කවිය යනු හදට සමීප කලාවයි. බරපතළ සමාජ දේශපාලනික කතාබහ, ජීවිතයේ සමාජයේ සංකීර්ණ ‘මහාප්‍රාණ’ අදහස්වලට වඩා කවියක රස, කවියක වින්දනය හැම විටම රැදෙන්නේ කවිය, සරළ සියුම් හැඟුම් ප්රකාශනයක් වූ විටය යන්න මගේ හැඟීමයි. ජීවිතයේ දහසකුත් තැවුල් දොම්නස් නිවාලන්නට කොයි කාටත් කවිය දිව්‍ය ඖෂධයක් කොට ගත හැකි වන්නේද එබැවිනි. අයන්ත යුනේෂ්ගේ යුනේෂියාව කාව්‍ය සංග්‍රහය මෙකී සියුම් දිව්‍යමය ගුණය කැටිකරගත්, ජීවිතයේ ක්ෂුද්‍ර හැඟුම්,තැවුල්, බිඳීම් අතරින් නිවීම සොයා යන කවි එකතුවකි.

මේ කවි එකතුව නම් කෙරෙන්නේ යුනේෂ් නමින්ම බිඳගත් යුනේෂියාව නම් අපූර්ව කාව්‍යමය ලෝකයක නමිනි. එය කවියාගේ පරිකල්පිත ප්‍රබන්ධ ලෝකය බවත්, මේ කවි වල මිහිර මෙලොව නැති එවැනි වෙනත් ලෝකයකින් අප වෙත එන අපව එවැනි ලෝකයකට කැඳවාගෙන යන එකක් බවත් රසික ප්‍රතිචාරයක සඳහන් වූ නිසා කෘතියට මේ නම යෙදූ බව අයන්ත සිය පෙරවදනෙහි සඳහන් කරයි. අසහාය සිනමාකරුවෙකු වූ අන්ද්රේ තර්කෝව්ස්කි පවසන්නේ නිර්මාණකරුවෙකු යනු තමන්ගේම ලෝකයක් නිර්මාණය කරන්නෙකු බවයි. මොනයම්ම කලාමාධ්යක වුවත් සිය නිර්මාණ ඔස්සේ තමාටම අනන්‍ය වූ, තමාගේම වූ පරිකල්පිත කල්පනා ලෝකයකට රසිකයා කැඳවාගෙන යාමට කලාකරුවාට හැකිනම්, තර්කෝව්ස්කි පැවසූ පරිදි ඔහු සැබෑම නිර්මාණකරුවෙකු වන බව මමද විශ්වාස කරමි. ඉතින් එනයින් අයන්ත නිර්මාණකරුවෙකු ලෙස සහෘද රසිකයන් වෙතින් ලැබිය හැකි ඉහළම ප්‍රසාදයක් අත්පත් කරගෙන තිබේ. එය සැබවින්ම කොතරම් සාධාරණද යන්න අයන්තගේ යුනේෂියාවට පිවිස බැලුවොත් ඔබටම පසක් කරගත හැක.
අයන්තගේ මේ යුනේෂියාව නම් භාවමය ලෝකය තුළ අපට හැමවිටම පාහේ හමුවන්නේ අපගේ සමකාලීන ජීවන කාල සීමාවේ, අපගේ සමාජ දේශපාලනික ආර්ථික සන්දර්භයේම වසන තරුණ හිතක සෙවණැල්ලකි. ඒ හැඟුම් පහසුවෙන් අපේ කරගන්නට හැකිවනේද කථකයා හා අප අතර ඒ සමීප බව නිසායි.
ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරිය
ඔබ හොඳින් යැයි
පවසනමා
කළු කුහරයක
ගිලෙන(පිටුව 23)
ප්‍රේමය, විප්රයෝගය, කාංසාව ආදී වූ නොයෙක්විද මනෝභාවයන් කෙටි වචන කිහිපයකට කැටිකොට මුදාහරින්නට අයන්තට ඇත්තේ අපූර්ව සමත්කමකි. මෙයද එවැන්නකි. කෘතියේ බොහොමයක් ඇත්තේ මෙවැනි කෙටි කවිය. ඒවා බොහොමයකට මාතෘකා පාඨ යොදා නැත. ඒවා ඉමිහිරි ක්ෂුද්‍ර හැඟුම් පමණි. ඒවා විටෙක අප වසන යුගය නියෝජනය කරන අතරම විටෙක කථකයාගෙ අභ්‍යන්තරික ගැටුම හෝ සාමය ප්‍රකාශ කර සිටියි.
කිසි දෙයක්
මෙතරම් හොඳින්
ජීවිතය තුළ
සිදුව නැතඔබේ
පැමිණීම මිස(පිටුව 13)
නොකඩවා සල්ලාපයක
මා සමඟ
ගොළු මූද(පිටුව 20)
මේ කවිය ඉගි කරනවා වාගේම අයන්තගේ සමස්ත කවි වියමනම තමා තුළටම නැමුණු හුදෙකලා සංවාදයකි. එය කවියාගේ භාවමය ලෝකය තුළට එබී අපගේ ජීවිතයද සුවපත් කරගැනීමට ඉඩ සලසන හැඟුම් භාවනාවකි.
ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, ප්‍රේමයේ විප්රයෝගය මෙන්ම මව්පිය දූදරු සබඳතාවය වැනි සියුම් මානව සබඳතාද අයන්තගේ කවියට නිරන්තරයෙන් විෂය වෙයි.
බීඩි සුවදක
ඇඳී ඇත
තාත්තාගේ
මදහස(පිටුව 21)
ඇතැම් කවි වල වචනයෙන් විග්රහ කළ නොහැකි තරමේ උපමා රූපක හමුවෙයි. අයන්තගේ කවි වල රූපක, උපමා තරමක් විරලයි කිව හැකි වුවත් සරළ ප්‍රකාශන තුළ ඇති සියුම් හැඟීම් කාව්‍යමය රූපක ලෙස ක්‍රියාකරමින් ඉසියුම් කවි මිහිරක් දනවන්නට සමත් වෙයි.
ආරිවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි කවියන් ගෙන ආ ඒ සියුම් කවි බස, කවියටම ආවේණික වූ භාවනානුයෝගී සංයමය අත්පත් කරගන්නටද අයන්තගේ කවිය සමත් වෙයි. ඔහුගේ සිය ජීවිතය වෙතටම නැමුණු කාව්‍ය තේමා, හැඟීම්, වඩාත් සාර්ථකව ග්‍රහණය කරගන්නට එකී නිවුණු සරළ වදන් පෙළද හේතුකාරක වී ඇති බව මගේ විශ්වාසයයි.
හැන්දෑව
වලාකුළු පරුවත
හැන්දෑවටත් කලින්
අප කුඩා මිදුලට
රැය ගෙනෙනඔබ
මා ගෙනා
අලුත් කවි පොතේ
“වැසිබර සැදෑව”
කියවනමම
හැන්දෑව නොකියව
හැන්දෑවකඔබහැන්දෑව නොදැකම
හැන්දෑවක(පිටුව 58)
ඔබ කවිය තුළින් නිවීමක්, සුවපත් වීමක් අපේක්ෂා කරන්නේනම් අයන්ත යුනේෂ්ගේ ‘යුනේෂියාව’ මා ඔබට නිර්දේශ කරන කෘති අතර ඉහළම තැනක රදවන බව කිවයුතුය.
– පවන් අංජන