සාලයේ ඇති බට්ටා පැද්දෙන ඔරලෝසුවේ පාන්දර දෙක වැදුනේ මීට සුළු මොහොතකට පෙරය.බැඳපු අළුත පරණ බඩු කඩ පීරමින් නව නිවසට ගෘහ භාණ්ඩ සොයනා කාලයේ සුභාගේ වුවමනාවට තෝරාගත් ඔරලෝසුව මේ නිවසේ පදිංචියට විත් වසර තිස් පහක් පමණ වේ.
දීර්ඝ ග්‍රීශ්ම සමයක් නිමා කරමින් හවස් වරුවේ ඇරඹි වැස්ස දැන් සිහින් පොද වැස්සක් බවට පත්වී ඇත.වැසි ඇදහැලෙන විට දොර කවුළු වසාගෙන සිටින පුරුද්දක් මට නැත.ලියන මේසයට හරි කෙලින් ඇති කවුළුවෙන් වැසි දියෙන් සේදුනු අව පසේ සඳ පලුවක් නැග එන අයුරු පෙනේ. කවියෙකුට නම් කවි ලියවෙන දසුනකි එය.
මේසා දිගු වසර ගණනාවක් සුභා තනිව මේ නිවසේ විසුවේ කෙසේදැයි මට නම් සිතාගත නොහැකිය.ඒ සමගම මගේ සිත වෙලී යන්නේ සුභා පිළිබඳ උපන් කණගාටුවකිනි.එමෙන්ම මා පිළිබඳ අප්‍රසාදයකිනි.
හිරිගඩු පිපෙන තරම් සීතලක් දැනෙන බැවින් කෝපි කෝප්පයක් ඇත්නම් යැයි සිතේ.ජයන්ති සිටියානම් මේ රාත්‍රියේ වූවාද ඇහැරවා කෝපි කෝප්පයක් සාදවා ගැනීමේ හැකියාව තිබිණි.ජයන්තී පැමිණෙන විට උදේ හත පසුවේ.කෝපි සාදා දී උදේටත් දවල්ටත් උයා ඉන් කොටසක්ද ඇය අරන් යයි.රාත්‍රියට පලතුරු හෝ පාන් පෙත්තක් බටර් ගා කෑම මේ නිවසට පැමිණි පසු ඇතිවූ සිරිතකි.
කවුළුව අඩවල් කර පැන්ට්‍රියට ගොස් කෝපි කෝප්පයක් සාදාගත යුතු බව සිත කියයි.පැන්ට්‍රිය ඉතා ක්‍රමවත්ය.පිරිසිදුය.තනි පාවිච්චියට නතුවී ඇති බව බැලු බැල්මටම පෙනේ .
විදුලි කේතලය රත්වෙන්නට තබා කෝපි ,පිටි, සීනි කොහේදැයි සොයා බැලූවිට දුටුවේ හැම දෙයක්ම ඉතා පිළිවෙලට බෝතල් වල අසුරා නම්කර රාක්ක වල තබා ඇති බවයි.තනි පුද්ගලයෙකුට නම් අවුරුද්දකට වුවත් සෑහෙන පමණ ද්‍රව්‍ය එම කබඩ් වල ඇත.ශීතකරණයේද මස් , මාළු ,කිරි ,බිත්තර පමණක් නොව චීස් හා පලතුරු වර්ගද ඇත .සුභා පිළිබඳව මට දැනෙන්නේ පුදුමයකි.සුභා වැනි ගැහැණියකගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු විය හැකිද? ඇය මේ සියල්ල කර ඇත්තේ මා වෙනුවෙනි.
සරසවි ඇදුරකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ මාගේ සමාජ ජීවිතය තිබුණේ සිතුවම හා සබැඳිවය.මුදල් හෙවීමේ උවමනාවක් මට එතරම් නොවූයේ පාරම්පරිකව උරුම වූ විශාල දේපලක් හා වලව් පෙලපතක් මා සතුව තිබුණු හෙයිනි.පියාගේ ඇවෑමෙන් එම දේපල නඩත්තුව මා විසින් පවත්වාගෙන යායුතු වුවත් මාහට මගහැරුනේ එයමය. නමුත් මාස්පතා සැලකිය යුතු මුදලක් මගේ බැංකු ගිණුමට වැටුණු අතර රට රටවල සංචාරය කරමින් , ප්‍රදර්ශන පවත්වමින් ගෙවූ යුගයකි එය.
මා සංදිස්ථානයකට පැමිණියේ සුභා හමුවීමෙන් පසුවය.එවකට ඉංජිනේරු සිසුවියක වූ ඇය මා හමුවීමට පැමිණියේ මිතුරියකගේ වුවමනාවට ප්‍රදර්ශන ශාලාවකටය.
කිසිදු විශේෂත්වයක් නොතිබූ එම හමුවට වර්ණයක් එක්වූයේ මිතුරකුගේ විවාහ උත්සවයකදී සුභා පැමිණ මා හා කතාකල මොහොතේය.මා අසලින් වාඩිවී පාළු කැපීමට සුභා එක්වූයේ ඇයගේම කැමැත්තෙන්ය. ඕනෑම මාතෘකාවක් පිලිබඳව කතාකිරීමට කරුණු ඇය සතු විය.උස සිහින් හින්දි නිලියකගේ බඳු සිරුරක් තිබූ ඇය සතු වූයේ විනිවිද දැකිය හැකි දෙනෙතකි .එම ඇස් වල යම් කාන්දම් බලයක් තිබූ බව නම් සත්‍යයකි.එදා අප වෙන් වූයේ නැවත හමුවීමට දිනයක් යොදාගනිමිනි.
එතෙක් වෙනත ගැහැණියකගෙන් අත් නොවිඳි ස්ථාවර බවක් සුභා වෙතින් මට දැනිණි.ඇය හා එක්ව දුර ගමනක් යාමට හැකි වෙතැයි මා හට ඒත්තු ගියේ ඇය හමුවී මාස තුනක් ඉක්මීමටද මත්තෙනි.
විවාහයෙන් පසුව මම මගේ රැකියාවේ සහ සිතුවම් ඇඳීමේ කටයුතු වලද සුභා ඇගේ අධ්‍යාපන කටයුතු වලද නියැලුණු බැවින් එකිනෙකා ඇසුරේ ගෙවීමට කාලයක් නොතිබූ තරම්ය.බොහෝවිට මා නිවසට පැමිණෙන විට සුභා නින්දට ගොස් හෝරා කිහිපයක්ම ඉක්මගොස්ය.එකල අප විසූවේ දෙමව්පියන් හා මහ ගෙදරමය.සුභා සහ මගේ මව අතර තිබුණේ මවක හා දුවක අතර තිබෙන්නාක් වැනි බැඳීමකි.අප දෙදෙනා අතර ඇතිවන මත ගැටුම් වලදී මගේ මව එයට ඇතුළත් වී සුභාගේ පස ගැනීම නොරිස්සුවේ මාය.එබැවින් අපටම කියා නිවසක් තනාගෙන වෙන්ව යාමට ඉක්මන් වූණේ මටමය.
ඣ නව නිවසට පැමිණ වසරක් ඉක්ම යෑමටත් පෙර පුතකු ලැබුණේ සුභාගේ සිහින සැබෑ කරමිනි.
අප අතර තිබූ නොගැලපීම් අඬදබර බවට පෙරලුනෙත් ඔය කාලයේදීමය.පියාගේ අභාවයෙන් පසුව දේපල පාලනය මවගේ අතට පත්විය.
ඉන් පසු මට ලැබිය යුතු ආදායම ලැබුණේ සුභාගේ අතටය. වියදමට අවශ්‍ය මුදල මම සුභාගෙන් ලබාගත යුතු විය.එය මවගේ තීරණය විය.බොහෝ හිත් රිදවීම් වලට මුල වූයේ එයයි.සුභා පැවසූවේ මම මුදල් පාලනයෙන් තොරව සුරාවට හා කාන්තාවන්ට වියදම් කරන බවයි.
රැකියාවෙන් ඉවත් වූ මා පූර්ණ කාලීනව සිතුවම හා එක්විය.ඉංදියාවේ වසරක පමණ කාලයක් ගතකල මම එහිදී විවිධ ආගම් හා ඇදහිලි ක්‍රම සොයමින් ආශ්‍රමයකින් ආශ්‍රමයකට යමින් ගතකළේ යෝගී දිවියකි.ඒ කාල පරාසයේදී එකදු සිතුවමක් හෝ නොඇඳි මම දිගු කාලීන චිත්ත විවේකයක් ලබාගත් අතර නැවත ලංකාවට එන විට සියල්ල වෙනස්වී තිබිණි.සුභා තමාගෙම ගොඩනැගිලි තැනීමේ සමාගමක් ආරම්භ කර තිබුණු අතර රැකියාවේද යෙදෙමින් එය පවත්වාගෙන ගියාය.ඒ අතරම මවක ලෙස ඉටුවිය යුතු සියලු වගකීම්ද නොපිරිහෙලා ඉටුකලාය.
නැවත නිවසට පැමිණි පසුව අප අතර වචනයක් හුවමාරු වූයේ අත්‍යාවශ්‍යයම දෙයකට පමණි.අමනාපයක් හෝ හිත් රිදවීමක් නොවූවත් අපි අපටම අමුත්තන් විය.වෙන් නොවූවත් විවාහය කියා යමක් තවදුරටත් අප අතර පැවතියේ නැත.එතෙර සංචාර කීපයකට ආරාධනා ලැබුණේ ඔය අතරය.මා ඒ සඳහා පිටව ගියේ සුභාට යන තැනක් හෝ එන දිනක් පිළිබඳව නොදන්වාය .එම ගමන පිටත්වීමට පෙර මගේ මව හමුවීමට ගිය විට ඇය පැවසුවේ
” දේපල සේරම සුභාගෙන් පස්සේ පුතාට අයිති වෙන විදියට ලියනවා
උඹට කිසිම දෙයක් දෙන්නේ නෑ ” යනුවෙනි.
මවගේ අභාවය පිළිබඳව මා දැනගත්තේ පැරීසියේ සිටියදීය.ඒ වන විටද මරණය සිදුවී මාසයක් පමණ ඉක්ම ගොස්ය.ඇය කී ලෙසටම සියල්ල මාහට අහිමි කර තිබූ බව දැනගත්තේ පසු කළක ලංකාවට පැමිණි විටය.
මේ වකවානුව තුලදී කතා කිරීමට හෝ කිසිදු බලපෑමක් කිරීමට සුභා තැත් නොකලාය .හදිසියේ මිතුරකු හමුවී දැනගත් තොරතුරු අනුව සුභා රැකියාවෙන් ඉවත්වී සාර්ථකව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය අතර අධ්‍යාපන කටයුතු හමාර කළ පුතුද එයට එක්වී සිටියේය.
ඒ දීර්ඝ වසර ගණන පුරා මාද තනිව සිටියා යැයි කිව නොහැකි අතර විවිධ ගැහැණුන් ජීවිතයේ යම් යම් පරිච්ඡේද අත්පත් කරගෙන සිටියහ.නමුත් කිසිවකු වෙත දීර්ඝ කාලීනව බැඳී සිටීමේ නොහැකියාව මා උපතින්ම ගෙනා දෙයකැයි සිතෙන තරමටම ඒ සියල්ලන් වෙතින් හිටි හැටියේ පලා ගියේ මාය.අදටත් හදවතින් මා හා ආලයෙන් බැඳුණු ගැහැණු කොහේ හෝ සිටිනු ඇත.
දැඩි ලෙස රෝගාතුර වන විට මා සිටියේ චීනයේය.ස්නායු ආබාධයක් වැළඳුණු මා ඇඳටම සීමාවිය.මිතුරන්ගේ උපකාරයෙන් ඒ තත්වයෙන් මිදුනත් නැවත පින්සලක් ඇල්ලීමට නොහැකි තත්වයට අත් දෙකේ වෙව්ලිල්ල දිගටම පැවතිනි.දරුණු ශීත කාලයකටද හසුවී ගෙවු ඒ අසරණ දවස් අවසානයේදි මා හිත හදාගත්තේ නැවත ලංකාවට ඒමටය.
මා නැවත පැමිණෙන විට පුතු විවාහ වී වෙනත් නිවසක පදිංචියට ගොස් සිටි අතර නිවසේ සිටියේ සුභා පමණි.
නැවත පැමිණීමෙන් පසුව මට ලැබුණේ තනි කාමරයකි.දහවල කාන්සියෙන් ගතකරන මා සුභා එනතුරු බලාහිටියේ වදනක් හෝ කතාකිරීමටය.නමුත් රෑ බෝවී නිවසට එන සුභා පාඩුවේ තම වැඩපලෙහි යෙදුනාය.නමුත් මට අවශ්‍ය කෑම බීම ,බෙහෙත් මෙන්ම ඇඳුම් පැළඳුම් ද ගෙනත් තැබුවාය.රාත්‍රියට ආහාර නොගන්නා සුභා මා ආ පසුව මා වෙනුවෙන්ම රාත්‍රී ආහාරයද පිසුවාය.
ඉඳහිට හමුවූ පුතුට නම් මා අමුත්තකුම විය.නමුත් කිසිවිටක මගේ හිත නොරිදවූ ඔහු මා හා කතාබහ කලේය.
දහවල කාන්සියෙන් ගෙවූ මා නගරයට යාමට හුරු වූයේ ඔය අතරය.ආදායමක් නොවූ මා අත එතරම් මුදල් ගැවසුනේද නැත.ඉතිරිකරගත් මුදලක්ද මා සතුව නොවිණි.සුභා මාසිකව යම් මුදලක් මගේ ගිණුමට බැර කළ නමුත් අරපිරිමැස්මක් නොදත් මා අතින් මාසයේ බාගයක් ගෙවීමටත් පෙර ඒ මුදල අවසන් විය.හවසට අවන්හලට යාමත් ඇත් නොහළ හැකි පුරුද්දක් විය.මගේ රෝගයට මත් පැන් අගුණ වූ බැවින් ගිණුමට මුදල් තැම්පත් කිරීමේදී ඒ පිළිබඳවද සුභා සැලකිලිමත් වූවා විය හැක.
දහවල හංදිය පැත්තට යන මට උණුවෙන් යමක් කන්නට හිතෙන බැවින් කවුරුත් යන එන බත් කඩයකට යාමට හුරු විය.එය පවත්වාගෙන ගියේ මැදි විය ඉක්මවූ නමුත් හැඩකාර සිරුරක් හා හොඳ ජවයක් තිබූ ජයන්තිය.වසර ගණනක් එතෙර රැකියාව කර පැමිණ සිටි ඇය සැමියාගෙන් වෙන්ව තනිව බත් කඩය පවත්වාගෙන ගිය අතර දූ දරුවන්ද විවාහ වී වෙන්ව සිටියහ.
කලක් යන විට මම බත් කඩයේ නිත්‍ය ගණුදෙනු කරුවකු විය.වෙනත් අයට නොදෙන කටගැස්මක් රස කැවිල්ලක් ජයන්තී මා වෙනුවෙන් වෙන්කර තැබුවාය.අඳුරත් සමග ගෙට ගොඩවදින සුභා මා අතවත් නොතැබූ කෑම කණු භාජනයට හලා පසුදා උදෑසනද නැවත කෑම පිලියෙලකර තැබුවාය.
කලක් යන විට රාත්‍රියටත් නිවසට යාමේ උවමනාවක් මා හට නොවූයේ විටින් විට රැගෙන ආ ඇඳුම් සහ වෙනත් අවශ්‍ය දේවල් කඩය පිටුපස කුඩා ගේ කොටසේ තබා තිබීම හේතුවෙනි.එබැවින් ඇතැම් දිනවල මා නිවසට නොගොස් ජයන්තී සමග ඇගේ නිවසේම නැවතුන අතර මේ පිළිබඳව කිසිවක් සුභා නොවිමසූ නමුත් ඇය සියල්ල දැන සිටි බව නොරහසකි.අවසන මා ජයන්තීගේ නිවසේම නැවතුනත් මේ කිසිවකින් සුභා සැලුනේ නැත .
සුභා සුපුරුදු ලෙසම මාස් පතා මුදල් ගිණුමේ තැම්පත් කළාය.
ජයන්තිගේ පුතු මතට ඇබ්බැහි වූවෙකි.ඔහුගේ තාඩන පීඩන ඉවසිය නොහැකි තැන දරු තිදෙනාද අතහැර බිරිඳ වෙනකෙකු හා පලා ගියේ මේ අතරය.පුතු දරුවන් සමගින් ජයන්තිගේ නිවසේ පදිංචියට ආ අතර එහි තිබූ නිස්කාන්සුව මට අහිමි විය.රෑට මත්වී පැමිණෙන පුතු මුදල් ඉල්ලා මව සමග බහින්බස්වීම හා දරුවන්ගේ කෑ කොස්සන් ගැසීම් වලින් නිවස යුධ පිටියක් බවට පත්විය.
කොරෝනා සමයේ ඇතිවූ පසුබෑම හමුවේ මා පුතු සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය.යන්නම් කියා යෑමටවත් ඔහු නොපැමිණියේය.මේ සියල්ල හමුවේ නොසැලී හිඳීමේ ශක්තිය සුභා සතු විය.වදනකින් හෝ මා හට දොසක් වෙන අයකු සමගවත් නොපැවසුවාය.
ජයන්තීගේ බත් කඩයද ක්‍රමයෙන් වැසී ගියේ ඒ පවුලේ බරද මා පිට පවරමිනි.මේ හේතුව නිසා බෙහෙත් ගැනීම මා අතින් අතපසු විය.නමුත් ජයන්තී පෙර පරිදිම මාහට සැලකුවාය.මේ අතර මා නැවතත් අසනීපවී ඔත්පල විය.ජීවිත ආසාව අතහැරගත් මොහොතක එහි පැමිණි සුභා මා රැගෙන ගියේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලකටය .එහි නවත්වා ළඟ හිඳ ඇප උපස්ථාන කොට සුවවූ පසුව නැවත ජයන්තීගේ නිවසටම ඇරලුවාය .
එතැන් සිට මට අවශ්‍ය බේත් හේත් කිසිවකු හෝ අත මාස් පතා එවුවාය.අදාල දිනට මා රැගෙන ගොස් වෛද්‍යවරුන්ට පෙන්නුවාය.නමුත් අදාල දෙය හැර වෙනත් ඇයි හොඳයියක් මා සමග නොපැවැත්තුවාය.එමෙන්ම කිසිදු විටක ජයන්ති කෙනෙකු සිටින බවක් වත් දැන සිටින බවක් පලනොකලාය.
දෙමසකට පමණ පෙර උදෑසනක සුභා පැමිණ නිවසේ යතුර මා අත තබා පැවසුවේ මද කලක් පුතු හා විසීමට ඕස්ට්‍රේලියාවට යන බවකි.හැකි නම් තමා එන තුරු නිවසේ රැඳී සිටින ලෙස ඇය මගෙන් ඉල්ලුවාය .සැබවින්ම ඒ වන විට ජයන්තිගේ නිවසේ විසීම මා වෙහෙසට පත්කර තිබිණි.
නැවත නිවසට පැමිණි විට මට අදහාගත නොහැකි වුයේ සුභා යනු කුමන ආකාරයක ගැහැණියක්ද යන්නය.ඇය ගිය පසුව ජයන්තී හා දරුවන් මෙහි පැමිණෙන බව දැන දැනම ඇය සියළු දේ මට පහසුවන ආකාරයටම සකසා ගොස් ඇත.ඒ අතරම නියමිත මුදල මගේ ගිණුමට බැර කළාය.සියළු බිල්පත් ගෙවා දැමුවාය.සතිපතා අවශ්‍ය සියළු ද්‍රව්‍යය සුපිරි වෙළෙඳ සැලක් හරහා නිවසටම එවුවාය.
කෝපි බී අනතුරුව සෝපාවේ ඇලවුණු මාහට එහිම නින්ද ගොස් තිබිණි.මා පිබිදුනේ සීනුවක් වදිනා හඬිනි.ජයන්තී පැමිණ ඇතැයි සිතුවත් ඒ වන විටද හාත්පස පැතිර තිබුණේ තද අඳුරකි.
” තවම එළි වෙලත් නැහැ ”
ඒ හඬා තිබුනේ නිවසේ දුරකථනයයි.මා මේ නිවසට පැමිණියාට පසුවම එය හඬා නැත.
රිසිවරය කනේ තබාගත්තේ
” සුභා වෙන්න ඇති” සිතමිනි .
” තාත්තේ ”
ඒ පුතුය.මතක ඇති කාලයකින් ” තාත්තේ ” යැයි අමතා නැති පුතුය.
ඒ හඬේ ඇත්තේ හැඬුම්බර බවෙකි.
” තාත්තේ අම්මා ගියා
යන්නම ගියා ”
ඔහු ළදරුවකූ සේ ඉකිබිඳී
මා සිටියේ ගල්වූවකු ලෙසය.
” හාට් ඇටෑක් එකක්
කාලයක් තිස්සෙම තිබිලා තියනවා.
බෙහෙතුත් අරගෙන තියනවා.
මටවත් කියලා නැහැ.
මගේ ඇස් වලින් කඳුළු රූරා ගලනු දැනේ
රිසිවරය අතහැරි මා පුටුවක ඉඳගත්තේ තවදුරටත් නැගිට සිටීමට වාරු නොතිබුණු බැවින්ය.
තනිකම යනු කුමක්දැයි හරියටම වැටහෙන්නේ දැන්ය
ෂර්මිලා බංදුනී දංවත්ත