“එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි.
එයා කොහේ හරි හොඳින් සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි.”
ජීවන වීණාවෙන් වැයෙන බොහෝ ප්‍රේමණීය තාලයන් අතරේ හදවතක හරි පරිස්සමින් සුරකින, කවුරුත් නොදකින, මේක අමුතු විදිහේ ප්‍රේමයක්. කිසිදිනෙක හඬක් නොනැඟුණු අප්රකාශිත හැඟීම් දහස් ගණනක් මැද ඒකපාර්ශ්විකව එය දරා හිඳින්නට තරම් පරාර්ථකාමී වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එය ප්‍රේමයේ ගැඹුර කෙතරම් ද යන්න කියාපාන්නකි. එවන් ප්‍රේමයක් දරන හදවතක් උසුලන සියලු ප්‍රේම ආනිසංසයන් විටෙක ශාන්ත සුන්දරත්වයක් ඇති විඳීම් ය. නමුදු ඇතැම් විටෙක නිහඬ විඳවීම් ය. ඒ කරුණු කාරණා කෙසේ වුවත් ප්‍රේමය නම් ප්‍රේමයම වනු ඇත.
කවදත් ලියන කලාවෙන් ආත්මයටම දැනෙන්නට ආමන්ත්‍රණය කරන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ දෑතින් ලියැවුණු “මැයි මාර ප්‍රසංගය” නමැති නවකතාව ඇසුරින් නිර්මාණය වුණු “අමුතු විදිහම ආදරේ” නැතහොත් “මැයි මාර ප්‍රසංගය” නම් ගීතය, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේම අරුත්බර පද රචනාවට චතුර ගයාන් ජයනෙත්තිගේ අපූර්ව සංගීතය මුසු වී සුනීර සුමංගගේ ඉසියුම් හඬින් සහෘද හදවත් වෙත සමීප කර ඇති ප්‍රේමණීය ආමන්ත්‍රණයකි.
“ඈත කන්දේ ගසක් සිටුවමි
මල් පිපේවී කවද හෝ එහි
එමල් ඔබහට පෙනී
සිතට සතුටක් දැනේවා
දැනේවා… දැනේවා…”
ජීවන ගිරි දුර්ගය තරණය කරමින් යන අතරේ ජීවිතයට වසන්තය රැගෙන ආ නුඹ කෙරෙහි මගේ හදවත තුළ උපන් ප්‍රේමයේ නාමයෙන්, ඒ හැඟීම් සියල්ලක්ම පිවිතුරු ප්‍රාර්ථනාවක් ලෙසින් මේ වාතලයට මුදා හරිමි. කොහේ හෝ කවුරුත් නොදන්නා ඈතක මල් දරන ගසක් ලෙස එය පවතීවි. ඒ මම වග, මගේ ප්‍රේමය බව නුඹ කිසිදිනෙක දැන නොගනිවී. නමුත් ඒ පිපෙන මල් දැක, ඒ සුවඳින් නුඹේ හදවතට සතුට සැනසීම දැනේවා. කොහේ හෝ සතුටින් රැඳේවා!
ඔබේ මුහුණේ සිනා සේයා
මං නොදැක්කත් කමක් නෑ
ඒක කන්දට පෙනේවා
පෙනේවා…. පෙනේවා…
ඒ කන්ද දෙස බලාගෙන මට
ඉන්න ඉඩකඩ ලැබේවා…
ලැබේවා…. ලැබේවා……
නුඹේ මුවෙහි ඇඳෙනා සිනා සේයා නුඹේ ළඟින් හිඳ දකින්නට මට නොහැකි වූවත් කමක් නැත. එහෙත් ඒ හැමදෙයක් දුරින් හිඳ හෝ මට විඳින්නට ලැබේවා! නුඹ තුටින් බව දැනෙන හැම විට මට සැනසීමක් දැනෙයි. මෙය ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරු බව මනාව විදහා දක්වයි. වචන ස්වල්පයක් ඇතුළත විසල් අහසක් තරම් සිතුවිලි ගොන්නක් සඟවා තබා මෙම ගී පද හදවතේ සියුම් නිලයන් අල්ලා ගනියි.
“මලෙක සුසුමත්
සුසුමෙ ස්වරයත්
ස්වරයෙ පැහැයත් වගේ
අමුතු විදිහට සිතන්නට මම
ඉගෙන ගත්තේ ඔබෙන්
අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා…
තියේවා…තියේවා…”
නුඹ නමින් මේ හදවතෙහි පිපෙන ප්‍රාර්ථනා මල්, සුසුම් ස්වරයන්, ඒ ස්වරයන් තුළින් මැවෙනා හදවතේ වර්ණ රටාවන් වල ඇති සුන්දරත්වය සේ අමුතු විදිහට හිතන්නට ඉගෙන ගත්තේ මා නුඹෙන් ය. එයත් හරියට පර නොවෙන පිවිතුරුම මැයි මාර මලක් වැනිය. පිපී සුවඳ දී හිනැහෙන නමුත් කිසිදිනෙක දෝතින් ගෙන අයිතියක් කීමට නොහැකි වූ ආදරණීයම හමුවීමක් ය. ඉතින්, මගේ එකම එක ප්‍රාර්ථනය නම් අයිතියක් කියන්නටත් නොහැකි, කවුරුත් නොදන්නා අමුතු විදිහේ ආදරේ එලෙස එහෙමම තියේවා…!
මැයි මාර ප්රසංගයෙ හි එන සමිධ-සංචරණි ප්‍රේමය වගේම අමුතු විදිහේ ආදර කතා දහස් ගණනක් මේ අහස යට කෙතරම් නම් ඇති ද? ඒ වගේ හැඟීමකින් හිත පිරුණම කාලයත් එක්ක ඒ අමුතු විදිහේ ආදරේට බොහෝ අය ඇබ්බැහි වන්නේ නිරායාසයෙනි. ඉන් එහාට ඔවුන් ඒ ආදරේ එක්ක ජීවත් වෙන්න පටන් ගන්නා අතර සදාකාලෙටම හිත් ඇතුළේම ඒ ප්‍රේමයන් පරිස්සම් වී සැඟව යනවා.
“මැයි මාර ප්‍රසංගය” ගීතය පුරාවට ම ඇත්තේ ඉතාමත් පිවිතුරු ප්‍රාර්ථනාවන් ය. ඒ ගීතය ම බලාපොරොත්තුවේ ආලෝකයක් ය. දැනටත් බොහෝ හදවත් තුළ සෙනෙහසින් දරා හිඳින සියල්ලක් අප්රකාශිත ඒකපාර්ශ්වික ප්‍රේමයන්ට සහ සියලු අහම්බකාරක හමුවීම් වලට මේ ගීතය තුළින් අරුතක් එක් කර ඇත. ඉතින්, මෙය ගැයෙන්නේ ඔවුනොවුන් කොහේ හෝ තැනක හොඳින්, සතුටින් ඇතැයි හිත සනසා ගත් සියලු විශ්වීය ප්‍රේමයන් වෙනුවෙනි.
-නවෝද්‍යා ධනංජනී-