දුඹුරු ජැකට් (කෙටි කතාව) – යශෝධා වීරසිංහ මාපලගම

ඒක ප්‍රධාන නගරයෙන් ඇතුළට වෙන්න පිහිටි දුශ්කරම නොවුණත් ගම්බද පාසලක්. උසස් පෙළ දක්වාම පන්ති පැවතුණ ඒ පාසල ඒ ප්‍රදේශයේ තිබුණ ප්‍රධානම පාසල. නගරයෙන් සැලකිය යුතු තරම් දුරක් ඈතින් පිහිටි නිසාවෙන්දෝ ඒ ප්‍රදේශයේ ගැමි සුන්දරත්වය නොනැසී පැවතුණා. ප්‍රදේශවාසීන් වුණත් බහුතරය ඉතාම අව්‍යාජ ගැමියන් වුණා. පාසල එක් පසකින් මායිම් වුණේ විශාල වෙල් යායකට. තවත් පසකින් ප්‍රධාන මාර්ගයට. පාසලේ ක්‍රීඩා පිට්ටනියේ විදුර මායිම වුණේ තරමක් විශාල කැලෑ රොදක්. ඒ කැලෑ රොද යළිත් සම්බන්ධ වුනේ අර වෙල් යායට. ඒක පුරන් වී ගිය යායක්. පාසලේ මායිමට ඉතාමත් ආසන්නයේ වෙලේ මැද හැල් ප්‍රදේශයක් තියෙන්නේ බොහෝ කාලයක පටන් බව මට කිව්වේ ඉස්කෝලේ සේවයේ දීර්ඝ කාලයක් පටන් ඉන්න අමරෙ මාමා. ඒක ඈතට දිස් වෙන්නේ තරමක ජලාශයක් වගේ. ඕලු, මානෙල් වගේ මල් වර්ග ඒ දියේ තිබුණා. මං පාසලට ආව මුල්ම දින කීපයෙන් පස්සේ ඉඳන් මං ඉන්නේ විද්‍යාලේ ගුරු නිවාසේ. ගුරු නිවාසේ එක් අන්තයක් කෙළවර වෙන්නෙත් මේ වෙල් යායෙන් නිසා මගේ අවධානය නිතරම ඒකට ලැබුණා.

ගුරු නිවාසේ සෑහෙන්න පැරණියි. එළියේ බිත්තිවල වටේට දිය සෙවල බැඳිලා තිබුණා. තැන් තැන්වලින් තීන්ත පතුරු ගැළවිලා ගිහින් අබලන් පෙනුමක් තිබුනේ. ඉස්කෝලේ වත්තෙන් ඈතම කෙළවරේ නිසා ඒ පැත්තට ළමයි එන්නෙත් නෑ. ඒ හින්දා ගුරු නිවාසේ අවට නිරන්තරයෙන්ම පාළු මූසල ස්වභාවයක් අරක් ගෙන තිබුණා. මං ගුරු නිවාසෙට එනවා කිව්වම ගොඩක් අය මගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ. කාලයක් ඒ පාසලේම සේවය කළ ගුරුවරු සමහරෙක් කිව්වේ ඔය පාළු ගුරු නිවාසේ නොඉඳ වෙන කොහේ හරි නතර වෙන්න කියලා. පාළුව මට නුහුරු දෙයක් නෙමෙයි. මට ඕන කළේ හිතේ නිදහස. මං බලාපොරොත්තු වුණ විදිහේ නිස්කලංක බවක් එතන තිබුණ බව මට දැනුනා. එතන මොකක්දෝ මන්දා වෙනසකුත් තිබුණා. ගුප්තයි තමයි. හැබැයි මං ඒකට කැමතියි.

“සර් ගුරු නිවාසේ ඉන්නවා නම් පරිස්සමෙන් ඉන්න. ඕකට මේ මෑතක ආපු කවුරුවත් මහ කාලයක් ඔතන හිටියේ නෑ”
ගුරු නිවාසේ විතරක් නෙමෙයි ඒ වටපිටාවෙත් තිබ්බේ අඳුරක්. ඒ නිසාවෙන් ඈතින් එන ගුරුවරයෙක්වත් අකමැති බව තමයි අමරේ මාමා කිව්වේ. අමරේ මාමාගේ නම අමරසිරි. හැබැයි කවුරුත් කතා කලේ අමරේ නැත්නම් අමරේ මාමා කියලා. ගුරු නිවාසේ වටේටම විශාල ගස් තිබුනා. වැඩියත්ම අඳුර වැටුනේ වෙල පැත්තේ කෙළවරේ තිබුන විශාල මංගුස් ගස් දෙකෙන්.

කොහොම හරි මං ඒකේ ගත කළ පළමු රෑ කිහිපය කිසිම විශේෂයක් නැතුව ගෙවිලා ගියා. ඒක පටන් ගත්තේ හරියටම හත් වෙනි දවසේ රෑ. මගේ නින්ද බිඳුණේ කඩදාසියක් පොඩි වෙනවා වගේ සද්දෙකට. මං හිතුවේ මීයෙක් පොත් අතරින් දුවනවා කියලා. ඊට පස්සෙ නිශ්ශබ්දයි. හැබයි මට නින්ද ගියේ නෑ. ආයේ ටිකකින් සද්ද ඇහෙන්න ගත්තා. මුලින්ම හරියට කවුරු හරි පොතකින් පිටුවක් ඉරනවා වගේ. ඊට පස්සේ ඒක පොඩි කරනවා වගේ. සැළකිය යුතු වෙලාවක් මේ සද්ද දෙක මාරුවෙන් මාරුවට තිබුණා. දුරකථනය පෙන්වූ වෙලාව මධ්‍යම රාත්‍රී 12.20යි. මං දුරකතනයේ විදුලි පන්දම ක්‍රියාත්මක කරලා බැලුවත් පේන්න කිසිවක් විශේෂයෙන් තිබුනේ නෑ. පහු වෙනිදා උදේ ඇහැරෙද්දි මට රාත්‍රී සිද්ධිය විශේෂයක් වුණේ නෑ. ඒත් ඊළඟට දැක්ක දේ මගේ ඇඟේ හිරි ගඩු නංවන්න හේතු වුණා. මට මිතුරෙකුගෙන් තෑගි ලැබුන ඇමතුම් දින පොත මං පාවිච්චි කලා එදිනෙදා කටයුතු ලියා තබන්න. මට හොඳටම මතකයි මං ඊයේ රෑ ඒ පොතේ සටහන් තබලා ඒක වහලා තිබ්බා කියලා. ඒත් උදේ තිබ්බේ ඒක පෙරළිලා. ඒකේ ජනවාරි 23 වෙනිදට අදාළ පිටුව ඉරා දමා තිබුනා. ජනවාරි 23 කියන්නේ ඊයේ දිනේ. ඒත් මේසේ උඩ තිබුන මගේ මුදල් පසුම්බිය, ටැබ් පරිගණකය ආදී සියල්ල කිසිත් වෙනසක් නොමතිව ඒ අයුරින්ම තිබුනා. මට ඇහැරුණ නිසා හොරා සැඟවී හිඳ මට නින්ද ගිහාම ආ තැනකින්ම යන්න ඇති. ඒත් ඇයි ඒ දවසම…. ඇහැරුනේ දවල් වෙලා නිසා කල්පනා කරන්න කාලයක් ඉතුරු වුනේ නෑ.

ඊළඟ දවසේ වෙනසක් නැතුව ගෙවිලා ගියා. ඊටත් පස්සේ දා ඒ කියන්නේ නව වන දවසේ මධ්‍යම රාත්‍රිය එළඹෙනවත් එක්කම ඇහුණ ඉමිහිරි සංගීත රාවය ක්‍රමයෙන් කන් පසාරු කරන විලාපයක් බවට හැරුණා. ඉන් අනතුරුව එය සිහින් ඉකිබිඳුමක් සේ නෑසී ගියා. එදා වෙලාව රාත්‍රී 12 පසු වී මිනිත්තු කිහිපයක් පමණක් වුණා. එයින් පස්සේ එළඹුනේ තද නිහැඬියාවක්. වෙනදා එක සීරුවක ඇහෙන රැහැයි වාදනේ පවා නතර වී තිබුනා. එදා ඊට පස්සේ මං නිදා ගත්තේ නෑ.

මේ වෙනකන් මේ වෙන කිසි දෙයක් මං කාත් එක්කවත් කිව්වේ නෑ. ඇත්තම කිව්වොත් මගේ පෞරුෂයට ඒක හොඳ නෑ කියලා දැනුන හීනමානය මං ඒක සඟවා ගන්න හේතුවක් වුණා. කොහොම වුණත් ඕනෙම දෙයක් දරාගෙන සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු කරගෙන ඉන්න පුළුවන් හැකියාවකුත් මට තියෙන නිසා මේ දේවල් මගේ දෛනික කටයුතුවලට මං බාධාවක් කර ගත්තේ නෑ.

පොඩි පොඩි සද්ද බද්ද ආදිය ඇහුණත් ඒ දේවල් මට වගක් වුනේ නෑ. ආයෙමත් විශේෂ සිද්දියක් සිද්ද වුනේ ඒ සංගීත සද්දේ ඇහිලා දවස් හතර පහකට පස්සේ. එදා මට ඇහැරුනේ කාමරෙන් එළියේ කවුරු හරි ඇවිදිනවා වගේ සද්දෙකට. ඈතින් ඉතා සියුම් සංගීත වාදනේකුත් ඇහෙන්න ගත්තා. කලින් දවසේ විලාපේ මතක් වෙද්දි ඇත්තටම මට දැනුනේ භීතියක්. කාමරයට එපිටින් ඇහෙන සද්දේ නොනැවතී තිබුන නිසා මං තීරණය කළා විපරම් කරලා බලන්න. මං මුලින්ම තිර රෙද්ද ඈත් කරලා බැලුවත් මං විශේෂ යමක් දැක්කේ නෑ. පස්සේ මං ජනේලය විවර කළා. ඒ ජනේලේ විවෘත වෙන්නේ වෙල දිහාට. ජනේලේ අරිනවත් එක්කම ඇඟ සීතල වෙන සුළඟක් කාමරයට ඇතුල් වුනේ බලහත්කාරෙන්මයි. ඒ වට පිටේ කිසිවක් දකින්න ලැබුනේ නෑ. දුරට යොමු කළ හැකි විදුලි පන්දම් එළියෙන් හෝ වෙනදා නැති වෙනසක් දකින්න ලැබුනෙ නෑ මට. මලානික හඳ එළිය අඳුර මඳක් පලවා හැරියා. කලුවර මැංගුස් ගස් අතරින් පේන වෙල මැද හැල් ජලාශයේ මට පෙනුනේ අනිත් කිසි තැනක නැති විදිහේ අමුතු එළියක්. ඒත් එක්කම අර සංගීත නාදය වඩාත් උස් ස්වරයෙන් ඇහෙන්න ගත්තා. ඒ හඬ ඇහුනේ අර ජලාශේ දිහාවෙන්. එදා වගේම ඒ මිහිරි සංගීතේ ටිකකින් කන් බිහිරි වන තරමේ විලාපයකට හැරුනා. මට දැනුනා මගේ මුලු ශරීරයම සීතලට දරදඬු වෙනවා. සිහි එලවා ගත් විගසින් මං ජනේලේ වහලා දාලා ඇඳට වුණා. මං ඒ රැය නොනිදා කල්පනා කලේ මේ වෙන්නේ මොකක්ද කියන එක.

එදා උදේ මට විදුහල්පතිතුමාගේ කාමරේට යන්න වුනේ දරුවෙක්ගේ ගැටළුවකට. විදුහල්පතිතුමාගේ මේසේ උඩ දිග ඇරලා තිබුන පොඩි වුණ කොළේ මගේ ඇමතුම් දින පොතෙන් ගලව ගත්ත එක කියලා දැක්කම මට දැනුනේ පුදුමයක් ඒ වගේම කුතුහලයක්. මං කාර්‍යාලයට ඇතුල් වෙද්දි විදුහල්පතිතුමාගේ දෑස් නතර වෙලා තිබුනේ ඒ කොලේ මත. ඔහු හිටියේ බර කල්පනාවක. මං කතා කරද්දි ඒකට අවධානය යොමු කරන බව පෙන්නුවා වුණත් ඔහු හිටියේ කලබලෙන්. ඇස්වල තිබුනේ භීතියක්.
“මේ කොල්ලොන්ට පිස්සු, විකාර ලියනවා”
ඒ කොළේ දිහාට මගේ ඇස් යනවා දැක්ක විදුහල්පතිතුමා එහෙම කියලා ඒ කොළේ පොත් ගොඩක් යටට කළා. මං කරපු දේ වැරදියි. හැබැයි මට ඒක නොකර බැරි වුණා. ඔහුට ආපු දුරකථන ඇමතුමකුත් එක්ක ඔහු අනෙක් පසට ගිය වෙලේ මං ඒ කොළේ ඡායාරූපයක් අර ගත්තා. ඒකේ තිබුනේ ස්වර ප්‍රස්ථාරයක්. මං ඒක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්න මගේ මිතුරු ආචාර්‍යවරයෙක්ට යැව්වම ඔහු ඒක ඕගනයක් මඟින් වාදනය කරලා මට එවා තිබුනා. ඔබ විශ්වාස කරනවා නම්, ඒ වාදනය මට රෑ කිහිපයක්ම ජලාශය දිහායින් ඇහුණ සංගීතයටම සමාන වුනා.

ඔය අතරේ දවසක් මට දැනුනා කවුරු හරි මගේ ළඟ ඉන්නවා වගේ. ඇස් ඇරලා බලද්දි මගේ දිහා බලන් ඉඳපු ඒ පුද්ගලයා මට පිටුපාලා ඇරලා තිබුණ දොරෙන් යන්න ගියා. දැන් හොල්මන මගේ ළඟටම ඇවිත්, මට හිතුනා.
හොල්මන ඇඳන් හිටියේ මඩ පාටට හුරු කමිසයක්. ඊට උඩින් දුඹුරු පාට ජැකට්ටුවක් ඇඳන් මුලු හිසත් එක්කම ආවරණය කරන් හිටියේ. මං ඒක දැක්කේ පිටුපාල යන වෙලේ. ක්ෂණයකින් පිට වෙලා ගිය නිසා වෙනත් යමක් පැහැදිලිව දකින්න බැරි වුණා. ඒක ආයේ සිද්ද වුනේ එකම එක දවසක් විතරයි.

එක දවසක් දවාලේ මං ගුරු නිවාසෙට ගියේ බැරි වීමකින් දමා ගිය පොතක් අරන් යන්න. මගේ කාමරේ පිටිපස්සේ දොර විවර වෙන්නේ බැල්කනියකට. මං දොර අරිද්දි දුඹුරු ජැකට් හොල්මන බැල්කනියේ. හිතේ ඇති වුණ තිගැස්ම නිසා මං අඩි කිහිපයක් පසුපසට විසි වුණා. දොරත් වහන් ඇඳ උඩින් වාඩි වුණාමයි මට කල්පනා වුනේ දවාලට හොල්මන් පේන්නේ නැති වග. ආයේ දොර ඇරලා බලද්දි හොල්මන ගිහින්. ඒත් මං දැක්කා ඔහු ඉතා සැහැල්ලු ගමනින් වෙල දිගේ ජලාශයට යන හැටි. ඉතිං මට පැහැදිලියි. මේ නම් තවත් හොල්මනක් නෙමෙයි. මනුස්සයෙක්. ඒත් ඔහු ඇයි මෙහෙම හොල්මන් කරන්නේ. මට ඇති වුනේ සැකයක්. මං තීරණය කළා ඒ ගැන හොයන්න. සිද්දිය මොකක් වුනත් ඒකට සංගීතය වගේම විදුහල්පතිතුමාත් පැටලී ඇති වග නම් පැහැදිලියි.

“අමරේ මාමා, මේ ඉස්කෝලේ සර්ලා ගොඩක් අඩුවෙන් නේද ඉන්නේ ?”
“ඔව්නේ සර්, ලොකු සරුත් එක්කම ඉන්නෙ දහ දෙනෙක් විතර තමා. ඒත් වැඩිමනක් දෙනාම දැන් පෙන්ෂන් යන්න ළඟ උදවිය.”
“ඒක නේන්නම් මාමා. වෙලාවකට කම්මැලිත් හිතෙනවා. ඇපෙ වයසේ කෙනෙක් නම් ඇත්තේම නෑනේ…”
“ඒකනේ සර්. ඕන් අපේ සංගීත සර් හිටියා නම් සර්ට අපූරුවට එකතු වෙනවා.”

ඒ කියන්නේ මෙහේ සංගීත ගුරුවරයෙක් ඉඳලා. මට උවමනා තැනට එන්න ලොකු ආයාසයක් දරන්න අවශ්‍ය වුනේ නෑ.

“ඒ සර් කොහේටද ගියේ මාමා?”
“කවුරු දනීද නිලංග සර් ඔව්වා?”
“ඇයි මාමා එක්ක තරහකින්වත්ද ගියේ ?”
“අපොයි පිස්සුද සර්, ඒ සර් සීදේවී මහත්තයා. ඕන් ඔය සර් වගේම අමරෙ මාමේ කියාගෙන ගුරු නිවාසෙට වෙලා උන්නේ. අනේ අපොයි හොරු අරන් ගියා වගේනේ…….”
“මොකක්ද මාමා වුණේ?”
“කල්ප සර් හරිම හොඳ මනුස්සයා. කරුමෙක මහත, මේ සර් පැටලුනේ වැරදි ගෑණු ළමයෙක් එක්කනේ සර්. අන්තිමට මොනවම වුණාදවත් දන්නේ නෑනේ.”
“ඒ කිව්වේ”
“ආ ගිය අතක් නැති වුණා සර්. දැන් අවුරුදු දෙකකට උඩින් අවුරුද්දේ ජනවාරි 22 ගුරු නිවාසෙට ගියා ගියාමයි ආයේ දැක්ක කෙනෙක් නෑ සර්.”
“ජනවාරි 22 ! එදා ජනවාරි 23. මං ගැස්සුනා”
“එහෙම වෙන්නේ කොහොමද ?”
“ඔය කොහොම හරි වෙලා තියෙන්නේ. අපිට මොකටද සර් දැන් ඔව්වා. කොහොම වුනත් ඒ සිද්දියෙන් පස්සේ ඔය ගුරු නිවාසෙ පදිංචියට ආව කිසිම කෙනෙක් මාසයක්වත් ඉඳලා නෑ. සර් තමා මේ මාස තුනක්වත් ඉඳියේ.”

ඉන් එහා දෙයක් අමරේ මාමා කිව්වේ නැතත් මං දැන ගත්තා මතුපිටින් පේනවට වඩා වැඩි යමක් මෙතන තියෙනවා කියලා. මං හිතුවා දුඹුරු ජැකට් හොල්මන පස්සේ පන්නන්න. සමහරවිට ඒකමද දන්නෙත් නෑ ඕන.

ඒ දවස එළඹුනේ තවත් සතියකින් විතර පස්සේ. එදා හවස වෙනදට වඩා සීතලයි. කොහොමත් මුලු දවසම තිබුනේ මහා වැහිබර කාළගුණයක්. කඩින් කඩ තිබුන පොද වැස්සයි ලා අඳුරයි එක්ක තුනී මීදුම් පටලයක් අවට වෙලාගෙන තිබුණා. මං වරු නිවාඩුවක් අනුමත කරවාගෙන ගුරු නිවාසෙට ආවේ ඉන් පසුදා සිට නියමිතව තිබූ දීර්ඝ සති අන්තය ගත කරන්න ගෙදර යන්න බලන්. ඒත් මගේ ගමන් වෙනස් වුනේ ගුරු නිවාස මිදුලේ අඳුරු මැංගුස් ගස් දෙක අතරින් හැල් විල දිහාට පල්ලම් බහින දුඹුරු ජැකට් හොල්මන දැකීමෙන්. ඒ හොල්මන මුණ ගැහුණ අන්තිම දවස.

තවත් දින කිහිපයක් නිසොල්මනේ ගලා ගියා. ඉනික්බිති එළඹුන එක්තරා දවසක රාත්‍රී මුර සේවයේ යෙදෙන රංවල නම් මුරකරුවා කාට නමුත් අධිකව බිය වී නන් දොඩවන බව ආරංචි වී මාත් ඒ දෙසට ගියා. ඔහු විදුහල්පති නිල නිවාසයේ රඳවා අවශ්‍ය ප්‍රතිකාර කලේ ගමේ වෙද මහත්තයා. අනතුරුව ඔහු ඔහුගේ නිවසට ඇරලවන්නට ගමේ තරුණ පිරිස ක්කටයුතු කර තිබුණා. එදින පාන්දර විදුහල්පතිවරයා අධි මාත්‍රාවකින් ඖෂධ ගැනීම හේතුවෙන් නිල නිවාසය තුළම මිය ගොස් තිබුණා. විදුහල්පති නිල නිවාසය පරීක්ෂා කල පොලීසියට හමු වූ වසර දෙකකට එපිට දින පොතක් ඔහුගේ දිවි තොර ගැනීමට හේතු සැපයූවා. ඒ කිසිවක් නොදැන සිය නිවසේ උඩු මහලේ ව්‍යායාම කරමින් සිටි තිරාජ් ලංකානාථ පොලිස් අත්අඩංගුවට පත් වුනේ මීට වසර දෙකකට පෙර සිද්ධ වුණ මෙනූෂා මන්දාරි රාජවික්‍රම ඝාතනයේ ප්‍රධාන සැකකාරයා වශයෙන්. ඔහුත් එක්කම රංවල මුරකරු පොලිස් මාංචු පළඳින්නේ අපරාදයකට හවුල් වීම සහ අපරාධයක් සැඟවීම යටතේ.

මෙනූෂා මන්දාරි රාජවික්‍රම එම පාසලේ විද්‍යාව ගුරුවරිය. කල්ප බස්නායක පාසලට ආවට පස්සේ ඔහුත් මෙනූෂාත් අතරේ සම්බන්ධයක් ගොඩනැඟෙනවා. ඒක බොහෝ දෙනා නොදැන හිටියත් දැනගෙන හිටිය සීමිත පිරිසකුත් හිටියා. දිනෙක මෙනූෂාගේ නිසල දේහය යට කී වගුරු ප්‍රදේශයෙන් හමු වෙද්දි කුඩා දරුවෙක් සාක්ෂි දුන්නේ තිරාජ්ගේ ගෝලයෙක් ගුරු නිවාසෙට එපිට වදුල දෙස සිට යමක් බරට ඔසවාගෙන යනු දුටු බවකුත් කොණ්ඩයක් පැද්දෙමින් යනු දුටු බැවින් ඒ මෙනූෂා ටීචර් විය හැකි බවත්ය. ඒ වන විට ගමේ ගොස් සිටි කල්ප ගමට ආවේ අමරසිරි විසින් ලබා දුන් දුරකතන ඇමතුමට පසුව. ඔහු මෙනූෂාගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් ඉන්න අතර වාරයේ තමයි හිටි ගමන් කල්ප අතුරුදහන් වෙන්නේ.

“මං මෙනූෂා විවාහ කර ගන්න බලාගෙන ඒක එයාගේ දෙමාපියො එක්කත් කතා කළා. මෙනූෂා මට කැමති වුණේ නෑ. අම්මලා තාත්තලාත් දූගේ කැමැත්තක් කියලා හිටියා. ඒත් පිට ගමකින් ආපු කල්පට මෙනූෂා කැමති වුණා. ඒක මට දැනුනේ මට සිද්ධ වුණ මදිකමක් විදියට.”

අතවරයට ලක් වුණ මෙනූෂාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ. කුඩා දරුවා ලබා දුන් සාක්ෂිය පසුව ඉවත් කරගෙන තිබුණේ ඔහුගේ දෙමාපියන් විසින්. කල්පගේ අතුරුදහන් වීම ගැන හැමෝම සැක පහල කළත් කිසිවෙක් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඉදිරිපත් වුණේ නෑ. මෙනූෂාගේ මරණය වගේම කල්පගේ අතුරුදහන් වීමත් කාලයත් එක්ක යට ගියා. නැත්නම් එහෙම වුණා වගේ පෙනුනා.

“කල්ප සර් නැතුව ගෙවුන තුන් වෙනි මාසේ විතර වෙද්දි ගුරු නිවාසෙට අලුතෙන් සර් කෙනෙක් ආවා. ඒ සර් ඇවිල්ලත් මාස දෙකක් විතර යනකන් මොකුත් ලොකු දෙයක් වුනේ නෑ. ඒත් ඊට පස්සේ ඒ සර් හදිසියෙම ගුරු නිවාසේ මාරු කලා. ඒ වගේම ආපු කීප දෙනෙක්ම කළේ ඒක. කල්ප සර් නැති වෙලා පස්වෙනි මාසෙන් පස්සේ මටත් දවස් ගණනාවක්ම ඒ සද්දේ ඇහෙන්න ගත්තා. වගුර පැත්තෙන් එළි දැක්කා. මං කාටවත් කිව්වේ නෑ. හැබැයි සෞඛ්‍ය හේතු ඉදිරිපත් කරලා රෑ දවල් මාරු කර ගත්තා. ඒත් මං හැමදාමත් හිටියේ හිතේ බයෙන්.”

අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ කල්ප බස්නායක මිය ගිය බව සිතා ඔහුවත් මෙනූෂා සැඟ වූ වගුරු බිමටම අතැර දැමූ තිරාජ්ගේ පිරිස නික්ම ගියත්, ජීවිතයත් මරණයත් අතර සිටි කල්ප බස්නායක වගුරු බිමේ වැටකෙයියා මල් කැඩීමට පැමිණි ගම්වැසියෙක් විසින් සොයාගෙන කාටත් හොර රහසේ ඔහුව ගමෙන් පිටමං කර තිබුණා.

“කාට නැතත් මගේ හෘද සාක්ෂියට මං වරදකරුවෙක්. ඉතිං එය විටින් විට මාව කොනිත්තමින් මගේ පාපී ආත්මය බිය වද්දනවා. හෘද සාක්ෂියේ නිර්ධය පහර කෑමට ලක් වෙමින් ජීවත් වීම අතිශයින්ම අපහසුය. ඇතැම් රාත්‍රීන්හී මා සිහිනෙන් දකින්නේ ජීවිතය යදිමින් සටන් කළ මෙනූෂාගේ දෑස්‍ ය. තවත් රාත්‍රීයක කල්ප මගේ සිහිනවල හිඳිමින් මට ඔරවයි. නීතියෙන් ගැල වී හිඳියද මගේම හෘද සාක්ෂියේ පීඩනය අධි රුධිර පීඩනයෙන්ද දිය වැඩියාවෙන්ද පෙලෙන මගේ හදවතට විටෙක දරා ගත නොහැකි තරම්ය.”

ඔහුට අවශ්‍ය වුනේ පළිගැනීමක් නෙමෙයි. සිය ආදරවන්‍තිය වෙනුවෙන් සාධාරණය. ඔහු ඒ වෙනුවෙන් මිනිසාගේ මනසේ දුර්වලතාවය යොදා ගත්තා. කල්ප මියා ගොස් බව සිතා සිටි රංවල කලකට පසු ඔහුව දැකීමෙන් බිය වී සියල්ල වමාරද්දි, සඟවා වුන් රහස එලි වන බව දැන ගත් විදුහල්පතිවරයාගේ දුබල හදවත ඔහුම මරණයට පොළඹවා ගත්තා. සියලු කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කරමින් විශේෂ පොලිස් කණ්ඩායමක් ඉදිරියේ තිරාජ් සිර කරන්නට කල්ප කටය්තු කළා.

“මේනුට ආදරේ කරන්න මට හිත් දුන්නේ පතාගෙන ආපු හැටියට කියලා හිතුවට දැන් මට හිතෙන්නේ ඒක අපි දෙන්නගෙම අවාසනාව”
“උඹ ඇයි මාත් එක්කත් හොල්මන් කළේ?”
“නැත්නම් තාත්වික නැති වෙනවා. උඹ මේ මමමයි කියලා දැන ගත්තේ කොහොමද?”
“උඹේ අකුරු මට අමුතු නෑ බන්. මං ආවේ උඹව හොයාගෙන කියලා දන්නවනේ. මං උඹේ අකුරු දැක්ක වෙලේ ඉඳන් ආවේ හොල්මන අල්ලන්න නෙමේ උඹව අල්ල ගන්න.”

  • යශෝධා වීරසිංහ මාපලගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top