හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම...! - නුඹේ උණුසුම් හාදුවෙන් - උන්මාදනීය ජීවානන්දයක ආස්වාදයත් බලාපොරොත්තුවේ ආලෝකයත් සදාකාලෙටම ඉතිරි කර ගිය මතකයත් යන සියල්ලම නුඹ නිසාය. මේ සියලු හැඟීම් වචන කරන්නේ හදවතේ ගැඹුරුතම ඉසව්වේ අගුළු හැර නවාතැන් ගත් නුඹ වෙනුවෙන්මය. කාලයත් සමඟ ජීවිතයට යන එන අය අතරේ සමහර හදවත් අපේ මුළු ජීවිත කාලෙටම සෑහෙන මතක ගොන්නක් හදවතේ ගැඹුරුම තැන් වල සනිටුහන් කර යයි. ජීවිතය තුළ අන් කිසිවකුත් ඔවුන්ට ආදේශ කළ නොහැකිය. ජීවිතේ කල් ඉකුත් වන්නට ප්‍රථම ඒ රැස් කර ගන්නා මතක බොහෝ වෙලාවට අයිති වන්නේ ආදරේ වැඩියෙන්ම දැනුණු තැන් වලටය. ඉතින්, දැනුණු තැන නතර වීම කෙසේ වෙතත් ඒ දැනුණු හිත් දරාගෙන බොහෝ දුර පැමිණ අතරමඟකින් හැරෙන්නට වුවහොත් එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් වනු ඇත. නමුත් මේ ජීවිතය සදාකාලෙටම නොවන බැවින් සංසාර ගනුදෙනු වල අවසානය දක්වා මේ චක්‍රයෙහි අප ගමන් ගත යුතුව ඇත. කෙසේ හෝ ඒ හමුවීම් ජීවිතයට ආශිර්වාදයක් සහ වාසනාවක් සේ දැනෙනු ඇත. ජීවිත වලින් නික්ම යාම සහ විරහව වැළඳ ගත් මොහොතක වුව ඒ දෙස උපේක්ෂාවෙන් බලන්නට ඒ හමුවීම් සහ ඒ හදවත් හේතු කාරණා වනු ඇත. "නුඹේ උණුසුම් හාදුවෙන්" ගීතය ද මෙවන් වූ උපේක්ෂා සහගත ඉසව්වෙන් ප්‍රේමයේ ගැඹුරුතම ස්වරයන් තුළින් හදවත් වලට කතා කරන නිර්මාණයකි. මෙය ඉතාමත් සුමියුරුව සියුමිණී ඔපයංගිගේ හඬින් ගැයෙන අතර හර්ෂනී දිනුෂා අධිකාරීගේ ඉතාමත් අලංකාර සහ අර්ථවත් පද රචනාව සහ කපිල අපරැක්කගේ සංගීත දායකත්වයෙන් නිර්මාණය වූවකි. "නුඹේ උණුසුම් හාදුවෙන් මගේ හිත පිරීමදින්න ආදරේ තව සියුම් තැන් ඇති ලංවෙලා මට කියන්න..." ප්‍රේමයේ ගැඹුර කොයි තරම් ද යන වග හදවත් වලට දැනෙනුයේ අන් කවරදාටත් වඩා අනෙකාව දැනෙන ඔවුන් සමඟ ගෙවෙන එක් කුඩා මොහොතක් වුව මඟ හැර ගන්නට ලොබ බඳින, වචනයෙන් කියා ගත නොහැකි හැඟීම් පමණක් ම වන තැන් වලදීය. නුඹේ උණුසුම් හාදුවෙන් පිරිමැදෙන්නේ මා ගත නොවේ හිතය. ඒ මට නුඹව උපරිමව දැනෙන තැනය. ආදරේ තව අප නොවිඳි සියුම් මොහොතවල් පවා නුඹ සමඟ විඳින්නට හැකි නම් මා හට ඇති එකම සැනසුම එයයි. "යන්තමට හරි නුඹට හිතුනොත් මගේ හිත මගහරින්න මතක පැන් ටිකක් අරගෙන නුඹේ හිතටම ඉහින්න..." අපි දෙදෙනා ඇවිද ආ මාවතෙහි කොතැනක හෝ අතරමඟින් හැරෙන්නට කෙදිනක හෝ නුඹට සිතුණොත් අපේ මතක වලින් මතක පැන් ටිකක් ගෙන නුඹේ හිතට ඉසින්න. ඒ පද පෙළ ඉතාමත් රූපකාර්ථයෙන් අර්ථවත් ලෙස හැඩ ගන්වා තිබීම අපූර්වය. එහි සරල අර්ථය නම් නුඹට මාව මඟ හරින්නට සිතුණොත් අප දෙදෙනා එක්ව ගත කළ ඒ සොඳුරු දවස්, ඒ සුන්දර මතක කෙතරම් නම් ඉමිහිරිද යන්න වග යළි යළිත් ආවර්ජනය කර බලනු මැන යන්නයි. "හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹටම..." නුඹව හමු වී ගත වූ කාලය කෙතරම් කෙටි ද දිගු ද යන්න කෙසේ වෙතත් හිතින් අපි අපිව දරාගෙන අපි අපිව බෙදා ගනිමින් සනසවමින් පැමිණි දුර බොහෝමය. එය සංසාරයක් තරම් දිගු බවක් උසුලන බව දැනෙයි. ඉතින්, කිසිවෙකුටත් ඇතුළු වීමේ ප්‍රවේශ නොදුන් මගේ හදවතේ ගැඹුරුතම තැනක හරි පරිස්සමට මම නුඹේ නමට මගේ ප්‍රේමය සදාකාලෙටම ලියා තැබුවෙමි. "කඩන් වැටෙනා පුංචි තරුවක් දෙස බලන් මම හිතන්නම් සසර ගනුදෙනු ඉවර වෙනකන් නුඹව විතරක් පතන්නම්..." නුඹත් මමත් හිඳින මේ විසල් අහස දෙස බලන හැම මොහොතකම කඩන් වැටෙනා පුංචි තරුවක මම මගේ ප්‍රාර්ථනාවන් නුඹ නමින් තබන්නෙමි. ඒ හැම මොහොතකම නුඹේ සතුටම ප්‍රාර්ථනා කරන්නෙමි. සංසාර චක්‍රයෙහි ගනුදෙනු සියල්ලම අවසාන වන තෙක් නුඹව පමණක් පතන්නෙමි. මේ පිවිතුරුම හැඟීම් නුඹ නමින් පමණක් ම වනු ඇති. "හිතේ කකියන හුඟක් දේවල් ඇස් පියන් මට කියන්න නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා දැනෙන්න..." මගේ හදවතේ පැන නඟින සියලු සිතුවිලි නොසඟවා නොරවටා කිව හැකි කෙනෙක් සිටියා නම් ඒ නුඹය. හිතේ සිර කරගෙන සිටි බොහෝ දෑ සහ අදටත් කිසිවෙකු සමඟ නොකී ඇතැම් දේ ගැන නිදහසේ නිවී සැනසිල්ලේ ඇස් පියන් වුව තොරක් නොමැතිව කියන්නට මට සිටියේ නුඹ පමණමය. සිතට එන හැමදේම බෙදා හදා ගන්නට හැම හුදෙකලා මොහොතකම මගේ යැයි මං හදවතින් බදා ගත් කෙනෙක් වේ නම් මගේ තනියට සිටි ඒ නුඹමය. නමුත් මා නොදන්නා කාරණාව නම් නුඹට එය කෙසේ දැයි යන්න වග පමණි. "නුඹයි ආවේ මා සොයාගෙන ආදරේ කවි ලියන්න මගේ හිත ළඟ නතර උනෙ ඇයි කවදහරි මට කියන්න..." දයාලූ හස්තයෙන් මගේ හිත පිරිමැද ආදරේ කවි මල් ද රැගෙන මා සොයා මගේ ජීවිතයට කොහේදෝ සිට පැමිණියේ නුඹය. නොසිතූ මොහොතක නොසිතූ අයුරින් ආදරේට අරුත් රැගෙන මගේ ජීවිතය සැරසුවේ නුඹය. එදා පටන් ආදරේ කවි ලියූවේ නුඹ නමින් ය. නමුදු මට නුඹෙන් අසන්නට ඇත්තේ මෙය පමණමයි. ජීවිතේ කෙදිනක හෝ නුඹට සිතුණොත් මට මෙය කියන්න. "මගේ හිත ළඟ නතර උනෙ ඇයි කවදහරි මට කියන්න" එහෙම දවසක් එනතුරුම මම මඟබලාගෙන හිඳින්නෙමි. ආදරය යනු අයිති කර ගැනීමට වඩා ගැඹුරක් දරන පිවිතුරුම හැඟීමක් බවට මේ ගීතය සාක්ෂි දරයි. මෙයට සවන් දෙන සෑම මොහොතකම භාවනාවක් සේ සමවැදෙන අයුරින් සහෘද හදවත් ඇද බැඳ තබා ගන්නා අතර මෙම නිර්මාණය ආදරේ ගැඹුර මනා ලෙස හදවත තුළ රඳවයි. සමාජය තුළ ගී රසාස්වාදය වැඩි දියුණු වීම සඳහා මෙවන් වූ සෞම්‍ය ගණයේ ගීත නිර්මාණය වීම බෙහෙවින් ඇවැසිමය. ඉතින්, මේ සක්වළල්ල තුළ ප්‍රේමය නමින් පණ ගැහෙන ජීවිත මතක වලට සහ පිවිතුරු ආදරයන්ට මෙම ගීතය තුළින් ගැඹුරු සෞන්දර්යයක් එක් කරනු ඇත. -නවෝද්‍යා ධනංජනී-

හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම…! – නුඹේ උණුසුම් හාදුවෙන් –

උන්මාදනීය ජීවානන්දයක ආස්වාදයත් බලාපොරොත්තුවේ ආලෝකයත් සදාකාලෙටම ඉතිරි කර ගිය මතකයත් යන සියල්ලම නුඹ නිසාය. මේ සියලු හැඟීම් වචන කරන්නේ හදවතේ ගැඹුරුතම ඉසව්වේ අගුළු හැර නවාතැන් ගත් නුඹ වෙනුවෙන්මය. කාලයත් සමඟ ජීවිතයට යන එන අය අතරේ සමහර හදවත් අපේ මුළු ජීවිත කාලෙටම සෑහෙන මතක ගොන්නක් හදවතේ ගැඹුරුම තැන් වල සනිටුහන් කර යයි. ජීවිතය තුළ අන් කිසිවකුත් ඔවුන්ට ආදේශ කළ නොහැකිය. ජීවිතේ කල් ඉකුත් වන්නට ප්‍රථම ඒ රැස් කර ගන්නා මතක බොහෝ වෙලාවට අයිති වන්නේ ආදරේ වැඩියෙන්ම දැනුණු තැන් වලටය.

ඉතින්, දැනුණු තැන නතර වීම කෙසේ වෙතත් ඒ දැනුණු හිත් දරාගෙන බොහෝ දුර පැමිණ අතරමඟකින් හැරෙන්නට වුවහොත් එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් වනු ඇත. නමුත් මේ ජීවිතය සදාකාලෙටම නොවන බැවින් සංසාර ගනුදෙනු වල අවසානය දක්වා මේ චක්‍රයෙහි අප ගමන් ගත යුතුව ඇත. කෙසේ හෝ ඒ හමුවීම් ජීවිතයට ආශිර්වාදයක් සහ වාසනාවක් සේ දැනෙනු ඇත. ජීවිත වලින් නික්ම යාම සහ විරහව වැළඳ ගත් මොහොතක වුව ඒ දෙස උපේක්ෂාවෙන් බලන්නට ඒ හමුවීම් සහ ඒ හදවත් හේතු කාරණා වනු ඇත. “නුඹේ උණුසුම් හාදුවෙන්” ගීතය ද මෙවන් වූ උපේක්ෂා සහගත ඉසව්වෙන් ප්‍රේමයේ ගැඹුරුතම ස්වරයන් තුළින් හදවත් වලට කතා කරන නිර්මාණයකි. මෙය ඉතාමත් සුමියුරුව සියුමිණී ඔපයංගිගේ හඬින් ගැයෙන අතර හර්ෂනී දිනුෂා අධිකාරීගේ ඉතාමත් අලංකාර සහ අර්ථවත් පද රචනාව සහ කපිල අපරැක්කගේ සංගීත දායකත්වයෙන් නිර්මාණය වූවකි.

“නුඹේ උණුසුම් හාදුවෙන්
මගේ හිත පිරීමදින්න
ආදරේ තව සියුම් තැන් ඇති
ලංවෙලා මට කියන්න…”

ප්‍රේමයේ ගැඹුර කොයි තරම් ද යන වග හදවත් වලට දැනෙනුයේ අන් කවරදාටත් වඩා අනෙකාව දැනෙන ඔවුන් සමඟ ගෙවෙන එක් කුඩා මොහොතක් වුව මඟ හැර ගන්නට ලොබ බඳින, වචනයෙන් කියා ගත නොහැකි හැඟීම් පමණක් ම වන තැන් වලදීය. නුඹේ උණුසුම් හාදුවෙන් පිරිමැදෙන්නේ මා ගත නොවේ හිතය. ඒ මට නුඹව උපරිමව දැනෙන තැනය. ආදරේ තව අප නොවිඳි සියුම් මොහොතවල් පවා නුඹ සමඟ විඳින්නට හැකි නම් මා හට ඇති එකම සැනසුම එයයි.

“යන්තමට හරි නුඹට හිතුනොත්
මගේ හිත මගහරින්න
මතක පැන් ටිකක් අරගෙන
නුඹේ හිතටම ඉහින්න…”

අපි දෙදෙනා ඇවිද ආ මාවතෙහි කොතැනක හෝ අතරමඟින් හැරෙන්නට කෙදිනක හෝ නුඹට සිතුණොත් අපේ මතක වලින් මතක පැන් ටිකක් ගෙන නුඹේ හිතට ඉසින්න. ඒ පද පෙළ ඉතාමත් රූපකාර්ථයෙන් අර්ථවත් ලෙස හැඩ ගන්වා තිබීම අපූර්වය. එහි සරල අර්ථය නම් නුඹට මාව මඟ හරින්නට සිතුණොත් අප දෙදෙනා එක්ව ගත කළ ඒ සොඳුරු දවස්, ඒ සුන්දර මතක කෙතරම් නම් ඉමිහිරිද යන්න වග යළි යළිත් ආවර්ජනය කර බලනු මැන යන්නයි.

“හිතින් අපි ආ දුර බොහෝමයි
දරාගෙන අපි අපිවම
හිතේ ගැඹුරුම තැනක ලිව්වා
මගේ ප්‍රේමය නුඹටම…”

නුඹව හමු වී ගත වූ කාලය කෙතරම් කෙටි ද දිගු ද යන්න කෙසේ වෙතත් හිතින් අපි අපිව දරාගෙන අපි අපිව බෙදා ගනිමින් සනසවමින් පැමිණි දුර බොහෝමය. එය සංසාරයක් තරම් දිගු බවක් උසුලන බව දැනෙයි. ඉතින්, කිසිවෙකුටත් ඇතුළු වීමේ ප්‍රවේශ නොදුන් මගේ හදවතේ ගැඹුරුතම තැනක හරි පරිස්සමට මම නුඹේ නමට මගේ ප්‍රේමය සදාකාලෙටම ලියා තැබුවෙමි.

“කඩන් වැටෙනා පුංචි තරුවක්
දෙස බලන් මම හිතන්නම්
සසර ගනුදෙනු ඉවර වෙනකන්
නුඹව විතරක් පතන්නම්…”

නුඹත් මමත් හිඳින මේ විසල් අහස දෙස බලන හැම මොහොතකම කඩන් වැටෙනා පුංචි තරුවක මම මගේ ප්‍රාර්ථනාවන් නුඹ නමින් තබන්නෙමි. ඒ හැම මොහොතකම නුඹේ සතුටම ප්‍රාර්ථනා කරන්නෙමි. සංසාර චක්‍රයෙහි ගනුදෙනු සියල්ලම අවසාන වන තෙක් නුඹව පමණක් පතන්නෙමි. මේ පිවිතුරුම හැඟීම් නුඹ නමින් පමණක් ම වනු ඇති.

“හිතේ කකියන හුඟක් දේවල්
ඇස් පියන් මට කියන්න
නුඹයි හිටියේ මගේ තනියට
මගේ කියලා දැනෙන්න…”

මගේ හදවතේ පැන නඟින සියලු සිතුවිලි නොසඟවා නොරවටා කිව හැකි කෙනෙක් සිටියා නම් ඒ නුඹය. හිතේ සිර කරගෙන සිටි බොහෝ දෑ සහ අදටත් කිසිවෙකු සමඟ නොකී ඇතැම් දේ ගැන නිදහසේ නිවී සැනසිල්ලේ ඇස් පියන් වුව තොරක් නොමැතිව කියන්නට මට සිටියේ නුඹ පමණමය. සිතට එන හැමදේම බෙදා හදා ගන්නට හැම හුදෙකලා මොහොතකම මගේ යැයි මං හදවතින් බදා ගත් කෙනෙක් වේ නම් මගේ තනියට සිටි ඒ නුඹමය. නමුත් මා නොදන්නා කාරණාව නම් නුඹට එය කෙසේ දැයි යන්න වග පමණි.

“නුඹයි ආවේ මා සොයාගෙන
ආදරේ කවි ලියන්න
මගේ හිත ළඟ නතර උනෙ ඇයි
කවදහරි මට කියන්න…”

දයාලූ හස්තයෙන් මගේ හිත පිරිමැද ආදරේ කවි මල් ද රැගෙන මා සොයා මගේ ජීවිතයට කොහේදෝ සිට පැමිණියේ නුඹය. නොසිතූ මොහොතක නොසිතූ අයුරින් ආදරේට අරුත් රැගෙන මගේ ජීවිතය සැරසුවේ නුඹය. එදා පටන් ආදරේ කවි ලියූවේ නුඹ නමින් ය. නමුදු මට නුඹෙන් අසන්නට ඇත්තේ මෙය පමණමයි. ජීවිතේ කෙදිනක හෝ නුඹට සිතුණොත් මට මෙය කියන්න. “මගේ හිත ළඟ නතර උනෙ ඇයි කවදහරි මට කියන්න” එහෙම දවසක් එනතුරුම මම මඟබලාගෙන හිඳින්නෙමි.

ආදරය යනු අයිති කර ගැනීමට වඩා ගැඹුරක් දරන පිවිතුරුම හැඟීමක් බවට මේ ගීතය සාක්ෂි දරයි. මෙයට සවන් දෙන සෑම මොහොතකම භාවනාවක් සේ සමවැදෙන අයුරින් සහෘද හදවත් ඇද බැඳ තබා ගන්නා අතර මෙම නිර්මාණය ආදරේ ගැඹුර මනා ලෙස හදවත තුළ රඳවයි. සමාජය තුළ ගී රසාස්වාදය වැඩි දියුණු වීම සඳහා මෙවන් වූ සෞම්‍ය ගණයේ ගීත නිර්මාණය වීම බෙහෙවින් ඇවැසිමය. ඉතින්, මේ සක්වළල්ල තුළ ප්‍රේමය නමින් පණ ගැහෙන ජීවිත මතක වලට සහ පිවිතුරු ආදරයන්ට මෙම ගීතය තුළින් ගැඹුරු සෞන්දර්යයක් එක් කරනු ඇත.

-නවෝද්‍යා ධනංජනී-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top