හමුවීම්, හිමිවීම් අතරේ වෙන්වීම්, සහ අහිමිවීම් එක්ක ගෙවෙන මොහොතවල් එක්කාසු වුණු මේ ජීවිතේ, නොයෙක් ආකාරයේ මං මාවත් වල ඇවිද යන්නට ඔබටත් මටත් සිදු වේ. මේ සියලු කාරණාවන් ඔස්සේ ප්‍රේමය කියන්නේ බලාපොරොත්තු ගොන්නක මැවුම්කාර හැඟීමකි. ඒ මැවුම්කාර සිතුවිලි වලට ජීවය දෙන්නේ කවුරුන් හෝ හදවතේ කොනක ඉතිරි කළ ගිය මතකයක් වන්නට පුළුවන.
විඳින්නට නම් කොතෙක් දෑ තිබුණත්, මා සමීපයේ නුඹ නොමැති වීම හදවත පුරා උඩු දුවන තනිකම හෝ පාළුවට වග කියන්නකි. ඒ සියල්ලක් සිතුවිලි අතරේ නුඹේ ඡායාව මනස්පටයේ ඇඳීමත් ඒ සමඟින් නුඹව සිහි වීමත් නොනවතින සිද්ධි දාමයකින් බැඳී ඇත. මේ ගීතය මා හට නුඹව මතක් වන බව කීමට ය. “නුඹට ඉන්නට තිබුණා මා ළඟ” ගීතය නිමැවෙන්නේ ගැඹුරු හඬකින් නිවුණු හැඟීම් වලට කතා කරන ගායක චාමර ප්‍රනාන්දුගේ හඬට ඔහුගේම සංගීත සංකලනයන් මුසු කරමින් දුලී ගුණවර්ධනගේ පද නිර්මාණයට ජීවය දෙමිනි.
“බිමට නැමි ඉති..
ඉද්ද මල් මැද…
ඉවරයක් නැතී..
කතා කිය කිය…
දෑත් පටලන්..
ඇවිද යන්නට…
නුඹට ඉන්නට තිබුනා මා ළඟ…”
ඉද්ද මල් ඉහිරුණු සුදෝ සුදු මල් මාවත් දිගේ නිමාවක් නැති කතා කියමින් ඉමක් කොනක් නොපෙනෙනා දෙසකට දෑත් පටලන් හෙමි හෙමින් ඇවිද යන්නට, මා එක්ක නුඹට ඉන්නට තිබුණි. නමුත් මේ ජීවිත මාවතේ මං දැන් ඇවිද යන්නේ තනිව ය. නමුත් නුඹත් සිටියා නම් මතක් වන විට හදවතින් නැඟෙන ප්‍රේමයේ මතක හඬ මෙලෙසය. “නුඹත් සිටියා නම්…!”, මේ ගමන කෙතරම් නම් සුන්දර වනු ඇත් ද?
“නුඹට මා ලියූ..
කවිත් එක දෙක…
මියුරු ස්වරයකින්..
ගයන මා දැක…
සතුට නිම් හිම් නැතිව විඳිනට…
නුඹට ඉන්නට තිබුනා මා ළඟ…”
නුඹේ නමින් මා ලියූ කවියක් දෙකක් ගෙන ප්‍රේමයේ ස්වරයෙන් ගයන මා දැක ඇස් පුරා ලියැවෙන සතුට නිමක් නැති ලෙසක මාත් සමඟින් එකට විඳින්නට මා සමීපයේ නුඹට ඉන්නට තිබුණමුත් අද මා හා නුඹ නොමැති වීම කුමක්දෝ හිස් බවකින් මා පෙළයි. මේ වචන තුළ ඇත්තේ නුඹව මතක් වෙන වාරයක් පාසා ගැහෙන හදවතක රිද්මයයි.
“සිහින් සීතල..
ගත වෙලෙන විට…
උරහිසේ හිස..
හොවා හෙමිහිට…
සුසුම් අහුරක සුවය විඳිනට…
නුඹට ඉන්නට තිබුනා මා ළඟ…’
සීතල යාමයක නුඹේ උරහිසට වාරු වී හිස හොවා හෙමිහිට ජීවිතේ නිවීමක සැනසීම ලබන්නට, උණුසුම් සුසුමක සුවය විඳිනට මා ළඟින් නුඹට ඉන්නට තිබුණි. නමුත් තවදුරටත් එවන් වූ රෝමාන්තික හැඟීම් මෙහි නැත. නුඹත් සිටියා නම් ප්‍රේමයෙන් හදවත සුවඳ කරනා අයුරු විඳින්නට තිබු බව නුඹ දැන ගත යුතුය. මෙහිදී සහෘද හදවත් තුළ ඔවුන්නොවුන්ගේ අත්දැකීම් චිත්‍රණය කරමින් ගීතය පුරාවට ඒ සියල්ල ජීවමාන වන ආකාරයෙන් පද රචනාව නිමවා තිබීම අපූර්වය.
“රැයේ සීතලේ..
ගුලිව තුරුලට…
සැලුනු මල් කෙමී..
සුවය විඳ විඳ…
දෙතොල් පහසක රසය විඳිනට…
නුඹට ඉන්නට තිබුනා මා ළඟ…”


රැය පුරා සිහින් සීතලෙන් ගෙවෙන මොහොතක ප්‍රේමාන්විත සුසුමකින්, උණුසුම් වූ හාදුවකින් සැනසෙන්නට නුඹට තුරුලුව, ප්‍රේමයේ රස මුසු තැන් සොයා යන්නට, සැලුනු මල් කෙමි සුවය විඳිමින් දෙතොල් පහසින් දොඩමළු වන සුසුම් හුවමාරුවක පහස ලබන්නට මා ළඟින් නුඹට ඉන්නට තිබුණි. නමුත් දැන් එය මගේ මනස්පටයේ ඇඳුණු සිහිනමය සිතුවිල්ලක් පමණක් බවට සීමා වී හමාරය. මේ ප්‍රේමණීය හැඟීම් සියල්ලම මා හට බෙදා ගන්නට නුඹත් සිටියා නම් අද කොතරම් නම් සොඳුරු ද? බලාපොරොත්තු නම් විසල් ය. නමුත් යථාර්ථය ඊට වඩා වෙනස් ය. ඉතින්, මේ වචන නුඹට ය. මේ ගැයෙන්නේ මොහොතක් පාසා හදවතින් මතක් කරන නුඹට ය. ළඟින් ඉන්නට තිබුණත් මෙහි නොමැති නුඹට ය…!
මෙම ගීතයේ සංගීතය සහ හඬ තුළින් අසන්නන්ගේ හදවතේ අගුළු ලා ඇති ගැඹුරුම ඉසව් පවා සියුම්ව ස්පර්ශ කර ඇත. විරහවක් සහ වේදනාත්මක බවක් මෙහි ගැබ්ව ඇති මුත් මෙයින් එය ඉස්මතු කර දක්වන ආකාරය
ඉතාමත් අගනේය. එසේම එය අසන්නන්ට ආවේණික අයුරින් ඔවුනොවුන්ගේ කතාවට ආදේශ කර ගැනීමට හැකි ලෙස අර්ථවත් පද නිර්මාණයකින් නිමවී තිබීම අපූර්වය. “නුඹට ඉන්නට තිබුණා මා ළඟ” ගීතය ජීවිතයට මුසු වන ප්‍රේමන්විත මොහොතවල් යළි යළිත් පණ හදවත් වල සිත්තම් කරවන්නට සමත් නිර්මාණයක් බව කිව හැකිය.
-නවෝද්‍යා ධනංජනී-