ඊයේ රෑ සිහිනෙන් මියගිය මම
භග්නාශා රෙදිකඩින් ඔතාගෙන
මළකඳ උසුලා සොහොනට ගෙන ගොස්
මගෙම අතින් වළ කැණ වැළලුයෙමි
ඉන් පසු වළ මත දෙදණ ඔබාගෙන
මමම මගේ මළගමට හැඬූයෙමි
මගේ කඳුළුවල පොහොර ලබාගෙන
මිනීවළෙන් මල් පැළයක් මතු විය
වසර සියයකට පසු මා නැවතත්
මගේ මිනිය ඇති සොහොනට ගිය විට
ඒ මල් පැළයෙහි සුදු මල් පොකුරක්
පිපී සුවඳ විහිදුවමින් පැවතිණ
එහෙත් මලින් ආ සුවඳ විඳින්නට
පිනක් නොමැත දුක සේ මියගිය මට
සදාකාලයේ නින්ද විසින් මා
ඉඳුරන් හකුළා නිදි කරවා ඇත.
මහගම සේකර