අවසර සකිසඳ – චන්ද්‍ර කුමාර වික්‍රමරත්නට
චන්දරේ
මම ශීතකරණය ඇරියා.
චන්දරේ
මම හමස් පෙට්ටිය ඇද්දා
මම කවි පොතක් ගහන්න යනවා.
මට උඹව මතක් වුණා
උඹ මළවුන්ගෙ ලෝකෙ ද ?
එහෙනම් උඹ පණ පිටින්.
චන්දරේ
දැන් මේක මිනී කාමරයක්.
අධි ශීතකරණෙකටත් වැඩිය හීතලයි
උණුහුම පොදක් නෑ
හාල්පාරු වෙලා සේරම .
මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන් නෑ.
මූණ බලන් නෑ.
බස්වල ගල් ගිලලා වගේ
මූණට මූණ බලන් නෑ.
නැග්ග ගමන් නිදාගන්නවා.
උඹ එදා පිළිනොගත්තට
අද උඹ ආවොත් නං
සාංදෘෂ්ටිකවාදෙ පිළිගන්නවා සිකුරුයි !
චන්දරේ
මම කවි පොතක් ගහනවා
කවි කියන්නෙ
මොනවද චන්දරේ ?
මතකද
අපි ඒ දවස්වල හම්බුණා ම
කුරුටු ගාපුවා කියෙව්වා එකිනෙකාට
සමහරු උඹව යුගයේ කවියා කළා.
උඹ එහෙම හිතුවෙ නැති වග
දන්නවා මං හොඳට ම.
චන්දරේ
අපි ට තරගයක් තිබුන් නෑ.
උඹ ලියපුවද හරි
මං ලියපුවද හරි….. !
එහෙම බෑ චන්දරේ
කවියෝ වෙන්න නං.
හිතන්න ඕනෑ
මං තමයි ඊළඟ සේකර.
කී දෙනෙක් උන්න ද චන්දරේ එහෙම.
ආගිය අතක්
ආතක් පාතක් නෑ.
චන්දරේ
උඹ තාමත් සිංදු කියනවා ද බස්වල ?
ජෝතිපාලගෙ සිංදු කවදාවත් කිව්වේ නැති
චන්දරේ.
ඔබ ගැනම මා ලියන ඒ කවිය
ඔබ හටම අද දිනේ නොවැටහෙන බව දනිමි.
ඒත්
ලෝකය මීට වඩා සුන්දර වන
අනාගතේ යම් දවසක
ඔබ එය ආදරයෙන් කියවන බව දනිමි ‘ යි සැක හැර
නුඹම හැදූ
කවුරුවත් කවදාවත් නාහපු
සිංදු කීව චන්දරේ.
දන්නවාද
පශ්චාත් නූතන තත්වය මෝරලා.
සහස් වස එනවා.
දැන් කතාව ගෝලීයකරණය ගැන.
උඹ දන්නවා ද අන්තර්ජාලය ?
චන්දරේ
මතක ද
අපි ඉල්ලුවේ රුපියලයි නැත්තං දෙකයි.
ඒත් දැන් හුගාක් වෙනස් චන්දරේ.
එක ප්ලේන්ටිය ගහලා
බ්‍රිස්ටල් එක බීලා
මතකද ?
මේ කාලේ චන්දරේලා ගැන මං මුකුත් දන්නෙ
නෑ චන්දරේ
උනුත් මං ගැන මුකුත් දන්නෙ නැතුව ඇති.
චන්දරේ උඹ කොහෙ ද.
මළවුන්ගෙ ලෝකෙ ද ?
උඹට ලීනක්කවත් හම්බුනාද ?
තිසාහාමිත් මැරුණා.
මට කවියක් ලියන්න හිතුණා.
ඒත්
ඒ කවිය
රෙන්න බරක් නැති වෙන්නෑ හේ නැති වුණා
විකුණන හැටි දැක්ක ම.
රාජිනීත් මැරුණා.
ඒත් එහෙම්මයි.
වන්දරේ
උඹ මැරුණයි කියලා
දැන ගත්තෙ නැති එක හොඳා.
මෙහෙම නෙමේ හෝල් සේල් විකුණාවි.
ඒත් චන්දරේ
මිනිහෙක් උන්නයි කියලා දන්නෙත් දැන් අපි
මැරුණාම.
මිනිය ලෝකෙටම වික්කාම.
ඉතිං
මරණය දැන ගන්න එක
වැදගත් නේද ?
අපි ඒ තරමට ම කුණුවෙලා චන්දරේ.
ඒත් මේ මළ බද්ධෙයි
අඩස්සියයි
ඊට වඩා හොඳයි
චන්දරේ.
චන්දරේ
ඉන්නවා නං කොහේ හරි
ලියුමක්……..
ඒත් චන්දරේ
උඹට වගේ ම
අයිඩෙන්ටියට මිසක
ඇඩ්‍රස් නෑ තාම මටත්.
කියාපන් උඹ කොහෙද
මහ කැලේ හේනක් කොටාන
ගෑණියෙක් එක්ක
ඉන්නවා ද චන්දරේ ?
පුංචි කාලෙ ඉඳන්
උඹ ඉල්ලූ ආදරය
ලැබුණා ද උඹට ?
තුන් වේල වරදින් නැද්ද උඹට දැන්වත් ?
චන්දරේ,
යුගයේ කවියා කියා කුරුසයක
ඇණ ගසා තියෙද්දිත්
ආදරය පොදක් ඉල්ලුව
නුඹේ අවිහිංසක ඇස්
ගොම්මන් මන්දාරම මැදින් දිදුලනවා මට
පේනවා.
චන්දරේ
මට සමාවෙයන්.
මම කවි පොතක් ගහනවා
මොකටද කියලා මං දන්නෙ නෑ.
හුඟ කාලෙකට කලින් ලියන එක අතෑරපු
ඔහේ ලියවෙච්ච කවි.
හෙට
මිල කරලා තියේවි රාක්කවල
විකුණන්න.
මතක ද
උඹ පොත් සීයක් විකුණලා දෙන්න බාර ගත්ත
කවදාවත් ගැහුවෙ නැති මගේ කවි පොත ?
ඒත් චන්දරේ
මේ ඒ කවි පොත නම් නෙමෙයි හැබැයි.
නගා මැරූ අල | කේ.කේ. සමන් කුමාර
ප්‍රථම මුද්‍රණය – 2000