ. ඒක වෙන්නෙ, මන් ඒක දැකල මාත් ඒවගේ කතාවක් ලියනව වගේ නෙමෙයි. මගේ සිතීමේ දිශානතියට ඒව බලපෑම් කරනවා.
– ලිවීම කියන ක්‍රියාව ගැන අවසන් වශයෙන් යමක් කිව්වොත්?
ලිවීමගැනමටඇත්තටමකියන්නෙතියෙන්නෙසරළවමඒකහරිසංත්‍රාසමයඅත්දැකීමක්. අපි දන්නැති කැලේක ඇවිදන් යනවා වගේ වැඩක්. adventures වැඩක්. අපි සමහරවෙලාවට දන්නවා කියල හිතාගෙන යනවා ඒ උනාට ලිවීම ඇතුලට ගියාට පස්සෙ ඒක කැලේක ඇවිදිනවා වගේ වැඩක්. ටෝච් ගහගහ යනවා, රෑ වෙනව එලි වෙනවා, ඊලගට මොක්කු හම්බෙයිද අපි දන්නෑ. ඒක අපේ පාලනයෙන් තොරයි. ඒක හරිම සංත්‍රාසමය ස්වයං ගවේෂණාත්මක මාර දෙයක්. මට ඒක කියන්න තියෙන්නෙ මාරයි.
– සංවාදය – පවන් අංජන