සිහින නිවහන
එකල
අපි එඬේරන් මෙන් වීමු
හැදූ වැඩූ ගහකොළ
සිප කඳුළින් තෙමා
කුලී නිවසින් නිවසට
මාරු වී ආවෙමු
දෑතින්ම දොර යතුරු බාර දී
“ගිහින් එන්නම්” යැයි කියා
අදත් නෙත් තෙත් කරන
මතක පමණක් රැගෙන ආවෙමු
මා පසෙක නිදියන,
දාස්පෙති ගාලේ
සමනලුන් හඹා යන,
සුදුම සුදු, නිදිමත
බැළලියක් විය අපට
ඊළඟ කුලී නිවසට
රැගෙන ආවත් ඇය
සාංකාවෙන් හිඳ
දිවිනසා ගත්තාය වප්ප වී
ලී ලොරියකට පැන
අප තවම
දිවිනසා නොගත් මුත්
මතක වෙළුමත් විය බර
කුලී නිවසින් නිවසට
පටු මගක කෙළවර
එක් කුලී නිවසක
බට පඳුරු හෙවණක
පළමු හාදුව ලදිමි
පැටි වියෙන් මා මිදවූ
එනිවසෙහි උළු අතරින්
පෙරී එන ඉර කිරණක
නැටු දූවිලි තිත් සේ
කැළඹී හුනිමි එදවස
පෙම්වතෙකු වූ හැම වර
සදාකාලික කැදැල්ලක
සිහිනයක් විය හිත යට
ඉර දෙසට මුහුණ ලා
සුවිසල් ජනෙල් ලූ
මිදුලේ බට පඳුර යට
කුඩා ගල් බංකුවක් ඇති
පිහිටු වූයෙමි එය සිතින්
දුර සීත හිම රටක
හරිත කඳුකර පෙදෙසක
නැතහොත් අගෙයිනේ
රළ ගී ගයන වෙරළක
තිබේ දැන් මට
මගෙම නිවසක්
වෙන්දේසි ඉඩමක
හතරැස් පර්චස් හයක
අඩු කරමින් සිටිමි
ණය වාරික එකින් එක
බඳිමින් ගඩොල් බැමි
මිදුලේ කොනක
කබොක් පොළොවෙන් නැගි
කේඩෑරි බට පඳුරකි
හෙවණක් නැතත් ඒ ළඟ
කොන්ක්‍රීට් බංකුවකි
මේ නම් නොවේ එදවස
මා පැතු සිහින නිවහන
ලද විට ඉඩක්
යමි මූදු වෙරළට
නැතොත් කඳු තුරුලට
හුස්මක් ගන්න හෙමිහිට
එන විට සෙමෙන් මුමුනමි
ඉන්න, එන්නම් හණිකට
නවතින්න මෙහි සදහට
වහලයක් නැති නිවසට
• මමත්වතා | ඉසුරු චාමර සෝමවීර