තුඹස
මගේ ප්‍රේමය ඉරා විසි කර
හීනමානේ කින ලෝකේ මා ගාල් කර
ඔබ ගිලී ගිය පසුව
ඔහුගේ පසුම්බිය තුළ
සරාගී කය අහිමි වූයෙන්
කලක් රැවටුණු බවත් දැනුණෙන්
නින්ද අරුචිව – අහර අපුලව
වෛරයේ කළු නාගයා හට
සිතේ සිතුවිලි තුඹස බැන්දෙමි
එකල සිප ගත් සොඳුරු නුඹ වත
පිළිස්සේවයි – නෙත් ගිලේවයි
සරාගය මට ඉගැන් වූ පුන්
දෙතන තුළ පිළිකා වැවේවයි
ශාපයෙන් බිතු කුහර පුරවා
ආදරේ තණ පඳුරු ගළවා
ශුද්ධ විරහී අලුත් මැට්ටෙන්
තුඹස තැනුවෙමි
ඉරි තලා ගිය පැතුම් බිජුවට
නාග මුව ඇර ගිල්ල වූවෙමි
නමුදු සිත තුළ නුදුරු දිනයෙක
වැවී අඳු පැළයක්
පලාවන් නව පෙමක් දලු ලයි
වැටී නෙත් කිරණක්
නැගී අඳු කොළ දොහෙන් දෙදොහෙන්
තුඹස වට කොට පඳුරු ලන විට
සෙනෙහසම ලොකුවට පිපී එයි
ඇය සිතේ ලැසි සෙයින් ඇවිදියි
එසඳ ඔබ රුව නිවෙන අඟුරකි
ඇගේ රුව ඉර සේ දිලෙයි
ඔබට කිසි දින දෂ්ට නොකරමි
විෂ ද ආදරයට හැරෙයි
තුඹස සුන් කර අද බැලූ සඳ
කළු නයා නැත – ඌ ගිහින්
කතිර සලකුණු විනා හරි නැති
උගේ හැව හමු විය එයින්
සැමරුමක් ලෙස හැව ද පල නැත
එය ද පොහොරට මුහු කරම්
ඇයට මුල් පුබුදන්ට සිත තුළ
හරිත වන ගැබ ඉදි කරම්.
යටි වියන
ලක්ශාන්ත අතුකෝරල