ප්‍රේමය විෂමාකාරීය. එක් එක් ප්‍රේම සම්බන්ධතා තුළ අප එක් එක් මිනිසුන්ට වෙනස් අයුරින් බැඳෙන අතර ඒ සියල්ල ප්‍රේමයමදැ’යි සමහරක් දිනෙක හැරීබලන ඔබම විමසනු ඇත. සම්බන්ධතාවයක ඉන්නා තුරාවට දැනෙන හැඟීම කුමක් වූවත් ආපස්සට හැරී බලන විට ඒ විවිධාකාරී ප්‍රේමයන්ට වෙනස්ම නාමකරණයක් ඔබට හමුවෙනු ඇත. ප්‍රේමයමැ’යි සිතා ප්‍රේම කිරීමත් ප්‍රේමයමදැ’යි නොදැන බැඳීමත් සාමාන්‍යයය. එහෙත් ප්‍රේමයට ඉඩ නැති බව දැන දැනම ප්‍රේම කිරීම ඔබව සදාකාලයටම රිද්දනු ඇත.
ජීවිතයේ මා මෙතෙක් කාලෙකට ගැඹුරින්ම ප්‍රේම කල එකම පිරිමියා මාස කීපයකට පෙර විවාහ උනේය. ඊට ටික කලකට පෙර ජීවිතය වෙනස් කරගනිමු’යි ඔහුගේ ගිවිසගත් විවාහය කටුගා මා වෙතට එන්නම් යැයි ඔහු කීවේ ඇත්තටමද කියාවත් නොසෙවූ නොඇසූ මා, ඔහුව නිර්දය ලෙස ප්‍රතික්ෂේප කලෙමි. ඒ ඔහුගේ විවාහයට පෙරය. එය අපගේ අවසන් හමුව විය. ඉන්පසු කිසිම දවසක ඔහු මා සොයා නොආවේය. මට කතා නොකලේය. අවසානය එතරම් සරල වූවා නම් මෙතරම් කතාවක අවශ්‍යතාවය පැන නොනගිනු ඇත. නමුත් එලෙස ඉතා දරුණුවට ඔහු ප්‍රතික්ශේප කළ මාම එතැන් සිට නොකඩවා ඔහු සොයන්නට වීය. ඔහු අතහැරීම කෙතරම් වේදනාබර වීද, ඔහු කෙලෙසකවත් නැවත හමුනොවීම ඊටත් වඩා දරුණු මරණීය වේදනාවක්ම වීය.
ඊයේ රැයේදිත් මා සිහිනවල සිටියේ ඔහුය. ඔහුගේ දසුන මා මුළු රැයක් එළිවෙන තෙක් අඬවන්නට සමත් වීය. උදෑසන අවදිවූ මට තව දුරටත් ජීවත් වන්නට නොහැකි බව නැවත නැවතත් සිතුන බව කිවමනාය. හිතහදාගන්නට යැයි සිතා හිත නැවතත් කොනිත්තා පාරන ඔහුගේ විවාහ දිනයේ රූ මා සියවෙනි වතාවටත් නැරඹීමි. ඒ රුව කිසිදා මාසිත හැර නොයනු ඇත. සියල්ල අවසානයේ තාමත් ඔහු සතුටින්දැයි දැනගැනීමට මට අවැසිය.
අප හඳුනාගන්නෙ ඉතා අර්බුදකාරී අවදියකය. මුලින් අපි එකෙනෙකා හොඳින් හඳුනාගත් මිතුරන් වීමු. මීවිතක් දුමක් එක්කල අපේ සැඳෑකාලයන් හර්දයාංගම වීය. ඒ හවස්වරු ටිකෙන් ටික උණුසුම් වන්නේ අපටත් නොදැනීමයැ’යි මට කිව නොහැකිය. හමුවූ මුල් දිනේ සිට අප එකිනෙකා කෙරෙහි ආකර්ශනය වූ බව නොරහසක් විය. නමුත් ඔහු එවිටත් විවාහ ගිවිසගත්තෙකු බව මා දැනන් සිටියෙමි. මා දන්නා බව ඔහු නොදත්තේය.
මිතුදමක සීමා බිඳෙනවග පසක් වූ දවසක ඔහු ඒ පුවත මා කන තැබීය. දැන සිටියාට වඩා ගැඹුරු රිදුමක් ඒ අලුත් දැනගැනීම මට ගෙන ආ බව නොකියා බැරිය. එය තවත් කවදාහෝ දවසක් නොවීය. එය වාරණ නැති කාලයේ සරසවියේ සෙනටය යට, ඉතා ජීවගුණයෙන් පිරීගිය ආදරවන්තයන්ගේ දවසක් වීය. සෙනටය යට කඳුලු දියකල මාත් ඒ කඳුලු පිසලූ ඔහුත් ආදරවන්තයන් වන්නට වරම් ලද්දන් නොවීමු.
මේ කතාවේ අවසානය එය වූවානම් වේදනාවේ බර ඉතා අවම වන්නට ඉඩ තිබිනි. ලංවෙන්නට වරම් නොලද ඉතා කිට්ටු මිතුරන් ලෙසින් සමුගෙන යන්නට අපට ඉඩ තිබිනි. නමුත් ඉතා පැහැදිලි අවසානයක් නෙත් මායිමේ දරාගෙන ආදරයක අවදානම කරාතබාගන්නට මට ඕනේම බව කීවේ මමය. දැන දැනම තව තවත් ලංවෙන්නට ඉඩ හෙව්වේද මමය. පැසව පැසවා දරාගෙන හිඳ, දිගු රැයක කෙලවරේ මා දමා නොයන්නැ’යි වැලපුනේද මාමය. ඒ ආරම්භයේ සිට අවසානයටත්, ඉන් පසුවටත් කඳුළු වල හිඟයක් ආවේම නැතිය.
එනමුදු මා ඔහු සමඟ ගෙවූයේ මගෙ සරසවි දිවියේ හොඳම දවස් යැයි මම දනිමි. තරු ගනින හැන්දෑවල්, රැය පහන් කල සාද, ආදරය, ශුංගාරය ඉතිරූ දවස් පමණක් නොව, සරසවි ජීවිතයේ සමහර ආනන්දනීයම ත්‍රාසජනක දවස් පවා මා ගෙවා දැමුවේ ඔහු සමඟය. පිරිමි නේවාසිකාගාරයකට සඳලුතලයෙන් ගොඩවී රැය පහන් කිරීම මා ඉන් ඔබ සමඟ බෙදාගන්නා එක් වික්‍රමාන්විතයක් පමණි.
ඔහු ඉඳ හිටක යමක් කිවේය. බොහෝවිට මට ආදරය පෙන්වීය. ඊටත් වඩා බොහෝ තැන්වල මා රැවටුවේදැ’යි යන පැණය හැමවිටම පසෙකින් තැබූ මම හැමවිටම මාම රිදවා ගතිමි. මිතුදමක සීමා බිඳිමුයි කීවේ මමය, අවසානයට ඔහුට යන්නට හැරියේද මමය. ඔහු මා රැවටුවේදැ’යි අදටත් මසිත නොපිලිගන්නේය.
ආදරය නම් වචන නොවේයැයි කීවේ ඔබය. ඒත් අදටත් මසිත කොනහන සමහර වචන ඔබගේය. ඉඳහිටක පමණක් යමක් කීවද ඔහුගේ වචන අදටත් මට මතකය. ඔහුගේ ජීවිතයට අලුත් අනාගතයක් මා සමඟ හදාගන්නට ඔනේයැ’යි දවසේ පළමු මහකන්ද බසය එනතෙක් ජයතිලකෙ ඉස්සරහා බංකුවේ ඉඳහුන් පාලු ඒත් උණුහුම් පාන්දරක ඔහු මට කිවේය. ඒ දෙබස තවමත් මට මතකය. කතා කරන විට මගේ කකුලේ ඉරි ඇන්ඳ ඔහුගේ ලස්සන ඇඟිලිත්, කුමක් හෝ හේතුවක් නිසා බිමට හැරවී තිබූ දෑසත් මට මතකය. ඊට වසර දෙකකට පමණ පසු ඔහු කසාදය කටුගා දමනවැයි කියද්දී, අවාසනාවදැ’යි තවමත් නොදන්නා මුත් මා, ඉතා සෙමින් වුව, ඔහු හැරදා යමින් සිටියෙමි. එදා සිටි ඔහු වෙනස් බව මට මතකය. ඔහුගේ කතාකරන ඇස් තුළ ආදරය පිරී තිබුනාද? කවරදාකටවත් වඩා විශ්වාසයෙන් පිරීගිය බවක් ඒ වචන වල තිබින. හැමදාම රහසේ මා සිපගත් ඔහු එදා මල්පාර කෙළවර ගලහා පාරේ මාරගහ යට මා කොපුල් මත නිදහස් හාදුවක් තැවරුවේය. ඉක්මනින් නැවත හමුවන පොරොන්දුවක් සමඟ ඔහු වේගෙන් ඉගිල ගියේය. යන එන මඟ මතකයට ගන්නට නොහැකිව දෙපා පැටලෙමින්, හිරවූ හදක බර දරන් ඇවිදින මට සිහිවූයේ ඔහොම ඉගිලීම ඔහුගේ වටිනා දෑතට පරිස්සම් නැති බව පමණය. අතොරක් නැතිව වාහන යන ගලහ පාරේ මා අරමුණක් නැතිව අසිහියෙන් පියමනිනු දුටු මිතුරෙක් එදා රෑ මා මිත්තාවට ඇරලවීය.
ඉතා අසීරුවෙන් මෙන්ම සෙමින් ඔහු හැරදායන්නට තනන්නට මට හේතු තිබිනි. නමුත් මා කවදාවත් පැමිණිලි නොකළ අයෙක් වීමි. කවදාකහෝ හැරයන බැඳීමක් තව දුරටත් රකින්නට තරම් මසිත දැඩි නොවීය. ඉතින් මා ඉතා සෙමින් ඔහු හැරදා යන්නට හිත හදමින් උන්නෙමි. ඔහු මවෙතට එනවායැ’යි කිවේ වුවද ඒ පොරොන්දුව මගේ හේතු අහේතුක නොකලේ මන්දැයි මා තවමත් නොදනීමි. සියල්ල පසෙකලා ඔහු වෙතට යන්නට මට නොහැකි වූයේ ඇයිදැ’යි මා අදටත් විමසමි. ඊට මාසෙකට දෙකකට පසුව, අවසානයට ඔහු දුටුව හිමිදිරි පාන්දර මා ජීවිතයේ කවරදාකටත් වඩා හිත ගල් කරගත්තේ කෙසේදැ’යි මට නිනව් නැතිය. ඔහු නික්මුන පසු ඊළඟ තත්පරයේම මා අන්තයටම ඇද වැටුනු බව පමණක් මට මතකය. කසාදය පසෙකලා මවෙත එන්නම් කී ඔහු ඊට මාස කීපයකින් පසු විවාහ වී ඇති බව මා දැනගතිමි. ඊටත් පෙර සිටම ඔහුගේ පෙම්වතිය ඔහුගේ ජීවිතයේ බොහෝ තැන්වල ඇත්තම කොටස්කාරිය වී ඇති බවද මා පසක් කර ගතිමි. මා ඔහුට මවෙත එන්නට ඉඩ දුන්නේ නම් කුමක් විය හැකිව තිබුණේදැ’යි අදටත් මසිත විමසයි.
ඉවරයක් නැතිව එක දිගට දවසක් අඬන්නට තරම් ඇසකට කඳුලු උනන්නේ කෙසේද? මේ ලියමන කොටන මොහොත වනවිට මා ඔබ නමින් රහසේ සම්පූර්ණ රැයක් සහ දිනයක් හඬා ඇත. එය මට අමුත්තක් නොවෙයි. මා ඔබ නමින් අනන්තවත් හඬා ඇති. ඔබ සමඟ ගෙවූ කාලයෙත්, ඔබට යන්නට දුන් කාලයෙත්, ඉන්පසු හිත හදන්නට ඔබ සොයන්නට වෙහෙසුනු කාලයෙත්, අවසානයේ මේ රිදීම සදාකලික බව පසක් කරගත් පසු වුවත් හැඬීම නවතාගන්නට මට නොහැකි වීය. ඊයේ රැය ඉතා දිගු සහ වේදනාබර වුවත් දරාගත හැකිවිය. එනමුත් අද දවස ඉතා අසීරු වූයේ මගහැරිය නොහැකි දහසකුත් එකක් වැඩ කඳුලු අස්සෙන් වුව නිමා කළ යුතුව තිබූ බැවින. නමුත් මේ කතාවේ ඛේදාන්තය එය නොවේය.
ජීවිතය ඉතා දරුණුය. මා ඔබ නිසා මගහැරගත් එකල මා පතා ආ ප්‍රේමයක් මට අද හමුවීය. ඊයේ රෑ කඳුළු කතාවේ ශේෂයන් අපේ හමුවටත් ඉඟිබිඟි පෑවේය. රැය පුරා ඔබ තුළ සිහින දුටු මට ඉනික්බිති ඔහු හමුවන්නට සිදුවීම ජීවිතය මට පෑ දරුණුතම සරදමකි. ඔහුත් මමත් බොහෝකල් මිතුරන්ව සිටි අය වීමු. දැන් අපි මිතුරන් ද පෙම්වතුන්ද නොවෙන විෂම භූමියක සිටිමු. ඔහු තවදුරටත් මගේ කතාවන් ආසාවෙන් අසන්නේ නැතියැ’යි මට සිතුණි. මා දැන් වියපත්, විඩාපත් ගැහැනියක් මෙනියි ඔහුට සිතුනේලු. මා ඉතා අඩුවෙන් සිනාසෙන බොහෝවිට කල්පනාභරිත ශෝකාකූල බවක සිටීම ඔහුට ප්‍රිය නොවෙයි. මා ජීවත්ව සිටීමම අහුඹුවක් බවත්, ඔහුත් මාත් ඔබත් එකම කඳුළු කතාවක කොටස් කාරයන් බවත් ඔහුද දන්නේය. නමුත් මතකය තාමත් කැලැල් පාරා තුවාළ කරන බව ඔහු නොදැන සිටියාට මා උරණ නොවීමි. මා ඔබට පෙම් කළද ඔබ දැන් බොහෝ දුර ගොස් ය. ඔබේ ජීවිතය පරිපූර්ණ බව මුහුණුපොත මට කියයි. ඉතින් මා සැනසිය යුතුය. ඔහු එදා මට පෙම් කළද ඔහුද දැන් බොහෝ දුර ගොස් ඇති සේය. මා කෙරෙහි එදා වූ හැඟීම්බර බව දැන් ඔහු මට කියාපාන්නේ නැතිය. ඉතින් දෑත දිගුකර බදා වැළඳ හඬන්නටවත් කෙනෙක් අදටත් මට නැතිය.
ජීවිතය ඉතා දරුණුය. ප්‍රේමයට ඊට වඩා දරුණු විය හැකිය. ප්‍රේමය රමණීය වුවත් මරණීය විය හැකිය. ජීවිතය ඉතින් කොහොමත් මරණීයය. ජීවිතය මරා දැමිය හැකි වුවත් ප්‍රේමය සදා කල් ජීවත් වනු ඇත. එසේනම් ප්‍රේමයක වේදනාවද අමරණීයමය.
-ළහිරුණි වික්‍රමරත්න
🖤
🖤
❤