ඕ ලෙවල් රිසාල්ට් උණුසුම එක්ක මගෙ ජීවිතේ එක්තරා පරිච්ඡේදයක් දිගාරින්න මට හිතුනා. නාවලපිටියේ කනිස්ටෙත්, මායාවෙ අවුරුදු ගානත්, ඒ අතරමැද මගෙ ජීවිතේ සිද්දවුනු බහුතරයක් පෙරළියත් මන් මෙහෙම දිගාරින්නම්.
නාවලපිටිය කනිස්ටෙදි කරපු එකම එක ‘අසමජ්ජාති’ වැඩේ ඇරුණම මායාවෙ අට වසරෙ දෙවෙනි වාරෙ වෙනකම්ම මන් ඉතා කීකරු, ‘හොඳ ලමේක්’. කරපු ‘අසමජ්ජාති’ වැඩේ නම් අල්ලපු පන්තියක කලු ලෑල්ලෙ ඒ පන්තිය බාර උස මහත බය හිතෙන ටීචර් ලියපු “අපි සිස්සත්ත විභාගෙන් සමත් වීමට අදිටන් කරගනිමු” වැකියට ගානට මිම්මට එක්කරපු “අ”යන්න. කොහෙටද එක්කරේ කියලා ඔයාලා හිතලා බලන්න. මුලින්ම ඕක ලිවීමේ අදහස ආවෙ මගෙ මිත්‍රයින් දෙන්නෙක්ට උනත් ලියන්න ගට තිබ්බේ මට! අන්තිමට දරාගන්න බැරි හර්දසාක්සිය නිසා ඕකට අවන්කව වැරැද්ද බාරගෙන මන් ජීවිතේ පලවෙනි සහ අන්තිම වතාවට කෑවා අමතක නොවෙන වේවැල් පාරක්. අපේ පන්තියේ හිටිය ව්ද්‍යාපීඨ ටීචර් ට අනුව ඒ තමා අති සංවේදී ලහිරු අතිශය යකඩමය උනු මොහොත. ඊටපස්සේ ජීවිතේ අවුරුදු බරගානක් යනකන් මන් ඇඬුවේ නැති බව නම් මට මතකයි. මටත් මතක විදිහට අපේ පන්තිබාර ලොකු ටීචර් පවා එදා ඇඬුවට මන් එක කඳුලක් හෙල්ලුවෙ නෑලු. සමහරවිට ඒ මගෙ හර්දයසාක්සියෙ බර වෙන්ඩැති. ඒ කතාව එච්චරයි. ඒ කතාව අවසාන උනේ නම් ඉස්කෝලෙන්ම පළවෙනියට මන් සිස්සත්තෙ සමත් වීමෙන්. ඒක මට ඕනෙ උන එකක් නෙවෙයි. හැබැයි මායාවට යන්න මට ලොතරැයිය ඇදෙන්නෙ එහෙම.
නාවලපිටියේ කනිස්ටෙදි සිංහල කවි කියන්න, ඉංග්‍රීසි කවි කියවන්න, නටන්න, සින්දු කියන්න, කතා පවත්වන්න, මෙලෝඩිකා ගහන්න මන් තරම් පොරක් හිටියේ නැති උනාට, මායාවෙ මන් කැපී පෙනෙන චරිතයක් උනේ නෑ. හැබැයි මන් ‘කීකරු, හෙල බොදු,… කතක්’ උනා. මට හැම පන්තියකම යාලුවො හිටියා. ඒ කාලෙ තිබ්බ ලොකුම සීන් එක උන මට ක්‍රස් කෙල්ලො එහෙ හිටියා (මාත් ක්‍රස් අය පස්සෙ හිටියා. හැබැයි ඒක උනේ අර කළින් කිව්වා වගේ අට වසරෙන් පස්සේ). අට වසරේ අන්තිම වාරෙ අපේ සුදු ‘ලස්සන’ ගනන් සර් ගෙ පේපරේට අනූ අටක් ගත්තායින් පස්සේ මගේ සියලුම විභාග ලකුණු ගියේ සීග්‍රයෙන් බින්දුව දෙසට. බින්දුව කෙසේ වෙතත් පනහට ආසන්නව. ඕවට හේතුත් අහේතුත් දෙකම තිබ්බා. මට අහේතු සමහරක් ඔයැයිලට හේතු වෙන්න තියෙන ඉඩ වැඩි.
මන් දකින විදිහට ඒ තමයි මගෙ ජීවිතේ ස්වර්ණමය යුගය! කොහොමත් කියවන පිස්සුවක් තිබ්බ මම අතිශය බහුතරයක් පොත් කියවපු යුගය. සේකරයන් අඳුරගත්ත යුගය. කවි වලට පිස්සු වැටුන යුගය. එහෙන් මෙහෙන් ලාවට ක්‍රස් හිටිය යුගය. අපේ ගෙදරට, අති සංවේගයට පත් ගුරු මණ්ඩලයට තියා හොස්ටල් එකේ මේට්‍රන්ට පවා අනුව මන් සීග්‍රයෙන් ‘විනාස වෙමින්’ හිටියා උනත් ඒ තමා නියම ම යුගය. සිලබස්, එස්සෑම්, කමෙන්ඩඩ් රිපෝට් තුට්ටුවට මායිම් නොකර, කකුල් ගෙවෙනකන් ඉස්කෝලෙ වටේ රවුම් ගහපු, කැන්ටිමේ, කෝප් එකේ පෝලිම් වල දවසට දෙතුන් සැරේ ගැවසුනු, කපලා හොදි දාපු පරාටා වගේම රෙවෙලෝ චොක්ලට් වලට වහ වැටුනු, පීරියඩ් ගනන් පුස්තකාලෙ පදිංචි වෙලා හිටපු, ටිකෙක් ටික ඒක දවසම පන්තියේ නැති වෙන තරමට දික් ගැහුනු, ඒත් කවදාවත් කාටවත් මාට්ටු නොවෙන තරමට ඔලු වැඩ කරපු, දවුල් ගැහිල්ල මුළු ජීවිතේම කරගත්තු, ප්‍රැක්ටිස් පිට දාලා යුනිෆෝර්ම් එක බෑග් එකේ දාන් අටත් පහුවෙලා ඉස්කෝලෙ ගියපු, අපෙ අම්මට පේරන්ට්ස් මීටින් පැත්තේ එන්න හිතෙන්නැති වෙන ගානට වැඩ කරපු, අනිත් අතට මගෙ ඇතුලෙ ඉන්න රැල්ලට හරහට ඇවිදින චරිතෙ එලි බැහැපු රසබර කාලයක් ඒක!
මට මතක විදිහට මට කෙල්ලෙක්ගෙන් පළවෙනි ලව් ලෙටර් එක හම්බෙන්නේ ඉස්කෝලෙ අට වසරෙදි. ඒ කම්බුලට පොඩි කිස් එකකුත් එක්ක. ලෙටර් එකක් කිව්වට ඒක වෙසක් කාඩ් එකක්. කොහොමත් වෙසක් කාඩ් උණ බරපතලවම තිබිලා නැසීයන කාලෙ ඔය. මන් ඒ කාඩ් එක අවුරුදු කීපයක් දිවිහිමියෙන් පරිස්සම් කලා. පුලුවන් හැම වෙලාවකම කියෙව්වා. සාක්කුවේ දාගෙන ඉස්කෝලෙත් ගෙනිච්චා. ඉඳලා හිටලා සේප් එකේ තට්ටුවක් දාලා පොඩි ආස්වාදයක් වින්දා. ඒ නිසා ඒ කාඩ් එක සාක්කුවටම දිය උනා. මට ආයෙ කවදාවත් වෙසක් කාඩ් එකක ලියපු ‘අයි ලව් යූ’ එකක් හම්බුනේ නෑ. ඒ වගේම ඒ කෙල්ල මගෙ ජීවිතේ ලොකු, වගේම ආදරනීයම කොටසක් උනා, ඉස්කෝලෙන් අයින් වෙනකම්ම.
ඔය කිව්ව ටිකෙන් ඒ ලව් එක මොනවගේද කියලා පැහැදිලි නොවන නිසා ඒ අතිශය සුන්දර අවුරුදු කීපය ගැන මන් තව චුට්ටක් කියන්නම්. සංජුට මාව රීච් කරන්න තිබ්බ හේතු මන් ඇත්තටම දන්නේ නෑ. ඒවා කවදාවත් කතා කරන්න උවමනාවක් අපිට තිබ්බේ නෑ. ඇත්තටම අපි ඒ අවුරුදු ගානටම මහ දෙයක් කතා කරේ නෑ. රොබරෝසියා හැලෙන ග්‍රවුන්ඩ් එකේ ගස් යට වගේම නවය වසරේ පන්ති තිබ්බ බිල්ඩින් එකේ අඳුරු කොරිඩෝවෙත් අපි අත් අල්ලන් කතා කරා තමයි. ඒත් ඒ කතාවල බරපතලක් හෝ දිග පළලක් මට ඇත්තටම මතක නෑ. පුරුද්දකටත් වඩා වතාවතක් වගේ නොවැරදීම අපි ඉස්කෝලෙ පටන්ගන්න කලින් හම්බුනා. හදිස්සියේ වත් පීනලා කරලා එයා පන්තියට එනකොට බෙල් එක ගහලා තිබ්බ දවසට මගෙ හිත රිදෙන්න ඇති බවයි මගේ හැඟීම. ඒ දවස් වල අපිට තිබ්බ ආසක්තම වතාවත තමයි ඉන්ටවල් එකට මුළු පන්ති ඔක්කොම එකම අවකාශයක් වෙන එක. ඒ අවකාශේ එකට එක ගොඩට වටවෙලා බත් කාපු අය, පාන් රාත්තල් එක්ක හොදි ලීටර් ගනන් ගෙනත් එකට කාපු අය, බත් එකින් එකට මාරු කරමින් හැන්දෙන් කාපු අය, හැන්ද විතරක් අතේ තියන් වටේම කෑම වලට එබුනු අය වගේම තනියෙන් හෙමින් හැන්දෙන් පෙට්ටියෙ බත් කාපු අයත් හිටියා. අපි පන්ති දෙකක උනත් බොහෝදුරට අපි කට්ටිය එකට කෑවා. එකට ඉස්කෝලෙ ‘රස්තියාදු’ ගැහුවා. කල්ලි ගැහුනා. අපිට වඩා ඉතා සංකීර්ණ හෝ උණුසුම් විදිහට ආදරේ කරපු අයත් එහෙන් මෙහෙන් ඔය කණ්ඩායම් වල හිටියා. පුළුවන් හැමවිටම එහෙන් මෙහෙන් චුට්ටක් හම්බෙන්න කතාකරන්න ළඟ ඉන්න අපි ඉඩ හදාගත්තා. කාලෙත් එක්ක එයාටත් වඩා මන් එයාව හොයන්න ගත්තා. ඉස්කෝලෙ ඇරුනාම ගෙදරින් එයාව ගන්න එනකන් සී. ටී. බී. බස් වල සීසන් එකෙන් තනියෙන් ගෙදර එන මන් තනි රැක්කා. ස්කූල් බස් එකේ එන කාලෙදි එයාව ඇරලවලා මන් බස් එක අල්ලගන්න එකසිය හැටට දිව්වා.
කළින් කිව්වා වගේම අපිට තිබුනේ අමුතු බැඳීමක්. ඒක යාලුකමට චුට්ටක් දුර සහෝදරකමකට ටිකක් එහා එකක් වගේ. කාලෙත් එක්ක මගෙ ඇතුලෙ හැදෙමින් හිටිය ‘අමුතු’ ජීවියා ඒ බැඳීමෙ තිබුන ජීව ගුණයට හරියට ආදරේ කරා. හැඟීම් සම්බන්ධව ලොකුවට කතා නොකරන, ගෙදර අස්සේ හැඟීම් හරිම අඩුවෙන් ශාරීරිකව එලියට දාපු, ඊටත් අඩුවෙන් හැඟීම් වලට විවුර්ත උන මන් වගේ කෙල්ලෙක්ට කොච්චරවත් අතින් අල්ලන් ඉන්න, කිස් දෙන, ඉඟියෙන් දේවල් කියන, බදාගෙන ඔඩොක්කෙ තියන් ඉන්න බැඳීමක තිබ්බේ අතිශය භාවාත්මක උණුසුමක්. කොච්චරක්ද කියනවා නම් ඒ ඔස්සේ අනාගතයක් පවා මන් හොයපු කාලයක් තිබුනා. නමුත් කාලෙත් එක්ක දේවල් වෙනස් උනා. මන් හිතන්නේ සංජුට ඕනේ උනා ඒ බැඳීම එක සීමාවක තියාගන්න. එක්කෝ කෙල්ලෙක් විදිහට එයාගෙ කුතුහල අවධිය එයා පහු කරලා තිබුනා. සංජුට කොල්ලෙක් හිටියා. ඉඳලා හිටලා හම්බුනාම කවදත් යාලුවෙක්ට එහා උණුසුමක් අපි අතර තිබ්බා උනත්, අපි ඒ බැඳීම අතීතෙට බාර දුන්නා. මන් හිතන්නේ මට රිදුනා.
දේවල් ලොකුවට වෙනස් උනේ නෑ. අර කළින් කිව්ව ඉස්කෝලෙ අස්සේ මන් ගතකරපු ‘අමුතු’ ජීවිතය එහෙම්මම තිබුනා. ඉංග්‍රීසි භාෂාවට මට කොහොමත් තිබ්බ ඇල්මත් එක්ක මන් ඉංග්‍රීසි සාහිත්‍යය කරන්න ගත්තා. නිතරගෙන්ම ඉස්කෝලෙ වගේම ටියුශන් එකෙත් හොඳම ලකුණු මට තිබ්බා. මට උනන්දුවක් තිබ්බේ ඒකට විතරමයි. අනිත් විෂයන් එකක්වත් මාව කුතුහලෙන්, දැනුමෙන් පුරවලා මගේ ඔලුව හදන්න, ඔලුව වඩන්න වැඩකරා කියලා මට හිතුනේ නෑ. කොහොමත් මගෙ කියවීමේ පිස්සුව එන්න එන්නම වැඩි උනා කිව්වොත් නිවැරදියි. කියවන්න ආස කරන සහුර්දයන් බාහුතරයක් කියනවා වගේ මාත් ඒ කාලේ අච්චු පොත් අස්සේ දාන් පන්සිල් ගන්න නියමිත වෙලාවෙත්, අනිත් හැම වෙලාවෙමත්, කොටින්ම බස් එකේදිත් කියෙව්වා. ඉංග්‍රීසි සාහිත්‍යය මට ඇතුලු දැක්මක් එක්ක කියවන්න හැකිවීම මාව කුල්මත් කරා. අපි සාමාන්‍ය පවුල් වලින් පැවතෙන මිනිස්සු. ඉංග්‍රීසි ගැන වගේම වල අපිට එන, තියෙන, පවතින දැනුම සම්පූර්ණයෙන්ම තනියෙන් කියවා තනියෙන් උකහාගත් එකක්. ඒ හැඟීම අර කියනවත් වගේ මාව ඉතා ඉහළක තිබ්බා. මගෙ ඇතුලාන්තයෙනුත් ඒක දැනන් උන්නා. කොහොම උනත් අම්මට වගේම ඉස්කෝලෙටත් ඒක විතරක් මදි උන නිසා මට සිද්ද උනා ගණන් වගේම විද්‍යාවටත් අමතර කණ්ඩායම් පන්ති යන්න. මන් දන්නවා ඒක මාව බේරුවා කියලා. මොකද මට ඕනෙ උනේ ඉංග්‍රීසි භාෂාවටත් සාහිත්‍යටත් කොහොමහරි ‘ඒ’ දෙකක් ගන්න විතරක් උනාට මට ආවා ගෙඩි පිටින් ‘ඒ’ නවයක්ම!
ඔව් ඒක චුට්ටක් ඇල් කරගමු අපි. ලොකුකමට කියනවා නෙවෙයි. ඒත් ඇත්තටම එතනින් හතක්ම මට ඕනෙ උන ‘ඒ’ නෙවෙයි. මට ඕනෙ උනේ මගෙ පිස්සුව දිගටම පවත්වාගන්න ඒ ලෙවල් වලට ඉංග්‍රීසි සාහිත්‍යය කරගෙන යන්න ලේසියක් විදිහට ඒ අදාල ‘ඒ’ දෙක විතරමයි. ‘ඒ’ නවය මට ඇත්තටම කරපු හොඳක් නෑ. ආර්ට් කරනවැයි කිව්වම සංවේගයට පත්වුනු සුවහසක් මැඩම්ලා සහ අම්මලාට ඕනෙ විදිහට ඒ ලෙවල් බයෝ කරන්න වටපිටාවක් හදන්න මගේ නවය හොඳ උදව්වක් උනා. එච්චරයි. එච්චරමයි! ඒක විසාල අපරාදයක් වෙන්නේ මොකද මන් අවුරුදු දෙකක්ම ඒ ලෙවල් බයෝ ක්ලාස් වල කාලෙත්, සල්ලිත් නාස්ති කරාට පස්සෙයි මන් මන් වෙනුවෙන් හිටගන්නේ. ඊටපස්සේ විසාල කරණමක් ගහලා භාෂා අංශයෙන් ඒ ලෙවල් කරන්න ඉස්කෝලෙන් අවසර ගන්නේ. වැඩිපුර අවුරුද්දක් ඉස්කෝලේ යන්නේ. අලුතෙන් ක්ලාස් හොයන් යන්නේ. අවුරුදු දෙකේ සිලබස් එක එක අවුරුද්දෙන් කවර් කරගන්නේ. මහාලොකු රිසාල්ට් එකක් නොදාම පේරා එන්නේ. සහ එතනින් පස්සේ අලුත්ම අලුත් ජීවිතයකට පය තියන්නේ…
… මන් කියන්නේ ජීවිතයට ගලන්න දෙන්න. ඕනෙවට වඩා හදිස්සි වෙන්නවත් ඕනෙවට වඩා පරක්කු වෙන්නවත් උත්සහා නොකර ඉන්න. ඕනෙම තැනදි වගේම චූටිම තැන්වලදිත් තමන් වෙනුවෙන් හිටගන්න. අම්මට තාත්තට ඉස්කෝලෙට සමාජෙට බම්බු ගහගන්න කියලා ඔයා ඔයාගෙ පාරෙ යන්න. ජීවිතය අරන් එන සරල, සංකීර්ණ හැම පුදුම කිරීමක්ම අනාගතේ ඔයා ගලපන්න දඟලන අන්තිම මහා සැලැස්මේ කොටසක් බව පිලිගන්න. එක්තරා කාලෙක හිටපු ඔයා ඒ කාලෙදි ඔයාව බලාගෙන දරාගෙන මේ මොහොත වෙනකන් අරන් ආ බව පිලිගන්න. වෙනස ඇත්තටම බලපැවැත්විය හැක්කේ අනාගතයේදී පමණක්ම බව තේරුම් ගන්න..
-ළහිරුණි වික්‍රමරත්න