මොකටද අම්මේ
අම්මට ගැහුවේ
මාමල දෙන්නෙකු
වට කරලා
ඇඟ පත තැළිලා
රිදෙනව ඇතිනේ
කොච්චර ගැහුවද
බැඳ දමලා
දෙපා සතාගේ
ළඟ කා බී ගෙන
සිටියම ගතිගුණ
වෙනස් වෙලා
මාමල ඔහොමයි
උන්ගේ බහටම
හැරනව නෑකම
අත් හැරලා
අම්මල කන කොට
වතුර නාන කොට
තිප්පලෙ නිදියන
කොට වැටිලා
කැලේ මාමලා
ඉඩ දී අයිනට
වෙලා ඉන්නවා
නොවැ රැකලා
මිනිහයි කියනා
දෙපා සතාගේ
ළඟින් ගියත් ඇති
පොඩි පුතුනේ
ළෙහි පපු කම් නෑ
හරි ගතිගුණ නෑ
ඒ බව කවුරුත්
දන්නවනේ
අම්මට කිරි නෑ
වෙන අම්මලා අර
එහෙ මෙහෙ දුවනවා
බැඳි ගොන්නේ
බඩගිනි එනවා
නිදිමත එනවා
කොහොමද අම්මේ
මා ඉන්නේ
අනේ පුතේ මට
කන්න බොන්න නෑ
ඒ හින්දා නෑ
කිරි එරුණේ
අයිනක ඉඳලා
දුවන අම්මලාගෙන්
කිරි බීපන්
පොඩි පුතුනේ
දරුවන් නැති අම්මලටත්
කිරි නම් තියෙනව
හරියට
බුරුලු පුරා
ඒවා අම්මල
බෙදා ගන්නවද
අපට බොන්න
හැමවිටම උරා
එක දරුවෙක් ඇති
වුණොත් රැළේ අපෙ
කාටත් කිරි එරිලා
එනවා
වෙනස් කමක් නෑ
එක සෙනෙහසමයි
කාගෙත් දරුවොයි
සැලකෙනවා
දැක්කද අම්මේ
හරි පොරයක් නේ
අපෙ නායකයට
පටලැවුණේ
ලොකු තුන් දෙනෙකුට
හිටි අඩියෙම සිට
ඊයේ ගහලයි
වල් වැදුණේ
නායකයා අපෙ
පැනලා යන්නෙ නෑ
වැට බැඳලා මිස
අප හැරලා
උන්දැත් එක්කල
ගහගන්නට බෑ
ඔක්කොම හිටලත්
අර ගොල්ලා
අම්මෙ අම්මෙ අර
බලන්නකෝ හැටි
දෙපා සතුන් පැන
ගෙන එනවා
අන්න අන්න අපෙ
නායකයා අද ලේ දාගෙන බිම
පෙරළෙනවා
බුද්දන් සරණයි
දෙයියන් සරණයි
තව තව ගස් ගස්
වල සරණයි
ගහගෙන බැරි වුණු
තැන මිනිසුන් හට
චී! චී! ගිනි ගුණ්ඩුවෙ
සරණයි
නායකයා අපෙ
මළා නේද දැන්
දෙපා සතුන් ළං
වී සිටිති
දුටුවද අම්මේ
පොර කා ගෙන ඇද
වලිගේ ලොම් ගලවා ගනිතී
බුදු සරණෙත් මදි
දෙවි සරණෙත් මදි
මයිල් ගහේ සරණෙත් පතතී
දෙපා සතුන් ඔය
ආරක්ෂාවට
රන් කෙන්දෙන්
ඕවා බඳිතී
අනිත් මල්ලිලා
නංගිල දුවනව
පුංචි කකුල් රිදෙනව
ඇතිනේ
කිරි උගුරක් බී
ගන්න බැරුව අර
දඟලන හැටි දුටුවද
දුකිනේ
බෝසත් මුත්තල
ඉස්සර හිටියලු
අපේ කුලෙත්
හොඳ නම දුන්නේ
දළ දන් දුන්නලු
බුදු බව ලැබුවලු
ඒ ගැනවත් නැහැ
සලකන්නේ
අම්මෙ අම්මෙ අර
දෙපා සතුන් හෙම
ඔය තොරතුරු නැතුවද
දන්නේ
බෝසත් මුත්තලගේ
නාමෙට වත්
කිරි උගුරක් නැහැ
නොවැ දෙන්නේ
මිනිසුන් අතරේ
සමගිය නැති වී
බුදු හාමුදුරුවො
එදා අනේ
පාරෙලෙයිය වනයට
වැඩි දා අපෙ
මුත්ත කෙනෙකි
උපකාර වුණේ
දලු ලන කාලේ
ගස් වැල් හෙවණේ
ගංගාවල සුදු
වැලි ගොල්ලේ
ඇවිද ඇවිද අප
ආයෙත් කවදද
රංචුවෙ යන්නේ
එක එල්ලේ
කුරුල්ලන්ගෙ ගී
සුළඟෙ යනව ඇති
කඳු රැළි හෙමිහිට
බැස යද්දී
චන්ද්රරත්න මානවසිංහ